Friday, September 16, 2016

රජයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රමාදය වැලැක්වීම සඳහා විද්‍යුත් ප්‍රසම්පාදනය - බලධාරීන්ගේ අවධානය පිණිසයි.

යහපාලන රජය පත්වූ පසුව රටේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රමාදයක් ඇතිබව බහුතරයක් මහජනතාවගේ චෝදනාවකි. එහි සත්‍යයක් නැත්තේ නොවේ. මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති පමණක් නොව බොහොමයක් රජයේ ආයතන වල එදිනෙදා ක්‍රියාකාරකම් වලද විශාල ප්‍රමාදයක් දක්නට ලැබෙයි.

මෙයට හේතුව රජයේ ව්‍යාපෘති බොහොමයක් ප්‍රසම්පාදන ක්‍රියාදාමය තුල සිරවීමය. දැනට බලපවත්නා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය වසර 10කට ඉහත 2006 වසරේ සම්පාදනය කරනා ලද්දකි. එවකට පිහිටුවා තිබූ ජාතික ප්‍රසම්පාදන නියෝජ්‍යායතනය (National Procurement Agency) මගින් සම්පාදනය කරනා ලද මෙම ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය (Procurement Guidelines) සහ ප්‍රසම්පාදන කාර්ය සංග්‍රහය (Procurement Manual) ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය ආයතන බොහෝ දුෂ්කරතාවනට පත්වේ. එයට හේතුව වනුයේ මෙම ප්‍රසම්පාදන රෙගුලාසි මෙරට අවශ්‍යතාව අධ්‍යනය නොකොට සාදා තිබීමය. එය මහා පරිමාන ව්‍යාපෘති සඳහා සකස් කරන ලද ලෝක බැංකු ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ අමුම අමු කොපියකි. දැනට අනුගමනය කරනා මෙම රෙගුලාසි ස්වභාවයෙන්ම අකාර්යක්ෂම රාජ්‍ය අංශයට කාලය කා දැමීම සඳහාම සකස් කරනා ලද්දක් බව පෙනේ.

පසුගිය රාජපක්ෂ සමයේ මෙම ප්‍රසම්පාදන රෙගුලාසියම යොදවාගෙන මිලදී ගැනීම් වේගවත්ව කරගෙන යාමට අපුරු ක්‍රමවේදයක් භාවිතා කෙරින. එනම් කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව ආයතන බලධාරීන්ගේ හෝ දේශපාලන බලධාරීන්ගේ හිතවතුනට කොන්තරාත් පැවරීමය. පසුව ප්‍රසම්පාදන මාර්ගෝපදේශයට අනුව පෙර දාතම යෙදු ලිපි ගොනු සකස් කෙරින. මෙම ක්‍රමවේදය ටෙන්ඩර වංචා වලට මගපාදන ලද බොහෝ සෙයින් දුෂිත ක්‍රමයක් වුවද මිලදී ගැනීමේ ක්‍රියාදාමය බෙහෙවින් වේගවත් විය. 

කෙසේ නමුත් පවත්නා යහපාලන රජයට ස්වකීය ඉලක්ක වෙත ලඟා වීමට නම් ප්‍රසම්පාදන ක්‍රියාවලිය වේගවත් කලයුතුය.  මේ සඳහා ප්‍රසම්පාදන රෙගුලාසි රජයේ ආයතනවල අවශ්‍යතාවට අනුව සංශෝධනය කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. යුරෝපය පමණක් නොව ඉන්දියාව ඇතුළු වෙනත් රටවල් රාශියක්  ප්‍රසම්පාදනය සඳහා යොදාගනු ලබන අන්තර්ජාලය මත පදනම් වූ විද්‍යුත් ප්‍රසම්පාදනය  (e-procurement ) මෙරටට හඳුන්වා දිය යුතුය. මෙරට සියලුම ආයතන ආවරණය වන විද්‍යුත් ප්‍රසම්පාදන අඩවියක් (e-Procurement Web Portal) ස්ථාපිත කිරීම සඳහා වැය වනුයේ රුපියල් මිලියන 300ක පමණ මුදලකි. ඉන්දියානු මෘදුකාංග සමාගම් රාශියක් මෙවන් ප්‍රසම්පාදන අඩවි නිර්මාණයේ යේදී සිටිනා අතර බොහෝ ඉන්දියානු ප්‍රාන්ත රජයන් විසින් ප්‍රසම්පාදනය සදහා ඒවා යොදා ගනිති.

