Tuesday, May 30, 2017

සිංහල රජකු චීනයට පැහැරගෙන ගිය ෂෙන්-හෙ නම් සෙන්පතියා

චීනයේ මිං රාජවංශයේ පාලන සමයේ විසු ෂෙන් හේ (Zheng He) දේශ ගවේෂකයකු, රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම නාවික හමුදා අද්මිරාල් වරයකු විය. මොන්ගෝලියාවේ යුනාන් හි මුස්ලිම් ආගමික පවුලක් උපන් ඔහු පසු කලෙක ආගමික සංකලනයක් (Syncretism) තුල ජීවත් විය. ඔහුගේ මුතුන් මිත්තන් පර්සියාවේ සිට මොන්ගෝලියානු අධිරාජ්‍යයේ සේවයට පැමිණියාහු වෙති. චීනයේ මිං රාජ වංශය යුනාන් ආක්‍රමණය කළ අවදියේදී චීන හමුදා විසින් එකොලොස් හැවිරිදි ෂෙන් හේ අත්අඩංගුවට ගෙන ඔහුගේ පුරුෂ ලිඟුව කපා දමා චීන අධිරාජයාගේ සතර වන පුත්‍රයා වූ "ෂූ ඩෙ" (Zhu Di) ගේ නිවසේ සේවයට යොදවා ඇත.

"යොංගල්" අධිරාජයා ලෙසින් කිරුල පලන්  ෂු ඩෙ කුමාරයා  චීන අධිරාජයා බවට පත්වීමෙන් පසුව රාජ සභාවේ ඉහළ තනතුරක් ෂෙන් හේ ට ලැබිණ. පසුව යොංගල්" අධිරාජයා විසින් පිහිටුවන ලද අති විශාල නාවික හමුදාවේ අද්මිරාල් ධුරයකට  ෂෙන් හේ පත් විණ.

චීන ජාතිකයන් විසින් වසර 1405 සහ 1433 අතර වටිනා වස්තුන් සොයා දියත් කරනා ලද නාවික මෙහෙයුම් (Treasure oyages) හතෙහි අද්මිරාල් වරයා ෂෙන් හේ විය. මින් පළමු මෙහෙයුම් තුන ඉන්දියාවේ කැලිකට් වෙත දියත් කෙරිණ. මේ කාලය තුල ආසියානු සහ අප්‍රිකානු රටවල් 30කට ඔහු සංචාරය කළ අතර කිලෝමීටර් ලක්ෂයකට වැඩි දුරක් ගමන් කළේය. ෂෙන් හේ ගේ නාවික බල ඇණිය නැව් 300ක යාත්‍රා කළ නාවිකයන් 27,000 කින් යුක්ත විය. 

ෂෙන් හේ ගේ මෙම ගවේෂණය කොලොම්බස් ඇමරිකාව සොයා ගැනීමට වසර 87 කට පෙර සිදුකරනා ලද්දක් මෙන්ම මැගලන්ගේ ලොව වටා සංචාරයට වසර 114කට පෙර සිදුකරන්න ලද්දකි. 

කොළඹ කෞතුකාගාරයේ තැන්පත්
කර ඇති ෂෙන් හේ ගේ සෙල් ලිපිය 
මෙම නාවික මෙහෙයුම් අතරතුර ෂේන් හේ විසින් සය වතාවක් ලංකාවට පය තැබූ බව කියවෙයි. ඉන් තෙවන වතාවේදී ඔහු විසින් ගාල්ලේ සෙල් ලිපියක් පිහිටුවා ඇත. 1911වසරේදී සොයාගන්නා ලද එම ලිපියහි චීන පර්ශියන් සහ දෙමල භාෂා තුනෙන් අකුරු කොටා ඇත. 

චීන භාෂාවෙන් කොටා ඇති ලිපියේ දැක්වෙන්නේ කන්දේ පිහිටි බෞද්ධ ආරාමයට ලබා දුන් පඬුරු විස්තරයයි. පර්ශියන් භාෂාවෙන් අල්ලා දෙවියනට ලබා දුන් පඬුරු සහ දෙමල භාෂාවෙන් තෙනවරයි නායනර් නම් දෙමල දෙවියනට ලබා දුන් පඬුරු පිලිබඳ ලැයිස්තුව සඳහන් වෙයි. භාෂා තුනකින් සංස්කෘති තුනක් සහ ආගමික දර්ශණ තුනක් සම්බන්ධව කරුණු හෙලිකරනා මෙම සෙල් ලිපිය චීනයේ මිං අධිරාජ්‍යයන් ගේ බහු සංස්කෘතික ලැදියාව පෙන්නුම් කරයි.

ෂෙන් හේ ගේ නැවෙහි ආකෘතියක් 
ෂෙන් හේ  ලංකාවට පැමිණෙන අවධිය වන විට මෙරට පැවතියේ ගම්පොල රාජධානි සමයයි. ශ්‍රී දන්ත දාතුන් වහන්සේ ගම්පොල රාජධානියේ වැඩසිටි බැවින් එය රටේ අග නගරය වශයෙන් සැලකුවද එසමයේ රට පුරා රාජධානි රැසක් පැවතියේය. ලංකාවේ බටහිර වෙරළේ පැවතියේ රයිගම් රාජධානියයි. රයිගම් රාජධානිය යනු ගැලණිගම, බණ්‌ඩාරගම, වීදාගම ලෙසින් මේ වනවිට හැඳින්වෙන ප්‍රදේශයයි. මෙම රයිහම් රාජධානියේ පාලකයා වීර අලකේශ්වර නම් රජෙකු බවට සද්ධර්මරත්නාකරය සාක්ෂි දරයි. තවත් මුලාශ්‍ර වල වීර අලකේශ්වර කෝට්ටේ රාජධානියේ පාලකයා බව කියවෙයි. ( මේ සම්බන්ධව ඉතිහාසය මැනවින් දන්නා පාඨකයනට කරුණු තහවුරු කරනා ලෙස ඉල්ලා සිටිමු)

ෂෙන් හේ ගේ නැව සහ කොලොම්බස් ගේ නැව
අතර සංසන්දනය
ඉන්දියාවේ කැලිකට් වරාය වෙත ගමන් කිරීමේ අරමුණින් ෂෙන් හේ ගේ නායකත්වයෙන් යුතුව වසර 1405 ජුලි මස 11 වැනි දින පිටත් වූ චීන නාවික හමුදාව ගමනේ අතරමගදී ලංකාවට ගොඩබැස ඇත. එම හමුදාව ගොඩ බට ප්‍රදේශයේ පාලකයා වූ වීර අලකේශ්වර ඔවුනට දැක්වූ විරෝධතාව හේතුවෙන් ෂෙන් හේ ප්‍රමුඛ නාවික හමුදාව ලංකාවෙන් පිටත්ව කැලිකට් වෙත ගමන් කර ඇත. 

වසර 1411දී නැවත ලංකාවට පැමිණෙන ෂෙන් හේ එවර රයිගම් රාජධානියට පහරදී වීර අලකේශ්වර රජුව චීනයට පැහැරගෙන ගොස් ඇත. ලංකාවේ වංශ කථා වන්හි මෙම සිද්ධිය නිසි ලෙස වාර්ථා වන්නේ නැත. නමුත් චීන රාජ සභාවේ එදිනෙදා කටයුතු පිලිබඳ වන  "මින් ෂිලු" (Ming Shilu) නමින් හැඳින්වෙන වාර්ථා වල වීර අලකේශ්වර සම්බන්ධ සටහන් දක්නට ලැබෙයි. 

ක්‍රි.ව. 1411 ජුලි මස 6 වැනි දින "මින් ෂිලු" වාර්ථා

  • නපුංසක "ෂෙන්-හෙ" සහ අනෙක්‌ අය විවිධ රටවල තානාපතීන් ලෙස බටහිර සමුද්‍රයට යවන ලද අතර ලංකාවෙන් අල්ලා ගන්නා ලද "යා-ලීකු-නා-යිර් (ya-lier-ku-nai-er) රජු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් අද දින රාජ සභාවට ඉදිරිපත් කරන ලදි. පෙර දිනක "ෂෙන්-හෙ" ලංකාවට පැමිණි විට "යා-ලීකු-නා-යිර්" ඔහුට අගෞරව වන ලෙසත් අපහාසාත්මක ලෙසත් හැසිරෙන ලදී.
  • "මේ "යා-ලී කු-නා-යිර්" තමන්ගේ අසල්වැසි රටවලට සතුරු ලෙස ක්‍රියා කරන අතර ඔවුන්ගේ තානාපතිවරුන්ට බාධා පමුණුවමින් භාණ්‌ඩ සොරකම් කිරීමක්‌ කරන ලදී. ඔහුගේ මෙම ක්‍රියාවන් නිසා අපගේ මිත්‍ර රටවල් පීඩා විඳින ලදී. නැවත පසු කලෙක "ෂෙන්-හෙ" පැමිණිවිට ලංකාවේ රජු උපක්‍රමශීලී ලෙස ඔහු රට තුළට ඇතුළු කරගන්නා ලදී. මෙවිට රජු රහසිගතව පන්දහසක හමුදාවක්‌ "ෂෙන්-හෙ" බඩු කොල්ල කෑමට එවන ලදී. ඔවුන් ගස්‌ කපා දමා "ෂෙන්-හෙ"ට නැවත නැව් කරා යැමට ඉඩ නොදුන්නේය."
  • "ෂෙන්-හෙ" පුද්ගලිකවම දෙදහසක හමුදාවක්‌ සමග වෙනත් අඩි පාරක්‌ ඔස්‌සේ ගොස්‌ රාජකීය නගරයට හදිසියේ පහර දෙන ලදි. එහිදී ඔවුන් අගනුවර යටත්කරගත් අතර "යා-ලී කු-නා-යිර්", ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ නායකයන්ද, ජීවග්‍රහයෙන් අල්ලා ගන්නා ලදි. "ෂෙන්-හෙ" ඔවුන් සමග චීන රාජ සභාවට පැමිණෙන ලදී."

ක්‍රි.ව.1412 අගෝස්‌තු මස 20 වැනි දින "මින් ෂිලු" වාර්ථා

  • "යේ-බා-නේ-නා" (ye-ba-nai-na) ලංකාවේ රජු ලෙස පත්කරන ලදී. මීට ප්‍රථම "යා-ලී කු-නා-යිර්" නමැති ලංකාවේ රජු විසින් සිදුකරනලද විවිධ වැරදි ක්‍රියා නිසා අත්අඩංගුවට ගන්නා ලද අතර, අධිරාජයා විසින් ඔහු වෙනුවට ඔහුගේ ඥතියකු වන සුදුසු පුද්ගලයකු එම රටේ පාලකයා ලෙස පත් කරන ලෙස නියෝග කරන ලදි.
  • මෙම අවස්‌ථාවේ දී රැස්‌ව සිටි ඇමැතිවරුන් ඉල්ලා සිටියේ "යා-ලීකු-නා-යිර්" මරණයට පත්කරන ලෙසයි. එවිට අධිරාජයා මෙසේ පැවැසීය. මිනිසුන් සහ මිතුරන්, කුරුල්ලන් සහ සත්වයින් වැනිය. ඔවුන්ට අනවශ්‍ය ලෙස දඬුවම් දීමෙන් පලක්‌ නැත. මෙම අධිරාජයා ඔහුට සමාව දී නැවත ඔහුගේ රටට පිටත්කර යවන ලදි.

