Saturday, September 30, 2017

සිංහල ම්ලෙච්ඡයෝ

අපගේ රැකියා ස්වභාවයට අනුව නිරතුරුවම විවිධ රටවලට සහ ජාතීනට අයත් විදේශිකන් හමුවෙති. ඔවුහු ඉංග්‍රීසියෙන් Good Morning,  Good Evening නැතහොත් Hello යනුවෙන් මුල් සුභ පැතුම පිරිනමනා විට අප හුරුවී සිටිනුයේ දෑත් වැඳ හෝ අතට අත දී "ආයුබෝවන්" කියමින් සුභ පැතීමටය. එවිට බොහෝ විදේශිකයින් වචනයේ තේරුම අසති.  වචනයේ තේරුම "ඔබට දීර්ඝායු වේවා" යයි දැනගන්නා ඔවුහු අප සමග සාකච්චාව අරඹන්නේම පැහැදීමකිනි.  

අනතුරුව අපගේ නාම පත්‍රය (Visiting Card) බලා නම වැරදියට උච්චාරණය කරනා විට අප එය නිවැරදි කරමු. අනතුරුව අපගේ භාෂාවේ අකුරු 60 කින් යුත් හෝඩිය තුල විවිධ ශබ්ධ 1064ක් සඳහා වෙනස් ලෙසින් ලිවිය හැකි බව පවසන විට ඔවුහු පුදුම වෙති. ටික වේලාවකදී අපගේ සංස්කෘතිය ගැන පැහැදෙන ඔවුහු අප රට පිලිබඳ ඉතාමත් ප්‍රසන්න ආකල්පයක් ඇතිකර ගනිති. අපගේ මිතුරන් බවට පත්වෙති.

මෙලෙස හඳුනාගත්, අප රටහි සංස්කෘතිය පිළිබඳව ඉතාමත් යහපත් ආකල්පයකින් යුතු වූ ජපන් ජාතික මිතුරියක් පසුගිය දිනෙක අසනා ලද ප්‍රශ්නයකින් මා ඉතාමත් අපහසුතාවට පත්වුනෙමි. සිංහල බෞද්ධයන් ම්ලෙච්ඡයන් පිරිසක් වන්නේද යන්න ඇය අසා සිටියාය. රොහින්ග්‍යා සරනාගතයනට එල්ල කළ විරෝධය මාධ්‍ය මගින් ජපානය කරා ගොසින් ඇත්තේ එලෙසිනි. බෞද්ධ කාන්තාවක් වන ඇය අපගේ භික්ෂුන්ගේ හැසිරීම පිලිබඳ පුදුමය පල කළාය. සිද්ධිය සම්බන්ධව ඇය දැක ඇත්තේ ඡායාරුප පමණකි. වීඩියෝ දර්ශණ දුටුවේ නම් කුමක් කියනු ඇතිද? මෙය සිංහල බෞද්ධයන්ගේ ක්‍රියාවක් නොව ජාතිවාදී උන්මත්තකයන් කිහිපදෙනෙකුගේ  ක්‍රියාවක් බව ඇයට ඒත්තු ගන්වන්නට සැහෙන වෙහෙසක් දරන්නට සිදුවිණ. ඇය නැවත නැවතත් අසා සිටියේ භික්ෂුන්ගේ හැසිරීම පිලිබඳවය. 

මේ සිද්ධිය පිටුපස ඇතියි කියවෙන පොලිස් නිලධාරියකු විසින් සරණාගත තරුණියක දුෂණය කිරීමේ චෝදනාව විදෙස් මාධ්‍ය තුල එතරම් ඉස්මතු නොවීම ලොකු දෙයකි. නැතිනම් ස්ත්‍රී දුෂකයන් වෙනුවෙන් භික්ෂුන් පෙනී සිටිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනු ඇත.

මේ 1983 නොවන බව අප අමතක නොකළ යුතුය. සන්නිවේදන තාක්ෂණයේ සහ අන්තර්ජාලයේ දියුණුවත් සමග පුවත් සැනෙකින් ලොව පුරා පැතිර යයි. අනෙක් අතට මානව හිමිකම් සහ මානව හිතවාදය පිළිබඳව ලොව පුරාම විශාල උනන්දුවක් පවතියි. 83 කළු ජූලියේදී අහිංසක දෙමළ මිනිසුන් ගිනි දැල් වලට විසිකර මරා දැමූ ආකාරයට දැන් කටයුතු කල නොහැක. 

