Sunday, May 7, 2017

ලිස්බන් සිට කැලිකට් දක්වා ගිය පෘතුගීසි දේශ ගවේෂකයෝ

හෙන්රි කුමරුන්
වසර 1453 දී තුර්කීන් විසින් කොන්ස්තන්තිනෝපලය යටත් කර ගැනීමත් සමග යුරෝපයේ සිට පෙරදිගට වූ ගොඩබිම් මාර්ගය යුරෝපීනට අවහිර විය.  මේ නිසා පෙරදිග රටවල සිට යුරෝපයට යැවුණු කුළුබඩු ප්‍රමුඛ වෙළෙඳ භාණ්ඩ ප්‍රවාහනය සඳහා බාධා ඇතිවිය. යුරෝපය සහ පෙරදිග රටවල් අතර වෙළෙඳාම පාලනය තුර්කීන් ගේ අතට පත්වීම යුරෝපා වෙළඳ සමාගම් වලට අහිතකර ලෙස බලපෑවේය.  මේ හේතුවෙන් යුරෝපයේ බලවත් රටවල් පෙරදිගට මුහුදු මාර්ගයක් සොයාගැනීමට වෙහෙසුනහ. මේ කාර්‍යයේ මුල් තැනක් ගත්තේ පෘතුගීසි නැවියන් විසිනි. 

පෘතුගාලයේ පළමුවන ජෝන් රජුගේ තුන් වන පුත්‍රයා ප්‍රසිද්ධ වුයේ "හෙන්රි නම් යාත්‍රිකයා" (Prince Henry the Navigator)  නමිණි. ඔහු නව ලෝකයක් සොයා යාත්‍රා කළ ප්‍රමුඛ නාවිකයකු විය. හෙන්රිගේ යුගය  තෙක් යුරෝපීයන් දැනසිටි දකුණු අර්ධ ගෝලයේ ඈතම ස්ථානය අප්‍රිකානු කාන්තාර වෙරලේ "බෝජාදෝ තුඩුව" (Cape Bojador) විය. පුරාණ නාවිකයන් එම තුඩුව ලෝකයේ දකුණු කෙරවල ලෙස සිතාගෙන  සිටියහ. හෙන්රිගේ නාවුක පන්නයේ අණදෙන නිලධාරියා වූ ගිල් එනේස් (Gil Eanes) බෝජාදෝ තුඩුව පසුකර ගිය ප්‍රථම යුරෝපීය ජාතිකයා ලෙසින් වසර 1434 දී ඉතිහාස ගත විය. 

අනතුරුව වඩාත් දියුණු තාක්ෂණයකින් යුතු නැව් නිර්මාණය කරගෙන නිනෝ ක්‍රිස්ටෝ (Nuno Tristão) සහ අන්තෝනියෝ ගොන්සාල්වෙස් (Antão Gonçalves)  විසින් තවත් ඉදිරියට ගොස් වසර 1441දී බ්ලන්කෝ තුඩුවට (Cape Blanco) පැමිණියහ.  වසර 1443 දී ආර්ගුයින් බොක්කට (Bay of Arguin)  පැමිණි පෘතුගීසීහු වසර 1448 වන විට ක්‍රමෝපායමාර්ගිකව  ඉතාමත් වැදගත් බල කොටුවක් තැනුහ. 