මෙලෙස චීන සහ ඉන්දියන් සාගර වල පරාක්‍රමය පෑ අද්මිරාල් ෂෙන් හේ වස්තුව සොයා ගිය හත් වන මුහුදු ගමන අවසානවී ටික කාලෙකින් 1433 වසරේදී කැලිකට් හිදී මියගිය බව කියවේ. තවත් වාර්තාවකින් කියවෙන්නේ නැන්ජිං හි නගරාරක්ෂක වශයෙන් සේවය කරමින් සිටියදී වසර 1435දී මිය ගිය බවය 

මුලාශ්‍ර 
Zheng He: A Peaceful Mariner and Diplomat <http://www.china.org.cn/english/features/zhenhe/134661.htm>

චීන සෙන්පති 'ෂෙන් හෙ' රයිගම රජු පැහැරගෙන චීනයට ගෙන යයි <http://www.divaina.com/2015/09/02/badada01.html>

Ming–Kotte War <https://en.wikipedia.org/wiki/Ming–Kotte_War>

Treasure voyages <https://en.wikipedia.org/wiki/Treasure_voyages>

Zheng He <https://en.wikipedia.org/wiki/Zheng_He>

Galle Trilingual Inscription <https://en.wikipedia.org/wiki/Galle_Trilingual_Inscription>

Sunday, May 28, 2017

නැණවත් ඛාන් හෙවත් කුබ්ලායි ඛාන් චීන අධිරාජ්‍යයා

වසර 1215 දී මොන්ගෝලියාවේ උපන් කුබ්ලායි ඛාන් සිය මුත්තනුවන් විසින් පිහිටුවන ලද මොන්ගෝලියානු අධිරාජ්‍යයේ බලයට පත්වන විට ඔහුට වයස හතලිස් පහක් විය. ඔහුගේ පාලනය සිය පුර්වගාමීනට වඩා වෙනස් විය. යුද්ධයෙන් යටපත් කර ගන්න ලද දේශයන් හි මිනිසුන් වෙත සිය බල පරාක්‍රමය යොදවා පෙලනු වෙනුවට ඔවුන්ගේ සංස්කෘතියට ගරු කිරීම එය මහා සංස්කෘතියට එක කර ගැනීම කුබ්ලායි ඛාන්ගේ ක්‍රමවේදය විය. ඔහු විසින් දකුණු චීනයේ සොං රාජ වංශය යටත් කර ගැනීමත් සමගම මුළු චීන දේශයේම පාලකයා බවට පත්වූ ප්‍රථම මොන්ගොලියානුවා බවට පත් විය.

මොන්ගෝලියානු රජ පවුලක උපන් ඔහු කුඩා කාලයේම දක්ෂ සටන්කරුවකුද, අසුන් පැදවීමේ මෙන්ම දඩයමේද දක්ෂයෙකු විය.  එයට අමතරව චීන සංස්කෘතිය සහ දර්ශනවාදය වෙත නැඹුරුව ඒවායේද ප්‍රවීනත්වය ලබා ගත්තේය. කුබ්ලාන් ඛාන්ගේ සොයුරු මොන්න්ජිකේ (Möngke) වසර 1251දී මහා ඛාන් අධිරාජ්‍යයා බවට පත් විය. අධිරාජයා කුබ්ලායිට උතුරු චීනය භාරදුන් පසුව ඔහු චෙන්දු හි උතුරු අග නගරය තනා ගත්තේය.

1259 වසරේදී මොනන්ජිකේ අධිරාජයා යුද්ධයේදී මරු මුවට පත් විය. අනතුරුව ඔහුගේ බාල සහෝදරයා වූ අරික් බෝක් (Ariq Böke) මොන්ගෝලියානු අග නගරයේ බලය තහවුරු කරගන රාජකීය පවුල් කැඳවා තමා මහා ඛාන් වශයෙන් නම් කරවා ගත්තේය. මේ බව දැනගත් කුබ්ලායි ඛාන් අග නගරයට පැමිණ තමා මහා ඛාන් බවට ප්‍රකාශකළේය. සහෝදරයන් දෙදෙනා අතර කිරුළ සඳහා වූ අරගලය 1260 වසරදී සිවිල් යුද්ධයකට මග හෙළි කළේය. අවසානයේදී කුබ්ලායි ඛාන් චෙන්දු නගරයේදී ජයග්‍රහණය ලබා මහා ඛාන් අධිරාජ්‍යයා වශයෙන් මොන්ගෝලියානු අධිරාජ්‍යයේ බලය තහවුරු කර ගත්තේය.

බුද්ධිමතකු වූ කුබ්ලායි ඛාන් අධිරාජ්‍යයා සිය මුතුන් මිත්තන් ගෙනගිය දරදඬු පාලනය අත්කළේය. ඔහු දේශයේ අගනගරය වශයෙන් එකල දාඩු (Dadu) වශයෙන් හැඳින්වුන චීනයේ බීජිං  ප්‍රදේශය තෝරාගත්තේය. ඔහුගේ පරිපාලන ව්‍යුහය අධිරාජ්‍යයේ විවිධ ප්‍රදේශ වල පවතින සංස්කෘතිය සමග සමගාමී වන ලෙසින් සකස් කළේය.  රට තුල යටිතල පහසුකම් මහා පරිමාණයෙන් දියුණු කළේය. චීනයට කඩදාසි මුදල් හදුන්වා දුන් අතර බටහිර සමග වෙළෙඳ සබඳතා තහවුරු කළේය.

කුබ්ලායි ඛාන් විසින් චීනයට නව සමාජ සැකැස්මක් හඳුන්වා දුන්නේය. මොන්ගෝලියානු ප්‍රභූ පන්තිය සහ විදෙස් වෙළෙඳුන් බදු වලින් නිදහස් කළේය. උතුරු සහ දකුණු චීන ජනතාව අධිරාජ්‍යයේ ශ්‍රමය බවට පත් කළේය.

කුබ්ලායි ඛාන් ගේ කරුනාශීලී ආධිපත්‍යය නිසා ඔහුව ජනතාව විසින් "නැණවත් ඛාන්" ලෙසින් හැඳින්වූහ. කෙසේ වෙතත් ඔහුගේ උන්නතිකාමය නිසා මොන්ගෝලියානු අධිරාජ්‍යයේ පවතින දේශ සීමා පුළුල් කෙරීමට කටයුතු කළේය. වසර 1267 දී මහා ඛාන් අධිරාජ්‍යයා දකුණු චීනයේ සොං රාජ වංශය යටපත් කර ගැනීමේ ක්‍රියාන්විතය ආරම්භ කළේය. ඒ සඳහා වන ගමන් මාර්ගය අතිශය ගැඹුරැ බෑවුමෙන් යුක්ත විය. අශ්වාරෝහක බල ඇණි වලට එම බෑවුම් සහිත ප්‍රදේශයේ ගිරි දුර්ග තරණය දුෂ්කර ව්‍යායාමයක් විය. මෙවිට "නැණවත් ඛාන්" සිය මුලෝපාය වෙනස් කළේය. අති විශාල නාවුක බල ඇණියක් බලමුළු ගන්වා දකුණු චීනය මුහුදින් ආක්‍රමණය කළේය. අනතුරව 1279 වසරේදී සොං රාජ වංශය යටපත් කර දමා සමස්ථ චීන දේශයේම අධිරාජ්‍යයා බවට කුබ්ලායි ඛාන් පත්විය.


සමස්ථ චීනයේම අධිරාජ්‍යයා බවට පත්වීමෙන් අනතුරුව ඔහු විසින් යුවාං රාජ වංශය ආරම්භ කළේය. එම රාජ වංශයේ ප්‍රථම මෙන්ම වඩාත් සාර්ථකම පාලකයා කුබ්ලායි ඛාන් විය. මෙම රාජ වංශය ගලාගෙන ගියේ ඉතාමත් කෙටි කාල සීමාවක පමණි 1368 දී ක්විං රාජ වංශය ඇරඹීමත් සමග එය අහෝසි විය.

කුබ්ලායි ඛාන්ගේ චීන කේන්ද්‍රික ප්‍රතිපත්ති අධිරාජ්‍යය සාර්ථකත්වය කරා ගෙනගියේය. නමුත් එම ප්‍රතිපත්ති ඔහුට එරෙහිව මොන්ගෝලියානු ප්‍රභූ පැලැන්තියෙන් සතුරන් බිහිකරලීය. මොන්ගොලියානුවකු වූ කුබ්ලාන් ඛාන් අධිරාජ්‍යයේ අග නගරය මොන්ගොලියාවෙන් පිටතට ගෙන ඒමත් මොන්ගෝලියානු රාජ වංශය අවසන් කර චීනයේ නව රාජ වංශයක් ඇරඹීමත් නිසා මොන්ගෝලියානු ප්‍රභූන් පැවසුවේ ඔහු පාවා දෙන්නෙකු බවය. නමුත් මේ කුමන්ත්‍රණ කාරීන් කිසිවකු සාර්ථකත්වයට පත් වුයේ නැත.

කුබ්ලායි ඛාන් විසින් ජපානය, බුරුමය, ජාවා වැනි රටවල් අල්ලා ගැනීම සඳහා කරනා ලද මෙහෙයුම් අසාර්ථක විය. විශාල නාවික හමුදා මේ මෙහෙයුම් වලදී ස්වභාවික විපත් වලට ලක් විය. එම ක්‍රියාන්විත සඳහා දරනා ලද අධික පිරිවැය නිසා අධික බදු බරක් පහල පන්තියේ චීන ජනතාව වෙත පැටවිණ.

කෙසේ වෙතත් කුබ්ලායි ඛාන් වෙත තිබූ අධිරාජ්‍යය පුළුල් කිරීමේ අභිලාශය වෙනස් නොවිණ. වසර 1281 දී චීන සහ මොන්ගෝලියානු සොල්දාදුවන් ලක්ෂයක් රැගත් නැව් 4400ක හමුදාවක් කුනාටුවකට හසුවී ජපන් මුහුදේදී අතුරුදහන් විය.

අවසන් කාලයේදී සිදුවූ යුධ පරාජයන් මෙන්ම සිය බිරිඳ සහ වැඩිමහල් පුත්‍රයාගේ වියෝව වැනි පුද්ගලික කරදර හේතුකොට ගෙන කුබ්ලායි ඛාන් තදින් බීමට ඇබ්බැහි විය. ඔහු අධික ලෙස ආහාරද ගත්තේය. මේ නිසා අධික ලෙස තරබාරු වී රක්තවාතයට ගොදුරුවිය. අවසානයේදී වසර 1294 පෙබරවාරි 18 දින කුබ්ලායි ඛාන් අධිරාජ්‍යයා සදහට දෙනෙත් පියා ගත්තේය.

