Tuesday, May 30, 2017

සිංහල රජකු චීනයට පැහැරගෙන ගිය ෂෙන්-හෙ නම් සෙන්පතියා

චීනයේ මිං රාජවංශයේ පාලන සමයේ විසු ෂෙන් හේ (Zheng He) දේශ ගවේෂකයකු, රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම නාවික හමුදා අද්මිරාල් වරයකු විය. මොන්ගෝලියාවේ යුනාන් හි මුස්ලිම් ආගමික පවුලක් උපන් ඔහු පසු කලෙක ආගමික සංකලනයක් (Syncretism) තුල ජීවත් විය. ඔහුගේ මුතුන් මිත්තන් පර්සියාවේ සිට මොන්ගෝලියානු අධිරාජ්‍යයේ සේවයට පැමිණියාහු වෙති. චීනයේ මිං රාජ වංශය යුනාන් ආක්‍රමණය කළ අවදියේදී චීන හමුදා විසින් එකොලොස් හැවිරිදි ෂෙන් හේ අත්අඩංගුවට ගෙන ඔහුගේ පුරුෂ ලිඟුව කපා දමා චීන අධිරාජයාගේ සතර වන පුත්‍රයා වූ "ෂූ ඩෙ" (Zhu Di) ගේ නිවසේ සේවයට යොදවා ඇත.

"යොංගල්" අධිරාජයා ලෙසින් කිරුල පලන්  ෂු ඩෙ කුමාරයා  චීන අධිරාජයා බවට පත්වීමෙන් පසුව රාජ සභාවේ ඉහළ තනතුරක් ෂෙන් හේ ට ලැබිණ. පසුව යොංගල්" අධිරාජයා විසින් පිහිටුවන ලද අති විශාල නාවික හමුදාවේ අද්මිරාල් ධුරයකට  ෂෙන් හේ පත් විණ.

චීන ජාතිකයන් විසින් වසර 1405 සහ 1433 අතර වටිනා වස්තුන් සොයා දියත් කරනා ලද නාවික මෙහෙයුම් (Treasure oyages) හතෙහි අද්මිරාල් වරයා ෂෙන් හේ විය. මින් පළමු මෙහෙයුම් තුන ඉන්දියාවේ කැලිකට් වෙත දියත් කෙරිණ. මේ කාලය තුල ආසියානු සහ අප්‍රිකානු රටවල් 30කට ඔහු සංචාරය කළ අතර කිලෝමීටර් ලක්ෂයකට වැඩි දුරක් ගමන් කළේය. ෂෙන් හේ ගේ නාවික බල ඇණිය නැව් 300ක යාත්‍රා කළ නාවිකයන් 27,000 කින් යුක්ත විය. 

ෂෙන් හේ ගේ මෙම ගවේෂණය කොලොම්බස් ඇමරිකාව සොයා ගැනීමට වසර 87 කට පෙර සිදුකරනා ලද්දක් මෙන්ම මැගලන්ගේ ලොව වටා සංචාරයට වසර 114කට පෙර සිදුකරන්න ලද්දකි. 

කොළඹ කෞතුකාගාරයේ තැන්පත්
කර ඇති ෂෙන් හේ ගේ සෙල් ලිපිය 
මෙම නාවික මෙහෙයුම් අතරතුර ෂේන් හේ විසින් සය වතාවක් ලංකාවට පය තැබූ බව කියවෙයි. ඉන් තෙවන වතාවේදී ඔහු විසින් ගාල්ලේ සෙල් ලිපියක් පිහිටුවා ඇත. 1911වසරේදී සොයාගන්නා ලද එම ලිපියහි චීන පර්ශියන් සහ දෙමල භාෂා තුනෙන් අකුරු කොටා ඇත. 

