Wednesday, November 8, 2017

පැයක කාලයකදී බ්ලොග් අඩවියක් නිර්මාණය කර ගනිමු

පලමු කොටස මෙතැනින් 

බ්ලොග් අඩවි නිර්මාණය සහ යාවත්කාලීන කර පවත්වාගෙන යාම සඳහා ගුගල් වෙතින් නොමිලේ ලබාදෙන සේවාව බ්ලොගර් නම් වෙයි . බ්ලොගර් සේවාව ලබා ගැනීම සඳහා ගුගල් ගිණුමක් අත්‍යාවශ්‍ය වේ. බ්ලොග් අඩවිය ආරම්භ කිරීමට අදහස් කරනා අය බ්ලොග්කරණය තුල සිය සත්‍ය ප්‍රොෆයිලයෙන් පෙනීසිටීමට අකමැති නම් අලුත් ගුගල් ගිණුමක් ආරම්භ කිරීම කලයුතු වෙයි. නමුත් අපගේ අදහස නම් බ්ලොග් කරණය සත්‍ය ප්‍රොෆයිලයෙන් කිරීම වඩාත් යෝග්‍ය බවය.

බ්ලොගර්හි බ්ලොග් අඩවියක් නිර්මාණය කරගැනීම වෙබ් අඩවියක් නිර්මාණය කිරීම මෙන් තාක්ෂණික දැනුම අවශ්‍යය වන අසීරු කාර්යයක් නොවේ. එය නවකයකුට වුවද පැයකට අඩු  කාලයක් තුල තනිවම කරගත හැකි ක්‍රියාවලියකි.


4.1 බ්ලොග් අඩවිය නිර්මාණය කරගැනීම සඳහා පළමුව ගුගල් ගිණුමට ලොග් වියයුතුය. ලොග් වූ පසුව පරිගණක තිරයේ දිස්වන ගුගල් මුලික පිටුවෙහි දකුණුපස ඉහල කෙලවරේ ඇති කොටු සලකුණ ක්ලික් කළවිට  මගින් ගුගල් සේවා මෙනුව තිරයේ දිස් වෙයි. එහි පහලින් ඇති More  මෙනුව ක්ලික් කළ විට පහත තිරය දිස් වනු ඇත.


එම මෙනුවේ ඇති බ්ලොගර් අයිකනය ක්ලික් කළ විට බ්ලොගර් වින්ඩෝව තිරයේ දිස් වෙයි. 




4.2 අලුත් බ්ලොග් අඩවියක් නිර්මාණය කිරීම සඳහා තිරයේ වම්පස කෙලවර ඇති New Blog මෙනුව ක්ලික් කළ යුතුය. එවිට පරිගණක තිරය මැද  අලුත් බ්ලොග් අඩවියක් ලියාපදිංචිය සඳහා වන වින්ඩෝව දිස් වෙයි.


එම තිරයේ අදාළ ස්ථානයේ අලුතින් සාදන්නට අදහස් කරනා බ්ලොග් අඩවියේ නම සහ බ්ලොග් අඩවිය සඳහා යෝජනා කරනා ලිපිනය ටයිප් කල යුතුය. 


එම ලිපිනය දැනට භාවිතා වන්නේ නම් වෙනත් ලිපිනයක් භාවිතා කරනා ලෙස දන්වන පණිවුඩයක් තිරයේ දිස් වනු ඇත. අඩවියේ යෝජිත ලිපිනය භාරගන්නේ නම් දකුණු පස් පහල කෙලවරේ ඇති Create Blog අයිකනය ක්ලික් කිරීමෙන් පසුව බ්ලොගර් වින්ඩෝව තිරයට පැමිණෙයි 


බ්ලොගර් තිරයේ වම් පස මෙනුවේ ඇති Theme මෙනුව ක්ලික් කිරීමෙන් පසුව බ්ලොග් අඩවියේ දළ සැකැස්ම බ්ලොගර් තිරයේ දිස්වෙයි. එහි වම්පස පරිගණක තිරෙයේ සැකසුමද දකුණු පස මොබයිල් තිරයේ සැකසුමද දිස් වෙයි.


අදාළ තිරයේ පරිගණක සැකසුමට යටින් ඇති Customise අයිකනය ක්ලික් කිරීමෙන් පසුව බ්ලොග් අඩවියේ මුල් පිටුව අඩංගු තිරයක් දිස්වෙයි. එම තිරයේ ඉහලින් දැක්වෙනුයේ බ්ලොග් අඩවිය ප්‍රියමනාප ලෙස නිර්මාණශීලීව තේමාවක් සහිතව සකස් කරගැනීමට උපකාරී වන Theme Designer මෙනුවය. 


Theme Designer මෙනුවේ මැද ප්‍රියමනාප ලෙස බ්ලොග් අඩවිය සකස් කරගැනීමට තෝරාගත හැකි තේමා කිහිපයක් දිස්වෙයි. බ්ලොග් අඩවියේ නිර්මාණකරුගේ රසාස්වාදයට අනුව මින් එක් තේමාවක් තෝරා ගත හැකිය. මෙම පාඩම සඳහා මා තෝරාගත්තේ Picture Window නම් වන තේමාවයි. එම තේමාව දැක්වෙන අයිකනය ක්ලික් කලවිට පහතින් දැක්වෙන තිරය දිස්වෙයි 






තේමාව තෝරාගත් පසුව Theme Designer මෙනුවේ වම්පස ඉහල කෙලවරේ ඇති Background මෙනුව ක්ලික් කල විට පහත දැක්වෙන තිරය Theme Designer මෙනුවේ දිස්වෙයි 




එහි Background Image කොටසේ ඇති පහලට දිශා ගතකළ ඊතලය ක්ලික් කිරීමෙන්  පසුව Select Background Image වින්ඩෝව තිරයේ දිස් වෙයි.


මෙම පාඩම සඳහා Select Background Image හි වම පස මෙනුවෙන් Nature මෙනුවේ ඇති පින්තුරයක් තෝරා ගත විට පහත දැක්වෙන තිරයේ දිස්වෙයි.



මේ තිරයේ දකුණුපස ඉහල කෙලවරේ ඇති Apply to Blog අයිකනය ක්ලික් කළවිට නැවතත් බ්ලොගර් තිරය දිස් වේ.

මේ වනවිට නව බ්ලොග් අඩවියේ ප්‍රධාන සැකසුම පිලියල කොට අවසන්ය. අනතුරුව බ්ලොග් අඩවිය සඳහා පරීක්ෂක ලිපියක් එකතු කල යුතුය. මේ සඳහා බ්ලොගර් තිරෙයේ වම්පස මෙනුවේ Posts මෙනුව ක්ලික් කලවිට පහත තිරය දිස්වෙයි



එම තිරයේ New Post අයිකනය ක්ලික් කල විට ලිපිය ටයිප් කිරීම සඳහා වන තිරය දිස්වෙයි


ලිපිය ටයිප් කිරීම සහ මාතෘකාව ටයිප් කිරීම සඳහා වන ස්ථානයන්හි ඒවා ටයිප් කර තිරයේ දකුණු පස ඉහල ඇති Publish අයිකනය ක්ලික් කල පසුව ලිපිය ප්‍රකාශයට පත් වෙයි.


ලිපිය ප්‍රකාශයට පත් වන විට එය Google + මිතුරනට දැන්වීමට අවසරය ඉල්ලන වින්ඩෝවක් තිරයේ දිස්වෙයි. මෙය පරීක්ෂක ලිපියක් බැවින් Cancel ක්ලික් කර එය දැන්වීම වලක්වන්න. 

Cancel අයිකනය ක්ලික් කල පසුව දිස් වෙන  බ්ලොගර් වින්ඩෝව පහතින් දැක්වෙයි. 

මෙම වින්ඩෝවේ වම්පස ඉහල ඇති විවේ බ්ලොග් අයිකනය ක්ලික් කිරීමෙන් ඔබගේ නව බ්ලොග් අඩවිය දිස් වෙයි 

ඔබගේ බ්ලොග් අඩවියේ මුලික සැකැස්ම දැන් සුදානම්ය. අඩවිය වෙත එක් කලයුතු තවත් අත්‍යාවශ්‍ය අංග කිහිපයක් ඇත. ඒවා එකතු කර ගන්නා ආකාරය මීලඟ ලිපියෙන්  බලාපොරාත්තු වන්න.

Sunday, November 5, 2017

බ්ලොග් අඩවියක් නිර්මාණය කරන්නේ කෙසේද? - අංක 01

1. හැඳින්වීම
මෙම ලිපිය ලියවෙන වසර 2017 නොවැම්බර් මස වන විට මෙරට අන්තර්ජාල ලේඛකයන් අතර බ්ලොග් අඩවි ඇරඹීම පිළිබඳව උනන්දුවක් ඇතිවී තිබීම යහපත් ප්‍රවනතාවකි. හදිසියේ මෙම උනන්දුව ඇතිවීමට හේතු සාධක වී ඇත්තේ ෆේස්බුක් හි පරිපාලනය විසින් ෆේස්බුක් පේජ් (Facebook Pages) සහ ෆේස්බුක් මිතුරැ හවුල් (Facebook Groups) හි පළකරනා ලිපි සහ නිර්මාණ, ගිණුම් අයිති කරුවන්ගේ නිවුස් ෆීඩ් (News Feed) හි දිස් නොවන ලෙසින් ඇතිකරනා ලද අභ්‍යන්තර සැලසුමෙහි වෙනස්කමකි. මේ නිසා පෙරදී ෆේස්බුක් මිතුරැ හවුල් හරහා දස දහස් ගණනින් පාඨකයන් වෙත සිය නිර්මාණ ගෙනගිය නිර්මාණ කරුවන් අපහසුතාවට පත්ව සිටිති. දැන් ෆේස්බුක් මිතුරු හවුල් වල ලිපි නිවුස් ෆීඩ් වෙත යොමු කිරීමට මුදල් ගෙවිය යුතුය. මෙම සැකැස්ම ඇතිකිරීමට පෙර බ්ලොග් අඩවි ප්‍රවර්ධනය කරනා ලද්දේද මේ මිතුරු හවුල් හරහාය. අලුත් තත්ත්වය තුල බ්ලොග් අඩවි වෙතට පැමිණෙන පාඨක පිරිසෙහිද සැලකියයුතු අවපාතයක් දක්නට ලැබෙනා බවද කිවයුතුය. එයට හේතුව වන්නේ සිංහල බ්ලොග් පාඨකයා ලුහුබඳින්නන් (Followers) ලෙසින් සිය ප්‍රියතම අඩවි සමග නො බැඳී ෆේස් බුක් මතම විස්වාසය තබා කටයුතු කිරීමය.