මේ වන විටත් රෝහින්ග්‍යා සරණාගතයන් පිරිසකට ගල්කිස්සේ දී ඉකුත්දා සිදුවූ හිංසනකාරී සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ  මහකොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක් කර ඇති බවට වාර්තා වේ. 

නමුත් ජාතිවාදය ජීවිකාව කරගත් පිරිසට රටෙහි කීර්ති නාමය පිලිබඳ කිසිදු වගක් නැත. සමස්ථ සිංහලයන් අතරින් ඉතාමත් සුළු පිරිසක් වන ජාතිවාදී ම්ලෙච්ඡයන් පිරිස මර්ධනය නොකළහොත් රටහි ප්‍රතිරූපයට ඇතිවන  ඇතිවන හානිදායක තත්වය නායකයන් තේරුම් ගත යුතුය. 

Thursday, September 21, 2017

බුදු සසුනට වින කටින්නේ අන්‍ය ආගමිකයන් නොවේ.

ශ්‍රී ලංකාවේ පවතින සංස්කෘතික සහ සාමාජීය ව්‍යුහය බුදු දහම මුලික කරගෙන ගොඩ නැගී ඇත. සිංහල බෞද්ධයා පමණක් නොව සිංහල කතෝලිකයාද සිය පැවැත්ම තුල පෙන්නුම් කරනුයේ බුදු දහමේ ආභාශයයි. අප වෙත කතෝලික දහම පැමිණි යුරෝපීය සමාජයේ සංස්කෘතියට වඩා හාත්පසින් වෙනස් සංස්කෘතියක් සිංහල කතෝලිකයාට ඇත. සමහරක් චාර්යා රටාවන් වෙනස් වුවද ප්‍රධාන වශයෙන් කතෝලිකයා වෙත පවතිනුයේ බෞද්ධ සංස්කෘතිය වෙතින් ශික්ෂණය වූ පවුල මුලික සංස්කෘතියකි. මේ අනුව ගත් කල මුළු රටේම සංස්කෘතිය පදනම් වන්නේ බුදු දහම කේන්ද්‍ර කරගෙන බව පෙනෙයි.

නමුත් මේ වන විට දේශීය සංස්කෘතියේ  බෞද්ධ පදනම වෙත එල්ල වී ඇති තර්ජනය ඇති මහත්ය. නිදහසින් පසුව මෙරට තුල ඇතිවූ ඊනියා බෞද්ධ ප්‍රබෝධය අවසානයේ මාරක ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ රටේ බෞද්ධ සංස්කෘතියට ය. ශ්‍රී ලංකාව බ්‍රිතාන්යෙන් නිදහස ලැබීමෙන් අනතුරුව බල ලෝභී දේශපාලන නායකයන් රොත්තකගේ ග්‍රහණයට හසුවිය. මේ ඊනියා නායකයින්  බලයට පැමිණීම සඳහා මෙරට පවතින බෞද්ධ පදනම නින්දිත ලෙසින් ගණිකා වෘතියේ යෙදවූ බව මෑත ඉතිහාසය අධ්‍යනය කරනා විට හොඳින්ම පෙනී යයි. බලලෝභී නායකයන් විසින් බෞද්ධ සමාජය ප්‍රධාන අවස්ථා හතරකදී දරුණු පිරිහීමකට ලක් කර ඇත.