මුලාශ්‍ර
https://www.biography.com/people/kublai-khan-9369657
https://www.abc.se/~pa/mar/kublai.htm

Wednesday, May 24, 2017

ශ්‍රී ලාංකීය කිතුනු සභාව තුල විප්ලවවාදියා - තිස්ස බාලසුරිය පියතුමා

කිතුනු සභාව තුල විප්ලවාදියෙකු වශයෙන් නම් කල හැකි තිස්ස බාලසූරිය පියතුමා සමාජ සාධාරණත්වය යුක්තිය උදෙසා ක්‍රියා කරනා ලද එඩිතර පුරෝගාමියෙකු වශයෙන් හැඳින්විය හැක. මෙරට සමාජය දැඩි පීඩනයට පත් කල 71 කැරැල්ල, 80 වැඩ වර්ජනය, 83 කළු ජුලිය වැනි අඳුරු යුග වලදී වින්දිතයා වෙනුවෙන් එතුමන් සිදු කරනා ලද මැදිහත් වීම බොහෝ දෙනෙකු නොදන්නා නමුදු අතිශය ප්‍රසංශනීය වේ. එතුමන් විසින් මෙහෙයවන ලද කොළඹ ඩීන්ස් පාරේ සමාජීයිය සහ සාමයික කේන්ද්‍රය පීඩාවට පත් වූවන්ට, සමාජ වෙනසක්, ප්‍රගතියක්, අපේක්ෂා කරන්නවුන්ට කදිම වේදිකාවක් විය. 

ගරු තිස්ස බාලසූරිය පියතුමා වසර 1924 අගෝස්තු මස 29 දින විලියම් සහ වික්ටෝරියා යුවලට දාව අනුරාධපුර කහටගස්දිගිලිය ගමේ උපන්නේය. සිය මුලික අධ්‍යාපනය මීගමුව මාරිස්ටෙලා විදුහලෙන්දයාපනය සාන්ත පැට්‍රික් විදුහලෙන්ද ලබා ගත එතුමන් පසුව සිය ද්වීතීක අධ්‍යාපනය ලදුයේ කොළඹ සාන්ත ජෝසප් විදුහලෙනි.

ඉගනීමේ දක්ෂයකු වූ තිස්ස බාලසුරිය තරුණයා අනතුරුව ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළු විය. ඒ වනවිට ඔහු දාහත්වන වියේ පසුවිය. වයස විසි එකේදී ඔහු අර්ථ ශාස්ත්‍රඥයකු ලෙසින් ලංකා විශ්ව විද්‍යාලයෙන් පිටවුයේ ඛාන් රන් පදක්කමද දිනා ගනිමිණි. 1945ක් වූ එම වසරේදීම ඔහු පුජකයකු වීම සඳහා පුහුණුවට ඇතුලත් විය. 

පුජකවරය සඳහා පුහුණුවන සමයේ රෝමයේ ග්‍රෙගෝරියානු විශ්ව විද්‍යාලයෙන් දර්ශණවාදය සහ දේවධර්මය උගත් අතර අනතුරුව ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට ඇතුලත් වුයේ කෘෂි ආර්ථික විද්‍යා පශ්චාත් උපාධිය හැදෑරීම සඳහාය. 

ඔක්ස්ෆර්ඩ් විශ්ව  විද්‍යාලයේ අධ්‍යාපන ක්‍රමවේදය තුල ධනවාදය ප්‍රවර්ධනය කරනා ආකාරය ගැන කලකිරීමට පත්වූ මෙම තරුණ පුජක සිසුවා ඉන් ඉවත්ව ප්‍රංශයේ කතෝලික විද්‍යාථනයේ (Institut Catholic) සහ පැරිස් විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලදුයේය. 

මෙලෙසින් ලද උසස් අධ්‍යාපනය හේතුවෙන් වසර 1960 පමණ වන විට එතුමන් ඇරිටෝටලියානු දර්ශනවාදය (Aristotelian philosophy) සහ තෝමියානු දේවධර්මවාදය (Thomas theology) සදහටම අත්හල බව පසුකලෙක පවසා ඇත. එතුමන් විසින් සම්පාදිත කෘති සහ ලිපි ප්‍රමාණය දහසකට ආසන්නය.

තිස්ස බාලසුරිය පියතුමාගේ ජීවිතය ප්‍රධාන වශයෙන් ආයතන දෙකක් තුල ගත කළේය. ඉන් පළමුවැන්න වූ ඇක්වයිනස් විද්‍යාලයට 1953 වසරේදී ලේඛකාධිකාරී වශයෙන් බැඳුන එතුමන් වසර  1953 දී එහි ප්‍රධාන පුජක තනතුරට (Rector) පත් විය   බාලසුරිය පියතුමන්ගේ පාලන කාලයේදී ඇක්වයිනස් ආයතනය විශාල දියුණුවක් ලදුයේය. ආයතනයේ විෂය ධාරාවට තාක්ෂණය ව්‍යාපාර අධ්‍යනය, නීතිය සහ කෘෂිකර්මාන්තය ඇතුලත් පාඨමාලා එක කෙරිණ. එතුමන්ගේ කාලයේදී ගාමිණි දිසානායක, වාසුදේව නානායක්කාර ලුෂන් රාජකරුණා වැනි පසු කලෙක ප්‍රසිද්ධියට පත් පුද්ගලයන් ඉගෙනුම ලදහ. 

වසර 1971දී එතුමන් ඇක්වයිනස් විද්‍යාලයෙන් ඉවත්ව සමාජයික සහ සාමයික කේන්ද්‍රය (Centre for Society and Religion) පිහිටවූහ.

නිර්භය සමාජ ක්‍රියාකාරිකයෙකු වූ එතුමන් 1971 අප්‍රේල් කැරැල්ලේදී තරුණ ඝාතනයට එරෙහිව නැගී සිටි අතර ඉන් අනතුරුව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගෙන සිටි තරුණයින් වෙනුවෙන් පෙනී සිටියේය. එලෙසින්ම 1980 මහා වැඩවර්ජනයේදි වැඩ අත්හළ සේවකයින් වෙනුවෙන් පෙනී සිටියේය. ජාතික සමගිය උදෙසා සහ ආගමික සමගිය වෙනුවෙන් එතුමන් මැදිහත් විය. 1983 කළු ජූලියේ වින්දිතයන් වූ දමිල ජාතිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ද එතුමන් නිර්භයව නැගී සිටියහ.  

කතෝලික සභාවේ මුලධර්ම වලට පටහැනි පසු කලෙක ඇදහිල්ලට එකතු වූ රුප වන්දනාව ගැන එතුමා දැඩි ලෙසින් විවේචනය කළේය. සභාවේ පුජක වරයකු ලෙසින් සිටිනා අතරදීම කතෝලික සභාව තුල තිබෙන්නාවූ වැරදි ඉගැන්වීම් ප්‍රශ්ණ කළේය. 

මෙම විවේචනයේ කුටප්‍රාප්තිය ලෙසින් එතුමන් විසින් සම්පාදිත "මරියා සහ මානව විමුක්තිය" (Mary And The Human Liberation) කෘතිය නම් කළ හැක. මේ කෘතිය තුල සිදු කරනා ලද ප්‍රශ්ණ කිරීම් වලට කතෝලික සභාව පිළිතුරු දුන්නේ දැඩි ප්‍රචණ්ඩත්වයක් මුදා හරිමින් බාලසුරිය පියතුමන්ව සභාවෙන් නෙරපා හරිමිනි. අතීතයේ මෙන්ම අදත් කතෝලික සභාව විද්‍යාත්මක, තර්කානුකූල ඉදිරිපත් කිරීම් නොඉවසන බව මෙන්ම කතෝලික සභාව වෙනස් වී නැති බව බාලසූරිය පියතුමන්ව කතෝලික සබාවෙන් නෙරපීම තුලින් ලොවට පෙන්නුම් කළේය.

කතෝලික සභාවේ මෙම තීරණය එතුමන් විසින් අභියෝගයට ලක් කළේය. එයට එරෙහිව එතුමන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කළ අතර සභාවේ තීරණය වැරදි බව ලොවට  කියා සිටියේය.

තිස්ස බාලසුරිය පියතුමන්ව කතෝලික සභාවෙන් නෙරපා හැරීමට එරෙහිව ලොව ඛෙහෝ දෙනා නැගී සිටියද අවසානයේ සභාවේ දුර්දාන්ත පිරිස් වෙතින්  එල්ලවූ බලපෑම් හමුවේ  වසර දෙකක් තුල ගෙනගිය සිය අරගලය නිම කළේය. 

තමාගේ හැදෑරීම් වලට අනුව නිවැරදි බවට තරයේ විශ්වාස කළ කරුණු වැරදි බවට  වතිකානුව ඉදිරියේ සිය  හෘද සාක්ෂියට විරුද්ධව එතුමන් පිළිගත්තේය. 

කෙසේ වුවද වතිකානුවට පාගා දැමිය නොහැකි පුජක පිරිසක් මෙන්ම ගිහි පිරිසක් ද එතුමන් මෙරට කතෝලික සභාව වෙත දායාද කළේය. සභාව තුල ඉදිරි පෙලේ ක්‍රියාකාරීවන්නේ ඉන් සුළු පිරිසක් වුවද  බහුතරයක් ගිහි පිරිස සභාවේ වැරදි ඉගැන්වීම් ඉවත ලමින් නිහඬව කිතු දහමේ මුලිකාංග තුල ජීවත් වෙති. 

මුලාශ්‍ර 
http://dbsjeyaraj.com/dbsj/archives/14877
https://www.facebook.com/StJosephsChurchKanuwana/posts/524933800872420
http://peoplesforumsl.blogspot.com/2013/01/blog-post_25.html

ප්.ලි. 
මගේ අම්මා තිස්ස බාලසුරිය පියතුමන් ඇක්වයිනස් විද්‍යාලයේ ප්‍රධාන පුජක ධුරය දරනා සමයේ එහි උසස් ගණිතය පිලිබඳ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලීය බාහිර උපාධි අපේක්ෂිකාවක වුවාය. අයුක්තිය අසාධාරණය පිළිකෙව් කිරීම මෙන්ම සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීම පසුකලෙක ගුරුවරියක වූ ඇය තුලින් විද්‍යාමාන විය. සභාවේ වැරදි ඉගැන්වීම් ප්‍රසිද්දියේ විවේචනය නොකළද ඇයගේ ඇදහිල්ල ක්‍රිස්තියානි ධර්මයේ මුලිකාංග තුල විය. ඒ තිස්ස බාලසුරිය පියතුමන්ගේ මුලිකත්වයෙන් යුතු වූ ඇක්වයිනස් විද්‍යාලයේ ආභාෂය නිසා වන්නට පුළුවන.

