Tuesday, August 29, 2017

මාළු කපන්නට රුපියල් එක්ලක්ෂ අනූ හත් දාහක්?

මේ ඡායාරුපයේ  දැක්වෙනුයේ ජාතික පුවත්පතක පළකරනා ලද  දැන්වීමකි. මෙම දැන්වීමට අනුව මත්ස්‍ය නිෂ්පාදන කර්මාන්තයේ ඇසුරුම් කටයුතු සඳහා වන රැකියාවක වැටුප රුපියල් එක්ලක්ෂ අනුහත් දහසකි (රු.1,97,000). අධ්‍යාපන සුදුසුකම අට වසර සමත් වීම පමණි. මෙය නැවක රැකියාවක් බව CDC සහතිකය එනම් නාවිකයන් සඳහා වන අඛණ්ඩ මුදාහැරීමේ සහතිකය ඇති හෝ නැති අයට අයදුම් කළහැකි බව පවසා ව්‍යංගයෙන් පවසා ඇත. නිසි අධ්‍යාපනයක් නොමැති ජවයෙන් යුතු තරුණ පිරිස් වෙත මේ ගෙවන්නේයැයි පවසන වැටුප අතිශය ආකර්ශණීය එකකි.

මේ දැන්වීම දෙස හොඳින් බලන විට දැන්වීම් කරුවාගේ ලිපිනයක් නොමැති බව පෙනී යයි. පුවත්පත භාරයේ ලිපි යොමු කිරීමට අංකයක් හෝ තැපැල් පෙට්ටි අංකයක් නොමැත. ස්ථාවර දුරකථන අංකයක් හෝ ෆැක්ස් අංකයක් ද නැත. ඇත්තේ  මොබයිල් දුරකථන අංකයක් පමණි. 

මෙම රැකියා ඇබෑර්තුව සම්බන්ධව සැක පහල වුවද එය ව්‍යාජ දැන්වීමක් හෝ වංචනික දැන්වීමක් යයි කීමට තවමත් සාක්ෂි නොමැත. 

නමුත් මේ හා සමාන වෙනත් දැන්වීමක් සම්බන්ධව බ්ලොග් කරුගේ අත්දැකීමක් හෙළි කිරීම මෙම දැන්වීම වංචාවක් වන්නේ නම් පරිස්සම් වීම සඳහා ලියා තබමි.

මීට වසර තුනකට පමණ පෙර මේ හා සමාන දැන්වීමක් මෙම දැන්වීම පළකර ඇතියි කියවෙන පුවත් පතෙහිම පළකර තිබිණ. අදාළ පුවත්පත ඕනෑම කුණුගොඩක් පිලිබඳ දැන්වීම් පලකිරීම සඳහා භාර ගන්නා ජාතික යයි කියා ගන්නා එකකි. එය සාත්ස්තර කරුවන්, කට්ටඩින්, හදි හූනියම් කරුවන්, වශී ගුරුකම් කරුවන් වැනි රැවටිලි කරුවන් ගේ පාරාදීසයකි. රැවටිලි කරුවන්ගේ දැන්වීම් පලකිරීම එහි ප්‍රධාන ආදායම් මාර්ගයක් වන බවට විවේචන පවතියි.

එම පුවත් පතෙහි මීට පෙර පල කරනා ලද දැන්වීමක ඇලස්කාවේ මාළු ඇසුරුම් කර්මාන්ත ශාලාවක මාළු කැපීම සඳහා වන ඇබෑර්තු රැසක් ඇති බව පල කර තිබිණ. වැටුප රුපියල් 1,75,000/-කි. මේ දැන්වීම දුටු  මාගේ  බිරිඳගේ මිතුරියක් එය සම්බන්ධව උනන්දු වී තිබුනේ ඇයගේ සැමියාට වැඩි වැටුපක් සහිත විදේශ රැකියාවක් සොයමින් සිටි අවධියකදීය. ඇය මේ දැන්වීම මගේ බිරිඳට පෙන්වූ වහාම මා හට දුරකථන ඇමතුමක් දුන් මගේ බිරිඳ මේ ගැන සොයා බලනා ලෙස දන්වා සිටියාය. මගේ පළමු ප්‍රශ්නය වුයේ ඒජන්සි කරුවා ගේ ගාස්තුව කොපමණද යන්නය.ඒ වන විටත් මිතුරියන් දෙදෙනා අදාළ අංකයට කථා කර අවසන් බව දැන ගැනීමට හැකි වුයේ කිසිදු ගාස්තුවක් ය නොකරනා බව කීවේ යයි මගේ බිරිඳ පැවසීම නිසාය. එවිට මා කීවේ මෙතරම් විශාල වැටුපකට විදේශ රැකියාවක් ලබා දෙන්නේ නම් ඒජන්සි කරුවාගේ ගාස්තුව අවම වශයෙන් රුපියල් ලක්ෂ 20 කට වඩා වැඩි වනු ඇති බවය. "කවුරු හරි උදව්වක් ඉල්ලුවාම ඒක කරලා දෙන්නේ නැතිව පණ්ඩිත කම් කතා කරනවා" යනුවෙන් දුර කථනයේ අනෙක් පසින් තැටියක් වාදනය විය. 