රජයේ සංවර්ධන කටයුතු ප්‍රමාදයට මුලික හේතුවක් බවට පත්ව ඇති ප්‍රසම්පාදන ක්‍රියාවලිය නව තාක්ෂනය උපයෝගීකරගෙන විද්‍යුත් කරණය සඳහා බලධාරීන්ගේ අවධානය යොමුකිරීම රජයේ පැවැත්ම තවත් ස්ථාවර කිරීමට හේතු වනු ඇත.

ප.ලි. :- ලියුම්කරු විසින් දැනට වසරකට පමණ පෙර මේ සම්බන්ධව අන්තර්ජාලය පදනම් කරගත් අධ්‍යනයක් සිදුකල අතර මෙරටට ගැලපෙන විසඳුමක් සඳහා පිරිවිතර (Terms of Reference) මුලික මට්ටමින්  සකස් කර ඇත. ලියුම් කරු ප්‍රසම්පාදනය සම්බන්ධව පවත්වාගෙන යන Procurement World Wide බ්ලොග් අඩවියෙහි 2015 ඔක්තෝම්බර් මස පල කරනා ලද Terms of Reference for e-Prcourement Web Portal බ්ලොග් ලිපිය තුලින් එයට පිවිසිය හැක.

Monday, September 12, 2016

ණය උගුලින් ගැලවීමට අගමැතිවරයා දරන ප්‍රයත්නය සිහිනයක් නොවීමට නම්....

එක්සත් ජාතික පක්ෂ 70 වන සංවත්සර සමුළුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පවසා සිටියේ වසර 2020 වන විට ශ්‍රී ලංකාව ණය බරින් නිදහස් කරගන්නා බවය. එම ප්‍රකාශය අග්‍රාමාත්‍ය වරයාගේ කථාවෙහි වැදගත්ම අංගය බව නොකිවමනාය. ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත්වීම අපේක්ෂා කරන සැමගේම ප්‍රයත්නයන් මල්ඵල දැරීමට නම් මෙම ණය උගුලෙන් ගැලවිය යුතුම ය.

නමුත් ප්‍රශ්නය වන්නේ පවතින රාජ්‍යතාන්ත්‍රික  පරිසරය තුල එම ඉලක්කය කරා ලඟා වීමට අගමැති වරයා ප්‍රමුඛ රජයේ දේශපාලන අධිකාරියට හැකියාවක් තිබේද? යන්නයි. පසුගිය දශකයේදී කිසිදු පාලනයකින් තොරව ලබාහන්නා ලද මෙම ණය බර අඩුකරලීමට නම් රටේ නිෂ්පාදනය ඉහල නැංවීම සහ නව අදායම් මාර්ග වෙත ප්‍රවිෂ්ඨ වීම අනිවාර්‍යයෙන්ම සිදු කලයුතු අතර රටේ මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කලයුතුය.

මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති සහ ආයෝජන ව්‍යාපෘති  වල විශාල ප්‍රමාදයක් දක්නට ලැබෙයි. එයට ප්‍රධාන හේතුව ලෙසින් නීති සහ රෙගුලාසි ඉදිරියට දමාගත් ඉබි ගමන් රාජ්‍ය සේවය දැක්විය හැක. එයට අමතරව, රාජපක්ෂ රෙජීමයේ දුෂිත වන්දිභට්ට නිලධාරීන් තවදුරටත් යහපාලන රජයේ ඉහලම තනතුරු දරති. නිලධාරීන් මෙන්ම උපදේශකයන්ද වශයෙන් වැටුප් සහ වෙනත් දීමනා ලබති. මෙම චරපුරුෂයින් යහපාලන රජයේ ව්‍යාපෘති ප්‍රමාද කරති. කඩාකප්පල් කරති. ඔවුහු FCID ය පලිහක් කරගෙන ඉන්නා බවක් දක්නට ලැබෙයි. සියලුම FCID පරීක්ෂණ පැවැත්වෙනුයේ රාජපක්ෂ රෙජීමයේ වංචා සහ දුෂණ වලට එරෙහිව මිස සංවර්ධන ව්‍යාපෘති වලට එරෙහිව නොවන බව පැහැදිලිව දක්නට ලැබුනද ඕවා කරලා අපිට FCID යාමට නොහැකි බව මන්තරයක් සේ ජප කරති. ඉන් නොනැවතී රජයට තර්ජනද කරති. අගමැතිවරයා පසුගිය දිනෙක එම තර්ජන වලට දැක්වූ ප්‍රතිචාරය ප්‍රසංශනීය බවද කිව යුතුය.

