Saturday, April 22, 2017

අන්ධ දේව භක්තියෙන් විනාශවූ නිකොලායි ගොගොල්

රුසියානු සාහිත්‍යය තුල සැරිසරනා පාඨකයාට හමුවන විශිෂ්ඨතම උපහාස ලේඛකයා වශයෙන් නිකොලායි ගොගොල් හැඳින්විය හැක. ඔහු රුසියානු රාජාණ්ඩුව කෙතරම් විශිෂ්ඨ ලෙස උපහාසාත්මකව විවේචනය කලේද කිවහොත් රුසියානු රජුගේ පවා උදහසට ලක් නොවී අනුග්‍රය ලබා ගන්නට සමත් විය.

නිකොලායි වැසි ලෙච්චි ගොගොල් වර්ෂ 1809  මාර්තු 19 වනදා බටහිර රුසියාවේ සොරවින්ට්ස්කි නම් කුඩා නගරයේ උපන්නේය. ඔහුගේ පියා සුළු ඉඩම් හිමියකු විය. මව දේව භක්තියෙන් අන්ධවූ අඩුවයසින් විවාපත් තැනැත්තියක වුවාය. විරූපී පෙනුමකින්ද, නිතර ලෙඩ රෝග වලින් ද පෙළුණු ගොගොල් ඉගෙනීමට සමත්කම් දැක්වූ ළමයකු නොවීය. ඔහු පාසල් විෂයනට දක්‍ෂතාව නොදැක්වූ නමුදු සාහිත්‍ය පොත පත මහත් අභිරුචියකින් කියවුවකු විය.  වයස 28 දී ගොගොල්ගේ පියා මියගිය පසුව ඔහුගේ පාසැල් ගමන නැවතින.

ප්‍රසිද්ධ පුද්ගලයකු වීමේ මහත් අභිලාශයකින් සිටි ගොගොල් වයස 19දී පීටර්ස්බර්ග් නුවරට ගොස් නීතිය හැදෑරීමට   පටන්ගත් නමුදු එය අසාර්ථක විය. පසුව නළුවකු වීමට උත්සහ කල නමුදු එයද අසාර්ථක විය. 

අවසානයේදී ලේඛණය වෙත හැරුනු ගොගොල් කවි පොතක් ලියා ප්‍රකාශකයකු සොයාගත නොහී තමන්ගේ වියදමට තිබු මුදලින් ප්‍රකාශයට පත් කලද ඔහු බලාපොරොත්තු වූ ප්‍රසිද්ධිය ලබා ගැනීමට නොසමත් විය. එවර පොත් සාප්පු ගානේ ගොස් විකිණීමට තබා තිබූ ඔහුගේ පොතෙහි පිටපත්  එකතුකර ගිනිබත් කළේය.

අනතුරුව විදේශ ගතවීමට සිතු ඔහු ඇමෙරිකාවට යාමට පිටත්ව ජර්මනියේදී අතේ මුදල් අවසන්වීමෙන් අනතුරුව  නැවතත්  පීටර්ස්බර්ගේ වෙතම හැරී ආවේය. එවර පීටර්ස්බර්ග් නගරයේ ස්වදේශ භාර අමාත්‍යංශයේ සුළු වැටුපකට ලිපිකරුවකු වශයෙන් බැඳුනේය. ගොගොල්ට සිය  රැකියාවෙන්  ජීවිතය ගෙවීමට තරම් වැටුපක් නොලදුයෙන් නැවතත් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන්  ලේඛනය පටන්ගත්තේය. එවර ඔහු සාර්ථක විය. පුවත් පත් වලට ලියූ ලිපි එකතු කොට පලකල "දිකන්තා ගම අසල" නම් පොත ඔහුව වයස 22 දී ප්‍රසිද්ධ නවකතා කරුවකු බවට පත් කළේය. නවකතා කරුවකු වශයෙන් ලද ප්‍රසිද්ධිය නිසා ඔහු පීටර්ස්බර්ග් හී  උසස් සමාජයට ඇතුලත් විය. අනතුරුව ප්‍රකාශයට පත් කල දිකන්තා ගම අසල දෙවන කොටස, ටරාස්බුල්ලා භයානක පලිගැනීම, ඉවාන් පියෝදොරෙවිච්, මර්ගොරොඩ් වැනි නවකතා තුලින් ගොගොල් රටපුරා කීර්තිය මෙන්ම ධනයද රැස්කර ගත්තේය.

