Saturday, June 10, 2017

ඉන්දික තොටවත්ත ගෙන් ප්‍රහසන නාටකයක්.

ශ්‍රී ටීවී නාලිකාවේ ප්‍රචාරය කෙරුණු  ඡ්‍යෝතිශ්ශාස්ත්‍රඥ ඉන්දික තොටවත්ත,  මාධ්‍යවේදී චාපා බණ්ඩාර සහ වෛද්‍ය විද්‍යාකුලපති මහතුන් අතර සිදුකල දීර්ඝ සංවාදය සමාජ ජාල හරහා පසුගිය දිනවල වේගයෙන් සංසරණය විය. මේ සංවාදය අප රට තුල ගුප්ත විද්‍යා ලේබලය යටතේ සංසරණය වන මිත්‍යාව, රැවටීම, ගසාකෑම සහ වංචාව පිලිබඳ  නව මානයකින් සිතිය යුතු බොහෝ කරුණු විදහා පානු ලබයි.

අපට තේරුම් ගත නොහැකි දේ නැතැයි කියා ප්‍රතික්ෂේප කළ නොහැකිය.  මිනිස් ක්‍රියාකාරකම් මත ග්‍රහලෝක වල පිහිටීම සිදු කරනා බලපෑම උදාහරණයක් ලෙස ගනිමු. මානසික රෝගීන්ගේ රෝගී තත්වයන් සඳේ බලපෑම මත අඩු වැඩි වන බවට නිරීක්ෂණ ඇත. එබැවින් ග්‍රහලෝක වෙතින් මිනිස් මනස හෝ ශරීරය වෙත බලපෑමක් තිබිය හැක. සමහරවිට එම බලපෑම ඡ්‍යෝතිශ්ශාස්ත්‍රය තුලින් විද්‍යානුකූලව විග්‍රහ කර තිබීමට පුළුවන. එලෙසින්ම එම විග්‍රහය වැරදි වීමටද පුළුවන. ඒ සම්බන්ධව  ගැඹුරට අධ්‍යනය නොකර ඡ්‍යෝතිශ්ශාස්ත්‍රය බොරු බවට තර්ක කිරීම මුග්ධ කමකි. අපගේ බුද්ධියට හෝ දැනුමට ගෝචර නොවන නිසා එය ප්‍රතික්ෂේප කර එයට ගැරහීම කල නොහැක.

පසුගිය දශක දෙකක පමණ කාලසීමාව තුල ගුප්ත විද්‍යා සඳහා වූ ඉල්ලුම වේගයෙන් වැඩිවූ බව දක්නට ලැබෙයි.  ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය ගුප්ත විද්‍යා ප්‍රවර්ධනය සඳහා විශාල මැදිහත් වීමක් කර තිබේ. ඒ ඔවුන්ගේ බඩගෝස්තරය පිණිස මිස වෙනත් කරුණක් නිසා නොවේ. මැණික් හින්නේ හුලවාලියන් සමහර ජාතික පුවත්පත් අරක්ගෙන තිබු යුගයක් විය. තවමත් එසේ දැයි අප නොදන්නේ දැන් ඉරිදා පුවත් පත් මිලදී නොගන්නා නිසාය. වෙළෙඳ දැන්වීමක් ලැබෙයි නම් මේ පුවත් පත් ඕනෑම දෙයක් ප්‍රවර්ධනය කරති. ඒවා වෙත ආදී එන්නේ අසුචි ගොඩක් දුටු නිල මැස්සන් මෙනි.

මේ හේතුවෙන් ජන මාධ්‍ය තමන්ට වෙළෙඳ දැන්වීම් සපයන්නාවූ කට්ටඩියන් ගේ හිත සුව පිණිස කිසිදු වගකීමකින් හෝ සදාචාරයකින් තොරව ගුප්ත විද්‍යා ප්‍රවර්ධනය කරති. ඒ සඳහා කට්ටඩියන් අතරින් තෝරාගත් චරිත කිහිපයක් ප්‍රභූ මට්ටම වෙත ගෙනවිත් ඇත. ඉන්දික තොටවත්ත ඒ අතරින් එකෙකි. ඉන්දික තොටවත්ත යෝතිශ්ශාස්ත්‍රය හෝ අධි මානසික ශක්තිය වැනි විෂයන් වෙනුවෙන් පෙනී සිටියාට අපට කිසිදු විරෝධතාවක් නැත. විරෝධතාව ඇත්තේ එම විෂයන් දඩමීමා කරගෙන මැජික් පෙන්වා සමාජය රැවටීම කෙරෙහි පමණකි. 

