Thursday, March 10, 2016

මානව දයාව සපිරි කතෝලික පාසල් අධ්‍යාපනය

අසාධාරනයට ලක්වූ කුලියාපිටියේ දරුවාට අවසානයේදී  මහනුවර ත්‍රිත්ව විදුහල පිහිට වීම පසුගිය සතියේ පුවත් සහ සමාජ ජාලයන්හි ප්‍රධාන මාතෘකාව විය. ත්‍රිත්ව විදුහලේ එම ආදර්ශමත් තීරණය පොදු ජනතාවට අමුත්තක් ලෙස පෙනුනද කතෝලික සහ ක්‍රිස්තියානි පාසල්හි අධ්‍යාපනය ලැබූ පිරිසට එය අමුතු දෙයක් නොවේ.
පොදු ජනතාවට සැඟවී පැවතුනද කතෝලික සහ ක්‍රිස්තියානි පාසල් වල අදටත් පවතින ආගමික සහජීවනය, සමානාත්මතාව සහ සාධාරණ විනිශ්චය එම සිද්ධිය තුලින් පිළිබිඹු කරනු ලබයි.

1960 වසරේදී පාසල් රජයට පවරා ගන්නා විට මෙරට පාසල් පරිපාලනය ප්‍රධාන වශයෙන් ආයතන කිහිපයක් වෙතින් සිදු කෙරිණ. එනම් කතෝලික සභාව,මෙතෝදිස්ත සභාව, පරම විඥානාර්ථ සමාගම සහ මුස්ලිම් පාසල් පරිපාලන ආයතනයය. මෙම ආයතන විසින් රජයෙන් ලබා දෙන ප්‍රතිපාදන යොදවාගෙන පාසල් පද්ධතිය ක්‍රියාත්මක කෙරින. 

පාසල් රජයට පවරා ගන්නා විට මෙතෝදිස්ත සභාව පරිපාලනය කල ප්‍රමුඛ පාසල් කිහිපයක්ද, කතෝලික සහ මුස්ලිම් පාසල් කිහිපයක් ද පවරා නොගෙන ඉතිරි කෙරින. මුල් කාලයේදී  පවරා නොගත් පාසල් වල ගුරුවරුන් ගෙන් කොටසක් සඳහා පමණක් වැටුප්, රජයෙන් ලබාදුනි. අදටත් අනධ්‍යන කාර්ය මණ්ඩලයට වැටුප් සහ පාසල් ගොඩනැගිලි සඳහා අරමුදල් රජයෙන් ලබා දෙන්නේ නැත.

කතෝලික පාසලක් තුල මාගේ අත්දැකීම
එක වසරේ සිට සාමාන්‍ය පෙළ දක්වා මාගේ පාසල වුයේ කළුතර සිරිකුරුස විදුහලය. එය පාසල් පවරා ගන්නා අවස්ථාවේ පවරා නොගත් කතෝලික සභාව පරිපාලනය කරන පාසලකි. මා පළමු වසරේ සිසුවකු ලෙස පාසලට ඇතුලත් වන අවදියේදී පාසල අතිශය දුෂ්කර තතවයක පැවතින. රජයට පාසල් පවරා ගැනීමෙන් පසුව ඇතිවූ මුල්‍ය දුෂ්කරතා, විදේශික පුජක වරුන් රට හැරයාම සහ පරිපාලනයට අවශ්‍ය තරම් දේශීය පුජක වරුන්ගේ හිඟය ප්‍රධාන කොට ගත් කරුණු රැසක් මත පාසැල වැසීයන තත්වයට පත්ව තිබිණ. ගුරු වරුන් සීමිත සංඛ්‍යාවකට පමණක් රජයෙන් වැටුප් ලැබුන අතර ඉතිරි මුදල් පාසල විසින්ම සොයා ගත යුතුවිය. එවකට විදුහල් පති තුමා වූ ඇන්ටනි කුරේ ගුරු පියාණන් සහ තවත් කීර්තිමත් ගුරුතුමකු වූ කයිතන් අල්මේදා ගුරු පියාණන් බයිසිකලයේ නැගී වැටුප් ගෙවීමට මුදල් සම්පාදනය සඳහා හිතවතුන්ගේ නිවෙස් කරා ගොස්  සම්මාදම් එකතු කල බව අපට පසු කලෙකදී දැනගන්නට ලැබිණ. පාසලේ සමස්ත සිසුන් සංඛ්‍යාව 300 කට අඩුව ගොස් තිබූ අතර ගොඩනැගිලි අබලන් තත්වයක් ගරාවැටෙමින් පැවතින. පළමු වසරේ සිටි අපගේ පන්තිය තිබුනේ දැන් පාසලේ පිහිනුම් තටාකය තිබෙන ස්ථානයේ තිබූ හරක් මඩුවක් වැනි ගොඩනැගිල්ලකය. එම ගොඩනැගිල්ලද සවස් කාලයේ ටියුෂන් පන්ති සඳහා කුලියටදී මුදල් සොයන තත්වයට මුල්‍ය තත්වය දුෂ්කර විය. එවක බන්දුල ගුණවර්ධන මහතා ආර්ථික විද්‍යා පන්ති පැවැත්වුයේ එම ගොඩනැගිල්ලේ ය.

