Sunday, May 28, 2017

නැණවත් ඛාන් හෙවත් කුබ්ලායි ඛාන් චීන අධිරාජ්‍යයා

වසර 1215 දී මොන්ගෝලියාවේ උපන් කුබ්ලායි ඛාන් සිය මුත්තනුවන් විසින් පිහිටුවන ලද මොන්ගෝලියානු අධිරාජ්‍යයේ බලයට පත්වන විට ඔහුට වයස හතලිස් පහක් විය. ඔහුගේ පාලනය සිය පුර්වගාමීනට වඩා වෙනස් විය. යුද්ධයෙන් යටපත් කර ගන්න ලද දේශයන් හි මිනිසුන් වෙත සිය බල පරාක්‍රමය යොදවා පෙලනු වෙනුවට ඔවුන්ගේ සංස්කෘතියට ගරු කිරීම එය මහා සංස්කෘතියට එක කර ගැනීම කුබ්ලායි ඛාන්ගේ ක්‍රමවේදය විය. ඔහු විසින් දකුණු චීනයේ සොං රාජ වංශය යටත් කර ගැනීමත් සමගම මුළු චීන දේශයේම පාලකයා බවට පත්වූ ප්‍රථම මොන්ගොලියානුවා බවට පත් විය.

මොන්ගෝලියානු රජ පවුලක උපන් ඔහු කුඩා කාලයේම දක්ෂ සටන්කරුවකුද, අසුන් පැදවීමේ මෙන්ම දඩයමේද දක්ෂයෙකු විය.  එයට අමතරව චීන සංස්කෘතිය සහ දර්ශනවාදය වෙත නැඹුරුව ඒවායේද ප්‍රවීනත්වය ලබා ගත්තේය. කුබ්ලාන් ඛාන්ගේ සොයුරු මොන්න්ජිකේ (Möngke) වසර 1251දී මහා ඛාන් අධිරාජ්‍යයා බවට පත් විය. අධිරාජයා කුබ්ලායිට උතුරු චීනය භාරදුන් පසුව ඔහු චෙන්දු හි උතුරු අග නගරය තනා ගත්තේය.

1259 වසරේදී මොනන්ජිකේ අධිරාජයා යුද්ධයේදී මරු මුවට පත් විය. අනතුරුව ඔහුගේ බාල සහෝදරයා වූ අරික් බෝක් (Ariq Böke) මොන්ගෝලියානු අග නගරයේ බලය තහවුරු කරගන රාජකීය පවුල් කැඳවා තමා මහා ඛාන් වශයෙන් නම් කරවා ගත්තේය. මේ බව දැනගත් කුබ්ලායි ඛාන් අග නගරයට පැමිණ තමා මහා ඛාන් බවට ප්‍රකාශකළේය. සහෝදරයන් දෙදෙනා අතර කිරුළ සඳහා වූ අරගලය 1260 වසරදී සිවිල් යුද්ධයකට මග හෙළි කළේය. අවසානයේදී කුබ්ලායි ඛාන් චෙන්දු නගරයේදී ජයග්‍රහණය ලබා මහා ඛාන් අධිරාජ්‍යයා වශයෙන් මොන්ගෝලියානු අධිරාජ්‍යයේ බලය තහවුරු කර ගත්තේය.

බුද්ධිමතකු වූ කුබ්ලායි ඛාන් අධිරාජ්‍යයා සිය මුතුන් මිත්තන් ගෙනගිය දරදඬු පාලනය අත්කළේය. ඔහු දේශයේ අගනගරය වශයෙන් එකල දාඩු (Dadu) වශයෙන් හැඳින්වුන චීනයේ බීජිං  ප්‍රදේශය තෝරාගත්තේය. ඔහුගේ පරිපාලන ව්‍යුහය අධිරාජ්‍යයේ විවිධ ප්‍රදේශ වල පවතින සංස්කෘතිය සමග සමගාමී වන ලෙසින් සකස් කළේය.  රට තුල යටිතල පහසුකම් මහා පරිමාණයෙන් දියුණු කළේය. චීනයට කඩදාසි මුදල් හදුන්වා දුන් අතර බටහිර සමග වෙළෙඳ සබඳතා තහවුරු කළේය.

කුබ්ලායි ඛාන් විසින් චීනයට නව සමාජ සැකැස්මක් හඳුන්වා දුන්නේය. මොන්ගෝලියානු ප්‍රභූ පන්තිය සහ විදෙස් වෙළෙඳුන් බදු වලින් නිදහස් කළේය. උතුරු සහ දකුණු චීන ජනතාව අධිරාජ්‍යයේ ශ්‍රමය බවට පත් කළේය.