මෙම තත්වය යටතේ අගමැති වරයාගේ ප්‍රයත්නය වසර 2020 දී සාර්ථක වීමට නම රාජ්‍ය සේවයේ කඩිනම් ප්‍රතිසංස්කරණයක් සිදු කල යුතුය. නැතහොත් ණය උගුලින් ගැලවීම සිහිනයක්ම පමණක් වනු ඇත.

Wednesday, August 17, 2016

චීන ආයෝජන සමුළුව සහ රටේ කර්මාන්ත ප්‍රතිපත්තිය.

අගමැති රනිල් වික්‍රමසිංහ විසින් හම්බන්තොට යෝජිත කර්මාන්ත කලාපය සඳහා  චීනයේ ආයෝජකයන් ගෙන්වාගැනීමට මූලික වීම විශිෂ්ඨ ක්‍රමෝපායික ප්‍රගමනයකි. ලොව බොහෝ  රටවල නිෂ්පාදිතය ඉහල නැවීමට චීන ආයෝජන දරන දායකත්වය සුළුපටු නොවේ. නුතන ලෝකයේ නිෂ්පාදන තාක්ෂනය (Production Technology) අතින් ඉහලින්ම සිටිනුයේ චීන කර්මාන්ත කරුවන්ය. චීන නිෂ්පාදන තාක්ෂනය මගින් නිෂ්පාදන පිරිවැටුම අවම අගයකට පත් කර අඩු මිල භාන්ඩ සැපයීම මගින් චීන කර්මාන්ත කරුවන් ජගත් වෙළෙඳපල ජයගෙන ඇත.

ශ්‍රී ලංකාවේ චීන කර්මාන්ත ඇරඹීම තුලින් ශ්‍රම ඵලදායිතාව ගැන එතරම් හැගීමක් නොමැති දේශීය කර්මාන්ත කරුවනට ආරම්භයේදී තර්ජනයක් ඇති වුවද දීර්ඝ කාලීනව ශ්‍රම ඵලදායිතාව ඉහල නැංවීම රටේ නිෂ්පාදනයට හොඳ අනාගතයක් ඇතිවීමට හේතු වනු ඇත.

අප මෙහිදී සැලකිය යුතු ප්‍රධාන කරුණ වන්නේ අපගේ කර්මාන්ත ප්‍රතිපත්තිය මහා පරිමාන ආයෝජන වලට හිතකර ද යන කරුණය. යම් නිෂ්පාදනයක් හෝ සේවාවක් සඳහා ආයෝජනය කිරීමට බලා පොරොත්තු වන ආයෝජකයනට ඉතා කෙටි කාලයකදී අදාල අනුමැතීන් ලබාදීමට හැකි ක්‍රමවේදයක් සකස් කිරීම රජය විසින් ජය ගත යුතු අභියෝගයකි. මින් පෙර මෙරටට පැමිණි ආයෝජකයිනට අනුමැතිය ලබාගැනීමේදී ඇතිවන පමාව ඔවුන්ගේ ආයෝජන වෙනත් රට වලට ඇදී යාමට හේතු වූ බව රහසක් නොවේ. ඒ සඳහා ඕනෑතරම් උදාහරණ ඇත.

