Monday, July 17, 2017

දූෂණ මර්දනය හා ස්මෝල්ගේ ආදර්ශය – වික්ටර් අයිවන්

විවිධ බලපෑම් සහ රාජ්‍ය බලය යොදවමින් විනාශ කරනා ලද ක්‍රිස්තියානි පාසල් අධ්‍යාපන ක්‍රමය තුල පවතින සමානාත්මතාව පිළිබඳව ඉතාමත් වටිනා ආදර්ශයක් සහිත නිදසුනක් මෙම පැරණි රාවය ලිපිය ගෙනහැර දක්වයි. 

දේවගැති ඩබ්ලිව්.ජේ.ටී. ස්මෝල්  රිච්මන්ඩ් විදුහල පාලනය කරනා ලද ජේම්ස් ඩැරල්ගේ අනුප්‍රාප්තිකයාය. ඩැරල් එතෙක් රිච්මන්ඩ් විද්‍යාලයේ ගමන් මග කෙරෙහි වැඩිම බලපෑමක් ඇති කළ විදුහල්පතිවරයාය. ඔහුගේ හදිසි අභාවයෙන් පසුව ඒ අඩුව පිරවීමට සුදුසු විදුහල්පතිවරයෙකු තමන්ට නොලැබෙනු ඇතැයි කියන අපේක්ෂාභංග හැඟීම්වලින් එම විද්‍යාලයේ ශිෂ්‍යයන් වෙලීසිටින අවස්ථාවකදී ස්මෝල් ඔවුන් අතර වඩා හොඳ අලූත් බලාපොරොත්තු ඇති කළේය. මේ දෙදෙනාම බ්‍රිතාන්‍ය ජාතික මෙතෝදිස්ත පූජකයෝ වූහ. ස්මෝල් කේම්බ්‍රිජ් උපාධිධාරියෙකි. ඔහු දේවගැතිවරයකු වුවද දේවධර්මයට සීමා නොවූ විද්‍යා උපාධිධාරියෙක් විය. ඉංග්‍රීසි භාෂාව හැරුණු විට ලතින්, ග්‍රීක්,  ප්‍රංස හා ජර්මන් යන භාෂාද දැන සිටියේය. ගණිතය ඔහුගේ ප්‍රියතම විෂය විය. ස්මෝල් 1906 සිට 1920 දක්වා එම විද්‍යාලයේ විදුහල්පති ලෙස සේවය කළේය. 1926 සිට 1953 දක්වා වෙනත් විවිධ රටවල මිෂනාරී කටයුතුවල නිරතවී 1956 පෙරළිය ආසන්නයේ නැවත ලංකාවට පැමිණ ඉන්පසු මරණය තෙක්ම ලංකාවේ ජීවත් විය. ස්මෝල් සිය විදුහලේ ශිෂ්‍යයන් අතර ජාතික අභිමානය ඇති කිරීම සඳහා ජාතික සංගමය නමින් සංවිධානයක් ඇති කළේය. 56 ආගමික හා භාෂාමය විප්ලවය කෙරෙහි බලපෑ ප්‍රධාන චරිත දෙකක් (පී.ද එස්. කුලරත්න හා එල්.එච්. මෙත්තානන්ද) ස්මෝල් විදුහලේ පවත්වාගෙන ගිය ජාතික අභිමාන ව්‍යාපෘතියේ උද්යෝගිමත් අනුගාමිකයෝ වූහ. ලංකාවට පැමිණ බණ්ඩාරනායකගේ 56 විප්ලවය නරඹමින් සිටි අවස්ථාවේදී ඒ විප්ලවයේ ප්‍රමුඛ චරිත දෙකක් තමා පාසලට හඳුන්වා දෙන ලද ජාතික අභිමාන ව්‍යාපෘතිය නැමති ගර්භාෂයේ හැදුණු අය බව පෙනුණු විට ස්මෝල් තුළ ඇතිවන්නට ඇත්තේ කෙබඳු හැඟීමක්ද යන්න පැහැදිලි නැත. කුමන ආගමකට හෝ කුමන ජාතියකට අයත් වුවද ස්මෝල් ගුරුවරයකු සඳහා පමණක් නොව පැවිදිවරයකු සඳහාද දැක්විය හැකි හොඳ ආදර්ශ ප්‍රතිරූපයක් ලෙස සැලකිය හැකිය. ඔහු අධ්‍යාපනය සඳහා පූර්ණ කැපවීමක් පෙන්නුම් කළ හා ඉතාමත් සරල, චාම් ජීවිතයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් විය.

