- රෝහිණි කුමාරි මුවන්දෙනිය -
ගුරුවරයෙකු වශයෙන්, මා සිතීමට පුරුදුව සිටියේ දෙමව්පියන් නිතර පාසලට පැමිණිය යුතු වුවත්, ඔවුන් දරුවා පිළිබදව වැඩිමනත් ප්‍රශ්න නොකළ යුතු බවය. නමුත් දැන් දරුවන් තිදෙනෙකුගේ පියෙක් වන මගේ ආකල්පය ඊට හාත්පසින්ම වෙනස්ය. මෙම ලිපියේ කරුණු අවබෝධ කර ගතහොත් ඔබේ දරුවා පාසලෙන් ලබා ගන්නා අධ්‍යාපනයේ විශාල වෙනසක් සිදුකල හැකි බව මට සක්සුදක් සේ පැහැදිලිය .
සෑම පාසලක් තුළම නිර්මාණශීලි කාරුණික ගුරුවරු සිටිති. ඔවුන්ට ඉතා දුර්වල සිසුන්ව පවා උනන්දු කරවිය හැක. එවැනි ගුරුවරු සොයා ගැනීම එතරම් අපහසුද නොවේ. ඔබ දරුවාගේ පාසලේ ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමව්පියන්ගෙන් එවන් ගුරුවරුන් ගැන අසා දැනගත හැක. ඔබ කැමති ගුරුවරයෙකු තෝරාගෙන තමාගේ ඉල්ලීම් ඉදිරිපත් කරන්න. පාසැල් පරිපාලනය බොහෝ විට තමන්ට වාසිදායක ක්‍රියා අනුගමනය කරන බව හොඳින් මතක තියා ගන්න. එතරම් වත් පොහොසත්කම් නැති, කිසිවක් කර කියා ගත නොහැකි දෙමව්පියන්ගේ දරුවන් දුර්වල ගුරුවරුන් වෙත පවරනු දක්නට ලැබේ.
ඔබේ දරුවාට සෑමවිටම වඩාත්ම දක්ෂම ගුරුවරයා නොලැබෙන්න පුළුවන. දරුවා වෙනත් පන්තියකට මාරු කල නොහැකි නම් ඔහුව විෂය ගැන අවධානය යොමු කිරීමට උනන්දු නොකරවන ගුරුවරයා ගැන බලාපොරොත්තු තබා නොගන්න. ඉගෙනීම ඇත්ත වශයෙන්ම පැවරෙන්නේ ශිෂ්‍යාටය.
වර්තමානයේ තිබෙන විශාල පාසල් වල එක ගුරුවරයෙකුට දරුවන් 35 කුට පමණ ඉගැන්වීමට සිදුවේ. නාමලේඛනයේ ඇති නම හැරුණු කොට සමහර දරුවන් ගැන කිසිවක් සමහර ගුරුවරු නොදනිති.
ගුරුවරුන් හා දරුවන් අතර ඇති දුරස් බව දෙමව්පියන්ට පහසුවෙන් වැළක්විය හැක.
ඔබේ දරුවාට පාසල් වැඩ ගැන කිසියම් ගැටළුවක් ඇත්නම් ගුරුවරුන්ගෙන් නොපමාව උපදෙස් ලබාගන්න. පන්ති කාමරයේදී තම කොටස ඉටු නොකර එසේම ගුරුවරු කියන දේ නොඅසන දරුවන් පිළිබඳ අවධානයක් යොමු කිරීමට ගුරුවරු පසුබට වෙති.