කර්මාන්ත සඳහා අනුමැතිය ලබාගැනීමේ ක්‍රමවේදයේ ප්‍රධාන සහ වැදගත්ම අංගය පාරසරික ඇගයීම් ක්‍රමවේදය ය. එය රටක් ලෙසින් සලකන කල ඉතාමත් වැදගත් අවශ්‍යතාවකි. නමුත් එය සඳහා දැනට පවතින ක්‍රමවේදය තුල අවම වශයෙන් මාස නවයක කාලයක් ගතවේ. මෙම මාස නවය තුල වැඩිම කාලයක් වනුයේ අනුමැතිය ලබාදෙන රාජ්‍ය ආයතනවල සිදුවන ප්‍රමාදයි. සමහරවිට යම් ලේඛනයක් භාරදුන් පසුව එයට අදාල රැස්වීම තැබීමට මාසයකට අධික කාලයක් වැයවෙයි. කලයුතු වන්නේ රජයේ ක්‍රියාවලිය ඉක්මන් කිරීමය. පාරිසරික ඇගයීම ක්‍රමවේදය මාස හතරකට අඩු කිරීම ප්‍රායෝගිකව කල හැක. තවද පවතින ක්‍රමවේදයේ මහජන අදහස් විමසීම සඳහා පමණක් දින 45ක කාලයක් ගතකරයි. එය දින 15 ක කාලයකට අඩු කල හැක.

කර්මාන්ත ඇරඹීමේදී පාරිසරික ඇගයීම් ක්‍රමවේදයට අමතරව ලබා ගත යුතු තවත් අනුමැතීන් අවම වශයෙන් 10ක් පමණ වේ. මේ ක්‍රියාදාමය තුල  සිදු වනුයේ වසර දෙකක් වැනි කාලයක් අනුමැතිය සඳහා ආයෝජකයිනට බලා සිටීමට සිදුවීමය. අවසානයේ කලකිරීමට පත්වන ආයෝජකයින් සිය ආයෝජන වෙනත් රටවලට ගෙනයති.  අනුමැතිය සඳහා ගතවන කාලය  මාස හයකට අඩු කරගත හැකිනම් රටට ආයෝජකයන් ලෙහෙසියෙන් ආකර්ශනය කරගත හැකි වනු ඇත.

මේ සම්බන්ධව ලියුම්කරුගේ යෝජනා දෙකකි එනම්,
1. ආයෝජන සඳහා අනුමැතිය ලබාදීම සඳහා බල තල සහිත විශේෂිත කාර්යාංශයක් අගමැතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ඇතිකිරීම.
2. වීශේෂිත කර්මාන්ත කලාප ඇතිකොට ඒවායේ  ආරම්භ කළහැකි කර්මාන්ත හඳුනාගෙන එම කර්මාන්ත සඳහා මුලික පාරිසරික අධ්‍යන රජය මගින් සිදුකිරීමෙන් අනතුරුව ආයෝජකයනට ආරාධනා කිරීම
යන කරුණුය.

Sunday, August 14, 2016

සයිටම් (SAITM) විරෝධය සහ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය

සයිටම් අද දින දේශපාලන කරලියේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් ව ඇත. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය වැනසෙනවා කියමින් මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල වසා දමන ලෙස අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය සහ රජයේ වෛද්‍ය නිලධාරී සංගමය  ප්‍රමුඛ පිරිසක් රජයට බල කරති. මෙම සිදුවීම් මාලාවම මෙයට පෙර උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන්ද දක්නට ලැබිණ. එහිදීද ඉදිරියට දමාගෙන තිබුනේ නිදහස් අධ්‍යාපන කප්පාදුව යන ජනප්‍රිය සටන් පාඨයයි. අවසානයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් රැසකගේ ජීවිත බිලිගනිමින් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාල රජයට පවරා ගැනින.

දන් ප්‍රශ්නය උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය රජයට පවරාගැනීමෙන් නිදහස් අධ්‍යාපනය සුරැකුනිද යන්නයි. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගත් නමුත් වෙනත් ක්ෂේත්‍ර වල අධ්‍යාපනය සඳහා පුද්ගලික අධ්‍යාපන ආයතන විශාල සංඛ්‍යාවක් පිහිටුවින. ඒවාට ගෙවීමට හැකියාව ඇති පවුල්වල දරුවන් විවිධ ක්ෂේත්‍ර වල උපාධිධාරීන් වුහ. තවත් පිරිසක් විදේශ අධ්‍යාපනය ලබා ගත්හ.

