Tuesday, July 11, 2017

ජපන් කර්මාන්ත ආර්ථිකය දියුණු වූ හැටි සහ ලංකාව වලපල්ලට ගිය හැටි

ජපානය දියුණු රටක් බවට වුයේ දෙවන ලෝක යුද්ධය අවසානයේ බිමටම සමතලා වීමෙන් පසුව බව සැම දෙනාම දන්නා කරුණකි. නමුත් ජපානයේ තාක්ෂණික කර්මාන්ත ආරම්භ වුයේ දෙවන ලෝක යුද්ධයට බොහෝ කලකට පෙරය. එරට රථ වාහන නිෂ්පාදනයේ ඉතිහාසය 1912 - 1926 අතර පැවති ටයිෂෝ යුගය (Taisho Era) තෙක් දිව යයි. පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව රජයේ සහ හමුදාවේ අවශ්‍යතාව මත විවිධ නිෂ්පාදකයන් විසින් යුධ ට්‍රක් රථ නිෂ්පාදනය, ජපන් වාහන නිෂ්පාදන කර්මාතයේ ආරම්භයයි. 

වාහන නිෂ්පාදන එලෙසින ආරම්භ වු පසුව නිසාන් සහ ටොයෝටා සමාගම් විසින් ගෘහස්ථ රථ නිෂ්පාදනය ආරම්භ කළහ. වසර 1933 දී නිහොන් සන්ග්යෝ (Nihon Sangyo) විසින් නිසාන් කර්මාන්ත ශාලාව ආරම්භ කරනා ලද අතර ටොයෝටා නම්වූ රෙදි නිෂ්පාදන යන්ත්‍රෝපකරණ නිෂ්පාදකයා විසින් එම වසරේදීම සිය වාහන නිෂ්පාදන අංශය ආරම්භ කළේය. 

කෙසේ වෙතත් දෙවන ලෝක යුද්ධ සමයේදී ජපන් ගෘහස්ථ වාහන නිෂ්පාදන කර්මාන්තය වැඩි දියුණුවක් පෙන්නුම් නොකළේය. එම කාල සීමාව තුල නිෂ්පාදනය වුයේ යුධ ට්‍රක් රථ, ප්‍රවාහන ට්‍රක් රථ සහ බස් රථ පමණි. දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව 1950 වසර වනතෙක් වසර පහක කාලසීමාවකට ජපන් රථ වාහන නිෂ්පාදන කර්මාන්තය මිත්‍ර හමුදා යුධ මුලස්ථානය විසින් තහනම් කර තිබිණ. තහනම අවසානයේ ටොයෝටා සහ නිසාන් නැවත සිය නිෂ්පාදනය ආරම්භ කළහ.

වසර 1950 සිට ජපානය විවිධාකාර නිෂ්පාදන රැසක් ආරම්භ කරමින් සුවිසල් ආර්ථික දියුණුවක් ලබා ගත්තේය. යුද්ධයට පෙර විවිධ නිෂ්පාදන සඳහා තිබූ අපනයන වෙළෙඳ පොළ වෙත නැවත රිංගා ගැනීමට මේ කාලය තුල ජපන් නිෂ්පාදකයා සමත් විය. රෙදි පිලි, පිගන් බඩු සහ ඔරලෝසු වැනි විවිධ භාන්ඩ සඳහා විදෙස් වෙළෙඳ පොළ ඉතා සුළු කාල සීමාවක් තුල ජපන් නිෂ්පාදකයා  ජය ගත්තේය. එවැනි නිෂ්පාදන පමණක් නොව දේශීය මෙන්ම විදෙස් වෙළෙඳ පොළ සඳහා විදුලි උපකරණද සුළු පරිමාණයෙන් නිෂ්පාදනය වින.

විදේශීය වෙළෙඳ පොළ ඉලක්ක කරගත් නිෂ්පාදන මගින් විදේශ විනිමය රට තුලට ගලා ගෙන එන්නට වූ වහාම ජපන් ආර්ථිකය ස්ථාවර වන්නට පටන් ගත්තේය. මේ නිසා රටේ ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව වර්ධනය වූ අතර ඔවුන් විසින් ශීතකරණ, රෙදි සේදීමේ යන්ත්‍ර, විදුලි පංකා, ට්‍රාන්සිස්ටර් රේඩියෝ වැනි විදුලි උපකරණ මිලදී ගැනීමට පෙළඹුණි. මේ නිසා ජපානය තුල විදුලි උපකරණ නිෂ්පාදනය ඉමහත් දියුණුවට පත් වින.

