Thursday, April 20, 2017

පරපුරක් කියැවීමට යොමුකළ ඩීමන් ආනන්ද

"උසාවි නැත. නඩු නැත.  ඇසට ඇසක්. උණ්ඩයට උණ්ඩය. එයයි ඔහුගේ නීතිය."
මේ ජේමිස් බණ්ඩා නම් වන වීරයකුගේ සටන් පාඨයයි.

ජේමිස් බණ්ඩා නම් වන රහස් පරීක්ෂකයාගේ නිර්මාපකයා වුයේ ඩීමන් ආනන්ද නම් වූ අසාහය ලේඛකයාය. මාරක කථා චක්‍රවර්තී යනුවෙන් හැඳින්වුණු  ඩීමන් ආනන්ද සිංහල සාහිත්‍යට අසාමාන්‍ය සහ අසම්මත මෙහෙයක් ඉටුකළ ලේඛකයකු වශයෙන් සම්භාවනාවට පත් කල හැක. සරල ලේඛණ ශෛලියකින් හිත් ඇදගන්නා සුළු මාරක කථා ඉදිරිපත් කළ ඔහු එක යුගයක පරපුරක්ම  කියැවීම කෙරෙහි යොමු කළේය. දෙසතියක් තුල එක පොතකින් පිටපත් විසිපන්දහසක් විකුනුනු  ඔහුගේ නිර්මාණ සංඛ්‍යාව 1008 කි. 

එකල අතිශය ජනප්‍රිය චරිතයක් වූ  ඩීමන් ආනන්ද උපන්නේ නිල්වලා ගඟ මායිම් කරගත් මාතර බණ්ඩත්තර නම් හද්දා පිටිසර ගමකය. ගමේ පාසලේ  තුන්වන  පන්තිය තෙක් අකුරු කල ඔහු ගාල්ල ඕල්සෙන්ට්ස් පාසලට ඇතුළු කරනු ලදුයේ ඉංග්‍රීසි ඉගෙනීම අරමුණු කොට ගෙනය. සිය බාප්පාගේ නිවසේ නැවතී පාසල් ගිය ඩීමන් ආනන්ද පසුව කොලොන්නාව ආනන්ද විද්‍යාලයට ඇතුළු වන්නේ බාප්පාගේ පදිංචිය මාරුවීම නිසාවෙනි. අවසානයේ මරදාන ඉන්ඩස්ට්‍රියල් පාසලෙන් එස්. එස්. සී. විභාගය සමත් වීමෙන් අනතුරුව ඩීමන්  ආනන්ද වැටෙනුයේ අරමුණු රහිත දිවි පෙවෙතකටය.

කිසිවක් පල නුවුවද, පත්තර වලට කවි ලියමින් කල්ගත කල ඔහු සිනමා ලේකඛයකු වශයෙන් ජීවිතය අරඹනුයේ රොබට් ජයවර්ධන විසින් පලකල  "සිනමා" නම් වන ශ්‍රී ලංකාවේ ප්‍රථම චිත්‍රපට පුවත් පතෙනි. ඉතා සුළු කාලෙකින් "සිනමා" වැසී යාමෙන් අනතුරුව ඩීමන්  ආනන්ද විසින් "රිදී තිරේ" නම් පුවත් පත ආරම්භ කලද එහි ආයු කාලය ද බොහෝ සෙයින් අඩු එකක් විය. 

බාප්පාගේ නිවසේ නිකරුනේ කාලය කා දැමීම හිසරදයක් වූ ඩීමන්  ආනන්ද අලුත් වැඩකට අතගසමින් ලියෝ ටෝල්ස්ටෝයි ගේ යුද්ධය සහ සාමය නම් දැවැන්ත නවකථාව සිංහලට පරිවර්තනය කරනු ලැබුවා. යුද්ධය සහ සාමය වැනි කෘතියක් පරිවර්ථනය කළ යුත්තේ ඔබ වැනි ආධුනිකයකු නොව  ප්‍රවීණයකු බව පවසමින් ගුණසේන පොත් සමාගම ඔහුව ප්‍රත්ක්ෂේප කළා. 