එක මවක් තම පුතු සම්බන්ධයෙන් කතා කිරීමට මගෙන් වෙලාවක් ලබා ගත්තාය. ඇයගේ පුත්‍රයා අඩි 6කුත් අඟල් 4ක් උසැති මනා පෙනුමැති උසස් පෙළ ඉගෙනුම ලබන සිසුවෙකි .ඔහු ඉංග්‍රීසි පාඩම වේලාවේදි කෝපයෙන් බුම්මාගෙන සිටීමට පුරුදු වී සිටියේය. මා යමක් කී විට ඔහු මා දෙස බැලුවේද ඉතාමත් කෝපයෙනි. ඔහුගේ මව මා සමග පැවසූ පරිදි ඔහු අනිත් ළමුන්ගේ පාඩමට ඇති සහභාගිත්වය පිළිබඳ මහත් බියකින් පසු විය. විශේෂයෙන්ම ගැහැණු ළමුන්ගේ ඉංග්‍රීසි සාහිත්‍ය දැනුම තම දැනුමට වඩා පුළුල් වීම මීට හේතු විය. ඔහු තුළ වූ ලැජ්ජාව ගැන මව තෙරුම්ගෙන සිටියේ වැරදි ලෙසය. ඔහුගේ මවත් මමත් සහයෝගයෙන් කටයුතු කිරීමට තීරණය කළෙමු. ඇය තම පුත්‍රයා පන්තියෙහි වඩ වඩාත් කතා කිරීමට පෙලඹවූවාය .මම ඔහුගෙන් වෙනදාට වඩා ප්‍රශ්න ඇසුවෙමි. ඔහුගේ ප්‍රතිචාර වලට ප්‍රශංසා කලෙමි. ඉතා ඉක්මනින් ඔහුගේ මුරණ්ඩු කම අඩුවිය. ඔහු මගේ ප්‍රියතම ශිෂයෙක් බවට පත්විය.
මම මෙහිදී එක්තරා රහසක් අනාවරණය කර ගත්තෙමි .එනම් දරුවෙකුගේ යහපත උදෙසා ගුරුවරයාත් දෙමව්පියනුත් එක් වූ පසු දරුවා තුළ පුදුම දේ සිදුවිය හැකි බවය.
ගුරුවරු දෙමාපියන් පාසලට පැමිණීම සම්බන්ධව එතරම් තුටු නොවෙති. ඒ ඔවුන් පැමිණෙන්නේ දරුවාට ලැබුන දඬුවමක් ගැන පැමිණිලි කිරීමට හෝ ඔවුන්ට දැඩි අවධානයක් ලබා දෙන ලෙස ගුරුවරුන්ව පෙළඹ වීමටය යන වැරදි මතය නිසාය. සමහර දෙමව්පියන් මා සමගද තර්ක කර ඇත. ඔබ ඔහුට ඉහළ පන්තියකට යෑමට ලකුණු නොදුන්නොත් ඔහුට එම පන්තියට යාමට බැරිවේවි යැයි එක් මවක් මා සමග පැවසුවාය. ඔවුහු තම දරුවන් ඉගෙනීමේ කටයුතු හොදින් නොකරන බවත් ඉහළ පන්තියට සමත් වීමට අවශ්‍ය තරම් දක්ෂ නොවන බවත් තේරුම් ගැනීමට මැලිවෙති.
අපගේ වෘතීමය ජීවිතය මුළුමනින්ම පාහේ ගෙවෙන්නේ දරුවන් සමග පන්ති කාමරය තුළය. වැඩිහිටියන් සමග අප සම්බන්ධතා පවත් වන්නේ නැති තරම්ය. දරුවාගේ ජීවිත කෙරෙහි අපෙන් වන සේවාව ගැන ප්‍රශංසාවක් ලැබෙන්නේ කලාතුරකිනි. දුරකථන පණිවිඩයක් තුති ලිපියක් අප තුළ විශාල ආකල්ප වෙනසක් ඇති කරයි. එසේ කරන්නාගේ දරුවා ගැන විශේෂයෙන්ම සොයා බැලීමට ගුරුවරු වන අප පෙළඹෙන්නේ නිරායාසයෙනි.
ඔබේ දරුවාට උගන්වන්නේ දුර්වල ගුරුවරයෙක් නම් අනෙක් දෙමව්පියන් ගෙන්ද ඒ පිළිබද අදහස් විමසන්න. ඔවුන්ද ඊට එකඟ වන්නේ නම් පාසල් බලධාරියකුට ඒ පිළිබඳ දැන්වීම අපහසු කටයුත්තක් නොවේ.
ඒ අතර බොහෝ දෙමාපියෝ පාසැල කෙරෙහි වැඩි බරක් පැටවීමට පුරුදුව සිටිති. එසේම දරුවාද තමාගේ වැඩ කොටස් තනිවම ඉටු කරතැයි දෙමාපියෝ විස්වාස කරති. මෑතකදී දරවන් දෙදෙනෙක් මට චෝදනාවක් ඉදිරිපත් කළහ. එනම් කුඩා කලදී ඔවුන් සමග බොහෝ වෙලාවක් ගත කල මවුවරු දැන් රැකියාවක යෙදෙන නිසාත්, දරුවන් වයසින් මෝරා ගොස් ඇති නිසාත්, එසේ නොකරන බවයි. "මගේ මල්ලිව ගොඩක් වෙලාවට තනියම තියල යනවා ඒක එයාට ගොඩක් බලපානවා " එක් දරුවෙක් පැවසීය.
