Friday, April 14, 2017

ගමේ අවුරුද්ද

මා කුඩා කාලයේ සිංහල අලුත් අවුරුද්ද කැවුම් කොකිස් අතිරස වැනි කැවිලි කිහිපයකට සීමා වුවක් විය. එයට හේතුව වුයේ මා ඉපදී හැදී වැදුනේ ගමකුත් නොවන නගරයකුත් නොවන ධීවර ගමක කතෝලික පවුලක වීම නිසාය. සිංහල අලුත් අවුරුද්දේ අප වෙත තිබුණු ලොකුම සතුට වූයේ අපගේ නිවාස ඉදිරියෙන් වූ ගාලුපාරේ බයිසිකල් රේස් වලට සහ ගම හරහා දිවීමේ තරඟ වලට වතුර ගැසීමය. මේ සෙල්ලම ඉවර උනේ අනිවාර්යයෙන් හෙම්බිරිස්සා උණට ගොදුරු වීමෙනි. 

අවුරුදු නිවාඩු දින කිහිපය මාමාට සහ තාත්තාට නම් අවුරුදුමය. ඒ ඔවුන්ගේ යහළුවන් සමග මුහුදේ නෑම හෝ ක්‍රිකට් ගැසීම මුවාවෙන් සංවිධානය කරනා මහා පරිමාන මධූ සාද නිසාය. පසු දිනට පවත්වන්නට යෙදෙන මධු සාදය ගැන මාමා අපේ අම්මාට දන්වන්නේ 'අක්කේ හෙට මුහුදේ නාන්නට යහළුවන් පහලවක් එනවා" කියමිනි. රා වලට දේශ දේශාන්තර වල පවා ප්‍රසිද්ධියට පත් අප ගමට නෙක නෙක වාහන වලින් පැමිණෙන මාමාගේ සහ තාත්තාගේ යහළුවන් උගුඩුවන් මෙන් රා බී අනතුරුව රෙඩ් ලේබල් බොති. මුහුදු වෙරළෙන් මට්ටි අල්ලා තෙල් දමා කටගැස්මට ගනිති. විදෙස් රටවලින් සියළු ආනයනයන්  තහනම් කර තිබූ එකල රෙඩ් ලේබල් සැනෙකින් වාශ්පව ගොස් මැන්ඩිස් ඕල්ඩ් ස්පෙෂල් වලට මාරුවන විට කිහිප දෙනෙකු කබර පදම පසුකර හමාරය. ආච්චිගේ සහ අම්මාගේ රැවුම් ගෙරවුම් මැද සංවිධායක මණ්ඩලයම ගෙවල් සෝදති.  මාමාට සහ තාත්තාට කිසිවක් නොකියන ආච්චී "ලොකු උනාම උඹලත් පටන් ගනිල්ලා " යනුවෙන් උස් හඬින් කියනුයේ කුඩා අපට නොවන බව තේරුම් ගියේ බොහෝ කලකට පසුවය.

කුඩා කල නියම අවුරුදු අසිරිය අත් නොවිඳි මා නියම බක් මහා සැණකෙළිය කුමක්දැයි ත්රුම් ගත්තේ විවාහ වීමෙන් පසුව ය. ඒ කේතලෙන් මල්ලක් ගැනීමේ මහා පුණ්‍ය කර්මය හේතුවෙනි. මාතලේ නගරයට කිලෝමීටර දහයක් පමණ දුරින් කඳු මුදුනක පිහිටා ඇති බිරිඳගේ ගම තවමත් ගැමි ලක්ෂණ පහව නොගිය පෙදෙසක් ලෙසින්  හඳුන්වා දිය හැක. මාතලේ නගරයේ ඇති ගිනි රස්නයද එහි නැත. නිවෙස පිහිටා තිබෙන්නේද හෙල් මළු ක්‍රමයට සකසා ඇති කුඩා වෙල් යායකට මුහුණලා කන්දට වන්නටය. පැරණි ගම්පති නිවෙසක් වූ එහි අලුත් අවුරුද්දට පැමිණෙන්නන් බොහෝය. පවුලේ දරු මුණුබුරන් පමණක්ම  තිහ හතළිහක් එක්වෙති. නැකතට කෙරෙනා සියළු චාරිත්‍ර වාරිත්‍ර මා මුල් වරට අත්දුටුවේ එහිදීය.

