Sunday, July 16, 2017

කුණු කතාවක් හෙවත් කුණු කථිකාවක්

වර්තමාන ශ්‍රී ලාංකික සමාජය මුහුණ දෙන ප්‍රධාන ගැටළු අතරින් මුලික තැනක් ගන්නේ කුණු බැහැර කිරීමේ ක්‍රමවේදය පිලිබඳ ගැටළුකාරී තත්වයයි. රට පුරාම මෙම ගැටළුව තිබුනද එය වඩාත්ම උග්‍ර වී ඇත්තේ නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශ වලය. නිවෙස් වලින් බැහැර කරනා ද්‍රව්‍ය "කුණු" නැතහොත් "අපද්‍රව්‍ය" ලෙසින් ජන මනසේ නිදන්ගතව ඇත. ඇත්තෙන්ම කිවහොත් බැහැර ද්‍රව්‍ය කුණු බවට පත් කරනු ලබන්නේ මිනිසුන් විසින්මය.  ඒ සියලුම බැහැර ද්‍රව්‍ය එක මල්ලකට එකතු කිරීමේ හේතුවෙනි. ඉතාමත් සුළුතරයක් නිවෙස් වල සහ බහුතරයක් කාර්යාල වල බැහැර ද්‍රව්‍ය වෙන් වෙන්ව එකතු කලද ඒවා අදාළ ස්ථානයෙන් බැහැර කරනා අවස්ථාවේදී එකම ට්‍රැක්ටරයකට හෝ වාහනයකට පටවනු ලබනා බව නිරීක්ෂණය කළ හැක. මේ හේතුවෙන් සිදු වන්නේ නැවත ප්‍රයෝජනයට ගත හැකි වටිනා කමකින් යුක්ත සම්පතක් "කුණු" ලේබලය යටතේ පරිසර දුෂක කාරකයක් බවට පත් වීමය. නැතහොත් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම කුණු වීමය.

නිවෙස් වලින් බැහැර කරනා ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් පහත දැක්වෙන ආකාරයට වර්ගී කරණය කල හැක.
1. ඉතිරි ආහාර, ඉඳුල් සහ ආහාර සැකසීමේදී ඉතිරිවන කොටස් 
2. පිරිසිඳු ප්ලාස්ටික් සහ පොලිතීන් ( උදා:- වතුර බෝතල්, පොලිතීන් සහ ප්ලාස්ටික් ඇසුරුම්)
3. අපිරිසිඳු ප්ලාස්ටික් සහ පොලිතීන් (උදා:- ඉඳුල් සහිත පොලිතීන්)
4. පිරිසිඳු කඩදාසි සහ කාඩ්බෝඩ් 
5. අපිරිසිඳු කඩදාසි සහ කාඩ්බෝඩ් 
6. වීදුරැ 
7. ලෝහ 
8. භාවිතයෙන් පසුව ඉවත් කරනා ඉලෙක්ට්‍රොනික උපකරණ සහ කොටස්
9. රෙදි, රබර් සහ වෙනත් විවිධ බැහැර ද්‍රව්‍යය 
10. ගෙවතු වලින් ඉවත් කරනා ශාක කොටස්.

මෙම ද්‍රව්‍ය අතරින් වේගවත්ව ඉවත් කලයුතු බැහැර ද්‍රව්‍ය ලෙසින් පහතින් දක්වෙන වර්ග තුන පෙන්වා දිය හැක. 
1. ඉතිරි ආහාර, ඉඳුල් සහ ආහාර සැකසීමේදී ඉතිරිවන කොටස් 
2. අපිරිසිඳු ප්ලාස්ටික් සහ පොලිතීන්
3. අපිරිසිඳු කඩදාසි සහ කාඩ්බෝඩ් 

ඉතිරි වර්ග සියල්ලම කාලයක් පුරා එකතු කිරීමෙන් අනතුරුව එකවර (සතියකට හෝ මාසයකට වරක්) බැහැර කිරීමේ හැකියාව පවතියි. එලෙසින් එකතුකිරීමෙන් අවට පරිසරයට කිසිදු බලපෑමක් වන්නේ නැත.

ඉහත ලයිස්තුවේ දක්වා ඇති ද්‍රව්‍ය අතරින් නැවත ප්‍රයෝජනයට ගැනීමේ ක්‍රියාවලිය අපහසු වන්නේ 
1. අපිරිසිඳු ප්ලාස්ටික් සහ පොලිතීන්
2. අපිරිසිඳු කඩදාසි සහ කාඩ්බෝඩ්
3. ගෙවතු වලින් ඉවත් කරනා ශාක කොටස් යන වර්ග තුන පමණි
අනෙකුත් සියලුම බැහැර ද්‍රව්‍යය ඍජුවම නැවත ප්‍රයෝජනයට ගැනීමේ හැකියාවක් පවතියි. 