මේ තත්වය සමනය කරගැනීම සඳහා විකල්පය වන්නේ බ්ලොග් අඩවි අරඹා ඒවායේ ලිපි පල කිරීමය. අනතුරුව ලිපි ප්‍රවර්ධනය සඳහා ෆේස් බුක් මත පමණක් රැඳී නොසිට ගුගල් ප්ලස් වැනි විකල්ප සමාජ ජාලා සහ සින්ඩිකේටර භාවිතා කිරීමය.

2. බ්ලොග් අඩවියක් ඇරඹීමෙන් ඇති වාසි
ෆේස් බුක් සමාජ ජාලයෙහි  ලිපි පලකළ විට  ඒවා පල කරනා ලද පුද්ගලයාගේ මිතුරු ලැයිස්තුව වෙත වේගයෙන් ගමන් කර ඔවුන්ගේ නිවුස් ෆීඩ් හි දිස් වෙයි. ගිණුමේ සිටිනා තවත් මිතුරන් වෙනත් ලිපි පළකරනා විට පළමු ලිපිය නිවුස් ෆීඩ් හි පහලට ගමන් කරයි. එය නැවත ඉහලට පැමිණෙන්නේ තමා හෝ වෙනත් මිතුරකු එය ලයික්, ශෙයා හෝ කොමෙන්ට් කරනා විටදීය. ගිණුමේ සිටිනා මිතුරන් ලයික් කර අවසන් වූ පසුව ලිපිය දිස් වන්නේ නැත. ලිපිය වරින් වර සහෙයා කිරීම මගින් ටික කාලයක් ඉහලින් තබා ගත හැකි වුවද එය ගිණුමේ මිතුරන් අපහසුතාවට පත් කරනා ක්‍රියාවකි. බ්ලොගර් වැනි වේදිකාවක (Platform) පවතින බ්ලොග් අඩවියක ලිපියක් පල කල විට එය  ස්වයංක්‍රීයව ඊමේල් මගින් බෙදාහැරීමේ ක්‍රමවේදයක් ඇත. ලිපිය පල කල වහාම බ්ලොග් අඩවිය ෆොලෝ කර ඇති සියලු දෙනාට නව බ්ලොග් ලිපිය (Blog Post) පිළිබඳව දැනුවත් කර ඊමේල් පණිවුඩයක් ලැබෙයි. මෙයට අමතරව බ්ලොග් අඩවිය ලියාපදිංචි කර ඇති සියලුම සින්ඩිකේටර වල ලිපිය දිස් වෙයි. කාලයත් සමග සින්ඩිකේටර වල ලිපිය පහලට ගමන් කලේ වුවද ඊමේල් පණිවුඩය දිගටම ගිණුමේ පවතියි.

ක්‍රමානුකුලව ගොඩ නගා ඇති බ්ලොග් අඩවියක පවතින විශාලතම වාසිය නම් ඕනාම කෙනෙකුට අඩවියේ පළකරනා ලද පැරණි ලිපි පහසුවෙන්  සොයාගත් හැකි වීමය.

ගුගල් හෝ වෙනත් ඕනෑම සෙවුම් යන්ත්‍රයක් (Search  Engine) වෙතින් කරුණු සොයනා අවස්තාවේදී අදාළ මාතෘකාව සම්බන්ධිත බ්ලොග් ලිපි පවතින්නේ නම් එම ලිපි වෙත සෙවුම් යන්ත්‍ර මගින් යොමු කරලීම තවත් ප්‍රධාන වාසියක් වේ.

3. බ්ලොග් අඩවි ආරම්භ කල යුත්තේ කොහිද?
සිංහල පාඨකයා ඉලක්ක කරගත් බ්ලොග් අඩවියක් ආරම්භ කළහැකි ප්‍රධාන ආකාර තුනකි
1. බ්ලොගර් (Blogger)
2. වර්ඩ්ප්‍රෙස් (Wordpress)
3. වෙබ් අඩවියක් ආකාරයෙන්

මේ අතරින් සිංහල පාඨකයාට වඩාත්ම යෝග්‍ය ක්‍රමය වන්නේ බ්ලොගර් වේදිකාවේ බ්ලොග් අඩවියක් ආරම්භ කිරීමය. මෙරට බ්ලොග් අඩවි වලින් සියයට අනුනවයක්ම බ්ලොගර් හි පවතින බ්ලොග් අඩවි වීම හේතුවෙන් එය සිංහල පාඨකයාට බෙහෙවින් හුරු පුරුදුය. ලිපිය පිළිබඳව කොමෙන්ට් දැමීමද ඉතාමත් පහසු වීමද  තවත් වාසියකි.

4. බ්ලොගර් හි බ්ලොග් අඩවියක් ආරම්භ කරන්නේ කෙසේද?
(මීළඟ ලිපියෙන් බලා පොරොත්තු වන්න)

Saturday, November 4, 2017

කසීර, ජ්‍යෝෆ්‍රී බේකන් සහ කට්ටකාඩුව

පසුගිය මාස කිහිපය සිංහල බ්ලොග් කලාව තුල වැඩි ප්‍රගමනයක් දක්නට නොලැබෙනා  කාලයකි.  ප්‍රශස්ථ මට්ටමේ ලේඛනයක යෙදුන බ්ලොග් කරුවන් රැසක්ම නිහඬ වීම සහ තවත් බ්ලොග්කරුවන් රැසක් ෆේස් බුක් සරණ යාම මෙයට හේතුව බව නිරීක්ෂණය වේ. පසුගිය වසර තුලදී ලේඛණයේ දක්ෂයන් කිහිප දෙනෙකු බ්ලොග් කරණය ඇරඹුවේ වුවද ටික කාලෙකින් බ්ලොග් කලාව හැර යාම සිදුවුනි. 

මෙරට ප්‍රසිද්ධම සමාජ ජාලය වන ෆේස් බුක් ජාලය තුල බොහෝ ලේකකයන් සිර වී සිටිති. බොහෝ දක්ෂ ලේඛකයන්ගේ අගනා නිර්මාණ ෆේස් බුක් තුල වැළලී යාම කනගාටුවට කාරණයකි. ෆේස් බුක් සමාජ ජාලය  තුල සිටිනා ඉතා ඉහල සංඛ්‍යාවක් වන පාඨකයන් වෙතින් නිර්මාණ සඳහා ලැබෙනා ඉක්මන් ප්‍රතිචාර නිසා ලේඛකයන් බ්ලොග් වෙතින් ඉවත් වී යන  අවදියක අති දක්ෂ නිර්මාණ කරුවන් දෙදෙනෙකු බ්ලොග් අඩවි ආරම්භ කර තිබීම සතුටට කරුණකි. ඉන් පළමුවැන්න නම් සහන් කසීර වික්‍රමසිංහ විසින් දැනට මාස කිහිපයකට පෙර අරඹන ලද කසීර අඩවියයි. දෙවැන්න ලලිත් කරුණාරත්න  විසින් ඉතාමත් මෑතකදී ආරම්භ කරනා ලද ‘ජ්‍යෝෆ්‍රී බේකන්’ අඩවියයි. 

මේ දෙදෙනාම තමන්ගේ පැරණි ෆේස් බුක් ලිපි එකතු කර බ්ලොග් අඩවි දෙක නිමවා ඇත. සහන්ගේ කසීර අඩවිය ඉහල සාහිත්‍යමය වටිනාකමකින් යුතු ලිපි රැසකින් සමන්විතවේ. කසීර අඩවිය තාක්ෂණික අතින් ද ඉහල මට්ටමක පවතියි. එය බෙහෙවින්ම පරිශීලක හිතකාමී (User Friendly) දර්ශනීය නිමවුමකින් යුක්තය. ලිපි සොයාගනීමද පහසුය. 

ලලිත්ගේ අඩවිය තාක්ෂණික අතින් දුර්වලවීම කනගාටුදායකය. නමුත් එහි අඩංගු ලිපි ඉතාමත් සාර ගර්භය. එවන් වටිනා  ලිපි එකතුවක් කිසිදු සිංහල බ්ලොග් අඩවියක නොපවතින බව අතිශයෝක්තියක් නොවේ. මෙම ලිපි එකතුව කියවීමට පටන් ගත් පසුව එය නවතා දැමීමට සිත දුන්නේ නැත. ඒවා එතරම් රසවත්ය. දැනුමෙන් සපිරිය. නමුත් අඩවියේ තාක්ෂණික දුර්වලතා නිසා ලිපි සොයා ගැනීම අති දුෂ්කරය. මෙම අඩවිය බ්ලොගර් වෙතට ගෙන එන්නේ නම් මැනවි.
මෑතකදී පටන් ගන්නා ලද තවත් අගනා බ්ලොග් අඩවියක් ලෙසින් කට්ටකාඩුව හඳුන්වා දිය හැක. මෙහි දැනට ලියවී ඇති ලිපි හතලිහක ප්‍රමාණය  විවිධ තේමා යටතේ රසවත් නිර්මාණ වලින් සමන්විතය. අඩවියේ රචකයා අති දක්ෂ උපහාස රචකයකු මෙන්ම බොහෝ ඇසූ පිරූ තැන් ඇති අයෙකු බව ලේඛණය තුලින් ගම්‍ය වෙයි. 


Saturday, October 14, 2017

රිඟින් ටෝන් වංචාවක්ද? - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව - අංක 5

ලිපි පෙළෙහි පෙර කොටස් පහතින් 
4.0 කපුගේ සමග සන්ෆ්ලවර්ස් - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව
3.0 සුනිල් පෙරේරා - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව 
2.0 නිහාල් නෙල්සන් - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව
1.0 සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව

ගීතයේ අයිතිය පිළිබඳව නිසි නීතිමය ප්‍රතිපාදනයක් නොමැති යුගයේදී ගීතය තුලින් ප්‍රතිලාභ ලබා ගත්තේ ගායකයා පමණි.  නමුත් නීතිමය ප්‍රතිපාදන ස්ථාපිත කරනා විට ගීතයේ නිර්මාණකරුවන් වන පද රචකයා, තනු නිර්මාපකයා සහ ගායකයා යන තිදෙනාටම අයිතිය පැවරෙන ආකාරයට සැකැස්මක් බොහෝ රටවල ඇතිකෙරින. අප රටේද ගීත රචකයාට අයිතිය ලැබෙනා ආකාරයට නීති ස්ථාපිත වුවද දිගින් දිගටම එහි ප්‍රතිලාභ ලබා ගත්තේ ගායකයා පමණි. බුද්ධිමය දේපල පනත කෙසේ කීවද ගායකයා විසින් පද රචකයා සහ තනු නිර්මාපකයා අමතක කර දමා තිබිණ. ප්‍රසංග වල ගායනයෙන්  ලබා ගන්නා මුදලින් කිසිදු භාගයක් අනෙක් හිමිකරුවනට ලබා දුන්නේ නැත.  අහිංසක කලා කරුවන් වූ පද රචකයින් සහ තනු නිර්මාපකයින් සිය අයිතිය වෙනුවන් සටන් නොකරන පරිසරයක් තුල ගායකයා විසින් දිගින් දිගටම බුද්ධිමය දේපල වංචාව කරගන ගියේය.

