Tuesday, May 16, 2017

බ්‍රිතාන්‍ය යුගයේ ලංකාවේ අධ්‍යාපනය - ෆෙඩ්රික් නෝත් යුගය

ෆෙඩ්රික් නෝත් ආණ්ඩුකාරවරයා
ලංකා ඉතිහාසයේ ඉංග්‍රීසි පාලන යුගය ඇරඹෙන්නේ වසර 1796 පෙබරවාරි 15 දින එවකට ඕලන්ද ආණ්ඩුකාරයා වූ වැන් අන්ගේල්බෙක් විසින් කොළඹ කොටුව ඉංග්‍රීසින්ට  භාරදීමත් සමගය. මේ සමගම ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ  බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියානු වෙළෙඳ සමාගමේ මදුරාසියේ පිහිටි " මදුරාසි ප්‍රසිඩන්සි"   මධ්‍යස්ථානයට අනුබද්ධ යුධ ආණ්ඩුකාරවරුන්  මගින් පාලනය කිරීම ඇරඹිණ. වසර 1798 ඔක්තෝම්බර් 12 වන දින ඉංග්‍රීසි මහරජු විසින් ලංකාවේ ප්‍රථම සිවිල් ආණ්ඩුකාරයා ලෙස ෆෙඩ්රික් නෝත් පත් කළද තවමත් පරිපාලනය වෙළෙඳ සමාගම සතු විය. වෙළඳ සමාගම මුදල් රැස්කිරීමේ චේතනාවෙන් දැඩි ලෙස අයබදු පැනවීම නිසා කරල්ලක්ද ඇතිවිණ. මේ නිසා වසර  1801 මාර්තු 10 වන දින ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් ලෙසින් නම් කිරීමත් සමග වෙළෙඳ සමාගමේ පාලනය අහවර වින.

ඉංග්‍රීසින්ට පෙර සිටි ලන්දේසින් විසින් මෙරට විධිමත් අධ්‍යාපන ක්‍රමයක් ඇතිකර තිබිණ. නමුත් මුදල් ඉපයීම ඒකායන අරමුණ කරගෙන සිටි පෙරදිග ඉන්දියානු වෙළෙඳ සමාගමේ නිලධාරීන් අධ්‍යාපනය නොසලකා හැරියහ. පාසල් පාලුවට ගොසින් රටෙහි පැවති අධ්‍යාපන ක්‍රමය සහමුලින්ම බිඳ වැටිණ. 

ෆෙඩ්රික් නෝත් ආණ්ඩුකාරවරයාගේ මුල් යුගයේදී වෙළෙඳ සමාගමේ බලපෑම තිබු බැවින් අධ්‍යාපනය වෙනුවෙන් එතරම් අවධානයක් යොමු වුයේ නැත. නමුත් වෙළඳ සමාගමේ ග්‍රහණයෙන් මිදී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස නම් කළ පසුව එවකට බ්‍රිතාන්‍ය රජයේ අධ්‍යාපන ප්‍රතිපත්ති වලට අනුකුල ලෙස අධ්‍යාපනය දියුණු කිරීමේ හැකියාව  ෆෙඩ්රික් නෝත් ආණ්ඩුකාරයාට ලැබිණ.