1. බණ්ඩාරනායක විසින් බලයට පැමිණීම සඳහා පංච මහා බලවේගය නම්වූ සන්නාමය යටතේ සංඝ සමාජය අලෙවිකරණය සඳහා යොදවා ගැනීම.
2. භික්ෂු විනයට කෙලෙසකින්වත් නොගැලපෙන ලෙසින් දේශපාලන පක්ෂයක් අටවාගෙන ඡන්ද අපේක්‌ෂකයන් ලෙස භික්‌ෂූන් 260 ක්‌ පමණ මැතිවරණයට තරඟ කරවීම 
3. ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ප්‍රමුඛ මැර කල්ලියකට දේශපාලන අනුග්‍රහය ලබාදීමෙන් රටේ සුලු ජාතික කණ්ඩායම් පීඩනයට  කිරීම.
4. දේශපාලන නායකයින් විසින් අමු අමුවේ සිදු කරනා ලද චන්ද දුෂණ සහ මුල්‍ය අවභාවිතාවන් නිසා අධිකරණයෙන් වරදකරුවන් කරනාලද නිලධාරීන් වෙනුවෙන් පෙනීසිටීමට සංඝයා වහන්සේලා යොමු කරවා සංඝ සමාජය අවඥාවට ලක් කිරීම 

සිල් රෙදි වංචාව නිසා සිරගතවුවන් වෙනුවෙන් සංඝයා වහන්සේලා පාරට ඇද දමනා ලද දේශපාලන නායකයින් විසින් රටේ බෞද්ධ පදනමට ඇති කර තිබෙනා හානිය සුළුපටු නොවෙයි. මේ හේතුවෙන් වර්තමානයේදී, බුදු සසුනේ මුර දේවතාවුන් වන සංඝයා වහන් සේලා වෙත සමාජයෙන් විශාල විරෝධතාවයක් එල්ල වී ඇති බව පෙනෙන්නට තිබේ. එම විරෝධතාවයේ පරිමාණය සමාජ ජාලා වෙත යොමු කරනු ලබන ලිපි සහ චායා රුප ආශ්‍රිත නිර්මාණ තුලින් මොනවට පෙන්නුම් කෙරෙයි. සංඝ සමාජය වෙත විරෝධතාවය දක්වන්නන්  අතර අන්‍යාගමික පිරිස් අවම වන  අතර එහි මුලටම සිටිනුයේ බෞද්ධ පිරිස්ය.  තවද උපතින් බෞද්ධ නමුත් මේ වනවිට නිරාගමිකයන බවට හැරී සිටිනා  සෑහෙන පිරිසක් ද වෙති.

සිය දුෂණ වසා ගැනීමට අද දින  සංඝයා වහන්සේලා මහමගට ඇද දමනා ලද පිරිස විසින්ම සිය දේශපාලන යාන්ත්‍රණයට එරෙහි වූ සංඝයා වහන්සේලාට එලව එලවා පහර දුන් ආකාරය මතක් කර දීම වටියි. 2004 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව කථානායක තේරීමේ චන්ද විමසීමේදී විරුද්ධ පාක්ෂික අපේක්ෂකයා වූ වී ජ මු ලොකුබණ්ඩාර දිනවීමට කටුයතු කරනා ලද එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වූ සංඝයා වහන්සේලාට පහරදී ඉන් දෙනමකගේ රහසඟ මිරිකා රෝහල් ගතවන තත්වයට පත් කරනා ලද්දේ මේ පිරිස විසින්මය. ඉනිඳු  නොනැවතී රට පුරා සංඝයා වහන්සේලාට  හක් බෙල්ලන්, හක්කු, සිප්පි යනුවෙන් අවමන් කරමින් පෝස්ටර් අලවන ලද්දේද මේ පිරිසමය.  

මේවා සිදුකරනා ලද්දේ බෞද්ධයන් වෙනුවෙන් දිවිහිමියෙන් පෙනී සිටිනා බව සැමවිට කෑමොර දෙන දේපාලන නායකයන් මිස අන්‍යාගමික පිරිස් නොවෙති.  

Sunday, September 17, 2017

පිණ්ඩපාතයේ වැඩමකර ලක්ෂ එක්දහස් හතළිහක් සෙවිය හැකිද?

