Saturday, October 11, 2014

අනුන්ගේ ගීත ගැයීමේ ඉතිහාසය - ජෝජ් රොබ්සන් ද සිල්වා

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ අග්‍රගණ්‍ය ගායක ගායිකා යුගලය ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් සහ විශාරද නන්දා මාලනිය බව කාගේත් පිළිගැනීමය. ඔවුන් දෙදෙනා ද අනුන්ගේ ගී ගායනා කර ඇතැයි කීවොත් ඔබ අප සමඟ එකඟ වෙනවා ද? එහෙත් අනූව දශකයේ එළි දැක්වූ කැසට් පට සඳහා අමරදේව සහ නන්දා අනුන්ගේ ගී ගැයූ බව සැබෑවකි.

අමරදේවයන් එලෙස ගැයූ එක් ගීතයක් මේ රටේ ජනපි‍්‍රයම ගීතයක් වන “සිරි බුද්ධගයා විහාරේ” ගීතයයි. රූපසිංහ මාස්ටර් එනම් එච්. ඩබ්ලිව්. රූපසිංහ සමඟ රුක්මණි දේවි මුලින් ගයා තිබුණු “සිරි බුද්ධගයා විහාරේ” අමරදේව සමිතා මුදුන්කොටුව සමඟ ගායනා කළේය. “දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා” නීතිඥ ජෝන් ද සිල්වාගේ ජනපි‍්‍රය නූර්ති ගීතයකි. පසු කලෙක අමරදේවයන් විසින් එම ගීතය ද ගයනු ලැබුවේය. නෙවිල් ප්‍රනාන්දු “රන්සළු” චිත්‍රපටයට ගැයූ “බඳුන් පිරී ඉතිරෙන මී” ගීතය පසුව අමරදේව නිරෝෂා විරාජිනි සමඟ ගායනා කරනු ලැබුවේය.

‘අදට වැඩිය හෙට හොඳයි’ චිත්‍රපටයට ජේ. ඒ. මිල්ටන් පෙරේරා, මල්ලිකා කහවිට සමඟ ගායනා කර ජනපි‍්‍රය වූ “සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ” ගීතය ද අමරදේව විසින් ගයන ලද අනුන්ගේ ගීත අතර වේ. තවදුරටත් විමසීමේදී පෙනී යන්නේ පළමුව නන්දා මාලනී, නීලා වික්‍රමසිංහ වැනි ගායිකාවන් සමඟ ගැයූ සමහර යුග ගීත පසුව අමරදේවයන් සිය දියණියන් වන පි‍්‍රයංවදා සහ සුභානි සමඟ ද ගායනා කර ඇති බවයි. එමෙන්ම ගුවන් විදුලි ගීත නාටකයකින් උපුටා ගන්නා ලද “පේ‍්‍රම තටාකේ මේකයි මැණිකේ” අමරදේවයන් වෙනත් ගායිකාවක සමඟින් ගැයු ගීතයකි. පසුව ඔහු එම ගීතයම රශ්මි සංගීතා සමඟත් නැවත නන්දා මාලනී සමඟත් ගායනා කළේය.

අමරදේවයන් ගැයූ ගීත එඩ්වඩ් ජයකොඩි, සමිතා මුදුන්කොටුව සහ ඩබ්ලිව්. ඩී. ආරියසිංහ ද ගායනා කළ බැව් ඇතැමුන්ට දැන් අමතකය. “අනෝතප්ත විල” (එඩ්වඩ්), “නිම් හිම් සෙව්වා මා සසරේ” (සමිතා), “පේ‍්‍රම සැඳෑවෝ” (ආරියසිංහ) වැනි ගීත ඒ අතරින් සමහරකි.

අනුන්ගේ ගීත යළි ගායනයට අවසර ගෙන ගායනා කළ අපේ මුල්ම ගායන ශිල්පිනිය නන්දා මාලනී යැයි අපි සිතමු. ග්‍රේටා ජෙනට් ද සිල්වා සහ පිරිස ගැයු “මුනි නන්දන සිරිපාද වඳිම්” ගීතය ඇතුළු ග්‍රැමෆෝන් ගී රැසක්ම නන්දා ගායනා කළාය. එම ගී ඇය මුළු රටට දැනෙන්නට ඇගේ “ග්‍රැමෆෝන් ගී” නම් කැසට් පටය සඳහා ගැයුවා ය. නන්දාට ඇතැම් යුග ගීත ගායනයේදී ප්‍රවීණ ගායන ශිල්පීන් දෙදෙනකු වන ටී. එම්. ජයරත්න සහ සුනිල් එදිරිසිංහ සහාය වූහ. වසන්තා සන්දනායක ගැයු “දොළ ළඟ ගුරු පාර දිගේ” වැනි ගීතත් ලූෂන් බුලත්සිංහලගේ “තාරාවෝ ඉගිලෙති” නාට්‍යයට මර්සි එදිරිසිංහ ගැයූ “මඩේ ලගින තාරවුන් නාවන්න ද මං” වැනි ගීතත් නන්දා ගැයු අනුන්ගේ ගීත අතර වේ.

නන්දා මාලනීගේ ගීත ද පසු කලෙක අමිල තරංග විසින් (සමහර පද වෙනස් කොට) ගායනා කළ කැසට් පටයක් ද වෙළෙඳපොළේ අලෙවි වූ අයුරු අපට මතකය.
මහාචාර්ය සනත් නන්දසිරි ද අනුන්ගේ ගී ගැයු ගායන ශිල්පීන් අතර සිටියි. මුලින් ශාන්ති ගීතදේව ගැයූ “කවුරුදෝ අර කවුළුවෙන් සිනාසී එබිකම් කළේ” ගීතය පසුව සනත් නන්දසිරි විසින් ද ගායනා කරනු ලැබුවේය.