අපගේ විදුහල්පති තුමා පවසන පරිදි දරුවන් කෙරෙහි දෙමව්පියන්ගේ අවධානය සිසුන් උසස් පෙළට ඇතුළුවත්ම අඩු වී යයි. උසස් පෙළ දරුවන්ට ප්‍රාථමික දරුවන්ට වගේම අවධානය ඕන කරන බව දෙමව්පියන් අවබෝධ කර නොගනිති. සමහරවිට ඔවුන්ට කුඩා දරුවනට වඩා වැඩි අවධානයක් අවශ්‍ය වෙනවා. දරුවන් සිනාමුසු මුහුණින් නිවෙස් කරා පැමිණෙන විට දෙමව්පියන් සිතන්නේ ඔවුන් සතුටින් සිටින බවය. නමුත් ඔවුන් අප ලිංගිකත්වය, මත්පැන් සහ මත් ද්‍රව්‍ය භාවිතය ගැන දන්නා බව දැන ගත් විට හුඟක් කලබලයට පත්වෙනවා. මගේ උසස් පෙළ පන්තියේ දෙවන වසරේ ශිෂ්‍යයෙකු එසේ පැවසීය.
සමහර දෙමව්පියන් තම දරුවන්ට දැනුම ලබා දීම සඳහා කෙටි මාර්ගවල යාමට පොළඹවති. විශ්ව විද්‍යාල වෙත නොයවා කෙටි කාලීන පාඨමාලාවන් හැදෑරීම තුළින් වසර ගණනක කාලයක් සහ මුදලක් අඩු කර ගැනීමට මහන්සි වෙති. මෙවැනි දෙමව්පියන් එතරම් ඇසූ පිරූ තැන නොමැති අයයි. ඔවුහු තම විවේක කාලය රුපවාහිනිය ඉදිරිපිට ගත කරති. දරුවන්ගේ පාසල් වැඩ කටයුතු දියුණු කළ හැකි එක මාර්ගයක් මම දනිමි එනම් ඔවුන්ට සිය කාමරය තුළ රුපවාහිනිය නැරඹීමට ඉඩ නොදීමයි.
දෙමව්පියන් හා ගුරුවරුන් දරුවන්ගේ ඉගෙනීම කෙරෙහි වඩාත් අවධානය යොමු කරති. සමහර විටක දරුවකුගේ වටිනාකම මනින්නේ ඔවුන්ගේ අධ්‍යාපන දක්ෂතා අනුවයි.. නමුත් සෑම දරුවකුම ඉගැනීමහි දක්ෂයෝ නොවෙති. එම නිසා දරුවාගේ විශ්වාසය හා පෞරුෂත්වය වැඩි දියුණු කරන්නාවූ කටයුත්තක නිරතවීමට ඔබේ දරුවාව උනන්දු කරවන්න. එය අධ්‍යාපන සුදුසුකම් වලට වඩා බෙහෙවින් අගනා දෙයක් විය හැක.
17 හැවිරිදි වියේ පසුවූ මගේ දියණිය එක වරම පාසල් යාමට බෙහෙවින් උනන්දු වුවාය. ඒ හේතු දෙකක් මතය. එකක් නම් ඇයට චිත්‍ර සඳහා ත්‍යාගයක් ලැබීමය. අනෙක නම් ඇය කණිෂ්ඨ ඔරු පැදීමේ කණ්ඩායමේ නායිකාව වීමය. මෙම කණ්ඩායම ඔවුන් සහභාගී වූ තරඟ බොහොමයක් ජය ගත්හ. මා පෞද්ගලික ඉගැන්වීම තුළින් ඇය ඒ සමාර්ථයක් ලබා ගන්නා බව මට වැටහිනී . නමුත් පියෙක් වශයෙන් ඇයට ඇති ආදරය නිසා මා පැවසූයේ වෙනත් දෙයකි. ඇය ලඟා කරගත් බාහිර ජයග්‍රහණ මත ගොඩ නැගී ආත්ම විශ්වාසය අධ්‍යායාපනික සුදුසු කම්වලට වඩා වැදගත් බවයි.
