Wednesday, October 1, 2014

සංගීත චාරිකාවක් 25 - AC/DC හාඩ් රොක් සංගීත කණ්ඩායම


Rock N Roll Train ගීතය හාඩ් රොක් ශෛලිය තුල රසවිඳින්නට ලැබුන හොඳම ගීතයක් විදියට නම් කරන්න පුළුවන්. අද ලිපිය එම ගීතයේ නිර්මාපකයන් වන හාඩ් රොක් සහ හෙවි මෙටල් සංගීත ශෛලියහි ජය කෙහෙළි නැංවූ AC/DC නම් වන සංගීත කණ්ඩායම ගැනයි.
මෙම කණ්ඩායම 1973 වසරේදී පිහිටුවනු ලබනුයේ මැල්කම් සහ ඇන්ගස් යං නම් සහෝදරයන් දෙදෙනාය. මොවුන් හෙවි මෙටල් සංගීතයේ ප්‍රමුඛයන් වුවද විචාරකයන් විසින් ඔවුන් හඳුන්වනුයේ හාඩ් රොක් සහ බ්ලුස් රොක් සංගීත කණ්ඩායමක් ලෙසිනි.

 
මෙම සංගීත කණ්ඩායම සැමවිටම හොඳින්ම ගැලපෙන වාදකයන් ගේ සහය ලබාගැනීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. 1975 වසරේදී පෙබරවාරි 17 දින කණ්ඩායමේ මුල් ඇල්බමයවූ High Voltage එළිදක්වන අවස්ථාව වනවිට මුල් කණ්ඩායමෙන් ඉතිරිව සිට ඇත්තේ ඇන්ගස් යං පමණි. ඔහුගේ සහෝදරයා ඇතුළු අන් සියලුම වාදකයින් ඉවත්කොට හෝ ඉවත්ව ගොසිනි. 1977 වසරේ Powerage ඇල්බමය සඳහා ක්ලිෆ් විලියම්ස් නම් බේස් ගිටාර් වාදකයා යොදවා ගැනීමෙන් පසුව වාදකයන් මාරුකිරීම නැවතී කණ්ඩායම ස්ථාවරත්වයට පැමිණුනා.

High Voltage
 Powerage
 
කණ්ඩායම ස්ථාවරත්වයට පැමිණ, මාස ගණනාවක් පුරා Highway to Hell නම් නවතම ඇල්බමයේ පටිගතකිරීම් සිදුවන කාලයේදී නැවත අභාග්‍ය සම්පන්න සිදුවීමකට මොවුන් මුහුණ දුන්නා. ඒ ප්‍රධාන ගායකයා මෙන්ම සම ගීත රචකයාවූ බොන් ස්කොට් 1980 පෙබරවාරි 19 දින රාත්‍රිය පුරා මධ්‍යපානය කොට ඇල්හොකොල් විෂවී මියයාමෙන්. මෙවිට කණ්ඩායමේ සාමාජිකයින් තීරණය කරන්නේ සංගීත කණ්ඩායම විසුරුවා හැරීම සුදුසු බවය. නමුත් බොන ස්කොට්ගේ දෙමාපියන් එම තීරණයට දැඩිව එරෙහි වීම නිසා බ්‍රයන් ජොන්සන් කණ්ඩායමේ ප්‍රධාන ගායකයා ලෙස තෝරා පත්කර ගෙන Back in Black නම් නව ඇල්බමයක් එළිදැක්වීමට කණ්ඩායම කටයුතු කරනවා. Back in Black ඇල්බමය සමග කණ්ඩායම සාර්ථකත්වයේ නව මාවතට යොමුවනවා. එම ඇල්බමය එලිදක්වූ පසුව පළමු සතියේදී දිනකට පිටපත් 10,000 බැගින් අලෙවියක් වාර්තා කොට කණ්ඩායමේ හොඳම අලෙවිය බවට පත් වනවා.
Highway to Hell
Back in Black

