Saturday, November 4, 2017

කසීර, ජ්‍යෝෆ්‍රී බේකන් සහ කට්ටකාඩුව

පසුගිය මාස කිහිපය සිංහල බ්ලොග් කලාව තුල වැඩි ප්‍රගමනයක් දක්නට නොලැබෙනා  කාලයකි.  ප්‍රශස්ථ මට්ටමේ ලේඛනයක යෙදුන බ්ලොග් කරුවන් රැසක්ම නිහඬ වීම සහ තවත් බ්ලොග්කරුවන් රැසක් ෆේස් බුක් සරණ යාම මෙයට හේතුව බව නිරීක්ෂණය වේ. පසුගිය වසර තුලදී ලේඛණයේ දක්ෂයන් කිහිප දෙනෙකු බ්ලොග් කරණය ඇරඹුවේ වුවද ටික කාලෙකින් බ්ලොග් කලාව හැර යාම සිදුවුනි. 

මෙරට ප්‍රසිද්ධම සමාජ ජාලය වන ෆේස් බුක් ජාලය තුල බොහෝ ලේකකයන් සිර වී සිටිති. බොහෝ දක්ෂ ලේඛකයන්ගේ අගනා නිර්මාණ ෆේස් බුක් තුල වැළලී යාම කනගාටුවට කාරණයකි. ෆේස් බුක් සමාජ ජාලය  තුල සිටිනා ඉතා ඉහල සංඛ්‍යාවක් වන පාඨකයන් වෙතින් නිර්මාණ සඳහා ලැබෙනා ඉක්මන් ප්‍රතිචාර නිසා ලේඛකයන් බ්ලොග් වෙතින් ඉවත් වී යන  අවදියක අති දක්ෂ නිර්මාණ කරුවන් දෙදෙනෙකු බ්ලොග් අඩවි ආරම්භ කර තිබීම සතුටට කරුණකි. ඉන් පළමුවැන්න නම් සහන් කසීර වික්‍රමසිංහ විසින් දැනට මාස කිහිපයකට පෙර අරඹන ලද කසීර අඩවියයි. දෙවැන්න ලලිත් කරුණාරත්න  විසින් ඉතාමත් මෑතකදී ආරම්භ කරනා ලද ‘ජ්‍යෝෆ්‍රී බේකන්’ අඩවියයි. 

මේ දෙදෙනාම තමන්ගේ පැරණි ෆේස් බුක් ලිපි එකතු කර බ්ලොග් අඩවි දෙක නිමවා ඇත. සහන්ගේ කසීර අඩවිය ඉහල සාහිත්‍යමය වටිනාකමකින් යුතු ලිපි රැසකින් සමන්විතවේ. කසීර අඩවිය තාක්ෂණික අතින් ද ඉහල මට්ටමක පවතියි. එය බෙහෙවින්ම පරිශීලක හිතකාමී (User Friendly) දර්ශනීය නිමවුමකින් යුක්තය. ලිපි සොයාගනීමද පහසුය. 

ලලිත්ගේ අඩවිය තාක්ෂණික අතින් දුර්වලවීම කනගාටුදායකය. නමුත් එහි අඩංගු ලිපි ඉතාමත් සාර ගර්භය. එවන් වටිනා  ලිපි එකතුවක් කිසිදු සිංහල බ්ලොග් අඩවියක නොපවතින බව අතිශයෝක්තියක් නොවේ. මෙම ලිපි එකතුව කියවීමට පටන් ගත් පසුව එය නවතා දැමීමට සිත දුන්නේ නැත. ඒවා එතරම් රසවත්ය. දැනුමෙන් සපිරිය. නමුත් අඩවියේ තාක්ෂණික දුර්වලතා නිසා ලිපි සොයා ගැනීම අති දුෂ්කරය. මෙම අඩවිය බ්ලොගර් වෙතට ගෙන එන්නේ නම් මැනවි.
මෑතකදී පටන් ගන්නා ලද තවත් අගනා බ්ලොග් අඩවියක් ලෙසින් කට්ටකාඩුව හඳුන්වා දිය හැක. මෙහි දැනට ලියවී ඇති ලිපි හතලිහක ප්‍රමාණය  විවිධ තේමා යටතේ රසවත් නිර්මාණ වලින් සමන්විතය. අඩවියේ රචකයා අති දක්ෂ උපහාස රචකයකු මෙන්ම බොහෝ ඇසූ පිරූ තැන් ඇති අයෙකු බව ලේඛණය තුලින් ගම්‍ය වෙයි. 