චීන භාෂාවෙන් කොටා ඇති ලිපියේ දැක්වෙන්නේ කන්දේ පිහිටි බෞද්ධ ආරාමයට ලබා දුන් පඬුරු විස්තරයයි. පර්ශියන් භාෂාවෙන් අල්ලා දෙවියනට ලබා දුන් පඬුරු සහ දෙමල භාෂාවෙන් තෙනවරයි නායනර් නම් දෙමල දෙවියනට ලබා දුන් පඬුරු පිලිබඳ ලැයිස්තුව සඳහන් වෙයි. භාෂා තුනකින් සංස්කෘති තුනක් සහ ආගමික දර්ශණ තුනක් සම්බන්ධව කරුණු හෙලිකරනා මෙම සෙල් ලිපිය චීනයේ මිං අධිරාජ්‍යයන් ගේ බහු සංස්කෘතික ලැදියාව පෙන්නුම් කරයි.

ෂෙන් හේ ගේ නැවෙහි ආකෘතියක් 
ෂෙන් හේ  ලංකාවට පැමිණෙන අවධිය වන විට මෙරට පැවතියේ ගම්පොල රාජධානි සමයයි. ශ්‍රී දන්ත දාතුන් වහන්සේ ගම්පොල රාජධානියේ වැඩසිටි බැවින් එය රටේ අග නගරය වශයෙන් සැලකුවද එසමයේ රට පුරා රාජධානි රැසක් පැවතියේය. ලංකාවේ බටහිර වෙරළේ පැවතියේ රයිගම් රාජධානියයි. රයිගම් රාජධානිය යනු ගැලණිගම, බණ්‌ඩාරගම, වීදාගම ලෙසින් මේ වනවිට හැඳින්වෙන ප්‍රදේශයයි. මෙම රයිහම් රාජධානියේ පාලකයා වීර අලකේශ්වර නම් රජෙකු බවට සද්ධර්මරත්නාකරය සාක්ෂි දරයි. තවත් මුලාශ්‍ර වල වීර අලකේශ්වර කෝට්ටේ රාජධානියේ පාලකයා බව කියවෙයි. ( මේ සම්බන්ධව ඉතිහාසය මැනවින් දන්නා පාඨකයනට කරුණු තහවුරු කරනා ලෙස ඉල්ලා සිටිමු)

ෂෙන් හේ ගේ නැව සහ කොලොම්බස් ගේ නැව
අතර සංසන්දනය
ඉන්දියාවේ කැලිකට් වරාය වෙත ගමන් කිරීමේ අරමුණින් ෂෙන් හේ ගේ නායකත්වයෙන් යුතුව වසර 1405 ජුලි මස 11 වැනි දින පිටත් වූ චීන නාවික හමුදාව ගමනේ අතරමගදී ලංකාවට ගොඩබැස ඇත. එම හමුදාව ගොඩ බට ප්‍රදේශයේ පාලකයා වූ වීර අලකේශ්වර ඔවුනට දැක්වූ විරෝධතාව හේතුවෙන් ෂෙන් හේ ප්‍රමුඛ නාවික හමුදාව ලංකාවෙන් පිටත්ව කැලිකට් වෙත ගමන් කර ඇත. 

වසර 1411දී නැවත ලංකාවට පැමිණෙන ෂෙන් හේ එවර රයිගම් රාජධානියට පහරදී වීර අලකේශ්වර රජුව චීනයට පැහැරගෙන ගොස් ඇත. ලංකාවේ වංශ කථා වන්හි මෙම සිද්ධිය නිසි ලෙස වාර්ථා වන්නේ නැත. නමුත් චීන රාජ සභාවේ එදිනෙදා කටයුතු පිලිබඳ වන  "මින් ෂිලු" (Ming Shilu) නමින් හැඳින්වෙන වාර්ථා වල වීර අලකේශ්වර සම්බන්ධ සටහන් දක්නට ලැබෙයි. 

