Sunday, April 30, 2017

ජාත්‍යන්තර කම්කරු ගීතය

සාදුකින් පෙළෙන උන්  දැන් ඉතින් නැගිටියව්............ 
අන්තිම සටනට සැරසියව්.........

ජාත්‍යන්තර කම්කරු ගීතය 1871 වසරේ දී ඉයුජෙන්  පොතියේ (Eugène Pottier) විසින් ප්‍රංශ භාෂාවෙන් ලියනා ලද්දකි. එහි තනුව නිර්මාණය කරනා ලද්දේ  පියේර් ඩි ගෙයිටර් (Pierre De Geyter) විසිනි.

1848 වසරේ ඔක්තෝම්බර් අට වන දින පියේර් ඩි ගෙයිටර් උපන්නේ බෙල්ජියමෙදී අන්ත දුගී ප්‍රංශ ජාතික කම්කරු පවුලකය. පියේර් වයස හත වන විට ප්‍රංශයේ ලීල් පෙදෙසට දරුවන් පස් දෙනෙකුගෙන් යුතු පවුල සංක්‍රමණය විය. තරුණ වියට පත් වන තුරු කම්කරුවකු වශයෙන් සේවය කල ඩි ගෙයිටර් ප්‍රංශය සහ පර්සියාව අතර යුද්ධය ඇවිළුණු පසුව ප්‍රංශ හමුදාවට බැඳුනේය. 

විප්ලවකාරී ප්‍රංශ කම්කරුවන් විසින් පැරිස් නගරයේ ධනවාදී පාලනය පෙරළා දමා පැරිස් කොමියුනය නම් වන කම්කරු පාලක සභාව පිහිටුවා ගත් පසුව විප්ලව හිතවාදී ප්‍රංශ යුධ භටයන් විසින් යුධ පෙරමුණ අතහැර පැරීසිය වෙත ගමන් කළහ. නමුත් පැරීසිය වටලා සිටි පර්සියන් හමුදාව ඔවුන් පලවා හැරියහ. වැඩි කල් නොගොස් පැරිස් කොමියුනය බිඳ වැටුණි. පසුව කම්කරු පන්තියේ සටන් කාමියෙකු වූ පියේර් ඩි ගෙයිටර් කම්කරුවන්ගෙන් සැදී සංගීත කණ්ඩායමක් සාදා ගත්තේය. මේ කාලයේදී ඩි ගෙයිටර් හට ලිලී හි සමාජවාදීන්ගේ හමුවීම් වල ගායනය සඳහා  විප්ලවීය ගීත (Chants révolutionnaires) කිහිපයකට තනු නිර්මාණය කිරීමට ආරාධනයක් ලැබිණ. එලෙස නිර්මාණය කරනා ලද ගීත අතරින් The Internationale නම් ගීතය ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තේමා ගීතය ලෙස තෝරා ගන්නා ලදී. මේ ගීතය ඉයුජෙන්  පොතියේ විසින් ලියා ඇත්තේ පැරිස් කොමියුනය පවතී කාලයේදීය. මේ ගීතය සඳහා කලින් වෙනත් තනුවක් නිර්මාණය කර තිබිණ.

පියේර් ඩි ගෙයිටර්
පියේර් ඩි ගෙයිටර් විසින් ඉරුදින උදයක මේ ගීතය හාමොනියම් සංගීත භාණ්ඩයක් වාදනය කරමින් තනුව නිර්මාණය කර ඇත. අනතුරුව සිය සහෝදරයා වූ ඇඩොල්ෆ් හට බියුගලයකින් වාදනය කරනා ලෙස පවසා තනුවට සුළු වෙනස් කම් සිදුකර ඇත. මේ අළුත් තනුව මුල් වරට ගායනා කර ඇත්තේ 1888 ජුලි මාසයේදී ලිලී හි පුවත් පත් අලෙවිකරුවන් ගේ වෘතිය සමීතියේ  උත්සවයකදීය. පසුව  එම ගීතය අඩංගු පත්‍රිකා 6000ක් මුද්‍රණය කොට අරමුදල් සම්පාදනය සඳහා විකුණා ඇත. එම පත්‍රිකාවේ පියේර් ඩි ගෙයිටර් ගේ නම සඳහන් වන්නේ පමණක් ඩි ගෙයිටර්.  මුල්  නම වන "පියේර්" සඳහන් කොට නැත්තේ ඔහුගේ රැකියාව ආරක්ෂා කරගැනීමේ අරමුණෙන්ය. 

මේ ගීතය පත්‍රිකාවක් ලෙස මුද්‍රණය කිරීමෙන් පසුව ප්‍රංශ රජය එය ගායනය කිරීම තහනම් කළේය. එම තහනම නිසා ගීතය තවත් ජනප්‍රිය විය. කම්කරුවන් සිය රහසිගත රැස්වීම් පටන් ගත්තේ මේ ගීතය ගායනයෙන් අනතුරුවය. තවත් ටික කාලෙකට පසුව ලීල් හිදී ප්‍රංශ කම්කරු පක්ෂ රැස්වීම පැවැත්වින. ඒ නිසා ගීතය සමස්ථ ප්‍රංශය පුරාම පැතිරිණ. 


අනතුරුව මෙය යුරෝපයේ වෙනත් භාෂා රැසකට පරිවර්ථනය විය. විප්ලව වාදී කණ්ඩායම් එය තමන්ගේ සටන් ගීතය වශයෙන් භාවිතා කිරීමට පටන් ගත්හ. 1900 වසරේදී එම ගීතයෙන් කොටසක් ලෙනින්ගේ "ඉස්ත්‍රා" හි පළකෙරිණ. අනතුරුව මුළුගීතය රුසියන් බසට පරිවර්ථනය සිදුකෙරිණ. 1917දී රුසියාවේ සමාජවාදී  රජය පිහිටුවීමෙන් අනතුරුව ජ්‍යාත්‍යන්තර කම්කරු ගීතය එම රජයේ ගීතය වශයෙන් පිළිගන්නා ලදී. එතැන් පටන් මේ ගීතය ලොව පුරා භාෂා රැසකට පරිවර්ථනය වී වේගයෙන් ජනප්‍රිය විය. 

මේ ගීතය නිර්මාණය කරනා ලද අළුත පියේර් ඩි ගෙයිටර් විසින් එහි හිමිකම පිළිබඳව කිසිදු සැලකිල්ලක් දැක්වුයේ නැත. නමුත් ගීතය වේගයෙන් ජනප්‍රිය වීමෙන් පසුව 1901 දී ඔහුගේ සොයුරු ඇඩොල්ෆ් ඩි ගෙයිටර් විසින් ගීතයේ අයිතිය ප්‍රකාශ කොට කතෘ භාග එකතු කිරීම ආරම්භ කළේය. 1904 වසරේදී පියේර් ඩි ගෙයිටර් විසින් ඇඩොල්ෆ් ඩි ගෙයිටර්ට විරුද්ධව නඩු පැවරුවේය. දීර්ඝ කාලයක් මුළුල්ලේ ඇදී ගිය නඩුව 1914 වසරේදී ඇඩොල්ෆ් ඩි ගෙයිටර්ට ගීතයේ හිමිකම පවරමින් අවසන් විය. නමුත් 1916 වසරේදී ඇඩොල්ෆ් සිය සොයුරාට කරනා ලද වංචාව හෙළි කරමින් ලිපියක් ලියා ගෙල වැළලාගෙන මිය ගියේය. අනතුරුව 1922 වසරේදී පියේර් ඩි ගෙයිටර් ට ගීතයේ නීතිමය අයිතිය ලැබිණ.

1927 වසරදී සෝවියට් සමුහාණ්ඩුව සිය ජාතික ගීතයේ නිර්මාපකයා ජීවතුන් අතර සිටිනා බව දැනගෙන එම වසරේ පැවති ඔක්තෝම්බර් විප්ලවයේ 10 වන සමරුවට සම්මාන ආරාධිතයකු වශයෙන් සහභාගී කර ගත්තේය. 

ප.ලි 
"Pierre De Geyter"  යන නම  "පියර් ඩි ගෙයිටර්" වශයෙන් වර නැගීමේ වරදක් ඇති නම් නිවැරදි කිරීම සඳහා දන්වන්න 


මුලාශ්‍ර 
https://alchetron.com/Pierre-De-Geyter-1182833-W
https://en.wikipedia.org/wiki/The_Internationale
https://en.wikipedia.org/wiki/Pierre_De_Geyter
https://todayinlaborhistory.wordpress.com/2015/11/06/november-6-1887-2/

Saturday, April 29, 2017

බ්‍රිතාන්‍යයේ ස්ටෝන්හෙන්ජ් නටඹුන් - Stonehenge


යුරෝපයට පාෂාණ යුගය (Mesolithic) එළඹුණේ ක්‍රිස්තු පුර්ව 2000 ත් 1000 ත් අතර කාල වකවානුවේදීය. එම යුගයට අයත් ආදි මිනිසුන්ගේ විශිෂ්ඨ නිර්මාණයක් බ්‍රිතාන්‍යයේ විල්ෂයර් (Wiltshire) හි සැලිස්බරි තැන්නේ (Salisbury Plain) දක්නට ලැබේ. ගලින් කරනා ලද මේ සුවිසල් නිර්මාණය හඳුන්වනුයේ ස්ටෝන්හෙන්ජ් (Stonehenge) නමිනි.

මෙම නිර්මාණය කුමණ කාර්යයක් අරභයා ගොඩනගන ලද්දක් දැයි නිශ්චිත මතයක් නොමැත. එය පුරාණ දෙවොලක්   බවටත්, ස්මාරකයක් බවටත්, පුරාණ ග්‍රහලෝකාගාරයක් බවටත් විවිධ මත පලවෙයි. පුරාවිද්‍යා සාක්ෂි වලට අනුව මේ මහා නිර්මාණය වසර 1600 ක කාලයක් මුළුල්ලේ විවිධ අදියර වලදී නිමවා ඇත. පවතින නටඹුන් වලට අනුව එහි තිබුණි ඇතැයි සැලකෙන සම්පුර්ණ ආකෘතිය රුප සටහනේ දැක්වෙයි. 


නිර්මාණයෙහි ප්‍රථම අදියර වශයෙන් ක්‍රිස්තු පුර්ව 3100 අවදියේදී  මීටර් 110ක විශ්කම්භයකින් යුත් කවාකාර අගලක් සහ ගොඩැල්ලක් තනා ඇත. එහි ඊසාන දිගට වන්නට විශාල පිවිසුමක්ද දකුණේ කුඩා පිවිසුමක්ද සකසා ඇත. 

දෙවන අදියර ලෙස ක්‍රිස්තු පුර්ව 3000 දී සිදුකරනා ලද ගොඩනැගීම් මේ වන විට දක්නට නැත. නමුත් එම කවය තුල පවත්නා කණු ඉන්දවීම සඳහා තැනු වලවල් දක්නට ඇත. මෙයින් නිගමනය කර ඇත්තේ එම යුගයේදී විශාල දැවමය සැකිල්ලක් මෙහි තිබූ බවය. 

අනතුරුව වසර 1600 ක කාලවකවානුවක් තුල අදියර ගණනාවකදී මෙම නිර්මානය විශාල ගල් කුළුණු සහ ගල් පතුරු උපයෝගී කරගෙන නිමවා ඇති බව පුරාවිද්‍යාත්මක සාක්ෂි වලින් පෙන්නුම් කරයි.  මේ විශාල කවය මැද ඇත්තේ අල්තාර ගලය. එහි යෝධ ගල් කුළුණු 30ක් කෙලින් කරවා ඇත. එය වටා අශ්ව ලාඩමක හැඩයට නිල ගරුඬ (dolerite) ගල් වලින් සැදී ගල්කැට පේලි දෙකකි. මෙය කුමන කරුණක් වෙනුවෙන් තනනා ලද්දක් දැයි කියන්නට සාක්ෂි නැතත් ඉරු දෙවියන් පිදීම සඳහා කරනා ගොඩ නගනා ලද දෙවොලක් බවට මත පළකරනුයේ ගල් කුළුණු හිරුගේ ගමන් මගට අනුව පිහිටුවා ඇති නිසාය. එමෙන්ම තාරකා සාස්ත්‍රයට අනුව මැනීම් සහ ගණනය කිරීම සඳහා පාවිච්චි කළහැකි රටාවකට ගල් කුළුණු ස්ථාන ගත කර අතැයිද කියවෙයි. 

ස්ටෝන්හෙන්ජ්  නිර්මාණයෙහි විශේෂත්වය වන්නේ මේ විශාල ගල් කුළුනු කිලෝමීටර 40ක පමණ දුර සිට රැගෙනවිත් තිබීමය. එහි ඇති නිල ගරුඬ ගෙනවිත් ඇත්තේ  කිලෝමීටර් දෙසිය හතලිහක දුර පිහිටි ප්‍රිසලි හිල්ස් (Presell Hills) ප්‍රදේශයෙන්ය. අදාළ ප්‍රදේශ වල පිහිටි ගල් පර්වත වලින් ගින්දර ආශ්‍රයෙන් ගල් කුළුණු කපාගෙන රෝල් මතින් ඒවා මේ භූමියට ගෙන එන්නට ඇත.