ආචාර්ය වික්ටර් රත්නායක ගැයූ ගීතයක් වන “පුන්සඳෙන් රැස්” ගීතය පසුව පුන්සිරි සොයිසා ද ගායනා කර ඇත. අපේ රටේ ගීතලෝලීන්ගේ අසහාය ගායන ශිල්පියා ලෙස විරුදාවලී ලබා සිටින එච්. ආර්. ජෝතිපාලයන් ද අනුන්ගේ ගී ගායනා කළ ගායකයකු බව නොරහසකි. ජනපි‍්‍රය නාට්‍ය ගීත වන “වෙස්සන්තර රාජ පුතා” “දැක්කොත් පද්මාවතී” “රන් මැණිකේ මගේ” “හරිම රජ සැපා මම ලක්දිව තී නිසා” ඇතුළු අනුන්ගේ ගීත රැසක්ම ජෝති “නාට්‍ය ගීත” කැසට් පටයකට ගැයුවේ ය. “සුවඳයි මුවේ මල් පැණි” සුමිත් අහංගම ගැයූ ජනපි‍්‍රය ගීතයකි. එම ගීතය ද පසුව ජෝති කැසට් පටයකට ගායනා කළේ ය.

ජෝති සමඟ යුග ගී ලෙසින් අනුන්ගේ ගීත ගැයු ගායිකාවන් අතර ලතා වල්පොල (මා ප්‍රාර්ථනා ආසාවෝ ඇතුළු ගී රැසක්), ඉන්ද්‍රානි පෙරේරා (මේ මාමා), මායා දමයන්ති (කෝකිලයා කෙවිලිය හා), උරේෂා රවිහාරි (නුපුරුදු හැඟුමකි), සංජීවනි වීරසිංහ (හොඳ සිරියාවයි ආකාසේ) වැනි ජනපි‍්‍රය ශිල්පිනියෝ ද සිටිති. එකී සමහර ගීත තාක්ෂණික උපක්‍රම භාවිතයෙන් මුල් ගායිකාවගේ හඬ ඉවත් කොට පසු ගායිකාවගේ හඬ කැවීම් කළ ගීත ය. ජෝති සමඟ ඇන්ජලින් ගැයූ “වසන්තයේ මේ” සහ ජෝති සමඟ මල්ලිකා කහවිට ගැයු “හැන්දෑවේ මං බලා හිටියා” ගීත ලතා විසින් ද, “මල්සර දෝණි” චිත්‍රපටයට ඇන්ජලින් ගැයූ “සේලේ අඳින අඳින සේලේ රැල්ල” උරේෂා විසින් ද, “ජය අපටයි” චිත්‍රපටයට ඇන්ජලින් ගැයූ “මල් වෑහෙනා” ගීතය මායා විසින් ද පසුව ගායනා කරනු ලැබ ඇත.

මල්ලිකා කහවිට ජෝති සමඟ ගැයු “පේ‍්‍රම අඹරේ මධු සඳ පානේ” ගීතය පසුව ලතා, ජෝති සමඟ ගායනා කළ අතර මල්ලිකා ගැයූ “ගොයම් පැසීලා සාරයි” ගීතය රූපා ඉන්දුමතී විසින් පසුව ගයන ලදී.

වර්නන් පෙරේරා ද ජෝති ගැයූ ගීත කිහිපයක්ම ගැයුවේය. එම ගී අතර “දුරකතනයකින්” “උමයංගනියෝ” “මල් කැකුළි” සහ “මල් පිබිදෙන එක වසන්ත සමයක” වැනි ගීත විය.

“අප්සරා” චිත්‍රපටයේ ජෝති ඇන්ජලින් සමඟ ගැයු “සඳ මෝදු වෙලා” ගීතය ලතා විසින් ජෝති සමඟත් ජෝතිගේ වියෝවෙන් පසුව සමන් ද සිල්වා සමඟත් ගායනා කළාය.

ජෝති, ඉන්ද්‍රානි පෙරේරා සමඟ ගැයු ගීතයක් වන මේ දෑස කාගෙදෝ” ගීතය ඉන්ද්‍රානි, සමන් ද සිල්වා සමඟ නැවත ගායනා කර ඇත. එමෙන්ම ජනපි‍්‍රය බයිලා ගායන ශිල්පියකුව සිටි වොලී බැස්ටියන් ගැයූ “අයිරින් ජොසපින්” ඇතුළු ගී කිහිපයක් ද සමන් නැවත ගායනා කළේය. (“බයිලා” ගායකයින් අතරේ අනුන්ගේ ගී ගැයීම බොහෝ විට සිදු වී ඇති හෙයින් ඒ සම්බන්ධව වැඩිදුර විමසා නොබලමු.)

එච්. ආර්. සොයිසා සහ කිංස්ලි පීරිස් ජෝති ගැයූ ගීත ගයමින් අනුන්ගේ ගී ගායනා කළ ගායකයන් අතරට එක්වන විට රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා යුවළ ද ඔවුන් අතරට එක්වන්නේ ජෝති ගැයූ ගීත නැවත ගයමින් ය. ඒ මෙසේ ය. රූකාන්ත ජෝති ගැයූ ගී නැවත ගයා ගීත ඇල්බමයක් එළිදැක්වූ අතර ජෝති ඇන්ජලින් සමඟ ගැයූ “රන් පොකුණට” ගීතය රූකාන්ත චන්ද්‍රලේඛා සමඟ ගැයුවේය.

එමෙන්ම රූකාන්ත චන්ද්‍රලේඛා යුවළ ගායනා කරන තවත් ජනපි‍්‍රය යුග ගීතයක් වන “මඳ සීත නල රැල්ල” ගීතය ද අනුන්ගේ ගීතයකි. එය ‘වහල් දූපත’ චිත්‍රපටයේ ඇතුළත් වූවකි. එය ගැයුවේ සරත් සන්දනායක සමඟ දයා හේමන්තා ය. රූකාන්ත, නීලා වික්‍රමසිංහ සමඟ ගැයූ ‘මිදුලේ අතන නංගෝ’ ගීතයත් රූකාන්ත, රුවිනි දුනුවිල සමඟ ගැයු ‘මිතුරි’ ගීතයක් චන්ද්‍රලේඛා පසුව රූකාන්ත සමඟ ගැයු ගීතය.