මේ තත්වය තාක්ෂණ දියුණුවත්  සමග වෙනස් විය. ජංගම දුරකථන ජාල "රිඟින් ටෝන්" හඳුන්වා දීමත් සමග ජනප්‍රිය ගීත වල "රිඟින් ටෝන්" සඳහා විශාල ඉල්ලුමක් ඇති විය.  දුරකථන ග්‍රාහකයින් "රිඟින් ටෝන්" බාගත කරගන්නා සැම විටම ගීතයේ අයිතිකරුට සැලකිය යුතු මුදලක් ලැබෙනා ආකාරයට  ජංගම දුරකථන සමාගම් විසින් ක්‍රමවේදයක් සකසා තිබිණ. ඒ අනුව "රිඟින් ටෝන්" සේවාව වෙතින් සමහර ජනප්‍රිය ගීත සඳහා මිලියන ගණනින් ගෙවීම් කර තිබුණි. 

මේ අවස්ථාවේ අතරමැදි තැරව් කරුවන් රැසක් බිහිවිය. ඔවුහු රට පීරා යමින් අප්‍රකටව ජීවත් වූ ගී පද රචකයින්ගේ ගීත වල "රිඟින් ටෝන්" අයිතිය සුලු මුදලක් ගෙවා තමන්ගේ නමට හරවා ගෙන ඒවා ජංගම දුරකථන ජාල වෙත විකුණා දැමුහ. තම නිර්මාණය සඳහා කිසිදු මුදලක් හෝ ප්‍රතිලාභයක් නොලැබුණු ගීත රචකයන්ට සුළු මුදලක් වුවද මහමෙරක් විය. පසුව මේ තත්වය හෙළිවීමෙන් පසුව ගීත රචකයින් ඍජුවම දුරකථන සමාගම් සමග ගිවිසුම් ගතවී සිය නිර්මාණ සඳහා සුවිසල් ප්‍රතිලාභ ලබා ගත්හ.

එවිට මෙතෙක් කාලයක් අනුන්ගේ බුද්ධිමය දේපල අයිතිය මංකොල්ල කමින් සිටි ගායකයන් කුපිත් විය. ඔවුහු දුරකථන සමාගම් ගානේ ගොසින් ගීත රචකයන් "රිඟින් ටෝන්" මගින් උපයා ගන්නා ලද මුදල් පිළිබඳව විමසා සිටියහ. තමන් කලින් කරනා ලද වංචාව අමතකවූ ඔවුහු පුවත් පත් සහ විද්‍යුත් ජනමාධ්‍ය තුලින් ආවේගශීලී ප්‍රකාශ ජනගත කලේ සුදු රෙද්දෙන් පොරවාගෙන සිටි සිය නිරුවත් ලොවට පෙන්නුම් කරමිනි.


පහතින් දැක්වෙන්නේ රටෙහි ඉමහත් ජනාදරයට පත් ගායකයකුගේ එවන් ප්‍රකාශයකි. 

ප්‍රශ්නය: අපි රිඟින් ටොන් නිසා සිදුවුණු ගැටළු පිලිබඳ මෙයට පෙරත් බොහෝ අවස්ථාවල කතා කොට තිබෙනවා.
නමුත් ලංකාව තුල තිබෙන නිතිය අනුව ගීතයේ අයිතිය ලැබෙන්නේ ගීත රචකයට වීම හේතුවෙන් ගීතයේ මුල් ගායකයාට ඒ පිළිබඳව කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි තත්ත්වයකුයි තියෙන්නේ?

පිළිතුර: නෑ නෑ නෑ ඒ පිස්සොනේ. මොන පිස්සොද සත 5 කට ගනන් ගන්න එපා ඒ කතාව. ඒ ගොල්ලො අමුතු ආධිපත්‍යයක් පෙන්නන්න යනවා මේ ගීතය තුළ. ඕක මම කීව විදියටම දාන්න. එහෙම එකක් නෑ. මම සිංග් කල ඒව කාගෙන්වත් ඉල්ලලා නෙවෙයි සිංග් කරල තියෙන්නෙ. 

මම කිසිම ගීත රචකයෙක් ලඟට ගිහිල්ල ඉල්ලලා නෑ අනේ මට ලියල දෙන්න කියලා. මම එහෙම කරන්න කැමති නෑ. xxxx xxxxx කියල මනුස්සයෙක් හිටිය. ඒ මනුස්සයට කියල මම සිංදුවක් ලියාගෙන තියනවා. "xxxxxx xxxxxx" කියන ගීතය.

එතකොට ඒගොල්ලො ඇවිල්ල තියනව මම ලඟට මගේ කටහඬින් කියන්න කියලා. ගොඩක් වෙලාවට මම මිනිස්සුන්ට බනින්නෙ නෑ. මගේ බැරිකම මම කියනවා. මට බේරෙන්න බෑ. රට රටවලින් පවා එනවා.

ගීත රචකයෝ කියන එවුන්ට මම හොඳ පාඩමක් කරනවා. මොකක්වත් නෙවෙයි අනවශ්‍ය ආධිපත්‍යයක් පෙන්නන්න හදනවා. මේ ගීතය තුළ. මෙතන ගායකයෙක් ගායිකාවක් හරියට කීවෙ නැති ගීත කොච්චර විසිවෙලා ගිහිල්ල තියනවද! සංගීතඥයත් ඉවරයි. රචකයත් ඉවරයි. එහෙමනම් ඒගොල්ලො මේක කොලේක දවටලා ඉරටෙක ගහල පාර මැද අල්ලගෙන හිටියනම් හරි. ගීතය ප්‍රසිද්ධ වෙයිද!

මහගමසේකර උන්නැහෙල, මාවනසිංහ මහත්තයල, අමරදේව මහත්තයත් එක්ක එක පැදුරෙ වාඩි වෙලා කතා කර කර නිර්මාණ බිහිවුනේ. එහෙමයි හොඳ ගීත බිහි උනේ. මගෙ කියල ඒ මිනිස්සු කුළල් කාගත්තද...! නෑ.

ඒ බොරු අයිතියක් අරගෙන මුන් මේ රිගිං ටෝන් එකටත් දාන්නෙ. අපිට අදාල නෑ ඔය නීතිය. කවුද ඔය නීතිය සම්මත කලේ! එක්කො පාර්ලිමේන්තුවේ ඉන්න මැටි මෝල්ලුන් දැනගන්න ඕන. රටේ ඉන්න කලාකාරයින්ගෙ නිර්මාණ මේව. එක මිනිහෙක් ගිහිල්ල කීව පලියට ඒ නීතියක් පවත්වලා හරියන්නෙ නැහැනෙ. 

අදාල පාර්ශවයන් ඔක්කම කැඳවලා අහන්න ඕන මේ නීතිය පැනෙව්වොත් එහෙම අසාධාරණ ද කියල. එහෙම අහන්නෙ නැතිව පනවපු නීතියක් මේක. ගායකයට වැඩි අයිතියක් එනව. ඒක තේරුම් අරගෙන කොහොම හරි පසුකාලීනව.

ඔය මෝඩ වැඩේ කරල තියෙන්නෙ ක්ලැරන්ස්. ඔය මෝඩ ගොන් තකතීරු වැඩේ කරල තියෙන්නෙ ක්ලැරන්ස් විජේවර්ධන. මොකද ඒ මිනිහ ඔය මොකක්වත් දන්නෙ නෑ. එයාගෙන් විතරයි අහල තියෙන්නෙ. කාගෙන්වත් අහල නෑ ඒ කාලෙ.

මිනිස්සු ආසයි අපිව ගෙන්නලා සින්දුවක් කියවලා අහන්න. එතකොට ගානක් දෙනවා. එහෙමයි කියල අපි මේක දීපන් කියල හූරගෙන කන්නෙ නෑ ඒ මිනිස්සුන්ගෙන්. එතකොට ඒකටත් (ගීත රචකයන්ට) ඊරිසියාවක් තියනවා. ඕක තමයි ප්‍රශ්ණෙ. ගීතයක් ප්‍රචාරය වෙනවනම් මේ තුන් දෙනාටම හරි ආකාරව බෙදිල යන්න ඕන.

මට දවසක් කතා කරල ආචාර්ය ගම්ලත් මහත්තයා කීව එතුමාගේ බීබීසී සංදේශය වැඩසටහනට ඉදිරිපත් වෙන්න කියලා.. කතා කරල මගෙන් ඇහුව ඔබතුමා ගීතයේ ස්වාමීත්වය ගැන මොකද කියන්නෙ කියලා...මම කෙලින්ම කීවා මේක තනි කෙනෙකුට අයිතියක් නෑ මේක තුන්දෙනාගෙම උත්සාහයක්. හැකියාවක්. අනිත් දෙන්නට ආලෝකයක් දෙන විදියට ගයපු නිසා තමයි ඒ දෙන්නටත් ආලෝකයක් ආවේ.

මේ ලඟදී මට කීව xxxxxxx   කියන නමත් පාවිච්චි කරන්න එපා කියලා. xxxxxx කියන එක සිංහළ භාෂාවේ වචනයක්. ඒක කාටවත් අයිති නැහැනෙ. මම ගයපු හැම ගීතයක්ම ගීත රචකයාට මම ගරු කරනවා. xxxxxxx ගීතයට අත තිබ්බෙ නෑ කවුරුවත්.