සිල් රෙදි වංචා කරුවනට අධිකරණය නියෝග කරනා ලද දඩ මුදල මේ වනවිට දේශපාලනික අවස්ථාවාදීනට කදිම දඩ බිමක් නිර්මාණය කර දී ඇත. තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් රාජ්‍ය මුදල් අවභාවිතාවට හවුල්වී සිර දඬුවම් ලබන්නාවූ රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටීම කල යුත්තේ ඔවුන් දඬුවම් ලැබීමට පසුව නොවේ. සත්‍ය වශයෙන්ම ඔවුන් ගැන කැක්කුමක් තිබුනේ නම් නඩුව විභාග කරනා අවස්ථාවේදී අදාළ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටීමේ අවකාශය උදක්ම තිබිණ. නමුත් කලබලවී ඇත්තේ දඬුවම් ලැබීමෙන් අනතුරුව වීම විහිළුවකි.

ලබාදී ඇති දඩ මුදලද ලේසි පහසු එකක් නොවේ. එක අයෙකුට රුපියල් ලක්ෂ 520කි ඉහලම මට්ටමේ රාජ්‍ය නිලධාරියෙකුගේ වැටුප රුපියල් ලක්ෂයකට ආසන්න ගණනකි. ඒ අනුව ගන්නා කල දඩ මුදල වසර 43 ක සම්පුර්ණ වැටුපට සමානය. මෙවන් මුදලක් ගෙවීම දුෂිතයකු නොවනා රාජ්‍ය නිලධාරියකුට සිහිනයක්ම පමණි. අදාළ නිලධාරීන් දුෂණයට පොළඹවන ලද දේශපාලන අධිකාරීනට තමන්ගේ බැංකු ගිනුමින් මේ මුදල ගෙවීමට හැකියාවක් සමහර විට තිබිය හැක. නමුන් එය ගෙවා දැමීම සියතින් වල කපා ගැනීමකි. මන්ද යත් ඔවුන්ගේද නීත්‍යානුකුල ආදායම තුලින් අදාළ මුදල ගෙවීම කෙලෙසකින් වත් සාධාරණීකරණය කල නොහැකි බැවිනි. මුදල ගෙවා දමන්නේ නම් ආදායම ලැබුණු ආකාරය ද  යුතු වන්නේය. පසුගිය රජය සමයේ වරප්‍රසාද ලද ඉහල ආදායම් සහිත ව්‍යාපාරිකයන් ද තමන්ගේ රහසිගත දේශපාලන සම්බන්ධතා එළිදරව් වන බියෙන් මුදල් ලබා දීමට ඉදිරිපත් නොවනු ඇත.

එසේනම් මේ මුදල ගෙවා දැමීමට ඇති එකම ක්‍රමය වන්නේ හිඟන විජ්ජාවය. රට වටේ කැට හොල්ලා මුදල් ලැබුණු බව ප්‍රකාශ කර තමන්ගේ කළු සල්ලි වලින් මුදල ගෙවා දැමීමය. එයද හිතනා තරම් පහසු කාරණයක් නොවන්නේ මේ වෙනුවෙන් ස්වෙච්චා සේවකයන් සොයා ගැනීමේ අපහසුතාවයයි. රැස්වීමකට සහභාගී වන්නට බත් පැකට්ටුව, අරක්කු කාල සහ රුපියල් දාහක් බලාපොරොත්තු වන පාක්ෂිකයන් අතරින් කැට හොල්ලන්නට පිරිස එකතු කර ගතහොත් සිදුවනුයේ කැට අතුරුදහන් වීම පමණි.

ඉහත කාරනා නිසා හිඟන විජ්ජාව ක්‍රියාත්මක කිරීමට යොදාගෙන ඇත්තේ සංඝයා වහන්සේලා වය. උන්වහන්සේලා පිණ්ඩපාතේ වැඩම කර පළමු දිනයේදී රුපියල් එක්ලක්ෂ නවදහස් එකසිය දහයක (රු. 109,110) මුදලක් එකතු කර ගන්නා ලද බව අන්තර්ජාලයේ විවිධ තැන්හි වාර්තා වෙයි. මේ මුදල ගෙවීමට ඇති දඩ මුදල හා සසඳන කල ඉතාමත් සුළු මුදලකි. මේ ආකාරයට මුළු දඩ මුදල් ගෙවීමට නම් එක දිගට දින 953 නැතහොත් වසර දෙකකුත් මාස හතක කාලයක් පිණ්ඩපාතේ වැඩම කිරීමට සිදුවනු ඇත. 