කළු දිය දහර” චිත්‍රපටයට නෙවිල් ප්‍රනාන්දු ගැයු “මාස්ටර් සර්” ගීතය නැවත ගයමින් නීලා වික්‍රමසිංහ ද අනුන්ගේ ගී ගැයු ගායිකාවන් අතරට එක් වී සිටියි. නීලා ‘රන් ටිකිරි සිනා’ ගීතය ගැයුවේ ටී. එම්. ජයරත්න සමඟ වුව ද පසුව එම ගීතය ටී. එම්. සමඟ නිරෝෂා විරාජිනී ගායනා කළාය.

එම්. එස්. ප්‍රනාන්දු සමඟ ඇන්ජලින් ගැයු “නෙළුම් මලේ පෙති කඩලා” ගීතය පසුව එම්. එස්. සමඟ ගයන මරියසෙල් ගුණතිලක ද අනුන්ගේ ගී ගැයු ගායිකාවන් අතරට එක් වී සිටින අතර එම්. එස්. ගේ වියෝවෙන් පසු මරියසෙල්, වෝල්ටර් ප්‍රනාන්දු සමඟ ද මේ ගීතය ගායනා කළාය. ඇන්ජලින් මේ ගීතය පසුව ඇන්ටන් සමන්පි‍්‍රය සමඟ ද ගායනා කළාය.

දැනට ප්‍රතිපත්තියක් ලෙස අනුන්ගේ ගීත ගායනා නොකරන ඇන්ජලින් ගුණතිලක ද ජී. එස්. බී. රාණි පෙරේරා ගැයූ ගීත දෙකක් සහ රුක්මණි දේවි ගැයූ ගීතයක් ජෝති සමඟ නැවත ගායනා කර ඇත. එම ගීත වන්නේ “ඇල් හේනේ පැල් රකිද්දී” (රාණි) “මුල අමතක කොට” (රාණි) “දෙන්න පි‍්‍රයේ දෑතට” (රුක්මණි) යන ගීත ය. මොහිදින් බෙග් ගායකයාණන් ගැයු “සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා” ගීතය ගයමින් අසංක පි‍්‍රයමන්ත පීරිස් ද අනුන්ගේ ගී ගැයු ගායකයින් අතරට එක්වන්නේය. එමෙන්ම සුරේන්ද්‍ර පෙරේරාගේ ප්‍රථම ගීත ඇල්බමයේ ඇතුළත් වූ “අවිචාර උන්මාද මේ ලෝකයේ” ගීතය මොහිදින් බෙග් ගැයූ ගීතයකි. සුරේන්ද්‍ර ගැයු ජනපි‍්‍රයම ගීතය වන “වැහි පබළු සැලී” ගීතය ද මුලින් දිනේෂ් බෝගොඩ ඔහුගේ ගීත ඇල්බමයට ගැයූ ගීතයකි. (මෙම ගීත සුරේන්ද්‍ර ගයන විට ඒවායේ තනු පමණක් මඳක් වෙනස් කොට ඇතැයි අපි සිතමු.)

මාලනී බුලත්සිංහල සමඟ ලයනල් සේනාරත්න ගැයු “සොඳුරිය තනිකර ගුවන් නැවෙන් අද” ගීතය ද පසුව වෙනත් ගායක ගායිකා යුවළක් විසින් ගයන ලද ගීතයකි. මෙම ගීතය පසුව ගායනා කළේ ශිරෝමාලා ප්‍රනාන්දු සමඟ ෂෙල්ටන් මුතුනමගේය. විජේරත්න වරකාගොඩ ගැයූ “රඟහල දැන් ඇත අඬ අඳුරේ” ගීතය පසුව සංගීත් විජේසූරිය විසින් ද ගායනා කරනු ලැබූ බැව් මුළු රටම දන්නා කරුණකි. සංගීත් ගැයු “පින්වන්තිය මාගේ” ගීතය පසුව සිය “සිහින පාරාදීසේ” ගීත කැසට් පටය සඳහා ලක්ෂ්මන් හිල්මි ගායනා කළේය. එසේම ග්‍රේෂන් ජයමහ ගැයු “මන බන්ඳන මුහුණ නුරා” සහ “තරු එළියේ” ගීත ද පසුව හිල්මි ගැයුවේ ය. ග්‍රේෂන් ගැයු “මා හඬවලා” ගීතය භාතිය සන්තුෂ් ගායනා කළ බව අසන්නට ලැබුණේ මෑතකදී ය.

පසුගිය 13 වැනිදාට විසි දෙවැනි අනුස්මරණ දිනය යෙදී තිබුණ සාගරිකා ගෝමස් ද අනුන්ගේ ගී කිහිපයක් ගායනා කර ඇත. ලක්ෂ්මි බායි ගැයු “ආදි සිංහලුන් පිට දීප දේශ ජය ගත්තා” ගීතය පසුව සාගරිකා ගැයු ගී අතරින් එක් ගීතයකි.
ලක්ෂ්මි බායි ගැයු ‘සාදු දන්ත දා’ ගීතය නැවත ගයමින් සුජාතා අත්තනායක ද අනුන්ගේ ගීත ගායනා කළ ගායිකාවන් අතරට එක් වී සිටී. ජී. එස්. බී. රාණි පෙරේරා, මොහිදින් බෙග් සමඟ ගැයූ ගීත සුජාතා පසුව ගායනා කර ඇතැයි කලකට ඉහත සුජාතාට චෝදනාවක් විය. එසේම සුජාතා ගැයූ ගී නිරෝෂා විරාජිනි පසුව ගායනා කළ බවට ද චෝදනාවක් වූ බව අපට මතකය.