නිදහස් අධ්‍යාපනය ගැන කථිකාවේදී බොහෝ දෙනෙකු නොමිලේ අධ්‍යාපනය සහ නිදහස් අධ්‍යාපනය පටලවාගෙන ඇත. රාජ්‍ය විශ්ව විද්‍යාල වල නොමිලේ ලබාදෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවය, නුතන තාක්ෂණය සහ රැකියා වෙළෙඳපොල සමග අධ්‍යාපනයේ ඇති සමාන්තර භාවය ගැන කිසිවකු කතා නොකරති. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරවරුන් සහ විද්‍යා උපාධිධාරීන් සුළු ප්‍රමාණයක් සමගින් කලා උපාධිධාරීන් අති විශාල ප්‍රමාණයක් රජයේ විශ්ව විද්‍යාල මගින් සෑම වසරකම සමාජ ගත කරති. මේ අතරින් බහුතරයක් කලා උපාධිධාරීනට රැකියා අවස්ථා නොලැබී රැකියා ඉල්ලා උද්ඝෝෂණ කරති. හේතුව වී ඇත්තේ විෂය ධාරාව රැකියා වෙළඳපොල සමග සමපාත නොවීමය.
පවත්නා අධ්‍යාපන ක්‍රමය යටතේ වෛද්‍ය හෝ ඉංජිනේරු පීඨයකට ඇතුළුවීමට සුදුසුකම් ලැබීමට ඇත්තේ ඉමහත් තරඟයකි. මේ තරගය ජය ගැනීමට ඉහල අධ්‍යාපන මට්ටමක් සහිත පාසලක් මෙන්ම විශාල මුදලක් වැයකර අතිරේක පන්ති වල අධ්‍යාපනය ලබාගැනීමේ හැකියාව තිබිය යුතුය.  මෙයට අවශ්‍ය සාමාජීය සහ ආර්ථික හැකියාව ඇත්තේ ඉහල මධ්‍යම පාන්තිකයන් වෙතය. පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්ව ජනප්‍රිය පාසල් වලට අතුලත් වන පහල මධ්‍යම පාන්තික පවුල් වල දරුවන් සුළු ප්‍රමාණයකට ද තරඟයට මුහුණ දීමේ හැකියාව ලැබේ. ඉහල ආදායම් ලාභී පවුල් වල දරුවන් බොහොමයක් විදෙස් අධ්‍යාපනයට යොමුවන අතර තරඟයට මුහුණ දීමට නොහැකි අඩු ආදායම් ලාභී පවුල් වල දරුවන් කලා විෂය ධාරාව වෙත යොමු වෙති. අමතරව රටේ බහුතරයක් පාසල් වල විද්‍යා විෂය ධාරාව උගන්වන්නේද නැත.

මේ අනුව අධ්‍යාපනය නිදහස් යනුවෙන් හැදින්වුවද එය නිදහස් අධ්‍යාපනයක් නොවේ. ඕනෑම දරුවකුට තමන් කැමති ක්ෂේත්‍රය වෙත යොමුවීමට ප්‍රවේශ මාර්ගය අහිමි කොට ඇත. පහල මධ්‍යම පාන්තික සහ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවනට තමන් කැමති ක්ෂේත්‍රය වෙනුවට උසස් පෙළ සූදුව තුලින් ගාල් කරනු ලබන ක්ෂේත්‍රය තෝරා ගැනීම හැර විකල්පයක් නැත.මේ අනුව රටේ පවතිනුයේ නිදහස් අධ්‍යාපනය නොව නොමිලේ දෙන අධ්‍යාපනයකි.

මෙම විෂම ක්‍රමය යටතේ, රටේ බදු ගෙවන සමස්ථ ජනතාවගේ මුදලින් නොමිලේ අධ්‍යාපනය ලබන වෛද්‍ය, ඉංජිනේරු සහ විද්‍යා උපාධිධාරීන්ගෙන් සැලකිය යුතු පිරිසක් රට හැරයති. කලා උපාධිධාරීන් රැකියා ඉල්ලා අරගල කරති. නොමිලේ ඉගෙනගෙන රට හැර යන්නවුන් වෙනුවෙන් සහ රටේ මහා මාර්ග අවහිර කරන්නවුන් වෙනුවෙන් සමස්ථ ජනතාවම බදු ගෙවති.