Monday, September 11, 2017

අනුනට සාර්ථකත්වය උගන්වන වංචනිකයන් - 1

යුග ගණනාවක් පුරා සිය මුලික අවශ්‍යතා සපුරාගෙන සරලව දිවි ගෙවූ මිනිසා සංකීර්ණ ජීවන රටාවකට යොමු වුයේ කාර්මික විපලවයෙන් පසුවය. කාර්මික විප්ලවය මිනිසා වෙත බොහෝ පාරිභෝගික භාන්ඩ රැගෙන  ආවේය. මේ පාරිභෝගික භාන්ඩ වෙත ලොල් වූ මිනිසා ඒවා හැකි තරමක් තමන් සතු කරගැනීමට තරඟයකට එළඹුණි. එයටම සමගාමීව වැඩවසම් ක්‍රමය සහ රාජාණ්ඩු ක්‍රමය බිඳ වැටීම තුල මිනිසාට විශාල නිදහසක්ද ලැබුනේය. 

මේ නිදහස් වාතාවරණය තුල සමාජයේ ඕනෑම සාමාජිකයකුට සිය වෙහෙස මගින් ඉහලට ගමන් කිරීමට අවකාශ ලැබිණ. ඉන් ඉක්බිතිව මිනිසා තුල එකිනෙකා පරදවා ඉහලට නැගීමේ ආශාව ඇතිවිය. වැඩි භෞතික වස්තුන් රැස් කරගන්නා පුද්ගලයා සාර්ථක පුද්ගලයකු වශයෙන් හැඳින්වින.මේ නිසා සෑම දෙනාම සාර්ථකත්වය සොයා තරඟයකට පිළිපන්නේය.

තරඟය ඉතාමත් දරුණු එකක් විය. සුළු පිරිසක් තරඟය ජය ගන්නා විට අති බහුතරයක් දෙනා පරාජිතයන් බවට පත් වුහ. නමුත් තවමත් පරාජිතයා තුල තරඟය ජයගන්නා අරමුණ පැවතිණ. 

මෙයින් ඇති කරනා ලද  රික්තය තුල පරාජිතයන් සඳහා සාර්ථකත්වයට මාවත දේශනා කරනා සාස්තෘවරු බිහි විය. ඔවුන් අසාර්ථක මිනිසුනට සාර්ථකත්වයට මග දේශනා කළහ. වඩාත්ම සිත් ගන්නා සුළු කාරණය නම මේ සාස්තෘවරුන් ගෙන් බොහොමයක් දෙනා සාර්ථකත්වය දේශනා කිරීම පටන් ගන්නා අවධිය වන විට බෙහෙවින්ම අසාර්ථක මිනිසුන් වීමය. මිනිසා තුල පවතින සාර්ථකත්වයට ඇති ලෝභය නැතහොත් කෑදරකම මේ සාස්තෘවරුන් මහා ධනවතුන් බවට පත්කරලීය.

උදාහරණයක් වශයෙන් කිවහොත් දියුණුවේ රන් දොරටුව නමින් සිංහලට පරිවර්තනය කරනා ලද Law of Success කෘතියේ සම්පාදකවරයා වන නැපෝලියන් හිල් යනු එම පොත් පෙළ ලියනා අවදිය වන විට කිහිප වතාවක් බංකොලොත් වූ පුද්ගලයෙකි. මුල්‍ය වංචා වලට හසුවූ අයෙකි. නිසි අධ්‍යාපනය හෝ අවසරය නොමැතිව නීතිඥයකු ලෙසින් පෙනී සිටි වංචනිකයෙකි. සිය ජීවිත කාලය තුල තෙවරක් දික්කසාද වූ අයෙකි. නමුත් ඔහු විසින් සාර්ථකත්වය ගැන ලියනා ලද විවිධ පොත් මිලියන 20ත් 50ත් අතර ප්‍රමාණයයන ගෙන් විකිණීමෙන් අලෙවි වාර්ථා තබා ඇත.

සාර්ථකත්වය ගැන දේශනා පවත්වන බොහෝ දෙනෙකුගේ චරිතාපදාන නැපෝලියන් හිල් ට වෙනස් වනුයේ ඉතාමත් සුළු වශයෙනි.