නායකයන් හොඳට හෝ නරකට ලබාදෙන ආදර්ශයන් අනුගාමිකයන් කෙරෙහිද බලපායි. මහා ගණයෙහිලා සැලකිය හැකි ශ්‍රේෂ්ඨ නායකයන් ලබාදෙන ආදර්ශ සමහර විට සමාජය කෙරෙහි අවුරුදු දහස් ගණනක් බලපායි. ඉවසිය නොහැකි තරමට ගඳගහන රටක තත්ත්වයට පත්ව තිබෙන ශ්‍රී ලංකාවට ස්මෝල් ලබාදී තිබෙන මහා ආදර්ශයක් මෙසේය.

ආර්.ඒ. ඩි මෙල් හ ඩී. එම්. රාජපක්ෂ
ස්මෝල් දේවගැතිවරයකු වුවද ක්‍රීඩාවට මහත් සේ ඇලූම් කළේය. ඔහු විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය සඳහා අනුපමේය සේවයක් කළේය. එකල රිච්මන්ඞ් විද්‍යාලයේ ක්‍රිකට් නායකයා තෝරාගනු ලැබුවේ පාසල් ශිෂ්‍යයන්ගේ ඡන්දයෙනි. සාකච්ඡාවට ලක් කරන්නට යන මෙම අපූරු සිද්ධිය සිදුවී තිබෙන්නේ 1916දීය. පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට සිටි සුදුසුම පුද්ගලයා වී ඇත්තේ පෙර වසරේත් විදුහලේ ක්‍රිකට් කණ්ඩායම් නායකයා ලෙස ක්‍රියා කළ ඩී. එම්. රාජපක්ෂය. ඩී.එම්. රාජපක්ෂ 1936 සිට 1948දී මියයන තෙක්ම හම්බන්තොටින් රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළ රුහුණේ සිංහයා නමින් හැඳින්වුණු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ලොකු තාත්තා (පියාගේ සහෝදරයා) ය. ඔහුගේ තරඟකරු වූයේ ලංකාවේ ප්‍රමුඛ ධනවත්ම පවුලකින් පැවත එන ආර්.ඒ. ඩි මෙල්ය. ඔහු 1940 සිට නිල වාර දෙකක් කොළඹ නගරාධිපති වශයෙන් ක්‍රියා කළ අතර 1947 පාර්ලිමේන්තු මැතිවරණයෙන් දකුණු කොළඹ ආසනයට එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත්වූ මන්ත්‍රිවරයාය. 1948දී ඡන්ද පෙත්සම් නඩුවක් නිසා ඔහුට මන්ත්‍රීකම අහිමි විය.

ආර්.ඒ. ඩි මෙල්ද දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වුවත් ඩී.එම්. රාජපක්ෂට සම මට්ටමේ තැබිය හැකි ක්‍රීඩකයෙක් නොවීය. ඉතා ධනවත් පවුලකින් පැවත එන්නකු වීම හේතු කොටගෙන ඔහු ක්‍රිකට් නායකයා තෝරන තරගයට ඉදිරිපත් වන අවස්ථාව වනවිට විශාල වශයෙන් ශිෂ්‍යයන්ට කෑමබීමෙන් සංග්‍රහ කිරීමෙන් විදුහලේ ශිෂ්‍යයන් අතර ජනප්‍රිය පුද්ගලයකු බවට පත්ව සිටියේය. අවසානයේ ක්‍රිකට් නායකයා තෝරන තරගයෙන් ඒ තනතුර සඳහා සුදුසුම පුද්ගලයාව සිටි ඩී.එම්. රාජපක්ෂ පරාජය කොට ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස තේරී පත්වීමට ඔහු සමත් වී තිබේ.