යාපනය පුස්තකාලය

අප ජීවත් ව යුගයේ ලංකා ඉතිහාසයේ සිදුකරනා ලද දුෂ්ඨතම ක්‍රියාව ලෙසින් මා දකිනුයේ යාපනය මහජන පුස්තකාලය ගිනි තැබීමය. එවකට බලයේ සිටි එක්සත් ජාතික පක්ෂ රජයට සම්බන්ධ මැර පිරිසක් විසින් මේ අලජ්ජී විනාශය සිදු කර තිබිණ. එය සිදු කරනා ලද පිරිස මෙහෙයවන ලද්දේ ඉහල අධ්‍යාපන සහතිකධාරීයකු වුවද මා නම් මුග්ධයකු ලෙස සලකන එවකට රජයේ ප්‍රභල ඇමති වරයකු විසින් බව කියවෙයි. රටේ නායකයා වීමට බලා සිටි ඔහුට අකාලයේ   මිය යාමට සිදුවුනේ මේ පාප කර්මය නිසා  ස්වභාව ධර්මයේ දඬුවමක් ලෙසින් විය හැක. එවන් මුග්ධයකු මෙරට නායකයා නොවීම ඉමහත්  වාසනාවක් බවද කිව යුතුය.

කේ. එම්. චෙල්ලප්පා (K.M. Chellaiah) මහතා විසින් 1933 වසරේදී සිය  නිවසේ කුඩා පුස්තකාලයක් ආරම්භ කරනා ලද්දේ හිතවතුන් සමග දැනුම බෙදා හදා ගැනීමේ අරමුණ පෙරදැරි කර ගෙනය. ඔහුගේ මේ ක්‍රියාව අගය කළ පිරිසක් 1934 ජුනි මස 9 එක්රැස්වී පුස්තකාලයක් පිහිටුවා ගැනීම අරමුණින් කමිටුවක් පිහිටවූහ. කමිටුවට එවකට යාපනය මහාධිකරණ විනිසුරු ඉසාක් තම්බයියා( Issac Thambiah) මහතා  සහ චෙල්ලප්පා මහතා පත් කෙරිණ.එම කමිටුවේ උත්සාහය පල දරමින් 1934 අගෝස්තු පළමු දින යාපනය රෝහල්  පාරේ කුලියට ගන්නා ලද කුඩා කාමරයක පුස්තකාලය ඇරඹින. මේ කුඩා ඉඩකඩෙහි විවිධ විෂයනට අයත් පොත් 844ක් ද පුවත්පත් සඟරා 30ක් ද තිබිණ.
පරිත්‍යාග වශයෙන් නිරතුරුව පොත් ලැබීම හේතුවෙන් පොත් එකතුව වර්ධනය වීමත් සමග යාපනය මහා වීදියේ වැඩි ඉඩකඩ සහිත කුලී ගොඩනැගිල්ලකට 1935 ජනවාරි මාසයේදී පුස්තකාලය ගෙනයන ලදී. 1936 වසරේදී යාපනය නගර සභා ගොඩනැගිල්ල සහ නගර ශාලාව ගොඩනැගීමෙන් අනතුරුව පුස්තකාලය ඒ අසල ගොඩනැගිල්ලක ස්ථාපිත කෙරුණි. මේ කාලය වන විට රුපියල් තුනක මුදලක් සාමාජික ගාස්තුව වශයෙන් ය කෙරිණ. 

ටික කලක් ගතවෙද්දී පුස්තකාලය සඳහා ස්ථිර ගොඩනැගිල්ලක අවශ්‍යතාව පැන නැගුනෙන් යාපනය පළමු පුරපති වරයා වූ සෑම් සබාපති (Sam Sabapathy) මහතා විසින් සම්මන්ත්‍රණයක් කැඳවා පුස්තකාල අරමුදලක් පිහිටුවිය. සැණකෙලි පැවැත්වීමෙන්ද , ඉන්දියානු කලාකරුවන් ගෙන්වා පවත්වනු  ලබන සංගීත සහ නැටුම් සංදර්ශනද, ලොතරැයි ටිකට් පත් විකිණීමෙන්ද විශාල මුදලක්  අරමුදල සඳහා එකතු විය.

1953 වසරේදී පුස්තකාලය ගොඩනැගීම සඳහා කමිටුවක් පත් කරනා ලද අතර එවකට යාපනය සාන්ත පැට්‍රික් විදුහලේ ප්‍රධානාචාර්ය ලෝං පියතුමා (Rev. Father Long) විශාල කැපවීමකින් කටයුතු මෙහෙයවීය. පුස්තකාලය අන්තර්ජාතික මට්ටමට ඉදිකිරීමට අදහස් කළ කමිටුව විසින් පුස්තකාල විද්‍යාව පිළිබඳව මහාචාර්ය වරයකු වූ. එස්. ආර්. රංගනාදන් (S.R. Ranganathan) මහතාව දිල්ලියේ සිට ගෙන්වා ගෙන උපදෙස් ලබා ගන්නා ලදහ. මදුරාසි ප්‍රාන්ත රජයේ ද්‍රවිඩ ගෘහනිර්මාණ ශිල්පය පිලිබඳ අධිකාරී වරයා වූ කේ. එස්. නරසිම්මාන් (K.S. Narasimhan) මහතාද උපදෙස් සඳහා ගෙන්වා ගැනිණ. 

පුස්තකාලය ගොඩනැගීම අදියර දෙකකින් සිදු කිරීමට තීරණය කර ඉදිරි පස ගොඩනැගිල්ල පළමුව ගොඩනැගීමට කමිටුව තීරණය කළහ. 1953 මාර්තු 29 දින රටේ විවිධ පෙදෙස් වලින් පැමිණි ශ්‍රී ලාංකික විද්වතුන්, ඉන්දියානු විද්වතුන් ඇතුළු සම්භාවනීය පිරිසක් ඉදිරියේ ගොඩනැගිල්ල සඳහා මුල් ගල් තැබිණ. පුස්තකාල  ගොඩනැගිල්ලේ මුල අදියර 1959 ඔක්තෝම්බර් 11 වන දින එවකට යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා (Alfred Duraiappah) මහතා විසින් විවෘත කළේය. 

පුස්තකාලයේ ළමා අංශය 1967 නොවැම්බර් තුන්වන දින ආරම්භ කරනා ලද අතර ඒ සඳහා ආසියානු පදනම් විසින් රුපියල් නවදහස් පන්සියයක පොත් පරිත්‍යාග කර තිබිණ. 1971 වසර වනවිට පුස්තකාලය සඳහා සම්මන්ත්‍රණ ශාලාවක්ද එක කරනා ලදී. 

නව පුස්තකාලය ආරම්භ කර වසර විසි දෙකකට පසුව ඒ අවාසනාවන්ත දිනය එළඹින. 1981 ජුනි පළමු දින ලේඛන අනුහත් දහසක් ගිනිබත් කරමින් යාපනය පුස්තකාලයට ගිනි තැබිණ. විනාශ වූ ලේඛන අතර ඉහලම මට්ටමේ දේශීය විද්වතුන් වූ ආනන්ද කුමාරස්වාමි මහතාගේ (Ananda Coomaraswamy) සහ ආචාර්ය ඉසාක් තම්බයියා මහතාගේ අත්පිටපත්  රාශියක්විය.

පුස්තකාලයට ගිනි තැබූ බව දැනගත් ලෝං පියතුමා එවෙලේම හෘදයාබාදයකින් මිය ගියේය.

මේ මහා විනාශයෙන් වසරකට පසුව 1982 දී යාපනයේ ජනතාව පුස්තකාල සතියක් පවත්වමින් නැවතත් පොත් දහස් ගණනක් එකතු කළහ. ගිනි තබනා ලද ගොඩනැගිල්ලේ කොටසක් ප්‍රතිසංස්කරණය කරමින් පවතින අතරදී 1983 වසරේදී වර්ගවාදී යුද්ධය ඇරඹින. යුද්ධයේදී ෂෙල් වෙඩි සහ බෝම්බ ප්‍රහාර වලට ලක් වූ යාපනය පුස්තකාලය මුළුමනින් විනාශ වින.

1998 වසරේදී නැවතත් පුස්තකාලය ගොඩනැගීම ඇරඹින. වසර 2001 වනවිට නව ගොඩනැගිල්ලක් තනා අවසන් විය. 2003 වසරේදී පුස්තකාලය විවෘත කිරීමට සුදානම් වූ අවස්ථාවේ කොටි සංවිධානය එයට විරුද්ධ විය. මේ අවස්ථාවේදී යාපනය නගර සභාවේ විසි එක දෙනෙකු වූ සියළුම සභිකයින් තනතුරු වලින් ඉල්ලා අස්වීමට තීරණය කළහ. මේ හේතුවෙන්  එල්ටීටීඊ සංවිධානයේ විරෝධය යටපත්ව  නැවතත් යාපනය පුස්තකාලය මහජනයාට විවෘත විය.

මුලාශ්‍ර 
The Rise and Fall of the Jaffna Public Library - Sivaraman Kanagasabai 
https://groups.google.com/forum/#!topic/soc.culture.tamil/THHSsNzK6Z4

Burning of Jaffna Public Library
http://www.wikiwand.com/en/Burning_of_Jaffna_Public_Library

Up From The Ashes, A Public Library In Sri Lanka Welcomes New Readers
http://www.npr.org/sections/parallels/2015/08/19/432779251/up-from-the-ashes-a-public-library-in-sri-lanka-welcomes-new-readers

Thursday, April 27, 2017

අතුරුදහන් වූ අංකොර් ජනතාව

ප්‍රංශ ජාතික ස්වභාව විද්‍යාඥයෙකු වූ හෙන්රි මෞට් (Henri Mouhot) 1860 වසරේ ඉන්දු චීනයේ සංචාරය කරේ දුර්ලභ පක්ෂීන් උරඟ යන සහ කෘමීන් සොයමිණි. සතුන් සොයමින් වනාන්තර ගතවූ ඔහුට අහම්බෙන් පැරණි මාර්ග පද්ධති, ස්මාරක ජලමාර්ග කුළුණු ආදියෙන් සමන්විත නටඹුන් නගරයක් හමුවිය. ඔහු ඒ නගරය ග්‍රීක සහ රෝම ශිෂ්ඨාචාරයනට වඩා ශ්‍රේෂ්ඨ වුවක් විය හැකි බව  සිය දිනපොතේ සටහන් කළේය. අවාසනාවකට හෙන්රි මැලේරියාව වැළඳී මිය ගිය නමුත් ඔහු විසින් අංකොර් (Angkor) වනාන්තරයේ සැඟවුණු ශිෂ්ඨාචාරය වාර්තා ගත කර තිබුණි.

හෙන්රි මෞට්
හෙන්රිගේ වාර්ථා පරිශීලනය කළ ප්‍රංශ රජය මෙම නටඹුන් සොයා බැලීම සඳහා කොමිසමක් පත් කළේය.  එම කොමිසම විසින් ගිනිකොණ දිග ආසියාවේ කමර් නම් ජන කොට්ටාශයක් විසින් වසර 500 ක කාලයක් මුළුල්ලේ ගොඩනගන ලද නගරයක නටඹුන් සොයා ගත් අතර ක්‍රිස්තු වර්ෂ 15 න් පසුව මේ ජනතාව අතුරුදන් වූ බවද වාර්ථා  කළේය. 

ගිනිකොණ දිග ආසියාව සහ ඉන්දියාව අතර වෙළෙඳ කටයුතු ආරම්භ වීමත් සමගම මෙම ශිෂ්ඨාචාරය ආරම්භ වූ අතර ඉන් වසර ගණනාවකට පසුව ෆුනාන් යනුවෙන් හැඳින්වෙන වර්ථමාන කාම්පුචියාවේ මුල් අවධිය ඇරඹින. ෆුනාන් වදන කන්ද යන අර්ථය දනවයි. කමර් ජනකථා  අනුව ෆුනාන් හි නිර්මාතෘවරයා කෞන්දියා නම් බ්‍රාහ්මනයෙකි. ඉන් පසු වසර 500ක් තිස්සේ දියුණු වූ මෙම රාජධානිය ක්‍රිස්තු වර්ෂ 550 දී කාම්බුජාස් වරුන් විසින් ආක්‍රමණය කළහ. 