සිංහල අලුත් අවුරුදු කාලයේ පංච දැමීම, බෙල්ලන් දැමීම, කැට ගැසීම, ඔලිඳ කෙලිය වැනි ගෘහස්ථ ක්‍රීඩා ගමේ ගෙවල් වල අවුරුදු අසිරිය ඔප නංවයි.. තේ වගාවට වඩා කොකෝවා, ගම්මිරිස්, කරාබු වැනි සුළු අපනයන භෝග නිසා පවතින ස්වභාවික පරිසරයේ කොහෝ නාදය නිරතුරුව ඇසේ. එක ගෙයකින් රබන් පදයක් ඇසෙන විට තවත් ගෙයකින් එයට පිළිතුරු පදයක් ඇසෙයි. 

පංච දැමීම ලොකු කුඩා සැමට දෙපසට බෙදී සිදුකළ හැකි ක්‍රීඩාවකි. නායකයන් දෙදෙනෙකි. නුවර මහින්ද අයියා සැම විටම එක් පසෙක නායකයාය. මේ ක්‍රීඩාව බොහෝ වෙලාවක් ඇදී යයි. ජය පෙනි පෙනී තිබෙන පංච පෙත පරාජයට හැරෙන්නට ගතවෙන්නේ නිමේෂයකි. ක්‍රීඩාව බොහෝ වේලාවක් ඇදෙනවිට වැඩිහිටි පිරිමි සංහතිය බෙහෙවින් නොසන්සුන් බවක් දක්වති. මහින්ද අයියා දිනාගෙන එන්නේ නම් ක්‍රීඩාව නවතින්නේ නැත. පැරදීගෙන එන්නේ නම් වැරදීමකින් පංච ලෑල්ලට කාගේ හෝ අත් පහරක් වදියි නැවත තිබු තැන් වල ඉත්තන් තියන්න ගිය විට රණ්ඩුවකි. මේ අවු අස්සේ පිරිමි ටික නිවසින් බොහෝ ඈත කිතුල් මුලක් පාමුල සිටිනු දැකගත හැක. 

අවුරුදු කාලය පොඩි උන්ට රජ මගුල් වන්නේ අම්මලාට උන් ගැන සොයා බලන්නට වෙලාවක් නොමැති තරමට වැඩ අධික වීම නිසාය. නිවසට පැමිණෙන නෑදෑයන් සහ අසල්වැසියන් සමග කතාබස් කොට සංග්‍රහ පවත්වා අවසාන වනවිට පොඩිඋන් ගම් වැදී අවසානය. තාප්ප වලට කොටුවී සිටිනවුන් ගමකට ගිය විට ඉබ්බා දියට දැම්මා වැනිය. දවල්ට කන්නට පොඩි උන් හොයන්නට එක පැත්තකින් ආරි නැන්දා පිටත් කර අහරින විට අනෙක් පැත්තෙන් උන්ගේ තාත්තලා සහ මාමලා හොයන්නට ගෙදර ඉතිරිව ඇති ගැටවර සෙට් එක යවති. අනතුරුව උන් දෙගොල්ලොම හොයන්නට ගුණතිලක නැතහොත් ලේනා පිටත් කරන්නට සිදුවෙයි. ආරි නැන්දා පොඩි සෙට් එක හොයාගෙන ආවත් මහ උන් නම් ගෙදර එන්නේ කෑම හීල් උනාටත් පසුවය. 

ඉක්බිති ගෙවල් ගානේ අවුරුදු ගමන් යාම අරඹන අතර ගියාට පසුව දැනගන්නට ලැබෙනුයේ පිරිමි පාර්ශවය නම් කලින්ම පැමිණ අවුරුදු සමරා ගොස් ඇති වගය. 

