Sunday, March 11, 2018

දේශයේ පරාභවය 01

කවුරුන් කෙසේ කීවද ශ්‍රී ලංකාවට යුරෝපීය ආක්‍රමනිකයින් පැමිනෙන් තෙක් රටෙහි බහුතර ජනතාවට නිසි ජීවන තත්වයක් තිබුනේ නැත. දරුණු කුල පීඩනයක් මෙන්ම රදලයෙන්ගේ ගැහැට ජනයා පෙලා තිබිණ. සාමාන්‍ය ජනතාවට වාඩිවීමට පුටුවක් පවා තැනීමේ නිදහසක් නොවීය. අවම වශයෙන් වහලක් සෙවිලි කිරීමට උළු භාවිතය රජුට පමණක් සීමාව පවතී බව කියවෙයි. මෙයට අමතරව කුල කිහිපයකට හැර අනෙකුත් සියලු දෙනා දැඩි බදුබරකට යටත් කර තිබිණ. එය අංග සම්පුර්ණ වැඩ වසම් යුගයකි. 


පෘතුගීසි සහ ලන්දේසි ආක්‍රමණයෙන් අනතුරුව පහත රට ප්‍රදේශත්, ඉංග්‍රීසින් උඩරට යටත් කරගැනීමෙන් පසුව සමස්ත දිවයිනත් අලුත් පාලන ක්‍රමයකට යටත් වින. මෙම පාලන ක්‍රමයේ මුල් අවධිය තුලද පෙරදී රජුට සේවය කළ ප්‍රභූන් යුරෝපීය පාලකයනට එකතු වූ අතර සාමාන්‍ය ජනතාව වෙත කුලවතුන්ගෙන් ගෙන් සිදුවූ පීඩනයේ අඩුවක් සිදුවුනේ නැත.

නමුත් ඉංග්‍රීසින් විසින් රටෙහි නිසි පරිපාලන තන්ත්‍රයක් ගොඩනගා අධ්‍යාපන මට්ටම නගාසිටුවීමත් සමගම රට තුල සුවිසල් සමාජ ආර්ථික වෙනසක් සිදුවින. පළමුව පහත රට ජනතාවට නිසි සමාජ තත්වයක් ගොඩ නැගිණ. ඉංග්‍රීසින්ගේ වතු ආර්ථිකය හරහා උඩරටද සාපේක්ෂව ඉහල ජීවන තත්වයක් ගොඩනැගින. නමුදු උඩරට රදලයන් විසින් තවමත් දැඩි කුල පීඩනයක් සමාජය වෙත මුදාහරිමින් සිටියහ. මෙම කුල පීඩනය වෙත යම් තරමක හෝ විරෝධයක් මතු වුනේ 71 කැරැල්ල තුලිනි.

20 වන සිය වස මුල් භාගය වන විට රටෙහි සාක්ෂරතාව ඉහල මට්ටමක පවතින. ඉංග්‍රීසි මිෂනාරීන්ගේ අධ්‍යාපන ක්‍රමය මෙන්ම දේශීය ධනපතීන්ගේ ධන පරිත්‍යාග මතින් විදුහල් සිය ගණනක් රට පුරා ක්‍රියාත්මක කෙරින. එංගලන්තයේ වත් නොමැති පුර්ණ නිදහස් අධ්‍යාපනය ඉංග්‍රීසින් විසින් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර තිබිණ. 

මේ කාලය වන විට ඉන්දියාවේ නිදහස් අරගලය දේශීය ජනතාවද කිති ගන්වන ලද අතර නිදහස පිලිබඳ බලාපොරොත්තුවක් රටෙහි ජනතාව වෙලාගෙන තිබිණ. බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලද දේශීය ධනවතුන්ගේ දරුවන්, ලැස්කි වැනි එකල සිටි ඉහලම ගනයේ විද්වතුන් ගේ ඇසුරින් පෝෂණය වී සිටියහ. පේරාදෙනි මණ්ඩපය දේශීය වශයෙන් උගතුන් බිහි කරනා ලද්දේ විදේශීය ආචාර්ය මණ්ඩලයක සහයෙනි. ධනය බෙදීයාමේ සුවිසල් විෂමතාවයක් තිබුනද රටෙහි ධනවත් භාණ්ඩාගාරයකින් යුතු ආර්ථිකයක් පැවතින.

රටෙහි නිදහස් ව්‍යාපාරය සිංහල දෙමල මුස්ලිම් මෙන්ම වෙනත් සුළුජාතික උගත් නායකයින් විසින් මෙහෙයවනු ලැබිණ. නිදහස් ව්‍යාපාරය තුල ජාතීන්ගේ සහභාගීත්වය අතිශය ප්‍රසංසනීය විය. 

නමුත් රටෙහි අවාසනාවට මේකාලය වන විට ධනවත් ව්‍යාපාරික පවුලකින් ජාතිවාදී අමනයකු බිහිවිය. 

සමාජ ජාලා උන්මත්තකයින් මර්ධනය කරනු!

