Friday, October 31, 2014

සංගීත චාරිකාවක් 29- ABBA තෙවන කොටස - ඇග්නේතා ෆෙල්ස්කෝ සහ ඔන්නි ෆ්රීද් ලීග්සා


 පෙර ලිපිය ඇබා කණ්ඩායමේ ගායකයන් දෙදෙනා ගැන ලියවුනා. අද ලිපිය ගායිකාවන් දෙදෙනා ගැනයි.
පළමු කොටස       දෙවන කොටස

ඇග්නේතා ෆෙල්ස්කෝ
ඇග්නේතා ෆෙල්ස්කෝ 1950 අප්‍රියල් මස 5 වන දින ස්වීඩනයේ ජියෝන්ශාපින්ග් (Jönköping) හි උපත ලැබුවා. ඇය පාසල් දැරියක ව සිටි කාලයේ බ්‍ර්නට් එන්ගල්බ්ර්ට්ගේ මුලිකත්වයෙන් යුතු ප්‍රාදේශීය නර්තන කණ්ඩායමක් සඳහා Jag var så kär නම් ගීතය පද රචනය කොට ගායනය කළා. මේ ගීතය අඩංගු පටය නර්තන කණ්ඩායම විසින් කාල් ගෙහාඩ් ලන්ඩ්ක්විස්ට් (Karl Gerhard Lundkvist) වෙත යැව්වේ නර්තන කණ්ඩායමේ ප්‍රවර්ධනය සඳහාය. නමුත් ලන්ඩ්ක්විස්ට්ගේ හිත ගියේ එහි ගායනය වෙතයි. ඔහු විසින් තමා නොදුටු ඇග්නේතා දිනෙක තාරකාවක් වන බවට අනාවැකි පල කළා. ඔහු විසින් ඇග්නේතාව ස්ටොක්හෝම් එත ගෙන්වාගෙන ඇයගේම නිර්මාණයන් වූ ගීත දෙකක් පටිගත කර එළිදැක්වූවා. මේ ගීත දෙක අඩංගු තැටිය පිටපත් 80,000 ක අලෙවියක් වාර්තා කරමින් වයස අවුරුදු 17ක් වූ ඇග්නේතා තාරකාවක් බවට පත් කලේ ලන්ඩ්ක්විස්ට්ගේ අනාවැකිය සත්‍යක් බවට පත් කරමින්.
පළමු තැටියේ සාර්ථකත්වයත් සමගම ඇග්නේතා සැනෙකින් ගායකයන් සහ පද රචකයන් ගේ අවධානයට ලක්වුවා. ඇයගේ මුල් යුගයේ ස්වතන්ත්‍ර නිර්මාණ මෙන්ම බටහිර ගීත වල අනුගායනාද ප්‍රසංගවල ගායනා කළා. ඇග්නේතාගේ හොඳම ගීත වලින් බහුතරයක් ඇයගේම පදරචනා වනවා. මෙය 60 දශකයේ ගායිකාවන් සම්බන්ධව ගතහොත් විරල සිදුවීමක්. 1968 සිට 1971 දක්වා ඇග්නේතා ඒකල ගීත තැටි හතරක් එළිදක්වා තිබෙනවා. ස්වීඩන් සංගීත දර්ශක තුල ඇයගේ ඒකල ගායනා රැසක් ස්ථානගතවී තිබෙනවා.

1969 මැයි මස ස්වීඩන් රුපවාහිනී මාලාවක රුගත කිරීම් අතරතුර ඇග්නේතා සහ උල්වියෝස් ගේ ප්‍රථම හමුව සිදුවනවා. අනතුරුව 1971 ජූලි 6 වන දින මේ දෙදෙනා විවාහ වනවා. අනතුරුව ඇග්නේතා සහ උල්වියෝස් එකිනෙකාගේ ගීත පටිගත කිරීම් සඳහා සහය වෙමින් දිගු ගමනකට මුල පුරනවා. ඇග්නේතාගේ තෙවන ශබ්දාගාර ඇල්බමය වන Som jag är සඳහා සහය ගායනය කරනුයේ අන්දශෝන් සහ ලීග්සා යුවලය. 1972 වසරේදී Jesus Christ Superstar සිනමා පටය සඳහා මරිය මග්දලෙනාගේ චරිතය රඟපෑමත් සමග ඇග්නේතා ස්වීඩනය පුරා ජනප්‍රිය තාරකාවක් ලෙස බැබලෙනවා.
 


ඔන්නි ෆ්රීද් ලීග්සා
ඔන්නි ෆ්රීද් ලීග්සා උපත ලදුයේ 1945 නොවැම්බර් 15 දින නොර්වේ බැලෙන්ගන් හි බියොකෙසන් (Bjørkåsen) හි දීය. වයස 13 සිටම ජෑස් දිශානත කැබරේ ශෛලියේ ගායිකාවක ලෙස සංගීත කණ්ඩායම් කිහිපයකම ගායනයේ යෙදුන ඇය තමාගේම සංගීත කණ්ඩායමක් ඔන්නි ෆ්රීද් ෆෝ නමින් පිහිටුවා ගත්තා. 1967 වසරේ En ledig dag ගීතය ගායනයෙන් නොර්වේහි ජාතික කුසලතා තරගාවලිය ජයගැනීමට ඔන්නි ෆ්රීද් ලීග්සා සමත් වනවා.
මේ ගීතය A Day in Portofino නම් බෝසනොවා ගීතයේ ස්වීඩන සංස්කරණයක්. එම තරඟයේ පළමු ස්ථානය වශයෙන් ත්‍යාගය EMI තැටි සමාගම සමග පටිගත කිරීමේ ගීවිසුමක් සහ රුපවාහිනි සජීව සංගීත වැඩසටහන් කිහිපයකට පෙනී සිටීමේ අවස්තාව ඇයට ලැබුනා. EMI තැටි සමාගම ගීත කිහිපයක් එළිදක්වුවද ඒ කිසිවක් සාර්ථකත්වයට පත් උනේ නැහැ.


 1971 වසරේ බෙනී අන්දශෝන් ඇයගේ ගීත නිර්මාණය පටන්ගත් අතර Min egen stad ගීතය සංගීත දර්ශක වල පළමු තැනට පත උනා. එහි පද රචනය බෙනීගේම වූ අතර අනාගත ඇබා කණ්ඩායමේ ඉතිරි තිදෙනා එම ගීතය සහය ගායනයේ යෙදුනා. ෆ්රීද් සහ උල්වියෝස්ගේ පළමු හමුව සංගීත තරඟාවලියකදී 1963 වසරේ සිදුවන අතර ඇයට ඇග්නේතා ෆෙල්ස්කෝ මුණගැසෙනුයේ 1968 වසරේ රුපවාහිනී වැඩසටහනක දීය. 1969 මාර්තු පළමු දින මෙළුඩීෆෙස්ටිවෝලන් තරඟාවලියේදී අන්දශෝන් මුණගැසෙන ෆ්රීද්, දකුණු ස්වීඩනයේ සංගීත ප්‍රසංග මාලාවකට ඔහු සමග සහභාගී වන අතර පෙම්වතුන් බවට පත් වනවා.



1969 වසරේ අන්දශෝන් විසින් ෆ්රීද්ගේ Peter Pan ගීතය නිෂ්පාදනය කල අතර එය ඇග්නේතා ෆෙල්ස්කෝ සහ බියෝන් උල්වියෝස් යුවලගේ පදරචනයක්. අනතුරුව අන්දශෝන් Frida නමින් ඒකල ඇල්බමයක් නිෂ්පාදනය කල අතර එය අතිශය ජනප්‍රිය උනා
 



ඇබා කණඩායම පිටවූ පසුවද Frida ensam එකල ඇල්බමය එළිදක්වුව අතර එහි Fernando ගීතයේ ස්වීඩන සංස්කරණය අඩංගු උනා. එම ස්වීඩන සංස්කරණය ඉංග්‍රීසි ගීතයට පළමුව ගීත දර්ශක ජය ගත්තා..

Fernando ස්විස් ගීතය
En ledig dag
පළමු කොටස       
දෙවන කොටස

ප.ලි. Bjørkåsen ශබ්ද නගන ආකාරය දන්නවානම් ලියන්න 

Tuesday, October 28, 2014

සංගීත චාරිකාවක් 28 -ABBA (දෙවන කොටස) බෙනී අන්දශෝන් සහ බියෝන් උල්වියෝස්

 පළමු කොටස මෙතැනින්
ඇබා සංගීත කණ්ඩායම ගැන කෙටි හැඳීන්වීමක් පෙර පොස්ටුව මගින් දිග හැරුනා. මෙම කණ්ඩායමේ ගායකයන් දෙදෙනාගේ තොරතුරු මෙලෙස දිග හැරෙයි.

බෙනී අන්දශෝන්
1946 දෙසැම්බර් 16 දින ස්වීඩනයේ ස්ටොක්හෝම් හි උපත ලද බෙනී අන්දශෝන් වයස අවුරුදු 18 වන විට එරට ප්‍රසිද්ධ රොක් සංගීත කණ්ඩායමක් වූ හෙප් ස්ටාස් හි සාමාජිකයකු විය. මෙම කණ්ඩායම ස්වීඩනයේ බීටල්ස් ලෙස විරුදාවලිය ලබා තිබුනා. අන්දශෝන් එම කණ්ඩායමේ කී බෝඩ් වාදකයා වූ අතර ක්‍රමයෙන් කණ්ඩායම සඳහා ගීත රචනය පටන් ගත්තා. මෙම ගී අතිශය ජනප්‍රිය උනා. No Response ගීතය 1965 වසරේ සංගීත දර්ශකයේ තුන් වන ස්ථානයට පැමිණි අතර Sunny Girl, Wedding සහ Consolation ගීත ත්‍රිත්වය 1966 දී ස්වීඩන් දර්ශකයේ ප්‍රථම ස්ථාන දිනා ගත්තා.

No Response
  Sunny Girl
 Wedding
Consolation

බියෝන් උල්වියෝස්
බියෝන් උල්වියෝස් උපත ලදුයේ 1945 වසරේ අප්‍රියල් 25 දින ස්වීඩනයේ ගූතන්බර්ග්හිදී ය. ඔහුද වයස අවුරුදු 18 වනවිට ද හූට්නනි සිංගර්ස් කණ්ඩායමේ ගිටාර් වාදකයා මෙන්ම ගායකයකු විය. උල්වියෝස් ද ස්වකීය කණ්ඩායම සඳහා ඉංග්‍රීසි ගීත රචනය කල අතර එකල ගායනයකු වශයෙන්ද සිය සංගීත චාරිකාව අරඹා තිබුනා. හෙප් ස්ටාස් කණ්ඩායම සහ ද හූට්නනි සිංගර්ස් සමහර සංගීත ප්‍රසංග මාලාවන් තුල එකට මුණගැසුනා. මේ මුණගැසීම වල ප්‍රතිපලයක් ලෙස අන්දශෝන් සහ උල්වියෝස් එකට එක්වී පදරචනයේ යෙදීමට පටන් ගත්තා. දෙදෙනා එක්ව කල පළමු නිර්මාණය හෙප් ස්ටාර්ස් ගායනා කල Isn't It Easy to Say ගීතයයි. එම ගීතයේ පද රචනා තුලින් අනාගතය දුටු හූට්නනි සිංගර්ස් කණ්ඩායමේ කළමනාකරු වූ ස්ටීග් අන්දශෝන් (Stig Anderson) තව තවත් ගී පද රචනා කිරීම සඳහා දෙදෙනාව දිරිමත් කරා. මේ වන විට දෙදෙනාම අනෙකාගේ කණ්ඩායම සමග ප්‍රසංගයන්හි යෙදීම සුලභ දෙයක් උනා. දෙදෙනා නිර්මාණය කල Ljuva sextital ගීතය 1969 වසරේදී ඉතාමත් ජනප්‍රිය උනා. හෙප් ස්ටාස් කණ්ඩායමට මොවුන් නිර්මාණය කල Speleman ගීතයද විශාල ජනප්‍රියතාවක් ලැබුවා.

Isn't It Easy to Say


Speleman
 
යුරෝවිෂන් ගී තරඟාවලිය (Eurovision Song Contest) සඳහා කණ්ඩායම් තෝරාගැනීම සඳහා ස්වීඩනයේ පවත්වන මෙළුඩීෆෙස්ටිවෝලන් (Melodifestivalen) තරඟාවලිය සඳහා අන්දශෝන් ඉදිරිපත් කල Hej, Clown ගීතය ප්‍රථම ස්ථානය ලද නමුදු නැවත ගණන් කෙරීමෙදී දෙවන ස්ථානයට පත් උනා. නමුත් මේ තරඟාවලියේදී අන්දශෝන් හට සිය අනාගත සහකාරිය වූ ඔන්නි ෆ්රීද් ලීග්සා මුණගැසුනා ඇයද තරඟාවලියේ තරඟකාරිනියක් වූවා. මේ මුණගැසීමෙන් මසක් ඇතුලත මේ දෙදෙනා පෙම්වතුන් බවට පත්වූවා. 1969 වනවිට අන්දශෝන් සහ උල්වියෝස් තම තමන්ගේ සංගීත කණ්ඩායම් වලින් ක්‍රමයෙන් ඉවත්වී 1970 වන විට ඔවුන් දෙදෙනාගේ ප්‍රථම ඇල්බමය වූ Lycka එළිදැක්වූවා. සංගීත පටිගතකිරීම් සඳහා ඔවුන්ගේ සහකාරියන් ද නිතරම සහභාගී උනා.

Hej Clown
 විසි නව වන කොටසින් හමුවෙමු
 පළමු කොටස මෙතැනින්

Saturday, October 25, 2014

පොත් මගේ නිවහනයි... ජීවිතයයි.....