නැකතට තෙල් ගෑමේ උත්සවයට කොළ වර්ග සෙවීමේ ක්‍රියාන්විතය නිවසේ සේවකයන් කිසිවකුට  භාර නොදී චුටි මල්ලීත් මමත් ස්වේච්චාවෙන් භාර ගන්නෙමු. ළඟ ඇති ගස් වල කොළ එතරම් හොඳ නැති නිසා  කොළ වර්ග සපයා ගන්නේ බොහෝ දුර බැහැරිනි. එමින් ගමන කිතුල් ගස් සෙවනක නැවතී නයි මිරිස් කරලක් හපමින් තෙල්දිය පොල් කටුවක් දෙකක් හිස් කරන්නේ ගමන් විඩාව හරින්නටය.

අවුරුද්දට ගමට යන පොඩිඋන් බෙහෙවින් ප්‍රිය කරන්නේ දොලේ බැස නෑමටය. දොලේ නෑමටත් වඩා අත් ට්‍රැක්ටරයේ පිටුපස නැගී  දොලට යාමටය. ලොකු පොඩි සැම දෙනා පටවාගෙන දොලට යන ගමන අතිශය විනෝදජනකය. මේ ගමන යාමට විශාල කාලයක් ගත වෙන්නේ මග තොට හමුවෙන හැම දෙනාම සමග නැවතී නැවතී කතා කරන්නට සිදුවන නිසාවෙනි. දොලේ නෑම එක දවසකට සීමා වෙන්නේ එය යොදා ගන්නේ අවුරුදු නිවාඩුව අවසන්ව නැවත එන්නට පෙර දිනයේ නිසාය. පැය ගණනාවක් ජලයේ බස සිටියද කිසිවකුට හෙම්බිරිස්සා අමාරුවක් වත් වැළදෙන්නේ නැත.

අවුරුදු නිවාඩුව අවසන් වන විට ගමේ සියල්ලන්ම පාහේ  මුණගැසී හිතවත් කම් අලුත් කරගෙන අවසානය. ඒ නියම ගමේය. නගරයේ සහ  බාග ගමේ කරන්නේ අල්ලපු ගෙදරින් එවන කැවිලි පිගානට වෙන ගෙදරකින් ලැබුන කැවිලි ටිකක් දමා යැවීමය. නැතිනම් සබන් කැටයක් දමා යැවීමය.

7 comments:

  1. දැන් ගම්වලිනුත් අවුරුදු සිරිත් නැතිවෙලා ගිහිල්ල.
    ඉස්සරනං අපිත් ඔහොම කෑම පිඟං මාරු කලා.

    ReplyDelete
  2. බලං යනකොට දැං කොහේවත් අවුරුදු නෑ වගේ :(

    ReplyDelete
  3. //මුහුදු වෙරළෙන් මට්ටි අල්ලා තෙල් දමා කටගැස්මට ගනිති// මේ මොනාද දන්නා වචනයකින් කිව්වොත්?
    දොළේ බැහැල නෑම මාත් කරලා තියනවා ගමේ ගියහම. මරු වැඩේ.

    ReplyDelete
    Replies
    1. Clam තමයි මම කියන මට්ටි වර්ග. උන් ඉන්නේ වෙරළේ වැලි යට හැංගිලා උන් සෙන්ටිමීටර් 2 ත් 4 ත් අතර වර්ග තුන හතරක් ඉන්නවා
      Mussels කියන්නේ ගල් වල සහ පාවෙන ලී කොට වල ඉන්න මට්ටි ජාතියක්
      Oyster කියන්නේ බෙල්ලෝ වර්ගයක්
      තව ඉන්නවා කලපු මට්ටි කියල ජාතියක් කලපු වල උන් එකෙක් ග්‍රෑම් 200 විතර බරයි
      අපේ ගමේ වැඩිහිටියෙකුගේ අහල පස්සේ පොස්ට් එකක් දාන්නම්

      Delete
    2. අන්න ඔහොම එන්නකෝ. සිංහලෙන් පොඩ්ඩක් පැහැදිලි කරලා. ඔය මසල් ප්‍රා අර විනාකිරි දාපු පොඩි එකනේ. ඕක කන් හෙන අමාරුයි. අර උද තියෙන "කොළ පාට " ගූ ටික සුද්ධ කරනන් ගියහම. ඔයිස්ටර් නම් කෑව දෙපාරක්. බයයි කන්න. හරියට විස වෙනවා. අනික ඔයිස්ටර් කන්න ගියොත් ගෑණි හිතයි තව කසාදයක් කරගෙන කියල.

      Delete