නමුත් මේ සියළු බැහැර ද්‍රව්‍ය එකට එකතු කල විට ඒවා අතරින් කිසිම ද්‍රව්‍යයක් වියදම්කාරී තේරීමකින් සහ සැකසීමෙකින් තොරව නැවත භාවිතයට ගැනීමේ හැකියාව නොලැබී යයි. එනම් මේ සියල්ල එකතු වී කුණු බවට පත් වෙයි.

මේලෙස පරිසර දුෂණකාරී සහ ගැටලුකාරී කුණු කඳු නිර්මාණය වීමට ප්‍රධාන හේතුව බවට පත්වී තිබෙන්නේ අදාළ බලධාරීන් විසින් ඉවත දමනා ද්‍රව්‍ය එකතු කිරීම එකම ආයතනයක් වෙත ලබාදීමය. එවිට කුණු බැහැර කිරීමේ යෙදී සිටින රාජ්‍ය ආයතන සහ කොන්තරාත් කරුවන් කරනුයේ එක මධ්‍යස්ථානයකට සියල්ල එකතු කර විකිණිය හැකි දේ පමණක් තෝරා විකුණාගෙන ඉතිරිය අඩි  සිය ගණන් උස කුණු කඳු බවට පත් කිරීමය.

ආහාර බැහැර ද්‍රව්‍ය නිසි වෙලාවට එකතු කරන්නේ නම් ඒවා ඌරන් වැනි සත්ව ගොවිපල සඳහා කදිම සත්ව ආහාරයකි. ඒවා එකතු කිරීම සුළු පරිමාන සත්ව ගොවීනට භාර දෙන්නේ නම් ඔවුන් නිවෙස් වලටම ගොස් එකතු කරගන්නවා ඇත. 

ඒ ආකාරයට අනෙකුත් ද්‍රව්‍ය එකතු කිරීමද අදාළ විවිධ පුද්ගලයන් හෝ  ආයතන වෙත පවරන්නේ නම් ඒවාද කුණු කඳු බවට පත් නොවී ඍජුවම ප්‍රතිචක්‍රීකරණ කර්මාන්ත ශාලා වෙත යනු ඇත.  ගෙවතු වලින් ඉවත් කරනා ශාක කොටස් කොම්පෝස්ට් නිෂ්පාදනයට හෝ පහත බිම් ගොඩ කිරීමට යොදා ගත හැකිය. 

මේ ආකාරයේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන්නේ නම් බැහැර ද්‍රව්‍ය සැකසීමේ මධ්‍යස්ථාන වෙත යොමු කල යුතු වන්නේ 
1. අපිරිසිඳු ප්ලාස්ටික් සහ පොලිතීන්
2. අපිරිසිඳු කඩදාසි සහ කාඩ්බෝඩ් පමණි. ඉතිරි සියළු බැහැර ද්‍රව්‍ය කිසිදු වියදමකින් හෝ පරිසර දුෂණයකින් තොරව නිවෙස් හෝ කාර්යාල වලින් ඉවත් වනු ඇත.

4 comments:

  1. හරි දැන් ඔහොම කලාය කියමු. නගර සභාවෙන් හරි පළාත් සභාවෙන් හරිඅ ඇවිත් අරන් යනවද?
    //බැහැර ද්‍රව්‍ය සැකසීමේ මධ්‍යස්ථාන// මේවා කොහෙද තියෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. දැනට තියෙන එකක් නෙවෙයි මම කිව්වේ. ඉදිරියේදී කළහැකි දෙයක්

      Delete
  2. මෑතක ප්‍රා. සභා වලින් ඔය වගේ වෙන් කරන්න කියල නෝටිස් දීල ගියා. ඒත් ඒව ඔක්කොම අරන් යන්නෙ එකම ටැට්ටරේ. දැන්නං ඒ වැඩේ හබක් වෙලා.

    ReplyDelete
    Replies
    1. එකම තැනකින් බැහැර ද්‍රව්‍ය එකතු කරනකොට වෙන දේ ඕක තමයි. කරන්න ඕන විවිධ දේවල් ඉවත් කිරීම ටෙන්ඩර් ක්‍රමයකට වෙනස් ආයතන වලට ලබා දීමයි. උදාහරණයකට කිව්වොත් කාර්යාල වලින් කඩදාසි එකතු කරන ආයතන හැම කිලෝ එකකටම සුළු මුදලක් ගෙවනවා. ඒ අයම එකතු කරන පෙට්ටි ගෙනත් දෙනවා. අනික් බැහැර ද්‍රව්‍ය වෙනේ වෙනෙම දාන්න කිව්වා නම් ඔය ප්‍රශ්නය විසඳෙනවා

      Delete