මම තව එකක් කියන්නම්. ඔය රිගින් ටෝන් සංකල්පය ආපු අළුත ඉස්සෙල්ලම මගෙන් ඇහුවෙ එතන හිටිය මම අදුරන පානදුර පැත්තෙ කැලිප්සෝ එහෙම වාදනය කරන මනුස්සයෙක්. එයා තමයි මාව කැඳෙව්වෙ. එයා මට කීව අපේ ආයතනය තීරණය කරල තියනව ඔබ තුමාගෙ xxxxxx  වැනි ගීත අරගෙන අපි රිගින් ටෝන් වලට දාන්න. මාත් එක්ක පැයක් විතර කතා කලා. කොච්චර මුදල් අවශ්‍යය ද කියල මගෙන් ඇහුවා. මම මේ කියන්නෙ අවුරුදු 10 කට 12 කට විතර කලින්.

මම කීව මට ඕකට එකඟ වෙන්න බෑ. මේක තුන් දෙනෙකුට අයිති නිර්මාණයක්. අනිත් දෙන්නත් දැනුවත් කරල කියන්නම් මට අවශ්‍ය ගාන කියලා.

මේගොල්ලො ලීව නිසා නෙවෙයි ඕක මිනිස්සු අහන්නෙ මම හරියට කීව නිසා. පැහැදිලිම සත්‍යය ඒකයි. අද බලන්න පත්තරේක කවියක් තිබුනට කවුද ඒක කියවන්නෙ. හොඳ උගත්කමක් තියන ඒකෙ රස අඳුනන කෙනෙක් විතරයි ඒක කියවන්නෙ. ගීතයක් ලීවම සංගීතයක් දවටලා තමයි අස්සවන්නෙ. ඊට පස්සෙ තමයි කවුද සිංග් කරන්නෙ කියල අහන්නෙ. එතකන් මිනිසුන්ට ඒක වැදගත් නෑ. ඒකෙන්ම තේරෙනව අපි තමයි මේකෙ නියම අයිතිකාරයෝ. කවුද ඔය නීතිය හැදුවෙ..! 

ප්‍රශ්නය: විවිධ සමාගම් අටවාගනිමින් මේ ගීත සොරකම කරන පුද්ගලයනුත් හෙළි කල යුතුයි කියන මතයේ තමයි අපි ඉන්නේ?

පිළිතුර: වැරැද්ද කරන්නෙ මේ ජංගම දුරකථන ආයතන. අපේ කලාකාරයෝ හෑල්ලුවට ලක් කිරීමක් ඒගොල්ලො කරන්නෙ. කෙනෙකුට දැනෙන්න සිංදුවක් කියන එක හරි අමාරු වැඩක්. ඒක හෑල්ලුවට ලක් කරනව මේගොල්ලො. කිසි බලයක් නැතුව කෝටිගනන් හම්බ කරනව මේගොල්ලො. සත 5 ක් මේ වෙනකං කිසිම ආයතනයකින් මට ගෙවල නෑ. මම අරගෙනත් නෑ.

මම අඳුනන ලෝයර් කෙනෙක් ඉන්නවා. එයා මාව අරගෙන ගියා එක්තරා ආයතනයකට ගියාම ඒගොල්ලො බය උනා. ගිහිල්ල ඇහුව xxxxxx xxxxxx ගෙ සිංදු කොච්චර අරගෙන තියනවද කියලා සංඛ්‍යාලේඛන අපිට දුන්නා.

මගෙ xxxxx ගීතයෙන් පමණක් ඔවුන් ලක්ෂ 85 ක් හොයල තිබුනා. බලන්න කොච්චර අසාධාරණ ද කියලා. මගෙ ලෝයර් ඇහුව ඒ සල්ලි අපිට ගන්න බැරිද කියලා. ගන්න බෑ කීවා. අද ඉඳල ඒක කරල දෙන්නම් අලුත්ම නීතියේ හැටියට. කේස් එකක් ෆයිල් කලොත් ඒවත් ගෙවන්න වෙනවා. මම හොයල බැලුවා. අනිවාර්ය්‍යයෙන්ම ගෙවන්න ඕන. රුපියල් කෝටි ගානක් මට එන්න තියනව සල්ලි.


කුහක කම් ඉවර නැත. මතු සම්බන්ධයි.

ලිපි පෙළෙහි පෙර කොටස් පහතින් 
4.0 කපුගේ සමග සන්ෆ්ලවර්ස් - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව
3.0 සුනිල් පෙරේරා - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව 
2.0 නිහාල් නෙල්සන් - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව 

1.0 සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව

Sunday, October 8, 2017

කපුගේ සමග සන්ෆ්ලවර්ස් - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව - අංක 4

ලිපි පෙළෙහි පෙර කොටස් පහතින් 

ජිප්සීස් සංගීත කණ්ඩායම ප්‍රසිද්ධියේ උපරිමය වෙත ලඟා වන අවදිය වන විට ලංකාවේ පැවතියේ සංගීත කණඩායම් ඉතාමත් සුළු ගණනක් පමණි.එම කණඩායම් වල බටහිර සංගීතය විධිමත් ලෙස හදාරන ලද වාදකයන් සිටි අතර ඔවුන්  ලාංකික රසිකයාට සුමිහිරි ගීත පෙළක්ම දායාද කරදී තිබුණි. එම ගීත වලින්  බහුතරය ගුවන් විදුලියට ආගන්තුක විය. නමුත් ගීත රචකයා ගුවන් විදුලි කල්ලියට සම්බන්ධ අයෙකු වී නම් ගීතය ගුවන් විදුලිය ප්‍රචාරය වින. ඉතිරි ගීත අසන්නට ලැබුනේ එකල විරල වූ තැටි වාදන යන්ත්‍ර හිමිකරුවන් වූ යමක් කමක් ඇති පන්තියට පමණි. මෙය ශ්‍රී ලාංකික රසිකයාගේ රසඥතාව මොට කිරීමට හේතුවක් විය. ගම්වල තරුණ තරුණියන්ට ගුවන් විදුලි ඉන්දියානු කල්ලිය පමණක් වීරයන් විය. 

හැත්තෑ හතේ පෙරලියන් පසුව විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමගම සුවිසල් සමාජ, ආර්ථික මෙන්ම සංස්කෘතික  පෙරලියක් රට තුල  සිදුවිණ. රට වටා විවිධ පෙදෙස් වල නිදහස් වෙළෙඳ කලාප බිහි විය. ඒවා තුලට ග්‍රාමීය තරුණ තරුණියන් දස දහස් ගණනින් ගාල් කෙරිණ. ග්‍රාමීය වශයෙන් ඉහල මට්ටමක තිබුණු රැකියා විරහිතභාවය, කුල පීඩනය, දිළිඳුකම වැනි සාධක මත තරුණ තරුණියන් අවම පහසුකම් වලින් යුතු මේ වහල් කඳවුරු වෙත පැමිණියේ මුදල් මෙන්ම නිදහස් වාතාවරණයක් බලාපොරොත්තුවෙනි.

නිදහස් වෙළෙඳ කලාප වටා ඒවාටම අනන්‍ය වූ උප සංස්කෘතියක් ගොඩනැගිණ. ඒවාට පැමිණි තරුණ තරුණියන් ගම සහ නගරය යන දෙකටම අයත් නොවන සංස්කෘතියක අතරමං වී සිටියහ. මේ සංස්කෘතිය තුල එළිමහන් සංගීත සංදර්ශණ සුලභ විය. සමහර සති අන්තයන්හි  ප්‍රදේශයේ විවිධ ක්‍රීඩාංගන වල සංගීත ප්‍රසංග දෙක තුන පවත්වන තත්වයක් තිබිණ.

ජිප්සීස් කණ්ඩායමේ සාර්ථකත්වය සමගම පුරා බොහෝ සංගීත කණඩායම් බිහිවිය. ඉන් බොහොමයක් උපන්ගෙයිම මියැදුණු නමුදු කිහිපයක් පමණක් සාර්ථක විය. එළිමහන් සංගීත ප්‍රසංග වලට සංගීතය සැපයීම සඳහා උපරිම ඉල්ලුම තිබුණු කණ්ඩායම් අතර සන් ෆල්වර්ස් ඉහලින්ම සිටියේය. ගුවන් විදුලිය කේන්ද්‍ර කරගත් ඉන්දියානු ගුරු කුලය මුල් යුගයේදී එළිමහන් ප්‍රසංග වල ගීත ගායනයේ නොයෙදින. ඒවායේ ගායනයේ යෙදුනේ බටහිර ආරයේ ගීත ගායනා කරනා ලද ගුවන් විදුලි කල්ලියට පිටස්තර ගායක ගායිකාවන් පමණි. ප්‍රවීණ යයි කියාගන්නාලද ඉන්දියානු ගුරු කුලය මේ සංගීත කණ්ඩායම්  නිර්දය ලෙස විවේචන කරනා ලද්දේ ඒවා තුප්පහි සංගීත කණ්ඩායම් ලෙසින් හඳුන්වමිනි.

වෙළෙඳ කලාප වලට ග්‍රාමීය තරුණ පිරිස් පැමිණීමත් සමගම ඒවායේ ප්‍රසංග වලට ගමේදී ස්වකීය වීරයන් වූ ඉන්දියානු ගුරුකුලයේ ගායන ශිල්පීන්ට හොඳ ඉල්ලුමක් බිහිවිය. ආර්ථික අපහසුතා වලින් හෙම්බත්ව සිටි ඉන්දියානු ගුරුකුලයේ එකා දෙන්නා තමන්ට තිබුණ ඉල්ලුම සහ ලැබෙනා මුදල හේතුවෙන් තමන් කලින් විවේචනය කරනා ලද තුප්පහි සගීත කණඩායම් වල ටකරං සංගීතයට ගීත ගායනය ආරම්භ කලහ. ටික කලෙකින් ටකරං සංගීත කණ්ඩායම් සමග ගීත ගායනයේ නොයෙදුනේ වික්ටර් රත්නායක, නන්දා මාලනී වැනි ස්ථාවර ආර්ථික තත්වයක් ඒ වනවිටත් ගොඩනගාගෙන සිටි අල්පයක් පමණි. සවසට ටකරං කණ්ඩායම් වල ගායනයට වේදිකාවට නගින ඉන්දියානු ගුරුකුලයේ සමහරුන් දහවලට එම කණඩායම් විවේචනය කිරීම සුලභ විය. ඔවුනට පමණක් දොර හැරී තිබුණු පුවත්පත් ලිපි, ගුවන් විදුලි සහ රුපවාහිනී සාකච්චා වලදී ටකරං සංගීත කණඩායම් පතුරු හැරීම සඳහා කිසිදු හිරිකිතයක් මොවුනට නොවිණ.

