Wednesday, April 12, 2017

ඥාණ මාපියන් (Godmothers and Godfathers)

දම්පාට දේදුන්නට ලියන ලද පසු ගිය පොස්ටුවට කොමෙන්ට් කල රසික සූරියාඅරච්චි මහතා Godfather වදනෙහි සිංහල පරිවර්තිත වදන ඥාන පියා වූයේ කෙලෙසක දැයි අසා තිබුනා. මෙම වදන සිංහල කතෝලික ජන වහර තුලින් පැමිනෙන්නකි.

ක්‍රිස්තුස් වහන්සේ ගේ අනුගාමිකයන් සභා රැසක් තුල ජන වන්දනාව පවත්වාගෙන යනවා. කතෝලික සභාව, පෙන්තකොස්ත සභාව, එංගලන්ත සභාව උදාහරන ලෙස දැක්විය හැකිය. මෙම සභාවන්ට සාමාජිකයින් බඳවා ගැනීම බෞතිස්මය යනුවෙන් හඳුන්වනවා. සමහර සභා වැඩිහිටියන් පමණක් බෞතීස්ම කළද ලංකාවේ සහ ඉතාලියේ බෙහෙවින් ප්‍රචලිත කතෝලික සභාව කතෝලික පවුල් වල දරුවන් ඉපදී මසක් ඇතුලත බෞතීස්ම කරනවා.

දරුවකු බෞතීස්ම කරනා අවස්තාවේදී දෙමාපියනට අමතරව ඥාන මව සහ ඥාණ පියා යනුවෙන් තරුණ යුවලක් වෙත දරුවාගේ භාරකාරත්වය පවරනවා. දරුවාගේ අධ්‍යාපනය සහ අධ්‍යාත්මික ගුණ වගාව පිළිබඳව වගකීම පැවරෙනුයේ මෙම ඥාන මව සහ ඥාණ පියා වෙතය. මේ දෙදෙනා දරුවාගේ යහපත් වර්ධනය පිළිබඳව වගකියනා බවට දෙවියන් ඉදිරියේ දිව්රුමක් දෙන අතර බොහෝවිට මෙම පදවිය සඳහා තෝරාගනුයේ වයස 25ත් 30ත් අතර හොඳ හැදියාවකින් යුතු පවුලේ ඥාතීන් දෙදෙනකුය. දැන් බොහෝවිට තෝරා ගනු ලබන දෙදෙනා උසස් අධ්‍යාපනය ලබන අයය. දෙමාපියන් මියගියද අවස්ථා වල සහ වෙනත් අභාග්‍යසම්පන්න අවස්ථාවල  දරුවන්ගේ භාරකාරත්වය මොවුන් දරනවා. සාමාන්‍යයෙන් දරුවන්ද මේ  දෙදෙනාට ලෙන්ගතුකමක් දක්වන අතරම ඔවුන් කියනා දේ කරන්නට නැඹුරුවක් දක්වනවා.

ඥාන මව සහ ඥාණ පියා වෙත ඉංග්‍රීසි බසින් යෙදෙනුයේ Godmother සහ Godfather යන වචනයන්ය.

Godfather යන වචනය පාතාල නායකයන් මෙන්ම විවිධ ක්ෂේත්‍ර වල ඉහලම බලපෑම් කරනා පුද්ගලයින් හඳුන්වන්න යොදනවා.

God Father යන වචනය ඉතාලියේ මාෆියා නායකයින් හඳුන්වන්න යෙදී ඇත්තේ අපුරු ක්‍රම වේදයක් නිසාය. මාෆියා කල්ලි බෙහෙවින් බලවත්ව සිටි යුගයේ යම් ගමක පිරිමි දරුවකු ඉපදුනු විට දෙමාපියන් විසින් දරුවාගේ ඥාණ පියා වශයෙන් තෝරාගෙන ඇත්තේ ප්‍රදේශයේ මාෆියා නායකයාවය. බෞතීස්ම උත්සවයේදී දරුවාගේ භාර කාරත්වට දෙවියන් ඉදිරියේ දිවුරුමකින් ලබාගන්නා මාෆියා නායකයාට එම දරුවා වැඩුන පසුව ඔහුට යම් අනතුරක් කිරීමට හෝ මරා දැමීමට කිසිදු ඉඩකඩක් නොමැති වීම එලෙස කිරීමට හේතුවය. අනෙක් අතට අදාළ නායකයාටද ඥාණ දරුවා ලෙන්ගතු කමක් දක්වන නිසා ඔහුට විරුද්ධව දරුවා නැගීසිටීමේ ඉඩකඩ අවම වනවා. මේ ආකාරයට මුළු ප්‍රදේශයේම දරුවන්ගේ ඥාණ පියා එම ප්‍රදේශයේ මාෆියා නායකයා බවට පත්වනවා. ඔහුට මුළු ප්‍රදේශයේම තරුණයන් සහ දරුවන් Godfather යනුවෙන් ඇමතීම නිසා මේ වදන ප්‍රචලිත වී තිබෙනවා. දැන් එය විවිධ ක්ෂේත්‍ර වල ඉහලම ප්‍රවීනයන් හැඳින්වීමට යොදා ගන්නවා.

