Monday, April 17, 2017

සිරගෙයට බිය නොවූ සටන්කාමියා - වෝල්ටර් සිසිලු


අප්‍රිකානු සුදු වර්ගභේද වාදයට එරෙහි සටන ගැන සොයන පාඨකයාට කියවීමට ලැබෙනුයේ ප්‍රධාන වශයෙන්ම නෙල්සන් මැන්ඩෙලා ගැන ලියවීම් ය. අප්‍රිකානු වර්ග භේද විරෝධී සටන  සුවිශේෂී වන්නේ එහි නායකයන් දීර්ඝ කාලීනව සිරගතව සිටින අතරතුරදී ජයග්‍රහණයෙන් කෙලවර වූ  සටනක් මෙහෙයවීමය. 

අප්‍රිකානු ජාතික සංගමයේ ප්‍රධාන ලේඛම් ධුරය හෙබවූ වෝල්ටර් මැක්ස් උල්යාටේ සිසිලු වසර 26ක සිර දඬුවමක් විඳි අදීන නායකයෙකි. ඔහු උපන්නේ 1912 මයි 18 දින දකුණු අප්‍රිකාවේ ට්‍රාන්ස්කයි නගරයේදීය. තරුණ වියට පත්වන්නට පෙර ඔහුගේ පවුල පියා විසින් අතහැර ගියෙන් සිසිලු සහ ඔහුගේ මව ජොහැන්ස්බර්ග් නගරයට  සංක්‍රමණය විය. ලොන්ඩරි සේවිකාවක වූ ඔහුගේ මවගේ ජීවන අරගලයට සහය දෙනු වස් වයස 15ක් වූ සිසිලු පාසල අත්හැර ගොවිපොලක සුළු රැකියාවකට බැඳුණි. පසුව රන් පතලකද විවිධ කාර්මික ආයතන වලද ඔහු රැකියාව කළේය. නමුත් මේ කිසි රැකියාවක් දිගු කලක් කිරීමට නොහැකි වුයේ සුදු කොම්පැනිකරුවන්  කළු ජාතිකයනට සිදු කල වෙනස් කම් වලට එරෙහි වීම නිසා පැනනැගුනු ගැටුම් හේතුවෙනි.

මුල් කාලයේදී ඕලරාඩෝ සහෝදර  සංගමය නම් නිදහස් ව්‍යාපාරයට බැඳුණු ඔහු කළු ජාතිකයන් ආර්ථික  සහ සමාජයීය වශයෙන් නගා සිටුවීමේ සටන් මෙහෙයවීය. 

බේකරියක සේවය කරනා අතරතුර වැඩ වර්ජනයක් සංවිධානය කිරීම හේතුවෙන් ඔහු රැකියාවෙන් නෙරපනු ලදුව අප්‍රිකානු ජාතික සංගමයට බැඳුණි. මේ නිසා සිසිලු නෙල්සන් මැන්ඩෙලා ගේ ඇසුරට පත්වී අවසානයේ ජාතික සංගමයේ භාණ්ඩාගාරික තනතුරට පත් විය. මැන්ඩෙලා නීතිය ඉගෙන ගන්නා සමයේ ඔහු විසින් සිය වැටුපෙන් කොටසක් ඒ සඳහා පරිත්‍යාග කළේය. 
වයස  37 දී  ජාතික සංගමයේ පුර්ණ කාලීන ලේඛම් ධුරය ඔහු විසින් භාරගත් අතර පවුම් තුනක ඉතා සුළු වැටුපක් පමණක් එයින් ලද්දේය. විවාහකයකු වූ ඔහුගේ පවුල රැකුණේ බිරිඳ ඇල්බටිනා හෙද සේවයෙන් ලද වැටුපෙනි. 

කළු ජාතික ළමයෙකුගේ ප්‍රවේශ පත්‍රයක් සුදු ජාතික දුම්රිය නිලදරුවකු සිය භාරයට ගත් අවස්ථාවක ඔහු සමග දබරයක පැටලීම හේතුවෙන් ඔහු මුල් වරට සිරගතවිය.

වසරේ සුදු පාලනයට එරෙහිව 1952 වසරේ සංවිධානය කරනා ලද වර්ණ භේද විරෝධී ජාතික ව්‍යාපාරය සැලසුම් කල සිසිලු සිර භාරයට ගන්නා ලද අතර  දේශපාලන තහනමකටද යටත් විය.

1952 දෙසැම්බරයේදී එවකට ජාතික සංගමයේ සභාපති ධුරය දැරූ ජේමිස් මොරෝකා සහ නෙල්සන් මැන්ඩෙලා කොමියුනිට්ස්වාදය මර්ධනය කිරීමේ පනත යටතේ චෝදනා එල්ලකොට අත්හිටවූ සිරදඬුවම් පමුණුවන ලදී. 

සංගමයේ ලේඛම් ධුරයෙන් අස්වන ලෙස බලපෑම් කල සුදු පාලනය  1954දී සිසිලුට දේශපාලන ක්‍රියාවල යෙදීමද තහනම් කළේය. නමුත් ඔහු රහසිගතව දේශපාලනයේ නිරත විය.

එතැන් සිට 1963 තෙක් බොහෝ වතාවක් කෙටි සිර දඬුවම් වලට යටත් විය. 

1963 ජූලි මස ඔහු ඇතුලු සටන් කාමීන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන නඩු පවරන ලදී. නෙල්සන් මැන්ඩෙලා සහ සිසිලුට  ජීවිතාන්ත සිර  දඬුවම් නියම කරමින් 1964 ජුනි  12 දින නඩු විභාගය අවසන් වින. වසර 26ක සිර දඬුවමකින් පසුව 1989දී වෝල්ටර්  සිසිලු නිදහස් විය.

වසර 2003 මැයි 17 දින මේ සටන්කාමියා මෙලොවින් සමු ගත්තේය.

3 comments:

  1. ඒක ඇත්ත . මැන්ඩෙලා ගැන විතරයි වැඩිපුරම අහල තියෙන්නේ. මේ වගේ වීරයෝ හුඟක් ඔතන හිටියා අපි නොදන්නා.

    ReplyDelete
    Replies
    1. අරගලයේ වීරයෝ විතරක් නෙමෙයි.
      සමාදානයේ වීරයෝත් ඉන්නවා. F.W. De Klerk ඒවගේ වීරයෙක්

      Delete
  2. ස්තූතියි ඔහු ගැන තව කියෙව්වා. ඔහුට ඉන්දියාව විසින් පද්ම විබූශණ සම්මානය ලබා දී තිබෙනවා. ඒ කුමන හේතුවකට දැයි සොයා ගැනීමට බැරිවුණා. සාමාන්‍යයෙන් එම සම්මානය විදේශිකයෙකුට ලබා දෙන්නේ ඔහු/ ඇයගෙන් ඉන්දියාවට, ඉන්දියානුවන්ට හෝ ඉන්දියානු සාහිත්‍යයට සිදු කල සේවයන් වෙනුවෙන්

    ReplyDelete