මෙයට විසඳුම වනුයේ උසස් පෙළ සූදුව අත්හැර දැමීමය. උසස් පෙළ අවම මට්ටමින් සමත් වන සියළුම සිසුනට තමන්ට කැමති ක්ෂේත්‍රයක් තෝරා ගැනීමට නිදහස ලබාදීය යුතුය. මේ සඳහා නොමිලේ ලබා දෙන අධ්‍යාපන ක්‍රමයෙන් ඉවත්ව රටේ සෑම දරුවකුටම තමන් කැමති ක්ෂේත්‍රයේ උපාධිය,  රාජ්‍ය හෝ පෞද්ගලික විශ්ව විද්‍යාල වෙතින් ලබාගැනීමට අධ්‍යාපන ණයක් ලබා දිය යුතුය. 

Saturday, August 13, 2016

කොළඹ ජ්‍යාත්‍යන්තර මුල්‍ය නගරය සහ වෙනස් කලයුතු ජාතික ඉඩම් ප්‍රතිපත්තිය

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය කොළඹ ජ්‍යාත්‍යන්තර මුල්‍ය නගරය නමින් නැවත ක්‍රියාත්මක කිරීම සඳහා ගිවිසුම් ගතවීම සතුටට කරුණකි. අක්කර 500කින් යුතු මෙම ව්‍යාපෘතිය පවත්නා රජය යටතේ තාවකාලිකව අත් හිටුවනු ලදුව නැවත වැඩ අරඹනුයේ නිසි පාරසරික අධ්‍යනයක් සමගම රටට අහිතකර කොන්දේසියක් වූ පෙරදී ආයෝජකයනට ලබාදුන් සින්නක්කර භුමි අයිතිය  ඉවත් කර අනූ නව අවුරුදු බදු පදනම යටතේවීම සාධනීය තත්වයකි. වරාය නගර ව්‍යාපෘතිය තුලින් ලැබෙන විදේශ ආයෝජන, තාක්ෂනය, ප්‍රවර්ධන වටිනාකම, රැකියා උත්පාදන අවස්ථා මෙන්ම අනාගතයේදී ව්‍යාපාර ආරම්භ කලවිට ලැබෙන විදේශ විනිමය මෙරටට විශාල ප්‍රතිලාභ ගෙනදෙනු ඇත.

ශ්‍රී ලංකාවේ භුමි ප්‍රමාණය සමග සසඳන කල අක්කර 500ක් යනු ඉතාමත් කුඩා භුමි ප්‍රමාණයකි. නමුදු අක්කර  පන්සියයක ව්‍යාපෘතියක් සඳහා මුහුද ගොඩකිරීම වැනි අතිශය පාරිසරික සංවේදී ක්‍රියාවකට යොමුවීමට හේතුව වී ඇත්තේ රටේ ඉඩම් නොතිබීම යැයි පැවසීම මුසාවකි. එය රටේ ඉඩම් ප්‍රතිපත්තිය පිලිබඳ ප්‍රශ්නයකි. මහා පරිමාන ව්‍යාපෘති සඳහා සුදුසු භුමි ප්‍රදේශ රට වටා කොතෙකුත් ඇත. නමුත් එම සියලුම ප්‍රදේශයන් පුද්ගලික හිමිකරුවන් අතර ඉතා කුඩා කොටස් ලෙසින් බෙදී ගොසිනි. ආර්ථික වශයෙන් ඉතා සංවේදී ස්ථානවල අනර්ඝ ව්‍යාපාරික වටිනා කමින් යුතු ඉඩම් තුල කොත්තු කඩ, ෆාමසි, විදුලි උපකරණ අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථාන වැනි විශාල ආර්ථික අගයක් උත්පාදනය නොවන ව්‍යාපාර පවත්වාගෙන යනු දක්නට ලැබේ. උදාහරණයක් ලෙස කොල්ලුපිටිය ගාළුපාරේ පවත්වාගෙන යනුලබන ව්‍යාපාර පෙන්වාදිය හැක. එම ප්‍රදේශයේ විශාල ඉඩමක පර්චසයක් රුපියල් මිලියන 10ක පමණ ඉහල වෙළෙඳ වටිනා කමකින් යුතු වුවද කුඩා ඉඩම් වලට එවන් වටිනා කමක් ඇත්තේ නැත. දැනට පවත්වාගෙන යන ව්‍යාපාර සඳහා විශාල ආදායමක් ලැබෙන බවක්ද  දකින්නට නැත. එවන් ආර්ථික වශයෙන් සංවේදී පෙදෙස් රටට විශාල ආදායමක් ලබාගත හැකි ආයෝජන කලාපයන් බවට පත් කළහැකි ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කිරීමද නොපමාව සිදුකළ යුතුය.