වසර 1444 දී ඩෙනිස් ඩයස් (Dinis Dias) සෙනගාල් ගංගාව (Senegal River) සහ කැප් වර්ට් අර්ධද්වීපය (Cap-Vert) පසුකළේය. මේ වන විට පෘතුගීසීහු අප්‍රිකාවේ බටහිර කාන්තාර පෙදෙසේ දකුණු මායිම පසුකර හමාරය. කාන්තාර මායිම පසු කිරීමත් සමගම හෙන්රි කුමරුන්ගේ එක් ප්‍රාර්ථනාවක් සඵල  වින.එනම් සහරා කාන්තාරයේ බටහිර කොටස මැදින් මුසල්මානු පාලනයට යටත්ව තබූ ගොඩබිම් වෙළෙඳ මාර්ගය මග හැරීමට හැකි මුහුදු මාර්ගයක් පෑදීමය. නොබෝ දිනකින් නැවතත් අප්‍රිකාවේ සිට පෘතුගාලයට වහලුන් සහ රත්‍රන් ළඟාවීම ඇරඹින. වසර 1452 වන විට පෘතුගාලයේ රන් අතිරික්තය යොදාගනිමින් මුල් වරට කෘසාදෝ (cruzado) රන් කාසිය ටංකණය (මුදල් අච්චු ගැසීම) ආරම්භ කෙරින. වසර 1444 -1446 කාලයේදී හෙන්රි කුමරුන් නාවුක යාත්‍රා 40 ක් පමණ යොදා ගනිමින් ලාගොස් සිට දකුණු අප්‍රිකාව වෙත වෙළෙඳාම සඳහා යාත්‍රා කිරීම ආරම්භ කළේය.   

වසර 1455 - 1456 කාල වකවානුවේදී අල්විසේ කැදමොස්තෝ (Alvise Cadamosto) විසින් ඔහුගේ ප්‍රථම මුහුදු යාත්‍රාවේ දී  අප්‍රිකාවේ අත්ලාන්තික වෙරල තීරය ගවේෂණය කොට කේප් වර්ඩේ කොදෙව් පෙළෙහි (Cape Verde Archipelago) දුපත් කිහිපයක් සොයා ගත්තේය. ඔහු මන්ද්‍රි දුපත් (Madeira Islands) සහ කැනරි දුපත් (Canary Islands) වලට ගොඩ බැස්සේය.
1456 වසරේ සිදු කළ දෙවන යාත්‍රාවේ දී කේප් වර්ඩේ දුපත් වලට ගොඩ බට ප්‍රථම යුරෝපීය ජාතිකයා ලෙසින් කැදමොස්තෝ ගෞරවය හිමිකර ගත්තේය. නමුත් පසු කලෙක අන්තෝනියෝ නොයිල් (António Noli) විසින් ඔහු ප්‍රථමයා බව ප්‍රකාශ කළේය. වසර 1462 වන විට පෘතුගීසීන් දැන් සියෙරා ලියොන් නමින් හැඳින්වෙන ප්‍රදේශය දක්වා අප්‍රිකානු වෙරල ගවේෂණය කර තිබිණ. 

බර්තලමේයු ඩයස්
ඉන් වසර විසි හයකට පසුව 1488 දී බර්තලමේයු ඩයස් (Bartolomeu Dias) විසින් අප්‍රිකාවේ දකුණු කෙරවල සොයාගෙන එයට කුනාටු තුඩුව ලෙස නම් කළේය. අප්‍රිකාවේ දකුණු අන්තය සොයා ගැනීම නිසා අප්‍රිකාව මගහැර ඉන්දියාවට මුහුදු මාර්ගයක් සොයා ගැනීමට වන සුභ නිමිත්තක් පහළවූ හෙයින් පෘතුගාලයේ රජු එය සුභ නිමිති තුඩුව (Cape of Good Hope) ලෙසින් නම් කළේය. 

අවසානයේදී වසර 1497 ජුලි මස පළමු දින පෙරදිගට පැමිණීමට මුහුදු මාර්ගය සෙවීම සඳහා නැව් හතරක සහ නාවිකයන් 160 ක පන්නයක් සමග වස්කෝද ගාමා ලිස්බන් වරායෙන් පිටත් විය. කුනාටු මෙන්ම සිය නැවියන්ගේ කැරලිද මැඩ ගෙන දීර්ඝ මුහුදු ගමනකින් පසුව 1498 මැයි මස 22 දින ඔහු ඉන්දියාවේ කැලිකට් වරායට සේන්දු විය. 


මුලාශ්‍ර 
https://en.wikipedia.org/wiki/Diogo_Cão
https://en.wikipedia.org/wiki/Prince_Henry_the_Navigator

2 comments:

  1. ම් ම් අගනා වටිනා තොරතුරු සමුදායක් රැගත් ලිපියක්..

    ReplyDelete