AC/DC හි ඊළඟ ඇල්බමය වූ For Those About to Rock We Salute You එක්සත් ජනපදයේ ප්‍රථම ස්ථානය ලබාගත් කණ්ඩායමේ පළමු ගී එකතුවය. 1983 වසරේදී ඩ්‍රම්ස් වාදකයා වූ පොල් රුඩ් ඉවත් කොට සයිමන් රයිට් පත් කිරීමත් සමග කණ්ඩායමේ ජනප්‍රියත්වය හීන වීමට පටන්ගන්නවා. නැවත කණ්ඩායම පුනර්ජීවනයක් ලබනුයේ 1990 වසරේ The Razors Edge ඇල්බමය එළිදැක්වීමෙන්. 1995 වසරේදී Ball breaker ඇල්බමයද, 2000 වසරේදී Stiff Upper Lip ඇල්බමයද එළිදක්වන AC/DC සිය අවසන් වරට ඇල්බමය වන Black Ice 2008 ඔක්තෝම්බර් මස එළිදක්වනවා. Black Ice හි For Those About to Rock ගීතය AC/DC හි සංගීත චාරිකාවේ කුටප්‍රාප්තිය සනිටුහන් කරමින් ලොව සියළු සංගීත දර්ශක වල පළමු ස්ථානය දිනාගන්නවා.

For Those About to Rock

AC/DC කණ්ඩායම ලොව පුරා සංගීත තැටි මිලියන 200කට වඩා අලෙවියක් වාර්තා කරන අතර එක්සත් ජනපදයේ පමණක් තැටි මිලියන 71.5ක් විකිණීමෙන් එක්සත් ජනපදයේ වැඩිම අලෙවිය සහිත කණ්ඩායම් ලයිස්තුවේ 10 වන තැන දිනා ගැනීමට සමත් ව ඇත. Back in Black ඇල්බමය පමණක් පිටපත් මිලියන 50ක් අලෙවියෙන් ලොව වැඩිම අලෙවිය පිළිබඳව ලයිස්තුවේ පස් වන තැන දිනා ගන්නවා.

චාරිකාව තව දුරයි

විසිහයවන කොටසින් හමුවමු.

26 comments:

  1. AC /DC කියල සංගීත කණ්ඩායමක් ඉන්නවා කියල මම ඉස්සෙල්ලම දැනගත්තේ සෝවියට් දේශයේ ඉගෙන ගන්න කාලේ. සෝවියට් දේශයේ මේක තහනම් කරලා තිබුනේ. ඉතින් රුස්සෝ හොරෙන් අහන නිසා අපි ලන්ඩන් වලින් ගෙනත් විකුනනවා රුස්සන්ට. එහෙම තමා මටත් අහන්න ලැබුනේ.

    ReplyDelete
    Replies
    1. AC/DC වැනි කණ්ඩායම් වල ගීත රස විදින්න ඉහල ශබ්දයක් සහිතව වාදනයක් අසන්න වෙනවා. නැතිනම් ඒවායේ නියම ශබ්ද රසය දැනෙන්නේ නැහැ. දෙස්ටෝෂන් ගිටාර සහ ඩ්‍රම් (විශේෂයෙන්ම සිම්බල්) මගින් අධික ගොෂාවක් ඇති කරත් අවසානයේ මුළු සිරුරටම සැහැල්ලු බවක මටනම් දැනෙනවා.

      Delete
  2. මමත් හරි කැමති සංගීත කණ්ඩායමක්... ලඟදි අහන්න ලැබුණා මැල්කම් අසනීප තත්ත්වය නිසා සම්පූර්ණයෙන්ම කණ්ඩායමෙන් ඉවත් වෙන්න තීරණය කරලා කියලා.. 2015 ටුවර් එකට නැති වෙයිලු....

    ReplyDelete
    Replies
    1. මචන් හාඩ් රොක් සන්ගීතය බොහෝ දෙනෙකුට පෙනෙන්නේ පිස්සුවක් විදියට උනත් එම ශෛලියට කැමති අය අනෙකුත් සියලුම සංගීත ශෛලින් උපරිමයෙන් රස විඳිනවා. ජනගීයක තියෙන සුවිසල් රසය සහ මෙට්ල් සංගීතයේ රසය අහසට පොලව මෙන් උනත් දෙකම සංගීතයම තමා.

      Delete
  3. මම හාඩ් රොක් වලට කැමති කෙනෙක් නෙවෙයි. මට හාඩ් රොක් දැනෙන්නේ පියනක් නැති භාජනයකට මාව දාල කෙළවරක් නැතුව හොලවලා එකපාරටම බිමට හලනවා වගේ...