අනතුරුව කරන්නට කිසිවක් නොමැති නිසා අලුත් කඩේ උසාවිය නඩු අසනු බැලීමට යාමට පුරුදු වීම ඔහුගේ ජීවිත කථාව  වෙනස් මගකට යොමු කිරීමට සමත් උනා. නීතීඥයන්ගේ තර්ක විතර්ක මැද මිනීමරුවන් නුලෙන් බේරෙනු දුටු ඩීමන්  ආනන්ද ඉන් ලද උත්තේජනයෙන් රහස් පරීක්ෂක කථා කිහිපයක් ලියා ගෙනගියේ ඉන්දියානු දෙමල පොත් සහ සඟරා බෙදා හරිමින් සිටි ව්‍යාපාරිකයකු වෙතය. සිංහල අකුරු කියවන්නටවත් නොදත් දෙමල ජාතිකයකු වූ මෙම ව්‍යාපාරිකයා කිසිදු පැකිලීමකින්  තොරව ඩීමන් ආනන්දගේ පොත් ප්‍රකාශයට භාරගෙන ඇත. මේ ආකාරයට ඔහුගේ මුල්ම පොත වූ "ගංතෙර හොල්මන" 1960 වසරේදී ප්‍රකාශයට පත්ව ඇත. 

මැදියම් රැයේ මිනිසුන්ගේ ලේ උරා බොන ඩ්‍රැකියුලා, මාරක අවතාර, ජේම්ස් බොන්ඩ් වැනි චරිත සමග බිහිවූ මාරක කථා රැල්ල ලංකාවේ ගම් නියම් ගම් වෙත හමා ගියේ පත්තර ලෑලි හරහාය. ඔහුගේ පොතක පිටපත් විසිපන්දහසක් විකිණී යාමට ගතවී ඇත්තේ සති දෙකක කාලයක් පමණි. මේ ලෙස පරපුරකට කියැවීම පුරුදු කළ ලංකාවේ වේගවත්ම ලේඛකයා බිහිවුණා. වසර පහලවක් පුරා පොත් 1008 ක් ඔහු අතින් ලියවුනා.


ඩීමන්  ආනන්දගේ මාරක කථා රැල්ල වේගයෙන් ජනප්‍රිය වනවිට එයට එරෙහිව කඳවුරු බැඳ ගත්තේ ප්‍රබුද්ධ ලේඛකයන් සහ විචාරකයන් ගෙන සැදි බමුණු කුලයයි.එකල සාහිත්‍යයේ ඒකාධිකාරිය විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ විචාරකයන් අත පැවතියා. ඔවුන් ඩීමන්  ආනන්දගේ කිසිදු පොතක විවේචනයක් පුවත්පත්හි  පලකලේ නැහැ. ඒවෙනුවට සිදුකලේ ඩීමන්  ආනන්දගෙන් පාඨකයා බේරා ගත යුතු බව කියවෙන  නිර්දය විවේචන පුවත් පත් වල පළකිරීමය. වසර පහලවක ලේඛන දිවියක් අවසන් කරමින් හැත්තෑව දශකයේ මැදදී ඩීමන්  ආනන්ද ලේඛනයෙන් සමු ගත්තා. එයට හේතු වුයේ නිර්දය විවේචන වෙතින් සිදුවූ කලකිරීම මෙන්ම කෙතරම් පොත් ලියුවද මුදල් අතින් ද සාර්ථක නොවීමය. මේ නිසා ඔහු මුද්‍රණ ක්ෂේත්‍රය ජීවන වෘත්තිය වශයෙන් තෝරාගෙන ව්‍යාපාරිකයකු බවට පත් වුනා.  


23 comments:

  1. කතාවක්/චිත්‍රපටයක්/වේදිකා නාට්‍යක් හොඳ යයි කිව හැක්කේ එය රස විඳින පිරිසගේ සංඛ්‍යාව අනුවය. සමහර ප්‍රබුද්ධයන් කියා ගන්නා ලේඛකයනට ප්‍රක්කශකයෙක්වත් සොයා ගැනීමට වේලෙද්දී ඩීමන් ආනන්දගේ පොත් විකිණුනේ උණු කැවුම් වගේ. පොත්ක ශත 50 යි. නැත්නම් ශත 75 යි. අපි ඉස්කෝලේ යන කාලෙ පාඩම් පොත් අස්සෙ හංගගෙන කියෙව්වේ. ඒවායේ ව්‍යාකරණ වැරදිත් ඒ ත්‍රමටම තිබුණේ නැහැ. මගේ ප්‍රියතම ලේඛකයන් වූයේ මාටින් වික්‍රමසිංහ සහ ඩීමන් ආනන්දයි.