පාසලේ පරිපාලන තත්වය කෙතරම් දුෂ්කරතා මැද ගෙනගියද සිසුන් වූ අපට එය නොදැනිණ. මුදල  මුල් කොට නොගත් සේවයටම කැපවූ විශිෂ්ඨ ගුරු මණ්ඩලයක් අප වෙත අධ්‍යාපනය ලබා දුන්හ. තද  විනය නීතිපනවා තිබුන අතර වරදට දඬුවමද ඉතා දැඩිවිය.

කතෝලික පාසලක් වුවද අප අතර බෞද්ධ සහ මුස්ලිම් සිසුන් රැසක් විය. අපහට කතෝලික ධර්මය උගන්වන කාල පරිච්චේද වල ඔවුනට බුදු දහම සහ මුස්ලිම් ධර්මය ඉගැන්වීමට පන්ති සහ ගුරුවරු සිටියහ. කිසිදු ආගම් භේදයක් නොතිබූ අතර උස් පහත් භේදයකින් තොරව සියලුම සිසුනට සම ලෙස ගුරුවරු උගැන්වුහ. (දැඩි දඬුවම්ද එසේමය) මේ නිසා සිසුන් අතර කිසිදු භේදයක් නොවීය. පාසල විසින් සියලුම සිසුනට අධ්‍යාපනය සඳහා අවශ්‍ය පසුබිම නිසි ලෙස සකස් කර තිබිණ.

පාසලේ ශිෂ්‍ය නායකයින්, ක්‍රීඩා නායකයින්, සංගම් වල සභාපති වරුන් පත් කිරීමේදී බෞද්ධ සහ මුස්ලිම් ආගමික දරුවන් වීම නුසුදුසු කමක් නොවීය. දක්ෂතාව සහ සුදුසුකම් මත පමණක් එම තනතුරු ලැබිණ. පාසල් ඉතිහාසය පුරා ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර දැරූ බෞද්ධ දරුවන් රැසකි.  දැනටද නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායකයා බෞද්ධ දරුවෙකි.

අප පාසලේ තත්වය මෙසේ වුවද කළුතර වෙනත් කිසිදු ප්‍රධාන පාසලක දැනටත් කතෝලික ධර්මය උගන්වන්නේ නැත. අවම වශයෙන් කලින් ලංසි පල්ලි ඉස්කෝලය නමින් හැදින්වූ කතෝලික පාසලක් වූ, දැන්, පයාගල බණ්ඩාරනායක විදුහල නම්වන  පාසලේ  කතෝලික ධර්මය ඉගැන්වීමට රජයෙන් පත්කළ ගුරුවරයකු නැත. පාසලේ කතෝලික දරුවන් සිය ගණනක් සිටියද ධර්මය උගන්වන්නේ ස්වෙච්චා ගුරුවරුන් විසිනි.

