Sunday, April 23, 2017

සමනල වැව නිම්නයේ පුරාණ යකඩ නිෂ්පාදන තාක්ෂණය

යකඩ උනු කළ උදුන් 
ඩමස්කස් කඩු පුරාණ අරාබි සටන් බිමේ තියුණු සහ ශක්තිමත්ම ආයුධය වශයෙන් සැලකින. මේ කඩු සඳහා වානේ සපයා ඇත්තේ ඉන්දියාවෙන් සහ ලංකාවෙන් බවට ලිඛිත සාක්ෂි ඇත. 

එකදාස් නවසිය අනූව දශකයේ මුල් භාගයේ සමනල වැව නිම්නයේ සිදුකල පුරාවිද්‍යා කැනීම් තුලින් පුරාණ යුග වල මෙරට තිබූ යකඩ නිෂ්පාදන තාක්ෂණය පිලිබඳ සාක්ෂි මතු කරගත හැකි විය. පුරාවිද්‍යා කැනීම් වලදී බෙලිහුල් ඔයට දකුණෙන් පිහිටි ගලේවල හින්න ප්‍රදේශයෙන් මීටර් 10 x 10 ප්‍රමාණයේ උදුන් හතරක් සොයා ගත් අතර මේ එක උදුනක් මීටර් 2ක ගැඹුරින් යුතු විය. යකඩ නිෂ්පාදනයේදී අප ද්‍රව්‍යයක් වශයෙන් පිටවන යබොර උදුනෙන් ඉවත් කිරීමට භාවිතා කරනා ලද මැටි කලද උදුන් ආශ්‍රිතව හමුව ඇත. මේ උදුන් ක්‍රිස්තු වර්ෂ 7 - 10 අතර කාල සීමාවට අයත් බව පුරා විද්‍යාඥයෝ පවසති.

මෙම උදුන් වල භාවිතා කර ඇති තාක්ෂණය ලොව වෙනත් කිසිදු ශිෂ්ඨාචාරයක වාර්ථා වී නොමැති බව පැවසෙයි. යකඩ උණු කිරීමට භාවිතා කළ මේ උදුන් වල ඉහල උෂ්ණත්වයයක් ලබාගැනීම සඳහා එම ප්‍රදේශයට බලපෑ මෝසම් සුළං ධාරා උපයෝගී කරගන ඇත. මේ සියළු උදුන් ගඟ ඉහලින් කඳු බෑවුමේ බටහිරට මුහුණලා සකසා ඇත. සියල්ල ස්ථානගත කර ඇත්තේද කඳු බෑවුමේ සුළං කපොල්ලක එකම උස් මට්ටමකිනි. මේ කඳු බෑවුමට මැයි මස අග භාගයේදී පටන් ගෙන අගෝස්තු දක්වා දැඩි සුළඟක් ලැබෙයි. එම සුළඟ පැයට කිලෝමීටර 70 ක පමණ වේගවත් ය. මෙම වේගවත් සුළං ධාරා උදුන් තුලට හරවා වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් උදුණට ලබා දීම මගින් යකඩ උනු කිරීම සඳහා වැඩි උෂ්ණත්වයක් ලබාගෙන ඇත. යකඩ ඔක්සයිඩයේ අයනික සම්බන්ධය කඩා යකඩ නිස්සාරණයට සෙල්සියස් අංශක 1543ක දැඩි උෂ්ණත්වයක් අවශ්‍යය වේ.

ඉහලම තත්වයේ යකඩ විශේෂිත දැව වර්ග සමග කොවේ දමා උණු කිරීමෙන් වානේ නිෂ්පාදනය කරනා තාක්ෂණයද මෙම පෙදෙසේ පවතී බව කියවේ.

මෙම පෙදෙසේ යකඩ උණු කිරීම පිළිබඳව සාක්ෂි තිබුනද ජනාවාස පැවති බව තහවුරු කිරීමට සාක්ෂි නොමැත. ජනාවාස පිළිබඳව පවතින ප්‍රභලම සහ සුලභම පුරා විද්‍යා සාක්‍ෂිය වශයෙන් පිලිගැනෙනුයේ වලන් කටුය. මෙම පර්යේෂණ සිදු කළ පුරා විද්‍යාඥයන් පවසනුයේ යකඩ කර්මාන්තකරුවන් ජුනි, ජූලි සහ අගෝස්තු මාස වල දිවා කල පැමිණ සිය කර්මාන්තවල යෙදුනු පිරිසක් මිස ස්ථිර පදිංචියේ සිටි පිරිසක් නොවන බවය. 

යකඩ නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ලබාගෙන ඇත්තේද මෙම පෙදෙසින්මය. ගලේවල හින්න ප්‍රදේශයේ යකඩ වලින් පෝෂිත යපස් නිධි පවතියි. ගල් බොරළු මිශ්‍රිත මෙම යපස් වල යකඩ ඇත්තේ ඛනිජයක් වශයෙන් නොව ඔක්සිජන් සල්ෆේට් සහ කාබනේට් අඩංගු යකඩ පාෂාණයක් වශයෙනි.

