Tuesday, April 25, 2017

පුරාණ ලංකාවේ සෙවනැලි නාට්‍ය කලාව

සෙවනැලි නාට්‍ය කලාව පුරාණ චීනයේ බිහිවූ ප්‍රභල නාට්‍ය සම්ප්‍රදායකි. එහිදී කෙරෙනුයේ සුදු තිරයක් පිටුපස පහනක් දල්වා පහනත් තිරයත් අතර සමින් කල රුපයක් තැබූ විට තිරයේ වැටෙන සෙවනැල්ල  ආශ්‍රයෙන් කතාවක් ඉදිරිපත් කිරීමය. මෙම සමින් කරනා ලද රූප සම්රූ යනුවෙන් හැඳින්විණ. 

මේ ආකාරයට සෙවනැලි මගින් රජුන්ගේ සහ ඇමැතියන්ගේ ක්‍රියා නිරුපනය කිරීමේ නාට්‍ය කලාව ඉන්දියානු සාහිත්‍යයේ "රූ පෝප ජීවන" සහ "ජාල මනණ්ඩපික" යන වදන් වලින් දැක්වෙයි. සංස්කෘත සාහිත්‍යයේ එය "ඡායා නාටක" එනම් සෙවනැලි නැටුම් ලෙසින් නම් කෙරෙයි. ක්‍රිස්තු වර්ෂ දොළොස් වන සියවසේදී ඉන්දියාවේ "සෙවනැලි නාට්‍ය උත්සවයක් පැවති බව විලියම් රිජ්වේ නම් විචාරකයාගේ Drama and Dramatic Dances කෘතියේ සඳහන් වේ. 

මෙම නාට්‍ය ඉන්දුනීසියාවේ දැනටත් ජනප්‍රිය "චයං" නමින් හැඳින්වෙන කලා අංගයකි. එහිදී නාට්‍ය ශිල්පීන්, සැම්රූ සහ පහන් තිබෙන පැත්තේ පිරිමින් ඉඳ නාට්‍යය බලති. කාන්තාවන් නාට්‍යය බලනුයේ තිරයේ අනෙක් පස ඉඳිමිනි. මේ නිසා ඔවුනට පෙනෙනුයේ සෙවනැලි පමණි. සම්රූ නාට්‍යවල බහුල වශයෙන්  නිරුපනය කෙරෙනුයේ රාමායනය, මහා භාරතය වැනි මහා කාව්‍ය යන්ගෙන් ගත කථා වස්තුන්ය. 

මෙම නාට්‍ය සම්ප්‍රදාය දොළොස් වැනි සහ දහතුන් වන සියවස්හි ලංකාවට සංක්‍රමණය වූ බවට මතයක් පවතියි. එයට සාක්ෂි වන්නේ චූල වංශයේ දැක්වෙන ගාථාවකි. රජය අල්ලා ගන්නා පිණිස සටන් සංවිධානය කරනා ලද පැරකුම් කුමරුන් විසින් ගජබාහු රජුගේ (1137- 1153) රාජධානියේ සිය චරපුරුෂයන් මෙහෙයවූ ආකාරය චුල වංශයේ සඳහන් වන්නේ "කාරෙයි චම්ම රුපාදී කිලා දස්සක කෝවදෝ" ලෙසිණි. එහි අර්ථය වනුයේ සංගීත නාට්‍යය ආදියේ හසල පුද්ගලයින් සහ සම්රු ආදී ක්‍රීඩාවන් ගේ  යෙදුනු අයගේ වේශයෙන් චරපුරුෂයන් යෙදවූ බවය. 

සරත්චන්ද්‍රයන් විසින් 1953 වසරේ කරනා ලද සිංහල ජන නැටුම් සහ නවීන නාට්‍ය කලාව කෘතියේ ඉහත ගාථාව අරුත විස්තර කරමින් මෙසේ පවසයි. "විනෝදය සඳහා බෝනික්කන් (කුඩා රුප) සංගීත රිද්මයට අනුව නැටවීමේ කලාව මෙහි පැවතුන බව මින් පෙනේ." නමුත් චූල වංශ පාඨයෙන් පෙන්නුම් කෙරෙනුයේ රුකඩ හෝ සංගීතයට අනුව නැටවූ කුඩා රූප නොවේ. 