සමානාත්මතාව රජයන සරු පොලොවේ හැදී වැඩුණු දරුවන්, වැඩිහිටියන් බවට පත්ව සමාජය වෙත පියමන් කල පසුව තම පාසල් මාතාව වෙත කෘතගුණ සලකන ආකාරයද ආදර්ශමත්ය. පාසල් රජයට පවරා ගැනීමේ අවධියෙන් පසුව බිඳ වැටී තිබුන ආදිශිෂ්‍ය සංගමය නැවත ගොඩනැංවූයේ මහාධිකරණ විනිසුරු වරයකු වූ ඔලිවර් වීරසේන මහතා සහ නීතීඥ කිංස්ලි වික්‍රමසිංහ නම්  බෞද්ධාගමික ආදිසිසුන් දෙදෙනාගේ මුලිකතවයෙනි. කිංස්ලි වික්‍රමසිංහ මහතා කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ සභාපති වරයා වූ අතර කළුතර බෝධිය ගොඩනැගූ ශ්‍රීමත්  සිරිල් ද සොයිසා මහතා ගේ බෑණනුවන්ය. ඔවුන් දෙදෙනා බොහෝ කලක් වරින් වර ආදිශිෂ්‍ය සංගමයේ නායකත්වය දැරුහ. එමෙන්ම හසන් ජෙෆ්රි මහතා කලෙක ආදි ශිෂ්‍ය සංගමයේ ලේඛම් ධුරය දරමින් පාසලෙහි දියුණුවට ලබාදුන් දායකත්වය අමතක කල නොහැක. මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයකු වන අස්ලි සිද්ධික් මහතා අප දන්නා කාලයේ සිට ශිෂ්‍ය සංගමය තමාගේ හදවත බවට පත් කරගෙන සිටියි.. පාසලට පිහිනුම් තටාකයක් තැනීමේ ව්‍යාපෘතියේ මුලිකත්වය ගනු ලැබුවේ බෞද්ධාගමික ආදිසිසුවකු වූ මහේන්ද්‍ර පෙරේරා නම් ශූර ව්‍යාපාරික තරුණයාය. මේ උදාහරණ කිහිපයක් පමණි.

මෙවන් පරිසරයක අධ්‍යාපනය හැදෑරු අපහට කුලියාපිටියේ දරුවාට ත්‍රිත්ව විදුහල පිහිටට පැමිණීම අරුමයක් හෝ උණුසුම් පුවතක් නොවේ. එය කතෝලික පාසල් අධ්‍යාපනය තුල අප හට ඉගැන්වූ මානව දයාව, ක්‍රියාවට නැංවූ එක් අවස්තාවක් පමණි.
I am Proud to be a Crusader

9 comments:

  1. ඒක ඇත්තටම ලොකු දෙයක්,මව්පියන්ගේ දේවල් වලට දරුවෝ වැරදි නෑ. කොහොමත් අපේ මිනිස්සු බුදුදහම අදහන්නේ-
    - නිකන් සමාඡෙට පේන්න විතරයි. දැක්කද ඒගමේ ප්‍රධානියා වෙච්ච ග්‍රාමසේවක ඒ අම්මා ගැන කරපු කතාව.
    ඔයා වැඩ වලින් වෙන්නේ දරුවගේ හිතේ සමාඡය ගැන වෛරයක් ඇති වෙන එක විතරයි. ත්‍රිත්ව විද්‍යාලයේ
    මේ උතුම් ක්‍රියාව මුළු රටටම ආදර්ශයක්.

    ReplyDelete
  2. පොදුවේ ගත්කල කතෝලික පාසල් ,බෞද්ධ කියාගන්න පාසල් වලට වඩා පරිපාලනයෙන් ඉදිරියෙන් ඉන්නවා. ත්‍රිත්ව විදුහලට මගේ ආචාරය...

    ReplyDelete
  3. ආගම්වලින් ඉස්කෝල නොතිබෙනවානම් හොඳයි.
    ඒත් තියනවනෙ.
    ඒවා අතරින් ක්‍රිස්තියානි ඉස්කෝලවල සහජීවනය, අනුන් ඉවසීම, සමාජයේ ජීවත්වීම ආදිය බෞද්ධ, හින්දු හා ඉස්ලාම් පාසල්වලට වඩා හොඳට ඉගනගන්නවා.
    කතෝලික ඉස්කෝලවලටත් වඩා ඇන්ග්ලිකන් ( ත්‍රිත්ව, සාන්ත තෝමස් ආදිය ) පාසල්වල සහජීවනය වැඩියි.