13 comments:

  1. කසිරගේ හා කට්ටකාඩුව නිතරම ගොඩවෙන අඩවියන් තමයි. ජ්‍යෝෆ්‍රී බේකන් අඩවිය ගැන දැනගත්තේ දැන්.

    ReplyDelete
    Replies
    1. ජ්‍යෝෆ්‍රී බේකන් අඩවිය බ්ලොගර් එකෙන් හැදුවනම් දුර්වලතා ගොඩක් මගහැරෙනවා. වර්ඩ්ප්‍රෙස් නරක නෙවෙයි. ගොඩක් ඉංග්‍රීසි බ්ලොග් පවත්වාගෙන යන්නේ වර්ඩ්ප්‍රෙස් වල. නමුත් සිංහල බ්ලොග් පාඨකයා පුරුදු බ්ලොගර් වලට.
      කොහොම උනත් පට්ට ලිපි තියෙන බ්ලොග් සයිට් එක.

      Delete
  2. බේකන් ගැන ඔත්තුවට ස්තුතියි.. අපි වගේ කෘතහස්ත, අතිජනප්‍රිය, සුපිරි, ජනකාන්ත බ්ලොග් කාරයො නොලිය හිටියට, කට්ටාකඩුවා වගේ බ්ලොග්කරුවන් ඉන්න එක කොයි තරං වටිනවද? කසීරගේ බ්ලොගයේ ලස්සන ගැන කිව්වම මතක් වෙන්නේ දවසක් මං කිව්වම උඹගේ බ්ලොග් එක හෙන කලර්ෆුල් කියල, මේකා කියනවා මිනිහ බොග දැම්මත් පාට පාටින්ලු දාන්නෙ කියලා. හැක්..

    ජීවනයා වගේ දවසට බ්ලොග් පෝස්ට් දෙක තුනක් උනත් දාන්න උනත් පුලුවන් අය නිහඩ වීම අපසාදයක් නේද?

    ReplyDelete
    Replies
    1. නුවර කුමාරි, හිස් අහස, මනාගේ පින්තාරුව, ඉවාන් පවුලුෂා, සැහැල්ලුව, හද ගී පොත, බස්සි, බීටල්, සිංදු අනෝ, කල්‍යාන මිත්‍ර, දුමියගේ කටකහන කථා, අටම්පහුර වගේ පට්ට නිර්මාණශීලී බ්ලොග් අඩවි බොහොමයකට ඉබ්බා දාල සීල් තියල. රසුදැල්, ජනේලය, වාසිතය, ට්‍රාන්සිල්වෙනියා වගේ දින දෙකකට වරක් වත් අලුත් පොස්ට් වැටුණු අඩවි දැන් අප්ඩේට් වෙන්නේ අඩුවෙන්. මාතලන්, කොළඹ ගමයා, අනිත් කොන, සොඳුරු සිත, යාං හෑල්ල වගේ අඩවි කිහිපයක් අවුරුදු ගණනාවක් තිස්සේ කොහොම හරි ඇදගෙන යනවා. පැරණි බ්ලොග් අඩවි අතරින් හරියට අප්ඩේට් වෙන්නේ W3Lanka, රසිකලොජිස්ට්, ඉලන්ගකොන්ගේ විවරණය වගේ අඩවි කිහිපයක් පමණයි.

      Delete
    2. ස්තුතියි මේ ටික දැම්මට බං දැනගෙන නොහිටපු බ්ලොග් වගයක් දැන ගත්ත !

      Delete
  3. බ්ල‍ොග් ලියන එවුවන්ට බුකිය තහනං කරන්න ඕන හිටං.
    කට්ටකාඩුවනං අපි හැම වෙලේම ගොඩවෙන තැනක්නෙ.

    ReplyDelete
    Replies
    1. සකර්බර්ග් ඔක්කොම පේජ් ටික ෆේස් බුක් එකේ නිවුස් ෆීඩ් එකෙන් අයින් කරාට පස්සේ බ්ලොග් කරුවන්ට ෆේස් බුක් එකෙන් වැඩක්ම නැහැ. මොනවා ලීවත් උපරිම 5000 විතරයි පෙනෙන්නේ. ඔය ටිකත් තව ටික දවසක් යනකොට බ්ලොක් කරලා සල්ලි ගෙවල දාන්න කියයි. දැන්මම සුදානම් වෙලා බ්ලොග් වල මකුළු දැල් කඩලා ගත්තොත් හොඳ වෙයි.