වසර හතලිස් අටක් තිස්සේ පාලනය ගෙනගිය "දෙවන ජයවර්මාන්" රාජකීය පෙළපතේ මෙන්ම කමර් අධිරාජ්‍යයේ ආරම්භකයා විය. මෙම රජ පෙළපත වසර 600 ක කාලයක් ඉදිරියට ගලා ගියේය. අවට සියළු ප්‍රාන්ත එක්සත් කළ දෙවන ජයවර්මාන් සිය අගනුවර කුලෙන් කන්ද මත ඉදිකළේය. එම රාජධානියේ සියළු ඇදහීම් පලවාහැර ඉන්දියානු ශිව දේව විශ්වාසය රටේ ස්ථාපිත කල අතර තමාව "දෙව් රජ වශයෙන් ප්‍රකාශ කළේය. රටේ නායක පුජක පදවියක්ද ඇති කළේය. දෙව් රජ යන්න කමර් රජවරු තිස් දෙනෙක් භාවිතා කල අතර එම කාල වකවානුව පුරා අංකෝර් තැන්න පුරා නගර සංකීර්ණයක් බිහි විය. 

ජයවර්මාන්ට පසුව ඔහුගේ මුනුපුරු පළවෙනි ඉන්ද්‍රවර්මාන් රජවූ අතර ඔහුගේ වසර එකොළහක පාලනය පුරා බොහෝ වැව් සහ වේලි ඉඳි කොට රට කෘෂි කර්මාන්තයෙන් සශ්‍රික කළේය. ඉන් පසුව බලයට පත් වූ පළමු යසෝවර්මාන් අග නගරයට නුදුරින් කළුගල් පිරමීඩයක් ගොඩනැගුවේය. තවද ඔහු විසින් සැතපුම් පහක් දිග වේල්ලක් ද වැවක් මැද විශාල දේවස්ථානයක් ගොඩනැංවීය. 12 වන සහ 13 වන සිය වස් තුල රාජධානියේ සෞභාග්‍යමත්ම අවධිය පසුකළේය. 

රාජධානියේ පරිහානිය සුර්යවර්මාන් ගේ පාලන කාලය තුල ඇරඹින. ඔහුගෙන් පසුව කිරුල සඳහා අරගල ඇතිවිණ. අවසානයේ සත්වන ජයවර්මාන් බලයට පත්විය. ඔහු විසින් ඉදිකිරීම් අතරමග තිබු දේවස්ථාන බොහෝමයක් නිම කල අතර බේයොන් නමින් බෞද්ධ විහාරයක් ද තැනවීය. 1229 දී සත්වන ජයවර්මාන් මිය ගිය පසුව පත්වූ දුර්වල පාලකයන් නිසා ජනසමාජයේ මෙන්ම අධිරාජ්‍යයේද කටයුතු  පරිහානියට පත්විය. 

13 වන සියවසේ ඇරඹි අඳුරු යුගය උච්ච වුයේ 15 වන සියවසේදීය. රාජධානිය සියම්වරු විසින් ආක්‍රමණය කර කොල්ල කා ධන ධාන්‍ය සිය රට ගෙනගියහ. ඊළඟ වසරේදීත් සියම් වරු නැවත පැමිණි අතර ඒ වනවිට නගරයේ කිසිදු මිනිසකු නොවීය. ශිෂ්ඨාචාරය අංකෝර් වනාන්තරය තුලට පලා ගිය බවටද කිසිදු සාක්ෂියක් නොවිණ. මේ ජනතාව අතුරු දහන් වූ ආකාරය අදටද අභිරහසකි.  

Wednesday, April 26, 2017

ව්‍යාග්‍රා

1992 වසරේදී ෆයිසර් (Pfizer) සමාගම වෙනුවෙන් පර්යේෂණයක නියැලී සිටි විද්‍යාඥයන් පිරිසක් හදවතේ ඇන්ජයිනා (Angina) තත්වය සමනය සඳහා ඔසුවක් අත්හදා බලමින් සිටියහ. ඇන්ජයිනා යනු හෘද පේශියට ඔක්සිජන් සහිත රුධිර සැපයුම අඩු වීමෙන් හටගන්නා වේදනාවය. මෙය රෝගයක් නොව අපහසුතාවයකි. පර්යේෂකයින් විසින් අත් හදා බලමින් තිබූ ඔසුව UK-92480 වශයෙන් නම් කොට තිබිණ. 

මේ ඔසුව භාවිතා කළ පිරිමින් සිය ඇන්ජයිනා තත්වය නිසා ඇතිවූ වේදනාව සමය වීමට වඩා කථා කලේ තමන්ගේ ලිංගික ශක්තිය වැඩි දියුණු වීම ගැනය. සමාගමට නොදැනුවත්වම ධන උල්පතක් පෑදී තිබිණ. කරගෙන යමින් තිබු පර්යේෂණ  නව මගකට හැරවිණ. අවසානයේදී 1998 වසරේදී අළුත් ඔසුවක් ව්‍යාග්‍රා නමින් එළිදක්වින. 

1998 මාර්තු 27 වන දින ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ (FDA) අනුමැතිය ලැබීමත් සමග  ව්‍යාග්‍රා සියළු ආදායම් වාර්ථා බිඳ හෙලමින් වේගයෙන් විකිණෙන්නට පටන් ගත්තේය.

පැහැති ව්‍යාග්‍රා පෙත්තට මග හෙළිකළ මුලධර්මය, වෙන් වෙන් වශයෙන් වූ පර්යේෂණ තුලින් සොයාගත් Robert Furchgott,  Ferid Murad සහ Louis Ignarro නම් වන ඖෂධ වේදීන් තිදෙනාට 1998 ඔක්තොම්බරයේදී වෛද්‍ය විද්‍යාව උදෙසා වන ස්විස් ක්‍රෝන මිලියන 7.6 ක් (එවකට පවුම් 570,000) වටිනා නොබෙල් ත්‍යාගය ලැබිණ.  

මේ පර්යේෂකයින් පෙන්වා දී ඇත්තේ රථ වාහන වලින් බැහැර වන පරිසර දුෂක කාරකයක් වන නයිට්‍රික් ඔක්සයිඩ මගින් රුධීර නාල විශාලණය වන බවය. එය සිදුවනුයේ චක්‍රීය ජීඑම්පී  (Circular GMP) ලෙස හඳුන්වන මාංශ පේශී ලිහිල් කරනා සාධකය හරහාය. 

ව්‍යාග්‍රා වෙනුවෙන් වෙහෙස වූ පර්යේෂකයින් වෙහෙසුනේ චක්‍රීය GMP විනාශ කරනා පොස්පොඩයිඑස්ටරේස් නම් එන්සයිමයේ ක්‍රියාවලිය බාදා කිරීමය. ඒ සඳහා සිල්ඩෙනෆිල් නම් සංයෝගයක් සොයා ගැනිණ. මේ ආකාරයට පුරුෂ ලිංගයට සැපයෙන රුධිර ප්‍රමාණය ඉහළ නැංවා ප්‍රාණවත්  කිරීමට හැකියාව ලැබිණ. ස්වභාවික ලිංගික ප්‍රාණවත්වීමකදී සිදුවන්නේ  මීට සමාන සිද්ධියකි. එනම් පුරුෂ ලිංගයේ රුධිර නාල තුළ රුධීරය දැඩිව තෙරපීමය.

Tuesday, April 25, 2017

පුරාණ ලංකාවේ සෙවනැලි නාට්‍ය කලාව

සෙවනැලි නාට්‍ය කලාව පුරාණ චීනයේ බිහිවූ ප්‍රභල නාට්‍ය සම්ප්‍රදායකි. එහිදී කෙරෙනුයේ සුදු තිරයක් පිටුපස පහනක් දල්වා පහනත් තිරයත් අතර සමින් කල රුපයක් තැබූ විට තිරයේ වැටෙන සෙවනැල්ල  ආශ්‍රයෙන් කතාවක් ඉදිරිපත් කිරීමය. මෙම සමින් කරනා ලද රූප සම්රූ යනුවෙන් හැඳින්විණ. 

මේ ආකාරයට සෙවනැලි මගින් රජුන්ගේ සහ ඇමැතියන්ගේ ක්‍රියා නිරුපනය කිරීමේ නාට්‍ය කලාව ඉන්දියානු සාහිත්‍යයේ "රූ පෝප ජීවන" සහ "ජාල මනණ්ඩපික" යන වදන් වලින් දැක්වෙයි. සංස්කෘත සාහිත්‍යයේ එය "ඡායා නාටක" එනම් සෙවනැලි නැටුම් ලෙසින් නම් කෙරෙයි. ක්‍රිස්තු වර්ෂ දොළොස් වන සියවසේදී ඉන්දියාවේ "සෙවනැලි නාට්‍ය උත්සවයක් පැවති බව විලියම් රිජ්වේ නම් විචාරකයාගේ Drama and Dramatic Dances කෘතියේ සඳහන් වේ. 

මෙම නාට්‍ය ඉන්දුනීසියාවේ දැනටත් ජනප්‍රිය "චයං" නමින් හැඳින්වෙන කලා අංගයකි. එහිදී නාට්‍ය ශිල්පීන්, සැම්රූ සහ පහන් තිබෙන පැත්තේ පිරිමින් ඉඳ නාට්‍යය බලති. කාන්තාවන් නාට්‍යය බලනුයේ තිරයේ අනෙක් පස ඉඳිමිනි. මේ නිසා ඔවුනට පෙනෙනුයේ සෙවනැලි පමණි. සම්රූ නාට්‍යවල බහුල වශයෙන්  නිරුපනය කෙරෙනුයේ රාමායනය, මහා භාරතය වැනි මහා කාව්‍ය යන්ගෙන් ගත කථා වස්තුන්ය. 

මෙම නාට්‍ය සම්ප්‍රදාය දොළොස් වැනි සහ දහතුන් වන සියවස්හි ලංකාවට සංක්‍රමණය වූ බවට මතයක් පවතියි. එයට සාක්ෂි වන්නේ චූල වංශයේ දැක්වෙන ගාථාවකි. රජය අල්ලා ගන්නා පිණිස සටන් සංවිධානය කරනා ලද පැරකුම් කුමරුන් විසින් ගජබාහු රජුගේ (1137- 1153) රාජධානියේ සිය චරපුරුෂයන් මෙහෙයවූ ආකාරය චුල වංශයේ සඳහන් වන්නේ "කාරෙයි චම්ම රුපාදී කිලා දස්සක කෝවදෝ" ලෙසිණි. එහි අර්ථය වනුයේ සංගීත නාට්‍යය ආදියේ හසල පුද්ගලයින් සහ සම්රු ආදී ක්‍රීඩාවන් ගේ  යෙදුනු අයගේ වේශයෙන් චරපුරුෂයන් යෙදවූ බවය. 

සරත්චන්ද්‍රයන් විසින් 1953 වසරේ කරනා ලද සිංහල ජන නැටුම් සහ නවීන නාට්‍ය කලාව කෘතියේ ඉහත ගාථාව අරුත විස්තර කරමින් මෙසේ පවසයි. "විනෝදය සඳහා බෝනික්කන් (කුඩා රුප) සංගීත රිද්මයට අනුව නැටවීමේ කලාව මෙහි පැවතුන බව මින් පෙනේ." නමුත් චූල වංශ පාඨයෙන් පෙන්නුම් කෙරෙනුයේ රුකඩ හෝ සංගීතයට අනුව නැටවූ කුඩා රූප නොවේ. 

රුකඩ යන වදන සිංහලයට එන්නේ "රූප කාෂ්ඨ" නම් මුල් පදයෙනි. එම මුල් පදයේ තේරුම ලීයෙන් කළ රූපය යනුයි. ඒ බව පුජාවලියේ දැක්වෙන්නේ යැයි සෝරත ශබ්ද කෝෂයේ දැක්වෙයි. 

නාට්‍ය කලාව තුල සම්රූ නැතහොත් චම්ම රූප යොදා ගෙන ඇත්තේ සෙවනැලි නාට්‍ය කලාව සඳහා ය. එබැවින් පුරාන ලංකාවේ සෙවනැලි නාට්‍ය කලාව තිබූ බවට නිගමනය කළ හැක.

ඡායාරූප - අන්තර්ජාලය ඇසුරිණි
http://www.frontline.in/arts-and-culture/shadow-play/article4705618.ece
http://www.thehindu.com/news/national/kerala/shadow-puppet-show-enthralls-audience/article7700441.ece
http://skyumtravelimages.photoshelter.com/image/I0000.sLc7FvGAbQ

Monday, April 24, 2017

කළු රත්‍රන්

මීට වසර තුන් දහසකට ඉහත ග්‍රීසියේ විසූ හෝමර් කවියා විසින් රචිත "ඉලියඩ්"  නම් මහා කාව්‍යයේ කළු පැහැති පලිහක් ගැන කියවෙයි. ගින්නට සහ මැවීමට අධිපති "හීෆස්ටොස්" දෙවිඳුන් විසින් "අකිලිස්" නමැති රණ ශුරයාට එම පලිහ සාදා දී ඇත්තේ රන්, රිදී, ටින් සහ තඹ එක කර සාදන ලද ලෝහයකිනි. 