අයිවෝ ඩෙනිස් අනුන්ගේ ගීත ගායනා කළ කිසිදා චෝදනාවට ලක් නොවන ගායන ශිල්පියෙකි. අයිවෝ ගයන්නේ සුනිල් ශාන්තගේ ගීතයයි. අයිවෝ මෙන්ම අනුන්ගේ ගී ගායනා කළත් වැඩි දෝෂාරෝපණයකට ලක් නොවූ තවත් ගායකයින් දෙදෙනෙක් අප අතර සිටිති. ඔවුන් නම් රජිව් සෙබස්තියන් සහ මංජුල වර්ණකුලසූරිය ය. රජිව් ක්ලැරන්ස් විජේවර්ධන ගැයූ ගී ගායනා කළ අතර මංජුල විජය කුමාරතුංග ගැයූ ගී ගැයුවේය.

කණ්ඩායම් සංගීතයෙන් ගීතලෝලී සිත් දිනු නිර්මාණශීලි සංගීත ශිල්පියකු සේම ගායන ශිල්පියකු ද වූ ක්ලැරන්ස් විජේවර්ධන අනුන්ගේ ගී ගැයූ ශිල්පීන් අතරට එක්වන්නේ ඉන්ද්‍රානි පෙරේරා සමඟ ගැයු යුග ගීතයකින් ය. “පෙරළෙන ඉරණම” චිත්‍රපටයේ රුක්මණි දේවි සමඟ අරුණ ශාන්ති ගැයු “ඕලු මලෙහි සුදෝ සුදු” ගීතය පසුව ක්ලැරන්ස්, ඉන්ද්‍රානි සමඟ ගැයුවේය.

ජේ. ඒ. මිල්ටන් පෙරේරා ද අනුන්ගේ ගීත ගැයු ගායකයින් අතරට එක් වී සිටියි. ටියුඩර් ජයශාන්ත ගයා ජනපි‍්‍රය වූ “මගෙ දෑසෙ කඳුළු තව දෑසක සතුටු කඳුළු වේ” ගීතය මිල්ටන් පසුව ගායනා කළේය. එමෙන්ම චන්ද්‍රානි ගුණවර්ධන ගැයු “දම් පැහැ වීදුරු පුංචි වළල්ලක්” ගීතය පසුව ශ්‍රී ලාල් සෙනෙවිරත්න නම් ගායකයා ද ගායනා කළේය.

සුනිල් එදිරිසිංහ, දීපිකා පි‍්‍රයදර්ශනී පීරිස් සහ රෝහණ වීරසිංහ ද අනුන්ගේ ගී ගායනා කළ ගායක ගායිකාවෝ අතරේ වෙති. “රාමායනය” නූර්තියේ ගීතයක් වන “ශි‍්‍රයා මනමත් වී” ගීතය සහ මුලින් ආනන්ද සමරකෝන් ගැයු “කොල්ලනි නුඹලා දන්නෙ නටන්නයි” ගීතය නන්දා මාලනී සමඟ ගයමින් සුනිල් ද, විදේශ ප්‍රසංගයකදී නන්දා මාලනී සමඟ ගැයු “රෑන ගිරා ජෝඩුවයි” ගීතය පසුව කැසට් පටයකට ඇතුළත් වීමෙන් රෝහණ ද අනුන්ගේ ගීත ගැයු ගායක ගායිකාවන් අතරට එක් වී සිටිති.

කීර්ති පැස්කුවල් ගැයූ අනුන්ගේ ගීත අතර නෙවිල් ප්‍රනාන්දු සමඟ රුක්මණි දේවි ගැයු “මැණිකේ ඔබේ සිනාවේ” ගීතය ද “මල් බර හිමිදිරියේ” සහ “කළු කෙල්ලේ ඔබ” වැනි ජනපි‍්‍රය ගීත කිහිපයක්ම වේ.


තිස්ස නාගොඩවිතාන ගැයූ “පබාවතීගේ රූපෙට ආලෙ” ගීතය පසුව චිත්‍රපට නළුවකු වන මහේෂ් ජයසිංහ ගායනා කළේය. රොඩ්නි වර්ණකුල ද අනුන්ගේ ගීත කීපයක් ම ගායනා කර ඇත. යූ. ආරිය විමල් ‘තාරාවෝ ඉගිලෙති’ නාට්‍යයට ගැයු “ශෝබාව දේ මෙපුර” වැනි නාට්‍ය ගීත එලෙස රොඩ්නිගේ හඬින් පසුව ගැයුණු ගී අතර වේ.


“සුදු සමනළියේ දේව මන්දිරේ” ගීතය ඇන්ටන් ජයකොඩි ගැයු ගීතයකි. පසුව එය ඔගස්ටස් ප්‍රනාන්දු, සුනිමල් සුජීව ද සිල්වා සහ ජානක මධුසංඛ වැනි නව පරපුරේ ගායකයින් කිහිප දෙනකු විසින්ම ගයන ලදි. එමෙන්ම “බඹසර සුරකින කුමරියේ ඔබ මට” සහ “රෑ තරු යායේ” ගීත මුලින් ගායනා කළේ මර්වින් ජයමාන්න ය. පසුව එම ගී ජානක මධුසංඛ ද ගායනා කර ඇත.

අතුල අධිකාරි ද සමිතා මුදුන්කොටුව සමඟ ග්‍රැමෆෝන් ගී ගයමින් අනුන්ගේ ගී ගයන ගායකයින් අතරට එක්වී සිටියි.මුලින් විකුම් වර්ණසූරිය සමඟ සමිතා ගැයු “රෝස පුරාණෙට මධු සඳ පායන දිනය අදයි මට සිතුණා” ගීතය පසුව අතුල සමඟ ද ගායනා කළාය.

රාජ් වික්‍රමසිංහ ගැයු “සෙබළාණනේ නුඹ මැරුණා නොවේ” ගීතය පසුව නීල් වර්ණකුලසූරිය ද ගායනා කළ අතර සුනිල් පෙරේරා ප්‍රමුඛ “ජිප්සීස්” ගැයූ ගීත කීපයක්ම පසුව නීල් ප්‍රමුඛ ‘සන්ෆ්ලවර්’ සංගීත කණ්ඩායම විසින් ද ගයන ලදී.