කුබ්ලායි ඛාන් ගේ කරුනාශීලී ආධිපත්‍යය නිසා ඔහුව ජනතාව විසින් "නැණවත් ඛාන්" ලෙසින් හැඳින්වූහ. කෙසේ වෙතත් ඔහුගේ උන්නතිකාමය නිසා මොන්ගෝලියානු අධිරාජ්‍යයේ පවතින දේශ සීමා පුළුල් කෙරීමට කටයුතු කළේය. වසර 1267 දී මහා ඛාන් අධිරාජ්‍යයා දකුණු චීනයේ සොං රාජ වංශය යටපත් කර ගැනීමේ ක්‍රියාන්විතය ආරම්භ කළේය. ඒ සඳහා වන ගමන් මාර්ගය අතිශය ගැඹුරැ බෑවුමෙන් යුක්ත විය. අශ්වාරෝහක බල ඇණි වලට එම බෑවුම් සහිත ප්‍රදේශයේ ගිරි දුර්ග තරණය දුෂ්කර ව්‍යායාමයක් විය. මෙවිට "නැණවත් ඛාන්" සිය මුලෝපාය වෙනස් කළේය. අති විශාල නාවුක බල ඇණියක් බලමුළු ගන්වා දකුණු චීනය මුහුදින් ආක්‍රමණය කළේය. අනතුරව 1279 වසරේදී සොං රාජ වංශය යටපත් කර දමා සමස්ථ චීන දේශයේම අධිරාජ්‍යයා බවට කුබ්ලායි ඛාන් පත්විය.


සමස්ථ චීනයේම අධිරාජ්‍යයා බවට පත්වීමෙන් අනතුරුව ඔහු විසින් යුවාං රාජ වංශය ආරම්භ කළේය. එම රාජ වංශයේ ප්‍රථම මෙන්ම වඩාත් සාර්ථකම පාලකයා කුබ්ලායි ඛාන් විය. මෙම රාජ වංශය ගලාගෙන ගියේ ඉතාමත් කෙටි කාල සීමාවක පමණි 1368 දී ක්විං රාජ වංශය ඇරඹීමත් සමග එය අහෝසි විය.

කුබ්ලායි ඛාන්ගේ චීන කේන්ද්‍රික ප්‍රතිපත්ති අධිරාජ්‍යය සාර්ථකත්වය කරා ගෙනගියේය. නමුත් එම ප්‍රතිපත්ති ඔහුට එරෙහිව මොන්ගෝලියානු ප්‍රභූ පැලැන්තියෙන් සතුරන් බිහිකරලීය. මොන්ගොලියානුවකු වූ කුබ්ලාන් ඛාන් අධිරාජ්‍යයේ අග නගරය මොන්ගොලියාවෙන් පිටතට ගෙන ඒමත් මොන්ගෝලියානු රාජ වංශය අවසන් කර චීනයේ නව රාජ වංශයක් ඇරඹීමත් නිසා මොන්ගෝලියානු ප්‍රභූන් පැවසුවේ ඔහු පාවා දෙන්නෙකු බවය. නමුත් මේ කුමන්ත්‍රණ කාරීන් කිසිවකු සාර්ථකත්වයට පත් වුයේ නැත.

කුබ්ලායි ඛාන් විසින් ජපානය, බුරුමය, ජාවා වැනි රටවල් අල්ලා ගැනීම සඳහා කරනා ලද මෙහෙයුම් අසාර්ථක විය. විශාල නාවික හමුදා මේ මෙහෙයුම් වලදී ස්වභාවික විපත් වලට ලක් විය. එම ක්‍රියාන්විත සඳහා දරනා ලද අධික පිරිවැය නිසා අධික බදු බරක් පහල පන්තියේ චීන ජනතාව වෙත පැටවිණ.

කෙසේ වෙතත් කුබ්ලායි ඛාන් වෙත තිබූ අධිරාජ්‍යය පුළුල් කිරීමේ අභිලාශය වෙනස් නොවිණ. වසර 1281 දී චීන සහ මොන්ගෝලියානු සොල්දාදුවන් ලක්ෂයක් රැගත් නැව් 4400ක හමුදාවක් කුනාටුවකට හසුවී ජපන් මුහුදේදී අතුරුදහන් විය.