Sunday, April 3, 2016

Happy Music Team - පැරණි මතකයන් සමග...........

අද ඉරිදා. දැනට ටික කාලයකට ඉස්සර නම් ඉරිදා කියන්නේ සංගීතයෙන් පිරුණු දවසක්. උදේ දහයට විතර් පටහ ගන්න සංගීත පුහුණුව ඉවර වෙන්නේ හවස තුනත් පහුවෙලා. දැන් ටික කාලයකට සංගීත පුහුණුව නවත්තල තියෙන්නේ. මේ අවුරුද්දේ ලොකු පුතා උසස් පල කරනවා. ලබන අවුරුද්දේ දෙවැනි පුතා උසස් පෙළ. ගෙදර සංගීත භාණ්ඩ ටික ඔක්කොම පුස් කකා උඩ බලාගෙන ඉන්නවා.

කම්මලිකමට ඉන්න අතරේ පරණ කරපු ප්‍රසංගයක වීඩියෝවක් බැලුවා. මේ ප්‍රසංගය කරේ 2014 අග විතර. ගමේ ධර්ම දුත ළමා සමාජයට අරමුදල් එකතු කරන්න පවත්වපු මේ ප්‍රසංගයට ලොකුපුතා ගායනා කරපු ගීතයක වීඩියෝවක් පහතින් තියෙනවා. මේ ප්‍රසංගයට පියානෝ වාදනය කරන්නේ ලක්ෂාන් මල්ලි.  එයා තමයි කණ්ඩායම පුහුණු කරලා සංගීත අධ්‍යක්ෂණය කරන්නේ. බේස් ගිටාරය වාදනය කරන්නේ දෙවෙනි පුතා. පොඩි පුතා ඩ්‍රම්ස් වාදනය කරනවා.
ආයෙත් සංගීත ප්‍රසංග කරන්න වෙන්නේ අගෝස්තුවෙන් පස්සේ.

Wednesday, March 30, 2016

රොක් සංගීතයේ ඉතිහාසය



මෙතෙක් දම්පාට දේදුන්නෙහි සංගීත චාරිකාවක් ලිපි පෙළ තුල ලියවුනේ ගායකයන්, සංගීත ශිල්පීන්, සංගීත කණ්ඩායම් සහ ඔවුන්ගේ නිර්මාණ පිලිබඳවය. අද පටන්ගන්නා මෙම ලිපි පෙළ පුරා විවිධ  සංගීත ශෛලීන්හි ඉතිහාසය පිළිබඳව ලියැවෙනු ඇත.

රොක් සංගීතයේ ඉතිහාසය පිළිබඳව පිළිගත් නිශ්චිත මතයක් පලවී නොමැත. පළමු රොක් ගායකයා කවුරුද යන්න මෙන්ම පළමු රොක් ගීතය කුමක්ද යන ප්‍රශ්න දෙකට බොහෝ මතවාද පවතියි. කෙසේ නමුත් රොක් සංගීතය බිහිව ඇත්තේ පැරණි ආර් ඇන්ඩ් බී සංගීතය කන්ට්‍රි සහ බටහිර සංගීතය සමග මුසුවීමෙන් බව පිළිගත් මතයයි.
රොක් සංගීතයේ ආරම්භක වකවානුවද අවිනිශ්චිතය. වෙනත් සංගීත ශෛලීන් ජනප්‍රියව තිබු විසිවන සහ තිස් වන දශකයන්හි පවා කන්ට්‍රි සහ බටහිර ගීත කිහිපයක රොක් ඇන්ඩ් රෝල් ශෛලීයේ මුලික කොටස් නිරීක්ෂණය කළහැක.