අවසාන වශයෙන් “රන්සිළු” ආයතනය මඟින් නිපදවන ලද “මගේ පොඩි යාළු” ළමා ගී පට සහ තැටි පිළිබඳ මෙහි ලා සටහන් කිරීම සුදුසු යැයි අපි සිතමු. “සුරතල් නංගියෙ අපෙ අම්මා” - “දැන් නිවාඩු කාලෙ හින්දා” - “මගේ පොඩි යාළු නෙළමුද ඕලු” - “මොනවද අම්මෙ අකුරු ජාතියක්” - “නිල් අහස් තලේ” - “මට මෑණි වගේ” - “ඇය කොණ්ඩෙ දිගට දාලා” - “හිංචි පිංචි හාවා” - “කොටු වැටිච්ච පුංචි සරම” - “මුල් අකුරට මගෙ හෝඩි පොතේ” - “පොඩි කාලේ දඟ කෙරුවාම” - “හිනැහේවි බෝනික්කා” - “හිතන්නකෝ අයියේ” - “හොඳ හොඳ ළමයින් අපි වාගේ” - “දණ ගාද්දි ඇවිදින්නට” - “අකුරු මැකී නැහැ” - “මිදුලේ වැලි මාළිගාවේ” - “අම්බිලි මාමේ” - “චූටි කුරුල්ලනි” - “අපෙ අම්මා කොළඹ ගිහිල්ලා” වැනි ජනපි‍්‍රයම ගී ගණනාවක් එම ගී පට සහ තැටි වල අඩංගු විය. එම ගී පට සහ තැටි සඳහා ගී ගැයුවේ නවක ළමා ගායක ගායිකාවන්ය. ඔවුන් ගායනා කළේ අනුන්ගේ ගීතමය.

ගායක ගායිකාවන්ගේ දරුවන් සිය මව්පියන් ගැයු ගී නැවත ගැයීම මෙම විමසුමට අදාළ කර ගෙන නැත

උපුටා ගැනීම - සිළුමිණ ''රසඳුන" (වර්ෂ 2011 සැප්තැම්බර් 18 ඉරිදා)
http://www.silumina.lk/2011/09/18/_art.asp?fn=av11091811&p=1

34 comments:

  1. අන්න හරි.. ඒකනේ මං බැලුවේ.. මේක මං බැලුවා.. ස්තුතියි මතක් කරාට..

    ReplyDelete
    Replies
    1. වෙන ලිපියක් ලියන්න කරුණු හොයනකොට අහම්බෙන් ඇස ගැටුනේ.
      හොඳ ලිපියක නිසා උපුටා දක්වන්න හිතුනේ.

      Delete
  2. බලන් ගියාම කවුද මෙහෙම නොකර ඇත්තේ. සුමිත් අහංගමගේ සුවඳයි මුවේ ගීතය ජෝති ගැයු බවක් අදයි දන්නේ. ආසයි අහන්නත් ඒ වර්ෂන් එක. ජීවන දන්නවාද ලින්ක් එකක්.

    ජෝජ් රොබ්සන් ද සිල්වාගේ ලිපි කියවන්න මම හරි ආසයි ඉස්සර. මෑතකදි නම් මුකුත් ඇහැ ගැටුනේ නැහැ. ඔහු බොහෝ ගීත ලිව්වා. අදට වඩා එදා වෙනස්.

    ජෝජ් රොබ්සන් ද සිල්වා ලියූ ගීත කිහිපයක්

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ජෝජ් රොබ්සන් ගේ ලිපියක් කාලෙකින් කියවන්න ලැබුනේ නැහැ තමා.
      සුවඳයි මුවේ ගීතයේ ඔරිජිනල් එක අහල නෑ හොයාගන්නත් නෑ.
      සමහරවිට අපේ එකෙක් මේක කියවල ලින්ක් එක දාවි. මොකෝ මේකේ ඉන්නවනේ සින්දු ඉස්ටෝරු දෙක තුනක්ම.

      Delete
    2. මේක කියෙව්ව වෙලාවේ ඉඳන් පිස්සු වගේ හෙව්වා. සුමිත් අහංගමගේ ඔරිජිනල් එක අහලා තියෙන නිසා ඒක මතකේ තියෙනවා. ජෝතිගේ වර්ෂන් එක හම්බවුනා. මම මේකට කැමතියි.

      ජෝතිගේ වර්ෂන් එක හම්බවුනා. මම මේකට කැමතියි.

      Delete
    3. මචන් අරු,
      ජෝතිගේ වර්ෂන් එකේ මටනං ඇහෙන්න්ම ඉන්දියන් සින්දුවක්.
      සුවර් එකටම ඉන්දියන් කොපියක්.

      Delete
  3. අනුන්ගේ ගීත ගයන එක මගේ පුද්ගලික අදහසට අනුව නම් කිසිම අවුලක් නැහැ. දැන් වෙලා තියෙන්නේ සිංදුවේ සාරය උරාබිල, රොඩ්ඩක් කරලා විසිකරන නැවත ගායනයක් තමයි ගොඩක් වෙලාවට කරන්නේ. ඒ හින්ද මුල් ගායනයේ විරෝධය එක අතකට සාධාරණයි. නමුත් සමහර සින්දු ආයෙත් ගයපු හින්දම ජනප්‍රිය වෙනවා. ඕනෙතරම් උදාහරණ කියන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා ගේ අදහසට මමත් 100ක් ම එකඟයි. අනුන්ගේ ගීත නැවත ගායනයේ කිසිම වරදක් කියන්න බැහැ
      ලංකාවේ සමාජයේ ඕක ටිකක් අවුල් වගේ දැනුනට බටහිර සුපිරිම ගායකයෝ සහ බෑන්ඩ් කවර් වර්ෂන් කියල කරන්නේ ඕකම තමා. තමන්ගේ ගීතයේ කවර් වර්ෂන් වැඩිවෙන තරමට සමහර බටහිර ගායකයෝ කැමතියි. වැඩිය එපා ABBA පවා අනුන්ගේ ගීත නැවත කියල තියෙනවා.
      මෑතක හොඳම උදාහරණය බ්‍රිතාන්‍යයේ සුපිරිම ගායකයා ලෙස පිළිගැනෙන එල්ටන් ජෝන්. එයා දැන් ෆ්‍රෙඩී මර්කරිගේ ගීත ගොඩක් කවර් කරනවා Queen එක්ක.