එමෙන්ම වාල්මිකී විසින් රචිත රාමායණ වීර කාව්‍යයේ කියවෙන අසුන් බිලිදී සිදු කරනා අශ්ව මේද යාගය සිදුකළ පුජකයනට තෑගි  දුන් රන් කැබලි දම් පැහැති බව කියවෙයි.

පැරණි ග්‍රීක රෝම සහ ඊජිප්තු ශිෂ්ඨාචාර වල ද  ප්‍රතිමා කැටයම් ආදිය තැනූ කළු රත්‍රන් නමැති ලෝහයක් ගැන කියවෙයි.

සියවස් ගණනාවකට ඉහත ලියැවුන සාහිත්‍යයේ දැක්වෙන මෙම ලෝහය දැනටත් ජපානයේ භාවිතා කරනා "ෂකුඩෝ" නම් වන ලෝහයට බෙහෙවින් සමාන බව පර්යේෂකයින් කියති.  මෙම ෂකුඩෝ නම් වන මිශ්‍ර ලෝහය සාදනුයේ තඹ සමග රන්, රිදී සහ ආසනික් කලවම් කිරීමෙනි. මෙමෙ මිශ්‍ර ලෝහය මළ බැඳීමේදී තද දම් පැහැයකට හැරෙයි. ෂකුඩෝ වලින් කල කැටයම් මළ ගැන්වීම කර ඇත්තේ ඒවා කොපර් ඇසිටේට් සහ කොපර් සල්ෆේට් ද්‍රාවණයක ගිල්ලවීමෙනි. 

14 වන සිය වසේදී සිට ජපානයේ භාවිතා කරන්නට ඇතැයි සැලකෙන මෙම ලෝහය ගැන සෙසු ලෝකයා දැනගෙන ඇත්තේ 19 වන සියවස මැද භාගයේදීය. කලක් යන තුරුම ඉතිහාසඥයන් සිතාගෙන සිටියේ ජපන් ජාතිකයින් මේ ලෝහය ගැන දැනගත්තේ 14 වන සියවසේදී චීන ජාතිකයන්ගෙන් බවය. නමුත් මේ ආකාරයේ ලෝහ වලට බටහිර දිග ඉතිහාසයක් ඇති බව පැරණි කෞතුක භාණ්ඩ සහ පැරණි සාහිත්‍ය කෘති විමර්ශනයෙන් දැනගන්නට ලැබිණ. 

හොමර්ගේ ඉලියඩ් කාව්‍යයට අමතරව ක්‍රිස්තු පුර්ව පළමුවන සියවසේ ලියැවුණු ග්‍රීක දාර්ශනික ප්ලුටාක්ගේ "මොරලියා" කෘතියේද, ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසේ පොසානියාස් විසින් රචිත ග්‍රීක චාරිකා නම් කෘතියේද දම් පැහැති රන් බඳුන් ගැන කියවෙයි. 

චීනයේ "සු මො චින්" නම් දම් පැහැති දීප්තිමත් රන් වර්ගයක් ගැන ක්‍රිස්තු වර්ෂ පස් වන සියවසේදී අසන්නට ලැබේ. අමතරව 15 වන සියවසේ සිට චීනයේ නිපදවුණු වූ කොං නමැති තඹ සහ රන් අඩංගු මිශ්‍ර ලෝහයක් ගැන ද වාර්තා ඇත. 

ටිබටයේදී  10 වන සියවසේ පළ කෙරුණ ලියවිල්ලක එහි නිපදවුණු "යි ක්හිම්" නමැති කළු පැහැ ලෝහයක් ගැන කියැවේ. 

බ්‍රිතාන්‍යයේ  අටවන සහ නවවන සියවස් වල "සැක්සන්" සහ "කෙල්ටික්" කර්මාන්ත කරුවන් නිපදවූ මෙවන් ලෝහ මිශ්‍රණයක් ගැන වාර්ථා පර්යේෂකයනට හමුව ඇත. 

කැණීම් වලදී සොයාගත් ඊජිප්තු ශිෂ්ඨාචාර වලට අයත්  කළු පැහැයෙන් මලින වූ  කැටයම්  ක්‍රිස්තු පුර්ව 15 සහ 13 සියවස් වලය අයත්ය. 

නමුත් විවිධ දේශයන්හි වාර්තාවන කළු රත්තරන් වල කතාවේ ආරම්භය කොතැනක සිදුවුනි දැයි මේ වන තෙක් නිශ්චිත මතයකට එළඹ නැත. 

Sunday, April 23, 2017

සමනල වැව නිම්නයේ පුරාණ යකඩ නිෂ්පාදන තාක්ෂණය

යකඩ උනු කළ උදුන් 
ඩමස්කස් කඩු පුරාණ අරාබි සටන් බිමේ තියුණු සහ ශක්තිමත්ම ආයුධය වශයෙන් සැලකින. මේ කඩු සඳහා වානේ සපයා ඇත්තේ ඉන්දියාවෙන් සහ ලංකාවෙන් බවට ලිඛිත සාක්ෂි ඇත. 

එකදාස් නවසිය අනූව දශකයේ මුල් භාගයේ සමනල වැව නිම්නයේ සිදුකල පුරාවිද්‍යා කැනීම් තුලින් පුරාණ යුග වල මෙරට තිබූ යකඩ නිෂ්පාදන තාක්ෂණය පිලිබඳ සාක්ෂි මතු කරගත හැකි විය. පුරාවිද්‍යා කැනීම් වලදී බෙලිහුල් ඔයට දකුණෙන් පිහිටි ගලේවල හින්න ප්‍රදේශයෙන් මීටර් 10 x 10 ප්‍රමාණයේ උදුන් හතරක් සොයා ගත් අතර මේ එක උදුනක් මීටර් 2ක ගැඹුරින් යුතු විය. යකඩ නිෂ්පාදනයේදී අප ද්‍රව්‍යයක් වශයෙන් පිටවන යබොර උදුනෙන් ඉවත් කිරීමට භාවිතා කරනා ලද මැටි කලද උදුන් ආශ්‍රිතව හමුව ඇත. මේ උදුන් ක්‍රිස්තු වර්ෂ 7 - 10 අතර කාල සීමාවට අයත් බව පුරා විද්‍යාඥයෝ පවසති.

මෙම උදුන් වල භාවිතා කර ඇති තාක්ෂණය ලොව වෙනත් කිසිදු ශිෂ්ඨාචාරයක වාර්ථා වී නොමැති බව පැවසෙයි. යකඩ උණු කිරීමට භාවිතා කළ මේ උදුන් වල ඉහල උෂ්ණත්වයයක් ලබාගැනීම සඳහා එම ප්‍රදේශයට බලපෑ මෝසම් සුළං ධාරා උපයෝගී කරගන ඇත. මේ සියළු උදුන් ගඟ ඉහලින් කඳු බෑවුමේ බටහිරට මුහුණලා සකසා ඇත. සියල්ල ස්ථානගත කර ඇත්තේද කඳු බෑවුමේ සුළං කපොල්ලක එකම උස් මට්ටමකිනි. මේ කඳු බෑවුමට මැයි මස අග භාගයේදී පටන් ගෙන අගෝස්තු දක්වා දැඩි සුළඟක් ලැබෙයි. එම සුළඟ පැයට කිලෝමීටර 70 ක පමණ වේගවත් ය. මෙම වේගවත් සුළං ධාරා උදුන් තුලට හරවා වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් උදුණට ලබා දීම මගින් යකඩ උනු කිරීම සඳහා වැඩි උෂ්ණත්වයක් ලබාගෙන ඇත. යකඩ ඔක්සයිඩයේ අයනික සම්බන්ධය කඩා යකඩ නිස්සාරණයට සෙල්සියස් අංශක 1543ක දැඩි උෂ්ණත්වයක් අවශ්‍යය වේ.

ඉහලම තත්වයේ යකඩ විශේෂිත දැව වර්ග සමග කොවේ දමා උණු කිරීමෙන් වානේ නිෂ්පාදනය කරනා තාක්ෂණයද මෙම පෙදෙසේ පවතී බව කියවේ.

මෙම පෙදෙසේ යකඩ උණු කිරීම පිළිබඳව සාක්ෂි තිබුනද ජනාවාස පැවති බව තහවුරු කිරීමට සාක්ෂි නොමැත. ජනාවාස පිළිබඳව පවතින ප්‍රභලම සහ සුලභම පුරා විද්‍යා සාක්‍ෂිය වශයෙන් පිලිගැනෙනුයේ වලන් කටුය. මෙම පර්යේෂණ සිදු කළ පුරා විද්‍යාඥයන් පවසනුයේ යකඩ කර්මාන්තකරුවන් ජුනි, ජූලි සහ අගෝස්තු මාස වල දිවා කල පැමිණ සිය කර්මාන්තවල යෙදුනු පිරිසක් මිස ස්ථිර පදිංචියේ සිටි පිරිසක් නොවන බවය. 

යකඩ නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ලබාගෙන ඇත්තේද මෙම පෙදෙසින්මය. ගලේවල හින්න ප්‍රදේශයේ යකඩ වලින් පෝෂිත යපස් නිධි පවතියි. ගල් බොරළු මිශ්‍රිත මෙම යපස් වල යකඩ ඇත්තේ ඛනිජයක් වශයෙන් නොව ඔක්සිජන් සල්ෆේට් සහ කාබනේට් අඩංගු යකඩ පාෂාණයක් වශයෙනි.

යපස් අධික උෂ්ණත්වයකට බඳුන් කර එහි යබොර ඉවත් කර ලබා ගත් යකඩ පතුල පාත්‍රයක හැඩයක් ගත් කුට්ටි වශයෙන් සකස් කොට ඇත. මෙලෙස නිෂ්පාදනය කරනා ලද යකඩ කුට්ටිද ගලේවල හින්න ප්‍රදේශයෙන් සොයාගෙන ඇත.

සමනළ වැව සෑදීමට පෙර මෙම ප්‍රදේශය හරහා රුහුණට ගලා ගිය වලවේ ගඟ ද රට මැදට ගලා ගිය බෙලිහුල් ඔයද ඔස්සේ යකඩ කුට්ටි ප්‍රවාහනය කරන්නට ඇති බවට මතයක් පවතියි. 

සමනල වැව යෝජනා ක්‍රමය යටතේ ජලාශයට වතුර පිරවූ පසුව මෙම උදුන් පැවති ප්‍රදේශය ජලයෙන් යටව ගියේය. නමුත් ජලය පිරවීමට පෙර වසර දෙකක් තිස්සේ සිදු කළ ගවේෂණ මගින් හෙලයාගේ පුරාණ යකඩ කර්මාන්තය පිලිබඳ සාක්ෂි මතුකරලීම පැසසුම් සහගතය.

Saturday, April 22, 2017

අන්ධ දේව භක්තියෙන් විනාශවූ නිකොලායි ගොගොල්

රුසියානු සාහිත්‍යය තුල සැරිසරනා පාඨකයාට හමුවන විශිෂ්ඨතම උපහාස ලේඛකයා වශයෙන් නිකොලායි ගොගොල් හැඳින්විය හැක. ඔහු රුසියානු රාජාණ්ඩුව කෙතරම් විශිෂ්ඨ ලෙස උපහාසාත්මකව විවේචනය කලේද කිවහොත් රුසියානු රජුගේ පවා උදහසට ලක් නොවී අනුග්‍රය ලබා ගන්නට සමත් විය.

නිකොලායි වැසි ලෙච්චි ගොගොල් වර්ෂ 1809  මාර්තු 19 වනදා බටහිර රුසියාවේ සොරවින්ට්ස්කි නම් කුඩා නගරයේ උපන්නේය. ඔහුගේ පියා සුළු ඉඩම් හිමියකු විය. මව දේව භක්තියෙන් අන්ධවූ අඩුවයසින් විවාපත් තැනැත්තියක වුවාය. විරූපී පෙනුමකින්ද, නිතර ලෙඩ රෝග වලින් ද පෙළුණු ගොගොල් ඉගෙනීමට සමත්කම් දැක්වූ ළමයකු නොවීය. ඔහු පාසල් විෂයනට දක්‍ෂතාව නොදැක්වූ නමුදු සාහිත්‍ය පොත පත මහත් අභිරුචියකින් කියවුවකු විය.  වයස 28 දී ගොගොල්ගේ පියා මියගිය පසුව ඔහුගේ පාසැල් ගමන නැවතින.

ප්‍රසිද්ධ පුද්ගලයකු වීමේ මහත් අභිලාශයකින් සිටි ගොගොල් වයස 19දී පීටර්ස්බර්ග් නුවරට ගොස් නීතිය හැදෑරීමට   පටන්ගත් නමුදු එය අසාර්ථක විය. පසුව නළුවකු වීමට උත්සහ කල නමුදු එයද අසාර්ථක විය. 

