Friday, September 16, 2016

රජයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රමාදය වැලැක්වීම සඳහා විද්‍යුත් ප්‍රසම්පාදනය - බලධාරීන්ගේ අවධානය පිණිසයි.

යහපාලන රජය පත්වූ පසුව රටේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රමාදයක් ඇතිබව බහුතරයක් මහජනතාවගේ චෝදනාවකි. එහි සත්‍යයක් නැත්තේ නොවේ. මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති පමණක් නොව බොහොමයක් රජයේ ආයතන වල එදිනෙදා ක්‍රියාකාරකම් වලද විශාල ප්‍රමාදයක් දක්නට ලැබෙයි.

මෙයට හේතුව රජයේ ව්‍යාපෘති බොහොමයක් ප්‍රසම්පාදන ක්‍රියාදාමය තුල සිරවීමය. දැනට බලපවත්නා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය වසර 10කට ඉහත 2006 වසරේ සම්පාදනය කරනා ලද්දකි. එවකට පිහිටුවා තිබූ ජාතික ප්‍රසම්පාදන නියෝජ්‍යායතනය (National Procurement Agency) මගින් සම්පාදනය කරනා ලද මෙම ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය (Procurement Guidelines) සහ ප්‍රසම්පාදන කාර්ය සංග්‍රහය (Procurement Manual) ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය ආයතන බොහෝ දුෂ්කරතාවනට පත්වේ. එයට හේතුව වනුයේ මෙම ප්‍රසම්පාදන රෙගුලාසි මෙරට අවශ්‍යතාව අධ්‍යනය නොකොට සාදා තිබීමය. එය මහා පරිමාන ව්‍යාපෘති සඳහා සකස් කරන ලද ලෝක බැංකු ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ අමුම අමු කොපියකි. දැනට අනුගමනය කරනා මෙම රෙගුලාසි ස්වභාවයෙන්ම අකාර්යක්ෂම රාජ්‍ය අංශයට කාලය කා දැමීම සඳහාම සකස් කරනා ලද්දක් බව පෙනේ.

පසුගිය රාජපක්ෂ සමයේ මෙම ප්‍රසම්පාදන රෙගුලාසියම යොදවාගෙන මිලදී ගැනීම් වේගවත්ව කරගෙන යාමට අපුරු ක්‍රමවේදයක් භාවිතා කෙරින. එනම් කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව ආයතන බලධාරීන්ගේ හෝ දේශපාලන බලධාරීන්ගේ හිතවතුනට කොන්තරාත් පැවරීමය. පසුව ප්‍රසම්පාදන මාර්ගෝපදේශයට අනුව පෙර දාතම යෙදු ලිපි ගොනු සකස් කෙරින. මෙම ක්‍රමවේදය ටෙන්ඩර වංචා වලට මගපාදන ලද බොහෝ සෙයින් දුෂිත ක්‍රමයක් වුවද මිලදී ගැනීමේ ක්‍රියාදාමය බෙහෙවින් වේගවත් විය. 

කෙසේ නමුත් පවත්නා යහපාලන රජයට ස්වකීය ඉලක්ක වෙත ලඟා වීමට නම් ප්‍රසම්පාදන ක්‍රියාවලිය වේගවත් කලයුතුය.  මේ සඳහා ප්‍රසම්පාදන රෙගුලාසි රජයේ ආයතනවල අවශ්‍යතාවට අනුව සංශෝධනය කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. යුරෝපය පමණක් නොව ඉන්දියාව ඇතුළු වෙනත් රටවල් රාශියක්  ප්‍රසම්පාදනය සඳහා යොදාගනු ලබන අන්තර්ජාලය මත පදනම් වූ විද්‍යුත් ප්‍රසම්පාදනය  (e-procurement ) මෙරටට හඳුන්වා දිය යුතුය. මෙරට සියලුම ආයතන ආවරණය වන විද්‍යුත් ප්‍රසම්පාදන අඩවියක් (e-Procurement Web Portal) ස්ථාපිත කිරීම සඳහා වැය වනුයේ රුපියල් මිලියන 300ක පමණ මුදලකි. ඉන්දියානු මෘදුකාංග සමාගම් රාශියක් මෙවන් ප්‍රසම්පාදන අඩවි නිර්මාණයේ යේදී සිටිනා අතර බොහෝ ඉන්දියානු ප්‍රාන්ත රජයන් විසින් ප්‍රසම්පාදනය සදහා ඒවා යොදා ගනිති.

රජයේ සංවර්ධන කටයුතු ප්‍රමාදයට මුලික හේතුවක් බවට පත්ව ඇති ප්‍රසම්පාදන ක්‍රියාවලිය නව තාක්ෂනය උපයෝගීකරගෙන විද්‍යුත් කරණය සඳහා බලධාරීන්ගේ අවධානය යොමුකිරීම රජයේ පැවැත්ම තවත් ස්ථාවර කිරීමට හේතු වනු ඇත.