      Delete
    2. ////මෑතක හොඳම උදාහරණය බ්‍රිතාන්‍යයේ සුපිරිම ගායකයා ලෙස පිළිගැනෙන එල්ටන් ජෝන්. එයා දැන් ෆ්‍රෙඩී මර්කරිගේ ගීත ගොඩක් කවර් කරනවා Queen එක්ක/////.
      ඔව්. ඒ ගීතවලට කිසිම හානියක් වෙලා නැහැ. සතුටුයි



      Delete
    3. ගීතයට හානියක් වෙලා නැහැ කියල පිලිගන්නවා නමුත් ෆ්‍රෙඩී මර්කරිගේ ජවය එල්ටන් ජෝන් ළඟ නැහැ. රසය මුළුමනින්ම වෙනස්.

      Delete
    4. මචං ජීවන....අපිට වඩා සංගීත රසය සහ ඥාණය තියෙන නිසා මම කැමතියි උඹේ කමෙන්ට්ස් සහ ලියවිලි කියවන්න මියුසික් පැත්තෙන්.
      /// ෆ්‍රෙඩී මර්කරිගේ ජවය එල්ටන් ජෝන් ළඟ නැහැ////
      /////ජෝතිගේ වර්ෂන් එකේ මටනං ඇහෙන්න්ම ඉන්දියන් සින්දුවක්.
      සුවර් එකටම ඉන්දියන් කොපියක්//////
      ඒ වගේම සුමිත්ගේ ගීතයේ සුමිත්ට වඩා වොයිස් ජවයක් ජෝතිගේ වර්ෂන් එකේ තියෙනවා. ඉන්දියන් ගතියක් එන්නේ මියුසික් වලද? එහෙම නැත්නම් වොයිස් එකේ තියෙන පරාසය නිසාද...ජෝතිට තරම් සුමිත් අහංගමට එහෙම දෙයක් තිබුනෙම තිබුනේ නැහැ. ඒ පරාසය ජෝති වඩාත් පහසුවෙන් පාවිච්චි කර නිසාද ඒ ඉන්දියන් ගතිය එන්නේ.

      ජීවන් ඒක ෆ්‍රෙඩිගේ සහ එල්ටන්ගේ හඬ පරාසය එක්ක කොහොමද විමසන්නේ...

      ජීවන් ඒක ෆ්‍රෙඩිගේ සහ එල්ටන්ගේ හඬ පරාසය එක්ක කොහොමද විමසන්නේ...

      ජීවන මේ දැන ගැනීම සඳහාමයි....වෙන අහවල් දේකටවත් නෙවේ මචං. මේ දවස්වල යමක් ඇහුවත් ඇඟට ගොඩ වෙන මොඩ්ල් තමයි ඉන්නේ නිසාමයි ඇහුවේ.

      Delete
    5. එල්ටන් ජෝන් ගේ ගායනය මුල් කාලයේ ටෙනර් වූ අතර දැන් එය පවතිනුයේ බැරිටෝන් කලාපයේ.
      ෆ්‍රෙඩී මර්කරිගේ ස්වභාවික හඬ බැරිටෝන් වුවද ඔහුගේ ගායනය ටෙනර්. නමුත් ෆ්‍රෙඩීගේ පරාසය අති පුළුල්. එය පහළ බේස් F (F2) සිට ඉහල සුප්‍රානෝ F (F5) පැතිර යනවා. ඔහුගේ ස්වර ස්ථානගත කිරීම ඇති විශිෂ්ඨයි. ඔහුගේ සජීව ප්‍රසංග වල ඕඕඕ............. ශබ්දයෙන් මෙම ස්වර පරාසය ගායනය කර පෙන්වනවා.
      වඩා වැඩි ස්වර පරාසය ඇති කෙනෙකුට දැඩි ජවයකින් කටහඬ ස්ථාන ගත කළ හැකියි. එය ඔහුට නළල රැලි නොකර මුහුණ විකෘති නොකොට දෑස දැඩිව පියා නොගෙන ඉතා සැහැල්ලුවෙන් කලහැකියි. එවිට ජවය අසන්නාට ඉබේම දැනෙනවා.

      ජෝතිගේ බොහෝ ගායනයන් බැරිටෝන් වන අතර එයද විශාල පරාසයක් තුල දෝලනය වනවා. මට හරියටම පරාසය කුමක්ද කියන්න දන්නේ නැහැ. එක කොහෙවත් ලියවිලා තියෙනවා දැකල නැහැ. හඬ පරාසය තීරණය කිරීම විශාල අද්ධ්‍යනයක්. කෙසේ වුවත් සුවිසල් හඬ පරාසයක් තුල ජෝතිගේ හඬ ස්ථානගත කිරීම අති විශිෂ්ඨයි. එම ස්ථාන ගත කිරීම තුල ජවය දැනෙනවා. මොකද අමාරුවෙන් නෙවෙයි ගායනය කරන්නේ. එනිසා රසිකයාට ගීතය ඇහුවම සැහැල්ලු ගතියක් දැනෙනවා. ගීතය හදවතට සමීප වනවා. ජෝතිගේ සාර්ථකත්වය එතැනයි.

      ජෝතිගේ සුවඳයි මුවේ මල් පැණි සංගීතයේ තමා ඇහෙන්නේ ඉන්දියන් ගතිය.