අවසානයේදී ලේඛණය වෙත හැරුනු ගොගොල් කවි පොතක් ලියා ප්‍රකාශකයකු සොයාගත නොහී තමන්ගේ වියදමට තිබු මුදලින් ප්‍රකාශයට පත් කලද ඔහු බලාපොරොත්තු වූ ප්‍රසිද්ධිය ලබා ගැනීමට නොසමත් විය. එවර පොත් සාප්පු ගානේ ගොස් විකිණීමට තබා තිබූ ඔහුගේ පොතෙහි පිටපත්  එකතුකර ගිනිබත් කළේය.

අනතුරුව විදේශ ගතවීමට සිතු ඔහු ඇමෙරිකාවට යාමට පිටත්ව ජර්මනියේදී අතේ මුදල් අවසන්වීමෙන් අනතුරුව  නැවතත්  පීටර්ස්බර්ගේ වෙතම හැරී ආවේය. එවර පීටර්ස්බර්ග් නගරයේ ස්වදේශ භාර අමාත්‍යංශයේ සුළු වැටුපකට ලිපිකරුවකු වශයෙන් බැඳුනේය. ගොගොල්ට සිය  රැකියාවෙන්  ජීවිතය ගෙවීමට තරම් වැටුපක් නොලදුයෙන් නැවතත් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන්  ලේඛනය පටන්ගත්තේය. එවර ඔහු සාර්ථක විය. පුවත් පත් වලට ලියූ ලිපි එකතු කොට පලකල "දිකන්තා ගම අසල" නම් පොත ඔහුව වයස 22 දී ප්‍රසිද්ධ නවකතා කරුවකු බවට පත් කළේය. නවකතා කරුවකු වශයෙන් ලද ප්‍රසිද්ධිය නිසා ඔහු පීටර්ස්බර්ග් හී  උසස් සමාජයට ඇතුලත් විය. අනතුරුව ප්‍රකාශයට පත් කල දිකන්තා ගම අසල දෙවන කොටස, ටරාස්බුල්ලා භයානක පලිගැනීම, ඉවාන් පියෝදොරෙවිච්, මර්ගොරොඩ් වැනි නවකතා තුලින් ගොගොල් රටපුරා කීර්තිය මෙන්ම ධනයද රැස්කර ගත්තේය.

අනතුරුව නාට්‍ය කිහිපයක් ලියා අසාර්ථක වූ ගොගොල් රාජ්‍ය පාලනයේ දුෂණ කර්කශ ලෙස උපහාසයට ලක්කළ "ආණ්ඩුවේ පරීක්ෂක" නාට්‍යය තුලින් ඉමහත් ප්‍රසිද්ධියක්  ලැබුවේය. මෙම නාට්‍යය කියවූ පළමුවෙනි නිකලස් රජතුමා ඉන් ප්‍රසාදයට පත්ව එම නාට්‍යය රාජකීය රඟහලේ වේදිකා ගත කරන්නට අණ කළේය.   "ආණ්ඩුවේ පරීක්ෂක" නාට්‍යය නිසා රජතුමා ප්‍රසාදයට පත්වූවද ඉන් පහරකෑ නිලධාරී පන්තියෙන් ආරක්ෂා වීමට ඔහු යුරෝපයට පැනගොස් වසර 12ක් විසුවේය. ඉන් වැඩි කලක් රෝමයේ ගතකල ගොගොල් "විවාහය" නමැති නාට්‍යයත්, විශ්ව සාහිත්‍යයේ අති ශ්‍රේෂ්ඨ "මළ මිනිස්සු" නවකතාවත් ලියුවේය.  මළ මිනිස්සු නවකතාව රුසියාවේ එවකට පැවති වහල් මෙහෙය නිසා රටවැසියා විඳින පීඩාව අති උපහාසයෙන් නිර්දය ලෙස විවිචනය කළේය.

මේ කාලයේදී ඔහු පුජකයන්ගේ ග්‍රහණයට හසුවිය. නවකතාකරණය හැර දමා ධර්ම දේශකයෙකු වීමට උත්සහ කළේය. දේව භක්තියෙන් උමතුව අත තිබූ මුදල් දිළින්දන්ට බෙදා දී ණය ගැතියෙකු බවට පත් වුනේය. ඒ වෙනුවෙන් ධර්ම දේශනා අඩංගු පොතක් ලියා පල කළේය. එහි ඉදිරපත් කල දර්ශනය වුයේ සියල්ල දේව කැමැත්ත මත සිදුවන බවය. නමුත් මෙම පොතහි අන්තර්ගතය පාඨකයා අතර ප්‍රතික්ෂේප විය. ඔහුට දැඩි විවේචන එල්ල විය. එම පහරදීම් ඉවසිය නොහැකිව ඔහු දැඩි ලෙස වේදනාවට පත් විය. 

පුජකයන්ගේ බලපෑමට යටත්ව සිටි ගොගොල් දේව භක්තියෙන් අන්ධවී ලියා තිබු සියල්ල ගිනි තබා දැමුවේය. මළ මිනිස්සු නවකතාවේ දෙවන කොටසද එලෙස ගිනිබත් වූ අත් පිටපත් අතර විය. 

අවසානයේදී 1852 පෙබරවාරි 21 දින වයස 42ක් වූ ගොගොල් උමතුවෙන් මියගියේ  ''මට ඉනිමගක් දෙන්න, මට ඉනිමගක් දෙන්න" යනුවෙන් පවසමිනි.

ප්‍රංශ විප්ලවයෙන් පසුව බටහිර ඇතිවු බෞද්ධ ප්‍රබෝධය

ඉයුජින් බ්‍යුර්නුෆ් පඬිතුමා
ප්‍රංශ විප්ලවය ප්‍රංශයේ පමණක් නොව සමස්ථ යුරෝපයේම සංස්කෘතිය, කලා ශිල්ප සහ සාහිත්‍යය කෙරෙහි විසල් බලපෑමක් ඇති කළේය. මෑත ඉතිහාසයේ, යුරෝපයේ බෞද්ධ දර්ශනය පිළිබඳව අධ්‍යනයන් ඇරඹුණේ ද ප්‍රංශ විප්ලවයට පසුවය. 

ඉන් පෙර ඉතිහාසය පුරාම යුරෝපීය ආක්‍රමණිකයන් සහ අධිරාජ්‍යයන් විසින් ඉන්දියාව ප්‍රමුඛ ආසියානු රටවල් ආක්‍රමණය නිසා බුදු දහම යුරෝපයට ඉතා අවම මට්ටමෙන් කාන්දුවී තිබිණ. ක්‍රිස්තු පුර්ව තුන්වන සියවසේ ශ්‍රේෂ්ඨ බෞද්ධ නරපතියා වූ අශෝක අධිරාජයා විසින් "ධර්ම මහාමාත්‍ර" නමින් ආගමික කටයුතු අමාත්‍යාංශයක් පිහිටුවා ග්‍රීක පෙදෙස් වලට බෞද්ධ ධර්ම දුතයන් පිටත් කර හැරිය බවට ලේඛනගත සාක්ෂි ඇත. 

පාලි බෞද්ධ ග්‍රන්ථයක් වන "මිලින්ද පඤ්හයේ" මිලින්ද නම් රජ කෙනෙකු සහ මධර නාගසේන නම් භික්ෂුවක් අතර ධර්ම සාකච්චාවක් අන්තර්ගතය. මෙම රජ ක්‍රිස්තු පුර්ව පළමු සියවසේ වයඹ දිග ඉන්දියාව පාලනය කළ මිනැන්ද්‍රෝස් නම් ග්‍රීක නරපතියා වෙතැයි සලකනු ලැබේ.

ලංකාවේ ඉතිහාස ග්‍රන්ථය වන මහා වංශයේ සඳහන් වන්නේ ක්‍රිස්තු පුර්ව පළමු සියවසේදී ධම්මරක්ඛිත නම් ග්‍රීක මා හිමියන්  අනුරාධපුරයේ මහා ස්ථුප උළෙලට ඇලෙක්සැන්ඩ්‍රියා වේ සිට පැමිණි බවය.

මේ වාර්ථා මගින් සනාථ වන්නේ පුරාණ යුරෝපයේ තැනින් තැන බුදු දහම පැවති බවය. 

නැවත වරක් බටහිර රටවල බුදු දහම ගැන අසන්නට ලැබෙනුයේ දහසය වන සිය වසේ සිට බටහිරින් පෙරදිගට ගිය ක්‍රිස්තියානි මිෂනාරි වරුන් විසින් සිදු කල වාර්ථා තුලිනි. නමුත් මේ වාර්තා වලින් බොහොමයක් අගති සහිත වූද, නොමග යවන සුලු වූද, වැරදි නිගමනයන්ගෙන් සහ වැරදි වැටහීම් වලින්ද ගහන විය.

නුතන යුරෝපයේ බුදු දහම පිළිබඳව අධ්‍යනය ආරම්භ වනුයේ 19 වන සියවසේ ෂෝපන් හෝවර් (1788 -1860) විසින් තමා බෙහෙවින් ඇලුම් කළ බුදු දහම සම්බන්ධව කල සටහන් වලින් බටහිර බුද්ධිමතුන්ගේ  සහ දාර්ශනිකයන්ගේ සැලකිල්ල පුබුදු කිරීමත් සමගය.

නමුත් බුදු දහම පිළිබඳව ක්‍රමවත් සාස්ත්‍රීය අධ්‍යනය සහ පර්යේෂණ වලට මුල පුරනා ලද්දේ 1826දී ලසෙන් නම් ජර්මන් ජාතික පඬිවරයාගේ සහයෝගය ඇතිව පාලි පිලිබඳ නිබන්ධයා නම් කෘතිය පළ කළ ප්‍රංශ ප්‍රාචීන භාෂා සාස්ත්‍රඥයකු වූ ඉයුජින් බ්‍යුර්නුෆ් (1801-1852) (Eugène Burnouf) පඬිවරයාටය. මේ කෘතියේ පාලි භාෂාව ලියැවී ඇති විවිධ හෝඩි වල සටහන් දක්වා ඇති අතර සිංහල හෝඩියද එහි වේ. 

හොප්සන් විසින් නේපාලයෙන් ගෙනෙනලද බෞද්ධ සංස්කෘත අත්පිටපත් රාශියක් අධ්‍යනය කළ එතුමා ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසයට සංඤාපනයක් නම් කෘතිය 1844 වසරේදී ප්‍රකාශයට පත් කළේය. එතුමන් අකල් මරණයට පත්වූ 1852 වසරේදී ඈත පෙරදිග ඉතාමත් ප්‍රකට වූ සද්ධර්ම පුණ්ඩරික සුත්‍රය පරිවර්ථනය කළේය. මේ අනුව ඉයුජින් බ්‍යුර්නුෆ් (1801-1852) පඬිතුමා බටහිර බෞද්ධ අධ්‍යනයේ පියා වශයෙන් හැඳින්විය හැක.

එතුමන් ගේ කීර්තිමත් ගෝලයන් අතර වන සුප්‍රකට ඉන්දීය භාෂා සාස්ත්‍රඥයකු වූ ජර්මන් ජාතික මැක්ස් මුලර්ද වේ. 

ඉයුජින් බ්‍යුර්නුෆ් පඬිතුමා ආරම්භ කරනා ලද මේ සාස්ත්‍රීය සේවාව ඉදිරයට ගෙනයන ලද ශ්‍රේෂ්ඨතමයා ලෙසින් සැලකෙනුයේ ඉන්දීය භාෂා සාස්ත්‍රඥයකුවූ සිල්වන් ලෙව් (1869-1935) මහතාය. එතුමන් විසින් මහායාන ග්‍රන්ථ කිහිපයක්ද සංස්කරණය කල අතර තවත් පොත් රාශියක් සංස්කෘත මුල් පොත් සංස්කරණය කොට ප්‍රංශ පරිවර්ථන සහිතව පළ කළේය.

අවසන් වශයෙන් සිල්වන් ලෙවී විසින් තකුකුසු නමැති ජපන් පඬි වරයා සමග චීන සහ ජපන් ප්‍රභවයනට අනුකුලව බුදු සමය පිලිබඳ සකල විධ තොරතුරු අන්තර්ගත "හොබෝගිරින්" නම් ශබ්දකෝෂය ආරම්භ  කළේය.

බ්‍යුර්නුෆ් සහ ලෙවී පඬිවරුන් විසින් ආරම්භ කරනා ලද මේ ප්‍රංශ සම්ප්‍රදාය ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවක් විසින් දැනටද ඉදිරියට ගෙන යනු ලැබේ.