මේ කාල  වකවානුව තුල ශ්‍රී ලංකාවේ සිදුවුයේ කුමක්ද?

නිදහස ලබනා කාලය වනවිට ලංකාව මුළුමනින්ම කෘෂි ආර්ථිකය මත රඳා පැවතිණ. කර්මාන්ත ශාලා පැවතියේ තේ රබර් සහ පොල් නිෂ්පාදනය වෙනුවෙන් පමණි. වෙනත් නිෂ්පාදන කෙරෙහි මෙරට පාලනය කරනා ලද ඉංග්‍රීසි ජාතිකයන්  සිත යොමු නොකළ නමුදු ශ්‍රී ලංකාව එවකට ආසියාවේ ධනවත්ම භාණ්ඩාගාරයට හිමිකම් කීවේය. දෙවන ලෝක යුද්ධය අවසානයේ ඉංග්‍රීසින් ස්වේච්චාවෙන්ම මෙරටින් පිටවුයේ බල ලෝභී නායකයන් රැලකට රට බාර දෙමිනි. 

මේ ඊනියා නායකයන්  රට තුල නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැංවීම කෙරෙහි කිසිදු අවධානයක් යොමු නොකරනා ලද අතර තමන් වෙත බලය රඳවා ගැනීම කෙරෙහිම පමණක් අවධානය යොමු කළහ. බල ලෝභයෙන් පෙළුණු බණ්ඩාරනායක විසින් සඟ, ගුරු, වෙද, ගොවි, කම්කරු නමින් ඊනියා පංච මහා බලවේගය බලමුළු ගන්වා සිංහල රාජ්‍ය භාෂාව බවට පත් කර, පසු කලෙක තිස් අවුරුද්දක් පුරා රට විනාශය කරා ගෙනගිය ජාතිවාදී යුද්ධයකට මග හෙළි කළේය. 

පසුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් උගත් වාමාංශික දේශපාලන නායකයන් රැසක් සමග සන්ධානගතවී සමගි පෙරමුණු රජය පිහිටවූ අතර එම රජය රට තුල නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැංවීමට මුල් පියවර ගත්තේය. රටක නිෂ්පාදන ආර්ථිකය ගොඩ නැංවීමට මුලික සාධකය වන යකඩ හා වානේ කර්මාන්තය, වීදුරු නිෂ්පාදනය, දැව සැකසීමේ කර්මාන්තය වැනි මහා පරිමාන කර්මාන්ත රජය විසින් ආරම්භ කරනා ලද්දහ. රට තුලට ආනයනය මුළුමනින්ම නවතා දැමූ අතර එතුලින් සුළු පරිමාන කර්මාන්ත ආරම්භය සඳහා හිතකර පරිසරයක් ගොඩ නැංවීය. උපාලි විජේවර්ධන වැනි කර්මාන්ත කරුවන් මේ අවදියේදී හිස එස වීය. 

නමුත් සමගි පෙරමුණු රජය එක තැනකදී මාරාන්තික වරදක් සිදු කළේය. එනම් එවකට රට තුල සිටි ප්‍රධාන ආයෝජකයන් වූ වැවිලි කරුවන්, වතු ජනසතුව මගින් විනාශ කර දැමීමය. මේ හේතුවෙන් රටේ ප්‍රධාන ආර්ථිකය විනාශ විය. කෙසේ වුවද රට තුල නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගෙමින් පැවතින. 

සංවෘත ආර්ථිකය තුල ජනතාව වෙත තිබූ පීඩනය අවස්ථාවාදී ලෙස ප්‍රයෝජනයට ගත් ජේ. ආර්. ජයවර්ධන සුවිසල් බහුතරයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළේය. ජනතාව වෙත දුන් චන්ද පොරොන්දුවක් වූ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය කිසිදු වග විභාගයකින් තොරව ක්‍රියාත්මක කරනා ලද්දේය. මේ හේතුවෙන් විදෙස් නිෂ්පාදන කිසිදු පාලනයකින් තොරව රට තුලට ගලාගෙන ආවේ නැගී එන දේශීය කර්මාන්ත කරුවන් වනසා දමමිණි. අවසානයේ ජේ. ආර්. ජයවර්ධන දේශපාලනයෙන් සමුගත්තේ වැරදි රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්ති හේතුවෙන් රට තුල සිවිල් යුද්ධයකට මුලපුරා රට විනාශ මුඛයට ඇද දමමිනි.