      අර ඇඟට ගොඩ වෙන්නේ තමන් නොදන්නා දෙයක් නොදන්නා බව පිළිගන්න බැරි උනාම. එහෙම ප්‍රශ්නයෙන් පැනල යනකොට සංවාදය නවතිනවා. සංවාදය නවතිනවා කියන්නේ තමාටම කරගන්න විශාල හානියක්. මොකද තමන්ට සංවාදය තුලින් ඉගෙනගන්න තියෙන අවස්තාව අහිමි කරගැනීමක් නිසා.

      Delete
    6. අර ෆ්‍රෙඩී මර්කරි තමන්ගේ හඬ පරාසය සජීවී ගායනය කරලා පෙන්වනකොට අපේ හචා බෑන්ඩ් වල ඉන්න සරල ගීයක් වත් නිසි ස්වරයේ ගායනය කරන්න බැරි ගායකයෝ අරක අනුකරණය කරන්න හදනවා. යටිගිරියෙන් හූ කියනවා විතරක් ඇහෙනවා. බස් වල යද්දී ඕක දැක්කම කොමඩි ෆිල්ම් එකක් බැලුව වගේ ආතල් එකක් දැනෙන්නේ.
      තව දවසක් දැක්ක ෆ්‍රෙඩී මර්කරිගේ I Want to Breakfree ලංකාවේ බෑන්ඩ් එකක් ගහනවා. මචන් ගායනය ගැන කියන්න වචන නෑ. ඩේස්ටෝෂන් ගිටාර් එකෙන් ගහන්න ඕන රොක් සොලෝ එක කීබෝඩ් එකෙන් ගහනවා. ඔරිජිනල් ගීතයේ ඩ්‍රම් බීට් එකේ ලස්සන තියෙන්නේ දිගටම් 8 බීට් යන හයි හැට් එක එක තැනක විතරක් 16 බීට් කිරීම තුල. ඒවා මොනවත් නැහැ. කම්මලේ යකඩ තලනවා වගේ ඔහේ ඩ්‍රම් එකට තලනවා. මම හිතන්නේ නෑ ඔය බෑන්ඩ් වල ඩ්‍රාමා ල එකෙක්වත් ඩ්‍රම් නොටේෂන් එකක් ඇහැටවත් දැකල ඇති කියල.

      Delete
    7. ජීවනගේ බරසාර විග්‍රහයට බොහෝම ස්තුතියි!!! මේ වගේ දේවල්, මේ තරම් දුරට දැණගෙන හිටියේ නැහැ.

      Delete
    8. ලංකාවේ බෑන්ඩ් වල ඩ්‍රාමර්ස්ලා ගැන ජීවන කියල තියෙන කතාව නම් 200% ඇත්ත. මම දන්නා සංගීතයක් නැති උනත් උන්ගේ ඉංග්‍රීසි සින්දු 'ගැහිල්ල' නම් මටත් බලන් ඉන්න බෑ.... නැගිටලා හූ කියන්න හිතෙනවා...

      ඒ වගේම මම හැබැයි නියම වොයිසස් දැකල තියෙනවා ලාංකික උනාට... නියමෙට (මගේ සංගීත දැනුම අනුව) කියනවා...

      ඇත්තටම ජීවන .. මම ගොඩක් දවස් කල්පනා කරලා තියෙනවා ලංකාවේ කට්ටිය American Idol කොපි කලාට... ඒ තරගේ සින්දු කියන ( අවසන් 3 දෙනාට වෙනකල් වගේ) පුදුම හඬවල් කියල... විනිශ්චය මණ්ඩලේ උන් උඩපනිනකොට ඊට කලින් මම පුටුවෙන් පැන්නවෙනවා !

      Delete
  4. සමහර ගීත වල මුල් ගායකයන් ඇත්‍තට දැනගත්‍තේ මේ ලිපියෙන් ජීවන අයියා..මේවයින් අපි ඉගනගන්නවා උඹලට පිං සිද්ධ වෙන්ඩ !!!

    ReplyDelete
    Replies
    1. මේක මම ලියපු එකක් නෙවෙයි බං කෙලින්ම සිළුමිණේ කොපියක්. ලියපු එකාටත් පොඩි පිනක් හරි අනුමෝදන් කරපන්.

      Delete
  5. ජීව මේක බ්ලොග් වල ආයි දාපු එක වටිනව, මොකද බ්ලොග් තරන් මිනිස්සු සිළුමින බලන්නෙ නෑනෙ.

    මචෝ, ග්‍රේෂන් ආනන්ද ස්ටැන්ලි පීරිස්ගෙ සින්දුවක් කියල තියනව කිව්වොත්? මගෙ ගාව තියෙනව, වෙලාවක දාන්නම්.

    ReplyDelete
    Replies
    1. පිස්සුද මචන් සිළුමිණේ ඇඩ් ටික බලනවා.
      සින්දුව යූ ටියුබ් එකට දාල ලින්ක් එක දාපන්

      Delete
    2. සවසට පායා අරුණේ සැඟවෙන සඳ නැතිවට මට කමක් නැතේ!

      Delete
    3. සවසට පායා අරුණේ සැඟවෙන සඳ නැතිවට මට කමක් නැතේ!

      Delete
  6. කීර්ති පැස්කුවල් ගයන රන්තරු පායන ගීතයත් ස්ටැන්ලි පීරිස් කියපු එකක්

    ReplyDelete
  7. අනුන්ගේ ගීත ගායනා කිරීම මහා පාපයක් නෙවෙයි , හැබැයි ඒ ගීත විකෘති කිරීම නම් සාහසික අපරාධයක් . හැමෝටම පටන් ගන්න වෙන්නේ අනුන්ගේ ගීත ගායනා කරලා තමයි . ඒත් පසුව තමන්ගේ අනන්‍යතාව සොයාගත යුතුයි . රජීව් සෙබස්තියන්ට නඩුවක් තියෙනවා නේද ක්ලරන්ස්ගේ නෝනා දාලා ,

    ReplyDelete
    Replies
    1. ගීත විකෘති කරනවා කියන්නේ නව ආරකට ගයන එකද?
      මට නම් සන්ගීත්ගේ රඟහල විජේරත්න වරකාගොඩගේ එකට වඩා හොඳයි. ගීතය හොඳට දැනෙනවා.