(ප්‍රංශ විප්ලවය පිලිබඳ දෙවන ශත සංවත්සරයේදී කැලණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්‍යය වල්පොල ශ්‍රී රාහුල යතිවරයානාන් වහන්සේ විසින් 1989 වසරේදී කොළඹදී කරනා ලද දේශනයක් ඇසුරිනි)

Thursday, April 20, 2017

ලංකාවේ ඇදහිලි, බලි තොවිල් ලේඛණ ගත කල ජෝන් කැලවේ පියතුමා

යටත් විජිත සමයේ සිංහල සාහිත්‍යයේ උන්නතියට සේවාවන් කල විදේශිකයින් ගැන කියවෙද්දී බොහෝ විට සිහියට නැගෙනුයේ ජුසේ වාස් පියතුමා සහ ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමාවය, එතුමනට අමතරව සිංහල සාහිත්‍යයට අනුපමේය සේවාවන් කල තවත් විදේශික පුජක වරුන් සිටිති. 

පුරාන ලංකාවේ ඇදහිලි, බලි තොවිල් ලේඛණ ගත කල ජෝන් කැලවේ පියතුමා ගැන කෙටි විස්තරයක් පහතින්න් වෙයි. 

වෙස්ලියානු පුජක වරයකු වූ  ජෝන් කැලවේ පියතුමා දහඅට වන සියවසේ මුල් භාගයේ ලංකාවට පැමිණෙනුයේ ආගමික ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ධර්ම දුතයෙකු වශයෙනි.  එතුමන් 1817 වසරේ අගෝස්තු මස  මාතරට පැමිණ මිෂනාරි පාසල් හයක් ආරම්භ කල අතර දැනට මාතර ජනාධිපති විදුහල ලෙස හැඳින්වෙන පෙරදී  කොටුව මෙතෝදිස්ත විදුහල ඉන් පළමුවැන්නය.

ඉංග්‍රීසි සහ පෘතුගීසි භාෂා දෙකෙහිම වියතකු වූ එතුමන් 1817 මැයි 17 දින ලන්ඩනයේ ප්‍රධාන මීසම් පාලකයනට ලිපියක් යවමින් දන්වා ඇත්තේ මෙරටට පැමිණි  යුරෝපීන් ගෙන් සිංහල ඉගෙනීමට සිතා ඇත්තේ ඉතාම  සුළු දෙනෙකු බවය. මෙරට ආගම ප්‍රචාරය කිරීමට නම් පළමුව දේශීය බස ඉගෙන ගත යුතු බව සිතු එතුමන් සිංහල බස ඉගෙන ගෙන ඇත. දැනටත් බ්‍රිතාන්‍ය පුස්තකාලයේ ඇති පෘතුගීසි - සිංහල ශබ්ද කෝෂය සහ ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂය එතුමන් විසින් සම්පාදිතය. තමනට සිංහල ඉගැන්වූ ගුරුවරයා සමග එක්ව ඉංග්‍රීසි සහ පෘතුගීසි ආගමික ගීතිකා සිංහලට පරිවර්තනය කර සිංහල ආගමික ගීත සාහිත්‍යයක් ද එතුමන් බිහිකළහ. නමුත් මෙම ගීතිකා දැන් භාවිතයට නොගැනෙනුයේ ඒවායේ   බස අදට නොගැලපෙන නිසාය.

මාතර ගාල්ල සහ කොළඹ යන ස්ථාන වල විසු එතුමන් එවකට පහතරට ප්‍රදේශ වල සුලභව තිබූ තොවිල්, බලි, යාග සහ පෙරහැරවල්  සම්බන්ධ සාහිත්‍යය පිළිබඳව අධ්‍යනය කළහ. මෙම අධ්‍යනයන්හිදී යක් තොවිල් සහ කෝලම් නැටුම් පිලිබඳ පොත් සොයාගෙන ඒවා ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත. කෝලම් මුහුණු වල වර්ණ යෙදීම එතුමන් විසින් අධ්‍යනය කර ඇත්තේ ගාළු කඩවත් හතර තුල පිහිටි තලාපිටියේදීය.

මෙලෙස යක් තොවිල් සහ කෝලම් පිලිබඳ දීර්ඝ අධ්‍යනයක් අවසානයේ 1829 වසරේදී "යකුන් නටනවා, කෝලම් නටනවා නම් කෘතිය මුද්‍රණය කර ඇත. ඒ සඳහා උපකාර ලබාගෙන ඇත්තේ ලන්ඩනයේ පෙරදිග පරිවර්ථන අරමුදලෙනි. එම කෘතියේ අරමුණ වී ඇත්තේ පෙරදිග විශ්වාස පිලිබඳ යුරෝපීයන් දැනුවත්  කිරීමය. එම කෘතියේ කෝලම් නැටුම් සම්බන්ද  කවි අසුපහක පරිවර්ථන අඩංගුය. 

ජෝන් කැලවේ පියතුමන්ගේ පොතෙහි කෝලම් නැටුම් වල චරිත ගැන විස්තරයක් ද පවතියි. දැනට බොහෝ සෙයින් වෙනස් වී, නව චරිත එක්වී ඇති කෝලම් නැටුම් සම්ප්‍රදාය පෙර පැවති ආකාරය ගැන අධ්‍යනයට මෙම කෘතිය බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි.

ප. ලි. :-ජෝන් කැලවේ පියතුමාගේ පින්තුරයක් තිබෙනා අයෙකු එය මෙහි පලකිරීමට ලබා දෙන්නේ නම් කෘතඥ වෙමි.

යකුන් නටනවා කෝලම් නටනවා කෘතියේ ලින්කුව 

https://books.google.lk/books?id=A9JVAAAAcAAJ&pg=PA29&lpg=PA29&dq=rev.+john+callaway+ceylon&source=bl&ots=seO7Xtobc3&sig=wo5fvRpkyPswX4AFWjTrKyVx3So&hl=en&sa=X&ved=0ahUKEwjNpc2ylrXTAhUBso8KHXJUDxkQ6AEIIzAB#v=onepage&q=rev.%20john%20callaway%20ceylon&f=false

පරපුරක් කියැවීමට යොමුකළ ඩීමන් ආනන්ද

"උසාවි නැත. නඩු නැත.  ඇසට ඇසක්. උණ්ඩයට උණ්ඩය. එයයි ඔහුගේ නීතිය."
මේ ජේමිස් බණ්ඩා නම් වන වීරයකුගේ සටන් පාඨයයි.

ජේමිස් බණ්ඩා නම් වන රහස් පරීක්ෂකයාගේ නිර්මාපකයා වුයේ ඩීමන් ආනන්ද නම් වූ අසාහය ලේඛකයාය. මාරක කථා චක්‍රවර්තී යනුවෙන් හැඳින්වුණු  ඩීමන් ආනන්ද සිංහල සාහිත්‍යට අසාමාන්‍ය සහ අසම්මත මෙහෙයක් ඉටුකළ ලේඛකයකු වශයෙන් සම්භාවනාවට පත් කල හැක. සරල ලේඛණ ශෛලියකින් හිත් ඇදගන්නා සුළු මාරක කථා ඉදිරිපත් කළ ඔහු එක යුගයක පරපුරක්ම  කියැවීම කෙරෙහි යොමු කළේය. දෙසතියක් තුල එක පොතකින් පිටපත් විසිපන්දහසක් විකුනුනු  ඔහුගේ නිර්මාණ සංඛ්‍යාව 1008 කි. 

එකල අතිශය ජනප්‍රිය චරිතයක් වූ  ඩීමන් ආනන්ද උපන්නේ නිල්වලා ගඟ මායිම් කරගත් මාතර බණ්ඩත්තර නම් හද්දා පිටිසර ගමකය. ගමේ පාසලේ  තුන්වන  පන්තිය තෙක් අකුරු කල ඔහු ගාල්ල ඕල්සෙන්ට්ස් පාසලට ඇතුළු කරනු ලදුයේ ඉංග්‍රීසි ඉගෙනීම අරමුණු කොට ගෙනය. සිය බාප්පාගේ නිවසේ නැවතී පාසල් ගිය ඩීමන් ආනන්ද පසුව කොලොන්නාව ආනන්ද විද්‍යාලයට ඇතුළු වන්නේ බාප්පාගේ පදිංචිය මාරුවීම නිසාවෙනි. අවසානයේ මරදාන ඉන්ඩස්ට්‍රියල් පාසලෙන් එස්. එස්. සී. විභාගය සමත් වීමෙන් අනතුරුව ඩීමන්  ආනන්ද වැටෙනුයේ අරමුණු රහිත දිවි පෙවෙතකටය.

කිසිවක් පල නුවුවද, පත්තර වලට කවි ලියමින් කල්ගත කල ඔහු සිනමා ලේකඛයකු වශයෙන් ජීවිතය අරඹනුයේ රොබට් ජයවර්ධන විසින් පලකල  "සිනමා" නම් වන ශ්‍රී ලංකාවේ ප්‍රථම චිත්‍රපට පුවත් පතෙනි. ඉතා සුළු කාලෙකින් "සිනමා" වැසී යාමෙන් අනතුරුව ඩීමන්  ආනන්ද විසින් "රිදී තිරේ" නම් පුවත් පත ආරම්භ කලද එහි ආයු කාලය ද බොහෝ සෙයින් අඩු එකක් විය. 

බාප්පාගේ නිවසේ නිකරුනේ කාලය කා දැමීම හිසරදයක් වූ ඩීමන්  ආනන්ද අලුත් වැඩකට අතගසමින් ලියෝ ටෝල්ස්ටෝයි ගේ යුද්ධය සහ සාමය නම් දැවැන්ත නවකථාව සිංහලට පරිවර්තනය කරනු ලැබුවා. යුද්ධය සහ සාමය වැනි කෘතියක් පරිවර්ථනය කළ යුත්තේ ඔබ වැනි ආධුනිකයකු නොව  ප්‍රවීණයකු බව පවසමින් ගුණසේන පොත් සමාගම ඔහුව ප්‍රත්ක්ෂේප කළා. 

අනතුරුව කරන්නට කිසිවක් නොමැති නිසා අලුත් කඩේ උසාවිය නඩු අසනු බැලීමට යාමට පුරුදු වීම ඔහුගේ ජීවිත කථාව  වෙනස් මගකට යොමු කිරීමට සමත් උනා. නීතීඥයන්ගේ තර්ක විතර්ක මැද මිනීමරුවන් නුලෙන් බේරෙනු දුටු ඩීමන්  ආනන්ද ඉන් ලද උත්තේජනයෙන් රහස් පරීක්ෂක කථා කිහිපයක් ලියා ගෙනගියේ ඉන්දියානු දෙමල පොත් සහ සඟරා බෙදා හරිමින් සිටි ව්‍යාපාරිකයකු වෙතය. සිංහල අකුරු කියවන්නටවත් නොදත් දෙමල ජාතිකයකු වූ මෙම ව්‍යාපාරිකයා කිසිදු පැකිලීමකින්  තොරව ඩීමන් ආනන්දගේ පොත් ප්‍රකාශයට භාරගෙන ඇත. මේ ආකාරයට ඔහුගේ මුල්ම පොත වූ "ගංතෙර හොල්මන" 1960 වසරේදී ප්‍රකාශයට පත්ව ඇත. 

මැදියම් රැයේ මිනිසුන්ගේ ලේ උරා බොන ඩ්‍රැකියුලා, මාරක අවතාර, ජේම්ස් බොන්ඩ් වැනි චරිත සමග බිහිවූ මාරක කථා රැල්ල ලංකාවේ ගම් නියම් ගම් වෙත හමා ගියේ පත්තර ලෑලි හරහාය. ඔහුගේ පොතක පිටපත් විසිපන්දහසක් විකිණී යාමට ගතවී ඇත්තේ සති දෙකක කාලයක් පමණි. මේ ලෙස පරපුරකට කියැවීම පුරුදු කළ ලංකාවේ වේගවත්ම ලේඛකයා බිහිවුණා. වසර පහලවක් පුරා පොත් 1008 ක් ඔහු අතින් ලියවුනා.


ඩීමන්  ආනන්දගේ මාරක කථා රැල්ල වේගයෙන් ජනප්‍රිය වනවිට එයට එරෙහිව කඳවුරු බැඳ ගත්තේ ප්‍රබුද්ධ ලේඛකයන් සහ විචාරකයන් ගෙන සැදි බමුණු කුලයයි.එකල සාහිත්‍යයේ ඒකාධිකාරිය විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ විචාරකයන් අත පැවතියා. ඔවුන් ඩීමන්  ආනන්දගේ කිසිදු පොතක විවේචනයක් පුවත්පත්හි  පලකලේ නැහැ. ඒවෙනුවට සිදුකලේ ඩීමන්  ආනන්දගෙන් පාඨකයා බේරා ගත යුතු බව කියවෙන  නිර්දය විවේචන පුවත් පත් වල පළකිරීමය. වසර පහලවක ලේඛන දිවියක් අවසන් කරමින් හැත්තෑව දශකයේ මැදදී ඩීමන්  ආනන්ද ලේඛනයෙන් සමු ගත්තා. එයට හේතු වුයේ නිර්දය විවේචන වෙතින් සිදුවූ කලකිරීම මෙන්ම කෙතරම් පොත් ලියුවද මුදල් අතින් ද සාර්ථක නොවීමය. මේ නිසා ඔහු මුද්‍රණ ක්ෂේත්‍රය ජීවන වෘත්තිය වශයෙන් තෝරාගෙන ව්‍යාපාරිකයකු බවට පත් වුනා.  


