Friday, March 25, 2016

ජේසුස් යනු කවරෙක් ද?


අද මහ සිකුරාදා දිනයයි. මීට වසර දෙදහසකට පමණ පෙර අද වැනි දිනක ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසා මරා දැමූ බව කියවේ.
ජේසුස් යනු කවරෙක් ද?
මීට වසර හතකට පමණ පෙර ආචාර්ය රුවන් වීරසිංහයන්ගේ ආරාධනයෙන් මවිසින් (දුලිප් හේරත්) සිංහලයට නැගූ ලොව ප්‍රකට One Solitary Life නමැති කවි පන්තිය අද මහ සිකුරාදා දින දේව මෙහෙයට සහභාගී වන අතර වාරයේ දී මගේ සිහියට නැගිණි. පහත දැක්වෙන්නේ ඒ පරිවර්තනයයි.
(මා සොයුරු දුලිප් හේරත්ගේ  ෆේස් බුක් සටහනකි - ජීවන).

හුදකලා දිවියක්
අප්‍රසිද්ධ ගමක ඉපදුණු ඔහු ගැමි කතකගේ දරුවෙකු විය.
ඔහු හැදී වැඩුණේ තවත් එවැනි ම ගමක ය, තිස් හැවිරිදි විය තෙක් ඔහු එම ගමෙහි වඩුමඩුවක වැඩ කළේ ය.
අනතුරුව ඔහු වසර තුනක් තැනින් තැන ගොස් දේසනා කරන්නට විය.
ඔහු පොත් ලියුවේ නැත.
ඔහුට කාර්යාලයක් තිබුණේ නැත.
ඔහුට නිවසක් හෝ රැකීමට පවුලක් හෝ නො වී ය.
ඔහු පාසල් ගියේ නැත.
ඔහු මහා නගරවල සැරිසැරුවේ නැත.
ඔහු ඉපදුණු පෙදෙසින් සැතපුම් දෙසීයකට වඩා පිටතට ගියේ නැත.
උසස් යැයි සම්මත කිසිවක් ඔහු කළේ නැත.
ඔහුට සහතික පත් තිබුණේ නැත.
මහජන මතය ඔහුට එරෙහි ව නැගෙන්නට ප‍ටන් ගන්නා විට ඔහු තිස් තුන් හැවිරිදි වියේ පසු විය.
ඔහුගේ මිතුරන් ඔහු හැර ගියේ ය.
ඔහුව තම සතුරන් වෙත පාවා දෙනු ලැබුණු අතර නඩු විභාගය නමැති අවමානයට ද ලක් විය.
සොරුන් දෙදෙනෙකුට මැදි ව ඔහු ව කුරුසියක ඇණ ගසනු ලැබී ය.
ඔහු මිය යන මොහොතේ දී, මිහිපිට ඔහු සතු ව තිබුණු එකම වස්තුව වූ ඔහුගේ සළුවට ඔහුව
කුරුසියේ ඇණ ගසා මරා දැමූවෝ දාදු දැමූහ.
ඔහු මිය ගිය පසු, තම මිතුරෙකුගේ දයානුකම්පාව නිසා ලැබුණු තාවකාලික සොහොනක ඔ‍හුගේ
දේහය තැම්පත් කෙරිණි.
සියවස් විස්සක් ගත වී ඇති මුත් මානව වර්ගයාගේ ප්‍රධාන චරිතය ද මිනිස් සංහතියේ ප්‍රගතියේ නියමුවා ද ඔහුයි.
ගොඩබිම පිය නැගූ කිසිදු පාබල හමුදාවක් වත්
මුහුදේ සැරිසැරූ කිසිදු නාවික හමුදාවක් වත්
රැස් වූ කිසිදු පාර්ලිමේතුවක් වත්
ලොව පාලනය කළ කිසිදු රජෙක් වත්
මිහිපිට මිනිස් ජීවිතයට මෙතරම් බලපෑමක් කිරීමට සමත් වී නැත.



3 comments:

  1. //සියවස් විස්සක් ගත වී ඇති මුත් මානව වර්ගයාගේ ප්‍රධාන චරිතය ද මිනිස් සංහතියේ ප්‍රගතියේ නියමුවා ද ඔහුයි. //

    -----------මෙයයි ඇත්ත-----------

    ReplyDelete
  2. මොනවා නැතත් ඔහු දෙවියන් වහන්සේය.

    ReplyDelete
  3. දයාව අනුකම්පාව පමණක් නොව ඒවාට විරුද්ධ බලවේගවලද සංකේතයකි!

    ReplyDelete