Tuesday, May 9, 2017

ලන්දේසීන්ගේ සිංහල සාහිත්‍යය මෙහෙවර

සිංහල කතෝලික සාහිත්‍යය  සම්බන්ධව කියවෙන බොහෝ තැන්හිදී එහි පුරෝගාමීන් ලෙසින් සම්භාවනාවට පාත්‍ර වනුයේ ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමන් සහ ජුසේ වාස් පිය තුමන් යන දෙපලය. එතුමන්ගේ සමකාලීන යුගයේ  බලයේ සිටියේ ලන්දේසි පාලකයන් ය. ලන්දේසීන්න්  විසින් අනුග්‍රහය දක්වන ලද්දේ රෙපරමාදු පුජකවරුන්ටය. සිංහල කතෝලික සාහිත්‍යය පිලිබඳ කතිකාවේදී රෙපරමාදු පුජක වරුන්ගේ දායකත්වය ගැන  පිළිබඳව නිසි ඇගයීමක් සිදුවන්නේ නැත. මෙයට මුලික හේතුව ලෙස සැලකිය හැක්කේ නුතන ශ්‍රී ලාංකීය ක්‍රිස්තු භක්තිකයන්ගෙන් අති බහුතරය රෝමානු කතෝලික ආගම ඇදහීම වන්නට පුළුවන. රෝමානු කතෝලික වුවද, රෙපරමාදු වුවද ධර්මය එකමය. ඇදහිලි ක්‍රම සහ ඇවතුම් පැවතුම් වෙනස්ය.

ගොන්සාල්වේස් පියතුමා සඟරුවන ඇසුරේ වියත් හෙළ බස හදාරා සිංහල කතෝලික සාහිත්‍යය බිහිකළේය. මේ කාලයේදීම රෙපරමාදු නිකායට අයත් ලන්දේසි පුජකවරු සිය ආගමික පොත පත සිංහල සහ දෙමල භාෂා වලින් ලියා තමන්ගේ අනුගාමිකයන් අතර බෙදා හැරියහ. නමුත් රෙපරමාදු පුජකවරු ඔවුන්ගේ සාහිත්‍යය කාර්යයේ දී වියත් සිංහල බස භාවිතා කර නැත. ඔවුන්ගේ භාෂා ඥාණය තත් කාලීන කථා ව්‍යවහාරයෙන් ඔබ්බට ගොස් නැත.

මුද්‍රණ ශිල්පය මුල් වරට මෙරටට හඳුන්වා දීමේ ගෞරවය හිමි වන්නේ ලන්දෙසීන්ටය. ඔවුන් ආරම්භ කරනා ලද මුද්‍රණාලයේ පළමු සිංහල භාෂා පොත වසර 1737 දී මුද්‍රණය කර ඇත. එය පිටු 47 කින් යුතු ලොකු අකුරු සහිත ග්‍රන්ථයකි. එහි අන්තර්ගතය වී ඇත්තේ දස පනත, ක්‍රිස්තියානි ඇදහිල්ලේ වගන්ති දොළහ තවත් යාච්ඥා කිහිපයකි.  


ඕලන්ද රජයේ අනුග්‍රහයෙන් සිංහල සාහිත්‍යයට සිදුවූ උසස්ම සේවය ශුධවූ බයිබලයේ අලුත් ගිවිසුම සම්පුර්ණයෙනුත්  පරණ ගිවිසුමේ කොටස් කිහිපයකුත් හෙළ බසට හැරවීමය. රටවල් යටත් කරගැනීම සඳහා ආගම් පැතිරවීම ක්‍රමෝපායක් වශයෙන් භාවිතා කළ ලන්දේසීහු බයිබල් පරිවර්ථනයට නොමසුරු ආධාරයත් අනුබලයත් ලබා දී ඇත. වසර 1739 දී මතෙවුස්, මාර්කුස්, ලුකස් සහ යොහාන්නෙස් සිංහල බසින් මුදණය කර ඇත. පාවුලු තුමන් රෝම වරුනට යැවූ ලිපිය 1772 වසරේදීද, ගලාති වරුනට යැවූ ලිපිය සහ  කොරින්තිවරුනට යැවූ ලිපි සහ අලුත් ගිවිසුමේ අනෙකුත් ලිපි 1773 දී ද මුදණය කර ඇත. මේ මුදණයන් ග්‍රීක් භාෂාවෙන් සිංහලට කරනා ලද පරිවර්ථන වෙති. 