- රෝහිණී කුමාරි මුවන්දෙනිය-

මම ලෝකය දකිමි ලෝකය පුරා සැරිසරමි

පුංචි කාලේ මට හිතුනේ මං අයිති වෙන්නේ වෙන කොහේ හරි තැනකට කියලයි . මට මතකයි කෝච්චිය දිහා බලාගෙන ඉන්න කොට ඒවා ඇතුලේ ඉන්නවා වගේ මට දැනුන හැටි. මගේ වයස අවුරුදු 10 දී විතර අම්මලා එක්ක ගුවන් තොටුපලට ගිය දවසක ගුවන් යානාවල ගමනාන්තය සදහන් කරපු දැන්වීම් පුවරු කියවද්දී මට යන්න පුළුවන්කම තිබුනු ඩුබායි, මුම්බායි, හීත්‍රෝ, මොස්කව්, ලන්ඩන්, ටෝකියෝ වගේ තැන් මම දුටු බවත් මට මතකයි.
එත් කෝච්චියත් ගුවන් යානයත් පිටත්ව ගියේ මා තනි කරලයි . එනිසා මට ලෝකය දැක බලා ගන්නට ලැබුනේ පොත්පත් වලින්. වික්ටෝරියා යුගයේ එංගලන්තයට මං ගියේ මිඩ්ල්මාර්ච් , ලිටිල් ෆ්න්සස්. පොත් පිටු අතරින් 1917ට පෙර තිබු රුසියාවේ සෙන්ට් පීටර්ස්බර්ග් නගරයේ ඇවිද්දේ ඇනා කැරනිනා සමගයි. හෝස් විත් ද වින්ඩ්, රෙබෙකා, ජේන් අයර් පොත් කියවද්දී උස් සිලිම් සහිත තාරා, මැන්ඩර්ලි තොර්න් ෆීල්ඩ් හෝල් වැනි ශ්‍රේෂ්ඨ ශාලාවලට යන්න පුළුවන්කම ලැබුණා .

මගේ නිවස පිහිටලා තිබුණේ මාතලේ නගරට පිටතින් වූ ඉතා සුන්දර පරිසරයකයි. ඒත් සත්තකින්ම මම ජිවත් වුනේ වෙන තැනකයි. ඒ පොත්වල පිටු අතරයි. අපේ ගෙදර තිබුනේ වෙල් යායක් මැදින් වැටුණු ගුරු පාර දෙපැත්තට බෙදෙන තැන උස් කදු ගැටයක් මතයි. මගේ කාමරයේ ජනෙල් කවුළුවෙන් බලද්දී පෙනෙන්නේ වෙල්යායත් ඊට දුරින් තේ වතු යායත් ඊටත් දුරින් රූක්ෂ කැලෑවෙන් යුත් නකල්ස් කදු වැටියත් ය. ජනේලය අසල ලියන මේසයක් හා පුටුවක් තබා තිබුනා ඒ පුටුවේ වාඩිවී පොත් කියවන්නේ පුදුම සතුකින්.

මගේ අම්මා කියනවා ''අද නම් ෂෝක් දවසක්...'' දෙසැම්බර් මාසයේ සීතල ගලද්දී. එමෙන්ම අවුරුදු මාසයේදී කොහා කැ ගසන හඬ ඇසෙද්දීද නිතරම එහෙම කියන්න අම්මා පුරුදු වෙලා හිටිය.

'' ඔයාගේ යාලුවෝ නම් සේරම එළියේ ....''

ඇත්ත .. එයාලා එහෙමයි. සමහර වෙලාවට මං එයාලත් එක්ක එළියට ගියා. අක්කර ගනනක් ඇතට විහිදුනු තේ වතු යායේ පාරවල් දිගේ ඔහේ ඇවිද්ද . කුඹුරු වතු පිටිවල කාලය ගත කළා. තේ වතු යාය මැදින් බැහැගෙන දියඇල්ලේ නාන්න ගියා. පුංචි වන රෝදවල්වල චුටි කුරුල්ලන් දිහා, පිපුණු මල් දිහා බල බලා ඇවිද ගෙන ගියා. මේ හැම දෙයක්ම කලේ පුංචි කාලේදී........ මට තවමත් මතකයි දිය ඇල්ල අසල ගල් දෙබොක්කා වල මාළු අල්ලපු හැටි. ගොයම් කපා ඉවර වූ කාලෙට යාළුවො එක්ක එකතු වෙලා කුඹුරු යාය පුරා වෙල් ඉපනැලේ දුව පනිමින් සෙල්ලම් කරපු හැටි. අවුරුදු කාලෙට එරබදු බට කපාගෙන තුවක්කු හදාගෙන කෝකිරිල්ලා ගෙඩි දමා වෙඩි තියපු හැටි. කුරුළු පිහාටු එකතු කරන්න පුංචි වන රොදවල ඇවිදමින් හිඹුටු, මොර, දඹ, වෙරළු, පේර කාපු හැටි. ඒත් මේ මොනදේ කලත් මගේ ජිවිතේ නිතරම වෙන් වුණු කොටස තමා මගේ ගෙදර මට වෙන්වුණු පුංචි කාමරයේ තිබුණු පොත් රාක්කය හා පොත් මේසය. ඒ පොත් වල හිටපු මනඃකල්පිත චරිත නැවතත් පණ තියෙන අය බවට පත් වෙන්න මං එනතුරු බලා හිටියා. එතනයි අව්‍යජ මිනිසුන් හිටියේ. සුළගට සෙලවෙන ගහ කොළ තිබුනේ.

අනිත් ලෝකවලට විතරක් නොවෙයි මගේම ලෝකයටත් එබිලා බලන අවස්ථාවක් පොත පතින් මට හිමි වුණා. ඒවායින් මං ඉගෙන ගත්තා. මම කව්ද කියලත් මම කොයි වගේ කෙනෙක් විය යුතු ද කියලත්. මගේ ලෝකය ගැනත් මා ගැනත් ඉගෙන ගත්තා. මම නිර්භීත වුනා. ඒ වගේම මගේ පවුලේ සමාජයෙන් ඈත් වෙලා කා සමගත් සුහදශිලිව සිනා වෙන්න, කතා කරන්න, දුකකට කරදරයකට පිහිට වෙන්න, ඔවුන් සමග ගැටිලා මහ පොළොවේ පය ගහලා ජිවත් වෙන්න මම උත්සහ කළා. ඔවුන්ගේ ජීවිත වල තිබු උත්සහවන්ත බව ධෛර්යය වන්ත භාවය තුල මට යමක් ඉගෙන ගත්තා. ඔවුන් ලැබූ නින්දා අපහාස තුළින් තාඩන පීඩන තුළින් දිලිඳු භාවය තුළ මම බොහෝ දුර ගමන් ගත්තා. ඒවගේම ඒ ලෝකය දෙස විනිවිද බලන්න මා සිත පෙලඹවූ කල ඒ පොත් ලිවූ කතුවරුන් ගේ ජීවිත තුළට ද මා එබිකම් කරා. ඒ තුළින් ද මම කියවූයේ පොත්වල තිබෙනවාට වඩා කතාවක්. මම හිතන්නේ ලෝකයේ මේ සාහිත්‍යධරයන් බොහෝ දෙනකු මියගියේ අන්ත දිළින්දන් ලෙසට. ඔවුන් සමහරෙකුට ඔවුන්ගේ පවුල් නඩත්තු කරනවා තබා තමාව වත් නඩත්තු කරගත නොහැකි වූ බැව් සත්‍යයක්. ක්ෂය රෝගයෙන් හා මන්ද පෝෂණයයෙන් මෙන්ම අධික සීතල වැනි ස්වාභාවික පීඩන වලින් රැකෙන්නට අවශ්‍ය පහසුකම් නොමැති කම නිසා අකාලයේ මිය අය ඒ අතර සිටියා. අනාගතයේ සියවස් ගණන් ජීවත් වෙමින්, ධන ආකර වූ තමන්ගේ රසවත් කතා තුළින් මිලියන ගණන් මුදල් උපදවන අයද මේ අතර සිටියා. මාර්ටින් වික්‍රමසිංහ මහා කවි ශේක්ස්පියර් , ලියෝ තෝල්ස්තෝයි, ඇන්ටන් චෙකොෆ් , තෝමස් හාඩි, ගී ද මෝපසං, ඔස්කා වයිල්ඩ්, අර්නස්ට් හෙමිංවේ ඒ අය අතරින් කිහිප දෙනෙක් බව මම දන්නවා .

මේ ආකාරයට අවුරුදු ගණනක් තිස්සේ මගේ කාමරයේ ජනේලය ලඟට වෙලා මගේ සුපුරුදු පුටුවේ ඉඳගෙන පොත් එක්ක ගත කල කාලය නිසා මං ඉගෙන ගත්තා, මගේ ජීවිතය තනිවෙලා නැති බව. ඒ කොහොම උනත් මැහුමක් ගෙතුමක් කරනවාට වඩා මම පොත්පත් සමග ජිවත් වෙන්න කැමති ළමයෙක් විදිහට හැමෝම මා කෙරෙහි එරෙහි වන බව, නැත්තම් නොසලකා හරින බව මට දැනෙන්න ගත්තා .

කියවීමේ අගය ගැන අපි කොයිතරම් යහපත් අදහස් දැරුවත් අපේ සංස්කෘතිය සලකන්නේ ඕනෑවට වඩා කියවන අය කම්මැලි සමාජශීලී නොවන, අරමුණකින් තොරව හින මවන අය විදිහටයි. සිය තනිවුණු ජිවිතයේ තමන් කෙරුම්කාරයෝ ලෙස සිතන අය හැටියටයි.

මිනිසුන් ප්‍රියවාදී බව හා සාමුහික බව අගය කරනවා. ඒ වගේම තනිකම විසින් තමන් අන් අය හා එක්වන්නට අකමැති අයෙකු බවට පත් කරන බවක් ඔවුන් විශ්වාස කරනවා. මිනිස් සම්බන්ධතා වලින් ඉවත් වූ හැම දෙයක්ම හැම විටම සැකයට භාජනය වෙනවා. ඒ නිසාම ඒ හැම දෙයක් ගැනම සොයා බලනවා වැඩියි. අපිට තියෙනවා ශක්තිමත් ආචාර විධි, ජනාධිපතිවරුන් ගේ හැගීම් සිතුවමට නැගෙනනේ ඔවුන් විසින් කරනු ලබන ක්‍රියාකාරකම් විදිහටයි. තියඩෝර් රුස්වෙල්ට් සෆාරි යාමත්, ජෝන් එෆ් කෙනඩි පාපන්දුවක් විසි කිරීමත් එවැනි අවස්ථාවන්. ඒත් තනියම නිස්කලංකව හිදිමින් කියවන්න හුරු වූවෙකුට අස්වැසිල්ලක් දෙන්නේ ලින්කන් ජනාධිපති තුමා විතරයි. මහත් ඕනෑමකමින් ලබා ගන්න උත්සහා කරන දැනුම පොත්පත්වල ඇති බව ඔහු විශ්වාස කළා.

සමහර විට කියවීමට ඇබ්බැහි වූ අපි වාගේ අය අතෘප්තිමත් පුද්ගලන් හැටියට අන් අය දකින්නේ. ඒ අපිට ජීවිතයට කෙලින් මුහුණ දෙන්න බැරි නිසා, අපි වචන හරහා පරාර්ථය පිණිස ජිවත්වන බවට ඇති අදහස නිසයි. ඇතැම් විට අපි තැන තැන මනසින් ඇවිදින ලෝකයේ ශ්‍රේෂ්ඨ අහිගුණ්ටිකයන් වෙන්න පුළුවන්. වයසත් සමග ලැබුණු දේවල් ගැන මනසින් හිතන කොට ලැබෙන්නේ මොනතරම් සන්තුෂ්ටියක්ද. එතකොටයි හිතෙන්නේ මිනිස් ජීවිතය පිළිබද ගැඹුරු අවබෝධයක්, පුළුල් ජීවිත පරිඥානයක් සමග සියලු දේ යථාර්ථ ලෙසින් වටහා ගැනීමේ ශක්තියක් ද මා තුළ ඇති බව. එහෙත් මේ හැම දෙයක්ම එකතුව සංවේදීභාවයේ උපරිම තැන ඉන්නා මා ප්‍රශ්න, නින්දා, අපහාස තුල ඉදහිට හඬා වැටුනත් ඒ කිසිවකින් නොසැලෙන්නේය . මරණයට පවා බිය නොවන්නේය. මිනිසත් බව තුලින් උපරිම පල නෙලා ගනිමින් පරිපුර්ණ ජීවිතයක් ගත කර පහන් සිතින් මෙලොවින් චුත වීමේ වාසනාව කියවීම තුලින් මා ලැබූ බව සිතන විට ලැබෙන සතුට කොයිතරම් ද ................

ළමයෙකු ලෙස කාලයක් සිහින මැවූ අයුරින් මම අද දුම්රියවල ගුවන්යානවල බස් රථවල ගමන් කරනවා. මං ගෙදර රැඳෙන්න, පවුලේ අය සමග කාලය ගත කරන්න කැමති කෙනෙක්. කවුළුවක් අසල වාඩි වී, නිදහසේ, බසයක දුම්රියක ගමන් කරන කොට මං කැමති එකම දේ ඒ තුළ දී කියවීමට කාලය ලැබීමයි.

මං ඇවිදින පාර, ගමන් කරන දුම්රිය නැතිනම් බස් රථය මං කියවන පොතපතයි. පොත් මගේ චාරිකවයි ගමනාන්තයයි.

පොත් මගේ නිවහනයි... ජීවිතයයි......

Wednesday, October 22, 2014

සංගීත චාරිකාවක් 27 - ABBA 01

ලංකාවේ වඩාත්ම ප්‍රසිද්ධ බටහිර සංගීත කණ්ඩායම කුමක්දැයි ඇසුවහොත් පිළිතුර ලෙස නම් දෙකක් නිතැතින්ම ලැබෙනවා. ඒ ඇබා සහ බෝනියෙම්. අද දක්වාම මෙරට සංගීත රසිකයන් මෙම කණ්ඩායම් දෙක ගායනා කල ගීත ඉමහත් රුචියකින් රස විඳින බව නොරහසක්.

සංගීත චාරිකාව තුල මා වඩාත්ම රසවිඳි සංගීත කණ්ඩායම ගැන කෙටි ලිපියක් පල නොකොට ලිපි කිහිපයක් තුලින් සම්පුර්ණ විස්තරයක් ගෙන ඒමට බලාපොරොත්තුවෙන් අද එහි පළමු කොටස වන හැදින්වීම මෙලෙස සටහන් වෙනවා.
People Need Love ගීතය ජනප්‍රියත්වයට පත් වීමත් සමග ලෝක සංගීත වේදිකාව ආක්‍රමණය කරනා ඇබා කණ්ඩායම අතිවිශාල සංගීත සහ අලෙවි වාර්තා පිටුවමින් ලොව පුරා සංගීත රසිකයන්ගේ ආදරය දිනාගන්නේ කෙටි කාලයකිනි.