සාර්ථකත්ව සාස්තෘන්ගේ පොත් කියවීමෙන් හෝ දේශනා වලට සවන් දීමෙන් සාර්ථකත්වයට පත්වූ අය ගැන දැනගන්නට නම් නැත. නමුත් දේශකයන් මහා ධනවතුන් වූ  බවට නම් කොතෙකුත් වාර්ථා ඇත. මේ පොත් වලින් මිලියන ගණනක් මිනිසුන් සුරංගනා කතා තුල අතරමං කර දමා ඇත. මිලියන ගණනක් ශ්‍රාවකයන් සහ පාඨකයන් මේ වංචනිකයන් ගේ තවත් වංචාවකට නොදැනුවත්වම සිය මුදල් පුජා කර ඇත.

"සාර්ථකත්වයට ඇති හොඳම මාර්ගය අනුන්ට සාර්ථකත්වයට මාර්ගය ඉගැන්වීමය"

Saturday, September 2, 2017

මොබයිල් දුරකථන වංචාවට ඔබත් හසුවෙලාද?

අසරණ මිනිසුන් මුලා කොට මඩිය තර කරගන්නා වංචා කරුවන් කොතෙකුත් සිටිති. ඔවුන් වංචා සඳහා අනුගමනය කරනා ක්‍රමවේද විවිධාකාරය. බොහෝ වංචා කරුවන් ඉතාමත් සුළු කාලෙකින් හෙළිවී සමාජයේ කළු චරිත බවට පත් වෙති. ඒ අතරම වංචා කරුවනට ඍජුව හෝ වක්‍රාකාරව සහය දී තමන්ටද කොටසක් කඩා ගන්නා තවත් පිරිසක් වෙති. මොවුන් සමාජය ඉදිරියේ සුදු පිරුවට පෙරවාගෙන සිටිනා සමාජයේ සම්මත වැදගත් පිරිසකි. කට්ටඩින්, හූනියම් කරුවන්, වශී කරුවන්, සාස්තර කරුවන්, ස්ත්‍රී රෝග සහ ලිංගික දුබලතා වලට නොවරදින ප්‍රතිකාර ලබාදෙන හොර වෙදුන් වෙනුවෙන් මුදලට දැන්වීම් සහ ලිපි පළකර සිය ආත්මය පාවාදෙන මාධ්‍යවේදීන් සහ පුවත් පත් හිමිකරුවන් සුදු චරිත වංචා කරුවන් අතරින් ප්‍රධානය. 

තාක්ෂණ දියුණුව සමගම වංචා කරුවන් සමග අත්වැල් බැඳගෙන සිටිනා නවතම පිරිස මොබයිල් දුරකථන සමාගම්ය. 

මෙම ලිපියේ ඉහලින් ඇත්තේ එවන් වංචාවක් සඳහා මිනිසුන් ඇදගනීමට ජාතික පුවත් පතක පළකරනා ලද දැන්වීමකි. එහි ඇත්තේ නිවසේ සිට අමතර ආදායමක් ඉපයීමට ක්‍රමය කියාදීම සඳහා අනුගමනය කලයුතු ක්‍රමවේදය යි. එම දැන්වීමට අනුව ක්‍රමවේදය දැනගැනීමට ඉලක්කම් පහකින් යුතු අංකයකට කෙටි පණිවිඩයක් යවා ලියාපදිංචි විය යුතුය. ලියාපදිංචි වන ආයතනයේ නමක්, ලිපිනයක් හෝ දුරකථන අංකයක් දක්වා නැත. දුරකථන සමාගම් දෙකක පාරිභෝගිකයනට පමණක් මෙම සේවාව ලබා දෙන බවද එම දැන්වීමේ සඳහන් වෙයි අවසානයේ අදාළ ගාස්තුවද සඳහන් කොට ඇත. නමුත් දැන්වීමේ පහළින්ම ඇති එම කොටස කියවීමට පියවි ඇසින් නුපුළුවන. 