    මම හිතන්නේ ඒකයි සින්දුව අවසානේ ඇගෙන් සැහැල්ලුවක් වගේ දැනෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මටත් මුල් කාලයේ දැනුනේ ඔය හැංගීමම තමයි. නමුත් ඩේස්ටෝෂන්ගිටාරය සහ බේස් ගිටාරය මගින් විශාල ගෝෂාවක් ඇතිකර එකම තාලයකට සිදුකරන ඩ්‍රම්ස් වාදනයෙන් ආවේශ කිරීමක් වැනි දෙයක් සිදු කරනවා. එලෙස ආවේශ වෙන කෙනාට විතරයි හාඩ් රොක් සහ මෙට්ල් රස විඳින්න පුළුවන්. උඩ තියෙන වීඩියෝ වල පෙනෙනවා නරබන්නන් සියළු දෙනාම එකම තාලයකට නටන ආකාරය. තවත් පැහැදිලිව බැලුවොත් මේ නටන්නේ ඕපන් පොසිෂන් තියාගන වයන හයිහැට් එකේ තාලයට. මමනං හිතන්නේ අර ආවේශයෙන් මිදෙන්කොට තමා සැහැල්ලුව දැනෙන්නේ.

      Delete
    2. මම කැමති මගේ රස අංකුර වලට හෙමින් හෙමින් තට්ටු කරමින්, සිහිල් ජලය ගලනවා වාගේ විඳින්න. එහෙම කියල බයිලා, රොක් සංගීතය අතාරින්නෙ නැහැ. ඒ මොනවා උනත් හාඩ් රොක් වලින් කරන තද ස්නායු තෙරපුම මම කැමති නැහැ. ඒක හරියට අබිං කාල විඳින රසයක් වගේ...

      ආ.. ඒ උනාට එහෙම රසයක් තිබ්බට කමක් නෑ... කිසිම වැරද්දක් නෑ.. නොට් මයි ටේස්ට් විතරයි....

      අනේ.. කෝ මම බලන් ඉන්නවා 'මැඩෝනා' ගැන එකපාරක්වත් ලියයි කියල. කෝ නෑනේ??

      Delete
  4. "ජනගීයක තියෙන සුවිසල් රසය සහ මෙට්ල් සංගීතයේ රසය අහසට පොලව මෙන් උනත් දෙකම සංගීතයම තමා."
    "නමුත් ඩේස්ටෝෂන්ගිටාරය සහ බේස් ගිටාරය මගින් විශාල ගෝෂාවක් ඇතිකර එකම තාලයකට සිදුකරන ඩ්‍රම්ස් වාදනයෙන් ආවේශ කිරීමක් වැනි දෙයක් සිදු කරනවා"
    සංගීතය හදාරපු කෙනෙක් කියන මේ දේවල් බරපතලව ගන්න වෙනව. ස්වර හතකුත් තව ඒවට තට්ටු තුනකුත් ආවේ ඒකනේ නේද?
    දැන් එතකොට හැම සංගීතයම එක විදිහේ නොවන්නෙ මොකද? රටෙන් රටට - ගලොබලයිසේසං වෙන්න කලිං - සංගීතය වෙනස් වෙන්නේ මොකද? මම හදං ඉන්න උත්තරේ සමන්විත වෙන්නේ තවත් ප්‍රස්නයකින්. රටෙන් රටට ගහකොල සතාසීපාවා වෙනස් වෙන්නේ ඇයි? ඒ හේතුවම වෙන්න පුලුවන් කියලයි මම හිතං ඉන්නෙ.
    යක් බෙරේ ලස්සනට රටාවකට ගහන්නත් හැකි. ශාන්තිකර්මයකදි ආවේස කරන්න ගහන්නත් හැකි. පුද්ගලිකව මම හුරුවෙච්චි රටාවට මට මේ සංගීතය ඇල්මක් නෑ. නමුත් ඉස්කෝලේ යන කාලෙ "ජම්ප්" කියන සින්දුව වගේ කිහිපයක් රසවින්ද.
    ජීවන්ගෙන් යමක් අහගන්න කමෙන්ට් වලින් කොනිත්තන්න වෙනව!