Sunday, May 21, 2017

බ්ලොග් වසන්තය හෙළි කරනා සිංහල බ්ලොග් අවකාශයේ අභියෝග ජය ගැනීම

සිංහල මාධ්‍ය බ්ලොග් ප්‍රවර්ධනයට සුවිසල් මෙහෙවරක් කරනා ප්‍රධානතම සම්මාන උළෙල දෙක වන්නේ නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙල සහ බ්ලොග් වසන්තයයි. එම සම්මාන උළෙල දෙක වසරින් වසර දියුනුවට පත් වීම සතුටට කරුණකි. මෙවර බ්ලොග් වසන්තය චන්ද විමසීම සාර්ථක ලෙසින් 2017 මැයි මස 21 දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. බ්ලොග් වසන්තය චන්ද ප්‍රතිපල නිරීක්ෂණය කරනා විට සිංහල බ්ලොග් අවකාශය පවතිනුයේ සෑහීමකට පත්විය හැකි මට්ටමක නොවන බව පෙනී යයි 

චන්ද විමසීම අවසන් වන විට බ්ලොග් ලිපි 263 ක ප්‍රමාණයක් බ්ලොග් වසන්තය වෙත යොමු කර තිබිණ. එය විශාල ගණනකි. නමුත් බ්ලොග් වසන්තයහි  චන්ද ලබාදීම කෙරෙහි වන උනන්දුව ගැන නම් සතුටු විය නොහැකිය. වැඩිම චන්ද ප්‍රමාණය 230 කි. එක අයකුට චන්ද පහක් හිමි තත්වය තුල චන්දය භාවිතා කරනා ලද මුළු ප්‍රමාණය 500ක් වත් වෙතිදැයි සැකයකි. එය මෙරට අන්තර්ජාල පාඨකයන් ප්‍රමාණය සමග සසඳන කල නොගිනිය හැකි තරම් සුළු ප්‍රමාණයකි. 

කෙතරම් බ්ලොග් ලිපි ලියවුනද ඒවා පාඨකයා කරා ලඟා වන්නේද යන ගැටලුව මේ චන්ද විමසීම සමග මතුවෙයි. අපගේ අදහස නම් එම ලිපි පාඨකයා වෙත ගෙනයාමට පවත්නා ක්‍රමවේදය අතිශය දුර්වල බවය.  එයට හොඳ උදාහරණ යක් වන්නේ ජනේලය බ්ලොග් අඩවියයි. වසර 2016 දී ආරම්භ කරනා  ලද එම අඩවිය ආරම්භ කරනා ලද වසරේදී පමණක් ඉතා හරවත් ලිපි 134 ක ප්‍රමාණයක් පළකර ඇත. මේ ලිපිය ලියවෙන අද  විට 2017 වසර තුල පළකරනා ලද ලිපි ප්‍රමාණය 113කි. බ්ලොග් වසන්තය පැවති අප්‍රියල් සහ මැයි මාස දෙක තුල පළකරනා ලද ලිපි ප්‍රමාණය 31කි. නමුත් මේ ලිපි බ්ලොග් වසන්තය චන්ද විමසීම වෙත ඉදිරිපත් කර නැත. සිය බ්ලොග් අඩවියට මෙතරම් ලිපි ප්‍රමාණයක් ලියුවද අඩවිය පවත්වාගන යන රෝශීන් ප්‍රනාන්දු සොයුරා අවම වශයෙන් මේ තරඟය ගැන නොදන්නේනම් වසර ගණනක් බ්ලොග් කරණයේ යෙදී සිටි අප විසින් කර ඇත්තේ කුමක්ද? එය ස්වයං වින්දනයක් පමණද? මන්ද යත් බ්ලොග් වසන්තය යනු නෙලුම් යායටත් වඩා බ්ලොග් කරුවන් අතර කතා බහට ලක්වූ උළෙලක් බැවිනි.


තවත් එවන් බ්ලොග් අඩවියක් ලෙසින් රසුදැල් නම් කල හැක. එයද ආරම්භ කර ඇත්තේ 2016 වසරේ වන අතර අධ්‍යාපනික වශයෙන් වැදගත් සහ හරවත් තොරතුරු බොහොමයක් ඉතාමත් ආකර්ශනීය බසකින් ඉදිරිපත් කර ඇත. එයද චන්දය විමසීම සඳහා ඉදිරිපත්වූ බව නිරීක්ෂණය නොවිණ.

බ්ලොග් ලේඛකයා අඩවියක් පවත්වාගෙන යන්නේ අන් අයට දැනුම ලබා දීමේ චේතනාවෙනි. ඔවුහු කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් ඉන් බලාපොරොත්තු නොවෙති. ලැබෙනා එකම ප්‍රතිලාභය පේජ් විවුස් සහ කොමෙන්ට් තුලින් ලැබෙනා ආත්ම තෘප්තිය පමණි. එකම වූ ප්‍රතිලාභය නොලැබෙන්නේ නම් ඔවුහු බ්ලොග් කරණයෙන් ඈත්ව යනු ඇත. 

මේ ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා අප සැම එක්ව බ්ලොග් ප්‍රවර්ධන වැඩ සටහනක් ක්‍රියාත්මක කළ යුතු වෙයි. එය අපහසු කාරනාවක් නොවෙයි. මන්දයත් අපගේ රඟමඩල සයිබර් අවකාශය බැවිණි. 

බ්ලොග් පාඨකයන් අඩුවීම කෙරෙහි බලපාන තවත් ප්‍රධාන කරුනක් වනුයේ  සිංහල බ්ලොග්කරණය ඉතාමත් අවම මාතෘකා කිහිපයකට සීමා වීමය . බොහෝ ජනප්‍රිය විෂය පථයන් සිංහල බ්ලොග්කරණයට ආගන්තුකය. උදාහරණයක් ලෙස කිවහොත් කෑම බීම සම්බන්ධව ලියවෙන ෆේස් බුක් ගෘප් ගණනාවක් ඇත. ඒවාට විශාල ආකර්ෂණයක් ඇති අතර බොහෝ ලිපි ලියවෙයි. සුරතල් මසුන් ඇතිකිරීම වැනි නිසි දැනුමක් අවශ්‍ය විනෝදාංශ වෙනුවන් ලියවෙන විද්‍යාත්මක ලිපි ෆේස් බුක් හි ටික දිනකින් වැළලී යාම අපරාධයකි. එවන් ලිපි බ්ලොග් අඩවියක ගබඩා කර තබා ගැනීමේ වැදගත් කම ෆේස් බුක් ලේඛකයනට පහදා දිය යුතුය. විලාසිතා සහ ඇඳුම් පැළඳුම් ගැන බ්ලොග් ලියවන්නේ නම් ඒවාද බෙහෙවින් ජනප්‍රිය වනු ඇත. අප කලයුත්තේ ෆේස් බුක් හි සිටිනා ලේඛකයන් බ්ලොග් වෙත කැඳවාගෙන ඒමය. එසේ කළහොත් ඔවුන් සමග විශාල පාඨකයන් පිරිසක්ද බ්ලොග් වෙත පැමිණෙනු ඇත. 

ෆේස් බුක් ගෘප් හි සිතිනා පිරිස දෙස බලනා විට පෙනීයන කාරනාව වන්නේ සිංහල බසින් කියවන අන්තර්ජාල පාඨකයන් ලක්ෂ ගණනාවක් සිටින බවකි. නමුත් බ්ලොග් සඳහා ඉන් සියයෙන් එකක්වත් පාඨකයන් සිටින්නේද යන්න ප්‍රශ්නයකි. මේ නිසා ජාතික මට්ටමේ බ්ලොග් ප්‍රවර්ධන වැඩසටහනක් සැලසුමකට අනුව විධිමත්ව ආරම්භ කල යුතුය. ඒ සඳහා බ්ලොග් කරුවන්, සින්ඩි පවත්වාගෙන යන පිරිස්, කොමෙන්ට් කරුවන්, සම්මාන උළෙල සංවිධායකයන් සහ ෆේස්බුක් ක්‍රියා කාරීන්  එකතුවී වැඩසටහනක් ආරම්භ කළ හැක.

ජනේලය : https://janeelaya.blogspot.com
රසුදැල්  :https://rasudal.blogspot.com

Thursday, May 18, 2017

ප්‍රථම කුරුස යුද්ධය

කුරුස යුද්ධ යනුවෙන් හැඳින්වෙන්නේ යෙරුසලම මුස්ලිම් වරුන්ගෙන් මුදාගෙන යුරෝපීයන් අතට ගැනීමට සිදුකරනා ලද යුද්ධ මාලාවකි. ක්‍රිස්තියානි, මුස්ලිම් සහ ජුදා යන ආගම් තුනෙහිම බැතිමතුන් ජෙරුසලම තමන්ගේ පුජා භූමියක් වශයෙන්  සලකති. සියවස් ගනනාවක් තිස්සේ යුරෝපීය ක්‍රිස්තු භක්තිකයන් විසින් වන්දනාව සඳහා පැමිණි ජෙරුසලම, එකොලොස් වන සියවසේදී තුර්කි ජාතිකයන්ගේ පාලනයට නතුවිය. මුස්ලිම් භක්තිකයන් වූ තුර්කීන් කිතුනු බැතිමතුනට වරින් වර පහර දීම නිසා දෙවන අර්බන් පාප් වරයා  (Pope Urban II) වසර 1095 දී තුර්කි වරුනට විරුද්ධව යුද්ධයක් කැඳවුයේය. මෙම යුද්ධය හැඳින්වුයේ ශුද්ධවූ යුද්ධයක් වශයෙණි. පළමු කුරුස යුද්ධය යුරෝපීන් විසින් ජයගනිමින් වසර 1099දී ජෙරුසලම අල්ලා ගැණීමට සමත් විය.

එකොලොස් වන සියවසේ අවසාන භාගයේදී බයිසැන්ටයින් අධිරාජ්‍යයාවූ  (Byzantine Emperor) පළමුවන ඇලෙක්සිස් (Alexis I) විසින් දෙවන අර්බන් පාප් වරයා වෙත රාජ දුතයන් පිටත්කර හරියේ තුර්කිවරුන්ගේ තර්ජනය මැඩ පැවැත්වීමට යුරෝපීය කුලී හමුදාවක් ලබා ගැනීමට අනුග්‍රහය ලබා ගැනීම සඳහාය.

වසර 1095 නොවැම්බරයේ දෙවන ආර්බන් පාප් වරයා විසින් ජෙරුසලම මුදා ගන්නා යුද්ධයට එකතු වන ලෙස බටහිර යුරෝපීය කිතුනුවන්ගෙන්  ඉල්ලා සිටියේය. මේ සඳහා ලැබුනේ ඉහල ප්‍රතිචාරයකි. යුධ හමුදාවේ පහල නිලධාරීන් මෙන්ම සාමාන්‍ය පුරවැසියන්ද කුරුස යුද්ධයට එකතු විය.

මේ ආගමික යුද්ධයට එක්වුනු සැමට පල්ලියේ ලාංඡනය වන කුරුසිය පැළඳුවේය.