      Delete
  4. සහන් කසීර කාන්තාවන් අන්තර්ජාලය හරහා අපයෝජනය කරන බව දොස්තර රුවන් අච්චර කියද්දී ඔබතුමා ඔහුගේ ප්‍රචාරක කටයුතු කිරීමෙන් කාන්තා අපයෝජනයට අනියමින් දායක වෙනවා

    ReplyDelete
    Replies
    1. කෙනෙකුට චෝදනා නගනවා නම් නිර්නාමිකව කරන්නේ නැතිව ප්‍රොෆයිල් එකකින් ඇවිත් කරනවා නම් තමයි හොඳ. සහන් ට නගපු චෝදනා එකක් වත් ඔප්පු කරන්න සාධක පෙන්වලා නැහැ.

      ඔය ආකාරයට විවිධ චෝදනා නැගලා දක්ෂ බ්ලොග් කරුවන් කිහිප දෙනෙකුව බ්ලොග් වලින් ඉවත් කරන්න පිරිසකට පුළුවන් උනා. එහෙම බ්ලොග් වලින් ඉවත්ව ගිය එක අයෙකු මාව පුද්ගලිකවම නිර්දය ලෙස විවේචනය කරපු කෙනෙක්. නමුත් ඔහු විවේචනය කරේ තමන්ගේ ප්‍රොෆයිල් එකෙන් ඇවිත්. දොස්තර රුවන් චෝදනා එල්ල කරන්නෙත් ප්‍රොෆයිල් එකෙන් ඇවිත්. ඔවුන් බියසුල්ලන් ලෙස සැඟවිලා එන්නේ නැහැ. එතකොට චෝදනා එල්ල වෙන කෙනාට උත්තර බඳින්න පුළුවන්.

      නමුත් ඔබ සහන් ගැන කියන්නේ කඩතුරාවකට මුවා වෙලා. එක වැරදියි.

      Delete
    2. මෙතන මේ ප්‍රොෆයිල් එකකට මුවා වෙලා කතා කරනවා කියන එකේ කිසිම තේරුමක් නැහැ ජීවන. ප්‍රොෆයිල් එකක් තිබූ පමණින් ඒ සත්‍ය නමද, සත්‍ය පුද්ගලයාද යන්න 100% තහවුරු කරන්න බැහැ. මම නම් කියන්නේ කෝම ආවත් පුද්ගලයෙක් විදියට ප්‍රකාශනයට බලපෑම් කරන්න බැහැ කියලයි. නමුත් එකක් කියන්න ඕන තවත් කෙනෙකුට හිතාමාතාම ද්වෙශසහගතව පහරදීමට ඇනෝ පැමිණිම පහසුවක්.

      Delete
  5. මගේ අම්මෝ....මට බයත් හිතෙනවා ඇසූ පිරූ තැන් ඇති කියපුවම. කට්ටකාඩුව හැදුනු හැටි ගැනත් ඒක ඇදගෙන එන්ඩ බ්ලොග් ලෝකයේ දැවැන්තයින් දක්වපු සහයෝගය ගැනත් මං ලඟකදී ලියන්නම්. මට තාම මතකයි හැලපතුමා කට්ටකාඩුවේ පළවෙනි 'ලුහු බඳින්නා' වෙච්ච දවසේ ඇතිවෙච්ච සතුට!! දැන් ලියවෙන්නේ නැති සඳරු ගේ හිස් අහස ගැනත් ජීවන් තුමාගේ පිළිතුරට එකතු උනා නම් අගෙයි. ඒ කොහොම උනත් කට්ටකාඩුවට ඔබ සියලු දෙනා දක්වපු සහ දක්වන සහයෝගය ගැන අපේ අක්මාවෙන්ම එන මෙව්වා එක පිළිගනු මැනව සහෘදයෙනි!!!

    ReplyDelete
  6. මේවා කියෝන උන් විදියට අපිත් ආඩම්බර වෙන්ඩද ඈ ?

    ReplyDelete
  7. ලින්ක් ටික දමං එක හොඳයි. මගේ ලිස්ට් එකටත් දා ගෙන නිවාඩු පාඩුව කියවන්න ඕනේ

    ReplyDelete