ප්‍රසංග වේදිකාවේ ඉහල ඉල්ලුමක් තිබුණු ගුණදාස කපුගේ මේ අවදියේදී විප්ලවකාරී තීරණයක් ගත්තේය. ඒ සන්ෆල්වර්ස් සංගීතයට කැසට් පටයකට ගීත ගායනය කිරීමට ගන්නා ලද තීරණයයි. 

එම තීරණය දේශීය සංගීත ක්ෂේත්‍රයේ  විප්ලවයක්ම විය. කපුගේ එක රැයින් මාකට් විය. "සන්ෆ්ලවර්ස් සමග කපුගේ" කැසට් පට ලක්ෂ ගණනින් අලෙවි විය. බස් රථවල දීර්ඝ කාලයක් වාදනය වුයේ කපුගේ පමණි. 

සුපුරුදු ලෙසින්ම ඉන්දියානු ගුරුකුලයේ කුහකයෝ කපුගේට එරෙහිව අවි අමෝරා ගත්හ. කපුගේ වෙත කෙරුණු නිර්දය විවේචන වලින් පුවත් පත් පිටු පිරී ගියේය. ගුවන් විදුලි සහ රුපවාහිනී සාකච්චා වල කපුගේ නොමරා මැරූහ. එනමුදු සවසට සන්ෆ්ලවර්ස් වේදිකාවට ගොඩවුහ. 

ඒ වනවිට ආර්ථික අපහසුතා වලින් අන්ත අසරණ බවට පත්ව සිටි හෙන්රි කල්දේරා ද කපුගේ ගිය මගෙහි ඉතා ඉක්මනින් පා නැගුවේය. "සන්ෆ්ලවර්ස් සමග හෙන්රි කල්දේරා" ද සුවිසල් සාර්ථකත්වයක් ලබමින් ජනප්‍රිය විය. සන්ෆ්ලවර්ස් ද හරිහරියට මාකට් විය. සංගීත පුහුණුවීම් සඳහා වෙලාවක් නොමැති වූ සන්ෆ්ලවර්ස් සිය පුහුණුවීම් සිදුකරනා ලද්දේ නගරයෙන් නගරයට යන අතරතුර බස් රථයේ දී බව නීල් වර්ණකුලසුරිය පසුකලෙක කියා තිබිණ. 

ඉතා ටික කලෙකින් "සන්ෆ්ලවර්ස් රැල්ල" මාරුතයක් මෙන් ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රය පුරා හමා ගියේ ඉන්දියානු ගුරුකුලයේ බොහෝ දෙනෙකු සන්ෆ්ලවර්ස් කැසට් පටයේ ඔතා දමමිනි. ඔවුහු කිසිදු ලැජ්ජාවක් නොමැතිව තමන් විසින් නිර්දය විවේචනයට ලක් කරනා ලද නීල් වර්ණකුලසුරිය ප්‍රමුඛ සන්ෆ්ලවර්ස් ඉදිරියේ දණ නැමීය.

ඉන් වසර 10 ට පමණ පසුව ගුණදාස කපුගේ කියා තිබුනේ ඔහු සන්ෆ්ලවර්ස් කැසට් පටයට ගීත ගායනා කලේ සංගීත ක්ෂේත්‍රයේම මිතුරකුගේ ආර්ථික අවශ්‍යතාවකට පිහිට වීමට බවය. 

කුහක කම් ඉවර නැත. මතු සම්බන්ධයි.

ලිපි පෙළෙහි පෙර කොටස් පහතින් 

Friday, October 6, 2017

සුනිල් පෙරේරා - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව - අංක 03

ලිපි පෙළෙහි පෙර කොටස් පහතින් 
හැත්තෑව දශකයේ අග භාගයේදී ඉන්දියානු සංගීත ගුරු කුලය අමන මුග්ධයන් බව පසු කලෙක ලොවට හෙළිකළ තරුණයකු සිංහල සංගීත ක්ෂේත්‍රය ආක්‍රමණය කළේය. ඔහු සුනිල් පෙරේරා විය. ඉහල මධ්‍යම පන්තියට අයත් කර්මාන්ත කරුවකුගේ පුත්‍රයකු වූ හෙතෙම ඒ වන විට බටහිර සංගීතයේ නිපුනයකු විය. සුනිල් පෙරේරා සහ ඔහුගේ සහෝදරයන්ගෙන් සැදුම්ලත් ජිප්සීස් සංගීත කණ්ඩායම පොප්, කන්ට්‍රි, රොක්, රොක් ඇන්ඩ් රෝල් වැනි බොහෝ බටහිර ශෛලීන් මනාව ප්‍රගුණ කර තිබිණ. ශ්‍රී ලාංකීක පොප් සංගීතයේ ඥාණ පියා (God farther of Sri Lankan Pop) යනුවෙන් බටහිර ගීත රසිකයන් හඳුන්වන ලද රාජ් සෙනවිරත්න වැනි සංගීතඥයන් ඇසුරේ වූ සුනිල් පෙරේරා දක්ෂ වාදකයෙකු වූ අතරම රොක් ඌරුවට හැඩගැසුණු විශිස්ථ කටහඬක් ද ඔහුට විය.  

සුනිල් පෙරේරා සිංහල සංගීතය ආක්‍රමණය කරේ නැවුම් ආරකින් යුතු කුරුමිට්ටෝ ගීතය ඉදිරිපත් කරමිණි. එය මෙරට රසිකයන් ඉල්ලා සිටි ආකාරයේ ගීතයක් විය. සුනිල් පෙරේරා එක රැයකින් තරුවක් බවට පත්වී ඉහලින්ම මාකට් විය. තමාගේම සංගීත කණ්ඩායමක්, තමාගේම ශබ්දාගාරයක් සතුවූ ඔහු කැසට් පටි බෙදාහැරීම සඳහා තමාගේම සමාගමක්ද පිහිටුවූයේය. සුපුරුදු ලෙසින්ම ගුවන් විදුලිය අරක්ගෙන සිටි කුහක ඉන්දියානු ගුරු කුලය සුනිල් පෙරේරාගේ ගීත ගුවන් විදුලියට වැද්ද ගත්තේ වත් නැත. ඔහුගේ ජනප්‍රිය තාවය නොඉවසු කුහකයින් පුවත් පත් හරහා සුනිල් පෙරේරා වෙත නිර්දය විවේචන එල්ල කළහ. ඔහුගේ සංගීතය රටෙහි සංස්කෘතිය විනාශ කරනා බවට කෙස් පැලෙනා තර්ක ඉදිරිපත් කළහ. සුනිල් පෙරේරාගේ සංගීතය විවේචනයෙන් සෑහීමකට පත් නොවී ඔහුගේ කොණ්ඩය, බෙල් බොටම් කලිසම  පමණක් නොව කර බැඳී කුරුසිය පවා විවේචනය කළහ.

ගුවන් විදුලිය සුනිල් පෙරේරාගේ ගීත ප්‍රත්ක්ෂේප කරනා විට ඔහු කලේ ඉරිදා දහවල හොඳම ගුවන් කාලය මිලදී ගෙන තමන්ගේ ගීත ප්‍රචාරය කිරීමය. ඒ සඳහා ඔහුට ආර්ථික ශක්තියක් විය. මෙරට රසිකයින් ඒ වෙලාවට ගුවන් විදුලි යන්ත්‍ර වටකරගත්හ. ගුවන් විදුලියේ බමුණන් මේ වැඩසටහන නවතා දැමීමට නොයෙක් උත්සහ දැරුවද එයට නිමිත්තක් සොයා ගත නොහැකි විය. ජිප්සීස් ඉහලින්ම මාකට්වී සන්නාමයක් (Brand) බවට පත්විය.

සුනිල් පෙරේරාව පත්තර පිටු ගණන් විවේචනය කරනා ලද ඉන්දියානු ගුරු කුලය වෙත ඔහුට පහර දිය හැකි ඉහලම ආයුධයක් මගහැරී තිබිණ. මන්ද යත් සංගීත ඔස්තාර්ලා බව ලොවට පෙන්වාගෙන සිටි විවේචකයන් විශ්ව සංගීතය ගැන මෙලෝ හසරක් නොදත් ලිං මැඩියන් පිරිසක් වීම නිසාය. සුනිල් පෙරේරාගේ බොහෝ ගීත වල තනු බටහිර ගී තනුම විය. සමහර ගීත බටහිර ගීත වල සිංහල පරිවර්ථන විය. එකල පවා ඉංග්‍රීසි පුවත් පත් වල මේ බව කලාතුරකින් පල විය. නමුත් බහුතරයක් වූ විචාරකයින් ඉංග්‍රීසි නොදත් මැටි මොළුන් විය.

විවේචකයන් සිදු කලේ සංගීත විචාරයක් හෝ විවේචනයක්  නොව සුනිල් පෙරේරාගේ ප්‍රසිද්ධිය සමග එරියස් කවර කිරීමක් පමණක්ම විය. 

කුහක කම් ඉවර නැත. මතු සම්බන්ධයි.

ලිපි පෙළෙහි පෙර කොටස් පහතින් 

Thursday, October 5, 2017

සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව - අංක 02


ගුවන් විදුලියට තිබුණු ඒකාධිකාරිය බිඳ වැටෙන්නට පටන් ගත්තේ 77දී ආර්ථිකය විවෘත කිරීම තුල රට තුලට කැසට් පටි වාදන යන්ත්‍ර මහා පරිමාණයෙන් ගලාගෙන ඒමත් සමගය. මේ නිසා මෙරට රසිකයන් ඉල්ලා සිටි ආකාරයේ ගීත නිෂ්පාදනය සහ බෙදාහැරීම සඳහා බොහෝ නිෂ්පාදකයන් බිහිවුනි. මේ කාලයේදී ක්ලැරන්ස් විජයවර්ධන , මිල්ටන් මල්ලවආරච්චි , ප්‍රියා සුරියසේන ගායකයන් ගේ ගීත වැනි ගුවන් විදුලියේ මුළුමනින් වාරනය් නොවුනද වාදනය් වුයේ ඉතාමත් කලාතුරකින්. ඔවුන් එකල ජනප්‍රිය ලොව පුරා ජනප්‍රිය පොප් ශෛලිය මෙන්ම කන්ට්‍රි ශෛලියේ ගීත නිර්මාණ රසිකයාට පිරිනමමින් සිටියහ. නමුත් ඔවුන්ගේ විශිෂ්ඨ නිර්මාණ ගුවන් විදුලිය අරක්ගෙන සිටි ඉන්දියානු ගුරු කුලයේ ගෙවලයන්ට වහ කදුරු මෙන් විය. 