රොක් ඇන්ඩ් රෝල් වාක්‍ය ඛණ්ඩය නැතහොත් යෙදුම මුල් යුගයේ භාශාත්මකව යොදවාගෙන ඇත්තේ සෘන්ගාත්මක අර්ථයකිනි. මෙම වාක්‍ය ඛණ්ඩය අර්ථ දෙකකින් යොදාගෙන ඇති බව පෙනේ. එනම් නර්තනය සහ මෙවුන්දමය. ගීතයක මෙම වාක්‍ය ඛණ්ඩය මුල් වරට යොදාගෙන ඇත්තේ ට්‍රික්සි ස්මිත් ගේ “My baby rocks me with one steady roll.” නම්වන 1920 වසරේ එළිදැක්වූ නිර්මාණයහිය. කෙසේ නමුත් මුල් වරට රොක් ඇන්ඩ් රෝල් යෙදුම භාවිතා කර ඇත්තේ ඔහියෝහි ඩී.ජේ. ශිල්පියකු වූ ඇලන් ෆ්‍රීඩ් විසිනි. එතැන් පටන් රොක් සංගීතය විධිමත් මගකට යොමුවූ බව විචාරකයන්ගේ මතයයි.

බිල් බෝඩ් දර්ශකය තුල ස්ථාන ගතවූ පාලමු රොක් ගීතය ලෙස සැලකෙනුයේ බිල් හාලේ ගේ Rock around the clock නම් ගීතයයි.

රොක් සංගීතයේ ඉතිහාසය පුරා වෙනත් කිසිදු සංගීත ශෛලීයක ට වඩා ජනප්‍රිය තාරකා බිහිව ඇත. ඒ අතරින් මුල් යුගයේ ජනප්‍රිය ගායකයන් ලෙස බිල් හාලේ,  චුක් බේරී සහ ලිටල් රිචර්ඩ් නම්කළ හැක. මෙම පැරණි ජනප්‍රිය ගායකයන්ගේ ගීත සංගීත ලෝකය කළඹවමින් රොක් සංගීතය ජනප්‍රියත්වයේ හිනිපෙත්තට ගෙන ඒමට මගපාදා ඇත.
   


Chuck Berry



Little Richard


Bill Harley



Monday, March 28, 2016

බීමත්කමේ දුර්විපාක



දුක කාට ද?
කාලකණ්ණිකම කාට ද?
අඬදබර කාට ද?
මැසිවිලි කාට ද?
නිකරුණේ තුවාළ කාට ද?
රතු ඇස් කාට ද?

සුරා බෝතලය ළඟ පමා වන මිනිසාට ය.
තව තවත් මත්පැන් බොන්න යන මිනිසාට ය.

මද්‍යසාරය රතට රතේ දිළිසෙන විට,
වීදුරුවෙහි පෙණ දමන විට,
ලස්සනට වැක්කෙරෙන විට,
ඒ දෙස නොබලන්න.

අන්තිමේ දී එය, නයෙකු මෙන් සපා කයි;
පොළඟෙකු මෙන් දෂ්ට කරයි.

එවිට ඔබේ ඇස අද්භූත දේ දකියි;
ඔබේ කට විලම්බීත දොඩවයි.

එවිට ඔබ මුහුද මැද ඒ මේ අත පෙරළෙන කෙනෙකු මෙන් ද
කුඹ ගස මුදුනේ නිදන්න හදන කෙනෙකු මෙන් ද වනු ඇත.

එවිට ඔබ මෙසේ කොඳුරනු ඇත:
” ‘
ඔවුන් මට පහර දෙන්නට ඇත,
නමුත් මට රිදුණේ නැත.
ඔවුන් මට ගසන්නට ඇත,
නමුත් මට දැනුණේ නැත.
කොයි වේලේ මා අවදි වේ ද?
එවිට මම තව උගුරක් බොමි.’ ”

ශුධවූ බයිබලය - හිතෝපදේශ 23:18