ගුප්ත විද්‍යා වන්හි බලපෑම කෙතරම්ද කිවහොත් මේ කට්ටඩින් රටවල ආණ්ඩු වෙනස් කිරීමට ජනමතය වෙත බලපෑම් කළ හැකි මට්ටමටම ජනතාව අතර අතු පතර විහිදුවාගෙන ඇත. රජුන් යැයි සිතාගෙන සිටියවුන් ගොනාට අන්දවා නිකමුන් බවට පත් කර ඇත.

ශ්‍රී ටීවී නාලිකාවේ ප්‍රචාරය කෙරුණු සංවාදය වෙත නැවත හැරෙමු. එම සංවාදය පැයකට වඩා වැඩි කාලයක් පුරා විකාශය වුයේ එකම කරුණක් වටාය. එනම් ඉන්දික තොටවත්ත විසින් අධි මානසික ශක්තිය යොදවා කරනා ලදැයි කියනා කලින් පෙන්වූ මැජිකක් නැවත පෙන්වන ලෙස කරනා ලද අභියෝගයක් සහ එය මගහරවා සාකච්චාව වෙනත් අතකට හැරවීමට ඉන්දික තොටවත්ත දරනා ලද අසාර්ථක මෙන්ම අලජ්ජී උත්සහයය. 

මීට පෙර කලෙක ඉන්දික තොටවත්ත විසින් සිරස නාලිකාවේ "මල් වැඩ සටහනකට" සහභාගී වී ඔහුගේ අධිමානසික ශක්තිය විදහා දක්වා තිබිණ. එහිදී සංවෘත පෙට්ටි තුනක් තුල ඇති වස්තුන් මොනවාදැයි නිවැරදිව කියා තිබිණ. මෙවර සංවාදය තුල එය නැවත කරනා ලෙස  මාධ්‍යවේදී චාපා බණ්ඩාර විසින් පෙට්ටි තුනක් ගෙනවිත් අභියෝග කළේය. එහිදී ඉන්දික තොටවත්ත ගල උඩ රීපු බළලාගේ මට්ටමට පත්විය. ඔහු විසින් අභියෝගය මගහැරීමට විවිධ කාරනා ගෙනහැර පෑවේ ඉතාමත් අනර්ඝ ප්‍රහසන නාටකයක් ප්‍රේක්ෂකයාට ලබා දෙමිනි. ඔහුගේ රංගනය බෙහෙවින් බාල මට්ටමට පත්විය. කෙසේ හෝ අභියෝගය භාර නොගෙන ලිස්සා ගියේය. ඒ අතින් ඔහු අති දක්ෂයකු බව කිව යුතුය.

ඉන්දික තොටවත්ත හෝ වෙනත් අධි මානසික ශක්තිය ඇතැයි කියනා පුද්ගලයකු නැවතත් රුපවාහිනී වැඩසටහනකට එන්නේ නම් විද්වත් මණ්ඩලයක් ඉදිරියේ පෙට්ටි තුනේ මැජික මුලින්ම පෙන්වා සිටිය යුතුය. මේ වැඩසටහන් විකාශය කරනා රුපවාහිනී නාලිකා සදාචාරාත්මකව කටයුතු කරන්නේ නම් එය ඔවුන්ගේ වගකීමකි. මිත්‍යාවෙන් රටේ ජනතාව ගලවා ගැනීම පිණිස වෙන සමාජීය මෙහෙවරකි. එලෙස පෙන්වීමට හැකිනම් ඔවුන්ගේ අධි මානසික ශක්තිය පිළිගත හැක. නොහැකිනම් ඔවුන් අමුම අමු රැවටිලි කරුවන්ය. වංචා කරුවන්ය,

ඉතාම අනර්ඝ මට්ටමේ ප්‍රහසන නාටකයක් නැරඹීමට කැමති අය ඩේට ඩේට කියල  බලන්නේ නැතිව පහත වීඩියෝව නරඹන්න.