අප කුඩා කල ඔවුන් දෙදෙනා හැදින්වීමට මඤ්ඤා හෝ මංඤම්මා  සහ පඤ්ඤා යන වදන්ද යොදා ගනු ලැබුවා.

Godmother සහ Godfather යන වදන් සිංහලට හැරෙද්දී ඥාන මව සහ ඥාණ පියා බවට පත්ව ඇත්තේ  දරුවාගේ අධ්‍යාපනය සහ අධ්‍යාත්මික ගුණ වගාව තුලින් නැණ පැහැදවීමේ වගකීම ඔවුනට පැවරෙන නිසා වන්නට ඇති.

13 comments:

  1. ඔය "ඥාණ" වචනය රසික සූරියාඅරච්චිට හරියටම ගැරඬියාට භූමිතෙල් ගෑවුණා වගේ එකක්.
    ජිවන ඕවට සැලෙන්න එපා.

    ReplyDelete
  2. ස්තුතියි ජීවන.

    ඔබ කතෝලිකයෙකු බව මට සිතෙනවා.

    කෙසේ වෙතත්, ගෝඩ් ෆාදර් යන්න දේව පියා ලෙසින් නොව ඥාණ පියා ලෙසින් සිංහලට පෙරළීම නම් ලොකු මගඩියක් බවයි මට නම් පෙන්නේ. කැපකරු පියා යන්න තමයි අර්ථවත් යෙදුම.

    මඤ්ඥා පඤ්ඤා යන වදන් මා අසා තියෙනවා. ඒවායේ තේරුම ශබ්දකෝෂයේ දැක්වෙන්නේ ස්පොන්සර් නැතහොත් අනුග්‍රාහකයා කියායි. එනිසායි කාලයක් තිස්සේ මා අසා ඇති සිංහල යෙදුමක් වන කැපකරු පියා යන්න ගෝඩ් ෆාදර් ලෙස මා සිතා සිටියේ.

    !

    ReplyDelete
    Replies
    1. ''ලොකු මගඩියක් බවයි මට නම් පෙන්නේ''


      ඔහෙට මගඩියක් විදියට පේන්නෙ නැත්තේ ඔහෙගෙ ඒවම වෙන්ටෑ නේ අංකල්?

      කියන දේ තේරෙනව නම් එච්චරයි නේ ... පඩි ටෝක් දිදී යන්නේ.

      Delete
    2. දේව පියා යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ දෙවියන්වය. (Our Fathere in heven)
      එබැවින් එම වචනය භාවිතයට නොගන්නට ඇත.

      Delete
  3. //මඤ්ඥා පඤ්ඤා// එන්න ඇති විදිහ :-

    Godmother සහ Godfather පෘතිගීසි භාෂාවෙන් - මද්‍රිඤ්ඤා සහ පද්‍රිඤ්ඤෝ (Madrinha & Padrinho)

    ReplyDelete
  4. මඤ්ඥා පඤ්ඤා දෙක තියෙද්දි තව වෙන මොනවද

    ReplyDelete
    Replies
    1. "මඤ්ඥා පඤ්ඤා" පෘතුගීසි නිසා "ඥාන" යොදා ගෙන සිංහලකරණය කරන්න ඇති. කතෝලික පල්ලිය ලොකු උත්සාහයක් ගන්නවා දැන් කාලයක ඉඳලා දේශීයකරණයට. මෙහෙ විතරක් නෙමෙයි දකුණු ඇමරිකාවෙ හා අප්‍රිකාවෙත් දේශීය සංස්කෘතිය හා භාෂාවට පුලුවන් තරම් ලඟින් කටයුතු කරන්න.

      ලංකාවට කතෝලික ආගම ගෙනාපු පෘතුගීසි බලයේ හිටියෙ අවු 150 ක් පමණ කාලයක්. ඉන් පසුව ආවෙ ප්‍රොතෙස්තන්ත බලයන්, ඔවුන්ගෙනුත් ලංදේසීන් කතෝලික ආගමට සෑහෙන්න විරුද්ධව කටයුතු කලා. කතෝලික පූජකයින්ට උඩරටට පලායන්න වුනා. පස්සෙ ආපු ඉන්ග්‍රීසිත් වැඩිපුර සැලකුවෙ ඇන්ග්ලිකන් අයට. කතෝලික & බෞද්ධ පොහොසත්තු හා ප්‍රභූන් ඇන්ග්ලිකන් වුනා.