ජනතාව චිත්‍රපට ගීත හරහා වැළඳගෙන සිටි ජෝතිපාල වැඩියෙන්ම විවේචනයට භාජනය විය. ඉන්දියානු ගුරුකුලයට අනුව ජෝතිපාල පීචං ගායකයකු විය. ජෝතිපාලගේ ගීතවල පද රචනා ඉතාමත් විශිෂ්ඨ මට්ටමේ පැවතුනද, ඔහු ගායන කුසලතාවෙන් අනුන වුවද දැඩි විවේචනයකට භාජනය විය. පුවත් පත් හරහා ඉන්දීය ගුරු කුලය ඔහුව විවේචනය කර විනාශ කරන්නට තැතනුවද ජෝතිපාල වඩාත ජනතාවට ආකර්ෂණය විය. නමුත් පුවත්පත් හරහා කරනා ලද  විවේචන තුලින්  රටේ පුවත්පත් කියවන ඉහල මධ්‍යම පන්තියෙන් ජෝතිපාලව ඈත කරන්නට මේ කුහකයනට  අවකාශ ලැබිණ. 

මේ කාලයේදී තවත් ගායකයකු රටේ සංගීත ක්ෂේත්‍රය සිය ග්‍රහණයට යටත් කරගනිමින් සිටියේය. ඔහු ගුවන් විදුලිය තුලින්ම බිහිවූ විශිෂ්ඨ ගනයේ කට හඬකින් යුතුවූ නිහාල් නෙල්සන්ය. "ලස්සනට පිපුණු වනමල්" තුලින් ගායන ක්ෂේත්‍රයට පිවිසි නිහාල් නෙල්සන්ට ගුවන් විදුලිය තුල අනාගතයක් නොවිණ. ඔහුගේ ගායන කුසලතාවේ ප්‍රභාවය රටෙහි සමස්ථ රසිකයා වෙත ගෙනයාමේ මග ගුවන් විදුලියේ කුහකයන් අසුරා දැමීම තුල නිහාල් නෙල්සන් "ගුණේ අයියගේ බජව් දාන කාමරේ" ට තල්ලු විය. ලාකීක රසිකයාට වඩාත්ම දැනෙන සික්ස් එයිට් (6/8) ස්පන්ධන රටාව (Beat) නිහාල් නෙල්සන් අති විශිස්ථ ලෙසින් හසුරුවාලීය. නමුත් ඔහුට ගීත ලියාදීමට ප්‍රබුද්ධ කුහකයින් ඉදිරිපත් නොවීය. කෙසේ වෙතත් ප්‍රබුද්ධ යැයි කියා ගන්නාලද ඉන්දියානු කුහක ගුරු කුලය ගුවන් විදුලියේ කුරු කුරු ගානා අතරතුරදී  නිහාල් නෙල්සන්ගේ ගීත අඩංගු කැසට් පට අලෙවි වාර්තා බිඳ හෙලමින් දස දහස් ගණනින් අලෙවි වින. ඊර්ශ්‍යා පරවේශ වූ ගුවන් විදුලි ඔස්තාර්ලා විසින්  ඔහුව "බයිලාකාරයකු"  වශයෙන් ලේබලයක් අලවා අවතක්සේරු කර දැමීය. නමුත් මේ ලේබලය ඇලවූ කුහක විචාරකයින්ට  බයිලා සහ සික්ස් එයිට් සංගීත රටාව පිලිබඳ කිසිදු දැනුවත් කමක් තිබු බවක් පෙනෙන්නට නැත. ඔවුහු එකෙකුවත් ලෝක සංගීතය රස විඳ නැති ඉන්දියානු ලිං මැඩියන් පමණක්ම විය. ඔවුන්  නිහාල් නෙල්සන්ගේ කුසලතාව සම්බන්ධව නොව ඔහුගේ ජනප්‍රියතාව සමග විශාල එරියස් එකක් කවර් කරමින් සිටියහ.

කුහක කම් ඉවර නැත. මතු සම්බන්ධයි.

Wednesday, October 4, 2017

සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව - අංක 01

නිර්මාණ කරුවකු කලා නිර්මාණයක් කරන්නේ රසිකයන් ගේ රසවින්දනය පිණිසය. සිය රසිකයන් තමන්ගේ නිර්මාණය රස විඳීම කලා කරුවා ලබනා ඉහලම සංතෘෂ්ටිය වේ. ගීතයක්, කවියක්, චිත්‍රයක්, නවකතාවක්, චිත්‍රපටයක්, නාට්‍යයක්  වැනි ඕනෑම නිර්මාණයක් සඳහා එය පොදු සාධකයකි. 

සන්නිවේදන තාක්ෂනයේ දියුණුවක් නොතිබුන පෙර කලා නිර්මාණයක්  රසිකයා අතරට ගෙන යාම විශාල අභියෝගයක් විය. මේ හේතුවෙන් එකල නිර්මාණයක් ජනගත කිරීම සඳහා විශාල සිවිල් බලයක් අවශ්‍ය විය. සිවිල් බලය නොතිබුණු කලාකරුවා කෙතරම් දක්ෂ නිර්මාපකයෙකු වුවද ඔහුගේ නිර්මාණ ජනගත නොවින.

මේ සිවිල් බලය කුමන ක්‍රමයකින් හෝ ගොඩනගා ගත් කලාකරුවන් තම සිවිල් බලය රැක ගැනීම සඳහා විවිධ උපක්‍රම යොදා ගත්හ.  සමහරුන් ගුරු පරම්පරා ඇතිකර ගනිමින්ද, ගුරු මුෂ්ඨි රැක ගනිමින් නිර්මාණ කරණය සාමාන්‍ය ජනතාව අතරට යාම වලක්වා තිබෙනු දකින්නට පුළුවන් විණ. 

අප රටෙහි සංගීතය මේ ගුරු කුළ වෙතින් බෙහෙවින් පීඩාවට පත් වූ කලා ක්ෂේත්‍රයකි. එය තනිකරම ඉන්දියානු සංගීතය උගත් පිරිසකගේ ග්‍රහණයට යටත්ව පැවතින. එකල ගීතයක් ජනගත කිරීම සඳහා තිබු එකම මාධ්‍යය ගුවන් විදුලිය පමණි. ගුවන් විදුලි සංස්ථාව අරක්ගෙන තිබු ඉන්දීය ගුරු කුල බහිරවයන් අලුත් ගායකයකුට හෝ සංගීතඥයකුට සංස්ථා භුමියේ පස් පාගන්නට නොදුන්හ. අපහසුවෙන් හෝ අලුත් මුහුණක් මතුවූ විටෙකදී ඔවුන්ගේ තැටි සුරා විනාශ කර දැමූහ. අලුත් සංගීත ශෛලීන්ට  කිසි විටෙකත් ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සේවාවන් සඳහා දොර ඇරුනේ නැත. 

ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය තනිකර ඉන්දියානු සංගීතය ගුවන් ගත කරමින් සිටින්නේ වුවද, රටේ රසිකයා ඉල්ලා සිටියේ වෙනත් ආරක ගීතයන්ය. මේ සියලු බාදක මධ්‍යයේ සී ටී ප්‍රනාන්දු ගේ ගීත රටෙහි බෙහෙවින් ජනප්‍රිය වින. දේශීය බමුණු කුලයේ කුහකයින් ගුවන් විදුලි සංස්ථාවේ ශබ්දාගාර තුල සිල්ලර තාක්ෂනය යොදා ගීත තැටි ගත කරනා විට  සී ටී ප්‍රනාන්දු ගීත තැටිගත කරනා ලද්දේ එකල උපරිම තාක්ෂණය තිබුනු ලන්ඩනයේ  ‘හිස් මාස්ටර්ස් වොයිස්’ (HMV) සහ  ‘ෆිලිප්ස්’ (Phillips) වැනි ශබ්දාගාරවල මැදිරි තුලය. ඊනියා ඉන්දීය ගුරු කුලයේ සංගීත කරුවන් ටබ්ලාවෙන් බේස් හඬ නගනා විට සී ටී ප්‍රනාන්දුගේ ගීත "ඩබල් බේස්" යොදවාගෙන මියුරු සංගීතයක් රසිකයනට දායාද කළහ. ඔහුගේ මුල් පටිගත කිරීම් අදටත් ඉහලම තත්වයෙන් පවතියි.  නමුත් සී ටී ගේ ගීත, ගුවන් විදුලියේ සිංහල සේවාවන් අරක් ගත් කුහකයන් විසින් ප්‍රචාරය කිරීම වැලක්වුහ. ඩබ්ලිව්. ඩී. අමරදේව සහ එච්. ඩබ්ලිව්. රූපසිංහ එක්ව හඬ ශ්‍රේණිගත කිරීම් වලින් සීටී ව අසමත් කළහ. තවත් අය ඔහුගේ තැටි හරහා ඉරි ඇඳ විනාශ කළහ. 

සිංහල (ඉන්දියානු) බමුණන් කෙතෙක් අකටයුතු කම් කළේ වුවද සීටී ප්‍රනාන්දු මාකට් විය. එලෙස මාකට් වුයේ එකම එක ප්‍රධාන කරුණක් නිසාවෙනි. එනම්  එකල ලොව පුරා පැතිර යමින් තිබුන "පොප්" සංගීතය සිංහල ගීත රසිකයා වෙත ගෙන ඒමයි. අමතරව සීටී ගේ ගී තැටි වල සංගීතයේ තිබු ඉහල ගුණාත්මක භාවයක් නැතහොත් කොලිටියක් පැවතීම ද කොළඹ සමාජය තුල මාකට් වීමට අමතර හේතුවක් වන්නට ඇත. 

කුහක කම් ඉවර නැත. මතු සම්බන්ධයි.

