Thursday, May 18, 2017

ප්‍රථම කුරුස යුද්ධය

කුරුස යුද්ධ යනුවෙන් හැඳින්වෙන්නේ යෙරුසලම මුස්ලිම් වරුන්ගෙන් මුදාගෙන යුරෝපීයන් අතට ගැනීමට සිදුකරනා ලද යුද්ධ මාලාවකි. ක්‍රිස්තියානි, මුස්ලිම් සහ ජුදා යන ආගම් තුනෙහිම බැතිමතුන් ජෙරුසලම තමන්ගේ පුජා භූමියක් වශයෙන්  සලකති. සියවස් ගනනාවක් තිස්සේ යුරෝපීය ක්‍රිස්තු භක්තිකයන් විසින් වන්දනාව සඳහා පැමිණි ජෙරුසලම, එකොලොස් වන සියවසේදී තුර්කි ජාතිකයන්ගේ පාලනයට නතුවිය. මුස්ලිම් භක්තිකයන් වූ තුර්කීන් කිතුනු බැතිමතුනට වරින් වර පහර දීම නිසා දෙවන අර්බන් පාප් වරයා  (Pope Urban II) වසර 1095 දී තුර්කි වරුනට විරුද්ධව යුද්ධයක් කැඳවුයේය. මෙම යුද්ධය හැඳින්වුයේ ශුද්ධවූ යුද්ධයක් වශයෙණි. පළමු කුරුස යුද්ධය යුරෝපීන් විසින් ජයගනිමින් වසර 1099දී ජෙරුසලම අල්ලා ගැණීමට සමත් විය.

එකොලොස් වන සියවසේ අවසාන භාගයේදී බයිසැන්ටයින් අධිරාජ්‍යයාවූ  (Byzantine Emperor) පළමුවන ඇලෙක්සිස් (Alexis I) විසින් දෙවන අර්බන් පාප් වරයා වෙත රාජ දුතයන් පිටත්කර හරියේ තුර්කිවරුන්ගේ තර්ජනය මැඩ පැවැත්වීමට යුරෝපීය කුලී හමුදාවක් ලබා ගැනීමට අනුග්‍රහය ලබා ගැනීම සඳහාය.

වසර 1095 නොවැම්බරයේ දෙවන ආර්බන් පාප් වරයා විසින් ජෙරුසලම මුදා ගන්නා යුද්ධයට එකතු වන ලෙස බටහිර යුරෝපීය කිතුනුවන්ගෙන්  ඉල්ලා සිටියේය. මේ සඳහා ලැබුනේ ඉහල ප්‍රතිචාරයකි. යුධ හමුදාවේ පහල නිලධාරීන් මෙන්ම සාමාන්‍ය පුරවැසියන්ද කුරුස යුද්ධයට එකතු විය.

මේ ආගමික යුද්ධයට එක්වුනු සැමට පල්ලියේ ලාංඡනය වන කුරුසිය පැළඳුවේය.

පළමු කුරුස යුද්ධය සඳහා හමුදාවන් හතරක් බටහිර යුරෝපයේ ප්‍රදේශ හතරකින් පිටත් විය.  මේ ප්‍රධාන හමුදා ඛණ්ඩ හතර කොන්ස්තන්තිනෝපලයට ලඟා වූ විට බයිසැන්ටයින් අධිරාජ්‍යයාවූ ඇලෙක්සිස් බලකර සිටියේ හමුදා නායකයින් විසින් තමාට කෙරෙහි පාක්ෂිකත්වය දිවුරා පොරොන්දු විය යුතු බවය. තවද තුර්කීන්ගෙන් මුදා ගන්නා ප්‍රදේශවල තම පාලනය තහවුරු කල යුතු බවය. නමුත් එක් හමුදා ඛණ්ඩයක නායකයා වූ බොහිමන්ඩ් (Bohemond of Taranto) විසින් එම දිවුරුම ප්‍රතික්ෂේප කළේය. 1097 මැයි මාසයේදී කුරුස යුධ භටයන් සහ බයිසැන්ටයින් හමුදා විසින් සෙල්ජික් මුස්ලිම් වරුන්ගේ යටතේ පවතී ඇන්ටෝලියාවේ අග නගරයට ප්‍රහාර එල්ල කළහ. අනතුරුව එම වසරේ ජුනි මාසයේදී නගරය යටත් කර ගත්හ. මේ වන විට කුරුස යුධ නායකයින් සහ බයිසැන්ටයින් නායකයින් අතර සබඳ තාව බොහෝ සෙයින් පළුදු වී තිබුනද එම හමුදා දෙක එකතුව ඇන්ටියෝ නම් සිරියානු නගරය 1098 ජුනි වන විට යටත් කර ගත්හ. අනතුරුව කුරුස යුධ හමුදාව ජෙරුසලම බලා පිටත් වුහ.