    ReplyDelete
  5. අපි ඔය කතාව දැනට අපි ශ්‍රවනය කරන පැරණිම සංගීත රාවය වන පිරිතෙන් පටන් ගනිමු. මේක හරිද වැරදිද කියන්න මම අධ්‍යනය කරලා නෑ. මමත් කියවපු දෙයක් මේ ලියන්නේ. පෙරදිග සංගීතය බිහිවූ මුල් යුගයේ ස්වර තිබී ඇත්තේ තුනයි. පසුකලෙක තවත් දෙකක් එක්වී ස්වර පහක් බවට පත් වී තිබෙනවා. පසුව එක්වූ ස්වර දෙක දෙක හඳුන්වා ඇත්තේ කාම ස්වර ලෙසයි. පංච ස්වරය තිබු කාලයේ තමා පිරිත බිහිවී ඇතයි සැලකෙන්නේ. එහිදී කාම ස්වර දෙක පිරිත සඳහා යොදාගෙන නැහැ. අදටත් පිරිත මූලිකවම ස්වර තුනක පරාසයක් තුල ගලාගේනේ යනවා. ඉඳහිට කලාතුරකින් පමණක් හතරවන ස්වරයට පනිනවා. පිරිතෙහි ඇති ස්වර ගණන ඉන් ලැබෙන මානසික සුවයවෙත බලපෑමක් නැහැ. බොහෝ කරදරකාරී මානසික තත්වයකින් මිදෙන්න, සිත එකඟ කරහන්න පිරිත් ශ්‍රවනය මගින් ලැබෙන පිටුවහල මම අත්දැකීමෙන්ම දන්නවා. මේ සංගීත රාවය සම්මතයක් නිසා සහ එය රැකගැනීමට අධිපතීන් නැතහොත් බලධාරීන් සිටින නිසා නොවෙනස් ව පවතිනවා. ඒ අපේ සමාජයේ.

    පැරණි ආසියානු සහ අප්‍රිකානු සමාජවල ආවේශ වීම තුලින් ලෙඩ සුවකරගැනීම බෙහෙවින් ප්‍රචලිතයි. ආවේශ වීම සඳහා බෙර සහ නලා යොදා ගන්නවා. එහි මුලික අර්ථය සුවය සඳහා සංගීතය යොදවා ගැනීමම වනවා.

    නමුත් යුරෝපයේ ක්‍රිස්තියානි සංස්කෘතිය පැතිර යාමත් සමග දේශීය අනු සංස්කෘති මැඩ පවත්වා තිබෙනවා. මේ හේතුවෙන් දේශීය තාල සංගීතය වැනසී ගොසින්.

    අද එම අඩුව හාඩ් රොක්වැනි සංගීත ශෛලින් විසින් පුරවනවා. ඉන් ඇතිකරනු ලබන ආවේශය වෙත තරුණ පරපුර ආකර්ෂණය වනවා. මෙම ආවේශය ටෙක්නෝ සංගීතය තුලද වඩාත් දැකගත හැකියි. දක්ෂ ශිල්පීන් මෙහෙයවන ටෙක්නෝ ඩීජේ සංගීත පාටියක රෑ එළිවෙනකල් නැටුවත් ඇඟට මහන්සියක් නැහැ. පසුදාට අතුරු ප්‍රතිපලයක් ඇතිනම් එය මධ්‍යසාර නිසා පමණක් වනවා.

    මේ හැම දෙයකින්ම ශ්‍රවනය කරන්නා අවසානයේ බලාපොරොත්තු වන්නේ මානසික සුවයක්. එම සුවය කොයි ශෛලිය තුලින් ලබාදුන්නද අවසානයේ එය ලබා දෙනුයේ සංගීතයයි.

    ඒ නිසා තමයි මම කියන්නේ
    "ජනගීයක තියෙන සුවිසල් රසය සහ මෙට්ල් සංගීතයේ රසය අහසට පොලව මෙන් උනත් දෙකම සංගීතයම තමා." කියල

    ReplyDelete
    Replies
    1. Excellent Boss!
      "ජීවන්ගෙන් යමක් අහගන්න කමෙන්ට් වලින් කොනිත්තන්න වෙනව!" x 2

      Delete
    2. අර උඹ කියනවා වගේ මගේ ගොඩක් පොස්ට් වලට වඩා කොමෙන්ට් දිගයි. පොස්ට් ලියන වෙලාවට ඕව මොනවත් මතක් වෙන්නේ නෑ. පස්සේ උඹල කොනිත්තනකොට තමා හොඳ හරිය මතු වෙන්නේ. කොනිත්තනවට ඉස්තුත්යි!

      Delete
    3. ජීවගෙන් මේ ඇදලගත්තු වචන ටිකට ස්තූතිය තිස්සට.!