මෙල්ගේ ජයග්‍රහණය හා රාජපක්ෂගේ පරාජය විදුහල්පති ස්මෝල් ශිෂ්‍යයන්ට දැනුම් දෙන ලද්දේ ඒ උද්වේගකර අවස්ථාවට සහභාගි වූ සියලූදෙනා විස්මයට පත්කරන දැනුම්දීම් ගණනාවක්ද ඇතුළත් වන ආකාරයටය. ඩී.එම්. රාජපක්ෂ පරාජය වී ශිෂ්‍ය ඡන්දයෙන් ආර්.ඒ. ඩි මෙල් තේරී පත්ව සිටින බව පළමුවෙන් ඔවුන්ට දැනුම් දුන්නේය. හෙට සිට ඩී. එම්. රාජපක්ෂ රිච්මන්ඞ් විද්‍යාලයේ අධ්‍යාපනය නොලබනු ඇති බවත් ඒ වෙනුවට කොළඹ වෙස්ලි විද්‍යාලයට එකතු වනු ඇති බවත් ප්‍රකාශ කරමින් එම වසරේ රිච්මන්ඩ් ක්‍රිකට් කණ්ඩායම කිසිම ක්‍රිකට් තරගයකට සහභාගි නොවනු ඇති බවත් ප්‍රකාශ කළේය. විදුහල්පති ස්මෝල්, රාජපක්ෂගේ පරාජය කෙරෙහිත් ආර්.ඒ. ඩි මෙල්ගේ ජයග්‍රහණය කෙරෙහිත් දූෂණය බලපෑ ආකාරය සියැසින් දැක්කේය. මෙල් ජයගත්තේ ඒ තනතුරට සුදුසුම පුද්ගලයා වීම නිසා නොව එම ජයග්‍රහණය ලබාගැනීම සඳහා අත දිගහැර වියදම් කිරීමට ඔහුට පුළුවන්කම තිබුණු නිසාය. මෙල්ගේ ආගම ක්‍රිස්තියානි වුවත් රාජපක්ෂ බෞද්ධයෙක් විය. ස්මෝල් ක්‍රිස්තියානි දේවගැතිවරයකු වුවද ක්‍රිස්තියානි ශිෂ්‍යයකු බෞද්ධ ශිෂ්‍යයකු යටපත් කරමින් ලැබූ අයථා ජයග්‍රහණය ඉවසන්නට ඔහු සූදානම් නොවීය. තමන්ගේ විද්‍යාලයේ ශිෂ්‍යයන් යුක්තියට පක්ෂපාත නොවී මෙල්ගේ නිර්ලෝභී සංග්‍රහයන්ට නතුවී අයුක්තිය ජයග්‍රහණය කරවීමට දායකවීම ඔහුගේ බලවත් විරෝධයට හේතුවී තිබුණි. ඒ වසරේ සිදුකරන්නට නියමිතව තිබුණු සියලූ ක්‍රිකට් තරග අවලංගු කිරීමකින් දූෂණයෙන් නායකත්වයට තේරී පත්වූ පුද්ගලයාට පමණක් නොව එහිදී දූෂණයට නතුවූ ශිෂ්‍යයන්ටද පාඩමක් ඉගැන්වීය. එකල කොළඹ වෙස්ලි විද්‍යාලය සලකන ලද්දේ ලංකාවේ සියලූ මෙතෝදිස්ත පාසල්වලට තිබුණු මව් පාසල වශයෙනි. ඩී.එම්. රාජපක්ෂ වහාම ක්‍රියාත්මක වන පරිදි වෙස්ලි විද්‍යාලයට අනුයුක්ත කිරීම මගින් ඔහුට සිදුවූ අසාධාරණයට වන්දි ගෙවීමක් සිදුකළා පමණක් නොව ඒ මගින් තමා විදුහල්පති වශයෙන් ක්‍රියාකරන රිච්මන්ඩ් විද්‍යාලයට දඬුවම් කිරීමක්ද සිදු කළේය.

මේ මගින් විදුහල්පති ස්මෝල් රිච්මන්ඞ් විද්‍යාලයට පමණක් නොව රටේ අන් සියලූ විද්‍යාලවලටද ලබාදී තිබෙන ආදර්ශය සැලකිය හැක්කේ ශ්‍රේෂ්ඨ ආදර්ශයක් ලෙසය. රටට අවශ්‍යව ඇත්තේ එවැනි නායකයන්ය. රටේ අවාසනාවකට රටට නැත්තේද එවැනි නායකයන්ය.