ඇබා සංගීත කණ්ඩායම 1972 වසරේ ස්වීඩනයේ ස්ටොක්හෝම් හිදී පිහිටුවනු ලබනුයේ ඇග්නේතා ෆෙල්ස්කෝ Agnetha Fältskog), බියෝන් උල්වියෝස් (Björn Ulvaeus,) බෙනී අන්දශෝන් (Benny Andersson) සහ ඔන්නි ෆ්රීද් ලීග්සා (Anni-Frid Lyngstad )නම් ගායක ගායිකාවන් හතර දෙනා විසිනි. මේ හතරදෙනාගේ නම් වල මුල් අකුරු හතර වන ABBA කණ්ඩායමේ නාමය වශයෙන් යොදාගත් අතර පසුව වෙළඳ ලාංචනය ලෙස ᗅᗺᗷᗅ සංකේතය භාවිතා කළා. පොප් සංගීත ඉතිහාසය තුල වැඩිම වාණිජ සාර්ථකත්වය ලබාගත් කණ්ඩායම ලෙස ඇබා නම් කල හැක. 1975 වසරේ සිය 1982 වසර දක්වා ලොව සියලු සංගීත දර්ශකවල ඉහලම ස්ථාන මෙම කණ්ඩායම ලබාගත්තා. 1974 වසරේදී ඇබා කණ්ඩායම යුරෝවිෂන් සංගීත තරඟය ජයග්‍රහණය කලේ තරඟාවලියේ හොඳම කණ්ඩායම බවට පත්වී ස්වීඩනයට ගෞරවයක් ලබා දෙමිනි. එම තරඟය සඳහා ගායනා කල Ring Ring ගීතය අද දක්වාද ජනප්‍රියතාවයේ ඉහලම තැනක පවතිනවා.



ස්වකීය සංගීත චාරිකාව තුල ඇබා කණ්ඩායම සිය සංගීත ඇල්බම පිටපත් 380කට අධික සංඛ්‍යාවක් අලවි කරමින් ලොව වැඩිම අලෙවියක් සහිත සංගීත වේදීන් බවට වාර්තාව පිහිටුවනවා.

ඉංග්‍රීසි ප්‍රධාන භාෂාව නොවන රටකින් බිහිවී එකසත් රාජධානිය, එක්සත් ජනපදය, අයර්ලන්තය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව වැනි ඉංග්‍රීසි බස කතාකරන රටවල සංගීත දර්ශක දිගින් දිගටම ජයගත් ප්‍රථම සංගීත කණ්ඩායම බවට පත්වී ඇබා තවත් වාර්තාවක් සිය ජයග්‍රහණ අතරට එකතු කරහෙන ඇත.

සංගීත කණ්ඩායමේ මුල යුගයේදී ෆෙල්ස්කෝ සහ උල්වියෝස් යුවළද අන්දශෝන් සහ ලීග්සා යුවළද ආදරයෙන් බැදී විවාහ වන නමුදු පසුකලෙක වෙන් වනවා. කණ්ඩායමේ ජනප්‍රියත්වයේ ඉහලම කාලයේදී වෛවාහික සම්බන්දතා දැඩි ආතතියකට ලක්වීමේ හේතුවෙන් ෆෙල්ස්කෝ සහ උල්වියෝස් යුවලෙහි විවාහය 1979 වසරේදී ද අන්දශෝන් සහ ලීග්සා යුවළ ගේ විවාහය 1981 වසරේ දීද බිදී යනවා. මෙමෙ යුවලයන්හි සබඳතාවයේ වෙනස්වීම් අදාළ කාලවල එළිදැක්වූ නිර්මාණ මොනවට පෙන්නුම් කරනවා.

Super Trouper
The Winner Takes It All

1982 වසරේදී ඇබා කණ්ඩායම බිදී ගිය පසුව උල්වියෝස් සහ අන්දශෝන් සාර්ථක ලෙස ගීත රචනයේ සහ සංගීත නිර්මාණයේ යෙදෙන අතර ෆෙල්ස්කෝ සහ ලීග්සා තවදුරටත් ගායනයේ යෙදන නමුත් පෙර සාර්ථකත්වය ලබා ගැනීමට සමත් වන්නේ නැහැ.

ඇබා කණ්ඩායමේ සාමාජිකයන්ගේ විස්තර ABBA දෙවන කොටසින්

Thursday, October 16, 2014

ශ්‍රී ලාංකීය බ්ලොග්කරුවන්ගේ විද්‍යා සඟරාව

සිංහල බසින් කෙරෙනා  විද්‍යා සහ තාක්ෂණ සන්නිවේදනයේ වර්තමාන කඩාවැටීම පිළිබඳව චානුක වත්තේගම විසින් ලියන ලද, මාතලන් බ්ලොගයේ පල කරන ලද ලිපිය ඉතාමත් හොඳ සංවාදයක් ගොඩ නැගීමට නිමිත්තක් උනා. මේ සංවාදය දිගින් දිගට ගලායනවිට දම්පාට දෙදුන්නහි මතුකළේ විද්‍යා සන්නිවේදනය පිලිබඳ සිංහල බ්ලොග් කරුවන්ගේ වගකීම නිසි ආකාරව ඉටුවන්නේද යන ප්‍රශ්නයයි. එහිදී සිංහල බ්ලොග් කරුවන් බොහොමයක් විද්‍යා අංශයේ උගතුන් වුවද විද්‍යා ලේඛනය පිළිබඳව පවතින මන්දෝහත්සීබව නොසැලකිල්ල සහ අනවධානය සංවාදයට ලක් උනා. බොහෝ තර්ක විතර්ක මැද බ්ලොග්කරුවන් කිහිප දෙනෙක් නව ආරක විද්‍යා සන්නිවේදනයක ආරම්භය ලබාදීමට එකඟ උනා. එපමණක් නොව මේ වනවිට ලිපි දෙකතුනක් බ්ලොත් වලට එකතුවී හමාරයි.

නමුත් බ්ලොග් තුල ලියවෙන විද්‍යා ලිපි ඇස ගැටෙනුයේ සුපුරුදු පාඨක වලල්ල වෙතම බැවින් පොදු ජනතාව සහ සිසු සිසුවියන් වෙත දැනුම කාන්දු වීම වලකිනවා. මෙම බාධකය ජය නොගතහොත් අපගේ ප්‍රයත්නයට නව වටිනාකමක් එකතු වන්නේ නැහැ. ලියවෙන ලිපි විවිධ බ්ලොග් අඩෙවි වල පලවන නිසා සොයාගැනීමේ අපහසුතාවක් ද පවතිනවා. එබැවින් ලියවෙන සියලු ලිපි එක තැනකට යොමු කර ගොනු කළ යුතුය.

මේ සඳහා ආරම්භයක් වශයෙන් "ශ්‍රී ලාංකීය බ්ලොග්කරුවන්ගේ විද්‍යා සඟරාව" නමින් ෆේස් බුක් කණ්ඩායමක් ආරම්භ කිරීමට අප මුලික වුවා. ඔබ සැමගේ දැනට ලියැවී තිබෙන විද්‍යා ලිපි එම සඟරාවට යොමු කරන මෙන් ඉල්ලා සිටිනවා. අදාළ ස්ථානයට https://www.facebook.com/groups/1501077566812433/ වෙතින්  යොමුවිය හැකිය. අවම වශයෙන් ලිපි 20ක් වත් එකතුවූ පසුව සඟරාව සඳහා ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීමට අප බලාපොරොත්තු වනවා. එතෙක් ඔබ සැම ස්වකීය ෆේස් බුක් ගිණුම් හරහා සාමාජිකත්වය වර්ධනය කරගැනීමට සහය දෙනු ඇතියි බලාපොරොත්තු වනවා.

ෆේස් බුක් සඟරාවට අමතරව මෙම ලිපි සඳහා ප්‍රචාරය දිය හැකි වෙනත් ක්‍රමවේද ඇතොත් ඒ පිළිබඳවද අප දැනුවත් කරන්න. සින්ඩි වල බ්ලොග් අඩවි පෙන්නුම් කරනා ආකාරයට එකම පිටුවක් තුල ලිපි රැසක විස්තර සඳහන් කර පහසුවෙන් පාඨකයා වෙත එම ලිපි පිලිබඳ විස්තරයක් ලබා දිය හැකි ක්‍රමයක් තිබේද?

නිතර අන්තර් ජාලයේ රැඳී සිටීමට කාලය සහ අවකාශ ඇති දෙදෙනකු ඇඩ්මින් වරුන් ලෙස පත්කරගැනීමටද අවශ්‍යතාවක් පවතිනවා. ඔබ ඒ සඳහා කැමති නම් happymusicteam@gmail.com වෙත දන්වන ලෙසද කාරුණිකව ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලාංකීක බ්ලොග් කරුවන් වශ‍යෙන් ඔබගේ හැකියාව සහ දැනුම යෙදවීමෙන් , දේශයේ විද්‍යා දැනුම සන්නිවේදනය සඳහා දායක වන ලෙසද ඔබගේ අදහස් සහ යෝජනා මෙහි කොමෙන්ටු ලෙස සටහන් කරන ලෙසද අවසාන වශයෙන් සහෝදර ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

Tuesday, October 14, 2014

විද්‍යා සන්නිවේදනයේ කඩාවැටීම පෙන්නුම් කරනා හොඳම ස්ථානය සිංහල බ්ලොග් අවකාශයයි



අද වනවිට සිංහල බසින් කෙරෙන විද්‍යා සන්නිවේදනය පමණක් නොව සමස්ථ බුද්ධිමය සන්නිවේදනයේම කඩාවැටීමක් අප අත්විඳිමු. මෙම කඩාවැටීම තුල වේගයෙන් සන්නිවේදනය වනුයේ  මිත්‍යාව සහ අවිද්‍යාව පමණක් නොවේ.  වෛරය ක්‍රෝදය හෙලාදැකීම වැනි දුර්ගුණයන්, මිත්‍යාවහි  සන්නිවේදන වේගයට වඩා වැඩි  වේගයකින් පැතිරෙයි. අන්තර්ජාල සන්නිවේදනය ඒවාට තටු ලබාදී ඇත.

අද තාක්ෂණික බ්ලොග් අඩවි පරිඝනක, මොබයිල් ෆෝන් තාක්ෂණයට සහ එල්.ඊ.ඩී. ලාම්පු තාක්ෂණයට ලඝු වී ඇත. මේවායින් සාමාන්‍ය විද්‍යාව, ජනතාව වෙත කාන්දු වන්නේ නැත. 

මගේ නිරීක්ෂණයට අනුව විද්‍යා සන්නිවේදනයේ කඩාවැටීම පෙන්නුම් කරනා හොඳම ස්ථානය සිංහල බ්ලොග් අවකාශයයි.  සිංහල බ්ලොග් අවකාශය තුල හොඳ මට්ටමේ සාමාන්‍ය විද්‍යාව ගැන ලියවෙන බ්ලොග් අඩවි විරලය. විද්‍යාව අමතක කරමු සිංහල භාෂාව පිලිබඳ ලියවෙන යාවත්කාලීන වන එකදු අඩවියක් හෝ තිබේද?

මෙයට හේතුව ලෙස විද්‍යා අධ්‍යාපනය ලද පිරිස ලේඛනයේ අසමත් බව කියවෙන පැරණි මතයට දැන්  නම් මා එකඟ නොවෙමි. අන්තර් ජාලයේ සිංහල අවකාශය තුල දැනෙන යමක් කරන්නන්ගෙන් බහුතරය විද්‍යා අංශයෙහි අධ්‍යාපනය ලද්දවුන්ය.  නමුත් විද්‍යාව අමතක කරන ඔවුන්, ලියන්නේ සහමුලින්ම  වෙනත් විෂය ධාරා ඔස්සේය. පෞද්ගලික උදාහරණයක් මෙහි සඳහන් කරමි. මාගේ සරසවි සගයන් අතර පසුගිය වසර කිහිපය පුරා බොහෝ වෙලාවක් අන්තර්ජාලයේ සැරිසරූවන් පස් දෙනෙකි. ඒ අතුරින්  ලියුම්කරු, හද ගී පොත සංස්කාරක තිස්ස දොඩන්ගොඩ, අපේ සින්දු වෙබ් අඩවියේ සංස්කාරක පාලිත ඉද්දමල්ගොඩ, යූ ටියුබය සහ මුහුණු පොත අරක්ගෙන සිටින මංජුල හෙට්ටිආරච්චි යන හතර දෙනා  ගීතයට පමණක් කොටුවී සිටිති. අනෙකා මහා පරිමාණයෙන් මිත්‍යාව සහ වෛරය පතුරුවමින් සිටියි. මේ පස් දෙනාම ඉහලටම විද්‍යාව හැදාරූ ඉංජිනේරු උපාධිධාරීන්ය. නමුත් මාද ඇතුළු පස් දෙනාම විද්‍යාව සන්නිවේදනය සඳහා කර ඇත්තේ කුමක්ද?  මේ තවත් උදාහ‍රණයක්. දැනට තාවකාලික නිද්‍රාවේ සිටින බ්ලොග් සක්විති කතන්දර කාරයාද ඉංජිනේරුවෙකි. වසර පහක කාලයක් තුල කකා ද විද්‍යාව සන්නිවේදනය කලේද? 

මෙයට හේතුව නොහැකියාව නොව අනවධානයයි. නවයුගය වන් පුවත් පත් මුද්‍රණය නොවන විදුසර වන පුවත් පත් වල් වැදී සිටින යුගයක සිංහල බ්ලොග් කරුවන් වන අප අතට කඩුව පතිතව ඇත. 

මසකට වරක් හෝ වැදගත් විද්‍යා ලිපියක් පලකිරීම මේ යුතුකමක් ලෙස මා දකිමි. විද්‍යා අධ්‍යාපනය ලද බ්ලොග් කරුවන් සියලු දෙනා එසේ කළහොත් මසකට සිංහලෙන් ලියැවුණු විද්‍යා ලිපි දෙතුන් සියයක් ජාල ගතවී සංරක්ෂණය වනු ඇත. අනතුරුව සාමාන්‍ය විද්‍යාව සඳහාම වෙන්වූ බ්ලොග් අඩවි රැසක් බිහිවනු ඇත. විද්‍යා බ්ලොග් අඩවි සඳහාම වෙන්වූ සින්ඩි බිහිවනු ඇත.පෙර කල පුවත් පත් සිදුකල විද්‍යා සන්නිවේදනය බ්ලොග් අවකාශය අත පත් වනු ඇත.