අනතුරුව නාට්‍ය කිහිපයක් ලියා අසාර්ථක වූ ගොගොල් රාජ්‍ය පාලනයේ දුෂණ කර්කශ ලෙස උපහාසයට ලක්කළ "ආණ්ඩුවේ පරීක්ෂක" නාට්‍යය තුලින් ඉමහත් ප්‍රසිද්ධියක්  ලැබුවේය. මෙම නාට්‍යය කියවූ පළමුවෙනි නිකලස් රජතුමා ඉන් ප්‍රසාදයට පත්ව එම නාට්‍යය රාජකීය රඟහලේ වේදිකා ගත කරන්නට අණ කළේය.   "ආණ්ඩුවේ පරීක්ෂක" නාට්‍යය නිසා රජතුමා ප්‍රසාදයට පත්වූවද ඉන් පහරකෑ නිලධාරී පන්තියෙන් ආරක්ෂා වීමට ඔහු යුරෝපයට පැනගොස් වසර 12ක් විසුවේය. ඉන් වැඩි කලක් රෝමයේ ගතකල ගොගොල් "විවාහය" නමැති නාට්‍යයත්, විශ්ව සාහිත්‍යයේ අති ශ්‍රේෂ්ඨ "මළ මිනිස්සු" නවකතාවත් ලියුවේය.  මළ මිනිස්සු නවකතාව රුසියාවේ එවකට පැවති වහල් මෙහෙය නිසා රටවැසියා විඳින පීඩාව අති උපහාසයෙන් නිර්දය ලෙස විවිචනය කළේය.

මේ කාලයේදී ඔහු පුජකයන්ගේ ග්‍රහණයට හසුවිය. නවකතාකරණය හැර දමා ධර්ම දේශකයෙකු වීමට උත්සහ කළේය. දේව භක්තියෙන් උමතුව අත තිබූ මුදල් දිළින්දන්ට බෙදා දී ණය ගැතියෙකු බවට පත් වුනේය. ඒ වෙනුවෙන් ධර්ම දේශනා අඩංගු පොතක් ලියා පල කළේය. එහි ඉදිරපත් කල දර්ශනය වුයේ සියල්ල දේව කැමැත්ත මත සිදුවන බවය. නමුත් මෙම පොතහි අන්තර්ගතය පාඨකයා අතර ප්‍රතික්ෂේප විය. ඔහුට දැඩි විවේචන එල්ල විය. එම පහරදීම් ඉවසිය නොහැකිව ඔහු දැඩි ලෙස වේදනාවට පත් විය. 

පුජකයන්ගේ බලපෑමට යටත්ව සිටි ගොගොල් දේව භක්තියෙන් අන්ධවී ලියා තිබු සියල්ල ගිනි තබා දැමුවේය. මළ මිනිස්සු නවකතාවේ දෙවන කොටසද එලෙස ගිනිබත් වූ අත් පිටපත් අතර විය. 

අවසානයේදී 1852 පෙබරවාරි 21 දින වයස 42ක් වූ ගොගොල් උමතුවෙන් මියගියේ  ''මට ඉනිමගක් දෙන්න, මට ඉනිමගක් දෙන්න" යනුවෙන් පවසමිනි.

12 comments:

  1. Diary of a Madman කතාව වතාවක් හොයාගෙන කියෙව්වා මතකයි. රුසියන් කතා පස්සේ පිස්සෙක් වගේ දුවපු අතීතයක් මට තිබුණා. ඒ ඇරෙන්න මොකක් හරි හේතුවක් නිසා ගොගොල් ගේ අනික් නිර්මාණ කියවන්න ලැබුණේ නැහැ. ලිපිය නිසා ඒ මතක කීපයක් අලුත් වුණා. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. මම නම් ආසම මල මිනිස්සු පොතට.

      Delete
  2. විසි දෙකෙන් නවකතා කාරයෙක් වෙලා 42 යනවා කියන්නේ මොන ජීවිතයක්ද බං

    ReplyDelete
    Replies
    1. මම කියවල තියෙන විදියට ඔය යුගයේ යුරෝපයේ සහ රුසියාවේ මිනිසුන් ගේ ජීවිත කාලය අදට සාපේක්ෂව ගොඩක් අඩුයි. ක්ෂය රෝගය, පෙනහලු රෝග, වසංගතසහ ආහාර රටා මේකට හේතුවෙලා තියනවා. එක තැනක කියෙව්වා බ්‍රිතාන්‍යයේ ඔය යුගයේ ආයු අපේක්ෂාව 40 යි කියල එකට හේතුව විදියට දක්වල තිබුනේ අධික අර්තාපල් පරිභෝජනය.

      Delete
  3. සමහර දැවැන්තයො අඩු වයසින් පටන් අරන් අඩු වයසින්ම ඉවර වෙනව

    ReplyDelete
  4. ගොගොල් ගේ වඩාත්ම ජනප්‍රිය නිර්මාණය හිම කබාය නම් කෙටිකතාව නේද?

    ReplyDelete
  5. ස්තූතියි ලිපියට...

    ReplyDelete
  6. "එම පහරදීම් ඉවසිය නොහැකිව ඔහු දැඩි ලෙස වේදනාවට පත් විය."
    සියල්ල වෙන්නේ දේව කැමැත්තටනම් වේදනාවට පත් වෙන්නෙ මොන එහෙකටද මංදා..

    මළ මිනිස්සු පොතත් ඉවර කළේ නෑ වගේ මතක...මොනවා වුනත් ඔහු ලෝකයම දන්නා අමරණීය චරිතයක්..

    ReplyDelete