Saturday, September 2, 2017

මොබයිල් දුරකථන වංචාවට ඔබත් හසුවෙලාද?

අසරණ මිනිසුන් මුලා කොට මඩිය තර කරගන්නා වංචා කරුවන් කොතෙකුත් සිටිති. ඔවුන් වංචා සඳහා අනුගමනය කරනා ක්‍රමවේද විවිධාකාරය. බොහෝ වංචා කරුවන් ඉතාමත් සුළු කාලෙකින් හෙළිවී සමාජයේ කළු චරිත බවට පත් වෙති. ඒ අතරම වංචා කරුවනට ඍජුව හෝ වක්‍රාකාරව සහය දී තමන්ටද කොටසක් කඩා ගන්නා තවත් පිරිසක් වෙති. මොවුන් සමාජය ඉදිරියේ සුදු පිරුවට පෙරවාගෙන සිටිනා සමාජයේ සම්මත වැදගත් පිරිසකි. කට්ටඩින්, හූනියම් කරුවන්, වශී කරුවන්, සාස්තර කරුවන්, ස්ත්‍රී රෝග සහ ලිංගික දුබලතා වලට නොවරදින ප්‍රතිකාර ලබාදෙන හොර වෙදුන් වෙනුවෙන් මුදලට දැන්වීම් සහ ලිපි පළකර සිය ආත්මය පාවාදෙන මාධ්‍යවේදීන් සහ පුවත් පත් හිමිකරුවන් සුදු චරිත වංචා කරුවන් අතරින් ප්‍රධානය. 

තාක්ෂණ දියුණුව සමගම වංචා කරුවන් සමග අත්වැල් බැඳගෙන සිටිනා නවතම පිරිස මොබයිල් දුරකථන සමාගම්ය. 

මෙම ලිපියේ ඉහලින් ඇත්තේ එවන් වංචාවක් සඳහා මිනිසුන් ඇදගනීමට ජාතික පුවත් පතක පළකරනා ලද දැන්වීමකි. එහි ඇත්තේ නිවසේ සිට අමතර ආදායමක් ඉපයීමට ක්‍රමය කියාදීම සඳහා අනුගමනය කලයුතු ක්‍රමවේදය යි. එම දැන්වීමට අනුව ක්‍රමවේදය දැනගැනීමට ඉලක්කම් පහකින් යුතු අංකයකට කෙටි පණිවිඩයක් යවා ලියාපදිංචි විය යුතුය. ලියාපදිංචි වන ආයතනයේ නමක්, ලිපිනයක් හෝ දුරකථන අංකයක් දක්වා නැත. දුරකථන සමාගම් දෙකක පාරිභෝගිකයනට පමණක් මෙම සේවාව ලබා දෙන බවද එම දැන්වීමේ සඳහන් වෙයි අවසානයේ අදාළ ගාස්තුවද සඳහන් කොට ඇත. නමුත් දැන්වීමේ පහළින්ම ඇති එම කොටස කියවීමට පියවි ඇසින් නුපුළුවන. 

මේ දැන්වීම දකිනා කවුරුන් හෝ අදාළ අංකයට කෙටි පණිවිඩය යවා ලියාපදිංචි වුයේ නම් මසකට රුපියල් 30 ක මුදලක් සහ එයට අදාළ බදු මුදල දුරකථන අංකයේ බිලට එකතු වෙයි. ලියා පදිංචි වන විට එය අවලංගු කිරීමට භාවිතා කලයුතු කෙටි පණිවිඩ අංකය ලබා දෙන බවද කිව යුතුය. එම අංකය නැතිවුයේ නම් ලියා පදිංචිය අවලංගු කිරීම සඳහා දුරකථන සමාගමේ වෙබ් අඩවියට ලොග් වීම හෝ පාර්භෝගික සේවා මධ්‍යස්ථානය ඇමතිය යුතුය. නැතහොත් දුරකථන සමාගමේ කාර්යාලයකට යා යුතුය. 

දුරකථන සමාගමේ වෙබ් අඩවියට ගොස් ලියාපදිංචිය අවලංගු කිරීම තරමක තාක්ෂණික ක්‍රියාවලියකි.  දුරකථන සමාගමේ පාර්භෝගික සේවා අංශයට කථාකර පාර්භෝගික සේවා නිලධාරියකු අල්ලාගැනීම සමහර විට විනාඩි පහක් පමණ ගතවන කාරියකි. සම්බන්ධ වුවද බොහෝ විට සිදු වන්නේ දුරකථනය විසන්ධි වීමය. 

ලියාපදිංචි වූ අයකුට වරින් වර අදාළ සේවාව පිලිබඳ කෙටි පණිවිඩ ලැබෙයි. ඉන් සමහරක තොරතුරු දන ගැනීම සඳහා පිවිසිය යුතු වෙබ් අඩවියට පිවිසීමට කේතය ලැබෙයි. කෙටි පණිවිඩ කිහිපයක් ලැබීමෙන් පසුව කිසිදු විස්තරයක් ලැබෙන්නේ නැත. නමුත් අදාළ ලියාපදිංචිය අවලංගු කරනා තෙක්ම මසකට රුපියල් 30ක් සහ බදු මුදල අදාළ දුරකථන අංකයෙන් අය වෙයි. මෙලෙස අයකරගන්නා මුදල අදාළ වංචා කරුවා සහ දුරකථන සමාගම අතර කුමන ප්‍රතිශතයකින් බෙදී යන්නේද අප නොදනිමු. නමුත් මුදල අය වන්නේ දුරකථන සමාගම හරහාය. 