මිතුරිය සහ අගේ සැමියා අදාළ රැකියාව සම්බන්ධව මරදානේ උත්සව  ශාලාවක, ඒජන්සිකරුවා විසින් පවත්වන ලද සම්මන්ත්‍රණයකට සහභාගී වූ බව දින දෙකකට පසුව දැන ගැනීමට ලැබිණ. සම්මන්ත්‍රණයට 800ක පිරිසක් සහභාගී වී තිබිණ. එහිදී කියා තිබුනේ ඊළඟ සතියේ විදේශ ගත වීමට සුදානම් වන ලෙසත්, වීසා සඳහා අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ වාර්ථාව මරදානේ වෛද්‍ය මධ්‍යස්ථානයකින් ලබා ගන්නා ලෙසත්ය. වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව රුපියල් දහතුන් දහසකි. මෙය වංචාවක් බව මා කෙතෙක් කීවද රුපියල් එක්ලක්ෂ හැත්තෑ පන් දහසක වැටුප සැමගේ ඇස් ගිනිකණ වට්ටවා තිබිණ. 

රුපියල් දහතුන් දහස ගෙවා වෛද්‍ය පරීක්ෂණ වාර්ථාව ලබා ගැනිණ. එදින සිට දින දෙකක් ගතවෙන තෙක් දුර කථනය නාද වුවද පිළිතුරු නොවිණ. දින දෙක අවසානයේ දුරකථන ඇමතුමට පිළිතුරු ලැබිණ. ඒ ඒජන්සි කරුවාගෙන් නොව දුරකථන සමාගමෙනි. "මෙම දුරකථනය භාවිතයේ නොමැත" යන්න ලැබුණ පිළිතුරය.

අනතුරුව වසරකට පමණ පසුව නෙත් එෆ් එම් බැලුම්ගල කණ්ඩායම සහ පොලීසිය එක්ව ඒජන්සිකරුවාව අත්අඩංගුවට ගත් බව වාර්ථා විය. නමුත් නඩු පැවරූ බව දැනගන්නට නැත. ලබා ගන්නා ලද මුදලට වෛද්‍ය පරීක්ෂණ වාර්ථාව ලබා දී ඇති නිසා සමහර විට නඩු නිමිත්තක් නැතිද යන්න නොදනිමු. කෙසේ හෝ ඒජන්සි කරුවා රුපියල් ලක්ෂ පනහක පමණ මුදලක් අහිංසකයින් රවටා වංචා කර ඇති බව බැලුම් ගලෙහි කියවින.

Sunday, August 27, 2017

ජපානයේ නින්ජාවරු

නින්ජා යන නම ඇසුණු සැනින්ම අප හට මතක් වන්නේ සටන් කරුවන් පිරිසකි. නමුත් ඇත්තෙන්ම නින්ජාවරු යනු ඔත්තු කරුවන් ය. නින්ජා සටන් කලාව ලෙසින් අප හඳුන්වන්නේ මෙම ඔත්තු කරුවන්ගේ ආරක්ෂාව සඳහා ප්‍රගුණ කරනු ලබනා සටන් විධික්‍රමයයි. නින්ජා සටන් ක්‍රම කලාත්මක බවකින් යුක්තය. නමුත් මාරාන්තිකය. 

නින්ජා ඔත්තුකරුවන් පාරම්පරිකවම එම වෘතියේ යෙදුනාවූ පිරිසකි. නින්ජා වරයකු වීම සඳහා පුහුණුව ළදරු වියේදීම පටන් ගනු ලබයි. නින්ජා වරුන් පවසනුයේ තම වෘතිය වේගය මත රඳා පවතින්නක් බවය. තමන් ලබා ගන්නා තොරතුරු හැකි තරම් වේගයෙන් අදාළ ස්ථාන වලට ලබා දීම ඔවුන්ගේ වගකීමය. මේ නිසා නින්ජා පුහුණුවේ පළමු අදියර වේගයෙන් ඇවිදීමේ පුහුණුව ලබා ගැනීමය. සෙනග ගැවසෙන ස්ථානයක දිව යන මිනිසකු නිතරම අනුන්ගේ අවධානයට යොමුවන නිසා ඔවුහු දිව යන තරම් වේගයෙන් ඇවිදගෙන යාමට පුහුණු වෙති.  කිරිගොට්ටක් වැනි බට පතුරු වලින් සකසන ලද හිස් වැසුමක් උදරයේ රඳවාගෙන, එය නොවැටෙන ලෙසින් ඇවිද යාම වේගවත්ව ඇවිද යාම සඳහා සිදුකරනා පුහුණුව වෙයි.