එකතුව බ්ලොග් සම්මාන සැණකෙළියේ සාහිත්‍ය අංශයේ දෙවන ස්ථානය දම්පාට දේදුන්නට.


මෙය මා  ලැබූ පලමු  සම්මානය නෙවෙයි. නමුත් මගේ ජීවිත කාලය තුල ලැබුන හොඳම සම්මානය කීවොත් නිවැරදියි. එක පැත්තකින් කවදාවත් බලාපොරොතු නොවුණු අංශයක ජයග්‍රහණයක්. අනෙක් පැත්තෙන් අලුත් ක්ෂේත්‍රයකට පැමිණි විගස එම ක්ෂේත්‍රය තුල ස්ථාවරත්වයට පත් වීමක්. මීට කලින් ලැබුණු සම්මාන සහතික ගොන්නම දිනා ගත්තේ මලල ක්‍රීඩා අංශය තුල. ඔය අධ්‍යාපනයටත් එකක් දෙකක් ලැබිල තියෙනවා අවාරෙට අඹ වැටෙනවා වගේ. කොහොම නමුත් දැනට අවුරුදු 25කට කලින් ඉස්කෝලෙන් පිට උනාට පස්සේ සම්මානයක් අඩුම තරමේ සහතිකයක් ඇහැටවත් දැක්කේ නැහැ.

තාක්ෂණ අංශයෙන් අධ්‍යාපනය ලැබුවකු හැටියට මම කවදාකවත් හිතුවේ නැහැ ලේඛනය සඳහා සම්මානයක් ලැබේවිය කියල. හිතපු නැති ආකාරයක  සම්මානයක් ලැබීමේ සතුට තුල මා මුලින්ම කරන්න ඕන මෙයට මග පෙන්වූ සහ දිරිමත් කල සියලු දෙනා හට තුති පිදීමයි.

සිංහල බ්ලොග් කලාවට අත් පොත් තබමින් දම්පාට දේදුන්න පටන් ගත්තේ මේ අවුරුද්දෙ ජුලි  පස් වෙනිදා.පලවෙනි පොස්ට් එක යුකුලීලේ නම් සංගීත භාණ්ඩය ගැන පල කරා විතරයි මාතලන්ගේ සින්ඩිය හරහා ආපු කෙන්ජි පලවෙනි කොමෙන්ට් එක දැම්මා. එකට තවත් කොමෙන්ට් කීපයක් වැටුනා හෙන්රි බොලොග් වර්කර්, සංචාරකයා සහ මල්ලියාගෙන්. ඔන්න ඕක තමා ආරම්භය.

පස්සේ දිගටම සංගීත කණ්ඩායම් ගැන ලිපි පෙළක් ලියාගෙන යනකොට ගොඩ දෙනෙක් කොමෙන්ට් කරන්න පටන්ගත්තා. මුල් කාලේ මගේ බැචාලා දෙන්නෙක් වන තිස්ස දොඩන්ගොඩ සහ මංජුල හෙට්ටිආරච්චි කොමෙන්ට් තුලින් සංවාද කරා බ්ලොග් එක මෙහෙයවූවා.

මුල් කාලේ සිට අද දක්වාම හැම පොස්ට් එකකටම වගේ උපේක්ෂා ගේ කොමෙන්ට් එක වැරදුනේ නැහැ.

පොස්ට් එකක් දැම්මහම පේජ් විවුස් 40 ක් විතර ආපු කාලේ මේක ඇදගෙන යන්න දුන්නු දිරිය සම්බන්ධයෙන් කුරුටු ගෑ ගී පවුර විශේෂයෙන්ම මතක් කරන්න ඕන


මේ අතර සහෝදර, පොඩි කුමාරිහාමි, දිනේෂ්, හරී මහේෂ් රත්නායක, සශී, මයියා, බුරනිතෝ, අරූ, පත්තර මල්ලි, විදානේ, මලමි, ගයියා, අටමා, සිහින සිත්තම්, අජිත් ධර්ම, යකා, දෙවැනි විභීෂණ, මැලේ රාල, රාජ්, ඉවාන් පවුලුෂා, දේශකයා  වැනි සහෝදර සහෝදරියන් බ්ලොගය ඉදිරියට ගෙනයන්න දුන්නු සහයෝගය අතිමහත්.
ඔවුන්ගේ සමහර කොමෙන්ට් මා ලියනා පොස්ටුවට වඩා දික් වූ අවස්ථා බොහොමයි.

මාතලන් සහ ඉන්දික උපශාන්ත  යන ශ්‍රී ලාංකික බ්ලොග් කලාවේ දැවැන්තයන් දෙදෙනා  නවක බ්ලොග් කරුවකු වූ මා සිය සහෝදරයකු ලෙස සලකා, මාහට දුන් අවවාද අනුශාසනා නොවන්නට අද මේ සම්මානය කොහෙත්ම හිමි වන්නේ නැහැ.

මාතලන් වචන දෙකෙන් තුනෙන් දෙන නිර්දය විවේචනය අඳුරේ ගමන් ගන්නා බ්ලොගය හරිමග ගෙනයාමට ආලෝකයක් වූවා.  එමෙන්ම ඉන්දික විසින් දුන් අවවාද මත ඒකාකාරීව ගලාගෙන ගිය බ්ලොගය විවිධාන්ගීකරණය වුවා. එසේ නොවන්නට මෙතරම් පාඨක පිරිසක්  දම්පාට දේදුන්න වටා රැස් නොවනු ඒකාන්තයි.

මේ සියල්ලන් අතර මා වඩාත් ආදරය කරන්නේ සොඳුරු කොමෙන්ට් කරු සින්දු ඇනෝටයි.

මතවාදී වශයෙන් මා දරනා ස්ථාවරයට හාත්පසින් වෙනතක සිටියත් තම මතය වෙනුවෙන් සැමවිට පෙනී සිටින මහා කළු සිංහලයාද සැමදා මා සමග සිටිය යුත්තෙක් බව මා විශ්වාස කරනවා. 

තවද මාහට පාඨකයන් යොමු කරන මාතලන්ගේ සින්ඩියට සහ කොත්තු සින්ඩියට අනේක වාරයක් ස්තුති නොකිරීම ගුණමකු කමක්.

මාස හතරක් වැනි සුළු කාලයක් තුල සිංහල බ්ලොග් කරුවකු ලෙස ස්ථාවර වීමට ඔබ සැම දුන් සහයට ස්තුතියි.

අවසන් වශයෙන් එකතුව බ්ලොග් සම්මාන සැණකෙළිය සංවිධානය කල එකතුව ඩොට් ඔර්ග් සහ පුර්ණ ප්‍රධාන අනුග්‍රහය ලබා දුන් රේඩියෝ කළුතර ආයතනය වෙතද  මාගේ ස්තුතිය පුද කරනවා.

Saturday, October 11, 2014

අනුන්ගේ ගීත ගැයීමේ ඉතිහාසය - ජෝජ් රොබ්සන් ද සිල්වා

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ අග්‍රගණ්‍ය ගායක ගායිකා යුගලය ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් සහ විශාරද නන්දා මාලනිය බව කාගේත් පිළිගැනීමය. ඔවුන් දෙදෙනා ද අනුන්ගේ ගී ගායනා කර ඇතැයි කීවොත් ඔබ අප සමඟ එකඟ වෙනවා ද? එහෙත් අනූව දශකයේ එළි දැක්වූ කැසට් පට සඳහා අමරදේව සහ නන්දා අනුන්ගේ ගී ගැයූ බව සැබෑවකි.

අමරදේවයන් එලෙස ගැයූ එක් ගීතයක් මේ රටේ ජනපි‍්‍රයම ගීතයක් වන “සිරි බුද්ධගයා විහාරේ” ගීතයයි. රූපසිංහ මාස්ටර් එනම් එච්. ඩබ්ලිව්. රූපසිංහ සමඟ රුක්මණි දේවි මුලින් ගයා තිබුණු “සිරි බුද්ධගයා විහාරේ” අමරදේව සමිතා මුදුන්කොටුව සමඟ ගායනා කළේය. “දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා” නීතිඥ ජෝන් ද සිල්වාගේ ජනපි‍්‍රය නූර්ති ගීතයකි. පසු කලෙක අමරදේවයන් විසින් එම ගීතය ද ගයනු ලැබුවේය. නෙවිල් ප්‍රනාන්දු “රන්සළු” චිත්‍රපටයට ගැයූ “බඳුන් පිරී ඉතිරෙන මී” ගීතය පසුව අමරදේව නිරෝෂා විරාජිනි සමඟ ගායනා කරනු ලැබුවේය.

‘අදට වැඩිය හෙට හොඳයි’ චිත්‍රපටයට ජේ. ඒ. මිල්ටන් පෙරේරා, මල්ලිකා කහවිට සමඟ ගායනා කර ජනපි‍්‍රය වූ “සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ” ගීතය ද අමරදේව විසින් ගයන ලද අනුන්ගේ ගීත අතර වේ. තවදුරටත් විමසීමේදී පෙනී යන්නේ පළමුව නන්දා මාලනී, නීලා වික්‍රමසිංහ වැනි ගායිකාවන් සමඟ ගැයූ සමහර යුග ගීත පසුව අමරදේවයන් සිය දියණියන් වන පි‍්‍රයංවදා සහ සුභානි සමඟ ද ගායනා කර ඇති බවයි. එමෙන්ම ගුවන් විදුලි ගීත නාටකයකින් උපුටා ගන්නා ලද “පේ‍්‍රම තටාකේ මේකයි මැණිකේ” අමරදේවයන් වෙනත් ගායිකාවක සමඟින් ගැයු ගීතයකි. පසුව ඔහු එම ගීතයම රශ්මි සංගීතා සමඟත් නැවත නන්දා මාලනී සමඟත් ගායනා කළේය.

අමරදේවයන් ගැයූ ගීත එඩ්වඩ් ජයකොඩි, සමිතා මුදුන්කොටුව සහ ඩබ්ලිව්. ඩී. ආරියසිංහ ද ගායනා කළ බැව් ඇතැමුන්ට දැන් අමතකය. “අනෝතප්ත විල” (එඩ්වඩ්), “නිම් හිම් සෙව්වා මා සසරේ” (සමිතා), “පේ‍්‍රම සැඳෑවෝ” (ආරියසිංහ) වැනි ගීත ඒ අතරින් සමහරකි.

අනුන්ගේ ගීත යළි ගායනයට අවසර ගෙන ගායනා කළ අපේ මුල්ම ගායන ශිල්පිනිය නන්දා මාලනී යැයි අපි සිතමු. ග්‍රේටා ජෙනට් ද සිල්වා සහ පිරිස ගැයු “මුනි නන්දන සිරිපාද වඳිම්” ගීතය ඇතුළු ග්‍රැමෆෝන් ගී රැසක්ම නන්දා ගායනා කළාය. එම ගී ඇය මුළු රටට දැනෙන්නට ඇගේ “ග්‍රැමෆෝන් ගී” නම් කැසට් පටය සඳහා ගැයුවා ය. නන්දාට ඇතැම් යුග ගීත ගායනයේදී ප්‍රවීණ ගායන ශිල්පීන් දෙදෙනකු වන ටී. එම්. ජයරත්න සහ සුනිල් එදිරිසිංහ සහාය වූහ. වසන්තා සන්දනායක ගැයු “දොළ ළඟ ගුරු පාර දිගේ” වැනි ගීතත් ලූෂන් බුලත්සිංහලගේ “තාරාවෝ ඉගිලෙති” නාට්‍යයට මර්සි එදිරිසිංහ ගැයූ “මඩේ ලගින තාරවුන් නාවන්න ද මං” වැනි ගීතත් නන්දා ගැයු අනුන්ගේ ගීත අතර වේ.

නන්දා මාලනීගේ ගීත ද පසු කලෙක අමිල තරංග විසින් (සමහර පද වෙනස් කොට) ගායනා කළ කැසට් පටයක් ද වෙළෙඳපොළේ අලෙවි වූ අයුරු අපට මතකය.
මහාචාර්ය සනත් නන්දසිරි ද අනුන්ගේ ගී ගැයු ගායන ශිල්පීන් අතර සිටියි. මුලින් ශාන්ති ගීතදේව ගැයූ “කවුරුදෝ අර කවුළුවෙන් සිනාසී එබිකම් කළේ” ගීතය පසුව සනත් නන්දසිරි විසින් ද ගායනා කරනු ලැබුවේය.

ආචාර්ය වික්ටර් රත්නායක ගැයූ ගීතයක් වන “පුන්සඳෙන් රැස්” ගීතය පසුව පුන්සිරි සොයිසා ද ගායනා කර ඇත. අපේ රටේ ගීතලෝලීන්ගේ අසහාය ගායන ශිල්පියා ලෙස විරුදාවලී ලබා සිටින එච්. ආර්. ජෝතිපාලයන් ද අනුන්ගේ ගී ගායනා කළ ගායකයකු බව නොරහසකි. ජනපි‍්‍රය නාට්‍ය ගීත වන “වෙස්සන්තර රාජ පුතා” “දැක්කොත් පද්මාවතී” “රන් මැණිකේ මගේ” “හරිම රජ සැපා මම ලක්දිව තී නිසා” ඇතුළු අනුන්ගේ ගීත රැසක්ම ජෝති “නාට්‍ය ගීත” කැසට් පටයකට ගැයුවේ ය. “සුවඳයි මුවේ මල් පැණි” සුමිත් අහංගම ගැයූ ජනපි‍්‍රය ගීතයකි. එම ගීතය ද පසුව ජෝති කැසට් පටයකට ගායනා කළේ ය.

