Thursday, April 27, 2017

අතුරුදහන් වූ අංකොර් ජනතාව

ප්‍රංශ ජාතික ස්වභාව විද්‍යාඥයෙකු වූ හෙන්රි මෞට් (Henri Mouhot) 1860 වසරේ ඉන්දු චීනයේ සංචාරය කරේ දුර්ලභ පක්ෂීන් උරඟ යන සහ කෘමීන් සොයමිණි. සතුන් සොයමින් වනාන්තර ගතවූ ඔහුට අහම්බෙන් පැරණි මාර්ග පද්ධති, ස්මාරක ජලමාර්ග කුළුණු ආදියෙන් සමන්විත නටඹුන් නගරයක් හමුවිය. ඔහු ඒ නගරය ග්‍රීක සහ රෝම ශිෂ්ඨාචාරයනට වඩා ශ්‍රේෂ්ඨ වුවක් විය හැකි බව  සිය දිනපොතේ සටහන් කළේය. අවාසනාවකට හෙන්රි මැලේරියාව වැළඳී මිය ගිය නමුත් ඔහු විසින් අංකොර් (Angkor) වනාන්තරයේ සැඟවුණු ශිෂ්ඨාචාරය වාර්තා ගත කර තිබුණි.

හෙන්රි මෞට්
හෙන්රිගේ වාර්ථා පරිශීලනය කළ ප්‍රංශ රජය මෙම නටඹුන් සොයා බැලීම සඳහා කොමිසමක් පත් කළේය.  එම කොමිසම විසින් ගිනිකොණ දිග ආසියාවේ කමර් නම් ජන කොට්ටාශයක් විසින් වසර 500 ක කාලයක් මුළුල්ලේ ගොඩනගන ලද නගරයක නටඹුන් සොයා ගත් අතර ක්‍රිස්තු වර්ෂ 15 න් පසුව මේ ජනතාව අතුරුදන් වූ බවද වාර්ථා  කළේය. 

ගිනිකොණ දිග ආසියාව සහ ඉන්දියාව අතර වෙළෙඳ කටයුතු ආරම්භ වීමත් සමගම මෙම ශිෂ්ඨාචාරය ආරම්භ වූ අතර ඉන් වසර ගණනාවකට පසුව ෆුනාන් යනුවෙන් හැඳින්වෙන වර්ථමාන කාම්පුචියාවේ මුල් අවධිය ඇරඹින. ෆුනාන් වදන කන්ද යන අර්ථය දනවයි. කමර් ජනකථා  අනුව ෆුනාන් හි නිර්මාතෘවරයා කෞන්දියා නම් බ්‍රාහ්මනයෙකි. ඉන් පසු වසර 500ක් තිස්සේ දියුණු වූ මෙම රාජධානිය ක්‍රිස්තු වර්ෂ 550 දී කාම්බුජාස් වරුන් විසින් ආක්‍රමණය කළහ. 

වසර හතලිස් අටක් තිස්සේ පාලනය ගෙනගිය "දෙවන ජයවර්මාන්" රාජකීය පෙළපතේ මෙන්ම කමර් අධිරාජ්‍යයේ ආරම්භකයා විය. මෙම රජ පෙළපත වසර 600 ක කාලයක් ඉදිරියට ගලා ගියේය. අවට සියළු ප්‍රාන්ත එක්සත් කළ දෙවන ජයවර්මාන් සිය අගනුවර කුලෙන් කන්ද මත ඉදිකළේය. එම රාජධානියේ සියළු ඇදහීම් පලවාහැර ඉන්දියානු ශිව දේව විශ්වාසය රටේ ස්ථාපිත කල අතර තමාව "දෙව් රජ වශයෙන් ප්‍රකාශ කළේය. රටේ නායක පුජක පදවියක්ද ඇති කළේය. දෙව් රජ යන්න කමර් රජවරු තිස් දෙනෙක් භාවිතා කල අතර එම කාල වකවානුව පුරා අංකෝර් තැන්න පුරා නගර සංකීර්ණයක් බිහි විය. 