      Delete
    4. තුප්පහි සංගීතය ප්‍රචාරය කරාට කමක් නැහැ. පිරිත් වැනි බෞද්ධයන්ගේ උතුම් අධ්‍යාත්මක අංග එකට ගාවගන්න එපා. ක්‍රිස්තියානි කරුවකු වන ඔබේ hidden agenda පැහැදිලියි.

      Delete
    5. හපොයි මේක නම් අසාධාරණ කථාවකි :-(
      ජීවන බෞද්ධ නොවන අයකු ලෙස පිරිතෙන් පිහිට ගත් කෙනෙක් ලෙසයි මේ කමෙන්ටුව ලියා තියෙන්නේ - මේක දුටුවද ඔබ? "බොහෝ කරදරකාරී මානසික තත්වයකින් මිදෙන්න, සිත එකඟ කරහන්න පිරිත් ශ්‍රවනය මගින් ලැබෙන පිටුවහල මම අත්දැකීමෙන්ම දන්නවා."
      ජීවන එක්ක අවුරුදු හතරක් එක පතේ කා බී ඇසුරු කෙනෙක් විදිහට මට නම්මේ චෝදනාවනම් 100% අසාධාරණයි!
      ජීවන තමන් උපන් පොලවේ හොඳින් කකුල් දෙක තියාන ඉන්න කෙනක් - ඔහු ගඟට ආවඩන කෙනෙක් නම් නෙවේ
      ලංකාවේ වෙන දේ දුටුවම මෙහෙම හිතෙන එක පුදුමයක් නොවුනත් ජීවන සම්බන්ධයෙන්නම් ඒක මුලුමනින්ම වැරදියි
      එක් සංගීත ආරයකට, රස විඳීම් රටාවකට කොටු වෙලා ඉන්න මම වාගේ අයටත් සංගීතයේ වෙනස් පැති කඩ පෙන්නනවා මේ බ්ලොග් එකෙන්.

      Delete
    6. මොකක්ද මේ චෝදනාවට දෙන උත්තරය කියල හිතාගන්නවත් බෑ. කරකවල අතැරිය වගේ.

      Delete
    7. පිරිත විතරක් නෙවෙයි, බුද්ධ ධර්මයේ තියෙන ඕනෙම වචනයක් තවත් ආගමක කෙනෙක් කිව්වොත් අපේ ඇනෝ සහෝදරයා/සහෝදරී වගේ බුරන් පනින්න නරකයි. අනිත් එක එහෙම ජජ් කරන්න තරම් දෙයක් කියලත් නෑනේද? බුද්ධ ධර්මයේ 'එව බලව' කියල දේශනා කලේ ඔහොම නොවෙන්නයි. කිසිම ආගමක්/ දර්ශනයක් අනිත් ආගම/දර්ශනය ඉක්මවා යායුතුත් නැහැ... තම තම නැණ පමණින් අවබෝධ කරගත්තොත් තමයි වටින්නේ...

      ගැටෙන්න එපා.. අදහස් බෙදාගන්න

      Delete
    8. චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරනවා.

      මේක දැකපු ගමන් පිළිතුරක් නොදුන්නේ ආවේගශීලීව කතා නොකළයුතු මාතෘකාවක් නිසා.
      ඔය කොමෙන්ට් එක ලිව්වට පස්සේ මට හිතුන පිරිතේ සංගීතමය පැත්ත ගැන සම්පුර්ණ පොස්ට් එකක් ලියන්න ඕන කියල. පස්සේ පාන්දර 2.00 විතර වෙනකං ජාලය පීරලා පෙරදිග සංගීත ඉතිහාසය, බෞද්ධ සංස්කෘතිය සහ පුජා විධික්‍රම වල ඉතිහාසය ගැන කරුණු ගොඩක් හොයා ගත්තා. නමුත් ඔය වගේ සංවේදී මාතෘකාවකට යන එක හොඳ මදි කියල මම තේරුම් ගත්තා මේ ඇනෝ සහෝදරයාගේ චෝදනාවත් සමග. ආගමික කරුණු සම්බන්ධව ඇති අධිකාරිය මට මතක් කරලා දුන්නට ඇනෝ සහෝදරයට ස්තුති කරනවා
      මම හිතන්නේ නෑ මගේ කොමෙන්ට් එක තුලින් පිරිතට හෝ බුදු දහමට නිගාවක් උනාය කියල. එක නිසා කොමෙන්ට් එක ගලවන්නේ නෑ.