රුකඩ යන වදන සිංහලයට එන්නේ "රූප කාෂ්ඨ" නම් මුල් පදයෙනි. එම මුල් පදයේ තේරුම ලීයෙන් කළ රූපය යනුයි. ඒ බව පුජාවලියේ දැක්වෙන්නේ යැයි සෝරත ශබ්ද කෝෂයේ දැක්වෙයි. 

නාට්‍ය කලාව තුල සම්රූ නැතහොත් චම්ම රූප යොදා ගෙන ඇත්තේ සෙවනැලි නාට්‍ය කලාව සඳහා ය. එබැවින් පුරාන ලංකාවේ සෙවනැලි නාට්‍ය කලාව තිබූ බවට නිගමනය කළ හැක.

ඡායාරූප - අන්තර්ජාලය ඇසුරිණි
http://www.frontline.in/arts-and-culture/shadow-play/article4705618.ece
http://www.thehindu.com/news/national/kerala/shadow-puppet-show-enthralls-audience/article7700441.ece
http://skyumtravelimages.photoshelter.com/image/I0000.sLc7FvGAbQ

9 comments:

  1. එල ද බ්‍රා
    ඉගන ගන්න ළමයෙකුට හොද ලිපියක්

    ReplyDelete
    Replies
    1. මේ ලිපි කියවනවට ගොඩක් ස්තුතියි.
      ශාස්ත්‍රීය ලිපි වල හිට් කවුන්ට් එක සාපේක්ෂව ගොඩක් අඩුයි.
      ඒ උනත් දැන් ටිකක් ශාස්ත්‍රීය පැත්තට ලියන්න හිතාගෙන ඉන්නේ.

      Delete
  2. 'චම්ම රූප' කියන පදය නිසා නිගමනය කලේ?

    ReplyDelete
    Replies
    1. මුලින්ම බලන්න ඕන චම්ම රූප මොන වගේ ද කියලා. චම්ම රූප කියන්නේ සමකින් සාදා ගත් දළ රුපයක් පමණක් නොවෙයි. එහි සම් කැබැල්ල සිදුරු කිරීමෙන් ඇස්, දත්, ආභරණ, ඇඳුම් වල හැඩතල ආදිය මතු කර තිබෙනවා. මෙම සිදුරු තුලින් ආලෝකය ගමන් කිරීම නිසා සෙවනැල්ලේ අදාළ අංග මතුව පෙනෙනවා. ඉහත ලිපියේ තුන්වන සේයාරුව එවන් සෙවනැලි රුපයක් පෙන්නුම් කරනවා. චම්ම රූප ත්‍රිමාන නොවේ එහි ගනකමක් නොමැති ඒවා ද්විමානයි. රුපයම එහාට මෙහාට චලනය කිරීම තුලින් නාට්‍යය පෙන්වනවා.
      රූකඩය එයට වෙනස් එය බෝනික්කකු ගේ හැඩයෙන් යුක්තය වන අතර ඒවා ත්‍රිමානයි. ඒවායේ සිදුරු නැත. අතපය සෙලවීමේ හැකියාවක් තියෙනවා. අනෙක සම්වලින් කරනා ලද රුකඩ ගැන කොහෙවත් වාර්තා වන්නේ නැහැ. වාර්තා වන රුකඩ තනා තියෙන්නේ ලී සහ රෙදි උපයෝගී කරගෙනයි.

      Delete
  3. William Ridgeway විසින් රචිත The dramas and dramatic dances of non-European races කෘතියේ පිටු අංක 216 සිට බලන්න
    https://archive.org/details/dramasdramaticda00ridg

    ReplyDelete
  4. මේ ඔයා විමල් වීරවංශ හරි ජෝන් අමරතුංග හරි එක්ක බිස්නස් එකක් පටං ගත්තද

    ReplyDelete