    ReplyDelete
    Replies
    1. "කතාවක්/චිත්‍රපටයක්/වේදිකා නාට්‍යක් හොඳ යයි කිව හැක්කේ එය රස විඳින පිරිසගේ සංඛ්‍යාව අනුවය." මේ වගේ ගොන් කතාවක් මම ඇහුවමයි.... එතකොට අර සුජීව ප්‍රසන්න ආරච්චිගේ හොටු පොත් ඉස්කෝල කෙල්ලෝ කොල්ලෝ පොර කකා කියවන්නේ, උණ්‍ු කැවුම් වගේ විකිනෙන්නේ ඒවා හොඳ නිසා වෙන්න ඇති. මාටින් වික්‍රමසිංහ,කේ ඒ කරුණාරත්න වගේ අයගේ පොත් කඩවල වේලෙන්නේ ඒවා නරක නිසා වෙන්න ඇති

      Delete
    2. අනුන්ගෙ කමෙන්ට් වල පහරන ගොන් තඩියෙක්

      Delete
    3. සුජීව ප්‍රසන්න ආරච්චිගේ සාහිත්‍ය භූමිකාව සහ ඩීමන් ආනන්දගේ භූමිකාව එක තැනකදී සමපාත වෙනවා. එනම් පොත් කියවන්න පෙළඹීමක් නැති පිරිසක් වෙත කියවීමේ පුරුද්ද කාන්දු කිරීමය. බොඳ මීදුම් පොත් පෙලට කම්හල් සේවිකාවන් සහ විදේශගත ගෘහ සේවිකාවන් අතර හොඳ ඉල්ලුමක් පැවතියා.

      විශිෂ්ඨ යයි සම්මත කෘති බොහෝ සමාජ තල වෙත ආකර්ෂණය වන්නේ නැහැ.

      උදාහරණයක් ලෙස අප යුගයේ විශිෂ්ඨම කෘතිය ලෙස හැඳින්විය හැකි මහැදුරු සුචරිත ගම්ලත් ශුරීන්ගේ මහා සිංහල ශබ්ද කෝෂය විකිණී තියෙන්නේ පිටපත් හාරසිය ගණනක් පමනයි. ලක්ෂ ගණනක් පැමිණෙන කොළඹ පොත් සල්පිලේදී පිටපත් තුනක් පමණයි.

      Delete
    4. විවිධ මිනිස්සුන්ගේ රුචිකත්වය වෙනස්.
      පුද්ගලිකව මං නම් පුලුල් පරාසයක් කියවනවා. ඒවායින් සමහර දේවල් සමහර අය සලකන්නේ බොළඳ ඒවා කියලා. උදා- මං හෝමර් ගේ වීර කාව්‍යවල සිට ස්ටැන් ලී ගේ මාවල් කොමික් පොත් දක්වා කියවනවා. මා තෝරා ගන්නේ කතෘ සහ විෂයයි. වර්ගය නොවේ. බොළඳ වර්ගයෙනුත් කැමති ඒවා තෝරා ගන්නවා , සම්භාව්‍ය යයි කියන ඒවාගෙනුත් කැමති ඒවා තෝරා ගන්නවා

      Delete
    5. ප්‍රා ජේ,
      මම නං හිතන්නෙ සෑම පුද්ගලයකු තුලම විවිද රස සොයන වෙනස් පුද්ගලයින් සිටිනවාය කියා. බොහෝ මිනිසුන් එකම රාමුවකට කොටු වන්නේ වෙනස් රසයන් සන්ඩහා අවස්තාව නොලැබී යාමෙන්. උදාහරනයකට ගතහොත් චේතන් බගට් ගේ පොතක් කියවන කෙනා පොත් සියල්ල සොයාගෙන කියවනවා. ඒ පුද්ගලයාම ජේ කේ රෝලිං ගේ පොත් සියල්ල කියවා තමා නවතින්නේ. ඔහුම කරුනාසේන ජයලත් ගේ පොත් කියවන්න පටන් ගත් පසුව එම රසයම හොයනවා.

      Delete
  2. ඩිමන් ආනන්ද ඉංග‍්‍රිසි චිත‍්‍රපට බලලා එක කතාවට ලිව්වා කියනවා. පස්සේ කාලෙක නිල්වලා කැසට් ආයතනය ඩිමන් ආනන්දගේ පොත් ප‍්‍රකාශයට පත්කළා. ඉන් පොත් දෙකක් විතර මටත් කියවන්න ලැබුනා. එවාගේ තිබුනේ ක්ලින්ට් ඊස්ට්වුඩ් රගපෑ ගොපලු චිත‍්‍රපට කතාවන් තමයි. හැබැයි ඔහු ගලමුල් මැදින් පරපුරක් කියවිමට පුරුදුකෙරේව්වා. දැන් නොකෙරෙන්නෙත් එකම තමයි.