නින්ජා ඔත්තු කරුවන් අති දක්ෂ සටන් කාමීහු වෙති. ඔවුන්ගේ සටන් ආයුධ අතර කඩු ප්‍රධාන තැනක් ගන්නා නමුදු කිසිවකුට නොපෙනෙන ලෙස සඟවා යා හැකි කුඩා ආයුධ රැසක් ඔවුන් භාවිතා කරති. කෙතරම් ආයුධ තිබුනද, ඒ සියල්ලට වඩා වටිනාම අවිය මුදල් බව නින්ජා වරු පවසති. එබැවින් නිතරම  විශාල මුදල් ප්‍රමාණයක් සඟවා තබා ගැනීම සඳහා රහස් ගබඩා නින්ජා නිවෙස් වල ඇත. සමහර රහස් ගබඩා වලට පිවිසීමට නිවසේ ජනේලයක් විවෘත කර ජනේලයේ උලුවස්සෙන් කොටසක් ඉවත් කල පසුව පොලව ආවරණය කරනා ලීයක් ගැලවීම මගින් සිදු කල හැක. එම දොරටුව කිසිවකුටත් තේරුම් ගත නොහැක. එමෙන්ම සතුරන් වටකරනා ලද අවස්තාවක නිවසින් පිටව යාම සඳහා රහස් දොරටු රැසක් මේ නිවාස වල පවතියි.

නින්ජා වරු භාවිතා කරනා ආයුධ අතරින් බොහොමයක් තියුණු ලෙස  සුවිශේෂී වානේ වලින් සාදා විෂ පෙවූ මාරාන්තික ඒවා වන අතර එම ආයුධ කිසිවකු ඇස නොගැටෙන ලෙසින් සඟවා ගෙන යා හැකි ආකාරයට ආවරණ සහිතය. උදාහරණයක් ලෙසින් කිවහොත් සංගීත නාදය ඉපදවන ලෙස වාදනය කල හැකි බටනලාවල තියුණු සිහින් පිහි සඟවා ඇත. මේ බටනලා නින්ජා කාන්තාවන් නිතර භාවිතා කර ඇති ආයුධ අතරින් එකකි. බටනලාව වාදනය කරනා අතර සිය වසඟයට ගන්නා සතුරන් බටනලාව තුලින් ඉවතට ගන්නා පිහියෙන් ඝාතනය කර නැවත පිහිය බටනලාව තුල රුවාගෙන නලාව වාදනය කිරීමට ඔවුනට හැක.

සිය ඇඟිලි අතර රුවාගෙන විසිකිරීම මගින් පහරදිය හැකි තාරකා නම් වන ආයුධයෙහි නිපුන තාව  දක්ෂ නින්ජා වරයකු අනිවාර්යයෙන්ම ප්‍රගුණ කළයුත්තකි. 

මේ වනවිට නින්ජා වරුන්ගේ ඔත්තුකාර සේවය සඳහා අවශ්‍යතාවයක් නොමැත. නමුදු පාරම්පරික නින්ජා පවුල් කිහිපයක් සිය ශිල්පී ක්‍රම නැසී යාමට නොදී පවතවාගෙන යති. මේ වනවිට ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය සංචාරකයන් සඳහා නින්ජා සටන් ක්‍රම සංදර්ශන පැවැත්වීමය. සංචාරකයන් සඳහා පවත්වන මේ සංදර්ශන තුලින් ජපානය වෙත විශාල විදෙස් විනිමයක් නින්ජා වරුන් ගෙන එති. 

Wednesday, August 23, 2017

වෙනස සැපද?

යහපාලන රජය පිහිටුවීමට දර දිය අදිනු ලැබූ පිරිස බොහෝය. මේ අතරින් බහුතරයක් කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී, පැවති දුර්දාන්ත පාලන ක්‍රමය පෙරලා දැමීමේ අදහසින්ම පමණක් කටයුතු කරනා ලද පිරිසකි. මෙයට පෙරදී ආණ්ඩු පෙරළි සඳහා පෙරමුණ ගනු ලැබුයේ සමාජ ක්‍රියාකාරීකයන් සහ මාධ්‍යවේදීන්ය. නමුත් යහපාලන රජය පිහිටුවීමේ පෙරමුණ ගෙන සිටියේ සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරීන්ය. එය තාක්ෂණයේ දියුණුවත් සමගම බිහිවූ නව ප්‍රවනතාවකි.  ප්‍රධාන මාධ්‍ය ආයතන සියල්ල රාජපක්ෂ ගැතිව සිටි අවදියක විපක්ෂ දේශපාලනය සඳහා ඉතිරිව තිබුනේ ෆේස් බුක් ප්‍රධාන සමාජ මාධ්‍ය පමණකි.