ශුධවූ බයිබලය පරිවර්ථනයට අතිශය අපහසු කෘතියකි. එහි ග්‍රීක්, ලතින්සහ හීබෘ භාෂාමය වාක් සම්ප්‍රදායන් (Idioms) සහ යෙදුම්  අන් බසකට පරිවර්තනය පහසු නැත. මේ සඳහා මුල් බස මෙන්ම පරිවර්ථනය කරනු ලබන භාෂාව පිලිබඳ මනා පරිචයක් තිබිය යුතුය. නමුත් ලන්දේසි යුගයේදී බයිබලය පරිවර්ථනය කරනා ලද පුජකයිනගේ  භාෂා ඥාණය කථා කරනා බසින් ඔබ්බට ගොස් නැති බව එකී බයිබල් පරිවර්ථනය සාක්ෂි දරයි.

උදාහරණයක් ලෙස මුල් රෙපරමාදු බයිබල් මුද්‍රණයේ පහත වාක්‍යය සලකමු. 
"තමුංගෙ භාර්‍යාව වෛශ්‍යා කාරනාවක් නොවී ඇත හරිතොත් ඔහු කරවන ප්‍රදාරයැ. අත් ඇරුණු ඈ විවාහ කරගත්තොත් ඔහු කරන ප්‍රදාරයැ". (මතේවුස් 5:32)

එම වාක්‍යය ලියුම්කරු භාවිතා කරනා ශුධවූ බයිබලයේ 2006 මුද්‍රණයේ මෙලෙස දැක්වෙයි 
"වේශ්‍යාකම හැර අන් කරුණක් නිසා සිය භාර්යාව දික්කසාද කරන  කවරකු වුවද ඔහු ඇය කාමමිත්‍යාචාරයට පමුණුවන්නේය. එසේ දික්කසාද කරනු ලැබූ ඇය විවාහ කරගන්න යමෙක් වේ ද, ඔහුත් කාමමිත්‍යාචාරය කරන්නේය."

කෙසේ වතුදු ලන්දේසි යුගය වන විට අප රටේ අධ්‍යාපනය ඉතාමත් ස්වල්ප දෙනෙකුට සීමාව පැවතිනි. 16 වන සියවසේ සිට රට තුල සිදුවූ අවුල් වියවුල් නිසා මෙරට අධ්‍යාපන ආයතනයන් වූ පිරිවෙන් සහ පන්සල් පිරිහී යාමත් සමග සිංහල සාහිත්‍යය සහ ව්‍යාකරණ පිලිබඳ සාමාන්‍ය ජනයා අතර දැනුම හීනවී ගොස් භාෂාව ගැමි වහරට සීමාව තිබිණ. මෙවන් තත්වයක් තිබූ යුගයක ආගම පැතිරවීම අරමුණු කොටගෙන හෝ සිංහල පොත පත ජනගත කිරීම පැසසුම් සහගතය. 

මුලාශ්‍ර 
සවිස්තර සිරිලක් කිතු සසුන. ගරු තිමති කොළමුන්නේ පැ. තු. නි.පියතුමා 
සිංහල සාහිත්‍ය වංශය - මහාචාර්‍ය පුංචි බණ්ඩාර සන්නස්ගල 
සිංහල ක්‍රිස්තියානි සාහිත්‍ය වංශය. ආචාර්‍ය එඩ්මන්ඩ් පීරිස් රදගුරු තුමා.

4 comments:

  1. මචං හෙටත් ඉස්පිරිතාල ඉට්ටයික්ද ....එහෙනං නෙවිල් ප්‍රනාන්දු එකටවත් ගිහිං බෙහෙත් ටිකක් ගම්මු ....උඹට හැදිලා තියෙන්නේ බ්ලොග්පොස්ට්ටිස් එන්කෙපටයිටිස් කියන බයානක ලෙඩේ ...නිට්ටාවටම සුවකරන්ඩ නං බෙහෙත් නැ ඕකට .... ඒත් ලෙඩේ පාලනය කරගන සාමාන්‍ය ජීවිතයක් ගතකරන්ඩ පුලුවන්ලු ..... මට කියුවේ කෙලවරපිටිය රාගම රෝහල බස් එකේ කොන්දොස්තර

    ReplyDelete
    Replies
    1. මචන් උඹේ කොමෙන්ට් එක මළගෙදර බැනර් එක වගේ
      උඩින් - "අජරාමර නිවන් සුව ලැබේවා"
      යටින් - "ජාති ජාතිත් අප අතර ඉපදේවා"

      Delete
  2. හොද ලිපියක්... ආප්ප බානවා වගේ එකක් කියවලා ඉවරවෙද්දි තව ලිපියක් පබ්ලිෂ් වෙන හන්දා සමහර ලිපි මඟහැරෙනවා... :D

    ReplyDelete