Saturday, October 25, 2014

පොත් මගේ නිවහනයි... ජීවිතයයි.....

- රෝහිණී කුමාරි මුවන්දෙනිය-

මම ලෝකය දකිමි ලෝකය පුරා සැරිසරමි

පුංචි කාලේ මට හිතුනේ මං අයිති වෙන්නේ වෙන කොහේ හරි තැනකට කියලයි . මට මතකයි කෝච්චිය දිහා බලාගෙන ඉන්න කොට ඒවා ඇතුලේ ඉන්නවා වගේ මට දැනුන හැටි. මගේ වයස අවුරුදු 10 දී විතර අම්මලා එක්ක ගුවන් තොටුපලට ගිය දවසක ගුවන් යානාවල ගමනාන්තය සදහන් කරපු දැන්වීම් පුවරු කියවද්දී මට යන්න පුළුවන්කම තිබුනු ඩුබායි, මුම්බායි, හීත්‍රෝ, මොස්කව්, ලන්ඩන්, ටෝකියෝ වගේ තැන් මම දුටු බවත් මට මතකයි.
එත් කෝච්චියත් ගුවන් යානයත් පිටත්ව ගියේ මා තනි කරලයි . එනිසා මට ලෝකය දැක බලා ගන්නට ලැබුනේ පොත්පත් වලින්. වික්ටෝරියා යුගයේ එංගලන්තයට මං ගියේ මිඩ්ල්මාර්ච් , ලිටිල් ෆ්න්සස්. පොත් පිටු අතරින් 1917ට පෙර තිබු රුසියාවේ සෙන්ට් පීටර්ස්බර්ග් නගරයේ ඇවිද්දේ ඇනා කැරනිනා සමගයි. හෝස් විත් ද වින්ඩ්, රෙබෙකා, ජේන් අයර් පොත් කියවද්දී උස් සිලිම් සහිත තාරා, මැන්ඩර්ලි තොර්න් ෆීල්ඩ් හෝල් වැනි ශ්‍රේෂ්ඨ ශාලාවලට යන්න පුළුවන්කම ලැබුණා .

මගේ නිවස පිහිටලා තිබුණේ මාතලේ නගරට පිටතින් වූ ඉතා සුන්දර පරිසරයකයි. ඒත් සත්තකින්ම මම ජිවත් වුනේ වෙන තැනකයි. ඒ පොත්වල පිටු අතරයි. අපේ ගෙදර තිබුනේ වෙල් යායක් මැදින් වැටුණු ගුරු පාර දෙපැත්තට බෙදෙන තැන උස් කදු ගැටයක් මතයි. මගේ කාමරයේ ජනෙල් කවුළුවෙන් බලද්දී පෙනෙන්නේ වෙල්යායත් ඊට දුරින් තේ වතු යායත් ඊටත් දුරින් රූක්ෂ කැලෑවෙන් යුත් නකල්ස් කදු වැටියත් ය. ජනේලය අසල ලියන මේසයක් හා පුටුවක් තබා තිබුනා ඒ පුටුවේ වාඩිවී පොත් කියවන්නේ පුදුම සතුකින්.

මගේ අම්මා කියනවා ''අද නම් ෂෝක් දවසක්...'' දෙසැම්බර් මාසයේ සීතල ගලද්දී. එමෙන්ම අවුරුදු මාසයේදී කොහා කැ ගසන හඬ ඇසෙද්දීද නිතරම එහෙම කියන්න අම්මා පුරුදු වෙලා හිටිය.

'' ඔයාගේ යාලුවෝ නම් සේරම එළියේ ....''

ඇත්ත .. එයාලා එහෙමයි. සමහර වෙලාවට මං එයාලත් එක්ක එළියට ගියා. අක්කර ගනනක් ඇතට විහිදුනු තේ වතු යායේ පාරවල් දිගේ ඔහේ ඇවිද්ද . කුඹුරු වතු පිටිවල කාලය ගත කළා. තේ වතු යාය මැදින් බැහැගෙන දියඇල්ලේ නාන්න ගියා. පුංචි වන රෝදවල්වල චුටි කුරුල්ලන් දිහා, පිපුණු මල් දිහා බල බලා ඇවිද ගෙන ගියා. මේ හැම දෙයක්ම කලේ පුංචි කාලේදී........ මට තවමත් මතකයි දිය ඇල්ල අසල ගල් දෙබොක්කා වල මාළු අල්ලපු හැටි. ගොයම් කපා ඉවර වූ කාලෙට යාළුවො එක්ක එකතු වෙලා කුඹුරු යාය පුරා වෙල් ඉපනැලේ දුව පනිමින් සෙල්ලම් කරපු හැටි. අවුරුදු කාලෙට එරබදු බට කපාගෙන තුවක්කු හදාගෙන කෝකිරිල්ලා ගෙඩි දමා වෙඩි තියපු හැටි. කුරුළු පිහාටු එකතු කරන්න පුංචි වන රොදවල ඇවිදමින් හිඹුටු, මොර, දඹ, වෙරළු, පේර කාපු හැටි. ඒත් මේ මොනදේ කලත් මගේ ජිවිතේ නිතරම වෙන් වුණු කොටස තමා මගේ ගෙදර මට වෙන්වුණු පුංචි කාමරයේ තිබුණු පොත් රාක්කය හා පොත් මේසය. ඒ පොත් වල හිටපු මනඃකල්පිත චරිත නැවතත් පණ තියෙන අය බවට පත් වෙන්න මං එනතුරු බලා හිටියා. එතනයි අව්‍යජ මිනිසුන් හිටියේ. සුළගට සෙලවෙන ගහ කොළ තිබුනේ.