දැන් සිදුව ඇත්තේ කුමක් ද?

මේ වන විට රට තුල නිෂ්පාදනය ප්‍රධාන වශයෙන් ඇඟලුම් කර්මාන්තයට සීමා වී පවතියි. කෙතරම් දියුණු ඇඟලුම් කර්මාන්තයක් තිබුනද රටේ ජනතාව චීන ඇඟලුම් භාවිතා කරනා තරම් පහත් තත්වයට පත්ව සිටිති. විදුලි උපකරණ, පරිගණක පමනක් නොව උදලු වැනි ප්‍රාථමික කෘෂි උපකරණ සහ සෙල්ලම් බඩු පවා චීනයෙන් ගෙන්වමින් රටේ ගැහැනුන් විදේශයන්හි බැලමෙහෙවර කරමින් ගෙනේ එන විදෙස් විනිමය කාබාසීනියා කර දමති. අවම වශයෙන් ත්‍රී රෝද රථයක් නිෂ්පාදනය කෙරෙහි වත් අවධානයක් යොමු කර නැත. රටම වෙහෙස වෙමින් චීනයේ නිෂ්පාදකයා පොහොසත් කරමින් සිටින්නෙමු.

10 comments:

  1. ගමේ රටේ ඉන්න මොට්ටම ඒකාල ටික පාර්ලිමේන්තු යවල හිටං උන් රට දියුණු කරනකල් බලාහිටීම උන්ගේ වරදක් නෙවෙයි අපේ වරදක් නෙවෙයිද.. අපේ රටේ එකාලට විදේශයෙන් එන භාණ්ඩ පාලනය කරලා දේශීය දේවල් පාවිච්චි කරපං කීවොත් උන් ඊළඟ චන්දයේදී ඒ ආණ්ඩුව පෙරලනවාමයි.. ජේආර් ජයවර්ධන කරපු වැරදි මේ කල්පය පවතින තුරාවත් හදන්න බැරිවේවි.. රටේ තියන ආර්ථික ප්‍රශ්න වලට මුලික බීජය ජේ ආර් ගේ විවුර්ත ආර්ථිකය සහ රාජ්‍ය භාෂාව සිංහල කිරීම කියලයි මම දකින්නේ.. විවෘත ආර්ථිකේ දොර නම් කවදාවත් ආයේ වහන්න ලැබෙන්නේ නැහැ.. ඒත් රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි කරොත් යම්තාක් දුරට ජාතිවාදී ප්‍රශ්න සමනය වේවි.. ඒත් ඉතින් පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයකට ඉංග්‍රීසි අමාරු නිසා ඒක කවදාවත් සිද්දවෙන එකක් නැහැ..

    (පොල් ත්‍රිකෝණයම කට්ටි කලා වික්ක එවුන්ට තානාපතිකම් දීල දැන් ආණ්ඩුකාර පදවිත් ලැබිල තියෙන්නේ රටට කරපු සේවයටනේ හිටං)

    ReplyDelete
    Replies
    1. +++++++
      ඇත්ත ඇති හැටියෙන්!

      Delete
    2. අද අපි ඉන්නෙ ජපානයට පරමානු බෝම්බ දෙක දාල විනාශ කරපු තත්වයටත් පහල තැනක. මුලු රටෙම ජනතාවගෙ ආකල්පමය වෙනසක් සහ චාර්‍යාත්මක වෙනසක් කරන තෙක් මේ රට ගොඩ නගන්න පුලුවන් කමක් නැහැ. දිනෙන් දිනම නොදියුනු ගොත්‍රික ලක්ෂණ රට තුල පෙන්නුම් කරනවා. ආගමික ත්‍රස්තවාදය නීතියට අභියොග කරනා මට්ටමට රට පිරිහීමකට ලක් වෙලා.
      රටම මං මුලා වෙලා

      Delete
  2. //ගමේ රටේ ඉන්න මොට්ටම ඒකාල ටික පාර්ලිමේන්තු යවල හිටං උන් රට දියුණු කරනකල් බලාහිටීම උන්ගේ වරදක් නෙවෙයි අපේ වරදක් නෙවෙයිද..//

    කට ඇරපන් මසුරං ටිකක් දාන්න..