ජෝති සමඟ යුග ගී ලෙසින් අනුන්ගේ ගීත ගැයු ගායිකාවන් අතර ලතා වල්පොල (මා ප්‍රාර්ථනා ආසාවෝ ඇතුළු ගී රැසක්), ඉන්ද්‍රානි පෙරේරා (මේ මාමා), මායා දමයන්ති (කෝකිලයා කෙවිලිය හා), උරේෂා රවිහාරි (නුපුරුදු හැඟුමකි), සංජීවනි වීරසිංහ (හොඳ සිරියාවයි ආකාසේ) වැනි ජනපි‍්‍රය ශිල්පිනියෝ ද සිටිති. එකී සමහර ගීත තාක්ෂණික උපක්‍රම භාවිතයෙන් මුල් ගායිකාවගේ හඬ ඉවත් කොට පසු ගායිකාවගේ හඬ කැවීම් කළ ගීත ය. ජෝති සමඟ ඇන්ජලින් ගැයූ “වසන්තයේ මේ” සහ ජෝති සමඟ මල්ලිකා කහවිට ගැයු “හැන්දෑවේ මං බලා හිටියා” ගීත ලතා විසින් ද, “මල්සර දෝණි” චිත්‍රපටයට ඇන්ජලින් ගැයූ “සේලේ අඳින අඳින සේලේ රැල්ල” උරේෂා විසින් ද, “ජය අපටයි” චිත්‍රපටයට ඇන්ජලින් ගැයූ “මල් වෑහෙනා” ගීතය මායා විසින් ද පසුව ගායනා කරනු ලැබ ඇත.

මල්ලිකා කහවිට ජෝති සමඟ ගැයු “පේ‍්‍රම අඹරේ මධු සඳ පානේ” ගීතය පසුව ලතා, ජෝති සමඟ ගායනා කළ අතර මල්ලිකා ගැයූ “ගොයම් පැසීලා සාරයි” ගීතය රූපා ඉන්දුමතී විසින් පසුව ගයන ලදී.

වර්නන් පෙරේරා ද ජෝති ගැයූ ගීත කිහිපයක්ම ගැයුවේය. එම ගී අතර “දුරකතනයකින්” “උමයංගනියෝ” “මල් කැකුළි” සහ “මල් පිබිදෙන එක වසන්ත සමයක” වැනි ගීත විය.

“අප්සරා” චිත්‍රපටයේ ජෝති ඇන්ජලින් සමඟ ගැයු “සඳ මෝදු වෙලා” ගීතය ලතා විසින් ජෝති සමඟත් ජෝතිගේ වියෝවෙන් පසුව සමන් ද සිල්වා සමඟත් ගායනා කළාය.

ජෝති, ඉන්ද්‍රානි පෙරේරා සමඟ ගැයු ගීතයක් වන මේ දෑස කාගෙදෝ” ගීතය ඉන්ද්‍රානි, සමන් ද සිල්වා සමඟ නැවත ගායනා කර ඇත. එමෙන්ම ජනපි‍්‍රය බයිලා ගායන ශිල්පියකුව සිටි වොලී බැස්ටියන් ගැයූ “අයිරින් ජොසපින්” ඇතුළු ගී කිහිපයක් ද සමන් නැවත ගායනා කළේය. (“බයිලා” ගායකයින් අතරේ අනුන්ගේ ගී ගැයීම බොහෝ විට සිදු වී ඇති හෙයින් ඒ සම්බන්ධව වැඩිදුර විමසා නොබලමු.)

එච්. ආර්. සොයිසා සහ කිංස්ලි පීරිස් ජෝති ගැයූ ගීත ගයමින් අනුන්ගේ ගී ගායනා කළ ගායකයන් අතරට එක්වන විට රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා යුවළ ද ඔවුන් අතරට එක්වන්නේ ජෝති ගැයූ ගීත නැවත ගයමින් ය. ඒ මෙසේ ය. රූකාන්ත ජෝති ගැයූ ගී නැවත ගයා ගීත ඇල්බමයක් එළිදැක්වූ අතර ජෝති ඇන්ජලින් සමඟ ගැයූ “රන් පොකුණට” ගීතය රූකාන්ත චන්ද්‍රලේඛා සමඟ ගැයුවේය.

එමෙන්ම රූකාන්ත චන්ද්‍රලේඛා යුවළ ගායනා කරන තවත් ජනපි‍්‍රය යුග ගීතයක් වන “මඳ සීත නල රැල්ල” ගීතය ද අනුන්ගේ ගීතයකි. එය ‘වහල් දූපත’ චිත්‍රපටයේ ඇතුළත් වූවකි. එය ගැයුවේ සරත් සන්දනායක සමඟ දයා හේමන්තා ය. රූකාන්ත, නීලා වික්‍රමසිංහ සමඟ ගැයූ ‘මිදුලේ අතන නංගෝ’ ගීතයත් රූකාන්ත, රුවිනි දුනුවිල සමඟ ගැයු ‘මිතුරි’ ගීතයක් චන්ද්‍රලේඛා පසුව රූකාන්ත සමඟ ගැයු ගීතය.

කළු දිය දහර” චිත්‍රපටයට නෙවිල් ප්‍රනාන්දු ගැයු “මාස්ටර් සර්” ගීතය නැවත ගයමින් නීලා වික්‍රමසිංහ ද අනුන්ගේ ගී ගැයු ගායිකාවන් අතරට එක් වී සිටියි. නීලා ‘රන් ටිකිරි සිනා’ ගීතය ගැයුවේ ටී. එම්. ජයරත්න සමඟ වුව ද පසුව එම ගීතය ටී. එම්. සමඟ නිරෝෂා විරාජිනී ගායනා කළාය.

එම්. එස්. ප්‍රනාන්දු සමඟ ඇන්ජලින් ගැයු “නෙළුම් මලේ පෙති කඩලා” ගීතය පසුව එම්. එස්. සමඟ ගයන මරියසෙල් ගුණතිලක ද අනුන්ගේ ගී ගැයු ගායිකාවන් අතරට එක් වී සිටින අතර එම්. එස්. ගේ වියෝවෙන් පසු මරියසෙල්, වෝල්ටර් ප්‍රනාන්දු සමඟ ද මේ ගීතය ගායනා කළාය. ඇන්ජලින් මේ ගීතය පසුව ඇන්ටන් සමන්පි‍්‍රය සමඟ ද ගායනා කළාය.

දැනට ප්‍රතිපත්තියක් ලෙස අනුන්ගේ ගීත ගායනා නොකරන ඇන්ජලින් ගුණතිලක ද ජී. එස්. බී. රාණි පෙරේරා ගැයූ ගීත දෙකක් සහ රුක්මණි දේවි ගැයූ ගීතයක් ජෝති සමඟ නැවත ගායනා කර ඇත. එම ගීත වන්නේ “ඇල් හේනේ පැල් රකිද්දී” (රාණි) “මුල අමතක කොට” (රාණි) “දෙන්න පි‍්‍රයේ දෑතට” (රුක්මණි) යන ගීත ය. මොහිදින් බෙග් ගායකයාණන් ගැයු “සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා” ගීතය ගයමින් අසංක පි‍්‍රයමන්ත පීරිස් ද අනුන්ගේ ගී ගැයු ගායකයින් අතරට එක්වන්නේය. එමෙන්ම සුරේන්ද්‍ර පෙරේරාගේ ප්‍රථම ගීත ඇල්බමයේ ඇතුළත් වූ “අවිචාර උන්මාද මේ ලෝකයේ” ගීතය මොහිදින් බෙග් ගැයූ ගීතයකි. සුරේන්ද්‍ර ගැයු ජනපි‍්‍රයම ගීතය වන “වැහි පබළු සැලී” ගීතය ද මුලින් දිනේෂ් බෝගොඩ ඔහුගේ ගීත ඇල්බමයට ගැයූ ගීතයකි. (මෙම ගීත සුරේන්ද්‍ර ගයන විට ඒවායේ තනු පමණක් මඳක් වෙනස් කොට ඇතැයි අපි සිතමු.)

මාලනී බුලත්සිංහල සමඟ ලයනල් සේනාරත්න ගැයු “සොඳුරිය තනිකර ගුවන් නැවෙන් අද” ගීතය ද පසුව වෙනත් ගායක ගායිකා යුවළක් විසින් ගයන ලද ගීතයකි. මෙම ගීතය පසුව ගායනා කළේ ශිරෝමාලා ප්‍රනාන්දු සමඟ ෂෙල්ටන් මුතුනමගේය. විජේරත්න වරකාගොඩ ගැයූ “රඟහල දැන් ඇත අඬ අඳුරේ” ගීතය පසුව සංගීත් විජේසූරිය විසින් ද ගායනා කරනු ලැබූ බැව් මුළු රටම දන්නා කරුණකි. සංගීත් ගැයු “පින්වන්තිය මාගේ” ගීතය පසුව සිය “සිහින පාරාදීසේ” ගීත කැසට් පටය සඳහා ලක්ෂ්මන් හිල්මි ගායනා කළේය. එසේම ග්‍රේෂන් ජයමහ ගැයු “මන බන්ඳන මුහුණ නුරා” සහ “තරු එළියේ” ගීත ද පසුව හිල්මි ගැයුවේ ය. ග්‍රේෂන් ගැයු “මා හඬවලා” ගීතය භාතිය සන්තුෂ් ගායනා කළ බව අසන්නට ලැබුණේ මෑතකදී ය.

පසුගිය 13 වැනිදාට විසි දෙවැනි අනුස්මරණ දිනය යෙදී තිබුණ සාගරිකා ගෝමස් ද අනුන්ගේ ගී කිහිපයක් ගායනා කර ඇත. ලක්ෂ්මි බායි ගැයු “ආදි සිංහලුන් පිට දීප දේශ ජය ගත්තා” ගීතය පසුව සාගරිකා ගැයු ගී අතරින් එක් ගීතයකි.
ලක්ෂ්මි බායි ගැයු ‘සාදු දන්ත දා’ ගීතය නැවත ගයමින් සුජාතා අත්තනායක ද අනුන්ගේ ගීත ගායනා කළ ගායිකාවන් අතරට එක් වී සිටී. ජී. එස්. බී. රාණි පෙරේරා, මොහිදින් බෙග් සමඟ ගැයූ ගීත සුජාතා පසුව ගායනා කර ඇතැයි කලකට ඉහත සුජාතාට චෝදනාවක් විය. එසේම සුජාතා ගැයූ ගී නිරෝෂා විරාජිනි පසුව ගායනා කළ බවට ද චෝදනාවක් වූ බව අපට මතකය.

අයිවෝ ඩෙනිස් අනුන්ගේ ගීත ගායනා කළ කිසිදා චෝදනාවට ලක් නොවන ගායන ශිල්පියෙකි. අයිවෝ ගයන්නේ සුනිල් ශාන්තගේ ගීතයයි. අයිවෝ මෙන්ම අනුන්ගේ ගී ගායනා කළත් වැඩි දෝෂාරෝපණයකට ලක් නොවූ තවත් ගායකයින් දෙදෙනෙක් අප අතර සිටිති. ඔවුන් නම් රජිව් සෙබස්තියන් සහ මංජුල වර්ණකුලසූරිය ය. රජිව් ක්ලැරන්ස් විජේවර්ධන ගැයූ ගී ගායනා කළ අතර මංජුල විජය කුමාරතුංග ගැයූ ගී ගැයුවේය.

කණ්ඩායම් සංගීතයෙන් ගීතලෝලී සිත් දිනු නිර්මාණශීලි සංගීත ශිල්පියකු සේම ගායන ශිල්පියකු ද වූ ක්ලැරන්ස් විජේවර්ධන අනුන්ගේ ගී ගැයූ ශිල්පීන් අතරට එක්වන්නේ ඉන්ද්‍රානි පෙරේරා සමඟ ගැයු යුග ගීතයකින් ය. “පෙරළෙන ඉරණම” චිත්‍රපටයේ රුක්මණි දේවි සමඟ අරුණ ශාන්ති ගැයු “ඕලු මලෙහි සුදෝ සුදු” ගීතය පසුව ක්ලැරන්ස්, ඉන්ද්‍රානි සමඟ ගැයුවේය.

ජේ. ඒ. මිල්ටන් පෙරේරා ද අනුන්ගේ ගීත ගැයු ගායකයින් අතරට එක් වී සිටියි. ටියුඩර් ජයශාන්ත ගයා ජනපි‍්‍රය වූ “මගෙ දෑසෙ කඳුළු තව දෑසක සතුටු කඳුළු වේ” ගීතය මිල්ටන් පසුව ගායනා කළේය. එමෙන්ම චන්ද්‍රානි ගුණවර්ධන ගැයු “දම් පැහැ වීදුරු පුංචි වළල්ලක්” ගීතය පසුව ශ්‍රී ලාල් සෙනෙවිරත්න නම් ගායකයා ද ගායනා කළේය.

සුනිල් එදිරිසිංහ, දීපිකා පි‍්‍රයදර්ශනී පීරිස් සහ රෝහණ වීරසිංහ ද අනුන්ගේ ගී ගායනා කළ ගායක ගායිකාවෝ අතරේ වෙති. “රාමායනය” නූර්තියේ ගීතයක් වන “ශි‍්‍රයා මනමත් වී” ගීතය සහ මුලින් ආනන්ද සමරකෝන් ගැයු “කොල්ලනි නුඹලා දන්නෙ නටන්නයි” ගීතය නන්දා මාලනී සමඟ ගයමින් සුනිල් ද, විදේශ ප්‍රසංගයකදී නන්දා මාලනී සමඟ ගැයු “රෑන ගිරා ජෝඩුවයි” ගීතය පසුව කැසට් පටයකට ඇතුළත් වීමෙන් රෝහණ ද අනුන්ගේ ගීත ගැයු ගායක ගායිකාවන් අතරට එක් වී සිටිති.

කීර්ති පැස්කුවල් ගැයූ අනුන්ගේ ගීත අතර නෙවිල් ප්‍රනාන්දු සමඟ රුක්මණි දේවි ගැයු “මැණිකේ ඔබේ සිනාවේ” ගීතය ද “මල් බර හිමිදිරියේ” සහ “කළු කෙල්ලේ ඔබ” වැනි ජනපි‍්‍රය ගීත කිහිපයක්ම වේ.


තිස්ස නාගොඩවිතාන ගැයූ “පබාවතීගේ රූපෙට ආලෙ” ගීතය පසුව චිත්‍රපට නළුවකු වන මහේෂ් ජයසිංහ ගායනා කළේය. රොඩ්නි වර්ණකුල ද අනුන්ගේ ගීත කීපයක් ම ගායනා කර ඇත. යූ. ආරිය විමල් ‘තාරාවෝ ඉගිලෙති’ නාට්‍යයට ගැයු “ශෝබාව දේ මෙපුර” වැනි නාට්‍ය ගීත එලෙස රොඩ්නිගේ හඬින් පසුව ගැයුණු ගී අතර වේ.