Wednesday, April 19, 2017

සිංහල සිනමාවේ මුල් යුගයේ නුපන් චිත්‍රපට

සිංහල සිනමාවේ ප්‍රථම කථා නාද චිත්‍රපට ය ලෙසින් වාර්ථාගත වනුයේ 1947 ජනවාරි 21 දින මංගල දර්ශිත කඩවුණු පොරොන්දුව ය.  මෙම කථාව චිත්‍රපටයට නැගීමට පෙර දර්ශන වාර 800ක් නාට්‍යයක් වශයෙන් වේදිකා ගත කර තිබූනි. කඩවුණු පොරොන්දුව නාට්‍යය බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ නායකත්වයෙන් සුසැදි මීගමුවේ මිනර්වා නාට්‍යය කණ්ඩායමේ නිර්මාණයක් විය. 

නමුත් ඊට වසර විසි දෙකකට ප්‍රථම 1925 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම නිහඬ චිත්‍රපටය වූ "රාජකීය වික්‍රමය" නිපදවා තිබිණ. එවකට රටේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ ටී. ඒ. නූර්බායි විසින් නිපදවන ලද මෙම චිත්‍රපටයේ දල සේයා පිටපත ඉන්දියාවට යවා තිබියදී කිසියම් පිරිසක් විසින් ගිනි තබන ලදුයෙන් එය ලංකාවේ තිරගත නොවිණ. එවකට කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුවකු වූ, පසුකලෙක ප්‍රවීණ දේශපාලන චරිතයක් වන ආචාර්‍යය ඇන්. ඇම්. පෙරේරා එහි ප්‍රධාන චරිතය රඟපෑවේය. රඟපෑම සඳහා සිදුකළ ගෙවීම රුපියල් සියයක් බව ඇන්. ඇම්. පෙරේරා මහතා පසුකලෙක කියා ඇත. රාජකීය වික්‍රමයහි ප්‍රධාන නිළිය වශයෙන් රඟපා ඇත්තේ සිබිල් ජිම් නම් බර්ගර් ජාතික තරුණියයි. ඉන්දියානු බයිස්කෝප් මෙරට ප්‍රදර්ශනය කල ව්‍යාපාරිකයකු සහ ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකයකුගේ කුමන්ත්‍රණයකින් මෙම නිර්මාණය ගිනිබත් කළබව කියැවේ.

වසර 1933 මැයි 19 දින මුල් වරට තිරගත කරනා ලද ''පලිගැනීම'' මෙරට මුල් වරට නිෂ්පාදනය කර ප්‍රදර්ශනය කළ නිහඬ චිත්‍රපටය ලෙසින් වාර්තාගත වේ. මරදානේ මූවි ක්ලබ් වෙනුවෙන් සංගීතාචාර්ය ඩබ්ලිව්. දොන් ඇඩ්වඩ් විසින් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත.

මේ කාල වකවානුව තුල නුපන් චිත්‍රපට රැසකි. විල්මට් පෙරේරා, රෙජී පෙරේරා සහ ඩී. ජී. විලියම් නම් මහතුන් තිදෙනා 1940 දී "ලෝක දෙකක්" නම් කථා නාද චිත්‍රපටය නිෂ්පාදනය ආරම්භ කලද ජපන් යුද්ධය නිසා අතරමග නවතා දමා ඇත. කොළඹ ඉම්පීරියල් චිත්‍රපට සමාගමේ ප්‍රචාරක නිලධාරී ඇම්. ඇස්. ඇම් සකී විසින් ප්‍රේමවතී නම් චිත්‍රපටයක් ද කොළඹ රසික සමාජයක් විසින්  "ද බෑන්ක් මැනේජර්" නම් චිත්‍රපටයක් ද නිපදවීම ආරම්භ කර අතහැර  දමන ලද ලැයිස්තුව තුල වේ. 

එවක දක්ෂ නළුවකු වූ ඊ. සී. බී. විජේසිංහ ඇතුළු නළු නිලි කැලක් සමග සිලෝන් තියටර්ස් සමාගමේ ප්‍රදර්ශක නිලධාරී ඇන් තුරෙසිංහම් ඉන්දියාව බලා පිටත්ව තිබුනේ "දිව්‍ය ප්‍රේමය" නම් චිත්‍රපටය නිපදවීම අරමුණුකොට ගෙනය.

1945 වසරේදී ව්‍යාපාරිකයකු වූ එස්. එම. නායගම් විසින්  චිත්‍රකලා මූවිටෝන් නම් චිත්‍රපට සමාගමක් පිහිටුවා කලාගුරු ජේ. ඩී. ඒ. පෙරේරා, නාට්‍ය ශිල්පී ශාන්ති කුමාර්, සංගීතාචාර්ය යූ. ඩී. පෙරේරා සමග එක්වී කතා නාද චිත්‍රපටයක් නිපදවීමට උත්සහ ගත්තේය. මුලදී එම සමාගම නිෂ්පාදනයට අදහස් කරගෙන සිටියේ "ශ්‍රී වික්‍රම රාජසිංහ" කථාවය. නමුත් එම අදහස ඇත හැර දමා ඇත්තේ අධික නිෂ්පාදන පිරිවැය මතය. අනතුරුව "Treasure  of the Kandian Court" නම් නවකතාව ඇසුරින් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමටද කටයුතු සුදානම් කල නමුදු එම අදහසද අත්හැර දමා ඇත. දෙවතාවක් අසාර්ථක වීමෙන් පසු  චිත්‍රපට කතාවක් සඳහා තරඟයක් පවත්වා ශාන්ති කුමාර් සෙනවිරත්න ලියූ "අශෝකමාලා" තෝරාගෙන ඇති අතර පසුව ශාන්තිකුමාර් සහ චිත්‍රකලා සමාගම අතර විරසකයක් ඇතිවින. 

අවසානයේ චිත්‍රකලා මූවිටෝන් සමාගම මදුරාසියේ මදුරෙයි චිත්‍රාගාරයේදී කඩවුණු පොරොන්දුව  සිනමාවට නැගීය.

Monday, April 17, 2017

සිරගෙයට බිය නොවූ සටන්කාමියා - වෝල්ටර් සිසිලු


අප්‍රිකානු සුදු වර්ගභේද වාදයට එරෙහි සටන ගැන සොයන පාඨකයාට කියවීමට ලැබෙනුයේ ප්‍රධාන වශයෙන්ම නෙල්සන් මැන්ඩෙලා ගැන ලියවීම් ය. අප්‍රිකානු වර්ග භේද විරෝධී සටන  සුවිශේෂී වන්නේ එහි නායකයන් දීර්ඝ කාලීනව සිරගතව සිටින අතරතුරදී ජයග්‍රහණයෙන් කෙලවර වූ  සටනක් මෙහෙයවීමය. 

අප්‍රිකානු ජාතික සංගමයේ ප්‍රධාන ලේඛම් ධුරය හෙබවූ වෝල්ටර් මැක්ස් උල්යාටේ සිසිලු වසර 26ක සිර දඬුවමක් විඳි අදීන නායකයෙකි. ඔහු උපන්නේ 1912 මයි 18 දින දකුණු අප්‍රිකාවේ ට්‍රාන්ස්කයි නගරයේදීය. තරුණ වියට පත්වන්නට පෙර ඔහුගේ පවුල පියා විසින් අතහැර ගියෙන් සිසිලු සහ ඔහුගේ මව ජොහැන්ස්බර්ග් නගරයට  සංක්‍රමණය විය. ලොන්ඩරි සේවිකාවක වූ ඔහුගේ මවගේ ජීවන අරගලයට සහය දෙනු වස් වයස 15ක් වූ සිසිලු පාසල අත්හැර ගොවිපොලක සුළු රැකියාවකට බැඳුණි. පසුව රන් පතලකද විවිධ කාර්මික ආයතන වලද ඔහු රැකියාව කළේය. නමුත් මේ කිසි රැකියාවක් දිගු කලක් කිරීමට නොහැකි වුයේ සුදු කොම්පැනිකරුවන්  කළු ජාතිකයනට සිදු කල වෙනස් කම් වලට එරෙහි වීම නිසා පැනනැගුනු ගැටුම් හේතුවෙනි.

මුල් කාලයේදී ඕලරාඩෝ සහෝදර  සංගමය නම් නිදහස් ව්‍යාපාරයට බැඳුණු ඔහු කළු ජාතිකයන් ආර්ථික  සහ සමාජයීය වශයෙන් නගා සිටුවීමේ සටන් මෙහෙයවීය. 

බේකරියක සේවය කරනා අතරතුර වැඩ වර්ජනයක් සංවිධානය කිරීම හේතුවෙන් ඔහු රැකියාවෙන් නෙරපනු ලදුව අප්‍රිකානු ජාතික සංගමයට බැඳුණි. මේ නිසා සිසිලු නෙල්සන් මැන්ඩෙලා ගේ ඇසුරට පත්වී අවසානයේ ජාතික සංගමයේ භාණ්ඩාගාරික තනතුරට පත් විය. මැන්ඩෙලා නීතිය ඉගෙන ගන්නා සමයේ ඔහු විසින් සිය වැටුපෙන් කොටසක් ඒ සඳහා පරිත්‍යාග කළේය. 
වයස  37 දී  ජාතික සංගමයේ පුර්ණ කාලීන ලේඛම් ධුරය ඔහු විසින් භාරගත් අතර පවුම් තුනක ඉතා සුළු වැටුපක් පමණක් එයින් ලද්දේය. විවාහකයකු වූ ඔහුගේ පවුල රැකුණේ බිරිඳ ඇල්බටිනා හෙද සේවයෙන් ලද වැටුපෙනි. 

කළු ජාතික ළමයෙකුගේ ප්‍රවේශ පත්‍රයක් සුදු ජාතික දුම්රිය නිලදරුවකු සිය භාරයට ගත් අවස්ථාවක ඔහු සමග දබරයක පැටලීම හේතුවෙන් ඔහු මුල් වරට සිරගතවිය.

වසරේ සුදු පාලනයට එරෙහිව 1952 වසරේ සංවිධානය කරනා ලද වර්ණ භේද විරෝධී ජාතික ව්‍යාපාරය සැලසුම් කල සිසිලු සිර භාරයට ගන්නා ලද අතර  දේශපාලන තහනමකටද යටත් විය.

1952 දෙසැම්බරයේදී එවකට ජාතික සංගමයේ සභාපති ධුරය දැරූ ජේමිස් මොරෝකා සහ නෙල්සන් මැන්ඩෙලා කොමියුනිට්ස්වාදය මර්ධනය කිරීමේ පනත යටතේ චෝදනා එල්ලකොට අත්හිටවූ සිරදඬුවම් පමුණුවන ලදී. 

සංගමයේ ලේඛම් ධුරයෙන් අස්වන ලෙස බලපෑම් කල සුදු පාලනය  1954දී සිසිලුට දේශපාලන ක්‍රියාවල යෙදීමද තහනම් කළේය. නමුත් ඔහු රහසිගතව දේශපාලනයේ නිරත විය.

එතැන් සිට 1963 තෙක් බොහෝ වතාවක් කෙටි සිර දඬුවම් වලට යටත් විය. 

1963 ජූලි මස ඔහු ඇතුලු සටන් කාමීන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන නඩු පවරන ලදී. නෙල්සන් මැන්ඩෙලා සහ සිසිලුට  ජීවිතාන්ත සිර  දඬුවම් නියම කරමින් 1964 ජුනි  12 දින නඩු විභාගය අවසන් වින. වසර 26ක සිර දඬුවමකින් පසුව 1989දී වෝල්ටර්  සිසිලු නිදහස් විය.

වසර 2003 මැයි 17 දින මේ සටන්කාමියා මෙලොවින් සමු ගත්තේය.

Sunday, April 16, 2017

පාස්කු ගිනි මැලය

පාස්කු උත්සවය ගැන සිංහලෙන් ලියවෙන ලිපි වල බොහෝවිට කියවෙන්නේ  කල්වාරි කන්දේදී සිදුවූ ක්‍රිස්තුස් වහන්සේගේ සාවද්‍ය  ඝාතනය පිලිබඳ විස්තර පමණි. නමුත් පාස්කු උත්සවය තුල විවිධ සැමරුම් සහ පුජා මෙහෙයන් රැසක් පවතියි.