      අවුරුදු 300ක් ප්‍රොතෙස්තන්ත බලයන් තිබිලා නිදහස ලැබුනේ. ඒත් ලංකාවෙ ක්‍රිස්තියානින්ගෙන් සීයට 90ක් විතර තාම පෘතුගීසිකාලෙ වගේ කතෝලික. හේතුව කතෝලික ආගම දේසීයකරණය වුන එක. උතුරු යුරෝපීයයන්ගේ ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි ආගම් ඒවගේ වුනේ නෑ.ඒවගේම දකුණු යුරෝපයෙන් ආ පෘතුගීසීන් දැන් කාලෙ අගයන්ගෙන් බැලුවාම කෲර වුනාට ඔවුන් ලංදේසීන් හා ඉන්ග්‍රීසීන්ට වඩා ස්වදේශිකයින්ට කිට්ටුවුනා. ඔවුන්ට සුදු හමට වඩා වැදගත් වුනේ කතෝලික ආගම (වෙලදාම හා සල්ලිවලට පසුව ) . ඔවුන්ට ඕනෙවුනේ කතෝලික ආගම අදහන මිශ්‍රජාතියක් හදන්න. බ්‍රසීලයේ වගේ
      ඒවගේම කතෝලික ආගමේ රිචුවල්ස් හා සාන්තුවරයින් ආදිය ආසියානුන්ගේ සංස්කෘතික ආගම් ඇදහීම්වලට ගලපා ගැනීමේ පහසුව කතෝලික ආගමේ ජනප්‍රියතාවයට හේතුවක්.

      මේක පෝස්ට් එකක්වගේ දිග වුනා. සොරි. ඒ ආගමිකයෙක් නොවන මට වඩා ජීවන මේ ගැන ලිව්ව නම් වඩා පැහැදිලිවෙයි

      Delete
    2. දෙවන වතිකානු සංගායනාව වසර 1962 -65 කාලය තුල පවත්වා තිබෙනවා. ඒ වෙනතෙක් අප රටේ පුජාව තියල තියෙන්නේ ලතින් භාෂාවෙනුයි. දෙවන වතිකානු සංගායනාවේ නිර්දේශයකට අනුව කතෝලික සභාව දේශීයකරණය කර තිබෙනවා. මේ දේශීයකරණය තුල සිංහල බසින් පුජාව පවත්වන අතර එහි යෙදෙන යෙදුම් සහ වචන නිරන්තරයෙන් පරිනාමයට ලක් කරනවා. උදාහරණයක් ලෙසින් කලින් දෙමල භාෂාවන් සිංහලට ලබාගත් පරමන්ඩලය වෙනුවට ස්වර්ගය යන යෙදුම දැන් යෙදවෙනවා.
      කතෝලික සභාව තුල පවතින සංවිධිත පරිපාලනය නිසා මෙවෙන්ස්කම් එක දිනකදී සමස්ථ ජනතාව වෙතම දැනුවත් කර ක්ෂණිකව සම්මතයක් බවට පත් කරනවා.
      මේ නිසා පෙරදී භාවිතා කල සමහර වචන ගැන අලුත් පරපුර වෙත කිසිසේත්ම දැනුමක් නැහැ. ඒවා භාවිතා වෙන් මිදී යනවා.
      මෙලෙස දේශීයකරණය කර තිබෙන්නේ භාෂාව පමණක් නෙවෙයි. සිරිත් විරිත් සහ ගෘහ නිර්මාණය පවා දේශීය කරණය කර තිබෙනවා. දෙවන වතිකානු සංගායනාවෙන් පසුව තැනු කළුතර කටුකුරුන්දේ පිලිප්නේරි දෙව්මැදුර මුළුමනින්ම දෙශීය ගෘහ නිර්මාණ ශිල්පය භාවිතා කර තිබෙනවා. පල්ලියට ඇතුළුවන ප්‍රධාන දොරටුව අසල සඳකඩ පහනක් තනා තිබෙන අතර පුන් කලස් වැනි අංග එක කොට තිබෙනවා. නමුත් සමහර අංග ස්ථාන ගතකිරීමේ දෝෂ දැනගන්න පුළුවන් .
      කනගාටුවට කරුණ නම් කතෝලික සභාව දේශීය කරණයට උත්සහ කරනා විට පසුගිය කාලයේ බිහිවූ සමහර අන්තවාදී පිරිස් එම දේවස්ථානයේ සඳකඩ පහන ගලවා දැමීමට උත්සහා දැරීමය

      Delete
  5. Godfather, godmother විස්තරේ හරියටම දැනගත්තේ මේ ලිපියෙන්. ස්තූතියි.ද්

    ReplyDelete
  6. නොදන්නම තොරතුරු ටිකක්

    ReplyDelete
  7. සිඩ්නි නගරයේ ඥාන පියා --> සිනුවර ඥානයා (රසික)

    ReplyDelete
  8. අධ්‍යාපනයට සුදුසුයි ...

    ReplyDelete
  9. හරි වටින ලිපියක් මට කාලෙක ඉඳන් තිබුණ ප්‍රශ්ණයක් විසඳුණා. තව පොඩි ප්‍රශ්ණයක් අහන්න තියනවා, එතකොට නිවැරදිම වචනෙ ඥාන පියා, ඥානමව කියන හැඳින්වීමද?

    ReplyDelete