“සුදු සමනළියේ දේව මන්දිරේ” ගීතය ඇන්ටන් ජයකොඩි ගැයු ගීතයකි. පසුව එය ඔගස්ටස් ප්‍රනාන්දු, සුනිමල් සුජීව ද සිල්වා සහ ජානක මධුසංඛ වැනි නව පරපුරේ ගායකයින් කිහිප දෙනකු විසින්ම ගයන ලදි. එමෙන්ම “බඹසර සුරකින කුමරියේ ඔබ මට” සහ “රෑ තරු යායේ” ගීත මුලින් ගායනා කළේ මර්වින් ජයමාන්න ය. පසුව එම ගී ජානක මධුසංඛ ද ගායනා කර ඇත.

අතුල අධිකාරි ද සමිතා මුදුන්කොටුව සමඟ ග්‍රැමෆෝන් ගී ගයමින් අනුන්ගේ ගී ගයන ගායකයින් අතරට එක්වී සිටියි.මුලින් විකුම් වර්ණසූරිය සමඟ සමිතා ගැයු “රෝස පුරාණෙට මධු සඳ පායන දිනය අදයි මට සිතුණා” ගීතය පසුව අතුල සමඟ ද ගායනා කළාය.

රාජ් වික්‍රමසිංහ ගැයු “සෙබළාණනේ නුඹ මැරුණා නොවේ” ගීතය පසුව නීල් වර්ණකුලසූරිය ද ගායනා කළ අතර සුනිල් පෙරේරා ප්‍රමුඛ “ජිප්සීස්” ගැයූ ගීත කීපයක්ම පසුව නීල් ප්‍රමුඛ ‘සන්ෆ්ලවර්’ සංගීත කණ්ඩායම විසින් ද ගයන ලදී.

අවසාන වශයෙන් “රන්සිළු” ආයතනය මඟින් නිපදවන ලද “මගේ පොඩි යාළු” ළමා ගී පට සහ තැටි පිළිබඳ මෙහි ලා සටහන් කිරීම සුදුසු යැයි අපි සිතමු. “සුරතල් නංගියෙ අපෙ අම්මා” - “දැන් නිවාඩු කාලෙ හින්දා” - “මගේ පොඩි යාළු නෙළමුද ඕලු” - “මොනවද අම්මෙ අකුරු ජාතියක්” - “නිල් අහස් තලේ” - “මට මෑණි වගේ” - “ඇය කොණ්ඩෙ දිගට දාලා” - “හිංචි පිංචි හාවා” - “කොටු වැටිච්ච පුංචි සරම” - “මුල් අකුරට මගෙ හෝඩි පොතේ” - “පොඩි කාලේ දඟ කෙරුවාම” - “හිනැහේවි බෝනික්කා” - “හිතන්නකෝ අයියේ” - “හොඳ හොඳ ළමයින් අපි වාගේ” - “දණ ගාද්දි ඇවිදින්නට” - “අකුරු මැකී නැහැ” - “මිදුලේ වැලි මාළිගාවේ” - “අම්බිලි මාමේ” - “චූටි කුරුල්ලනි” - “අපෙ අම්මා කොළඹ ගිහිල්ලා” වැනි ජනපි‍්‍රයම ගී ගණනාවක් එම ගී පට සහ තැටි වල අඩංගු විය. එම ගී පට සහ තැටි සඳහා ගී ගැයුවේ නවක ළමා ගායක ගායිකාවන්ය. ඔවුන් ගායනා කළේ අනුන්ගේ ගීතමය.

ගායක ගායිකාවන්ගේ දරුවන් සිය මව්පියන් ගැයු ගී නැවත ගැයීම මෙම විමසුමට අදාළ කර ගෙන නැත

උපුටා ගැනීම - සිළුමිණ ''රසඳුන" (වර්ෂ 2011 සැප්තැම්බර් 18 ඉරිදා)
http://www.silumina.lk/2011/09/18/_art.asp?fn=av11091811&p=1

Thursday, October 9, 2014

සිංහල සාහිත්‍යය කෙරෙහි බ්ලොග් අවකාශයේ බලපෑම

තිස්ස දොඩන්ගොඩ මිතුරා විසින් දයානන්ද ගුණවර්ධනයන් ආනන්ද ජවනිකා සහ මධුර ජවනිකා නාට්‍ය ද්විත්වය මුල් කොට ගත් ශාස්ත්‍රීය විවරණයක් ''මල්ලී පුබුදු'' නමින් සිය හද ගී පොත බ්ලොගයේ පළකර තිබෙනවා. එම ලිපියේ ඔහු උපුටා දක්වන පරණවිතාන පඬිරුවනගේ ''සිංහල සාහිත්‍ය කෙරෙහි පාලි, සංස්කෘත භාෂා අධ්‍යයනයේ බලපෑම'' ලිපිය නව මානයක් කෙරෙහි මා සිත යොමුකරවන්නට යෙදුනා. එනම් සිංහල සාහිත්‍යය කෙරෙහි බ්ලොග් අවකාශයේ බලපෑම කුමක් වනු ඇතිද යන්න්නයි. මාද ඇතුළුව බොහෝ බ්ලොග් රචකයින් හෙළ වියරණය සහ අක්ෂර වින්‍යාසය ගැන යොමුකරන අවධානය අවම බව හොඳින්ම පැහැදිලියි. සිංහල බ්ලොග් අවකාශය තුල ලියන්නන්ගේ බහුතරය තාක්ෂණික අධ්‍යාපනයක් ලද්දවුන් වීම සහ ඔවුනට හෙළ බස පිළිබඳව නිසි අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාවක් නොතිබීම එයට එක් හේතුවක් වනවාදැයි වරෙක සිතෙනවා. (මාගේ මේ ලිපිය පුරා ද කෙතරම් වැරදි ඇතිද?) මේ වැරදි කෙරෙහි කිනම් හේතුවක් බලපෑවද, අපගේ ලියවිලි බොහොමයක් අන්තර්ජාලයේ සුරක්ෂිතවී අනාගතයට ඉතිරි වනු ඇති. අනාගතයේදී බොහෝ දරුවන් මේ ලියවිලි තමන්ගේ අධ්‍යාපනයට පවා පරිශීලනය කරනු ඇති. පුස්තකාල පරිශීලනය දැනටමත් අවම මට්ටමක පවතියි. අනාගතයේ එය තවත් අඩුව යනු ඇත. අනාගත දරුවන් නිවසේ පරිගනකයෙන් බොහෝ වැරදි සහිත අපගේ මේ ලිපි බාගත කරගනු ඇති. එවිට සිංහල සාහිත්‍යයට කිනම් බලපෑමක් සිදුවනු ඇති ද?

Tuesday, October 7, 2014

1981 වර්ෂයේ කැළණි සරසවියේ උපාධි ප‍්‍රදානෝත්සවයේදී මහාචාර්‍ය වල්පොල රාහුල ස්ථවිරයන් වහන්සේ කළ දෙසුම

දේශපේ‍්‍රමයේ ජාතිපේ‍්‍රමයේ ආගමේ හා මතවාදයන්ගේ පෙනෙන්නට තිබෙන යහපත් දේ මොනවාද? ඒවා ප‍්‍රශ්න කිරීමකට භාජනය වනු ඇත්තේ කවදාද? අපගේ ජීවිත රැදී පවත්නා සදාකාලික සත්‍යයන් ඒවා බව පෙනේ. එසේ වුවද වරදවා තේරුම් ගත් විට වාර්ගික අරගල, ආගමික ගැටුම්, ප‍්‍රාදේශීය හා ජාතිවාදී සටන් හා ජාත්‍යන්තර යුද්ධ ඇති කරන ප‍්‍රධාන මූලයන් බවට ඒවා පත්වේ. 
 
ඔබ හොඳින් නැවත සිතා බැලුවහොත් පුද්ගලයෙකු ලෝකයේ එක් තැනක හෝ වෙනත් තැනක උත්පත්තිය ලැබිය යුතු බව ඔබට පෙනෙනු ඇත. මිනිසෙකු හෝ ගැහැණියක එසේ ඉපදුණු විට ඒ සමග  ඔවුන්ට කිසියම් රටක්, ජාතියක්, ආගමක්, දේශපාලන දර්ශනයක් හෝ මතවාදයක්, භාෂාවක්, සමාජ කණ්ඩායමක් හෝ කුලයක් උරුම වේ. අනෙක් ඒවාට වඩා ඒවා හොඳ නිසා ඔවුන් ඒවා තෝරා ගත්තා නොවේ. ඒ සියල්ල අහම්බෙන් ලැබෙන දේය. 
 
එසේ වුවද, පුද්ගලයෙකු සිය ආත්මය පිළිබඳ හැඟීම සිය ආත්මාර්ථකාමී මමත්වය – හේතුකොට ගෙන හුදු අහම්බයක් නිසා තමාට උරුම වූ මේවා පිළිබඳව ඇලෙන අතර ඒවා තමාට ඉතාම සුදුසු යයි හැඟුන නිසා තෝරාගත් බවක් අන්‍යන්ට පෙන්වන්නට කටයුතු කරයි. ඔහු ඒවා සමඟ වෙන් කළ නොහැකි ලෙස සම්බන්ධ වන අතර ඒවා තුළ සිය සතුට, විමුක්තිය හා සරණ සොයයි. ඒවා ඉවත් කළ විට කිසිම වටිනාකමක් නැති හිස් බවක්, අසරණ බවක්, ඔහුට දැනේ. ඒ නිසාම ආරක්ෂා වනු පිණිස, ආවරණය වනු පිණිස, වෙනකක් තබා තමා වැදගත් බව හඟවනු පිණිස, ඒවා උත්කෘෂ්ඨත්වයට නංවන්නට ඉහලට ඔසවා තබන්නට, වන්දනා මාන කිරීමට, ඔහු උනන්දු වෙයි. 
 
කිසියම් කෙනෙකු සභාවක නැගිට "මා ශ්‍රේෂ්ඨයි විශිෂ්ඨයි උතුම්" යයි කියමින් තමන් වර්ණනා කෙරෙයි නම් ඒ පුද්ගලයා නිරනුමානයෙන්ම සභාවේ සාධාරණ උපහාසයට ලක්වනු ඇත. එභෙත් ඔහු තමාගේ ජාතිය, වර්ගය හෝ ආගම උසස් යයි (එයද තමන් උත්කෘෂ්ඨත්වයට පත් කර ගැනීමේ අනියම් මගකි.) කියා සිටින්නේ නම් ජාතිපේ‍්‍රමියෙකු ලෙස හෝ දේශපේ‍්‍රමියෙකු ලෙස හෝ වෙනත් පූජනීය කෙනෙකු ලෙස එම සභාවේ සිටින සිය ජාතියට, ආගමට හෝ වර්ගයට අයත් ජනතාව ගෙන් බුහුමන් ලබනවා ඇත. මෙවැනි දේශකයින්ගේ පටු බව හා ලඝු බව දේශපේ‍්‍රමයේ හෝ ජාතිපේ‍්‍රමයේ සළු පිළියෙන් කදිමට වසා ගත හැක. 
 
ශ‍්‍රී ලංකාවේ නීති ශිෂ්‍යයන් විසින් තවමත් මහත් උනන්දුවෙන් හදාරනු ලබන රෝමානු නීතියේ මෙවැනි කියමනක් වෙයි. 
 
"සිය දේශය වෙනුවෙන් මිය යාම ප‍්‍රසන්න හා වැදගත් දෙයකි." රට වෙනුවෙන් ජීවත් වීම, ඒ වෙනුවෙන් මිය යාමට වඩා වැදගත් බව පෙන්වන්නට සාධක කොතෙකුත් තිබියදීත් මෙවැනි ආකර්ෂණීය හා උද්වේගජනක සටන් පාඨ මිනිසුන් අරගලයට යුද්ධයට මෙභෙයවා ඇත.
 
කිසියම් පුද්ගලයෙකු තම රට ජාතිය හෝ ආගම නොසළකා අමතක කොට ජීවත්විය යුතු යයි කිසිවෙකු යෝජනා නොකරනු ඇත. දේශපේ‍්‍රමය ජාතිපේ‍්‍රමය හා ඒ සමාන වෙනත් දේ තුළ ඇති නොවැටභෙන දේ නම් ඒවායින් ඇතිවන යහපත හෝ අයහපත වෙන්කර ගන්නට නොහැකි වීමය.
 
දේශපේ‍්‍රමය යනු රට වෙනුවෙන් පෙනී සිටීමය. ජාතිපේ‍්‍රමය යනු ජාතිය වෙනුවෙන් පෙනී සිටීමය. එහි දොස් පැවරිය යුතු කිසිවක් නැත. ඒ දෙකම යහපත්ය. එභෙත් තම ජාතිය වෙනුවෙන් පෙනී සිටීම, ඉක්මනින්ම අනෙක් ජාතියට එරෙහි වීමට පෙරලෙයි. තමන්ගේ රට ජාතිය වෙනුවෙන් පෙනී සිටීම අනෙකාගේ රට ජාතියට එරෙහි වීම ලෙස තේරුම් නොගත යුතුය. ඇත්තටම නම් තමන්ගේ රට ජාතියට හිතවත් වන ප‍්‍රමාණයට අප අනෙකාගේ රට ජාතිය ගැනද හිතවත් විය යුතුය. අනෙකාගේ රට ජාතියට ගෞරව නොකරන, ආදරය නොකරන, කෙනෙකු තමන්ගේ රට ජාතියට සැබෑ ලෙස ගෞරව කරන්නේද ආදරය කරන්නේ ද නැත.
 