අපේ දරුවන් නොබෝ කාලෙකින් අප හැර යනු ඇත. අප ඔවුන් සමග පාසල් සමයේදී අත්වැල් බැඳී තරමට ඔවුන් දීප්තිමත්, ප්‍රීතිමත්සහ පෞරුෂත්වයකින් හෙබි පුද්ගලයින් වනු ඇත එවිට ඔවුන් වඩා සාර්ථක වැඩිහිටියන් ලෙස ලෝකයා ඉදිරියේ පෙනී සිටිනු ඇත.
(පරිවර්තනයකි)
සහතික ඇත්ත... අපේ ඒ ලෙවල් පන්තියේ ළමයෙක් හිටියා හොඳට ඉගෙන ගන්න පුළුවන්. අන්තිමට නරක ආශ්‍රයට වැටිලා සවුත්තු වුනා.. ගුරුවරු පවා ට්‍රයි කරා ගොඩ ගන්න බැරි වුනා.. මොකද දෙමවුපියෝ වත් පාසලට අවේ නෑ.. මේ ළමය ගැන හෙව්වේ නෑ..
ReplyDeleteදෙමාපියන් වන අප අතින් දරුවන් වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් මතක් කර දෙන මෙම ගුරුවරයාගේ ලිපිය තුලින් අපට බොහෝ දේ හිතන්න අවස්තාවක් දෙන නිසා මේ ලිපිය දමන්නට හිතුනා.
Deleteදෙමාපියන් බොහෝවිට පහ වසර ශිෂ්‍යත්ව ප්‍රෝඩාවෙන් පසුව දරුවන් අත්හැර දමනවා. දරුවන් කෙරෙහි දැඩි අවධානය යොමු කල යුතු වයසේදී ඔවුන් ගැන හොයන්න කෙනෙක් නැතුව යනවා. ගුරුවරුනට දරුවන් බලාගත හැක්කේ පැය හයක් විතරයි. ඉතිරි කාලය දෙමාපියන් දරුවන් බලා ගත්තේ නැතිනම් දරුවන් අතරමං වෙනවා.
ගුරු වෘතිය තවත් එක රස්සාවක් විතරක් කරනොගත් ගුරු පිරිසක් රටේ ඉතිරිවී සිටින තාක් යහපත් මිනිසෙකු බිහිවේයැයි විශ්වාසය තැබිය හැකියි.. මා සිතන අන්දමට බහුතරයක් තම වගකීම නිසියාකාරව ඉටු කරන ගරුකලයුතු ගුරුවරුන්.. ඒ අතර ගුරු වෘතිය නොගැලපෙන නොහොබිනා ගුරුන් ද නැත්තේ නොවේ..
ReplyDeleteබොහෝ දෙමාපියන් පාසලට දරුවෙකු ඇතුලත් කල පසු සියල්ල හරියැයි සිතනවා.. එවිට ආයේ පාසලට එන්නේ මොනවා හෝ රැස්වීමක් පැවත්වෙන දිනක. ඒත් නෑවිත් බැරිකමට.. ඔබ ගුරුවරයෙකු නිසා දන්නවා ඇති පාසලට පැමින ළමයිගැන සොයාබලන්නේ කෙතරම් අල්ප පිරිසක්ද කියා.. දෙමව්පියන් දැරිිය යුතු බර ඔවුන් ගුරුන් වෙත පටවනවා.. අවසානයේ යම් සිද්ධියක් උවගොත් ගුරුන්වෙතම වරද පටවන්න තරම් ආත්මාර්තකාමී වෙනවා..
මොනවා කොහොම කිවිවත් "හෙට ලොව බබලවන මිනි කැට පුබුදුවන්නේ ආදරණීය ගුරුවරුන්මයි"
ඒ ගුරුවරුන් වෙනුවෙන් ආචාරය පිරිනමමු...
ජ ය වේ වා !!!
ස්තුතියි.
Deleteඔබ ලෙසින්ම සෑම දෙමාපියෙකුම මෙම කරුණු අවබෝධ කර ගන්නවානම් ඉතා යහපත්ය. දෙමාපියන් ලෙසින් අප අතින් විය යුතු යුතුකම් සහ වගකීම් හරියාකාරව දරුවන්ටත් ගුරුවරුන්ටත් ඉටුවන්නේ නම් ත්‍රිකෝණයක් ලෙස සිටින අප තුන්ගොල්ල එක මගකට එකතු වූ විට රටේ යහපත් පුරවැසියන් බිහිවී මේ තිබෙන අකටයුතුකම් ඉවත්ව ගොස් ඉබේම යහපත් සමාජයක් බිහිවේවි
අද ගුරු දිනයට පමණක් මේ සිතුවිලි සීමා නොවේවායි මම පතමි.