වංචා කරුවන් විසින් මෙවන් පුවත් පත් දැන්වීම් පලකිරීමට අමතරව දුරකථන සමාගම් වලට මුදල් ගෙවා අලෙවි ප්‍රවර්ධන ඇමතුම් මුවාවෙන් මෙවන් වංචාකාරී සේවාවන් සඳහා අදාළ සමාගමේ පාරිභෝගිකයන් ලියාපදිංචි කරවයි. සමහර දුරකථන සමාගම් වල ප්‍රවර්ධන ඇමතුම් වලට එක අංකයක් එබීමෙන් පමණක් ලියාපදිංචි විය හැක. මෑතකදී මා හටද ඉන්දික කොඩිතුවක්කු ගෙන් දිනපතා පලාපල දැනගැනීම සඳහා මෙවන් වංචාකාරී සේවාවකට ලියාපදිංචි වන ලෙස පාර්භෝගික සේවා ඇමතුමක් ලැබිණ. 

මේ ලිපිය කියවන ඔබද නොදැනුවත්වම එවන් වංචා වලට හසුවී වසර ගණනාවක් තිස්සේ වංචා කරුවන් සහ දුරකථන සමාගම් පොහොසත් කරමින් ඉන්නවා වන්නට පුළුවන. එබැවින් වහාම ඔබගේ දුරකථන සමාගමේ පාරිභෝගික සේවා අංශය අමතා එවන් වංචනික සේවා වලට ලියාපදිංචි වී ඇතිදැයි සොයා බලා ලියාපදිංචිවූ වංචනික සේවාවන් ඇති නම් ඒවා අවලංගු කරදමා ඔබගේ වටිනා මුදල් ආරක්ෂා කර ගන්න.

10 comments:

  1. ඉතා වටිනා දැනුවත් කිරීමක්

    ReplyDelete
  2. ජැක්ලින්ගෙ *** ගැන අප්ඩේට් එන්න ගත්ත. මම කිව්ව කරුණාකර ජැක්ලින්ගෙ *** ගැන අප්ඩේට් එවන්න එපා මට අවශ්‍ය නෑ දැනගන්න කියල. මේ සමහර සේවා වලට ඔටෝ සබ්ස්ක්‍රයිබ් වෙන විදියට තියෙන්නෙ. උන් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමාරුයි. රී ලෝඩ් දාල දවසෙන් දෙකෙන් සල්ලි ඉවරයි. අපි නම් කොළඹ නිසා ලන්ච් ටයිම් එකේ හරි ගිහින් මේ ජාවරම ගැන හොයල බලනව. ඈත පලාතක කෙනෙක් නිවාඩු දාගෙන මුන්ගෙ හෙඩ් ඔෆිස් එකට එන්න එපායැ. කස්ටම කෙයා එකට කෝල් අරන් මේක කරන්න බෑ උන්ගෙ රෙකෝඩ් එකක් යන්නෙ අරක ඔබන්න මේක ඔබන්න කියනකොට ලේ පයින්ට් එකක් පිච්චෙනව.

    දිගටම මේ සෙල්ලම ගියොත් සිම් එක අල්ල විසි කරනව. ඔෆිස් එකේ ඉන්ටනෙට් වලින් අවශ්‍ය දේ කරගන්න පුලුවන්. ගෙදරට ඉන්ටනෙට් ඕන නෑ.
    රෑට රෑට කෙහෙල්කන් කපන හොරු මීට වඩා නම්බුකාරයිනෙ.

    ReplyDelete
    Replies
    1. කථාව සම්පූර්ණ ඇත්ත.
      මගේ දෙවෙනි ලයින් එක වෙන මොබිටෙල් පෙර ගෙවුම් සම්බන්ධතාවයට මේ වගේ රෝගයක් හැදිලා තියෙන්නේ.

      දැන් දින කීපයකට උඩදී දැමූ රු 200 ට දිනකට පසු වූ දෙයක් සොයා ගැනීමට නැති විය. දැන් එය සුව කර ගන්නා තෙක් රී ලොඩ් දැමීම නවතා ඇත.

      Delete
  3. ඕකනං මාරම ලෙඩක් තමයි. සමහර වෙලාවට අපි ඩි ඇක්ටිවේට් කළත් එහෙම වෙන්නැති වෙලාවලුත් තියෙනව.
    මමනං නිවුස් ඇලට් ඇර වෙන කිසිම දෙයක් ෆෝන් එකට දාගෙන නෑ.

    ReplyDelete
  4. ගොඩාක් වටිනව. දැනුවත් කලාට ස්තූතියි

    ReplyDelete
  5. Mobile Company auto subscribe wennna link ewanawa hithawathiyak mathaama

    GameZone..kimania
    Unsubscribe code den na
    Minissu laksha ganakin Loku black money profit

    Mekata Loku wanchawak

    ReplyDelete
  6. දැනුවත් කිරීමට ස්තුතියි , අදමයි ගොඩ උණෙන් මේ පැත්තට

    ReplyDelete
  7. තව සෙල්ලමක් තමයි මොබිටෙල් එකෙන් ** අමාරුවට එවන මළ විකාර SMS, ඒවා කැන්සල් කරන්න ගිහින් OK වෙච්චි ගමන් බඩු බනිස් !

    වැරදිලා මටත් කිහිප විටක්ම වෙලා තියනවා :(

    ReplyDelete