Saturday, September 30, 2017

සිංහල ම්ලෙච්ඡයෝ

අපගේ රැකියා ස්වභාවයට අනුව නිරතුරුවම විවිධ රටවලට සහ ජාතීනට අයත් විදේශිකන් හමුවෙති. ඔවුහු ඉංග්‍රීසියෙන් Good Morning,  Good Evening නැතහොත් Hello යනුවෙන් මුල් සුභ පැතුම පිරිනමනා විට අප හුරුවී සිටිනුයේ දෑත් වැඳ හෝ අතට අත දී "ආයුබෝවන්" කියමින් සුභ පැතීමටය. එවිට බොහෝ විදේශිකයින් වචනයේ තේරුම අසති.  වචනයේ තේරුම "ඔබට දීර්ඝායු වේවා" යයි දැනගන්නා ඔවුහු අප සමග සාකච්චාව අරඹන්නේම පැහැදීමකිනි.  

අනතුරුව අපගේ නාම පත්‍රය (Visiting Card) බලා නම වැරදියට උච්චාරණය කරනා විට අප එය නිවැරදි කරමු. අනතුරුව අපගේ භාෂාවේ අකුරු 60 කින් යුත් හෝඩිය තුල විවිධ ශබ්ධ 1064ක් සඳහා වෙනස් ලෙසින් ලිවිය හැකි බව පවසන විට ඔවුහු පුදුම වෙති. ටික වේලාවකදී අපගේ සංස්කෘතිය ගැන පැහැදෙන ඔවුහු අප රට පිලිබඳ ඉතාමත් ප්‍රසන්න ආකල්පයක් ඇතිකර ගනිති. අපගේ මිතුරන් බවට පත්වෙති.

මෙලෙස හඳුනාගත්, අප රටහි සංස්කෘතිය පිළිබඳව ඉතාමත් යහපත් ආකල්පයකින් යුතු වූ ජපන් ජාතික මිතුරියක් පසුගිය දිනෙක අසනා ලද ප්‍රශ්නයකින් මා ඉතාමත් අපහසුතාවට පත්වුනෙමි. සිංහල බෞද්ධයන් ම්ලෙච්ඡයන් පිරිසක් වන්නේද යන්න ඇය අසා සිටියාය. රොහින්ග්‍යා සරනාගතයනට එල්ල කළ විරෝධය මාධ්‍ය මගින් ජපානය කරා ගොසින් ඇත්තේ එලෙසිනි. බෞද්ධ කාන්තාවක් වන ඇය අපගේ භික්ෂුන්ගේ හැසිරීම පිලිබඳ පුදුමය පල කළාය. සිද්ධිය සම්බන්ධව ඇය දැක ඇත්තේ ඡායාරුප පමණකි. වීඩියෝ දර්ශණ දුටුවේ නම් කුමක් කියනු ඇතිද? මෙය සිංහල බෞද්ධයන්ගේ ක්‍රියාවක් නොව ජාතිවාදී උන්මත්තකයන් කිහිපදෙනෙකුගේ  ක්‍රියාවක් බව ඇයට ඒත්තු ගන්වන්නට සැහෙන වෙහෙසක් දරන්නට සිදුවිණ. ඇය නැවත නැවතත් අසා සිටියේ භික්ෂුන්ගේ හැසිරීම පිලිබඳවය. 

මේ සිද්ධිය පිටුපස ඇතියි කියවෙන පොලිස් නිලධාරියකු විසින් සරණාගත තරුණියක දුෂණය කිරීමේ චෝදනාව විදෙස් මාධ්‍ය තුල එතරම් ඉස්මතු නොවීම ලොකු දෙයකි. නැතිනම් ස්ත්‍රී දුෂකයන් වෙනුවෙන් භික්ෂුන් පෙනී සිටිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනු ඇත.

මේ 1983 නොවන බව අප අමතක නොකළ යුතුය. සන්නිවේදන තාක්ෂණයේ සහ අන්තර්ජාලයේ දියුණුවත් සමග පුවත් සැනෙකින් ලොව පුරා පැතිර යයි. අනෙක් අතට මානව හිමිකම් සහ මානව හිතවාදය පිළිබඳව ලොව පුරාම විශාල උනන්දුවක් පවතියි. 83 කළු ජූලියේදී අහිංසක දෙමළ මිනිසුන් ගිනි දැල් වලට විසිකර මරා දැමූ ආකාරයට දැන් කටයුතු කල නොහැක. 

මේ වන විටත් රෝහින්ග්‍යා සරණාගතයන් පිරිසකට ගල්කිස්සේ දී ඉකුත්දා සිදුවූ හිංසනකාරී සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ  මහකොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක් කර ඇති බවට වාර්තා වේ. 

නමුත් ජාතිවාදය ජීවිකාව කරගත් පිරිසට රටෙහි කීර්ති නාමය පිලිබඳ කිසිදු වගක් නැත. සමස්ථ සිංහලයන් අතරින් ඉතාමත් සුළු පිරිසක් වන ජාතිවාදී ම්ලෙච්ඡයන් පිරිස මර්ධනය නොකළහොත් රටහි ප්‍රතිරූපයට ඇතිවන  ඇතිවන හානිදායක තත්වය නායකයන් තේරුම් ගත යුතුය. 

Thursday, September 21, 2017

බුදු සසුනට වින කටින්නේ අන්‍ය ආගමිකයන් නොවේ.

ශ්‍රී ලංකාවේ පවතින සංස්කෘතික සහ සාමාජීය ව්‍යුහය බුදු දහම මුලික කරගෙන ගොඩ නැගී ඇත. සිංහල බෞද්ධයා පමණක් නොව සිංහල කතෝලිකයාද සිය පැවැත්ම තුල පෙන්නුම් කරනුයේ බුදු දහමේ ආභාශයයි. අප වෙත කතෝලික දහම පැමිණි යුරෝපීය සමාජයේ සංස්කෘතියට වඩා හාත්පසින් වෙනස් සංස්කෘතියක් සිංහල කතෝලිකයාට ඇත. සමහරක් චාර්යා රටාවන් වෙනස් වුවද ප්‍රධාන වශයෙන් කතෝලිකයා වෙත පවතිනුයේ බෞද්ධ සංස්කෘතිය වෙතින් ශික්ෂණය වූ පවුල මුලික සංස්කෘතියකි. මේ අනුව ගත් කල මුළු රටේම සංස්කෘතිය පදනම් වන්නේ බුදු දහම කේන්ද්‍ර කරගෙන බව පෙනෙයි.

නමුත් මේ වන විට දේශීය සංස්කෘතියේ  බෞද්ධ පදනම වෙත එල්ල වී ඇති තර්ජනය ඇති මහත්ය. නිදහසින් පසුව මෙරට තුල ඇතිවූ ඊනියා බෞද්ධ ප්‍රබෝධය අවසානයේ මාරක ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ රටේ බෞද්ධ සංස්කෘතියට ය. ශ්‍රී ලංකාව බ්‍රිතාන්යෙන් නිදහස ලැබීමෙන් අනතුරුව බල ලෝභී දේශපාලන නායකයන් රොත්තකගේ ග්‍රහණයට හසුවිය. මේ ඊනියා නායකයින්  බලයට පැමිණීම සඳහා මෙරට පවතින බෞද්ධ පදනම නින්දිත ලෙසින් ගණිකා වෘතියේ යෙදවූ බව මෑත ඉතිහාසය අධ්‍යනය කරනා විට හොඳින්ම පෙනී යයි. බලලෝභී නායකයන් විසින් බෞද්ධ සමාජය ප්‍රධාන අවස්ථා හතරකදී දරුණු පිරිහීමකට ලක් කර ඇත.

1. බණ්ඩාරනායක විසින් බලයට පැමිණීම සඳහා පංච මහා බලවේගය නම්වූ සන්නාමය යටතේ සංඝ සමාජය අලෙවිකරණය සඳහා යොදවා ගැනීම.
2. භික්ෂු විනයට කෙලෙසකින්වත් නොගැලපෙන ලෙසින් දේශපාලන පක්ෂයක් අටවාගෙන ඡන්ද අපේක්‌ෂකයන් ලෙස භික්‌ෂූන් 260 ක්‌ පමණ මැතිවරණයට තරඟ කරවීම 
3. ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ප්‍රමුඛ මැර කල්ලියකට දේශපාලන අනුග්‍රහය ලබාදීමෙන් රටේ සුලු ජාතික කණ්ඩායම් පීඩනයට  කිරීම.
4. දේශපාලන නායකයින් විසින් අමු අමුවේ සිදු කරනා ලද චන්ද දුෂණ සහ මුල්‍ය අවභාවිතාවන් නිසා අධිකරණයෙන් වරදකරුවන් කරනාලද නිලධාරීන් වෙනුවෙන් පෙනීසිටීමට සංඝයා වහන්සේලා යොමු කරවා සංඝ සමාජය අවඥාවට ලක් කිරීම 

සිල් රෙදි වංචාව නිසා සිරගතවුවන් වෙනුවෙන් සංඝයා වහන්සේලා පාරට ඇද දමනා ලද දේශපාලන නායකයින් විසින් රටේ බෞද්ධ පදනමට ඇති කර තිබෙනා හානිය සුළුපටු නොවෙයි. මේ හේතුවෙන් වර්තමානයේදී, බුදු සසුනේ මුර දේවතාවුන් වන සංඝයා වහන් සේලා වෙත සමාජයෙන් විශාල විරෝධතාවයක් එල්ල වී ඇති බව පෙනෙන්නට තිබේ. එම විරෝධතාවයේ පරිමාණය සමාජ ජාලා වෙත යොමු කරනු ලබන ලිපි සහ චායා රුප ආශ්‍රිත නිර්මාණ තුලින් මොනවට පෙන්නුම් කෙරෙයි. සංඝ සමාජය වෙත විරෝධතාවය දක්වන්නන්  අතර අන්‍යාගමික පිරිස් අවම වන  අතර එහි මුලටම සිටිනුයේ බෞද්ධ පිරිස්ය.  තවද උපතින් බෞද්ධ නමුත් මේ වනවිට නිරාගමිකයන බවට හැරී සිටිනා  සෑහෙන පිරිසක් ද වෙති.

සිය දුෂණ වසා ගැනීමට අද දින  සංඝයා වහන්සේලා මහමගට ඇද දමනා ලද පිරිස විසින්ම සිය දේශපාලන යාන්ත්‍රණයට එරෙහි වූ සංඝයා වහන්සේලාට එලව එලවා පහර දුන් ආකාරය මතක් කර දීම වටියි. 2004 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව කථානායක තේරීමේ චන්ද විමසීමේදී විරුද්ධ පාක්ෂික අපේක්ෂකයා වූ වී ජ මු ලොකුබණ්ඩාර දිනවීමට කටුයතු කරනා ලද එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වූ සංඝයා වහන්සේලාට පහරදී ඉන් දෙනමකගේ රහසඟ මිරිකා රෝහල් ගතවන තත්වයට පත් කරනා ලද්දේ මේ පිරිස විසින්මය. ඉනිඳු  නොනැවතී රට පුරා සංඝයා වහන්සේලාට  හක් බෙල්ලන්, හක්කු, සිප්පි යනුවෙන් අවමන් කරමින් පෝස්ටර් අලවන ලද්දේද මේ පිරිසමය.  