ශික්ෂක වෘත්තිය ගැන කුමාරතුංග මුනිදාස වියාතාණෝ මෙහෙම කියත්:
ReplyDelete"ශික්ෂකයෝ අදහසින් උසස් නම්, පැවැත්මෙන් උසස් නම්, තත්ත්වයෙන් උසස් නම්, ඔවුන්ගේ සංහතියෙකැ කාර්යයද උසස් මැ වියැ යුතු යැ. අධ්‍යාපන මණ්ඩලාධිකාරීන් පිළිගැනීම, 'මහා ජන සේවකයන්' පිනැවීම යනාදිය අන් සුදුසු අයට යා දී, ශික්ෂකයෝ නියම මහාජන සේවයෙහි යෙදෙත්වා! එ කලැ රටෙහි දුසිරිත් මැඬෙනු ඇතැ, සුසිරිත් වැඩෙනු ඇතැ, දිලිඳු බව පලනු ඇතැ, සුව උතුරනු ඇතැ, නුවණ බබළනු ඇතැ, ශික්ෂකයන් හිමි තැනට පැමිණෙනු ඇතැ"
හරි වැදගත් ලිපියක්!!!!!!!!!!!!!
ReplyDeleteගුරු වෘත්තියේ ගෞරවය රකින්න අද වෙනකොට කීදෙනෙක් සමත් වෙලා තියෙනවද කියන්න අමාරුයි. මොකද අද වෙනකොට මේකත් තවත් රැකියාවක් පමණක් වෙලා .
ReplyDeleteඒත් මේ රැල්ලට හසු නොවන මහත්මා ගුරුවරුන් , ගුරුවරියන් ද සිටින නිසා තාමත් ගුරුවරු යනු පූජනීය වස්තුන්මය
රෝහිනී.....................
ReplyDeleteඇත්තට ම ගුරු වෘත්තිය කියන්නේ තවත් එක වෘත්තියක් නොවිය යුතුයි කියන අදහසට අපිත් උඩින් ම එකග වෙනවා. මොකද සමාජයක් යහමගට ගන්නා පාර කියා දෙන්නන් ඔවුන්ය.. ඔවුන් දරුවන්ගේ දෙවිවරුන්ය.... ඔවුන් අද්‍රහන්නේ ගුරුවරුන්ය. එහෙව් ගුරු වෘත්තිය වර්ථමානයේ පවතින තැන ගැනනම් නැවතත් රටක් විදිහට අපි කල්පනා කළ යුතුයි කියලයි අපි නම් කියන්නේ. මාසයට රුපියල් 15000ක් 20000 ක් ගෙවමින් ගුරුවරයෙකුගෙන් ප්‍රමාණවත් සේවයක් බලාපොරොත්තු විය හැකි ද යන්න නම් සැකයකි.
අනික් අතට මෙහෙම දේකුත් තියෙනවා රෝහිනී.... අපිට කීයක් ගෙව්වත් මේ රටේ ජනතාවගේ සල්ලි වලින් අපි ජීවත් වෙනවා කියන එකත් අපි දැනගත යුතුයි. එහෙම නැතුව අපිට පාසලේ දරුවන් හතුරන් වගේ පේන්න ගත්තොත් කවදාවත් හරි සේවයක් කරන්න වෙන්නේ නැහැ.....අපි සතුව පවතින සමාජ වගකීම ගැන තේරුමක් නැති පිරිසක් රාජ්‍ය සේවයේ ඉන්නවා. ගැටළුව තියෙන්නේ එහෙම තේරුමක් නැතුව ජනතාව පීඩනයට පත් කරන පිරිස අතිශය විශාල ප්‍රමාණයක් වීමයි රෝහිනි... ඒ නිසා ඔවුන් සමග ගැටෙන ගමන් ම සමාජයට සේවයක් කිරීම කියන දේ ලෙහෙසි පහසු කාර්යක් නොවන බවයි අපේ හැගීම..............
ලිපිය අගෙයි... ස්තූතියි ජීවන මේ මගපෙන්වීමට..............
ඇන්.ටී.කරුණාතිලක මහත්තයගෙ පොත් මතක් වුණා මේක කියවද්දී...
ReplyDelete