ජයවර්මාන්ට පසුව ඔහුගේ මුනුපුරු පළවෙනි ඉන්ද්‍රවර්මාන් රජවූ අතර ඔහුගේ වසර එකොළහක පාලනය පුරා බොහෝ වැව් සහ වේලි ඉඳි කොට රට කෘෂි කර්මාන්තයෙන් සශ්‍රික කළේය. ඉන් පසුව බලයට පත් වූ පළමු යසෝවර්මාන් අග නගරයට නුදුරින් කළුගල් පිරමීඩයක් ගොඩනැගුවේය. තවද ඔහු විසින් සැතපුම් පහක් දිග වේල්ලක් ද වැවක් මැද විශාල දේවස්ථානයක් ගොඩනැංවීය. 12 වන සහ 13 වන සිය වස් තුල රාජධානියේ සෞභාග්‍යමත්ම අවධිය පසුකළේය. 

රාජධානියේ පරිහානිය සුර්යවර්මාන් ගේ පාලන කාලය තුල ඇරඹින. ඔහුගෙන් පසුව කිරුල සඳහා අරගල ඇතිවිණ. අවසානයේ සත්වන ජයවර්මාන් බලයට පත්විය. ඔහු විසින් ඉදිකිරීම් අතරමග තිබු දේවස්ථාන බොහෝමයක් නිම කල අතර බේයොන් නමින් බෞද්ධ විහාරයක් ද තැනවීය. 1229 දී සත්වන ජයවර්මාන් මිය ගිය පසුව පත්වූ දුර්වල පාලකයන් නිසා ජනසමාජයේ මෙන්ම අධිරාජ්‍යයේද කටයුතු  පරිහානියට පත්විය. 

13 වන සියවසේ ඇරඹි අඳුරු යුගය උච්ච වුයේ 15 වන සියවසේදීය. රාජධානිය සියම්වරු විසින් ආක්‍රමණය කර කොල්ල කා ධන ධාන්‍ය සිය රට ගෙනගියහ. ඊළඟ වසරේදීත් සියම් වරු නැවත පැමිණි අතර ඒ වනවිට නගරයේ කිසිදු මිනිසකු නොවීය. ශිෂ්ඨාචාරය අංකෝර් වනාන්තරය තුලට පලා ගිය බවටද කිසිදු සාක්ෂියක් නොවිණ. මේ ජනතාව අතුරු දහන් වූ ආකාරය අදටද අභිරහසකි.  

7 comments:

  1. මම කැමතිම මාතෘකාවක්... මිනිස්සු ශිෂ්ටාචාර කාලයක් අතහැරපු අවස්ථා කිහිපයක්ම තියෙනවා... මායා ශිෂ්ටාචාරය එකක්... අද මෙක්සිකෝව තියෙන හරියෙනෙ ඕක තිබිලා තියෙන්නේ... 900 දි වගේ මිනිස්සු මේ ශිෂ්ටාචාරය අතහැරියා සාගතය නිසා... මේ සාගතයට යුධ කටයුතු ගොඩක් බලපෑවා...

    ඉන්දු ශිෂ්ටාචාරය ඒ කිව්වේ හරප්පන් ශිෂ්ටාචාරයටත් මේ වගේම කතාවක් තියෙනවා... ඉන්දියාව, පකිස්තානය, ඇෆ්ගනිස්තානය හා ඉරානය තියෙන පෙදෙස් වල තමා මේක තිබිලා තියෙන්නේ... වසර දහස් ගණනකට කලින් මේ ශිෂ්ටාචාරයේ මිලියන පහක විතර ජනතාවක් ඉදලා තියෙනවා.... ඒ කිව්වේ ලෝක ජනගහනයෙන් 10% ක් වගේ... වසර 3000 කට විතර කලින් මේ ශිෂ්ටාචාරයත් මිනිස්සු අතහැරියා... ඒකත් අර කලින් කිව්වා වගේ ආහාර හිඟයක් තමා... ඒකට හේතු උනේ නියමාකාරව වර්ෂාව ලැබුනෙ නැති නිසා... වර්ෂාව ලැබිය යුතු කාලවල්වල ලැබුන්නෑ...