පළමු කුරුස යුද්ධය සඳහා හමුදාවන් හතරක් බටහිර යුරෝපයේ ප්‍රදේශ හතරකින් පිටත් විය.  මේ ප්‍රධාන හමුදා ඛණ්ඩ හතර කොන්ස්තන්තිනෝපලයට ලඟා වූ විට බයිසැන්ටයින් අධිරාජ්‍යයාවූ ඇලෙක්සිස් බලකර සිටියේ හමුදා නායකයින් විසින් තමාට කෙරෙහි පාක්ෂිකත්වය දිවුරා පොරොන්දු විය යුතු බවය. තවද තුර්කීන්ගෙන් මුදා ගන්නා ප්‍රදේශවල තම පාලනය තහවුරු කල යුතු බවය. නමුත් එක් හමුදා ඛණ්ඩයක නායකයා වූ බොහිමන්ඩ් (Bohemond of Taranto) විසින් එම දිවුරුම ප්‍රතික්ෂේප කළේය. 1097 මැයි මාසයේදී කුරුස යුධ භටයන් සහ බයිසැන්ටයින් හමුදා විසින් සෙල්ජික් මුස්ලිම් වරුන්ගේ යටතේ පවතී ඇන්ටෝලියාවේ අග නගරයට ප්‍රහාර එල්ල කළහ. අනතුරුව එම වසරේ ජුනි මාසයේදී නගරය යටත් කර ගත්හ. මේ වන විට කුරුස යුධ නායකයින් සහ බයිසැන්ටයින් නායකයින් අතර සබඳ තාව බොහෝ සෙයින් පළුදු වී තිබුනද එම හමුදා දෙක එකතුව ඇන්ටියෝ නම් සිරියානු නගරය 1098 ජුනි වන විට යටත් කර ගත්හ. අනතුරුව කුරුස යුධ හමුදාව ජෙරුසලම බලා පිටත් වුහ.


1099 ජූලි 15 වන දින ගොඩ්ෆ්රොයි ඩි බුලියන් (Godefroy de Bouillon) නම් ප්‍රංශ ජාතික නයිට් වරයා විසින් මෙහෙයවන ලද හමුදා ඛණ්ඩයක් ජෙරුසලම යටත් කර ගත්හ. මුස්ලිම් සහ ජුදා ආගමිකයන් දෙපිරිස එක්ව ඔවුනට විරුද්ධව සටන් කල නමුත් අවසානයේ පරාජය ලදහ. නගරය යටත් කරගන්නා ලද ප්‍රංශ හමුදාව තුර්කීන් සමූල ඝාතනය කරනා ලද අතර නගරය රිසි සේ කොල්ල කෑහ. ජෙරුසලමේ බලය අල්ලා ගත් කුරුස යුධ නායකයන් විසින්, යෙරුසලම් රාජධානිය, ට්‍රිපොලි ජනපදය, එඩෙස්සා ජනපදය සහ ඇන්ටියොක් රාජ්‍යය  නමින් ප්‍රාන්ත හතරක් ඇති කළහ.

වසර 1144 දී ඉමාද් අල්-දින් සැන්ජි (Imad al-Din Zangi) යටතේ සංවිධානය වූ මුස්ලිම් වරුන් කුරුස යුද භටයන් විසින් යටත් කරගන්නා ලද ප්‍රථම නගරය වූ සඩෙස්සාව නැවත අත්පත් කරගන්නා ලදහ . මෙය කුරුසයුධ ඉතිහාසයේ මුස්ලිම් වරුන් ලද ප්‍රථම ජයග්‍රහණයයි. එම ප්‍රදේශය යටත් කර ගැනීම පාප් වරයාට දෙවන කුරුස යුද්ධය ඇරඹීමට නිමිත්තක් මතුකර දුන්නේය.

Tuesday, May 16, 2017

බ්‍රිතාන්‍ය යුගයේ ලංකාවේ අධ්‍යාපනය - ෆෙඩ්රික් නෝත් යුගය

ෆෙඩ්රික් නෝත් ආණ්ඩුකාරවරයා
ලංකා ඉතිහාසයේ ඉංග්‍රීසි පාලන යුගය ඇරඹෙන්නේ වසර 1796 පෙබරවාරි 15 දින එවකට ඕලන්ද ආණ්ඩුකාරයා වූ වැන් අන්ගේල්බෙක් විසින් කොළඹ කොටුව ඉංග්‍රීසින්ට  භාරදීමත් සමගය. මේ සමගම ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ  බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියානු වෙළෙඳ සමාගමේ මදුරාසියේ පිහිටි " මදුරාසි ප්‍රසිඩන්සි"   මධ්‍යස්ථානයට අනුබද්ධ යුධ ආණ්ඩුකාරවරුන්  මගින් පාලනය කිරීම ඇරඹිණ. වසර 1798 ඔක්තෝම්බර් 12 වන දින ඉංග්‍රීසි මහරජු විසින් ලංකාවේ ප්‍රථම සිවිල් ආණ්ඩුකාරයා ලෙස ෆෙඩ්රික් නෝත් පත් කළද තවමත් පරිපාලනය වෙළෙඳ සමාගම සතු විය. වෙළඳ සමාගම මුදල් රැස්කිරීමේ චේතනාවෙන් දැඩි ලෙස අයබදු පැනවීම නිසා කරල්ලක්ද ඇතිවිණ. මේ නිසා වසර  1801 මාර්තු 10 වන දින ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් ලෙසින් නම් කිරීමත් සමග වෙළෙඳ සමාගමේ පාලනය අහවර වින.

ඉංග්‍රීසින්ට පෙර සිටි ලන්දේසින් විසින් මෙරට විධිමත් අධ්‍යාපන ක්‍රමයක් ඇතිකර තිබිණ. නමුත් මුදල් ඉපයීම ඒකායන අරමුණ කරගෙන සිටි පෙරදිග ඉන්දියානු වෙළෙඳ සමාගමේ නිලධාරීන් අධ්‍යාපනය නොසලකා හැරියහ. පාසල් පාලුවට ගොසින් රටෙහි පැවති අධ්‍යාපන ක්‍රමය සහමුලින්ම බිඳ වැටිණ. 

ෆෙඩ්රික් නෝත් ආණ්ඩුකාරවරයාගේ මුල් යුගයේදී වෙළෙඳ සමාගමේ බලපෑම තිබු බැවින් අධ්‍යාපනය වෙනුවෙන් එතරම් අවධානයක් යොමු වුයේ නැත. නමුත් වෙළඳ සමාගමේ ග්‍රහණයෙන් මිදී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස නම් කළ පසුව එවකට බ්‍රිතාන්‍ය රජයේ අධ්‍යාපන ප්‍රතිපත්ති වලට අනුකුල ලෙස අධ්‍යාපනය දියුණු කිරීමේ හැකියාව  ෆෙඩ්රික් නෝත් ආණ්ඩුකාරයාට ලැබිණ.

රට වැසියන් ක්‍රිස්තියානි ආගමට  හරවා ගැනීමට හොඳම මෙවලම වශයෙන් සැලකුණ නිදහස් අධ්‍යාපනය දියුණු කිරීම සඳහා ලන්දේසින් විසින් පෙරදී ස්ථාපනය කර තිබූ "පැරිෂ් පාඨශාලා" ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය ෆෙඩ්රික් නෝත් ආණ්ඩුකාරයා විසින් ඒවා නැවත ආරම්භ කළේය. මේ කාලයේදී යුධ හමුදාවේ දේවගැතිවරයා වශයෙන් පත් වීම ලබා පැමිණි ජේම්ස් කෝඩිනර් පුජකවරයාව රජයේ පාසල් අධිපති වරයා ලෙසින්ද පත් කළේය. එවක් වනවිට සිරභාරයේ සිටි ලන්දේසි පුජකයන් ද නිදහස් කර ඔවුන්වද අධ්‍යාපන කටයුතු සඳහා එකතු කර ගන්නා ලදහ. කෝඩිනර්  විසින් පාඨශාලාවල නඩත්තුව සඳහා මසකට රික්ස් ඩොලර් අටක මුදලක්   ලබාදීමට රජය පොළඹවා ගත්තේය. ඉන් පෙර පටන් ලන්දේසි යුගයේ පාසල් වල ආදායම වුයේ විවාහ ලියා පදිංචි කරනා අවස්ථාවේ අය කර ගන්නා ලද මුදලය.  

ඉංග්‍රීසින් විසින් පාඨශාලා පවත්වන ලද්දේ පෙර ලන්දේසින් විසින් තනවන ලද ගොඩනැගිලි නැවත ප්‍රතිසංස්කරණය කිරීමෙනි.  මේවා ආඩි පහක් උසට බිත්ති බැඳ තවත් ඉහලට නංවන ලද කණු මත උළු සෙවිලිකරනා ලද වහල සහිත ගොඩනැගිලි වේ. මේ පාඨශාලාවල කියවීම, ලිවීම, අංක ගණිතය සහ ක්‍රිස්තු ධර්මය යන විෂයන් උගන්වන ලද අතර ඒවා සිසුන්ගේ මවු බසින් ඉගැන්වීම කර ඇත.

පැරිෂ් පාඨශාලා බොහොමයක් පිහිටුවන ලද්දේ ග්‍රාමීය පෙදෙස් වල වන අතර ඒවා ග්‍රාමීය ළමුන් සඳහා වෙන් කෙරිණ. යුරෝපීය ජාතිකයන්ගේ දරුවනට සහ දේශීය ප්‍රභූ පන්තියේ දරුවනට ඉගෙන ගැනීම සඳහා කොළඹ සහ වෙනත් නගරවල පිලියල කිරීමේ පාඨශාලා නමින් ඉංග්‍රීසි මාධ්‍ය පාඨශාලා ඇතිකර තිබේ. 

කොළඹ පිහිටුවන ලද සෙමනේරිය හෙවත් ඇකඩමිය පාසල් අතර උසස්ම අධ්‍යාපන ආයතනය වින.එය ඇත්තෙන්ම සිංහල ළමුන් සඳහාද, දෙමල ළමුන් සඳහාද සහ යුරෝපීය ජාතික ළමුන් සඳහාද වශයෙන් වූ පාසල් තුනක එකතුවකි. සෙමනේරියේ අරමුණ වුයේ රජයේ තනතුරු සඳහා ඉංග්‍රීසි උගත් තරුණයන් බිහි කිරීමය. 

ෆෙඩ්රික් නෝත් ආණ්ඩුකාරයා ගේ අදහස වුයේ අධ්‍යාපනය පමණක් නොව කෑම බීම, ඉඳුම් හිටුම් සහ ඇඳුම් පැළඳුම් සියල්ල නොමිලේ ලබා දෙන ආයතනයක් වශයෙන් සෙමනේරිය පවත්වා යාමය. නමුත් ඒ සඳහා වාර්ෂික පිරිවැය වශයෙන් ගණන් බැලූ රික්ස් ඩොලර්  26480 ක මුදල මුළුමනින් වැය කිරීමට රජය කැමති නොවූ නිසා මුදල් ගෙවා ඉගෙන ගන්නා බාහිර ශිෂ්‍යයන්ද එයට ඇතුලත් කරගන්නා ලදී. මෙයට අමතරව ස්වදේශිකයන් ආණ්ඩුකාරයාට එවනා පෙත්සම් මේ පාසලේ ශිෂ්‍යයන් ලවා ඉංග්‍රීසියට පරිවර්ථනය කරගන්නා ලෙසද ආණ්ඩුකාරයා විසින් නියෝගයක් පනවන ලද්දේ පාසැල වෙත ආදායමක් ලබා ගැනීමේ අරමුණ පෙර දැරි කරගෙනය. 