අවසන් කාලයේදී සිදුවූ යුධ පරාජයන් මෙන්ම සිය බිරිඳ සහ වැඩිමහල් පුත්‍රයාගේ වියෝව වැනි පුද්ගලික කරදර හේතුකොට ගෙන කුබ්ලායි ඛාන් තදින් බීමට ඇබ්බැහි විය. ඔහු අධික ලෙස ආහාරද ගත්තේය. මේ නිසා අධික ලෙස තරබාරු වී රක්තවාතයට ගොදුරුවිය. අවසානයේදී වසර 1294 පෙබරවාරි 18 දින කුබ්ලායි ඛාන් අධිරාජ්‍යයා සදහට දෙනෙත් පියා ගත්තේය.

මුලාශ්‍ර
https://www.biography.com/people/kublai-khan-9369657
https://www.abc.se/~pa/mar/kublai.htm

10 comments:

  1. මම කැමති අධිරාජයෙක්. ටිකක් අශෝක අධිරාජයා වගේ.

    ReplyDelete
  2. //කුනාටුවකට හසුවී ජපන් මුහුදේදී අතුරුදහන් විය.//


    ජපානයේ ඒ ගැන කතා තියනවා ජපානය බේරා ගැනීමට දෙවියන් එවූ සුලඟ / Divine wind /Kamikaze ලෙස . දෙවන ලෝක යුද්ධයේ මරාගෙන මැරෙන ගුවන් නියමුවන් හැඳින්වුන කමිකාසේ නමත් ඒකෙන්

    ReplyDelete
    Replies
    1. එම නාවික හමුදාව නම් කරන්නේ කුබ්ලායි ඛාන් ගේ අතුරුදහන් වූ නාවික හමුදාව නමින්. අවුරුදු කීපයකට පෙර එන ගිලුණු නැව් වල කොටස් හොයා ගත්තා.

      Delete
  3. ජීවනගේ ලිපියට සෘජුවම අදාල නොවුනත් මට මේක ලියන්න සිත් වුනා.නුසුදුසු නම් කපා දමන්න.

    මොන්ගෝලියන් කාරයන්ගේ නම් තමයි නම්! පුලුවන්නම් පහත නම් කියවන්න.
    Tsenba Kahtanbatar
    Erkzma ( Erka)
    Ankayutrzma (Anka)
    මේ අපත් සමඟ වැඩ කරන මොන්ගෝලියන් කිහිප දෙනකුගේ නම්.හදිසියකට මොවුන්ගේ නම් අඬ ගහගන්න අමාරුයි.වරහන් තුල තියෙන්නේ ඔවුන්ගේ calling names.මගේ අද්දැකීම නම් අනිකුත් ආසියානුවන්ට සාපේක්ෂව මොවුන් අවංකයි,කඩිසරයි,ශක්තිමත්. ලොක්කාට දක්වන පක්ෂපාතිත්වය තුල උන්ගේ යම් කිසි "වැඩිපුර දෙන "ගතියක් මම නිරීක්ෂණය කර තියෙනවා.
    (එහෙත් Seikh අය තරම් අවංකයෝ මම නම් දැකලා නැහැ.අප ආයතනයේ අනිකුත් යුරෝපීය , ආසියානු ,ලතින් ඇමරිකානු සහ අෆ්‍රිකානු ජාතීන්ට සාපේක්ෂකව Seikh අය කොච්චර අවංකද කියනවා නම් වැඩේට තියෙන අවංකකම නිසාම උන් එක්ක වැඩ කරන්න බැහැ.)
    CP

    ReplyDelete
    Replies
    1. භාෂාවල් නම් ඉතින් ප්‍රා.ජේ.ම තමයි

      Delete
    2. https://en.wikipedia.org/wiki/Mongolian_name

      Delete
  4. උඹත් එක්ක බෑ බං ජීවන අයියෙ . කලිං එක්ට කමෙන්ට් කරන්න එනකොට වෙන එකක් දාල. මේ අර ගිටාර් එකක ස්ට්‍රිංස් මාරු කරන්න තියෙනව පොඩ්ඩක් වරෙංකො

    ReplyDelete
  5. උඹත් එක්ක බෑ බං ජීවන අයියෙ . කලිං එක්ට කමෙන්ට් කරන්න එනකොට වෙන එකක් දාල. මේ අර ගිටාර් එකක ස්ට්‍රිංස් මාරු කරන්න තියෙනව පොඩ්ඩක් වරෙංකො

    ReplyDelete
  6. දැනුමට යමක් එක් කල ඔබට තුති..

    ReplyDelete
  7. නොදත් තොරතුරු ලබාදෙනවාට ස්තූතියි

    ReplyDelete