උපුටා ගැනීම: "දූෂණ මර්දනය හා ස්මෝල්ගේ ආදර්ශය – වික්ටර් අයිවන්"  ලිපියෙනි 

14 comments:

  1. මේ ස්මෝල් කියන්නේ (ශිෂ්‍ය) ජනතා ඡන්දය කෙලින් ම ප්‍රතික්‍ෂේප නොකළත් ඊට ප්‍රතිගාමීව යටි නූලෙන් කටයුතු කර, ක්‍රීකට් තරග අවලංගු කිරීම තුළින් මෙල්ට ඡන්දය දුන් නොදුන් සියළු සිසුන්ට මහා අසාධාරණයක් කළ ඒකාධිපතියෙකු බවයි මට නම් පෙන්නේ.

    ReplyDelete
    Replies
    1. රසික ඔබ ස්මොල් ..යටි නූලෙන් ක්‍රියා කල ඒකාධිපතියකු ලෙසින් හඳුන්වන්නේ කෙසේද? මට පෙනෙන ආකාරයට ඔහු භාවිතා කර ඇත්තේ විදුහල්පති ලෙසට තමාගේ නිල බලයයි. එම නිල බලයෙන් ඔහු දූෂිත ප්‍රජාවකට දඬුවම් කර ඇත.

      +CP

      Delete
    2. රසික ඔබ ස්මොල් ..යටි නූලෙන් ක්‍රියා කල ඒකාධිපතියකු ලෙසින් හඳුන්වන්නේ කෙසේද? මට පෙනෙන ආකාරයට ඔහු භාවිතා කර ඇත්තේ විදුහල්පති ලෙසට තමාගේ නිල බලයයි. එම නිල බලයෙන් ඔහු දූෂිත ප්‍රජාවකට දඬුවම් කර ඇත.

      +CP

      Delete
    3. සිනුවර පිං(කරන)පියා හෙවත් සිපිපියාගේ විචාර බුද්ධිය ඉහත පළමු කමෙන්ටුවෙන් හෙළිවේ.

      Delete
    4. නිර්නාමික සොහොයුරිය/සොහොයුර,

      මට අවශ්‍ය වූයේ රසික එම නිගමනයට පැමිනි ආකාරය බුද්ධිමය වසයෙන් ග්‍රහනය කර ගැනීමටයි. නමුත් මට හැඟෙන ලෙසට ඔබ විසින් රසිකව හැඳින්වීම සඳහා යොදා ඇති සක්ක වදන් වලින් ඔහුව අපහාසයකට ලක්කරනවා විනා මගේ ප්‍රශ්නයට ඔහුගේ පිලිතුර ලබා ගැනීම උවමනාවෙන්ම වලක්වන සෙයකි.

      ඔබේ ක්‍රියාව මම අනුමත නොකරමි.
      +CP

      Delete
    5. +CP,

      ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

      මගේ පිළිතුර කෙටියෙන් මෙලසයි.

      1. ක්‍රිකට් යනු කුසලතා අවශ්‍ය ක්‍රීඩාවකි. ක්‍රීඩා කණ්ඩායමක නායකත්වයත් එළෙසම කුසලතාවක් අවශ්‍ය තනතුරකි.

      2. ප්‍රජාතන්ද්‍රවාදය අනුට රටක නායකයෙකු ජනප්‍රිය ඡන්දයෙන් තෝරා ගත්ත ද, ක්‍රීඩා කණ්ඩායමක නායකකෙු තේරීමට ජනප්‍රිය ඡන්දය භාවිතා කිරීම කිසිසේත් ම සුදුසු ක්‍රමයක් නොවේ.

      3. ප්‍රින්සිපල් ස්මොල් එසේ කර ඇත්තේ, ඔහුගේ ජනප්‍රියත්වය පිණිස බව පෙනේ.

      4. ඔහු ඡන්දයෙන් තේරී පත්වෙන නායකයා ඊට කලින් වතාවල පිළිගන්තේ ඔහුගේ කැමැත්ත ද එයම වූ නිසා බව උපකල්පනය කළ හැක. මෙහි කියවෙන අවස්ථාවේ එය එසේ නොවිණි.