    පාස්කු දිවයිනේ කතාවකුත් තියෙනවා ... පුරා විද්‍යාඥයන් පුදුම උනා මේ දිවයිනවල් වල අච්චර විසාලෙට මෝයි පිලිම හදලා මිනිස්සු කොහාට යන්න ගියාද කියලා... ඊටපස්සේ හොයාගත්ත දෙයක් තමා මිනිස්සු පාස්කු දිවයිනේ ස්ථිර පදිංචි උනේ 700 - 1200 අතර කාලයේ කියලා... මිනිස්සු මේ දිවයින අතහැරියේ ඒ දිවයිනේ තිබ්බ කෘෂිකාර්මික සම්පත් හා ගස් සේරම ඉවර උන නිසා කියලා... පස්සේ මිනිස්සු මේ මෝයි පිලිම පාස්කු දිවයිනේ තියලා අනෙක් දිවයිනවල්වලට ගියා කියලා තමා කියන්නේ....

    Catalhöyük ලෝකයේ පරණම නගරයක් විදිහට තමා සලකන්නේ... වර්තමානයේ තුර්කිය තියෙන පැත්තේ තමා තිබිලා තියෙන්නේ... මේ නගරය අමුතුම නගරයක්... මේ නගරයේ පාරවල් තිබිලා නෑ... හැම ගෙයක්ම එකිනෙක ලගින් හදලා තිබ්බේ... ගෙදරට ඇතුල් වෙන්න ඕනේ වහලේ තියෙන හිලකින්... වගා කටයුතු කලේ නගර දොරටුවෙන් පිටත... මිනිස්සු මේ නගරයත් එකපාරටම අතහැරලා තියෙනවා...

    තව මේ වගේ අවස්ථා තියෙනවා... අයියගේ ලිපියට බොහොමත්ම ස්තූතියි ...

    ReplyDelete
    Replies
    1. විශාල වේලි තැනූ ශිෂ්ඨාචාර විනාශ වී තිබෙනුයේ වාෂ්පීකරණය නිසා ජලාශ වල ලවණ සාන්ද්‍රණය වැඩිවීමත් එම ජලාශ වලින් වගා කරනා කුඹුරු සහ ගොවිබිම් වලට ලැබෙනා ලවණ සහිත ජලය නිසා වගා කටයුතු අඩාල වීම නිසා බවත් මතයක් පවතිනවා.

      Delete
  2. Some people blame the European conquests for the deterioration of local civilizations of some countries. But, world history has been a continuous series of conquests of one by another. If Europeans didn't capture you, your neighbours did it !
    (Sorry, I don't have Sinhala font. Some glitch. And as a policy, I don't write Sinhala words in English characters because I find it so hard to read those. So, I wrote in English.)

    ReplyDelete
    Replies
    1. ප්‍රා ජේ ,
      අනුරාධපුර සහ පොළොන්නරු ශිෂ්ඨාචාර බිඳ වැටුනේ යුරෝපීය ආක්‍රමණ නිසා නෙවෙයි.

      එයට චෝල ආක්‍රමණ එක හේතුවක් පමණයි. ඉහත කොමෙන්ටුවේ දක්වා ඇති පරිදි මහා පරිමාන ජලාශ වල කාලයාත් සමග ලවණ සාන්ද්‍රණය ඉහල යාම තවත් හේතුවක් බවට මතයක් තිබෙනවා.

      Delete
  3. හොඳ ලිපියක් . මේක මොකක් හරි මුලාශ්‍රයකින් අරගෙන ලිව්වා එකක්ද? මේ දාන දමිල්ලට ගොඩක් මිස් වෙලානේ.

    ReplyDelete
    Replies
    1. මුලින්ම කියවන්න ලැබුනෙ හෙන්රි මෞට් ගැන කෙටි සටහනක් පසුව රීඩස් ඩයිජස්ට් එකේ තිබ්බ ලිපියක් තවත් වෙබ් ලිපි කීපයක් ආදී වශයෙන් ලිපි රැසක් ආශ්‍රයෙන් මේ ලිපිය ගොඩ නැගුවා.
      මේ වගේ ලිපියක් ලියන්න වෙන මහන්සියේ හැටියට පේජ් විවුස් ප්‍රමානය ගැන නම් සෑහීමකට පත් වෙන්න බැහැ. දේශපාලන ලිපි වලට තියෙන ආකර්ශණය මේවට නැහැ. නමුත් මම නම් හිතාගෙන ඉන්නෙ දිගටම මේ වගේ ලිපි ලියන්න

      Delete
    2. පේජ් විවුස් ප්‍රමානය ගැන වත් කමෙන්ට් ගැනවත් හිතන්න එපා අයියේ ... වේවා ගානට වෙයි

      Delete