අනිත් ලෝකවලට විතරක් නොවෙයි මගේම ලෝකයටත් එබිලා බලන අවස්ථාවක් පොත පතින් මට හිමි වුණා. ඒවායින් මං ඉගෙන ගත්තා. මම කව්ද කියලත් මම කොයි වගේ කෙනෙක් විය යුතු ද කියලත්. මගේ ලෝකය ගැනත් මා ගැනත් ඉගෙන ගත්තා. මම නිර්භීත වුනා. ඒ වගේම මගේ පවුලේ සමාජයෙන් ඈත් වෙලා කා සමගත් සුහදශිලිව සිනා වෙන්න, කතා කරන්න, දුකකට කරදරයකට පිහිට වෙන්න, ඔවුන් සමග ගැටිලා මහ පොළොවේ පය ගහලා ජිවත් වෙන්න මම උත්සහ කළා. ඔවුන්ගේ ජීවිත වල තිබු උත්සහවන්ත බව ධෛර්යය වන්ත භාවය තුල මට යමක් ඉගෙන ගත්තා. ඔවුන් ලැබූ නින්දා අපහාස තුළින් තාඩන පීඩන තුළින් දිලිඳු භාවය තුළ මම බොහෝ දුර ගමන් ගත්තා. ඒවගේම ඒ ලෝකය දෙස විනිවිද බලන්න මා සිත පෙලඹවූ කල ඒ පොත් ලිවූ කතුවරුන් ගේ ජීවිත තුළට ද මා එබිකම් කරා. ඒ තුළින් ද මම කියවූයේ පොත්වල තිබෙනවාට වඩා කතාවක්. මම හිතන්නේ ලෝකයේ මේ සාහිත්‍යධරයන් බොහෝ දෙනකු මියගියේ අන්ත දිළින්දන් ලෙසට. ඔවුන් සමහරෙකුට ඔවුන්ගේ පවුල් නඩත්තු කරනවා තබා තමාව වත් නඩත්තු කරගත නොහැකි වූ බැව් සත්‍යයක්. ක්ෂය රෝගයෙන් හා මන්ද පෝෂණයයෙන් මෙන්ම අධික සීතල වැනි ස්වාභාවික පීඩන වලින් රැකෙන්නට අවශ්‍ය පහසුකම් නොමැති කම නිසා අකාලයේ මිය අය ඒ අතර සිටියා. අනාගතයේ සියවස් ගණන් ජීවත් වෙමින්, ධන ආකර වූ තමන්ගේ රසවත් කතා තුළින් මිලියන ගණන් මුදල් උපදවන අයද මේ අතර සිටියා. මාර්ටින් වික්‍රමසිංහ මහා කවි ශේක්ස්පියර් , ලියෝ තෝල්ස්තෝයි, ඇන්ටන් චෙකොෆ් , තෝමස් හාඩි, ගී ද මෝපසං, ඔස්කා වයිල්ඩ්, අර්නස්ට් හෙමිංවේ ඒ අය අතරින් කිහිප දෙනෙක් බව මම දන්නවා .

මේ ආකාරයට අවුරුදු ගණනක් තිස්සේ මගේ කාමරයේ ජනේලය ලඟට වෙලා මගේ සුපුරුදු පුටුවේ ඉඳගෙන පොත් එක්ක ගත කල කාලය නිසා මං ඉගෙන ගත්තා, මගේ ජීවිතය තනිවෙලා නැති බව. ඒ කොහොම උනත් මැහුමක් ගෙතුමක් කරනවාට වඩා මම පොත්පත් සමග ජිවත් වෙන්න කැමති ළමයෙක් විදිහට හැමෝම මා කෙරෙහි එරෙහි වන බව, නැත්තම් නොසලකා හරින බව මට දැනෙන්න ගත්තා .

කියවීමේ අගය ගැන අපි කොයිතරම් යහපත් අදහස් දැරුවත් අපේ සංස්කෘතිය සලකන්නේ ඕනෑවට වඩා කියවන අය කම්මැලි සමාජශීලී නොවන, අරමුණකින් තොරව හින මවන අය විදිහටයි. සිය තනිවුණු ජිවිතයේ තමන් කෙරුම්කාරයෝ ලෙස සිතන අය හැටියටයි.