ක්‍රිස්තුස් වහන්සේගේ මරණයට පෙර ඊශ්‍රායලයේ පවත්වා ඇති පාස්කු මංගල්‍යය මගින් සිහිපත් කර ඇත්තේ ඊජිප්තු දේශයේ පාරාවෝ පාලනයේ වහලුන් වශයෙන් සිටි හේබ්‍රව් ජනතාව රතු මුහුද මැදින් පොරොන්දු දේශය නැතහොත් ඊශ්‍රායලය වෙත පැමිණීමය.

මහා සිකුරාදා ට පසුව යෙදෙන සෙනසුරාදා දිනය ආලේලුයියා සෙනසුරාදා නම්වේ. එදින රාත්‍රියේ පැවැත්වෙන පුජා මෙහෙය ආලෝකයේ සහ ජලයේ මංගල රාත්‍රිය ලෙස හැඳින්විය හැක.

එදින පුජා මෙහෙය පවත්වන්නට පළමුව දේවස්ථානයේ සියළු පහන් නිවා දමා දේවස්ථානයේ දොරකඩ ගිනිමැලයක් දල්වනු ලැබේ.  එම ගිනි මැලයේ ගින්නෙන් පාස්කු ඉටිපන්දම නම්වන විශාල ඉටිපන්දම දල්වන පුජා ප්‍රසාදීතුමා අඳුරින් පිරීගිය දේවස්ථානයට ජනතාවද සමග පෙරහැරකින් ඇතුළුවෙයි. පල්ලියේ ඇතුළේදී ජනතාව රැගෙන එන ඉටිපන්දම් සියල්ල එම පාස්කු ඉටිපහනේ දැල්ලෙන් දල්වාගෙන පුජාව ආරම්භ කරයි. පාස්කු ඉටිපන්දමේ කුරුසියක ලකුණක් කටුවකින් සටහන් කර ඇති අතර ආරම්භය සහ අවසානය සංකේතවත් කරනා ග්‍රීක හෝඩියේ මුල් සහ අවසන් අකුරු වන ඇල්ෆා(α)  සහ ඔමේගා (Ώ) ද සටහන් කර ඇත .

පුජාව අතරතුර විශාල බඳුන් වල පිරවූ  පිරිසිඳු ජලය තුලට  පාස්කු ඉටිපන්දම බහාලීමෙන් ජලය ආශිර්වාද කරනා අතර එම ජලය බැතිමතුන් රැගෙන එන භාජන වලට බෙදා දෙනු ලැබෙයි.

සාමාන්‍යයෙන් වැඩිහිටියන් බෞතීස්ම කරනුයේ මෙම මංගල්‍යය අවස්ථාවේ දීය.

Friday, April 14, 2017

ගමේ අවුරුද්ද

මා කුඩා කාලයේ සිංහල අලුත් අවුරුද්ද කැවුම් කොකිස් අතිරස වැනි කැවිලි කිහිපයකට සීමා වුවක් විය. එයට හේතුව වුයේ මා ඉපදී හැදී වැදුනේ ගමකුත් නොවන නගරයකුත් නොවන ධීවර ගමක කතෝලික පවුලක වීම නිසාය. සිංහල අලුත් අවුරුද්දේ අප වෙත තිබුණු ලොකුම සතුට වූයේ අපගේ නිවාස ඉදිරියෙන් වූ ගාලුපාරේ බයිසිකල් රේස් වලට සහ ගම හරහා දිවීමේ තරඟ වලට වතුර ගැසීමය. මේ සෙල්ලම ඉවර උනේ අනිවාර්යයෙන් හෙම්බිරිස්සා උණට ගොදුරු වීමෙනි. 

අවුරුදු නිවාඩු දින කිහිපය මාමාට සහ තාත්තාට නම් අවුරුදුමය. ඒ ඔවුන්ගේ යහළුවන් සමග මුහුදේ නෑම හෝ ක්‍රිකට් ගැසීම මුවාවෙන් සංවිධානය කරනා මහා පරිමාන මධූ සාද නිසාය. පසු දිනට පවත්වන්නට යෙදෙන මධු සාදය ගැන මාමා අපේ අම්මාට දන්වන්නේ 'අක්කේ හෙට මුහුදේ නාන්නට යහළුවන් පහලවක් එනවා" කියමිනි. රා වලට දේශ දේශාන්තර වල පවා ප්‍රසිද්ධියට පත් අප ගමට නෙක නෙක වාහන වලින් පැමිණෙන මාමාගේ සහ තාත්තාගේ යහළුවන් උගුඩුවන් මෙන් රා බී අනතුරුව රෙඩ් ලේබල් බොති. මුහුදු වෙරළෙන් මට්ටි අල්ලා තෙල් දමා කටගැස්මට ගනිති. විදෙස් රටවලින් සියළු ආනයනයන්  තහනම් කර තිබූ එකල රෙඩ් ලේබල් සැනෙකින් වාශ්පව ගොස් මැන්ඩිස් ඕල්ඩ් ස්පෙෂල් වලට මාරුවන විට කිහිප දෙනෙකු කබර පදම පසුකර හමාරය. ආච්චිගේ සහ අම්මාගේ රැවුම් ගෙරවුම් මැද සංවිධායක මණ්ඩලයම ගෙවල් සෝදති.  මාමාට සහ තාත්තාට කිසිවක් නොකියන ආච්චී "ලොකු උනාම උඹලත් පටන් ගනිල්ලා " යනුවෙන් උස් හඬින් කියනුයේ කුඩා අපට නොවන බව තේරුම් ගියේ බොහෝ කලකට පසුවය.

කුඩා කල නියම අවුරුදු අසිරිය අත් නොවිඳි මා නියම බක් මහා සැණකෙළිය කුමක්දැයි ත්රුම් ගත්තේ විවාහ වීමෙන් පසුව ය. ඒ කේතලෙන් මල්ලක් ගැනීමේ මහා පුණ්‍ය කර්මය හේතුවෙනි. මාතලේ නගරයට කිලෝමීටර දහයක් පමණ දුරින් කඳු මුදුනක පිහිටා ඇති බිරිඳගේ ගම තවමත් ගැමි ලක්ෂණ පහව නොගිය පෙදෙසක් ලෙසින්  හඳුන්වා දිය හැක. මාතලේ නගරයේ ඇති ගිනි රස්නයද එහි නැත. නිවෙස පිහිටා තිබෙන්නේද හෙල් මළු ක්‍රමයට සකසා ඇති කුඩා වෙල් යායකට මුහුණලා කන්දට වන්නටය. පැරණි ගම්පති නිවෙසක් වූ එහි අලුත් අවුරුද්දට පැමිණෙන්නන් බොහෝය. පවුලේ දරු මුණුබුරන් පමණක්ම  තිහ හතළිහක් එක්වෙති. නැකතට කෙරෙනා සියළු චාරිත්‍ර වාරිත්‍ර මා මුල් වරට අත්දුටුවේ එහිදීය.

සිංහල අලුත් අවුරුදු කාලයේ පංච දැමීම, බෙල්ලන් දැමීම, කැට ගැසීම, ඔලිඳ කෙලිය වැනි ගෘහස්ථ ක්‍රීඩා ගමේ ගෙවල් වල අවුරුදු අසිරිය ඔප නංවයි.. තේ වගාවට වඩා කොකෝවා, ගම්මිරිස්, කරාබු වැනි සුළු අපනයන භෝග නිසා පවතින ස්වභාවික පරිසරයේ කොහෝ නාදය නිරතුරුව ඇසේ. එක ගෙයකින් රබන් පදයක් ඇසෙන විට තවත් ගෙයකින් එයට පිළිතුරු පදයක් ඇසෙයි. 

පංච දැමීම ලොකු කුඩා සැමට දෙපසට බෙදී සිදුකළ හැකි ක්‍රීඩාවකි. නායකයන් දෙදෙනෙකි. නුවර මහින්ද අයියා සැම විටම එක් පසෙක නායකයාය. මේ ක්‍රීඩාව බොහෝ වෙලාවක් ඇදී යයි. ජය පෙනි පෙනී තිබෙන පංච පෙත පරාජයට හැරෙන්නට ගතවෙන්නේ නිමේෂයකි. ක්‍රීඩාව බොහෝ වේලාවක් ඇදෙනවිට වැඩිහිටි පිරිමි සංහතිය බෙහෙවින් නොසන්සුන් බවක් දක්වති. මහින්ද අයියා දිනාගෙන එන්නේ නම් ක්‍රීඩාව නවතින්නේ නැත. පැරදීගෙන එන්නේ නම් වැරදීමකින් පංච ලෑල්ලට කාගේ හෝ අත් පහරක් වදියි නැවත තිබු තැන් වල ඉත්තන් තියන්න ගිය විට රණ්ඩුවකි. මේ අවු අස්සේ පිරිමි ටික නිවසින් බොහෝ ඈත කිතුල් මුලක් පාමුල සිටිනු දැකගත හැක. 

අවුරුදු කාලය පොඩි උන්ට රජ මගුල් වන්නේ අම්මලාට උන් ගැන සොයා බලන්නට වෙලාවක් නොමැති තරමට වැඩ අධික වීම නිසාය. නිවසට පැමිණෙන නෑදෑයන් සහ අසල්වැසියන් සමග කතාබස් කොට සංග්‍රහ පවත්වා අවසාන වනවිට පොඩිඋන් ගම් වැදී අවසානය. තාප්ප වලට කොටුවී සිටිනවුන් ගමකට ගිය විට ඉබ්බා දියට දැම්මා වැනිය. දවල්ට කන්නට පොඩි උන් හොයන්නට එක පැත්තකින් ආරි නැන්දා පිටත් කර අහරින විට අනෙක් පැත්තෙන් උන්ගේ තාත්තලා සහ මාමලා හොයන්නට ගෙදර ඉතිරිව ඇති ගැටවර සෙට් එක යවති. අනතුරුව උන් දෙගොල්ලොම හොයන්නට ගුණතිලක නැතහොත් ලේනා පිටත් කරන්නට සිදුවෙයි. ආරි නැන්දා පොඩි සෙට් එක හොයාගෙන ආවත් මහ උන් නම් ගෙදර එන්නේ කෑම හීල් උනාටත් පසුවය. 

ඉක්බිති ගෙවල් ගානේ අවුරුදු ගමන් යාම අරඹන අතර ගියාට පසුව දැනගන්නට ලැබෙනුයේ පිරිමි පාර්ශවය නම් කලින්ම පැමිණ අවුරුදු සමරා ගොස් ඇති වගය. 

නැකතට තෙල් ගෑමේ උත්සවයට කොළ වර්ග සෙවීමේ ක්‍රියාන්විතය නිවසේ සේවකයන් කිසිවකුට  භාර නොදී චුටි මල්ලීත් මමත් ස්වේච්චාවෙන් භාර ගන්නෙමු. ළඟ ඇති ගස් වල කොළ එතරම් හොඳ නැති නිසා  කොළ වර්ග සපයා ගන්නේ බොහෝ දුර බැහැරිනි. එමින් ගමන කිතුල් ගස් සෙවනක නැවතී නයි මිරිස් කරලක් හපමින් තෙල්දිය පොල් කටුවක් දෙකක් හිස් කරන්නේ ගමන් විඩාව හරින්නටය.

අවුරුද්දට ගමට යන පොඩිඋන් බෙහෙවින් ප්‍රිය කරන්නේ දොලේ බැස නෑමටය. දොලේ නෑමටත් වඩා අත් ට්‍රැක්ටරයේ පිටුපස නැගී  දොලට යාමටය. ලොකු පොඩි සැම දෙනා පටවාගෙන දොලට යන ගමන අතිශය විනෝදජනකය. මේ ගමන යාමට විශාල කාලයක් ගත වෙන්නේ මග තොට හමුවෙන හැම දෙනාම සමග නැවතී නැවතී කතා කරන්නට සිදුවන නිසාවෙනි. දොලේ නෑම එක දවසකට සීමා වෙන්නේ එය යොදා ගන්නේ අවුරුදු නිවාඩුව අවසන්ව නැවත එන්නට පෙර දිනයේ නිසාය. පැය ගණනාවක් ජලයේ බස සිටියද කිසිවකුට හෙම්බිරිස්සා අමාරුවක් වත් වැළදෙන්නේ නැත.

අවුරුදු නිවාඩුව අවසන් වන විට ගමේ සියල්ලන්ම පාහේ  මුණගැසී හිතවත් කම් අලුත් කරගෙන අවසානය. ඒ නියම ගමේය. නගරයේ සහ  බාග ගමේ කරන්නේ අල්ලපු ගෙදරින් එවන කැවිලි පිගානට වෙන ගෙදරකින් ලැබුන කැවිලි ටිකක් දමා යැවීමය. නැතිනම් සබන් කැටයක් දමා යැවීමය.