    ReplyDelete
    Replies
    1. සුජීව ප්‍රසන්න ආරච්චිගේ පහුගිය කාලේ නොකියවන පිරිසක් අතරට පොත් ගෙනගියා

      Delete
  3. ඉස්සර ඕවා කියවන්න හෙන ගේමක් දෙන්නොන කියලා අපේ තාත්තා කියනවා නං අහල තියෙනවා , ඉස්කෝලේ එහෙම පොතක් අහුවුනොත් බඩුම තමාලු

    ReplyDelete
  4. මම හිතන්නේ ඩීමන් ආනන්ද ගේ පොත් ජනප්‍රිය වෙන්න ප්‍රධාන හේතුව වෙන්න ඇත්තේ අඩු මිල. පොත් සාප්පු මාෆියාවෙන් මිදිලා පත්තර ලෑල්ල හරහා පොත විකුණන කොට පොතේ මුද්‍රණ වියදමට වඩා සුළු මුදලක් තමා එකතු වෙන්නේ. බෙදාහැරීමේ කටයුතුත් සිදුවන්නේ පත්තර සමග නිසා එහි වියදමත් අවමයි. අනෙක මුළු රටටම එකවර පොත බෙදා හරින්න පුළුවන්, නමුත් පොත් සාප්පු වල වෙළඳාමේ දී සාමාන්‍යයෙන් 66% මුදලක් පොතේ අගයට එකතු වෙනවා. එකියන්නේ රුපියල් 100ක් මුද්‍රණය සඳහා වියදම් වෙනකොට පොතේ මිල රුපියල් 300ක් වෙනවා.

    ReplyDelete
  5. ඩීමන්ගෙපොත් වගයක් අපෙ ගෙදර සෙිාල්දරෙ තිබුනා... ඒවා හත් අට පාරක් බැලුවා... කාටත් වනදෙ ඩීමන්ටත් වෙලා තියෙන්නෙ ... පරපුරු රකින බිත්තරයො කර අරිනව. මුකුත් නොදන්න එකා උදව් කරනවා...

    ReplyDelete
    Replies
    1. ඔය පොත් කොයි තරන් කියෙව්වත් එපා වෙන්නෙ නැහැ

      Delete
  6. මා කිය්වා ඇත්තේ පොත් දෙකයි. දෙකම ජේමිස් බණ්ඩා. එකක් ලොකු පොතක්.

    මේ ෂානරයේ ලේඛකයින් තව කීප දෙනෙකු ඉඳලා තියෙනවා. ගිය ඉරිදා ලක්බිම කියවන්න

    ReplyDelete
    Replies
    1. මෑතකදී නවකතා කිහිපයක් නැවත මුද්‍රණය උනා මට මතක හැටියට ෆ්‍රැන්ක්න්ස්ටයින් ගෙ අභිරහස

      Delete
  7. ඩීමන් ආනන්දගේ පොත් කියවන්න ලැබිලම නෑ.
    පෙරේත කමින් චිත්‍රකතා කියෝපු මට කොහොම මිස් උනාද මන්දා
    මේ සැරේ නිවාඩුවේදි වත් ටිකක් ගන්න ඕන.
    නියම ලිපියක් !

    ReplyDelete
    Replies
    1. ඩීමන් ආනන්දගේ චිත්‍ර කතා පොත් තියෙනවා. කතාව ඔහුගේ චිත්‍ර වෙනත් අයගේ

      Delete
  8. //ඔහුගේ පොතක පිටපත් විසිපන්දහසක් විකිණී යාමට ගතවී ඇත්තේ සති දෙකක කාලයක් පමණි.//
    //කෙතරම් පොත් ලියුවද මුදල් අතින් ද සාර්ථක නොවීමය.// ඇයි ඒ?

    ReplyDelete
    Replies
    1. හේතුව වෙන්න ඇත්තේ පොත් ඉතා සුලු මුදලකට විකිණීම සහ එකල තිබූ ක්‍රමයට ප්‍රකාශකයා විසින් අයිතිය පවරා ගැනීම

      Delete
  9. ඒ කාලේ බ්ලොග් සම්මාන පොත් සම්මාන නොතිබිච්ච එක හොඳයි.
    නැත්තන් අජිත්ලා මුලාශ්‍ර නෑ අරක මේක කියල මේ හාදයත් කපලම දාවි.

    ReplyDelete
    Replies
    1. අමුතුවෙන් කපන්න දෙයක් නැහැ. ගුණසේන සමාගම ඔහුට කරපු දේ මේ පොස්ටුවෙම තියෙනවා.

      Delete
    2. යකෝ එහෙම කවුරුවත් කැපුවේ නැහැ කියද්දීත් මේ හාදය මේක හැම තැනම කියා කියා යනවනේ. අර වාසිතට සම්මානයක් හම්බ වෙලා තියෙන්නේ. දෙනවට බැන්නෙත් මෙයාලමයි.

      Delete
  10. ඩීමන් ආනන්දගේ හිටිය නේද පොලිස් ඉන්ස්පෙක්ටර් කෙනෙක් අපරාධකරුවෝ අල්ලන. ජේමිස් බණ්ඩා නෙමේ වෙන නමක්. මමත් පොත් දෙක තුනක් බලල කියවල් තියනවා පොඩි කාලේ.

    ReplyDelete