1099 ජූලි 15 වන දින ගොඩ්ෆ්රොයි ඩි බුලියන් (Godefroy de Bouillon) නම් ප්‍රංශ ජාතික නයිට් වරයා විසින් මෙහෙයවන ලද හමුදා ඛණ්ඩයක් ජෙරුසලම යටත් කර ගත්හ. මුස්ලිම් සහ ජුදා ආගමිකයන් දෙපිරිස එක්ව ඔවුනට විරුද්ධව සටන් කල නමුත් අවසානයේ පරාජය ලදහ. නගරය යටත් කරගන්නා ලද ප්‍රංශ හමුදාව තුර්කීන් සමූල ඝාතනය කරනා ලද අතර නගරය රිසි සේ කොල්ල කෑහ. ජෙරුසලමේ බලය අල්ලා ගත් කුරුස යුධ නායකයන් විසින්, යෙරුසලම් රාජධානිය, ට්‍රිපොලි ජනපදය, එඩෙස්සා ජනපදය සහ ඇන්ටියොක් රාජ්‍යය  නමින් ප්‍රාන්ත හතරක් ඇති කළහ.

වසර 1144 දී ඉමාද් අල්-දින් සැන්ජි (Imad al-Din Zangi) යටතේ සංවිධානය වූ මුස්ලිම් වරුන් කුරුස යුද භටයන් විසින් යටත් කරගන්නා ලද ප්‍රථම නගරය වූ සඩෙස්සාව නැවත අත්පත් කරගන්නා ලදහ . මෙය කුරුසයුධ ඉතිහාසයේ මුස්ලිම් වරුන් ලද ප්‍රථම ජයග්‍රහණයයි. එම ප්‍රදේශය යටත් කර ගැනීම පාප් වරයාට දෙවන කුරුස යුද්ධය ඇරඹීමට නිමිත්තක් මතුකර දුන්නේය.

6 comments:

  1. කුරුස යුධ්හය ගැන කියන්න හිතුනේ මොකද? දෙවන ලෝක යුද්දෙන් පස්සේ එතැන් ඊශ්‍රයලය හැදුවේ යෙරුසලම බටහිරට ගන්න වෙන්නත් ඇති.

    ReplyDelete
    Replies
    1. කුරුස යුද්ධය ගැන බොහෝ තැන්වල කියවුනාට ඒක හරියටම මොකක්ක්ද කියල බොහෝ දෙනෙකුට දැනුමක් නැති නිසා ලිව්වේ. ජෙරුසලම සඳහා කරන සටන කිසි දවසක අවසන් වේ යැයි සිතන්නට බැහැ. මහා පරිමාණයෙන් ආගම අවභාවිතාවට ගැනීම සම්බන්ධව ඇති හොඳම උදාහරණය මේකයි.

      Delete
  2. කුරුස යුද්ධය යනු,
    අයුක්තිය අසාධාරනයට එරෙහිව කරන සටනයි.

    ReplyDelete
    Replies
    1. යුද්ධයක කොහොමද යුක්තිය සහ සාධාරණයක් තියෙන්නේ. යුද්දයක් කියන්නේ බල තණ්හාව, වස්තු තණ්හාව වෙනුවෙන් භුමිය අල්ලා ගැනීමට කරනා දෙයක්. එවැනි දෙයකට ආගමික නායකයන් මැදිහත් වීම කිසි ලෙසකින් සාධාරණීයකරණය කළ නොහැකියි.

      Delete
  3. මුල්ම කාලයේදී ජෙරුසලම වන්දනා කරන්න ගිය ක්‍රිස්තු භක්තිකයන්ට අරාබි මුස්ලිම්වරුන්ගෙන් කරදර උනේ නෑ... වැඩි කාලයක් යන්න කලියෙන් සෙල්ජුක් තුර්කිවරුන්ගේ බලය ව්‍යාප්ත උනාම තමා කරදර ඇති වුනේ...

    ReplyDelete
  4. සලාහුදීන් එන්නෙ ඊට පස්සෙ නේද.
    හරිම අපූරුයි හුගක් දේවල් දැනගත්තා

    ReplyDelete