      Delete
  6. තැන්කුයි වේවා. අවුල තියෙන්නේ වීඩියෝ බලන එක තමා..

    ReplyDelete
    Replies
    1. මොකක්ද අවුල තාක්ෂණික දෝෂයක් මතු වෙනවද? කලින් එකක් තිබිල හැදුව ආයෙත් ඇවිත්ද දන්නේ නෑ

      Delete
  7. ජීව, උඹෙ කතාව හරි. හාඩ් රොක් හෙවිමෙටල් අහන්න ඕනෙ නියම සවුන්ඩ්ස් එක්ක තමා.

    හෙවිමෙට්ල් සින්දුවක් විඳින්න ඒ මූඩ් එකට යන්න ඕන. බිව්වෙ නැතත් පුටුවෙන් නැගිටල, කකුල් හප්පල සින්දුව ඇතුලෙ ඉන්න එකාට ඒක විඳින්න පුලුවන්. නැත්තං වෙන්නෙ කන්කරච්ච්ලයක් වෙන එක තමයි.

    විසෙන් විස නැසෙනව වගේ, හිත කලබල, ප්‍රශ්ණ තීන වෙලාවක හෙවිමෙට්ල් සින්දු ටිකක් අහල බලහන්, ප්‍රශ්ණ සේරම ඉවරයි.

    ReplyDelete
    Replies
    1. //විසෙන් විස නැසෙනව වගේ, හිත කලබල, ප්‍රශ්ණ තීන වෙලාවක හෙවිමෙට්ල් සින්දු ටිකක් අහල බලහන්, ප්‍රශ්ණ සේරම ඉවරයි.//
      ++++++++++++++++++

      Delete
    2. හොඳ කොලිටි කන් දෙක සම්පුර්ණයෙන් වැහෙන හෙඩ් ෆෝන් එකක් තමයි අයිඩියල්. නැතිනං ගෙදර අනිත් උන්ට ගෙදරින් යන්න වෙනවා.
      මේ සංගීත කණ්ඩායම් වල බේබදු කම උපරිමයි. එකෙක් දෙන්නෙක් බීල මරෙනවම තමා. එක වෙන්න ඇති යුරෝපීය රට වල පවා අර සමාජ ප්‍රතිරෝධයක් හෙවිමෙටල් සහ හාඩ් රොක් වලට් එන්නේ. මමනං බීලම නෙවෙයි මේ සංගීතය රස විඳින්නේ.
      අර උඹ කියනවා වගේ ප්‍රශ්න අමතක කරන්න ඕකට වඩා බෙහෙතක් තවත් නෑ.

      Delete
    3. හාඩ් රොක් නොවුනත්, ඉස්සර අපේ ගෙදර මයිකල් ජැක්සන් උන්නේ උදේ ඉඳන් බෙරිහන් දීගෙන.... ජනෙල් පවා දෙදරුව... ඒත් දැන් මතක් වෙනකොට හිතෙනවා එතකොට නහර දිගේ දිව්වා නේද කියල ඒ සින්දුව.... හ්ම්ම්.. හ්ම්ම්....

      Delete
    4. මයිකල් ජැක්සන් කියන්නේ පොප් ගායකයෙක්. ඔහුගේ බොහෝ ගීතවල බේස් ගිටාරය විශ්ෂ්ඨ අන්දමින් භාවිතා කරනවා. දිගටම ඒකාකාරී ව දිවයන බේස් ගබ්දයට තමා දැපනේ වැටෙන්නේ. (Billie Jean සහ Beat it බලන්න.)අර විදියට ජනෙල් දෙදරන්න දාගත්තම තමා ගීතය හරියට වදින්නේ.

      Delete
  8. ජීවන හැමදාමත් වගේ අදත් අලුත් දැනුමක්............ මට නම් ඇත්තට ම මේවා සියල්ල ම අලුත්.... ඔබ තමයි ඒ දැනුම දෙන උල්පත...

    දිගට ම කරගෙන යන්න. අපි ඉන්නවා කියවන්න......... දැන් දැන් ඔබේ සංවර්ධනය ඔබට ම දැනෙනවා ඇති ජීවන................... සතුටුයි ගොඩක්

    ReplyDelete
    Replies
    1. පොස්ට් එකක් දැම්මම හිට් 20ක් විතර ආපු මුල් කාලේ දුන් දහිර්යයට ගොඩක් ඉස්තුතියි.

      Delete