රට වැසියන් ක්‍රිස්තියානි ආගමට  හරවා ගැනීමට හොඳම මෙවලම වශයෙන් සැලකුණ නිදහස් අධ්‍යාපනය දියුණු කිරීම සඳහා ලන්දේසින් විසින් පෙරදී ස්ථාපනය කර තිබූ "පැරිෂ් පාඨශාලා" ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය ෆෙඩ්රික් නෝත් ආණ්ඩුකාරයා විසින් ඒවා නැවත ආරම්භ කළේය. මේ කාලයේදී යුධ හමුදාවේ දේවගැතිවරයා වශයෙන් පත් වීම ලබා පැමිණි ජේම්ස් කෝඩිනර් පුජකවරයාව රජයේ පාසල් අධිපති වරයා ලෙසින්ද පත් කළේය. එවක් වනවිට සිරභාරයේ සිටි ලන්දේසි පුජකයන් ද නිදහස් කර ඔවුන්වද අධ්‍යාපන කටයුතු සඳහා එකතු කර ගන්නා ලදහ. කෝඩිනර්  විසින් පාඨශාලාවල නඩත්තුව සඳහා මසකට රික්ස් ඩොලර් අටක මුදලක්   ලබාදීමට රජය පොළඹවා ගත්තේය. ඉන් පෙර පටන් ලන්දේසි යුගයේ පාසල් වල ආදායම වුයේ විවාහ ලියා පදිංචි කරනා අවස්ථාවේ අය කර ගන්නා ලද මුදලය.  

ඉංග්‍රීසින් විසින් පාඨශාලා පවත්වන ලද්දේ පෙර ලන්දේසින් විසින් තනවන ලද ගොඩනැගිලි නැවත ප්‍රතිසංස්කරණය කිරීමෙනි.  මේවා ආඩි පහක් උසට බිත්ති බැඳ තවත් ඉහලට නංවන ලද කණු මත උළු සෙවිලිකරනා ලද වහල සහිත ගොඩනැගිලි වේ. මේ පාඨශාලාවල කියවීම, ලිවීම, අංක ගණිතය සහ ක්‍රිස්තු ධර්මය යන විෂයන් උගන්වන ලද අතර ඒවා සිසුන්ගේ මවු බසින් ඉගැන්වීම කර ඇත.

පැරිෂ් පාඨශාලා බොහොමයක් පිහිටුවන ලද්දේ ග්‍රාමීය පෙදෙස් වල වන අතර ඒවා ග්‍රාමීය ළමුන් සඳහා වෙන් කෙරිණ. යුරෝපීය ජාතිකයන්ගේ දරුවනට සහ දේශීය ප්‍රභූ පන්තියේ දරුවනට ඉගෙන ගැනීම සඳහා කොළඹ සහ වෙනත් නගරවල පිලියල කිරීමේ පාඨශාලා නමින් ඉංග්‍රීසි මාධ්‍ය පාඨශාලා ඇතිකර තිබේ. 

කොළඹ පිහිටුවන ලද සෙමනේරිය හෙවත් ඇකඩමිය පාසල් අතර උසස්ම අධ්‍යාපන ආයතනය වින.එය ඇත්තෙන්ම සිංහල ළමුන් සඳහාද, දෙමල ළමුන් සඳහාද සහ යුරෝපීය ජාතික ළමුන් සඳහාද වශයෙන් වූ පාසල් තුනක එකතුවකි. සෙමනේරියේ අරමුණ වුයේ රජයේ තනතුරු සඳහා ඉංග්‍රීසි උගත් තරුණයන් බිහි කිරීමය. 

ෆෙඩ්රික් නෝත් ආණ්ඩුකාරයා ගේ අදහස වුයේ අධ්‍යාපනය පමණක් නොව කෑම බීම, ඉඳුම් හිටුම් සහ ඇඳුම් පැළඳුම් සියල්ල නොමිලේ ලබා දෙන ආයතනයක් වශයෙන් සෙමනේරිය පවත්වා යාමය. නමුත් ඒ සඳහා වාර්ෂික පිරිවැය වශයෙන් ගණන් බැලූ රික්ස් ඩොලර්  26480 ක මුදල මුළුමනින් වැය කිරීමට රජය කැමති නොවූ නිසා මුදල් ගෙවා ඉගෙන ගන්නා බාහිර ශිෂ්‍යයන්ද එයට ඇතුලත් කරගන්නා ලදී. මෙයට අමතරව ස්වදේශිකයන් ආණ්ඩුකාරයාට එවනා පෙත්සම් මේ පාසලේ ශිෂ්‍යයන් ලවා ඉංග්‍රීසියට පරිවර්ථනය කරගන්නා ලෙසද ආණ්ඩුකාරයා විසින් නියෝගයක් පනවන ලද්දේ පාසැල වෙත ආදායමක් ලබා ගැනීමේ අරමුණ පෙර දැරි කරගෙනය. 

