මෙතෙක් දම්පාට දේදුන්නෙහි සංගීත චාරිකාවක් ලිපි පෙළ තුල ලියවුනේ ගායකයන්, සංගීත ශිල්පීන්, සංගීත කණ්ඩායම් සහ ඔවුන්ගේ නිර්මාණ පිලිබඳවය. අද පටන්ගන්නා මෙම ලිපි පෙළ පුරා විවිධ සංගීත ශෛලීන්හි ඉතිහාසය පිළිබඳව ලියැවෙනු ඇත.
රොක් සංගීතයේ ඉතිහාසය පිළිබඳව පිළිගත් නිශ්චිත මතයක් පලවී නොමැත. පළමු රොක් ගායකයා කවුරුද යන්න මෙන්ම පළමු රොක් ගීතය කුමක්ද යන ප්‍රශ්න දෙකට බොහෝ මතවාද පවතියි. කෙසේ නමුත් රොක් සංගීතය බිහිව ඇත්තේ පැරණි ආර් ඇන්ඩ් බී සංගීතය කන්ට්‍රි සහ බටහිර සංගීතය සමග මුසුවීමෙන් බව පිළිගත් මතයයි.
රොක් සංගීතයේ ආරම්භක වකවානුවද අවිනිශ්චිතය. වෙනත් සංගීත ශෛලීන් ජනප්‍රියව තිබු විසිවන සහ තිස් වන දශකයන්හි පවා කන්ට්‍රි සහ බටහිර ගීත කිහිපයක රොක් ඇන්ඩ් රෝල් ශෛලීයේ මුලික කොටස් නිරීක්ෂණය කළහැක.
රොක් ඇන්ඩ් රෝල් වාක්‍ය ඛණ්ඩය නැතහොත් යෙදුම මුල් යුගයේ භාශාත්මකව යොදවාගෙන ඇත්තේ සෘන්ගාත්මක අර්ථයකිනි. මෙම වාක්‍ය ඛණ්ඩය අර්ථ දෙකකින් යොදාගෙන ඇති බව පෙනේ. එනම් නර්තනය සහ මෙවුන්දමය. ගීතයක මෙම වාක්‍ය ඛණ්ඩය මුල් වරට යොදාගෙන ඇත්තේ ට්‍රික්සි ස්මිත් ගේ “My baby rocks me with one steady roll.” නම්වන 1920 වසරේ එළිදැක්වූ නිර්මාණයහිය. කෙසේ නමුත් මුල් වරට රොක් ඇන්ඩ් රෝල් යෙදුම භාවිතා කර ඇත්තේ ඔහියෝහි ඩී.ජේ. ශිල්පියකු වූ ඇලන් ෆ්‍රීඩ් විසිනි. එතැන් පටන් රොක් සංගීතය විධිමත් මගකට යොමුවූ බව විචාරකයන්ගේ මතයයි.
බිල් බෝඩ් දර්ශකය තුල ස්ථාන ගතවූ පාලමු රොක් ගීතය ලෙස සැලකෙනුයේ බිල් හාලේ ගේ Rock around the clock නම් ගීතයයි.
රොක් සංගීතයේ ඉතිහාසය පුරා වෙනත් කිසිදු සංගීත ශෛලීයක ට වඩා ජනප්‍රිය තාරකා බිහිව ඇත. ඒ අතරින් මුල් යුගයේ ජනප්‍රිය ගායකයන් ලෙස බිල් හාලේ, චුක් බේරී සහ ලිටල් රිචර්ඩ් නම්කළ හැක. මෙම පැරණි ජනප්‍රිය ගායකයන්ගේ ගීත සංගීත ලෝකය කළඹවමින් රොක් සංගීතය ජනප්‍රියත්වයේ හිනිපෙත්තට ගෙන ඒමට මගපාදා ඇත.
Chuck Berry
Little Richard
Bill Harley