    ReplyDelete
  4. මොනවා වුණත් අර දරුවාට වුණ සාධාරණය ගැන සතුටුයි...

    ReplyDelete
  5. මා දන්නා කතෝලික බොහෝ අය අපේ buddhist කට්ටියට වඩා සහජීවනය හා සමාජ සත්කාර වැඩ වලදී ඉදිරියෙන් ඉන්නවා. හුඟක් buddhist අය නිවන් දකින්න යන්නේ මයිත්‍රී, කරුණා ගති ගුණ නැතුව. ඔවුන් generosity කියලා හිතන්නෙ හාමුදුරුවන්ට දීම විතරයි.

    Good post on your school. Well done.

    ReplyDelete
    Replies
    1. මම මේ ගැන අවංක බෞද්ධයන් සමඟ තර්ක කර තිබෙනවා .ඔවුන්ට පිලිගන්න වුනා දිළින්දන්ට උපකාර කිරීම අතින් කිතුනුවන් ඉදිරියෙන් ඉන්න බව . මගෙ මතයත් අන්ත අසරණයන්ට දෙන දේ තමා පින්. ප්‍රාඩෝ පූජාව ගැන බුකියෙ මම මේ ගැන බොහෝ දේ කතා කලා. ත්‍යාගලාභියා ඡායාරූපයක් දාල කියල තිබුන අත් හැරීමේ වටිනාකම.( අත් අරින්න කියන්නෙ ගිහියන්ට ) මම කිව්ව ඔබ වහන්සෙට මීට වඩාහොඳ වාහනේකට යන්න තෘෂ්නාවක් ඇතිවුනොත් පූජාව කල කෙනාට ( ටියුෂන් ගුරුවරයෙක්) ටියුෂන් පීස් වැඩි කරන්න වෙනව නේද කියල.

      සමහරු කීවෙ අසරනයන්ට දෙනවට වඩා උතුම්ලු කහ පාට ඇදුමක් ඇදන් ඉන්න අයට දෙන එක. ඒ අයගෙ සිල්වත් කම අවුලක් නෑලු. අපි සිතපහදවාගෙන නෙ දෙන්නෙ. ඒක තමා පින අනුන් කරන ඒව අදාල නෑ කියනව. කොහොමත් අපි වදින්නෙ කහපාට රෙදි වලටනෙ කියල කියනව.

      සිවත් ස්වාමීන් වහන්සෙලාට දෙන දානය මහත්ඵල මහනිසංසයි. මොකද උන්වහන්සෙලාට තම පැවිදි ජීවිතය රැකියාවක් කරන අතර ගෙවන්න බෑනෙ. ඒත් දිය යුත්තෙ පැවිදි දිවියකට අවශ්‍ය දේ පමනයි. වඩාත්ම උතුම් ක්‍රියාව දිළින්දන්ට අසරණයන්ට දීම.

      ඉස්ලාම් ධර්මය තුල මේක ඉතා හොදින් පෙන්වා දී තිබෙනවා සකාත් සංකල්පය තුල. ධනවතුන් ගෙන් සකාත් ලෙස එකතුකරන මුදලක් දුප්පතුන්ට දෙනව. බලන්න සකාත් තුලින් රටක දුප්පත්කම නැතිකල හැකියි. පිරී ඉතිරී යනකම් ධනය ඇති පැවිද්දන්ට තව තව දීම මෙන්ම නිච්චි නිනවු නැතිව හරක් බේරීමත් මම විකාරයක්. ඒ මුදල් අසරනයෙකුට ස්වයං රැකියාවක් පටන් ගන්න දෙනවනම් කොච්චර උතුම්ද.