නෝත් ගේ අධ්‍යාපන ප්‍රතිසංවිධාන නිසා රජයට වැයවෙන මුදල් ප්‍රමාණය වැඩිවීමෙන් යටත් විජිත භාර මහා ලේඛම් වරයා විසින්  පිරිවැය රන් පවුම් 1500කට සීමා කරගන්නා ලෙස නියෝගයක් පැනවීය.  මේ අනුව පෙරදී සෙමනේරියේ වියදම වූ රික්ස් ඩොලර්  26480 ක මුදල රික්ස් ඩොලර් 846 ක් දක්වා අඩු කරගන්නා ලෙස ආණ්ඩුකාර නෝත් කොඩිනර් ට දැන්වීය. වියදම් අඩු කර ගැනීම සඳහා පාසල  අලුත් කඩේට ගෙනගිය අතර  එය අලුත්කඩේ ස්වදේශික පාසල් ලෙසින් නම් කෙරිණ. මේ නිසා ස්වදේශිකයන් අතර ඇකඩමිය වෙත තිබූ උනන්දුව හීනව ගියේය. 

පැරිෂ් පාසල් වල ගුරුවරුනට එතෙක් ගෙවූ ගුරු වැටුපද 1804 ජනවාරි සිට නවත්වන ලදී. නමුත් පැරිෂ් පාසල් වල ගුරුවරු නොතාරිස් සේවයේ යෙදී මුදල් හම්බ කරගත් නිසා මේ පාසල් වලින් කිහිපයක් තව දුරටත් නොවැසී ඉතිරි විය.

තමන් විසින් පිහිටුවන ලද අධ්‍යාපන ක්‍රමය බිඳ වැටීමෙන් නෝත් සහ කෝඩිනර් දෙදෙනා බලවත් ලෙස සන්තාපයට පත් විය. මොවුන් දෙදෙනා අවස්තාව ලද වහාම රටින් පිටව ගියහ. ඒ දිවයිනේ අධ්‍යාපනය අමතක කරනු සඳහා නොව ලංකා වාසීන්ගේ අධ්‍යාපනය සම්බන්ධව බ්‍රිතාන්‍ය රජය උනන්දු කරවීම පිණිස එරටෙහි උද්ගෝෂණ ඇති කරවීම අරමුණු කොට ගෙනය.

මුලාශ්‍ර :
ලංකා අධ්‍යාපනයේ බ්‍රිතාන්‍ය යුගය. - රංජිත් රුබේරු 

Monday, May 15, 2017

පෙර සුදානම

අද දින උදයෙන්ම ලැබුනේ නරක ආරංචියකි. අප ආයතනයේ පරිගණක සර්වරය ගිනිගෙන ඇත. තවමත් හේතුව සොයාගෙන නැති නමුත් විදුලි කාන්දුවකින් ඇතිවූ ගින්නක් බවට සැක කෙරෙයි.

වැඩට යන විට මුළු ගොඩනැගිල්ලේම විදුලිය විසන්ධි කර තිබිණ. ගොඩනැගිල්ලම කරුවළේය. තාවකාලිකව වැඩ කටයුතු කරගන යාමට අසල ඇති හෝටල් පාසලේ අනුග්‍රහය ලැබිණ. එතනට ගියවිට එකම ජංජාලයකි. අප සේවය කරනා ආයතනය ශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කරනා ආයතනය බැවින් අන්තර්ජාල සම්බන්ධතාව සහ විද්යුත් ලිපි සේවාව අත්‍යාවශ්‍යය. එබැවින් කෙසේ හෝ ජාල ගතවිය යුතුය. මේ සඳහා හෝටල් පාසලේ පරිගණක ජාලය තුලින් ජාල ගත වීමට එහි මුර පද යොදාගත යුතු විය. වෙනත් ජාල හරහා ජාල ගතවීමට නම්  අප පරිගණක පද්ධතියේ ආරක්ෂක වළල්ලෙන් ඉවත් විය යුතුය. එයට  ආයතනයේ පරිගණක අංශයේ සහය අවශ්‍ය වුයේ මුරපද ඔවුන් සතුව ඇති නිසාය. පරිගණක බැටරි චාර්ජ් කර  නොතිබු යන්ත්‍ර චාර්ජ් කරගැනීමට විදුලි මේනු සොයා ගතයුතු විය. බහුතරයකට මේ සියල්ල කරගන්නා විට සෑහෙන කාලයක් ගතව තිබිණ.

නමුත් මා හට වැඩ ආරම්භ කිරීමට කිසිදු බාදාවක් නොවිණි. ඒ වසර ගණනාවක සිට පවතින පුරුද්දක් නිසාය. සැමදා නින්දට යාමට පෙර ලැප්ටොප් පරිගණකය, පරිගණක ටැබය සහ ජංගම දුර කථනය චාජරයට සම්බන්ධ කිරීම ඒ පුරුද්දයි. මේ නිසා කිසි දිනෙක චාජර් මල්ලේ දමාගෙන බර උසුලාගෙන යාමේ අවශ්‍යතාවක් නැත. වයර් රෝල් කර මල්ලේ දමා ගන්නා විට  චාජර වලට හානි සිදුවෙයි. එබැවින්  නිවසේ මා වැඩ කරනා ලියන මේසය මත සියලුම චාජර් ස්ථිරවම විදුලි පේනු වලට සම්බන්ධ කර තිබෙයි. ඒ නිසා රාත්‍රියේ නින්දට පෙර යන්ත්‍ර වලට සම්බන්ධ කිරීම කරදරයක් නොවේ. 

නිවසේ භාවිතා කරනා 3G ඩොන්ගලය දිනපතා පරිගණක බහලුවේ දමාගෙන යන්නේ කාර්යාලයේ ජාල සම්බන්ධතා වේගය අඩුවන අවස්ථාවන්හි භාවිතා කිරීම සඳහාය. මේ නිසා අද දින මතුවූ හදිසි තත්වය නිසා පරිගණක ජාල ගතවීමද ගැටළුවක් නොවිණ. 

මෙවන් හදිසි අවස්තාවක් කිසිදිනෙක බලාපොරොත්තු නොවුනද වසර ගණනක් තුල පැවති පුරුද්ද නිසා අද දින වැඩ කටයුතු වලට බාදාවක් නොවින. 

Sunday, May 14, 2017

ඇත්ගාල් පැවැත්වූ අයුරු

ශ්‍රී ලංකාවේ අලි ඇතුන් වෙළෙඳාම පිලිබඳ වාර්තා හමුවන්නේ යුරෝපීය ආක්‍රමණිකයන්ගේ යුගයේදීය. මෙරට යටත්  කරගෙන සිටි පෘතුගීසි සහ ලන්දීසීන්ගේ ප්‍රධාන අපනයන භාන්ඩ අතර අලි ඇතුන්ද විය.මේ නිසා අලි ඇතුන් වෙළෙඳාම පිළිබඳව සටහන් එම යුග වලදී සේවයේ යෙදුන යුරෝපීය නිලධාරීන්ගේ වාර්තාවල නිබඳවම දක්නට ලැබෙයි. 

පෘතුගීසි සමයේදී ඇතුන් වෙළඳාමේ යෙදුණ යාපනයේ ප්‍රතිරාජයා විසින් මෙරට පෘතුගීසි ආණ්‌ඩුකාරවරයා වෙත කරනා ලද පැමිණිල්ලක දැක්වෙනුයේ මන්නාරමේ සිටි පෘතුගීසි ඒජන්ත වරුනට ගෙවිය යුතු වාර්ෂික කප්පම, මුදලින් නොව ඇතුන් දොළොස් දෙනෙකුගේ ලබාදෙන ලෙස එම ඒජන්තයන් විසින් ඉල්ලා සිටිනා බවය. 

වන්නියාර් නමින් හඳුන්වන ලද, පුත්තලමට ඉහලින් වන වන්නි ප්‍රදේශයේ විසූ ජනතාවගේ නායකයන්ගෙන් ලන්දේසින යුගයේදී බදු අය කර තිබුනේ මුදල් වෙනුවට අලි ඇතුන් ගෙනි. මේ නිසා අලින් හීලැ කිරීම මෙන්ම ඇත් ගාල් පවත්වා අලි ඇතුන් ඇල්ලීමද එම යුගයේ සුලභ දෙයක් විය.

නමුත් මුළු රටම යටත් කරගන්නා ලද ඉංග්‍රීසින් වතු වගාව මිස ඇතුන් වෙළෙඳාම ගැන වැඩිපුර උනන්දු නොවුහ. ඔවුන්ගේ වගාකටයුතු  සහ මං මාවත් ඉදිකිරීමේදී වල් අලින්ගෙන් සිදුවූ හානිය නිසා එසමයෙදී විනෝදාංශයක් ඇතුන් දඩයම් කිරීමටද  රජයේ අවසරය ලැබිණ. ඔවුහු ඇතුන් වෙළඳාමට වඩා උනන්දුව දැක්වුයේ ඇත් දල වෙළෙඳාම සම්බන්ධවය.

ඇත් ගාලක් පැවැත්වීමට තෝරා ගන්නේ වැවක් අසල බිමකි. ඒ සඳහා අක්කර 10ක පමණ ප්‍රමාණයෙන් යුතු බිමක් යොදා ගනු ලබයි. වැව වටකර අක්කර 10ක පමණ වූ බිමෙහි විශාල ගස් අතර ශක්තිමත් කොටන් සිටුවා ඒවා යාකර හරස් පොලු බැඳ ශක්තිමත් වැටක් බඳිනු ලැබෙයි. මේ බැම්මට වරපට ලෙසින් ගනු ලබන්නේ කළෑ වැල් වර්ගය. ඇතුන්ගේ පහරදීමකින් බිඳ නොවැටෙන තරමට ශක්තිමත් ලෙසින් තනනු ලබන මේ වැටෙහි එක් ස්ථානයක විවරයක් තබනු ලබයි. බොහෝ විට විවරය තබන්නේ අලි මංකඩ තිබෙනා ස්ථානයේය. 

දිය බීමට වැවට පැමිණෙන අලින් විවරය තුලින් වැව අසලට පැමිණි විට දැවැන්ත කොටන් යොදා ගනිමින් කලින් සාදාගෙන තිබු ආවරණයකින් මේ විවරය වසා දමනු ලැබෙයි. එය වසා දැමීමට පෙර වල් අලින් හීලෑ කාර ගැනීම සඳහා හීලෑ  අලින් කිහිප දෙනෙකු ඇත් ගාල තුලට ඇතුලු කරනු ලැබෙයි. 

ඇත් ගාල් සම්බන්දව ලියවී ඇති තවත් වාර්ථා වල දැක්වෙන්නේ අලි රංචුව ඇත් ගාල නම්වන උගුල තුලට ගාල් කිරීමට හීලෑ ඇතින්නක උපයෝගී කර ගන්නා බවය. ඇතින්නිය පිටුපස වැටෙන ඇතුන් සමග මුලු රංචුවම ගාලේ විවරය තුලින් ඇතුලට කැඳවාගෙන ඒම එම ඇතින්නිය ගේ රාජකාරිය වේ. 