මහනුවර වෙලා ගත් ජාතිවාදී ගිනිදැල් මේ වන විට මර්ධනය වී ඇත.  නමුදු දැනටද ගිනි පුපුරු අළු යට සැඟව පවතියි. වසර ගණනාවක් මුළුල්ලේ ජාතීන් අතර සැක බිය අවිශ්වාසය රෝපණය කරවීම මේ තත්වයට හේතුවය.


යුද්ධය අවසාන වීමත් සමග ඇතිවූ සාමකාමී දේශය නැවතත් අනාරක්ෂිත ලේබලය යටතට වැටී ඇත. මෙරටට සංචාරකයන් පැමිණෙන රටවල් කිහිපයක් සිය රට වැසියනට අනතුරු ඇඟවීම සංචාර අවලංගු වීමට හේතු සාධක බවට පත්ව ඇත. එය අපගේ ආර්ථිකයට මාරු පහරකි.

රට පුරා පැතිරීමට ගිය විනාශය පාලනය කිරීම සඳහා රජය මගින් සමාජ ජාලා තහනමක් පැනවීම විශාල බලපෑමක් ඇති කළේය.  

සංවිධානාත්මක පිරිසකගේ උසි ගැන්වීම් තුලින් ජාතීන් අතර සුහදතාවය පලුදු කිරීම පසුගිය සමයේදී සමාජ ජාලා තුල (විශේෂයෙන් ෆේස්බුක්) බෙහෙවින් දක්නට ලැබිණ. අසල්වැසියාට, අන්‍ය ජාතිකයාට විරුද්ධව වෛරය පැතිරවීම මුළුමනින්ම පාහේ ෆේස් බුක් අඩවිය හරහා සිදු කෙරින. ජාතිවාදී  වෛරී ප්‍රකාශ ප්‍රවර්ධනය කරනා ෆේස්බුක් ගිණුම් සහ පිටු සිය ගණනකි. ඒවායේ සාමාජිකයන් දසසහස් ගණනක් වෙති. දිනපතා වෛරී අදහස් අඩංගු ලිපි චායාරුප සහ බැනර් එම ගිණුම් සහ පිටු තුලින් එළිදැක්වෙන අතර තරුණ මොළ සෝදමින් ජාතිවාදීන් බිහිකරති. 

ඔවුනට විරුද්ධව අදහස් දක්වන අයට ලැබෙනා ප්‍රතිචාරය සදාචාරාත්මක සීමාවට බොහෝ සෙයින් ඈතය. විරුද්ධ මත දරන්නාගේ අම්මා, ආච්චි, මිත්තනිය පමණක් නොව  පරම්පරා විස්සකට තිහකට එපිට මව් පාර්ශවය ගැන සවිතරාත්මක කරුණු කාරනා දැනගත හැක. බුදු දහම සුරැකීම ගැන කතා කරන්නේ අමු තිත්ත කුනුහරුපයෙනි. චීවර ධාරීන් ලෙසින් පෙනී සිටින පුද්ගලයන් පවා එලෙස හැසිරෙති. සමහර විට ඒවා ව්‍යාජ ප්‍රෝෆයිල වන්නටද පුළුවන. 

වෛරය පතුරුවන මෙම පිටු අනිවාර්යයෙන්ම අයුතු ජනරාශි ගහනයට වැටෙයි. 

මෙම තත්වය පාලනය කිරීම සඳහා රජය මෙන්ම ෆේස්බුක් පරිපාලනයද පියවර ගත යුතුය. 

ජාතිවාදී වර්ගවාදී, ආගම්වාදී සහ වෙනත් ගෝත්‍රික ගති ලක්ෂණ පෙන්නුම් කරනා ප්‍රෝෆයිල ගැන ෆේස් බුක් වෙත රිපෝට් කිරීම සමාජ ජාල ක්‍රියාකාරීන්ගේ යුතුකම වන්නේය.

එයට අමතරව අයුතු ජනරාශි ගණයට වැටෙනා ලේ පිපාසිත පොස්ට් සම්බන්ධව සහ ජනතාව කුපිත කරවනා ආකාරයේ ලිපි සහ යූ ටියුබ් වීඩියෝ සම්බන්ධව පැමිණිලි කිරීමට ක්‍රමවේදයක් සැකසීම රජය පියවර ගත යුතුය.

අනවසර කල්ලිගසීම් සහ අයුතු ජනරාශි සඳහා පණිවුඩ හුවමාරු කරනා වට්ස් ඇප්, මැසෙන්ජර් සහ වයිබර් ගෘප්  සමග සම්බන්ධ වන සියලු දෙනාට නීතිමය දඬුවම් ලබා දිය යුතුය.

ප.ලි. කෙසේ වෙතත් සිංහල බ්ලොග් අවකාශය ජාතිවාදී උන්මත්තක්යින්ගේ ග්‍රහණයට හසුව නැති බව පැහැදිලිය. ජාතිවාදී බ්ලොග් අඩවි සිය සින්ඩිකේටර තුලට වැද්ද නොගන්නා සින්ඩිකේටර ඇඩ්මින් වරුනට එහි ගෞරවය හිමි විය යුතුය.