    ReplyDelete
  3. අප රට ඉංග්‍රීසි පාලනයෙන් නිදහස ලබන කාලයේ රටේ දළ ජාතික නිශ්පාදන (GDP) ඒකකය ඇමෙරිකානු ඩොලර් 49ක් විය, එකල එය දෙවැනි වූයේ ජපානයේ අගය වූ 50ට පමණි.

    එතැන් පටන් අපේ රට හා ජපානයේ ගමන දිසා දෙකක ප්‍රතිවුරුද්ධ අන්ත දෙකක. එදා පටන් අපේ රට කරපු/කරන අය උනන්දු වූයේ තමන්ගේ චන්ද මල්ල පොදිගහගන්න පුළුවන් දේවල් විතරයි.

    ReplyDelete
    Replies
    1. ජපානයට යුද්ධයෙන් වුනු අති විශාල හානිය නිසා ඒ කාලෙ සමහරු හිතුවලු අනාගතයේ ලංකාව ජපානයත් අභිබවා යයි කියල.

      Delete
  4. විභාගයක් වත් පාස් නැති අමු මැටි බූරුවෝ ඉගෙනගත්තු උන්ට උපදෙස් දෙනවා. සිරි ලංකාව සුද්දා ගේ පාලනයේ තිබුනානම් මිට වඩා දියුනුවෙන්න තිබුනා. හෙටක් ගැන හිතන්නේ නැති රටක අපි ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. මැටි හරක්ට චන්දය දෙන්න කියල සරසවි ආචාර්‍ය වරු අත්සන් කරල ඩෙන රටක් මේක. හැම දෙනෙක්ම තමන්ගෙ බඩ වඩා ගැනීම ගැන විතතරයි හිතන්නෙ

      Delete
    2. ඉගෙන ගතිපු නැති එවුන් නම් උන්ගේ නුගත් කම නිසා කරන ගොන් තක්කඩි වැඩ කියල හිත හදාගන්න පුළුවන්.

      එත් ඉතින් ඉගෙනගත්තු උගත්තු කරන හරිය ඊට හපන්. විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නායකයෙක් කියනවා උන් සයිටම් වහල ප්‍රයිවට් යුනි ටිකත් වහල ප්‍රයිවට් හොස්පිටල් ටිකත් වහල, ලෝකේ තියෙන ප්‍රයිවට් යුනි ටිකත් වහල ප්‍රයිවට් හොස්පිටල් ටිකත් වහන්න ජ්‍යාත්‍යන්තර ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කරනව කියල. අපි වගේ කුණු ගඳගහන හිගන රටක එවුන් කියන ඒවා බල්ලෙක් ගණන්ගන්නේ නැතිබව නොතේරෙන ශිෂ්‍යයෝ. අවුරුදු 85 පැනපු කාලෝ ෆොන්සේකා වෛද්‍ය සභාවේ සබාපති නොකලොත් එවෙලේම වර්ජන කරන බව කියන දොස්තරවරු. අවුරුදුගානකට එකම පේපර් එකක් පේටන්ට් එකක් දාන්නේ නැතුව පඩියෙන් 40% ක විතර පර්යේෂණ දීමනාව අරගෙන ගෙදර විලිලජ්ජාවක් නැතුව විශ්විද්‍යාල කථිකාචාර්ය මහාචාරවරු. ඔය පෙන්නේ නැද්ද තිස්ස විතාරණලා වගේ උගත්තු පාර්ලිමේන්තු ගිහින් කරපුවා.

      නුගත් එවුන් නම් නුගත් නිසා කියල හිත හදාගන්නවත් පුළුවන්. එත් උගත් එවුන් ?

      Delete
  5. මැටි හරක්ට චන්දය දෙන්න කියල සරසවි ආචාර්‍ය වරු අත්සන් කරල ඩෙන රටක් මේක. හැම දෙනෙක්ම තමන්ගෙ බඩ වඩා ගැනීම ගැන විතතරයි හිතන්නෙ" අදහස් සියල්ල කැටි වුන හරවත් වැකිය

    ReplyDelete