Saturday, March 7, 2015

සංගීත චාරිකාවක් 30 - ABBA හතරවන කොටස - ඇබා කණ්ඩායමේ ගොඩනැගීම


දම්පාට දේදුන්න ලියන්න අතපසු උන පසුගිය කාලය පුරාවටම බ්ලොග් ලොව මිතුරු කැල නැවත ලියන්න බෙහෙවින් උනන්දු කළා. සිංහල බ්ලොග් ලෝකයේ හිත මිතුරන්ගෙන් දම්පාට දේදුන්න පටන් ගත් මුල් කාලයේ සිටම ලැබුන සහයෝගය ඉතා විශිෂ්ඨයි. මේ කිසිවකුත් අද වෙනකම් මා හැබැහින් දැක නැහැ. නමුත් මේ නොදුටු මිතුරන් බොහොමයක් සමග අද වෙනකොට දැඩි මිතුරු දමක් ගොඩනැගිල තියෙනවා. කොහොම නමුත් මා උනන්දු කල සැම දෙනාටම තුති පුදමින් නැවතත් සංගීත චාරිකාව නවත්තපු තැනින් පටන් ගන්නවා.


ඇබා කණ්ඩායම පිලිබඳ ලියැවුනු පෙර ලිපි තුල කණ්ඩායමේ ගායක ගායිකාවන් ගැන ලියවුනා මීළඟ ලිපි දෙක ලියවෙන්නේ කණ්ඩායම ගොඩනැගුනු ආකාරය පිළිබඳවයි..
පළමු කොටස   දෙවන කොටස    තෙවන කොටස

ඇබා කණ්ඩායමේ ප්‍රථම සජීව ප්‍රසංගය.
ඇබා කණ්ඩායමේ සාමාජිකයන් ස්වකීය ප්‍රතිභාව එකට එකතු කොට නිර්මාණ බිහි කිරීමේ මුලික කටයුතු කරමින් සිටීනා අතර 1970 අප්‍රියල් මස මේ මිතුරන් හතර දෙනා සයිප්‍රසයේ නිවාඩුවක් ගත කිරීමට ගියා. එහිදී මේ පිරිස විනෝදය සඳහා මුහුදු වෙරළේ පටන්ගත් ගී ගායනය අවසන් උනේ එම ප්‍රදේශයේ ස්ථානගතව සිටි එක්සත් ජාතීන්ගේ හමුදා භට කණ්ඩයක් විසින් හදිසියේ සංවිධානය කරන ලද සජීව ප්‍රසංගයකින්. මේ අනපේක්ෂිත ප්‍රසංගය පසුකලෙක ලෝක පුජිත වූ ABBA හි මුල්ම සජීව ප්‍රසංගයයි.

මේ කාලය වනවිට අන්දශෝන් සහ උල්වියෝස් ඔවුන්ගේ ප්‍රථම ඇල්බමය වන ලයිකා (Lycka) 1970 සැප්තැම්බරයේ එළිදැක්වීම සඳහා පටිගත කිරීම් වල යෙදී සිටියා. එම ඇල්බමයේ ගීත කිහිපයකට ඇග්නෙතා සහ ලීග්සා පසුබිම් ගායනයෙන් දායක උනා. අනතුරුව මේ පිරිස එක්ව Festfolket නම් ප්‍රසංගය 1970 නොවැම්බරයේදී ගුතන්බ්ර්ග් හිදී දියත් කරනු ලැබුවා.

Hej, gamle man ගීතය
ඇබා කණ්ඩායමේ හතරදෙනාම එක්ව එළිදැක්වූ ප්‍රථම නිර්මාණය ගලවාගැනීමේ හමුදාවේ සේවයකළ මහළු මිනිසකු ගැන කියවෙන Hej, gamle man නම් ගීතයයි. මෙම ගීතය අදාළ කාර්තුව තුල සංගීත දර්ශක තුල ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර එම ගීතය අඩංගු තැටිය විකිණුම් දර්ශක වල පස් වැනි ස්ථානයද, Svensktoppen දර්ශකයේ ප්‍රථම ස්ථානය සති 15ක කාලයක් පුරාවටද රඳවා ගැනීමටද සමත් උනා.

 Hej, gamle man

සංගීත කණ්ඩායම ගොඩ නැගීම (1970 සහ 1973 අතර කාලය)
1970 වසරේ ලයිකා ඇල්බමය නිකුත් කල බෙනී සහ බියෝන් අනතුරුව එකල ගීත කිහිපයක්ම ස්වීඩනයේ එළිදැක්වූවා. මේ අතරින් "Det kan ingen doktor hjälpa" සහ "Tänk om jorden vore ung" ගීත දෙක සාමාන්‍ය මට්ටමේ සාර්ථකත්වයක් සංගීත දර්ශක තුල ලබා ගත්තා.


Tänk om jorden vore ung

මේ කාලය වන විට ෆෙල්ස්කෝ සහ උල්වියෝස් විවාහ වී සිටි අතර අන්දශෝන් සමග නිරතුරුවම සංගීතයේ යෙදී සිටියා.

පොලර් මියුසික් සංගීත සමාගමේ නිර්මාතෘ මෙන්ම හිමිකරු වූ ස්ටිග් අන්දශෝන් හට බෙනී සහ බියෝන් ජාත්‍යන්තර සංගීත තලයට ගෙනයාමට තීරණය කරනුයේ මේ අවදියේදීය. එකල ස්ටිග් අන්දශෝන් අනාවැකි පළකරනුයේ මේ දෙදෙනා විසින් ලියා සංගීතවත් කරනු ලබන ගීතයක් ජගත් සංගීත වේදිකාව ජයගන්නා බවය. ඔහු විසින් මේ දෙදනා නැවතත් මෙළුඩීෆෙස්ටිවෝලන් තරඟාවලිය සඳහා ගීතයක් ඉදිරිපත් කරවීමට උනන්දු කරවන අතර දෙවතාවක් අසාර්ථක වීමෙන් අනතුරුව Säg det med en sång ගීතය තරඟාවලිය සඳහා ඇතුලත් කරගනු ලැබුවා. එහිදී තවන ස්ථානය ලද ගීතය ස්වීඩනයේ අතිශය ජනප්‍රියත්වයට පත් වනවා.

Säg det med en sång
මේ දෙදෙනාගේ ජාත්‍යන්තර සාර්ථකත්වය ජපානයේදී ලැබෙනුයේ අනපේක්ෂිත අයුරිනි. 1972 වසරේදී ජපානයේ එපික් රෙකෝඩ් සමාගම වෙනුවෙන් නිර්මාණය කල She's My Kind of Girl ගීතය සංගීත දර්ශක වල මුල් ගී දහය අතරට එක්වන අතර ජපානයේදී තවත් නව ගීත දෙකක් එලි දැක්වෙනවා. එනම් පසුකලක ගායනා කල Merry-Go-Round ගීතයේ මුල් ගීතය වන ස්කැන්ඩිනේවියානු "En Karusell" ගීතය සහ Love Has Its Ways යන ගීත ද්විත්වයයි.

 She's My Kind of Girl

En Karusell

Love Has Its Ways

සංගීත චාරිකාවේ 31 වන කොටසින් හමුවෙමු
ඇබා කණ්ඩායම පළමු කොටස   දෙවන කොටස    තෙවන කොටස