මේවා සිදුකරනා ලද්දේ බෞද්ධයන් වෙනුවෙන් දිවිහිමියෙන් පෙනී සිටිනා බව සැමවිට කෑමොර දෙන දේපාලන නායකයන් මිස අන්‍යාගමික පිරිස් නොවෙති.  

Sunday, September 17, 2017

පිණ්ඩපාතයේ වැඩමකර ලක්ෂ එක්දහස් හතළිහක් සෙවිය හැකිද?

සිල් රෙදි වංචා කරුවනට අධිකරණය නියෝග කරනා ලද දඩ මුදල මේ වනවිට දේශපාලනික අවස්ථාවාදීනට කදිම දඩ බිමක් නිර්මාණය කර දී ඇත. තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් රාජ්‍ය මුදල් අවභාවිතාවට හවුල්වී සිර දඬුවම් ලබන්නාවූ රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටීම කල යුත්තේ ඔවුන් දඬුවම් ලැබීමට පසුව නොවේ. සත්‍ය වශයෙන්ම ඔවුන් ගැන කැක්කුමක් තිබුනේ නම් නඩුව විභාග කරනා අවස්ථාවේදී අදාළ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටීමේ අවකාශය උදක්ම තිබිණ. නමුත් කලබලවී ඇත්තේ දඬුවම් ලැබීමෙන් අනතුරුව වීම විහිළුවකි.

ලබාදී ඇති දඩ මුදලද ලේසි පහසු එකක් නොවේ. එක අයෙකුට රුපියල් ලක්ෂ 520කි ඉහලම මට්ටමේ රාජ්‍ය නිලධාරියෙකුගේ වැටුප රුපියල් ලක්ෂයකට ආසන්න ගණනකි. ඒ අනුව ගන්නා කල දඩ මුදල වසර 43 ක සම්පුර්ණ වැටුපට සමානය. මෙවන් මුදලක් ගෙවීම දුෂිතයකු නොවනා රාජ්‍ය නිලධාරියකුට සිහිනයක්ම පමණි. අදාළ නිලධාරීන් දුෂණයට පොළඹවන ලද දේශපාලන අධිකාරීනට තමන්ගේ බැංකු ගිනුමින් මේ මුදල ගෙවීමට හැකියාවක් සමහර විට තිබිය හැක. නමුන් එය ගෙවා දැමීම සියතින් වල කපා ගැනීමකි. මන්ද යත් ඔවුන්ගේද නීත්‍යානුකුල ආදායම තුලින් අදාළ මුදල ගෙවීම කෙලෙසකින් වත් සාධාරණීකරණය කල නොහැකි බැවිනි. මුදල ගෙවා දමන්නේ නම් ආදායම ලැබුණු ආකාරය ද  යුතු වන්නේය. පසුගිය රජය සමයේ වරප්‍රසාද ලද ඉහල ආදායම් සහිත ව්‍යාපාරිකයන් ද තමන්ගේ රහසිගත දේශපාලන සම්බන්ධතා එළිදරව් වන බියෙන් මුදල් ලබා දීමට ඉදිරිපත් නොවනු ඇත.

එසේනම් මේ මුදල ගෙවා දැමීමට ඇති එකම ක්‍රමය වන්නේ හිඟන විජ්ජාවය. රට වටේ කැට හොල්ලා මුදල් ලැබුණු බව ප්‍රකාශ කර තමන්ගේ කළු සල්ලි වලින් මුදල ගෙවා දැමීමය. එයද හිතනා තරම් පහසු කාරණයක් නොවන්නේ මේ වෙනුවෙන් ස්වෙච්චා සේවකයන් සොයා ගැනීමේ අපහසුතාවයයි. රැස්වීමකට සහභාගී වන්නට බත් පැකට්ටුව, අරක්කු කාල සහ රුපියල් දාහක් බලාපොරොත්තු වන පාක්ෂිකයන් අතරින් කැට හොල්ලන්නට පිරිස එකතු කර ගතහොත් සිදුවනුයේ කැට අතුරුදහන් වීම පමණි.

ඉහත කාරනා නිසා හිඟන විජ්ජාව ක්‍රියාත්මක කිරීමට යොදාගෙන ඇත්තේ සංඝයා වහන්සේලා වය. උන්වහන්සේලා පිණ්ඩපාතේ වැඩම කර පළමු දිනයේදී රුපියල් එක්ලක්ෂ නවදහස් එකසිය දහයක (රු. 109,110) මුදලක් එකතු කර ගන්නා ලද බව අන්තර්ජාලයේ විවිධ තැන්හි වාර්තා වෙයි. මේ මුදල ගෙවීමට ඇති දඩ මුදල හා සසඳන කල ඉතාමත් සුළු මුදලකි. මේ ආකාරයට මුළු දඩ මුදල් ගෙවීමට නම් එක දිගට දින 953 නැතහොත් වසර දෙකකුත් මාස හතක කාලයක් පිණ්ඩපාතේ වැඩම කිරීමට සිදුවනු ඇත. 

Monday, September 11, 2017

අනුනට සාර්ථකත්වය උගන්වන වංචනිකයන් - 1

යුග ගණනාවක් පුරා සිය මුලික අවශ්‍යතා සපුරාගෙන සරලව දිවි ගෙවූ මිනිසා සංකීර්ණ ජීවන රටාවකට යොමු වුයේ කාර්මික විපලවයෙන් පසුවය. කාර්මික විප්ලවය මිනිසා වෙත බොහෝ පාරිභෝගික භාන්ඩ රැගෙන  ආවේය. මේ පාරිභෝගික භාන්ඩ වෙත ලොල් වූ මිනිසා ඒවා හැකි තරමක් තමන් සතු කරගැනීමට තරඟයකට එළඹුණි. එයටම සමගාමීව වැඩවසම් ක්‍රමය සහ රාජාණ්ඩු ක්‍රමය බිඳ වැටීම තුල මිනිසාට විශාල නිදහසක්ද ලැබුනේය. 

මේ නිදහස් වාතාවරණය තුල සමාජයේ ඕනෑම සාමාජිකයකුට සිය වෙහෙස මගින් ඉහලට ගමන් කිරීමට අවකාශ ලැබිණ. ඉන් ඉක්බිතිව මිනිසා තුල එකිනෙකා පරදවා ඉහලට නැගීමේ ආශාව ඇතිවිය. වැඩි භෞතික වස්තුන් රැස් කරගන්නා පුද්ගලයා සාර්ථක පුද්ගලයකු වශයෙන් හැඳින්වින.මේ නිසා සෑම දෙනාම සාර්ථකත්වය සොයා තරඟයකට පිළිපන්නේය.

තරඟය ඉතාමත් දරුණු එකක් විය. සුළු පිරිසක් තරඟය ජය ගන්නා විට අති බහුතරයක් දෙනා පරාජිතයන් බවට පත් වුහ. නමුත් තවමත් පරාජිතයා තුල තරඟය ජයගන්නා අරමුණ පැවතිණ. 

මෙයින් ඇති කරනා ලද  රික්තය තුල පරාජිතයන් සඳහා සාර්ථකත්වයට මාවත දේශනා කරනා සාස්තෘවරු බිහි විය. ඔවුන් අසාර්ථක මිනිසුනට සාර්ථකත්වයට මග දේශනා කළහ. වඩාත්ම සිත් ගන්නා සුළු කාරණය නම මේ සාස්තෘවරුන් ගෙන් බොහොමයක් දෙනා සාර්ථකත්වය දේශනා කිරීම පටන් ගන්නා අවධිය වන විට බෙහෙවින්ම අසාර්ථක මිනිසුන් වීමය. මිනිසා තුල පවතින සාර්ථකත්වයට ඇති ලෝභය නැතහොත් කෑදරකම මේ සාස්තෘවරුන් මහා ධනවතුන් බවට පත්කරලීය.

උදාහරණයක් වශයෙන් කිවහොත් දියුණුවේ රන් දොරටුව නමින් සිංහලට පරිවර්තනය කරනා ලද Law of Success කෘතියේ සම්පාදකවරයා වන නැපෝලියන් හිල් යනු එම පොත් පෙළ ලියනා අවදිය වන විට කිහිප වතාවක් බංකොලොත් වූ පුද්ගලයෙකි. මුල්‍ය වංචා වලට හසුවූ අයෙකි. නිසි අධ්‍යාපනය හෝ අවසරය නොමැතිව නීතිඥයකු ලෙසින් පෙනී සිටි වංචනිකයෙකි. සිය ජීවිත කාලය තුල තෙවරක් දික්කසාද වූ අයෙකි. නමුත් ඔහු විසින් සාර්ථකත්වය ගැන ලියනා ලද විවිධ පොත් මිලියන 20ත් 50ත් අතර ප්‍රමාණයයන ගෙන් විකිණීමෙන් අලෙවි වාර්ථා තබා ඇත.

සාර්ථකත්වය ගැන දේශනා පවත්වන බොහෝ දෙනෙකුගේ චරිතාපදාන නැපෝලියන් හිල් ට වෙනස් වනුයේ ඉතාමත් සුළු වශයෙනි.

සාර්ථකත්ව සාස්තෘන්ගේ පොත් කියවීමෙන් හෝ දේශනා වලට සවන් දීමෙන් සාර්ථකත්වයට පත්වූ අය ගැන දැනගන්නට නම් නැත. නමුත් දේශකයන් මහා ධනවතුන් වූ  බවට නම් කොතෙකුත් වාර්ථා ඇත. මේ පොත් වලින් මිලියන ගණනක් මිනිසුන් සුරංගනා කතා තුල අතරමං කර දමා ඇත. මිලියන ගණනක් ශ්‍රාවකයන් සහ පාඨකයන් මේ වංචනිකයන් ගේ තවත් වංචාවකට නොදැනුවත්වම සිය මුදල් පුජා කර ඇත.

"සාර්ථකත්වයට ඇති හොඳම මාර්ගය අනුන්ට සාර්ථකත්වයට මාර්ගය ඉගැන්වීමය"