මිනිසුන් ප්‍රියවාදී බව හා සාමුහික බව අගය කරනවා. ඒ වගේම තනිකම විසින් තමන් අන් අය හා එක්වන්නට අකමැති අයෙකු බවට පත් කරන බවක් ඔවුන් විශ්වාස කරනවා. මිනිස් සම්බන්ධතා වලින් ඉවත් වූ හැම දෙයක්ම හැම විටම සැකයට භාජනය වෙනවා. ඒ නිසාම ඒ හැම දෙයක් ගැනම සොයා බලනවා වැඩියි. අපිට තියෙනවා ශක්තිමත් ආචාර විධි, ජනාධිපතිවරුන් ගේ හැගීම් සිතුවමට නැගෙනනේ ඔවුන් විසින් කරනු ලබන ක්‍රියාකාරකම් විදිහටයි. තියඩෝර් රුස්වෙල්ට් සෆාරි යාමත්, ජෝන් එෆ් කෙනඩි පාපන්දුවක් විසි කිරීමත් එවැනි අවස්ථාවන්. ඒත් තනියම නිස්කලංකව හිදිමින් කියවන්න හුරු වූවෙකුට අස්වැසිල්ලක් දෙන්නේ ලින්කන් ජනාධිපති තුමා විතරයි. මහත් ඕනෑමකමින් ලබා ගන්න උත්සහා කරන දැනුම පොත්පත්වල ඇති බව ඔහු විශ්වාස කළා.

සමහර විට කියවීමට ඇබ්බැහි වූ අපි වාගේ අය අතෘප්තිමත් පුද්ගලන් හැටියට අන් අය දකින්නේ. ඒ අපිට ජීවිතයට කෙලින් මුහුණ දෙන්න බැරි නිසා, අපි වචන හරහා පරාර්ථය පිණිස ජිවත්වන බවට ඇති අදහස නිසයි. ඇතැම් විට අපි තැන තැන මනසින් ඇවිදින ලෝකයේ ශ්‍රේෂ්ඨ අහිගුණ්ටිකයන් වෙන්න පුළුවන්. වයසත් සමග ලැබුණු දේවල් ගැන මනසින් හිතන කොට ලැබෙන්නේ මොනතරම් සන්තුෂ්ටියක්ද. එතකොටයි හිතෙන්නේ මිනිස් ජීවිතය පිළිබද ගැඹුරු අවබෝධයක්, පුළුල් ජීවිත පරිඥානයක් සමග සියලු දේ යථාර්ථ ලෙසින් වටහා ගැනීමේ ශක්තියක් ද මා තුළ ඇති බව. එහෙත් මේ හැම දෙයක්ම එකතුව සංවේදීභාවයේ උපරිම තැන ඉන්නා මා ප්‍රශ්න, නින්දා, අපහාස තුල ඉදහිට හඬා වැටුනත් ඒ කිසිවකින් නොසැලෙන්නේය . මරණයට පවා බිය නොවන්නේය. මිනිසත් බව තුලින් උපරිම පල නෙලා ගනිමින් පරිපුර්ණ ජීවිතයක් ගත කර පහන් සිතින් මෙලොවින් චුත වීමේ වාසනාව කියවීම තුලින් මා ලැබූ බව සිතන විට ලැබෙන සතුට කොයිතරම් ද ................

ළමයෙකු ලෙස කාලයක් සිහින මැවූ අයුරින් මම අද දුම්රියවල ගුවන්යානවල බස් රථවල ගමන් කරනවා. මං ගෙදර රැඳෙන්න, පවුලේ අය සමග කාලය ගත කරන්න කැමති කෙනෙක්. කවුළුවක් අසල වාඩි වී, නිදහසේ, බසයක දුම්රියක ගමන් කරන කොට මං කැමති එකම දේ ඒ තුළ දී කියවීමට කාලය ලැබීමයි.

මං ඇවිදින පාර, ගමන් කරන දුම්රිය නැතිනම් බස් රථය මං කියවන පොතපතයි. පොත් මගේ චාරිකවයි ගමනාන්තයයි.

පොත් මගේ නිවහනයි... ජීවිතයයි......

8 comments:

  1. පොත් ඇතුලේ ජීවත් වෙන එක කොහොමත් සුන්දරයි ,

    ReplyDelete
    Replies
    1. එහෙම ඉන්න අය විතරයි දන්නේ තියෙන සුන්දරත්වය

      Delete
  2. පොත් ඇතුලේ විතරක් ජීවත් වෙලා මක්ක කරන්නෙයි බං..

    ReplyDelete
    Replies
    1. පොත් ඇතුලේ ජීවිතය කවරෙන් පිටට ගෙනියන්නත් ඕන තමා

      Delete
  3. Replies
    1. අනිවාර්යයෙන්ම

      Delete
  4. සුව කළ නොහැකි අතුරු පල නොමැති ලෙඩක්... (ඇස් අමාරුවක් හැදුනොත් ඇරෙන්න...)

    ReplyDelete
    Replies
    1. කාලෙකට හොඳ වෙනවා. ආයෙත් උග්‍ර වෙනවා.

      Delete