ගාල තුලට ඇතුන් කොටුවූ පසුව හීලෑ ඇතුන් දෙදෙනකු විසින් එම රැලෙන් එක අලියකු තනිකරගෙන පසු පස පන්නා වෙහෙස කිරීමෙන්  අනතුරුව දෙපැත්තෙන් තෙරපුමක් දෙති. වෙහෙසට සහ බියට පත්ව තිබෙන අලියා මෙලෙස මෙල්ල කරගත් පසුව පැමිණෙන මදු ගසන්නන් වල් අලියාගේ පසු පාදයකට තොන්ඩුවක් දමා එය තදකර අසල ගසක බැඳ දමයි. අනතුරුව හීලෑ අලින් දෙදෙනකු බැඳ තබා ඇති අලියා තෙරපන අතරදී තවත් අලියකු වල් අලියාගේ නළලට සිය නළල තබා ගස අසලටම තල්ලු කරනු ලබයි. මෙලෙස ගස දෙසට ලංවූ පසුව පසු පස පාද දෙකම ගසට බැඳ දමා දින කිහිපයක් නිරාහාරව තබා හීලෑ කර ගනු ලබයි. 

ඇත් ගාල පවත්වා අල්ලා ගනු ලබන අලින් බෙදාගන්නා ක්‍රමයක් ඇත. ගාලට හසුවන සියලුම ඇතුන් අයිති වන්නේ රජුටය. ඉතිරිවන අලින්ගෙන් දශයෙන් භාගයක් අයිති වන්නේ ඇත් ගාල පැවැත්වීමට හීලෑ  අලින් ගෙන එන ලද අයටය. ඉතිරි අලින් ප්‍රමාණය ඇත් ගාල සංවිධානය කරනා ලද රදල ප්‍රභූන් වෙත අයිති විය. 

වසර සිය ගණනක් මුළුල්ලේ පැවති ඇත්ගාල් පවත්වා ඇතුන් අල්ලා ගැනීම වසර 1950 දී කුප්‍රකට පනාමුරේ ඇත් ගාල පැවැත්වීම සමගින් අවසන් විය

Saturday, May 13, 2017

බට පතුරු නැතිව අටපට්ටම් කුඩුවක් හදමු

මෙවර වෙසක් උත්සවය සඳහා වෙසක් කුඩු තැනූ විදෙස් ගත මිතුරන් දෙදෙනෙකු ඔවුන් තැනූ අටපට්ටම් කුඩු වල චායාරුප ෆේස් බුක් හි දමා තිබිණ. ඒ අප සුමිතුරු ඉන්දික කොඩි තුවක්කු සහ රසික සුරියආරච්චි දෙපලය.  රසිකගේ කුඩුව මෙරටින් ගෙනයන ලද්දකි. එබැවින් එය අලංකාරයෙන් යුක්ත විය. ඉන්දික පවසා තිබුනේ ඔහු විසින්බීම බට පුළුස්සා අමුණා කුඩුව තනනා ලද බවකි.  කුඩා කාලයේ මා ද බීම බට අමුණා කුඩූ තනා ඇත. නමුත් මතකයේ හැටියට හොඳ නිමාවක් ගන්නට බැරි විය. ඉන්දික තනා ඇති අටපට්ටම මා හැදූ ඒවාට වඩා බෙහෙවින් ඉදිරියෙන් ඇත. නමුත් කුඩා දරුවකුට බීම බට වලින් කුඩුවක් තැනීම අපහසුය. එබැවින් කුඩා දරුවකුට වුවද පහසුවෙන් සාදා ගත හැකි අටපට්ටම් කුඩුවක් තනනා අයුරු චායා රුප ඇසුරින් මෙහි දක්වා ඇත.


1. ඝනකම් කාඩ් බෝඩ් කැබැල්ලක් ගෙන ඉන් සෙන්ටිමීටර 18ක පටියක් කපා ගන්න. මා භාවිතා කළේ කාඩ්බෝඩ් ෆයිල් කවරයකි.
2. අනතුරුව එම කාඩ් බෝඩ් කැබැල්ල සෙන්ටිමීටර 3 පළල පටි වලට  වෙන් කර කැබලි 24ක් සාදා ගන්න .
3. පටි කැබලි සියල්ල දෙකට නවන්න
4. රුපයේ දැක්වෙන ආකාරයට කාඩ්බෝඩ් කැබලි එක් කොට කුඩා කටු ඇමිණුම් යන්ත්‍රයක් භාවිතයෙන් සම චතුරශ්‍ර සාදා ගන්න
5. එම සම චතුරශ්‍ර අට පට්ටම් හැඩයට සිටින සේ කටු ගසමින් එකතු කරන්න
සාදාගන්නා ලද අටපට්ටම් සැකිල්ල මෙලෙස දිස් වනු ඇත.
6 සව් කඩදාසි හෝ තෙල් කඩදාසි ගෙන කුඩුවේ මිමි වලට අනුකුලව සම චතුරශ්‍ර 4ක් සහ සම පාද ත්‍රිකෝණ 8ක් කපාගන්න
7. එම කඩදාසි ගම් ආධාරයෙන් සැකිල්ලට අලවා ගන්න.
8. සියළු පැති අලවා ගත් පසුව කූඩුව මෙලෙස පෙනෙනවා ඇත.
9. සව් කඩදාසියක් ගෙන රුපයේ පරිදි එක කෙළවරක් ඉතිරි වන පරිදි නවා ගන්න.
10 නවාගත් කඩදාසිය රුපයේ දැක්වෙන ආකාරයට කතුරකින් පටි වෙන් කරන්න. ඉතිරි කරනා ලද කෙලවර කපන්න එපා.
11. කපා ගන්නා ලද රැලි පටි කුඩුට අලවන්න
12 අවසානයේ කුඩුවේ  නාරටි වලට ගැලපෙන වර්ණයකින් පටි අලවා අලංකාර කරන්න

වැඩ අවසන් කුඩුව මෙලෙසින් දිස් වනු ඇත.
ආලෝකය ලබා දුන් පසුව 
මැද තිබෙන්නේ කාඩ්බෝඩ් වලින් තැනූ කුඩුවය.


ප. ලි. පින්තුර වල දක්වෙන ප්ලාස්ටික් රාමුව සහිත වීදුරුව කාටද මතක

A Big Thank You : කාඩ්බෝඩ් ආධාරයෙන් අටපට්ටම් කූඩු හදනා විදිය මට කියාදුන් අප ආයතනයේ විජේවික්‍රම රියදුරු මහතාට ස්තුතියි

පන්දු ක්‍රීඩා පුරාණය

ජගත් මානව විද්‍යා ඉතිහාසයේ මෙතෙක් සොයාගෙන ඇති පැරණිම ගෝලාකාර මෙවලම් හමුවී තිබෙනුයේ ක්‍රිස්තු පුර්ව 2500 අවධියට අයත් ඊජිප්තු සොහොන් ගෙයකිනි. එම සොහොන් ගෙයින් හමුවූ ගෝලාකාර මෙවලම් කිසියම් ක්‍රීඩාවකට යොදා ගන්නා ලදැයි සැලකෙයි. මේ පන්දු නිමවා ඇත්තේ සතුන්ගේ බඩවැල් එකට ඔතා ගත් ගෝලයක් සත්ව හමකින් ආවරණය කිරීමෙනි. නමුත් මේවා පා පන්දු ක්‍රීඩාව හෝ වෙනත් ආකාරයක පන්දු ක්‍රීඩාවක් සඳහා සඳහා යොදා ගන්නා ලදැයි එකහෙලා කිව නොහැකිය.


ක්‍රිස්තු පුර්ව 2000දී පමණ විසු ඊජිප්තු ජාතිකයන් විසින් පන්දුවක් පාපහර දීමෙන් සහ අතින් විසි කිරීමෙන් කරනා ලද "එපිස්ක්යිරස්" (Episkyros) නම් වන ක්‍රීඩාවක තොරතුරු ඉතිහාසඥයන් විසින් සොයාගන ඇත. මේ ක්‍රීඩාවේ යෙදී ඇත්තේ නිරුවතිනි. ඇතැන්ස් හි ජාතික පුරා විද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනය පිනිස තබා ඇති කිරිගරුඬ පේකඩක පාපන්දු වැනි ක්‍රීඩාවක යෙදෙනා මිනිස් රුපයක් දක්නට ලැබෙයි. එහි පෙන්නුම් කෙරෙනුයේ බෝලයක් සමබරව පාදය මත තබාගෙන සිටිනා ග්‍රීක ක්‍රීඩකයකුගේ රූපයකි. මේ රුපය යුරොපීය බඳුන පාපන්දු තරඟාවලියේ සමරු ඵලකය සඳහා යොදවාගෙන ඇත්තේ එම ක්‍රීඩකයා පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන්නේ යයි සලකමිනි. ග්‍රීක ජාතිකයන් පන්දු  සකසා ඇත්තේ කෙස් ගස් හෝ  ගෙතුම් කර සකසන ලද ලද රෙදි වැනි අමුද්‍රව්‍යයක් එකට ඔතා තන්තු වලින්  වට කර බැඳීමෙනි. මෙම පන්දු පොලා පැනීම අවම මෙන්ම අධික දෘඩ බවකින්  යුක්තව ඇත. ග්‍රීකයන් විසින් ඉහත කිරිගරුඬ පේකඩහි දක්නට ලැබෙන පන්දු විශේෂය හඳුන්වා දී ඇත්තේ ෆොල්ලිස් (Follis) නමිණි.

ක්‍රිස්තු පුර්ව 300 ත් 100ත් අතර කාල වකවානුවේ ලියවුනේ යැයි සැලකෙන Zhan Guo Ce නම් චීන පොතෙහි පාපන්දු ක්‍රීඩාවට සමාන ක්‍රීඩාවක් ගැන වාර්ථා කර ඇත. එහි කියවෙන්නේ "කුජු" (Cuju) නම් වන ක්‍රීඩාවක් ගැනය. කුජු යන වදනේ තේරුම පා පහර දෙන බෝලය යනුයි. මේ ක්‍රීඩාව කර ඇත්තේ මීටර් නවයක් උසකින් උණ ලීයක රඳවා ඇති සිල්ක් රෙද්දක ඇති කුඩා සිදුරක් තුලින් ගමන් කරනා ලෙසින් පන්දුවකට පා පහර දීමෙනි. පන්දුව තනා ඇත්තේ සමින් බව එහි කියවෙයි. ක්‍රිස්තු පුර්ව 206 සිට ක්‍රිස්තු වර්ෂ 220දක්වා කාල අන්තරයේ පැවති හැන් රාජවංශ පාලනයේදී කුජු ක්‍රීඩාවේ නීති රීති ලේඛණ ගත කර ඇත. 

මේ සමකාලීන යුගයේ දී කොරියන් ජාතිකයන් විසින් කෙමාරි (Kemari) නමින්ද ජපන් ජාතිකයන් විසින් චුක් ගුක් (Chuk-guk) නමින්ද චීන ක්‍රීඩාවට සමාන ක්‍රීඩාවක යෙදුනු බවට සාක්ෂි ඇත.  and 'Chuk-guk'

රෝම වරුන් විසින් බ්‍රිතාන්‍යය ආක්‍රමණය කර තිබෙනුයේ ක්‍රිස්තු වර්ෂ 43 දීය. වසර 828 දී  Historia Britonum නමින් බ්‍රිතාන්‍ය ඉතිහාසය ලියු නෙන්නියස් (Nennius) විසින් පුරාණ බ්‍රිතාන්‍යයේ පවතී පන්දු ක්‍රීඩාවක් ගැන විස්තර වෙයි. 