ක්‍රි.ව. 1411 ජුලි මස 6 වැනි දින "මින් ෂිලු" වාර්ථා

  • නපුංසක "ෂෙන්-හෙ" සහ අනෙක්‌ අය විවිධ රටවල තානාපතීන් ලෙස බටහිර සමුද්‍රයට යවන ලද අතර ලංකාවෙන් අල්ලා ගන්නා ලද "යා-ලීකු-නා-යිර් (ya-lier-ku-nai-er) රජු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් අද දින රාජ සභාවට ඉදිරිපත් කරන ලදි. පෙර දිනක "ෂෙන්-හෙ" ලංකාවට පැමිණි විට "යා-ලීකු-නා-යිර්" ඔහුට අගෞරව වන ලෙසත් අපහාසාත්මක ලෙසත් හැසිරෙන ලදී.
  • "මේ "යා-ලී කු-නා-යිර්" තමන්ගේ අසල්වැසි රටවලට සතුරු ලෙස ක්‍රියා කරන අතර ඔවුන්ගේ තානාපතිවරුන්ට බාධා පමුණුවමින් භාණ්‌ඩ සොරකම් කිරීමක්‌ කරන ලදී. ඔහුගේ මෙම ක්‍රියාවන් නිසා අපගේ මිත්‍ර රටවල් පීඩා විඳින ලදී. නැවත පසු කලෙක "ෂෙන්-හෙ" පැමිණිවිට ලංකාවේ රජු උපක්‍රමශීලී ලෙස ඔහු රට තුළට ඇතුළු කරගන්නා ලදී. මෙවිට රජු රහසිගතව පන්දහසක හමුදාවක්‌ "ෂෙන්-හෙ" බඩු කොල්ල කෑමට එවන ලදී. ඔවුන් ගස්‌ කපා දමා "ෂෙන්-හෙ"ට නැවත නැව් කරා යැමට ඉඩ නොදුන්නේය."
  • "ෂෙන්-හෙ" පුද්ගලිකවම දෙදහසක හමුදාවක්‌ සමග වෙනත් අඩි පාරක්‌ ඔස්‌සේ ගොස්‌ රාජකීය නගරයට හදිසියේ පහර දෙන ලදි. එහිදී ඔවුන් අගනුවර යටත්කරගත් අතර "යා-ලී කු-නා-යිර්", ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ නායකයන්ද, ජීවග්‍රහයෙන් අල්ලා ගන්නා ලදි. "ෂෙන්-හෙ" ඔවුන් සමග චීන රාජ සභාවට පැමිණෙන ලදී."

ක්‍රි.ව.1412 අගෝස්‌තු මස 20 වැනි දින "මින් ෂිලු" වාර්ථා

  • "යේ-බා-නේ-නා" (ye-ba-nai-na) ලංකාවේ රජු ලෙස පත්කරන ලදී. මීට ප්‍රථම "යා-ලී කු-නා-යිර්" නමැති ලංකාවේ රජු විසින් සිදුකරනලද විවිධ වැරදි ක්‍රියා නිසා අත්අඩංගුවට ගන්නා ලද අතර, අධිරාජයා විසින් ඔහු වෙනුවට ඔහුගේ ඥතියකු වන සුදුසු පුද්ගලයකු එම රටේ පාලකයා ලෙස පත් කරන ලෙස නියෝග කරන ලදි.
  • මෙම අවස්‌ථාවේ දී රැස්‌ව සිටි ඇමැතිවරුන් ඉල්ලා සිටියේ "යා-ලීකු-නා-යිර්" මරණයට පත්කරන ලෙසයි. එවිට අධිරාජයා මෙසේ පැවැසීය. මිනිසුන් සහ මිතුරන්, කුරුල්ලන් සහ සත්වයින් වැනිය. ඔවුන්ට අනවශ්‍ය ලෙස දඬුවම් දීමෙන් පලක්‌ නැත. මෙම අධිරාජයා ඔහුට සමාව දී නැවත ඔහුගේ රටට පිටත්කර යවන ලදි.