බෞද්ධ ආචාර ධර්ම තුළින් මේ සම්බන්ධව වැඩිදුර ගුරුහරුකම් ගැනීමට අපට පුළුවන. ලෝක සත්වයාට මෛත‍්‍රීය කිරීම අරඹන්නේ පහසුවෙන් හා මුලින්ම කළ හැකි තමාට මෛත‍්‍රිය පැතිරවීමෙනි. තමාට මෛත‍්‍රිය කිරීම සඳහා අනුන්ට වෛර කිරීම අවශ්‍ය නොවේ. තමාට නිවැරදිව හා බුද්ධිමත්ව මෛත‍්‍රිය කරන කෙනෙකු සියළු ආකාරයේ නරක ක‍්‍රියාවලින් වැළකෙන අතර නිවැරදි මාවතේ ගමන් කරයි. එවිට අපට අප සමඟ හෝ සමාජය සමඟ ගැටුමක් ඇති නොවේ. අප අවට ලෝකය සමඟ සාමයෙන් හා සංහිඳියාවෙන් ජීවත්වීමට එයින් අපි වරම් ලබමු. ඊළඟ පියවර වන්නේ තමන්ට ඉතාම ළඟින් නුදුරින් සිටින අයට මෙත් සිත් පැතිරවීමය. තෙවැනි පියවර වන්නේ තමා සමඟ සබඳකම් පවත්වන අයට මෛත‍්‍රිය කිරීමයි. සිව්වෙනි හා අවසාන පියවර වන්නේ තමන්ගේ සතුරන්ට ද මෛත‍්‍රිය පැතිරවීමය. මෙය දුෂ්කර වුවද මෛත‍්‍රිය වැඩීම තුළ තමන්ගේ අධ්‍යාත්මික වර්ධනය හා අත්දැකීම් ලබන නිසා එය කළ හැකි දෙයක් වෙයි. මෙසේ මෛත‍්‍රිය හුරු කළ විට තමන් හා තමන්ගේ කිට්ටුවන්තයන් අතරද තමන් හා තමන් සබඳකම් පවත්වන්නන් අතරද තමන් හා හතුරන් අතරද වෙනස තුනීව යයි. නැතිව යයි. මෙය ඉන්ද්‍රජාලික සුරංගනා ලෝකයේ සිදුවන අභව්‍ය සිදුවීමක් නොවේ. මෙය මිනිසුන් තුළ ගොඩ නඟා ගත හැකි අපූර්වත්වයකි. දේශපේ‍්‍රමයට හා ජාතිපේ‍්‍රමයට මෙසේ සියළු ජාතීන් හා දේශයන් එක්ව පෙමකින් වෙලන්නට හැකිවේද? සමහර විට මහත්මා ගාන්ධි එසේත් නැත්නම් ශ‍්‍රී ලාංකිකයෙකු වූ ආනන්ද කුමාරස්වාමි වැනි දේශපේ‍්‍රමීහු හා ජාතිපේ‍්‍රමීහු ජාතියට සංස්කෘතියට හා දේශයට ආදරය කරමින් සෙසු ජාතීන්ට සංස්කෘතීන්ට දේශයන්ටද පේ‍්‍රම කළහ.
 
මේ සඳහා කෙනෙකුට පැහැදිලිව දැකිය හැකි මනසක් තිබිය යුතුය. මේ හැම විටකම කල්පනාකාරී වීමත් මිනිසුන් වර්ග කර ලේබල් ඇලවීමට ඉක්මන් නොවීමත් අවශ්‍යය. වර්ගීකරණය යනු බෙදා නිශ්චිත කණ්ඩායම්වලට වෙන් කිරීමය. එසේ කළ විට අනවරතව ගලා යන සමස්ථ ජීවිතය අපගේ සිත තුළ චිත‍්‍රණය නොවෙයි. වර්ගීකරණය යනු කෑලිවලට වෙන් කර තනි තනිවම ඒවා විමසීමය. ඒ තුළ සමස්ථය දැකිය නොහැකිවේ. වර්ගීකරණය තුල කැබලි වීම නිසා සිදුවන මේ අභාග්‍යය මිනිසා ගැන පමණක් නොව ස්වභාවධර්මය සම්බන්ධයෙන්ද රමණීයත්වය සම්බන්ධයෙන්ද වෙනත් බොහෝ දෑ සම්බන්ධයෙන් ද එකසේ අදාළය.
 
සියළුම ආගම් පිළිබඳ ප‍්‍රවේසමෙන් කරන ලද අධ්‍යයනයකින් පසු කිසියම් ආගමක් අනෙක් ඒවාට වඩා ශ්‍රේෂ්ඨ යයි තේරුම් ගෙන ඒ ආගම වැළඳගත් අය ලෝකය තුළ සිටී නම් ඒ අල්ප වශයෙනි. එභෙත් බහුතරයක් අපි උපතින් උරුම වූ ආගම තුළම රැදී සිටිමු. මා කිසියම් ආගමක් උපතින් උරුම කර ගත් නිසාම ඒ ආගම පමණක්ම සත්‍ය බවත් අනෙක් ආගම් සියල්ල අල්පේච්ඡ බවත් කීම කොතෙක් දුරට සාධාරණ වන්නේද? මීටත් වඩා පටු වූද බාල වූද සිතිවිල්ලක් තවත් තිබිය හැකිද? මම බෞද්ධයෙක්ව උත්පත්තිය ලැබූ නිසාම බෞද්ධාගම සත්‍ය දෙසන එකම ආගම බවත් අනෙක් ආගම් තුළ ඇත්තේ බොරුව බවත් මට කිව හැකිද? මා ක‍්‍රිස්තියානි කාරයෙක්ව උත්පත්තිය ලැබුවේ නම් ක‍්‍රිස්තියානි එකම සත්‍ය ආගම බවත් සෙසු සියළු ආගම් වැරදි බවත් මා කීම සාධාරණ වන්නේද? තමන්ගේ ආගම පිළිබඳ භක්තියක් ඇතිකර ගැනීම එකකි. එය යහපත් එකක් වන්නටද පුළුවන. එභෙත් මගේ ආගමට ඇති භක්තියෙන් අන්ධවී මා විසින් සෙසු ආගම් ගර්හාවට ලක් නොකල යුතුය.
 
මේ සම්බන්ධයෙන් කිව යුතු තවද කරුණක් ඇත. අවිචාර බුද්ධියෙන් යුතුව ඡාතික හා ආගමික මතයක එල්බගෙන සිටීම තරමටම දේශපාලනික ආර්ථික හෝ සමාජයීය මතයක් විචාරයෙන් තොරව දැරීමද (එකම ආකාරයේ) වැරදිය. මේ සියළු මතවාදයන් (දිට්ඨි) කෙරෙහි අන්ධව බැදී ඇලී සිටින තැනැත්තේ මෙසේ කියයි. මෙය පමණක් සත්‍යයකි. මෙයින් බාහිර හැම දෙයක්ම බොරුවකි.
 
එවැනි අන්ධ මතවාදයන් දැරීම පිළිබඳ බුදුන්ගේ වචනය ඉතා පැහැදිලිය. කිසියම් මතවාදයකට ඇලි ගැලී සිටිමත් අනෙකුත් මතවාදයන් පහත් යැයි ගර්හා කිරීමත් පහත් ක‍්‍රියාවන්ය. බුද්ධිමත් මිනිස්සු එවැනි දැ සලකන්නේ විලංගු ලෙසය. (සූත්ත නිපාත – 798 පැදිය) ඒ අර්ථයෙන් ගත් කළ මිනිස් වර්ගයා විලංගු දා බැඳ දමා තිබේ.
 
මෙයින් අදහස් කරන්නේ අරාජිකත්වය හෝ ව්‍යාකූලත්වය අනුයන බව නොවේ. අපම සාදාගත් පටු දෘෂ්ඨියෙන් මිදී, අපේම සිතින් මවාගත් මන:කල්පිතයන්ට නොබැඳි, නිදහසේ යමක් එහි සැබෑ ස්වරූපයෙන් දකින්නට ඒ උපදෙස් අපට ආරාධනා කරනවා පමණකි. යමක් එහි සැබෑ ස්වරූපයෙන් දැකීමෙන් ව්‍යාකූලත්වයක් හෝ අරාජිකත්වයක් ඇති නොවේ. එයින් පිළිවෙළ ද, විනය ද - සහජීවනය හා සාමය ද – ඇති වේ. අපි යථාර්ථයට මුහුණදීමට ඇති බිය නිසාම අපේ ඇස් වසා ගනිමු. අප කැමති යමක් අපට ඔනෑ අකාරයට දකින්නට මිස, එය තිබෙන සැබෑ ස්වරූපයෙන් දක්නට නොවේ.
 
ඒ නිසාම වසර ගණනාවක පුහුණුවකින් පසු සරසවිය හැර යන තරුණ ඔබ සියල්ල පරීක්ෂා කළ යුතුය. ඔබේ දැනුම සියල්ල එහි සැබෑ ස්වරූපයෙන් දකින්නට භාවිතා කළ යුතුය. මා කියන දෙය හෝ වෙනත් කිසිවෙකු කියන දෙය හෝ ඔබ පිළිගත යුතු නැත. එය අධිකාරිත්වය දරණ අයගේ හඬ නිසාම ඔබ පිළිගත යුතු වන්නේ නැත. යම් කෙනෙකු තමන්ගේ හැකියාවේ උපරිම මට්ටමෙන් හා තම දැනුමේ උපරිම මට්ටමෙන් යම් කිසිවක් විමසා බලා පිරිසිඳ දකින්නේ නැතිව පිළිගැනීම සම්බන්ධයෙන් කිසිදා සාධාරණ හේතුවක් දිය නොහැකිය.
 
ඔබේ වෘත්තීය ජීවිතය තරුණ ඔබටද එපමණක් නොව සමාජයේ යහපත පතන ඒ වෙනුවෙන් කැප වී ඇති සියල්ලන්ටම ද ප‍්‍රයෝජනවත් හා තෘප්තිකර එකක් වනු ඇතැයි මේ උපාධි ප‍්‍රදානෝත්සවයට සහභාගි වන
 සියල්ලන් පතන බවට මට උදක්ම විශ්වාසය.
 
උපුටා ගත්තේ රන්දොර වෙබ් අඩවියෙනි.
http://www.randora.lk/index.php/lead-article/item/2602-walpola-rahula-1907%E2%80%931997 

Sunday, October 5, 2014

ලෝක ගුරු දිනය වෙනුවෙන් ගුරුවරයෙකු ගෙන් දෙමාපියනට

- රෝහිණි කුමාරි මුවන්දෙනිය -

ගුරුවරයෙකු වශයෙන්, මා සිතීමට පුරුදුව සිටියේ දෙමව්පියන් නිතර පාසලට පැමිණිය යුතු වුවත්, ඔවුන් දරුවා පිළිබදව වැඩිමනත් ප්‍රශ්න නොකළ යුතු බවය. නමුත් දැන් දරුවන් තිදෙනෙකුගේ පියෙක් වන මගේ ආකල්පය ඊට හාත්පසින්ම වෙනස්ය. මෙම ලිපියේ කරුණු අවබෝධ කර ගතහොත් ඔබේ දරුවා පාසලෙන් ලබා ගන්නා අධ්‍යාපනයේ විශාල වෙනසක් සිදුකල හැකි බව මට සක්සුදක් සේ පැහැදිලිය .

සෑම පාසලක් තුළම නිර්මාණශීලි කාරුණික ගුරුවරු සිටිති. ඔවුන්ට ඉතා දුර්වල සිසුන්ව පවා උනන්දු කරවිය හැක. එවැනි ගුරුවරු සොයා ගැනීම එතරම් අපහසුද නොවේ. ඔබ දරුවාගේ පාසලේ ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමව්පියන්ගෙන් එවන් ගුරුවරුන් ගැන අසා දැනගත හැක. ඔබ කැමති ගුරුවරයෙකු තෝරාගෙන තමාගේ ඉල්ලීම් ඉදිරිපත් කරන්න. පාසැල් පරිපාලනය බොහෝ විට තමන්ට වාසිදායක ක්‍රියා අනුගමනය කරන බව හොඳින් මතක තියා ගන්න. එතරම් වත් පොහොසත්කම් නැති, කිසිවක් කර කියා ගත නොහැකි දෙමව්පියන්ගේ දරුවන් දුර්වල ගුරුවරුන් වෙත පවරනු දක්නට ලැබේ.

ඔබේ දරුවාට සෑමවිටම වඩාත්ම දක්ෂම ගුරුවරයා නොලැබෙන්න පුළුවන. දරුවා වෙනත් පන්තියකට මාරු කල නොහැකි නම් ඔහුව විෂය ගැන අවධානය යොමු කිරීමට උනන්දු නොකරවන ගුරුවරයා ගැන බලාපොරොත්තු තබා නොගන්න. ඉගෙනීම ඇත්ත වශයෙන්ම පැවරෙන්නේ ශිෂ්‍යාටය.

වර්තමානයේ තිබෙන විශාල පාසල් වල එක ගුරුවරයෙකුට දරුවන් 35 කුට පමණ ඉගැන්වීමට සිදුවේ. නාමලේඛනයේ ඇති නම හැරුණු කොට සමහර දරුවන් ගැන කිසිවක් සමහර ගුරුවරු නොදනිති.

ගුරුවරුන් හා දරුවන් අතර ඇති දුරස් බව දෙමව්පියන්ට පහසුවෙන් වැළක්විය හැක.

ඔබේ දරුවාට පාසල් වැඩ ගැන කිසියම් ගැටළුවක් ඇත්නම් ගුරුවරුන්ගෙන් නොපමාව උපදෙස් ලබාගන්න. පන්ති කාමරයේදී තම කොටස ඉටු නොකර එසේම ගුරුවරු කියන දේ නොඅසන දරුවන් පිළිබඳ අවධානයක් යොමු කිරීමට ගුරුවරු පසුබට වෙති.

එක මවක් තම පුතු සම්බන්ධයෙන් කතා කිරීමට මගෙන් වෙලාවක් ලබා ගත්තාය. ඇයගේ පුත්‍රයා අඩි 6කුත් අඟල් 4ක් උසැති මනා පෙනුමැති උසස් පෙළ ඉගෙනුම ලබන සිසුවෙකි .ඔහු ඉංග්‍රීසි පාඩම වේලාවේදි කෝපයෙන් බුම්මාගෙන සිටීමට පුරුදු වී සිටියේය. මා යමක් කී විට ඔහු මා දෙස බැලුවේද ඉතාමත් කෝපයෙනි. ඔහුගේ මව මා සමග පැවසූ පරිදි ඔහු අනිත් ළමුන්ගේ පාඩමට ඇති සහභාගිත්වය පිළිබඳ මහත් බියකින් පසු විය. විශේෂයෙන්ම ගැහැණු ළමුන්ගේ ඉංග්‍රීසි සාහිත්‍ය දැනුම තම දැනුමට වඩා පුළුල් වීම මීට හේතු විය. ඔහු තුළ වූ ලැජ්ජාව ගැන මව තෙරුම්ගෙන සිටියේ වැරදි ලෙසය. ඔහුගේ මවත් මමත් සහයෝගයෙන් කටයුතු කිරීමට තීරණය කළෙමු. ඇය තම පුත්‍රයා පන්තියෙහි වඩ වඩාත් කතා කිරීමට පෙලඹවූවාය .මම ඔහුගෙන් වෙනදාට වඩා ප්‍රශ්න ඇසුවෙමි. ඔහුගේ ප්‍රතිචාර වලට ප්‍රශංසා කලෙමි. ඉතා ඉක්මනින් ඔහුගේ මුරණ්ඩු කම අඩුවිය. ඔහු මගේ ප්‍රියතම ශිෂයෙක් බවට පත්විය.