      Delete
  8. මම නම් කැමතියි ජීවන් ලිපි ලියනවා නම්.. ඒකයි මම මේකට කොමෙන්ට් නොකලෙත්..

    ReplyDelete
    Replies
    1. මේ වගේ ලිපියක් ලියන්න තරම් මටනම් දැනුමක් නැහැ. නමුත් හොඳ ලිපියක් නිසා මෙතන දැම්ම.

      Delete
  9. සංශෝධිත බුද්ධිමය දේපළ පනත අනුව ගීතයක අයිතිය තියෙන්නෙ එම ගීතයේ පද රචකයාට සහ සංගීතඥයාටයි. ගායකයා යනු එහි වාහකයා පමණයි.
    එනිසා නූතන නීති අනුව ඕනෑ ම කෙනෙකුගේ ගීතයක් ඕනෑ ම කෙනෙකුට ගායනා කළ හැකියි. හැබැයි ඒ පද රචකයාගේ සහ සංගීතඥයාගේ ලිඛිත අවසරය මත...
    අද බොහෝ ගායකයෝ ගීතයේ අයිතිය තමන්ට බලෙන් අයිති කරගෙන, එයින් ලබන සියලු ආර්ථික වාසි තමන් විසින් පමණක් භුක්ති විඳිනු ලබනවා. ඒ නිසා ඔවුන් කැමති නැහැ තමන්ගේ ගීයක් වෙන කෙනෙකු ගයනවාට.

    ReplyDelete
    Replies
    1. කවදාහරි ඕකෙ අවසාන ප්‍රතිපලය වෙන්නේ ගායකයෝ සියලුම අයිතිය පවරා ගැනීමෙන් පසුව ගායනා කිරීම. බටහිර ගොඩක් සංගීත කණ්ඩායම් දැනටත් කරන්නේ එකම තමයි.

      Delete
  10. ම්ට හිතෙන වදියට ෆ්‍රෙඩී මකරි ඉතාමත් හොද ගායකයෙක් එමෙන්ම එල්ටන් ජොන් කියන්නෙත් සුපිරි ගායකයෙක්. ලොව සුපිරිම ටෙන‍ර් ගායකයන් හත් දෙනා අතර මේ දෙන්නම ඉන්නව. අනික් අය තමා Michael Jackson. Prince.Stevie Wonder. Pfarrel සහ Paul McCartney... තම තාමාගෙ රසය හැටියට තමා ඉතින්.... සමහර අයට අජිත් මුතුකුමාරත් හොන්දම ගායකය නෙ

    ReplyDelete
    Replies
    1. මචන් ඇනෝ, උඹේ කොමෙන්ට් එක කියවපු ගමන් තේරෙනවා උඹ සංගීතය ගැන දන්නා, හොඳට රස එකෙක් කියල. මේ බ්ලොග් එකේ පොස්ට් එකට වඩා කරුණු මතුවෙන්නේ කොමෙන්ට් වලින් කෙරෙන සංවාදයෙන්. උඹල වගේ කරුණු දන්නා උන් ඉන්නකොට හරිම පහසුයි සංවාදය ඉදිරියට ගෙනයන්න. G+ ප්‍රොෆයිල් එකක් එහෙම හදාගෙන සෙට් වෙයන්කෝ. ඔන්න බුලත් දුන්න ඈ...................

      Delete
  11. Prince ගායනා කරපු "The most beautiful girl in the world" ගීතය හරිම අපූරුයි. ඉහල ස්වර පරාස ඉතාමත් හොන්දින් ගායනා කරනව...Elton John ගෙ උගුෙර් කල සැත්කමකින් පසු ඔහුගේ කටහඩ සදහටම වෙනස් වුනා...Baritone පරාසයට ඔහුගේ කටහන්ඩ වැටුනේ එයින් පසු‍යි...

    ReplyDelete
    Replies
    1. https://en.wikipedia.org/wiki/The_Most_Beautiful_Girl_in_the_World_(1935_song)
      "The Most Beautiful Girl In The World" is a show tune from the 1935 Rodgers and Hart musical Jumbo.

      A 1953 recording by Tommy Dorsey was a Billboard Top 40 hit per Joel Whitburn's Pop Memories 1890-1954. Other recordings include those by Sonny Rollins, Les and Larry Elgart, Vaughn Monroe, Vic Damone, Perry Como, and Frank Sinatra.

      The Most Beautiful Girl in the World may refer to:

      "The Most Beautiful Girl in the World" (1935 song), a 1935 song by Rodgers and Hart
      "The Most Beautiful Girl in the World" (Prince song), a 1994 song by Prince
      "The Most Beautiful Girl", a 1973 song written by Wilson, Sherrill and Rourke, and recorded by Charlie Rich

      https://en.wikipedia.org/wiki/The_Most_Beautiful_Girl_in_the_World

      Delete
  12. එත් එක්කම මෑතක බිහිවු ගයකයන් අතර Justin Timberlake සහ Bruno Mars එහෙම සුපිරි Tenor කටහඩවල් හිමි ගයකයින්... Prince මා සන්දහන් කල පරිදී 90 දශකයේ බිහිවූ ගායකයෙකි...

    ReplyDelete
  13. "ලක්ෂ්මි බායි ගැයු ‘සාදු දන්ත දා’ ගීතය නැවත ගයමින් සුජාතා අත්තනායක ද අනුන්ගේ ගීත ගායනා කළ ගායිකාවන් අතරට එක් වී සිටී."
    Sadu Danthada was originally sung by Wimala Kantha not Lakshmi Bai. Bai may have sung it but the original artist was Wimala Kantha the mother of Sujatha Attanayake.

    ReplyDelete