ප.ලි. :- ලියුම්කරු විසින් දැනට වසරකට පමණ පෙර මේ සම්බන්ධව අන්තර්ජාලය පදනම් කරගත් අධ්‍යනයක් සිදුකල අතර මෙරටට ගැලපෙන විසඳුමක් සඳහා පිරිවිතර (Terms of Reference) මුලික මට්ටමින්  සකස් කර ඇත. ලියුම් කරු ප්‍රසම්පාදනය සම්බන්ධව පවත්වාගෙන යන Procurement World Wide බ්ලොග් අඩවියෙහි 2015 ඔක්තෝම්බර් මස පල කරනා ලද Terms of Reference for e-Prcourement Web Portal බ්ලොග් ලිපිය තුලින් එයට පිවිසිය හැක.

Monday, September 12, 2016

ණය උගුලින් ගැලවීමට අගමැතිවරයා දරන ප්‍රයත්නය සිහිනයක් නොවීමට නම්....

එක්සත් ජාතික පක්ෂ 70 වන සංවත්සර සමුළුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පවසා සිටියේ වසර 2020 වන විට ශ්‍රී ලංකාව ණය බරින් නිදහස් කරගන්නා බවය. එම ප්‍රකාශය අග්‍රාමාත්‍ය වරයාගේ කථාවෙහි වැදගත්ම අංගය බව නොකිවමනාය. ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත්වීම අපේක්ෂා කරන සැමගේම ප්‍රයත්නයන් මල්ඵල දැරීමට නම් මෙම ණය උගුලෙන් ගැලවිය යුතුම ය.

නමුත් ප්‍රශ්නය වන්නේ පවතින රාජ්‍යතාන්ත්‍රික  පරිසරය තුල එම ඉලක්කය කරා ලඟා වීමට අගමැති වරයා ප්‍රමුඛ රජයේ දේශපාලන අධිකාරියට හැකියාවක් තිබේද? යන්නයි. පසුගිය දශකයේදී කිසිදු පාලනයකින් තොරව ලබාහන්නා ලද මෙම ණය බර අඩුකරලීමට නම් රටේ නිෂ්පාදනය ඉහල නැංවීම සහ නව අදායම් මාර්ග වෙත ප්‍රවිෂ්ඨ වීම අනිවාර්‍යයෙන්ම සිදු කලයුතු අතර රටේ මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කලයුතුය.

මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති සහ ආයෝජන ව්‍යාපෘති  වල විශාල ප්‍රමාදයක් දක්නට ලැබෙයි. එයට ප්‍රධාන හේතුව ලෙසින් නීති සහ රෙගුලාසි ඉදිරියට දමාගත් ඉබි ගමන් රාජ්‍ය සේවය දැක්විය හැක. එයට අමතරව, රාජපක්ෂ රෙජීමයේ දුෂිත වන්දිභට්ට නිලධාරීන් තවදුරටත් යහපාලන රජයේ ඉහලම තනතුරු දරති. නිලධාරීන් මෙන්ම උපදේශකයන්ද වශයෙන් වැටුප් සහ වෙනත් දීමනා ලබති. මෙම චරපුරුෂයින් යහපාලන රජයේ ව්‍යාපෘති ප්‍රමාද කරති. කඩාකප්පල් කරති. ඔවුහු FCID ය පලිහක් කරගෙන ඉන්නා බවක් දක්නට ලැබෙයි. සියලුම FCID පරීක්ෂණ පැවැත්වෙනුයේ රාජපක්ෂ රෙජීමයේ වංචා සහ දුෂණ වලට එරෙහිව මිස සංවර්ධන ව්‍යාපෘති වලට එරෙහිව නොවන බව පැහැදිලිව දක්නට ලැබුනද ඕවා කරලා අපිට FCID යාමට නොහැකි බව මන්තරයක් සේ ජප කරති. ඉන් නොනැවතී රජයට තර්ජනද කරති. අගමැතිවරයා පසුගිය දිනෙක එම තර්ජන වලට දැක්වූ ප්‍රතිචාරය ප්‍රසංශනීය බවද කිව යුතුය.

මෙම තත්වය යටතේ අගමැති වරයාගේ ප්‍රයත්නය වසර 2020 දී සාර්ථක වීමට නම රාජ්‍ය සේවයේ කඩිනම් ප්‍රතිසංස්කරණයක් සිදු කල යුතුය. නැතහොත් ණය උගුලින් ගැලවීම සිහිනයක්ම පමණක් වනු ඇත.