නෝත් ගේ අධ්‍යාපන ප්‍රතිසංවිධාන නිසා රජයට වැයවෙන මුදල් ප්‍රමාණය වැඩිවීමෙන් යටත් විජිත භාර මහා ලේඛම් වරයා විසින්  පිරිවැය රන් පවුම් 1500කට සීමා කරගන්නා ලෙස නියෝගයක් පැනවීය.  මේ අනුව පෙරදී සෙමනේරියේ වියදම වූ රික්ස් ඩොලර්  26480 ක මුදල රික්ස් ඩොලර් 846 ක් දක්වා අඩු කරගන්නා ලෙස ආණ්ඩුකාර නෝත් කොඩිනර් ට දැන්වීය. වියදම් අඩු කර ගැනීම සඳහා පාසල  අලුත් කඩේට ගෙනගිය අතර  එය අලුත්කඩේ ස්වදේශික පාසල් ලෙසින් නම් කෙරිණ. මේ නිසා ස්වදේශිකයන් අතර ඇකඩමිය වෙත තිබූ උනන්දුව හීනව ගියේය. 

පැරිෂ් පාසල් වල ගුරුවරුනට එතෙක් ගෙවූ ගුරු වැටුපද 1804 ජනවාරි සිට නවත්වන ලදී. නමුත් පැරිෂ් පාසල් වල ගුරුවරු නොතාරිස් සේවයේ යෙදී මුදල් හම්බ කරගත් නිසා මේ පාසල් වලින් කිහිපයක් තව දුරටත් නොවැසී ඉතිරි විය.

තමන් විසින් පිහිටුවන ලද අධ්‍යාපන ක්‍රමය බිඳ වැටීමෙන් නෝත් සහ කෝඩිනර් දෙදෙනා බලවත් ලෙස සන්තාපයට පත් විය. මොවුන් දෙදෙනා අවස්තාව ලද වහාම රටින් පිටව ගියහ. ඒ දිවයිනේ අධ්‍යාපනය අමතක කරනු සඳහා නොව ලංකා වාසීන්ගේ අධ්‍යාපනය සම්බන්ධව බ්‍රිතාන්‍ය රජය උනන්දු කරවීම පිණිස එරටෙහි උද්ගෝෂණ ඇති කරවීම අරමුණු කොට ගෙනය.

මුලාශ්‍ර :
ලංකා අධ්‍යාපනයේ බ්‍රිතාන්‍ය යුගය. - රංජිත් රුබේරු 

9 comments:

  1. ආණුඩුකාරවරු ලිස්ට් එක ගත්තම ලංකාවට ලොකු සේවයක් කරපු අය ඉන්නවා... එහෙම වෙලත් ලංකාවෙ සමහර මිනිස්සු තාම හිතන් ඉන්නෙ ලංකාවෙ ඉස්සර හිටපු "සුද්දෝ හැමෝම" නිසාම ලංකාවට හෙන ගැහුවා කියලා...

    ReplyDelete
    Replies
    1. විස්කවුන්ට් ටොරිංටන් නේද හොඳම එකා?

      ටොරිංටන් සුරුවා
      ඇඟ බද්ද ඇති කෙරුවා!

      ඒ ඇඟ බද්ද දැම්මේ පාරවල් හදන්නයි ලු!

      Delete
    2. ආණ්ඩුකාරවරු හැමෝම කියලා කිව්වෙ නෑනෙ... ඔහොම ගන්නවනන් ටොරින්ටන් විතරක් නෙමේ තව අය ඕනතරම් ඉන්නවා...