මේ දැන්වීම දකිනා කවුරුන් හෝ අදාළ අංකයට කෙටි පණිවිඩය යවා ලියාපදිංචි වුයේ නම් මසකට රුපියල් 30 ක මුදලක් සහ එයට අදාළ බදු මුදල දුරකථන අංකයේ බිලට එකතු වෙයි. ලියා පදිංචි වන විට එය අවලංගු කිරීමට භාවිතා කලයුතු කෙටි පණිවිඩ අංකය ලබා දෙන බවද කිව යුතුය. එම අංකය නැතිවුයේ නම් ලියා පදිංචිය අවලංගු කිරීම සඳහා දුරකථන සමාගමේ වෙබ් අඩවියට ලොග් වීම හෝ පාර්භෝගික සේවා මධ්‍යස්ථානය ඇමතිය යුතුය. නැතහොත් දුරකථන සමාගමේ කාර්යාලයකට යා යුතුය. 

දුරකථන සමාගමේ වෙබ් අඩවියට ගොස් ලියාපදිංචිය අවලංගු කිරීම තරමක තාක්ෂණික ක්‍රියාවලියකි.  දුරකථන සමාගමේ පාර්භෝගික සේවා අංශයට කථාකර පාර්භෝගික සේවා නිලධාරියකු අල්ලාගැනීම සමහර විට විනාඩි පහක් පමණ ගතවන කාරියකි. සම්බන්ධ වුවද බොහෝ විට සිදු වන්නේ දුරකථනය විසන්ධි වීමය. 

ලියාපදිංචි වූ අයකුට වරින් වර අදාළ සේවාව පිලිබඳ කෙටි පණිවිඩ ලැබෙයි. ඉන් සමහරක තොරතුරු දන ගැනීම සඳහා පිවිසිය යුතු වෙබ් අඩවියට පිවිසීමට කේතය ලැබෙයි. කෙටි පණිවිඩ කිහිපයක් ලැබීමෙන් පසුව කිසිදු විස්තරයක් ලැබෙන්නේ නැත. නමුත් අදාළ ලියාපදිංචිය අවලංගු කරනා තෙක්ම මසකට රුපියල් 30ක් සහ බදු මුදල අදාළ දුරකථන අංකයෙන් අය වෙයි. මෙලෙස අයකරගන්නා මුදල අදාළ වංචා කරුවා සහ දුරකථන සමාගම අතර කුමන ප්‍රතිශතයකින් බෙදී යන්නේද අප නොදනිමු. නමුත් මුදල අය වන්නේ දුරකථන සමාගම හරහාය. 

වංචා කරුවන් විසින් මෙවන් පුවත් පත් දැන්වීම් පලකිරීමට අමතරව දුරකථන සමාගම් වලට මුදල් ගෙවා අලෙවි ප්‍රවර්ධන ඇමතුම් මුවාවෙන් මෙවන් වංචාකාරී සේවාවන් සඳහා අදාළ සමාගමේ පාරිභෝගිකයන් ලියාපදිංචි කරවයි. සමහර දුරකථන සමාගම් වල ප්‍රවර්ධන ඇමතුම් වලට එක අංකයක් එබීමෙන් පමණක් ලියාපදිංචි විය හැක. මෑතකදී මා හටද ඉන්දික කොඩිතුවක්කු ගෙන් දිනපතා පලාපල දැනගැනීම සඳහා මෙවන් වංචාකාරී සේවාවකට ලියාපදිංචි වන ලෙස පාර්භෝගික සේවා ඇමතුමක් ලැබිණ. 

මේ ලිපිය කියවන ඔබද නොදැනුවත්වම එවන් වංචා වලට හසුවී වසර ගණනාවක් තිස්සේ වංචා කරුවන් සහ දුරකථන සමාගම් පොහොසත් කරමින් ඉන්නවා වන්නට පුළුවන. එබැවින් වහාම ඔබගේ දුරකථන සමාගමේ පාරිභෝගික සේවා අංශය අමතා එවන් වංචනික සේවා වලට ලියාපදිංචි වී ඇතිදැයි සොයා බලා ලියාපදිංචිවූ වංචනික සේවාවන් ඇති නම් ඒවා අවලංගු කරදමා ඔබගේ වටිනා මුදල් ආරක්ෂා කර ගන්න.