Monday, April 24, 2017

කළු රත්‍රන්

මීට වසර තුන් දහසකට ඉහත ග්‍රීසියේ විසූ හෝමර් කවියා විසින් රචිත "ඉලියඩ්"  නම් මහා කාව්‍යයේ කළු පැහැති පලිහක් ගැන කියවෙයි. ගින්නට සහ මැවීමට අධිපති "හීෆස්ටොස්" දෙවිඳුන් විසින් "අකිලිස්" නමැති රණ ශුරයාට එම පලිහ සාදා දී ඇත්තේ රන්, රිදී, ටින් සහ තඹ එක කර සාදන ලද ලෝහයකිනි. 

එමෙන්ම වාල්මිකී විසින් රචිත රාමායණ වීර කාව්‍යයේ කියවෙන අසුන් බිලිදී සිදු කරනා අශ්ව මේද යාගය සිදුකළ පුජකයනට තෑගි  දුන් රන් කැබලි දම් පැහැති බව කියවෙයි.

පැරණි ග්‍රීක රෝම සහ ඊජිප්තු ශිෂ්ඨාචාර වල ද  ප්‍රතිමා කැටයම් ආදිය තැනූ කළු රත්‍රන් නමැති ලෝහයක් ගැන කියවෙයි.

සියවස් ගණනාවකට ඉහත ලියැවුන සාහිත්‍යයේ දැක්වෙන මෙම ලෝහය දැනටත් ජපානයේ භාවිතා කරනා "ෂකුඩෝ" නම් වන ලෝහයට බෙහෙවින් සමාන බව පර්යේෂකයින් කියති.  මෙම ෂකුඩෝ නම් වන මිශ්‍ර ලෝහය සාදනුයේ තඹ සමග රන්, රිදී සහ ආසනික් කලවම් කිරීමෙනි. මෙමෙ මිශ්‍ර ලෝහය මළ බැඳීමේදී තද දම් පැහැයකට හැරෙයි. ෂකුඩෝ වලින් කල කැටයම් මළ ගැන්වීම කර ඇත්තේ ඒවා කොපර් ඇසිටේට් සහ කොපර් සල්ෆේට් ද්‍රාවණයක ගිල්ලවීමෙනි. 

14 වන සිය වසේදී සිට ජපානයේ භාවිතා කරන්නට ඇතැයි සැලකෙන මෙම ලෝහය ගැන සෙසු ලෝකයා දැනගෙන ඇත්තේ 19 වන සියවස මැද භාගයේදීය. කලක් යන තුරුම ඉතිහාසඥයන් සිතාගෙන සිටියේ ජපන් ජාතිකයින් මේ ලෝහය ගැන දැනගත්තේ 14 වන සියවසේදී චීන ජාතිකයන්ගෙන් බවය. නමුත් මේ ආකාරයේ ලෝහ වලට බටහිර දිග ඉතිහාසයක් ඇති බව පැරණි කෞතුක භාණ්ඩ සහ පැරණි සාහිත්‍ය කෘති විමර්ශනයෙන් දැනගන්නට ලැබිණ. 

හොමර්ගේ ඉලියඩ් කාව්‍යයට අමතරව ක්‍රිස්තු පුර්ව පළමුවන සියවසේ ලියැවුණු ග්‍රීක දාර්ශනික ප්ලුටාක්ගේ "මොරලියා" කෘතියේද, ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසේ පොසානියාස් විසින් රචිත ග්‍රීක චාරිකා නම් කෘතියේද දම් පැහැති රන් බඳුන් ගැන කියවෙයි. 

චීනයේ "සු මො චින්" නම් දම් පැහැති දීප්තිමත් රන් වර්ගයක් ගැන ක්‍රිස්තු වර්ෂ පස් වන සියවසේදී අසන්නට ලැබේ. අමතරව 15 වන සියවසේ සිට චීනයේ නිපදවුණු වූ කොං නමැති තඹ සහ රන් අඩංගු මිශ්‍ර ලෝහයක් ගැන ද වාර්තා ඇත. 

ටිබටයේදී  10 වන සියවසේ පළ කෙරුණ ලියවිල්ලක එහි නිපදවුණු "යි ක්හිම්" නමැති කළු පැහැ ලෝහයක් ගැන කියැවේ. 

බ්‍රිතාන්‍යයේ  අටවන සහ නවවන සියවස් වල "සැක්සන්" සහ "කෙල්ටික්" කර්මාන්ත කරුවන් නිපදවූ මෙවන් ලෝහ මිශ්‍රණයක් ගැන වාර්ථා පර්යේෂකයනට හමුව ඇත. 

කැණීම් වලදී සොයාගත් ඊජිප්තු ශිෂ්ඨාචාර වලට අයත්  කළු පැහැයෙන් මලින වූ  කැටයම්  ක්‍රිස්තු පුර්ව 15 සහ 13 සියවස් වලය අයත්ය. 

නමුත් විවිධ දේශයන්හි වාර්තාවන කළු රත්තරන් වල කතාවේ ආරම්භය කොතැනක සිදුවුනි දැයි මේ වන තෙක් නිශ්චිත මතයකට එළඹ නැත. 

5 comments:

  1. ඛණිජ තෙල් හැඳින්වීමට ද බ්ලැක් ගෝල්ඩ් කියා කියති!

    ReplyDelete
  2. ඒ නම එක කාලයක ගම්මිරිස් වලටද යෙදුනා

    ReplyDelete
    Replies
    1. ඔව් එක කාලයක් ගම්මිරිස් ගොවින් අතර ජනප්‍රිය කරන්න කළු රත්තරන් කියලා කිව්වා ..දැන්නම් ඉතින් වැල්ල පට්ටා තමයි කළු රත්තරන් වෙන්නේ

      Delete
  3. හෙෆැස්ටස් හෝ හිෆීස්ටස්
    ඇකිලීස් හෝ අකිලිස්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිවැරදි කරා
      Hephaestus - හීෆස්ටොස් - https://www.youtube.com/watch?v=ZkgEwxh6oeQ
      Achilles - අකිලිස් - https://www.youtube.com/watch?v=V3fX-syifF4

      Delete