පා පන්දු ක්‍රීඩාව, හාපස්ටන් (harpaston) නම් වන පුරාන රෝම  ක්‍රීඩාවක් ඇසුරින් සැකසී ඇති බව විස්වාස කෙරෙයි. මෙම ක්‍රීඩාව සම්බන්ධව විස්තර සමකාලීන පැරණි සාහිත්‍යයේ නිතර කියවෙයි. මේ ලේඛන වල අදාළ ක්‍රීඩාව ගැන කියවෙන්නේ "රළු සහ කෲර ක්‍රීඩාවක්" වශයෙනි. එහි තරඟ නීති ඉතාම සරලය. ක්‍රීඩකයකුට පන්දුව පා පහර දීමෙන් හෝ එය අතින් රැගෙන යාමෙන් හෝ අතින් විසි කිරීමෙන් හෝ සීමාව පසුකිරීමෙන් ලකුණු ලබා ගැනීමේ හැකියාව තිබිණ. අනෙක් පිලට ඕනෑම ආකාරයකින් ප්‍රතිවාදී පිලේ ක්‍රීඩකයන් විසින් පන්දුව සීමාව පසුකිරීම වැලැක්වීමේ හැකියාව තිබිණ.  ක්‍රීඩා පිටියසඳහා  නිශ්චිත දිගක් මෙන්ම පැති මායිම්ද නොතිබුණි. එක පිලකට සිටිනා ක්‍රීඩකයන් ගණනද නිශ්චිත නොවිණ. 


මෙම ක්‍රීඩාව ග්‍රීක ක්‍රීඩාවක් වූ haininda හෝ "එපිස්ක්යිරස් ක්‍රීඩාවේ රෝම අනුවාදයක් බවද සැලකෙයි. 

නුතන පා පන්දු ක්‍රීඩාව පසළොස් වන ශත වර්ෂයේ බ්‍රිතාන්‍යයේ ආරම්භ වී ඇතියි සැලකේ. පාපන්දු ක්‍රීඩාව බෙහෙවින් ජනප්‍රිය වන විට එරට අනෙකුත් පාරම්පරික ක්‍රීඩා වැළලී යනු ඇතැයි බියෙන්  දෙවන හෙන්රි සහ හතරවන හෙන්රි යන රජවරුන්ගේ කිරීටය සමයේ  මේ ක්‍රීඩාව තහනම් කර ඇත.


මුලාශ්‍ර
http://www.graveshamtrophycentre.com/pages/128-football-history-prehistoric-times-bc
http://www.hornetfootball.org/documents/football-history.htm
https://en.wiki
pedia.org/wiki/Harpastum
https://www.fifa.com/about-fifa/who-we-are/the-game/

Thursday, May 11, 2017

ප්‍රීති වෙසක්!

මීට වසර හැට හැත්තෑවකට ඉහත කතෝලිකයනට වෙසක් බැලීමට යාම පවා පල්ලියෙන් තහනම් කර තිබී ඇත. ඒ අපගේ පියවරුන්ගේ පාසැල් කාලයේදීය. මේ තහනම පල්ලියෙන් කරනා ලද්දක්ද නැතහොත් පිස්සු පුජකයන් කිහිප දෙනෙකුගේ  හුදකලා විකාරයක් දැයි නොදනිමු. නමුත් මීට වසර 25 කට පමණ පෙර අප පාසල් ගිය යුගය වන විට ඒ තත්ත්වය මුළුමනින් වෙනස්ව තිබිණ. මා උගත් කතෝලික පාසල වෙසක් උත්සවය වෙනුවෙන් අලංකාර ලෙස සැරසීම එකල වන විටද සාමාන්‍ය දෙයක් විය. පාසැල් වල සැරසිලි කරනවාට අමතරව එකල අප නිවෙස් ද වෙසක් උත්සවය වෙනුවෙන් අලංකාර ලෙසින් සරසුවෙමු. අප කුඩාම කාලයේදී තාත්තා සාදාදෙන අටපට්ටම් කූඩු කිහිපයකට අමතරව ඉටිපන්දම් වලින් ආලෝකමත් කරනා බකට් රාශියක් නිවස වටා එල්ලන අතර බකට් කිහිපයක් ගිණි ගැනීම සාමාන්‍ය දෙයක් විය. 
නමුත් අප වයසින් වැඩෙත්ම වෙසක් උත්සවයට නිවාස සැරසීම තරඟයකට පෙරළිණ අවට නිවෙස් වල සම වයස් මිතුරන් අතර මේ තරඟය නිසා මුළු ගමම බෙහෙවින් අලංකාර විය. 

එකල අප නිවසේ කොළ පැහැති බට පඳුරක් තිබු නිසා  බට කොටූ සෙවීම එතරම් ප්‍රශ්නයක් නොවුවද ඔට්ටුපාලු සොයා ගැනීමට වැඩිහිටියන්ගේ සහය අවශ්‍ය විය. නෙක නෙක මාදිලියේ කූඩු නිර්මාණ සඳහා කිහිප වතාවක් ඔට්ටුපාලු ගෙන්වා ගැණීමට සිදුවීම සාමාන්‍ය දෙයක් විය. බොහෝ විට ඔට්ටුපාලු ගෙන්වා ගන්නේ පොල් රා මදින්නට පැමිණෙන  මදින මාමා  ලවාය.

කුඩා කාලයේ සිට පවත්වාගෙන ආ පුරුද්ද නිසා දැනුදු අප වෙසක් උත්සවය වෙනුවෙන් අලංකාර සැරසිලි කරන්නෙමු. පෙර කළ කූඩු සෑදුවත් දැන් නම් කූඩු සැකිලි  කඩෙන් මිලට ගෙන අපට අවශ්‍ය පාටින් කොළ අලවා සරසන්නෙමු. කඩෙන් කුඩු ගැනීමේ පුරුද්ද පැතිරීමත් සමගම අප කුඩා කල තබූ බොහෝ වෙසක් කූඩු මාදිලි දැන් දකින්නට නැත. වැළලී ගොස් ඇති ප්‍රධානම මාදිලිය ගුවන් යානා ය. තාරකා කූඩු, සත්පියුම් ආදිය දැන් විරලය. තවද එකල තිබු බුද්ධ චරිතයේ විවිධ අවස්ථා මුද්‍රණය කරනා ලද කොළ අලවා සාදන කූඩු ඇත්තෙම නැත.

කුඩු පහලවක් විස්සක් ඇලවීමත් පහසු කාර්‍යයක් නොවේ. ඒ සඳහා ගෙදර සැම එක්විය යුතුය. මේ සැම එක්ව කරනා විනෝද ජනක කාර්‍යය දෙමාපිය දු දරු සබඳතාව වැඩි දියුණු කරයි. මේ වතාවේදී අප නිවසේ කූඩු දහසයක් එල්ලුවෙමු. බිරිඳ සහ දරුවන් කූඩු ඇලවූ අතර මා කළේ ඒවාට විදුලි ආලෝකය ලබා දීමට විදුලි බුබුලු සවි කර දීම පමණි. මෙවරද කම්මැලි කමට අවසන් මොහොත තෙක් බලාසිටීමේ පිනෙන් විදුලි බුබුලු සවි කර අවසන් වන්නට පෙර කරුවල වැටිණ. කරුවලේ විදුලි වයර් සවි කරන්නට ගොසින් දෙවරක්ම විදුලිය වදින. එක වරක් සුලු වශයෙන් වැදුනද. දෙවන වර ඉනිමගේ නැග සිටියදී අම්මමෝ  වන්නට වැදින.

අප සරසන ලද ප්ලාස්ටික් කූඩු මෙවර භාවිතයට ගත්තේ තෙවන වතාවටය. ලී කූඩු භාවිතා කළේ හතරවන හෝ පස්වන වතාවටය. ලී කූඩු නැවත භාවිතයට ගන්නට බැරි තරමට අබලන්ව ගොසිණි. ඊළඟ වසරේ අඩු පාඩුව සඳහා ප්ලාස්ටික් කූඩු සරණ යන්නට සිදුවනු ඇත.

රාත්‍රියේ එලියට පැමිණි විට දුටුවේ පෙරදී අලංකාර ලෙස සරසන් සමහර බෞද්ධ ගෙවල් වල ඇපෙන් බේරෙන්නට මෙන් කාඩ්බෝඩ් කූඩු දෙක තුනක් එල්ලා බල්බ් වැල් කිහිපයකින් වැඩේ ගොඩ දාගෙන ඇති බවකි. නමුත් බහුතරයක් හොඳින්  අලංකාර ලෙස සරසා තිබිණ. කෙසේ වෙතත් අවසානයේ ලද ප්‍රතිලාභය පහන් සිතුවිල්ලකින් සිත එලිය වීමය.

අවට නිවෙස් වල වෙසක් සිරි නරඹා නිවසට පැමිණ ෆේස් බුක් වෙත ඔලුව දැමු විට දුටු දෙයින් සිදුවුයේ නැවතත් ලේ කෝප වීමය. කවුරුන්දෝ අවජාතක අවලෙමකු  වෙසක් පැතුමක් අන්තර්ජාලයට එක කොට තිබිණ. එහි ප්‍රීති වෙසක් යනුවෙන් සුභ පතා තිබුනේ කොන්ඩෝම් පැකට්ටුවක රුපය යොදා ගෙනය. 

අප බොහෝ කලෙක සිට නිරාගමිකයන් දැක ඇත. ඒ අතරින් බොහෝ දෙනෙකු මාක්ස්වාදීන් හෝ සමාජවාදීන්ය. නමුදු ඔවුහු කිසිවකු කිසිදු ආගමකට ගරහුයේ නැත. ඔවුන් කරේ තමන් විසි ආගම් ඇදහීම ප්‍රතික්ෂේප කිරීම පමණි. සමහරුන්ගේ නිවෙස් වල අනෙකුත් සාමාජිකයන් ආගම් ඇදහු අතර ඔවුහු ඒවාට විරුද්ධ වුයේද නැත. නමුත් නිරාගමික කරණය යනුවෙන් අන්තර්ජාලය හරහා පැතිර යන්නේ ස්වාර්ථ ප්‍රසිද්ධිය පිණිස වන ළදරු රැල්ලකි. මේ සිඟිති මන්ද බුද්ධිකයන් කිසිදු චාරයක් නොමැතිව ආගම් වලට ගරහති. ඒවායින් පොරවල් වෙන්නට මාන බලති. ප්‍රසිද්ධිය පිණිස නැතහොත් පේජ්  ලයික් එකක් වැඩි කරගනු පිණිස ඕනෑම ජඩ වැඩක් කරති. 

තමන්ගේ අවබෝධයෙන් නිරාගමික වීම එකකි. ආගම් වලට ගැරහීම තවෙකකි.

ප්‍රීති වෙසක්!