      Delete
  6. කතෝලික පාසල් වල විනය හොඳයි කියල මම අහල තිබෙනවා. නමුත් මම වඩා කැමති ආගමික නොවන පසල් වලට. රාජකීය විද්‍යාලයේ ආගම් හතරම ඔය විධිහටම තිබුන. රැස්විමකදිත් ආගම හතරක පාඨ කියවනවා. මගේ දරුවන් ගිය ප්‍රථමික පාසැල ඇන්ග්ලිකන් එකක්. එයාලා ආගම් දෙකම ඉගෙන ගත්ත.
    මේ ලිපියේ මට තව නිරීක්ෂණය වුනු එකක්. ජිවන තද දඬුවම් වලට කැමතියි වගේ. මම සම්පුර්නයෙන්ම විරුද්ධ අයෙක්.

    ReplyDelete
  7. කතෝලික දහම මානව දයාව අතින් අනෙක් ආගම්වලට ඉදිරියෙන් ඉන්නවා.මගෙ මතයත් මිනිසාට කරුණාව දැක්වීම අංක එක වෙන්න ඕන කියන එක. ආගම් විවිධ එළඹුම් ඔස්සේ වර්ග කළ හකියි. ඓහ ලෞකික හා පාරලෞකික එක් බෙදීමක්. මම යෝජනා කරනවා මානව ප්‍රේමී හා ගව ප්‍රේමී ලෙස වර්ග කිරීමටත් හැකි බව. සමහර ආගම්වල ගවයා උතුම් බවත් සියලු අයිතීන් ගවයාටම හිමිබවත් කියනවා. හොදම දේ ගවයාට කියායි ඔවුන් තුන් තිස් පැයේම කියන්නෙ.ඒබ්‍රහමික ආගම් පොදුවේ මිනිසා කේන්ද්‍රකරගත් මානව ප්‍රේමී ආගම්.
    මිනිස් සමාජයේ යහපතට හේතුවෙන්නෙ ඉස්සරවෙලාම මිනිසාට කරුණාව දැක්වීම. ඒබ්‍රහමික ආගම්වල මගෙ විවේචනයට ලක් වුනේ අධානග්‍රාහී බව. හැබැයි කතෝලික සංස්කෘතිය තුල දැන් ඒකත් නෑ.


    ඒ වගේම සාධාරන විනිශ්චය හා සමානාත්මතාව අතින් ද ඉදිරියෙන් ඉන්නවා. මෙය කාලයක් තිස්සෙ වර්ධනය වූ තත්වයක් වෙන්න ඇති. ගවප්‍රේමී ආගම්වලට කිතුනු සංස්කෘතියෙන් ඉගෙනගන්න බොහෝදේ තියනවා. කතෝලික ( වෙනත් කිතුනුවන්ද ඇතුළුව )සංස්කෘතියේ මම අගය කරන බොහෝදේ තිබෙනවා. ටික කලකට පෙර මට පල්ලියකට යන්න වුනා ඕනකමකට. පූජකයෙක් දැක්ක තැන බයෙන් බිරාන්ත වී පෙරලි පෙරලි වැදවැටෙන ගතියක් එතන නෑ. පූජකතුමා මා සමඟ කතා කලේ සමාන කෙනෙක් විදියට. මේක ආගම් සැසදීමක් නොවුනත් ගවප්‍රේමී ආගම්වල වගෙ පුද්ගල වන්දනාවක් මානව ප්‍රේමී ආගම්වල නොවීම සතුටක්.

    මම මැවුම්වාදය පිලිනොගන්න කෙනෙක්. ආගමික පැත්ත පසෙක දා ආගමෙන් ලැබුන ආභාෂය මත ගොඩනැගුන කිතුනු සංස්කෘතිය බැලුවොත් ඒක විශිෂ්ටයි. මටනම් කිතුනු පාසලක ඉගෙනගන්න වාසනාවක් තිබුනෙ නෑ. එහෙම ඉගෙනගත්ත අය එහි විශිෂ්ටත්වය ගැන සාක්ෂි දරනවා. ඇත්තටම වෙනත් ආගම් වල දරුවන් කිතුනු පාසල්වලට දාන්න උත්සාහ කරන්නෙ මේ නිසා වෙන්න ඇති.

    ReplyDelete