නව රජය බිහිවීමත් සමගම රජයේ ප්‍රධාන තනතුරු සමහරක් සඳහා යහපාලන ප්‍රතිපත්ති වෙත කිසි ලෙසකවත් නොහොබිනා චරිත කිහිපයක් තෝරා ගැනිණ. වෙනස වෙනුවෙන් කැපවූ පිරිස් "දැන් වෙනස සැපද?" ලෙසින් ගර්භාවට ලක් වන මට්ටමට සමහර තීරණාත්මක  තනතුරු වෙත පත් කරනා ලද පුද්ගලයන්ගේ පෙර ක්‍රියාකලාපය නොහොබිනා මට්ටමක පැවතිණ. නමුත් සමාජ ජාල හෙළිකිරීම් මැද එවන් බොහෝ පුද්ගලයින්ගේ තනතුරු ගලවා දැමීමට රජයට සිදුවිය. 

කවුරුන් කෙසේ විවේචනය කලද මේ වනවිට යහපාලන රජය පිහිටුවීම නිසා රටෙහි සුවිසල් සාමාජීය සහ දේශපාලනමය ප්‍රගමනයක් සිදුව ඇත. පෙර දුර්දාන්ත සමයේදී රජය විවේචනය කරනා ලද පුද්ගලයනට සුදු වෑන් සාත්තුව ලැබුනද නව රජය තුල එවන් ප්‍රජාතාන්ත්‍ර විරෝධී ක්‍රියා පසුගිය වසර දෙක පුරාවට වාර්තා වුයේ නැත. මේ වෙනස රාජපක්ෂ කුක්කනට බොරදියේ මාළු බෑමට කදිම අවස්ථාවක් උදා වී ඇත. අවම වශයෙන් සෑම සතියකට වරක් ප්‍රධාන මාර්ග හරස් කරමින් පවත්වන විරෝධතා සාමාන්‍යකරණය වී ඇති බව දක්නට ලැබෙයි. රාජපක්ෂ රෙජීමයේ අනුග්‍රහයෙන් සහ මුල්‍ය ආධාරයෙන් ආරම්භ කරනා ලද සයිටමයට විරුද්ධව අද ජනතාව පෙළමින් විරෝධතා දක්වනුයේ රාජපක්ෂ කුක්කන් වීම පුදුමයට හේතුවක් නොවන්නේය.

පසුගිය සති කිහිපය තුල ජනමතයට හිස නවමින් චෝදනා වලට ලක්වූ රජයේ ප්‍රධාන අමාත්‍ය වරුන් දෙදෙනකු ඉවත් කිරීමට රජය ගන්නා ලද තීරණය රටෙහි ඉදිරි ගමන කෙරෙහි බලාපොරොත්තු තබා ගත හැකි තත්වයක් උදාකර ඇත. එය තවත් අතකින් අනෙකුත් දේශපාලන නායකයනටද රතු එලි දල්වීමකි. එනම් චෝදනා වලට ලක් වුවහොත් කුමන තරාතිරමක සිටියද බේරා ගැනීමට කිසිවකු නොමැති බව මතක් කර දීමකි. 

දිනෙන් දින සිය වපසරිය පුළුල් කරගන්නා සමාජ ජාලා ක්‍රියා කාරීත්වය හේතුවෙන්, චෝදනා වලට ලක් වන නායකයන්ට එරෙහිව රජය කෙරෙහි ඇතිවන පීඩනය මහා මාර්ගය හරස් කරමින් ජනතාව පීඩාවට පත් කරනා විරෝධතාවනට වඩා සිය දහස් ගුණයකින් විශාලය. කොරේ පිට මරේ කීවාක් මෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිබඳ පනත ක්‍රියාකාරී වීම, සන්නිවේදන තාක්ෂණයේ දියුණුව කරනකොට ගෙන  දත්ත විශ්ලේෂණය සඳහා තිබෙන අවස්ථා නිසා දුෂණ හෙලිකරගැනීමට ඇති හැකියාව මෙන්ම  රජය විසින් මර්ධනයෙන් තොරව පවත්වාගෙන  යන ප්‍රජාතාන්ත්‍රීය පාලන ක්‍රමවේදය නිසා විවේචනය සඳහා පොදු ජනතාව බිය නොවීම සියලු අයථා ක්‍රියා වලකා ලීමට හේතුවක් වනු ඇත.

අවසානයේ කිව යුත්තේ වෙනස සැප බවය.