යපස් අධික උෂ්ණත්වයකට බඳුන් කර එහි යබොර ඉවත් කර ලබා ගත් යකඩ පතුල පාත්‍රයක හැඩයක් ගත් කුට්ටි වශයෙන් සකස් කොට ඇත. මෙලෙස නිෂ්පාදනය කරනා ලද යකඩ කුට්ටිද ගලේවල හින්න ප්‍රදේශයෙන් සොයාගෙන ඇත.

සමනළ වැව සෑදීමට පෙර මෙම ප්‍රදේශය හරහා රුහුණට ගලා ගිය වලවේ ගඟ ද රට මැදට ගලා ගිය බෙලිහුල් ඔයද ඔස්සේ යකඩ කුට්ටි ප්‍රවාහනය කරන්නට ඇති බවට මතයක් පවතියි. 

සමනල වැව යෝජනා ක්‍රමය යටතේ ජලාශයට වතුර පිරවූ පසුව මෙම උදුන් පැවති ප්‍රදේශය ජලයෙන් යටව ගියේය. නමුත් ජලය පිරවීමට පෙර වසර දෙකක් තිස්සේ සිදු කළ ගවේෂණ මගින් හෙලයාගේ පුරාණ යකඩ කර්මාන්තය පිලිබඳ සාක්ෂි මතුකරලීම පැසසුම් සහගතය.

12 comments:

  1. ආසාවෙන් ලිපිය කියෙව්වා... මමත් මේ සම්බන්ධව කෙටි ලිපියක් ලිව්වා...

    https://wasithaya.blogspot.com/2017/02/blog-post_9.html?m=1

    ReplyDelete
    Replies
    1. ඔබේ ලිපියට ලැබී ඇති කොමෙන්ට් තුල විස්තර ගොඩක් තියෙනවා. බ්ලොග් වල බලාපොරොත්තු වෙන්නෙත් සංවාදයක් තුලින් අදහස් බෙදාගැනීම. (Two way Communication)

      Delete
  2. වටිනා සටහනක් ජිවන...බෙදාගත්තට ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. දිරි ගැන්වීමට ස්තුතියි

      Delete
  3. හෙලයා යකඩ තාක්ෂණය ඉන්දියාවෙන් ගෙනාවාද??
    ලංකාවෙ තිබුණාද??

    ReplyDelete
    Replies
    1. ලංකාවේ භාවිතා කරල තියෙන මෙ තාක්ෂණය පුරාන ලොකයේ කොහෙවත් වාර්තා වෙන්නෙ නැහැ. මීට සමාන තාක්ෂණයක් ජපානයේ වාර්තා වෙනවා. නමුත් බොහෝ පසු කාලයක.

      Delete
  4. ලංකාව අතීතයේ තාක්ෂණිකව කොතරම් දියුණු මට්ටමක තිබුණද කියා යළි සිහිපත් කරන ලිපියක්.

    ReplyDelete
    Replies
    1. අතීත තාක්ෂණය අපේ මිනිසුන් ගුරු මුෂ්ථි වෂයෙන් තබා ගැනීම නිසා වැලලී ගිහින්.

      Delete
  5. නියම තොරතුරු ටිකක්.
    කාලයත් සමග අතීතයේ තිබ්බ කාක්ෂණය අභාවයට ගියේ කොහොමද කියලත් හොයල බලන්න වටිනව.

    ReplyDelete
  6. එදා රටේ තාක්ෂණය ඉහළ ඇතී
    සදා යකඩ හොඳවැඩ පෙන්නන්න ඇතී
    මෙදා කොහෙද ඒ දස්කම් රටේ නැතී
    හොඳා ලිපිය මෙහි වටිනාකමක් ඇතී.......

    ජයවේවා!!!

    ReplyDelete
  7. https://www.google.lk/search?q=gill+juleff&tbm=isch&imgil=2ZEDJn8UOzifmM%253A%253BhBZx8tZWbgtMuM%253Bhttp%25253A%25252F%25252Fwww.sundaytimes.lk%25252F080831%25252FPlus%25252Fsundaytimesplus_09.html&source=iu&pf=m&fir=2ZEDJn8UOzifmM%253A%252ChBZx8tZWbgtMuM%252C_&usg=__sEivrAqveOcn2eKbnqD579ha2Cs%3D&ved=0ahUKEwjMp_KzwrzTAhXFnZQKHSI4CzgQyjcIVQ&ei=WaL9WIyXCMW70gSi8KzAAw&biw=1093&bih=496#imgrc=2ZEDJn8UOzifmM:&spf=191

    ReplyDelete
    Replies
    1. ඔය පින්තූරෙ ඉන්න ආචාර්ය ජිල් ජුලෙෆ් තමයි සමනලවැව යකඩ තාක්ෂණය පිලිබඳ රිසර්ච් මූලිකව කලේ. දැරනියගල, විජේපාල, කරුණාරත්න, මනමේන්ද්‍ර ආරච්චි ආදී දේශීය පර්යේෂකයිනුත් සම්බන්ධ වුනා.

      ආචාර්ය අර්ජුන තන්තිලගේ දැනට ලංකාවේ පුරාණ ලෝහ තාක්ෂණය ගැන කටයුතු කරනවා

      Delete