      5. හාල් සේරුවට, ඇට රාත්තල් අටට, පාන් ගෙඩියට ඡන්දය දෙන ජනතාවක් දරුවන් කළ එසේ ඡන්දය නොදේවී කියා බලාඵොරොත්තු වෙන්නේ ඇයි?

      6. කලකට පෙර බුරුමයේ ඡන්දයක් පැවැතිවුණි. අන්-සන්-සුකී ඇතුළු විපක්‍ෂය එය දිනුවෝ ය. ඒකාධිපති පාලක ජුන්ටාව ඡන්දය අවලංගු කර දිගටම ආණ්ඩු කළ හ.

      7. තවත් උදාහරණ ඇත.

      Delete
    6. මෙහෙම කියමු.

      යම් පාලකයෙකු මහජන ඡන්දයක් පවත්වයි ද, එහි තීන්දුව තමන්ට රිසි නොවුණු නිසා, ඡන්ද ප්‍රතිඵලය නොසළකා තනි තීරණයක් ගනියි ද, ඒ පාලකයා ඒකාධිපතියෙකි.

      Delete
  2. රූපය දැක ජෝන් ක්ලීස් සිහිවුණා!

    ReplyDelete
    Replies
    1. Fawlty Towers became the number one among the greatest Television Programmes forever. (UK)

      Delete
  3. එදා මෙල්ගෙන් ලද පාඩම,එලෙසම මහින්ද තම ඡන්ද ව්‍යාපාරය සඳහා යොදා ගත් බවයි මට හැගෙන්නේ...

    ReplyDelete
  4. ඔවු මේක ශ්‍රේෂ්ට ආදර්ශයක් තමයි. මේ වාගෙ චරිත අපට දැනගන්නවත් ලැබෙන්නෙ නෑ. ස්තුතිවන්ත වෙනව ජීවන ට පෝස්ට් එක දැම්මට මොකද අපි රාවය බලන්නෙ නැති නිසා.

    ReplyDelete
  5. https://www.rt.com/news/397332-australian-monument-vandalism-pope/
    ජීවන්, වෙිලාවක් සොයා ගත හැකිනම් මේ ප්‍රවෘත්තිය පිලිබඳව ඔබේ අදහස , විවරනය සහ මතය මා දැන ගන්න කැමතියි.
    ඇතැම් විට ඔබව කියවන සැවොම.
    +CP

    ReplyDelete
  6. දැන්වීමයි
    ===============================================================

    ජාතිකවාදී වියුණු කඳවුරේ පෙරටුගාමී සෙන්පති, මල්ලේ පොල් වියුණුවේ සම්පාදක, අතිගරු සාරස සුධීමතුන්හට මේ දිනවල බලපා ඇති සෙනසුරු අපල සහ නීච

    ග්‍ර‍හ බලපෑම් දූරීභුත වේවා යන පැතුම පෙරදැරි කරගෙන මහා පුණ්‍යකර්ම මාලාවක් පැවැත්වීමට සාරසානුබද්ධ පාඨක හවුල තීරණය කර ඇත.

    'සරසා නමාමී' යන තේමාව යටතේ පැවැත්වෙන මෙම පින්කම් මෙසේය.

    1. සත්දින බෝධිපූජා පුණ්‍යකර්මය (පන්නිපිටිය ඓතිහාසික කාක බෝ සමිඳුන් ඉදිරිපිට)
    2. සම්‍යයක් දෘෂ්ඨික යකුන් උදෙසා පැවැත්වෙන තොවිල් යාති කර්මය හා මගඩි නැටුම
    3. අසදෘශ මහා බලු කපුටු දානය (නිර්මාංශ)

    මේ සඳහා ඔබ සැමගේ ගෞරවනීය සහභාගිත්වය අපේක්ෂා කරමු. සුදු වතින් සැරසී පැමිණෙන්න. විවිධ හේතූන් මත පැමිණිමට නොහැකි ඔබට පහත කවිය

    දිනකට දෙවරක් සජ්ඣායනය කර එතුමාට සෙත් පැතිය හැක.

    බැකිසි බකු සානේ
    කරවැල් මහ කොකානේ
    දිය ගැරඬියානේ
    රකිව් මල්ලේ පොල් විදානේ

    ===============================================================

    - සාරසානුබද්ධ පාඨක හවුල

    ReplyDelete