මම මෙහිදී එක්තරා රහසක් අනාවරණය කර ගත්තෙමි .එනම් දරුවෙකුගේ යහපත උදෙසා ගුරුවරයාත් දෙමව්පියනුත් එක් වූ පසු දරුවා තුළ පුදුම දේ සිදුවිය හැකි බවය.

ගුරුවරු දෙමාපියන් පාසලට පැමිණීම සම්බන්ධව එතරම් තුටු නොවෙති. ඒ ඔවුන් පැමිණෙන්නේ දරුවාට ලැබුන දඬුවමක් ගැන පැමිණිලි කිරීමට හෝ ඔවුන්ට දැඩි අවධානයක් ලබා දෙන ලෙස ගුරුවරුන්ව පෙළඹ වීමටය යන වැරදි මතය නිසාය. සමහර දෙමව්පියන් මා සමගද තර්ක කර ඇත. ඔබ ඔහුට ඉහළ පන්තියකට යෑමට ලකුණු නොදුන්නොත් ඔහුට එම පන්තියට යාමට බැරිවේවි යැයි එක් මවක් මා සමග පැවසුවාය. ඔවුහු තම දරුවන් ඉගෙනීමේ කටයුතු හොදින් නොකරන බවත් ඉහළ පන්තියට සමත් වීමට අවශ්‍ය තරම් දක්ෂ නොවන බවත් තේරුම් ගැනීමට මැලිවෙති.

අපගේ වෘතීමය ජීවිතය මුළුමනින්ම පාහේ ගෙවෙන්නේ දරුවන් සමග පන්ති කාමරය තුළය. වැඩිහිටියන් සමග අප සම්බන්ධතා පවත් වන්නේ නැති තරම්ය. දරුවාගේ ජීවිත කෙරෙහි අපෙන් වන සේවාව ගැන ප්‍රශංසාවක් ලැබෙන්නේ කලාතුරකිනි. දුරකථන පණිවිඩයක් තුති ලිපියක් අප තුළ විශාල ආකල්ප වෙනසක් ඇති කරයි. එසේ කරන්නාගේ දරුවා ගැන විශේෂයෙන්ම සොයා බැලීමට ගුරුවරු වන අප පෙළඹෙන්නේ නිරායාසයෙනි.

ඔබේ දරුවාට උගන්වන්නේ දුර්වල ගුරුවරයෙක් නම් අනෙක් දෙමව්පියන් ගෙන්ද ඒ පිළිබද අදහස් විමසන්න. ඔවුන්ද ඊට එකඟ වන්නේ නම් පාසල් බලධාරියකුට ඒ පිළිබඳ දැන්වීම අපහසු කටයුත්තක් නොවේ.

ඒ අතර බොහෝ දෙමාපියෝ පාසැල කෙරෙහි වැඩි බරක් පැටවීමට පුරුදුව සිටිති. එසේම දරුවාද තමාගේ වැඩ කොටස් තනිවම ඉටු කරතැයි දෙමාපියෝ විස්වාස කරති. මෑතකදී දරවන් දෙදෙනෙක් මට චෝදනාවක් ඉදිරිපත් කළහ. එනම් කුඩා කලදී ඔවුන් සමග බොහෝ වෙලාවක් ගත කල මවුවරු දැන් රැකියාවක යෙදෙන නිසාත්, දරුවන් වයසින් මෝරා ගොස් ඇති නිසාත්, එසේ නොකරන බවයි. "මගේ මල්ලිව ගොඩක් වෙලාවට තනියම තියල යනවා ඒක එයාට ගොඩක් බලපානවා " එක් දරුවෙක් පැවසීය.

අපගේ විදුහල්පති තුමා පවසන පරිදි දරුවන් කෙරෙහි දෙමව්පියන්ගේ අවධානය සිසුන් උසස් පෙළට ඇතුළුවත්ම අඩු වී යයි. උසස් පෙළ දරුවන්ට ප්‍රාථමික දරුවන්ට වගේම අවධානය ඕන කරන බව දෙමව්පියන් අවබෝධ කර නොගනිති. සමහරවිට ඔවුන්ට කුඩා දරුවනට වඩා වැඩි අවධානයක් අවශ්‍ය වෙනවා. දරුවන් සිනාමුසු මුහුණින් නිවෙස් කරා පැමිණෙන විට දෙමව්පියන් සිතන්නේ ඔවුන් සතුටින් සිටින බවය. නමුත් ඔවුන් අප ලිංගිකත්වය, මත්පැන් සහ මත් ද්‍රව්‍ය භාවිතය ගැන දන්නා බව දැන ගත් විට හුඟක් කලබලයට පත්වෙනවා. මගේ උසස් පෙළ පන්තියේ දෙවන වසරේ ශිෂ්‍යයෙකු එසේ පැවසීය.

සමහර දෙමව්පියන් තම දරුවන්ට දැනුම ලබා දීම සඳහා කෙටි මාර්ගවල යාමට පොළඹවති. විශ්ව විද්‍යාල වෙත නොයවා කෙටි කාලීන පාඨමාලාවන් හැදෑරීම තුළින් වසර ගණනක කාලයක් සහ මුදලක් අඩු කර ගැනීමට මහන්සි වෙති. මෙවැනි දෙමව්පියන් එතරම් ඇසූ පිරූ තැන නොමැති අයයි. ඔවුහු තම විවේක කාලය රුපවාහිනිය ඉදිරිපිට ගත කරති. දරුවන්ගේ පාසල් වැඩ කටයුතු දියුණු කළ හැකි එක මාර්ගයක් මම දනිමි එනම් ඔවුන්ට සිය කාමරය තුළ රුපවාහිනිය නැරඹීමට ඉඩ නොදීමයි.

දෙමව්පියන් හා ගුරුවරුන් දරුවන්ගේ ඉගෙනීම කෙරෙහි වඩාත් අවධානය යොමු කරති. සමහර විටක දරුවකුගේ වටිනාකම මනින්නේ ඔවුන්ගේ අධ්‍යාපන දක්ෂතා අනුවයි.. නමුත් සෑම දරුවකුම ඉගැනීමහි දක්ෂයෝ නොවෙති. එම නිසා දරුවාගේ විශ්වාසය හා පෞරුෂත්වය වැඩි දියුණු කරන්නාවූ කටයුත්තක නිරතවීමට ඔබේ දරුවාව උනන්දු කරවන්න. එය අධ්‍යාපන සුදුසුකම් වලට වඩා බෙහෙවින් අගනා දෙයක් විය හැක.

17 හැවිරිදි වියේ පසුවූ මගේ දියණිය එක වරම පාසල් යාමට බෙහෙවින් උනන්දු වුවාය. ඒ හේතු දෙකක් මතය. එකක් නම් ඇයට චිත්‍ර සඳහා ත්‍යාගයක් ලැබීමය. අනෙක නම් ඇය කණිෂ්ඨ ඔරු පැදීමේ කණ්ඩායමේ නායිකාව වීමය. මෙම කණ්ඩායම ඔවුන් සහභාගී වූ තරඟ බොහොමයක් ජය ගත්හ. මා පෞද්ගලික ඉගැන්වීම තුළින් ඇය ඒ සමාර්ථයක් ලබා ගන්නා බව මට වැටහිනී . නමුත් පියෙක් වශයෙන් ඇයට ඇති ආදරය නිසා මා පැවසූයේ වෙනත් දෙයකි. ඇය ලඟා කරගත් බාහිර ජයග්‍රහණ මත ගොඩ නැගී ආත්ම විශ්වාසය අධ්‍යායාපනික සුදුසු කම්වලට වඩා වැදගත් බවයි.

අපේ දරුවන් නොබෝ කාලෙකින් අප හැර යනු ඇත. අප ඔවුන් සමග පාසල් සමයේදී අත්වැල් බැඳී තරමට ඔවුන් දීප්තිමත්, ප්‍රීතිමත්සහ පෞරුෂත්වයකින් හෙබි පුද්ගලයින් වනු ඇත එවිට ඔවුන් වඩා සාර්ථක වැඩිහිටියන් ලෙස ලෝකයා ඉදිරියේ පෙනී සිටිනු ඇත.

(පරිවර්තනයකි)

Saturday, October 4, 2014

සංගීත චාරිකාවක් 26 - මැඩෝනා ලුවිස් ශිකෝනී (Madonna Louise Ciccone)

සංගීත චාරිකාව තුල කාන්තා සංගීත කණ්ඩායම් ගැන මිස ගායිකාවන් ගැන මෙතෙක් ලියවුනේ නැහැ. ගායිකාවන් ගැනත් ලියන්න කියල ඉල්ලීම් කිහිපයක්ම ලැබුනත් කලින් ලිව්වේ නැත්තේ පෙළගැස්ම වෙනස් වෙන නිසා. දැන් ලියන්න කාලේ හරි කියල හිතුන. ඒ අතරේ උපේක්ෂා පසුගිය පොස්ටුවේ කොමෙන්ට් එකක නැවත මතක් කරලා තිබුන මැඩෝන ගැන ලියන්න කියල.

මැඩෝනගේ නිර්මාණ  අතුරින් මම මුලින්ම ඇහුවේ පහල තියෙන Holiday ගීතයයි. මතකයේ හැටියට 1985 වසරේ.


මැඩෝනා ලුවිස් ශිකෝනී 1958 අගෝස්තු 16 දින මිචිගන්හි බේ සිටි හි උපත ලබනුයේ සිල්වියා ඇන්ටනි ශිකොනී සහ මැඩෝනා ලුවිස් ෆෝටින් යන දෙමාපියනට දාවය. අගේ පියා ඉතාලියෙන් ඇමෙරිකාවට සංක්‍රමණය වී සිටි අතර මව ප්‍රංශ - කැනේඩියානු සම්භවයකින් යුතුවිය. තරුණ මැඩෝනා බේ සිටි සිට නිව්යෝක් නගරයට පැමිණෙනුයේ නුතන නැටුම් ශිල්පය වෘතිය කරගැනීමේ අරමුණෙනි.

මැඩෝනා නිව්යෝක් නගරයේදී Breakfast Club සහ Emmy නම් සංගීත කණ්ඩායම් සමග එක්ව ප්‍රසංග පවත්වමින් සිටින අතර වෝනර් බ්‍රදර්ස් සමාගමට අනුබද්ධ සයර් සමාගම සමග 1982 වසරේදී 'මැඩෝනා'' නමින්ම ඒකල ගීත ඇල්බමයක් සඳහා ගිවිසුම් අත්සන් කිරීමට සමත් වනවා. මෙම ඇල්බමයට පසුව වාණිජ වශයෙන් සාර්ථක වූ ගීත ඇල්බම රාශියක් ඇය විසින් එලි දක්වූවා. ඒ අතරින් Ray of Light හා Confessions on a Dance Floor නම් ඇල්බමයන් ගේ ගීත පිළිවලින් 1998 වසරේදී සහ 2005 දී ග්‍රෑමී සම්මාන වලින් පුද ලැබුවා ඇයගේ බොහෝ ගීත ඇය විසින්ම පද රචනය කර තිබෙනවා. මේ ගීත අතුරින් Like a Virgin, Into the Groove, Papa Don't Preach, Like a Prayer, Vogue, Frozen, Music, Hung Up සහ 4 Minutes යන ගීත ලොව බොහෝ සංගීත දර්ශක වල ප්‍රථම ස්ථානය දිනාගනු ලැබුවා..

Like a Virgin
Papa Don't Preach
Vogue


මැඩෝනා ලොවපුරා ජනප්‍රිය වනුයේ Holiday ගීතයෙනි. මේ ගීතය ඇගේ තෙවන ඇල්බම්යට අයත්. කෙසේ වෙතත් සම්පුර්ණ ඇල්බමය ගැන මත පලකරන සංගීත විචාරකයන් එය අමිහරි බව පවසනවා. එයට හේතුව එවකට නව තාක්ෂණික උපකරණ වූ Linn drum machine, Moog bass සහ OB-X synthesizer ආශ්‍රයෙන් upbeat synthetic disco සංධ්වනියක් ඇල්බමයහි ගීත වෙත තිබීමය

මැඩෝනාගේ ජනප්‍රියත්වය සිනමා නිර්මාණසඳහා ඇගේ දායකත්වය නිසා තව දුරටත් පුළුල් උනා. එවිටා (Evita) සිනමා පටයහි රඟපෑම සඳහා ඇයට ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ හොඳම නිලියට හිමි සම්මානට හිමි උනා. තව දුරටත් සිය වපසරිය පුළුල් කල මැඩෝනා විලාසිතා නිර්මාණකරණය, ළමා කතා රචනය, චිත්‍රපට නිෂ්පාදනට වැනි ක්ෂේත්‍ර වල පෙළහර පාන අතරම සාර්ථක ව්‍යාපාරික කාන්තාවක ද වනවා.

Hung Up
4 Minutes

මේ වනවිට මැඩෝනාගේ ගීත ඇල්බම පිටපත් මිලියන 300ක පමණ ප්‍රමාණයක අලෙවියක් වාර්තා කරනුයේ වැඩිම අලෙවියක් සහිත ගායිකාව වශයෙන් ගිනස් වාර්තා පොතහි සිය නම ලියවමිනි. Recording Industry Association of America (RIAA) දත්ත වලට අනුව විසිවන සියවසේ වැඩිම අලෙවියක් සහිත රොක් ගායිකාවද වනවා. බිල්බෝඩ් සර්වකාලීන හොඳම කලාකරුවන්ගේ දර්ශකයේ (Billboard Hot 100 All-Time Top Artists) දෙවන ස්ථානය ඇයට හිමිය. ඇය දෙවන වන්නේ බීටල්ස් කණ්ඩායමට පමණි.

චාරිකාව තව දුරයි
27 කොටසින් හමු වෙමු