      Delete
    3. මම කියන්න උත්සහ කලේ ලංකාවට හොදක් කරපු එක සුද්දෙක්වත් නෑ කියලා මිනිස්සු හිතන් ඉන්නවා කියලා කියන්නයි... මම කිව්ව දේ වරදවා වටහාගෙන වගේ පේන්නේ...

      Delete
    4. හැම විෂයයකටම වගේ දායකත්වයක් ලැබිලා තියනවා.
      සුද්දො රට කෑවා කියන මතය ඇති කලේ ඒ කාලෙ දේශීය දේශපාලඥයන්. ඒ ඔවුන් බලයට ඒමට, බලය පවත්වාගෙන යාමට හා තම අඩුපාඩු වසන් කිරීමට.
      තාමත් ගිරව් වගේ ඒ මන්තරේම කියනවා සමහරු

      Delete
  2. සුද්දෝ ලංකාවට වැඩ කරලා ගියා එත් කලු සුද්දෝ රට බාරගත්තාට පස්සේ තාම රේල් පාරවත් දිග්කරගන්න බැරිවුනා.

    අපිව පාලනය කල බි‍්‍රතාන්‍යයෝ https://kolompure.blogspot.com/2016/08/blog-post_10.html

    ReplyDelete
  3. //සුද්දෝ ලංකාවට වැඩ කරලා ගියා එත් කලු සුද්දෝ රට බාරගත්තාට පස්සේ තාම රේල් පාරවත් දිග්කරගන්න බැරිවුනා.
    යාපනය පුස්තකාලය ආසියාවේ ලොකුම පුස්තකාලය යන බොරුව වැනිම තවත් බොරුවක්

    බිරිතානීන් විසින් ලංකාව සංවර්ධනය කල බව ඇත්ත නමුත් එයින් වුනේ සිංහලයන් ලංකාව තුල බෝඩිංකාරයන්ගේ තත්වයට වැටීමයි.
    මීට සමාන තත්වයක් මෝගල් අධිරාජ්‍යය සමයේ හින්දූන්ටද සිදුවුනා

    ReplyDelete
  4. එක ජාතියක් එක රටක් ලෙස සාමකාමීව ජීවත් උන ලංකාවෙ මිනිස්සුන්ව පාලනයේ පහසුවට කියල භේදභින්න කරල පාලනය කරපු හින්ද වර්තමානයෙත් ජාතිවාදී කුලවාදී අදහස් ඇති වී තිබේ.යටත් විජිතකාරය්න්ගෙන් ලැබුනු පිළිකාවක් තමා ඒ 😔

    ReplyDelete
  5. බ්‍රිතාන්‍ය ජාතිකයන් ගැන කථා කරන විට ඔවුන් ලේබර් පාටියේ ද කන්සවේටිව් එකේ ද යන්න වැදගත් වේ......

    තවද බ්‍රිතාන්‍යය අධ්‍යාපනය පිහිටුවෘහේ මූලික අරමුණු මත තර්ක මෙහෙයවිය යුතු වේ.....

    ඒ අනුව බ්‍රිතාන්‍යය ආණ්ඩුකාරවරුන් දේශීයව පැවත ආ අධ්‍යාපනය කොපමණ දුරට තම අධ්‍යාපනයට වද්දා ගත්තේ ද සහ අද දක්වා මෙහි පාරිභූත වන මහා ඉදිකිරීම් සිදු කළ දේශීය ගණිතය හා විද්‍යාව කොතෙක් විෂය මාලාවට වද්දා ගත්තේ ද යන්න සලකා බලමින් බ්‍ර්තාන්‍යය අධ්‍්‍යාපනය ලංකාවට සෙත සැදුවේ ද යන්නට හොඳම උදාහරණ අද මෙරට පවතින ස්වාභාවයෙන් ම පැහැදිළිය වේ......

    ReplyDelete