මෙලෙස චීන සහ ඉන්දියන් සාගර වල පරාක්‍රමය පෑ අද්මිරාල් ෂෙන් හේ වස්තුව සොයා ගිය හත් වන මුහුදු ගමන අවසානවී ටික කාලෙකින් 1433 වසරේදී කැලිකට් හිදී මියගිය බව කියවේ. තවත් වාර්තාවකින් කියවෙන්නේ නැන්ජිං හි නගරාරක්ෂක වශයෙන් සේවය කරමින් සිටියදී වසර 1435දී මිය ගිය බවය 

මුලාශ්‍ර 
Zheng He: A Peaceful Mariner and Diplomat <http://www.china.org.cn/english/features/zhenhe/134661.htm>

චීන සෙන්පති 'ෂෙන් හෙ' රයිගම රජු පැහැරගෙන චීනයට ගෙන යයි <http://www.divaina.com/2015/09/02/badada01.html>

Ming–Kotte War <https://en.wikipedia.org/wiki/Ming–Kotte_War>

Treasure voyages <https://en.wikipedia.org/wiki/Treasure_voyages>

Zheng He <https://en.wikipedia.org/wiki/Zheng_He>

Galle Trilingual Inscription <https://en.wikipedia.org/wiki/Galle_Trilingual_Inscription>

9 comments:

  1. වැදගත් ඓතිහාසික කරුණු ඇතුළත් වටිනා ලිපියකි.මා ද ඉතිහාසය සම්බන්ධයෙන් හදාරා ඇති බැවින් මෙම ලිපියේ දක්වා ඇති කරුණු පිළිබඳව පසුව ඌණපූර්ණයක් සැපයීමට බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
    Replies
    1. මේ ලිපියේ අඩු පාඩු ලියා එවන්න. සම්පුර්ණ ලිපියක් නම් අගනේය ඔබට බ්ලොග් අඩවියක් නොමැති නම් ලිපිය මෙහි පල කරන්න

      Delete
  2. http://www.ancient-origins.net/history/fascinating-life-chinese-eunuch-forbidden-city-china-002524

    ReplyDelete
  3. අපේ රනිලුත් කිව්ව, එයාට ලමයි නෑ ඒ නිසා පරම්පරාවට හම්බකරන්න අවශ්‍ය නෑ කියලා.

    ReplyDelete
  4. ජීවන්..මේ comment එක ඔබේ ලිපියට කෙසේ අදාල වේ දැයි නොදනිමි.එහෙත් ලිවීමට සිත් විය.
    ලංකාවේදී ජාතිකත්වයට කිසිඳු නැඹුරුවක් නොවූ මම පිටරටකදී එසේ වීමට හේතුව සිත් ගන්නා සුලු විය හැක.මා සමඟ වැඩ කරන චීන සහ ජුදෙව් ජාතිකයන් ඊට හේතු වූ සෙයකි .
    චීනුන් ගේ මා පිලිකුල් කරන්නේ පිටරටවල සිටියදී වුව චීන ජාතිකත්වයට දක්වන අන්ධ ලැදියාවයි.
    ...කෙටියෙන් කිව්වොත් චීනෙ සිද්ධ වෙන,වුනු,වෙන්න යන දේවල් ඔක්කොම උන්ට අනුව හොඳයි...
    -CP

    ReplyDelete
  5. මෙම ලිපියට ඌණපූර්ණයක් සැපයීම සඳහා මා විසින් ලියන ලද ලිපිය.

    ගම්පොළ රාජධානි සමයේ දේශපාලන තත්ත්වය හා චීන සෙන්පති “චෙං හෝ” ගේ ආක්‍රමණය....
    http://iranga.net/?p=984

    ReplyDelete
  6. හොඳ ලිපියක් ජිවන. //චීන පර්ශියන් සහ දෙමල භාෂා තුනෙන් අකුරු කොටා ඇත. // සිංහල භාෂාවෙන් නැතිව පර්ශියන් හා දෙමලෙන් ලියන ශීලා ලේඛනයක් ගාල්ලෙන් ලැබුනේ කොහොමද/

    ReplyDelete