Tuesday, October 7, 2014

1981 වර්ෂයේ කැළණි සරසවියේ උපාධි ප‍්‍රදානෝත්සවයේදී මහාචාර්‍ය වල්පොල රාහුල ස්ථවිරයන් වහන්සේ කළ දෙසුම

දේශපේ‍්‍රමයේ ජාතිපේ‍්‍රමයේ ආගමේ හා මතවාදයන්ගේ පෙනෙන්නට තිබෙන යහපත් දේ මොනවාද? ඒවා ප‍්‍රශ්න කිරීමකට භාජනය වනු ඇත්තේ කවදාද? අපගේ ජීවිත රැදී පවත්නා සදාකාලික සත්‍යයන් ඒවා බව පෙනේ. එසේ වුවද වරදවා තේරුම් ගත් විට වාර්ගික අරගල, ආගමික ගැටුම්, ප‍්‍රාදේශීය හා ජාතිවාදී සටන් හා ජාත්‍යන්තර යුද්ධ ඇති කරන ප‍්‍රධාන මූලයන් බවට ඒවා පත්වේ. 
 
ඔබ හොඳින් නැවත සිතා බැලුවහොත් පුද්ගලයෙකු ලෝකයේ එක් තැනක හෝ වෙනත් තැනක උත්පත්තිය ලැබිය යුතු බව ඔබට පෙනෙනු ඇත. මිනිසෙකු හෝ ගැහැණියක එසේ ඉපදුණු විට ඒ සමග  ඔවුන්ට කිසියම් රටක්, ජාතියක්, ආගමක්, දේශපාලන දර්ශනයක් හෝ මතවාදයක්, භාෂාවක්, සමාජ කණ්ඩායමක් හෝ කුලයක් උරුම වේ. අනෙක් ඒවාට වඩා ඒවා හොඳ නිසා ඔවුන් ඒවා තෝරා ගත්තා නොවේ. ඒ සියල්ල අහම්බෙන් ලැබෙන දේය. 
 
එසේ වුවද, පුද්ගලයෙකු සිය ආත්මය පිළිබඳ හැඟීම සිය ආත්මාර්ථකාමී මමත්වය – හේතුකොට ගෙන හුදු අහම්බයක් නිසා තමාට උරුම වූ මේවා පිළිබඳව ඇලෙන අතර ඒවා තමාට ඉතාම සුදුසු යයි හැඟුන නිසා තෝරාගත් බවක් අන්‍යන්ට පෙන්වන්නට කටයුතු කරයි. ඔහු ඒවා සමඟ වෙන් කළ නොහැකි ලෙස සම්බන්ධ වන අතර ඒවා තුළ සිය සතුට, විමුක්තිය හා සරණ සොයයි. ඒවා ඉවත් කළ විට කිසිම වටිනාකමක් නැති හිස් බවක්, අසරණ බවක්, ඔහුට දැනේ. ඒ නිසාම ආරක්ෂා වනු පිණිස, ආවරණය වනු පිණිස, වෙනකක් තබා තමා වැදගත් බව හඟවනු පිණිස, ඒවා උත්කෘෂ්ඨත්වයට නංවන්නට ඉහලට ඔසවා තබන්නට, වන්දනා මාන කිරීමට, ඔහු උනන්දු වෙයි. 
 
කිසියම් කෙනෙකු සභාවක නැගිට "මා ශ්‍රේෂ්ඨයි විශිෂ්ඨයි උතුම්" යයි කියමින් තමන් වර්ණනා කෙරෙයි නම් ඒ පුද්ගලයා නිරනුමානයෙන්ම සභාවේ සාධාරණ උපහාසයට ලක්වනු ඇත. එභෙත් ඔහු තමාගේ ජාතිය, වර්ගය හෝ ආගම උසස් යයි (එයද තමන් උත්කෘෂ්ඨත්වයට පත් කර ගැනීමේ අනියම් මගකි.) කියා සිටින්නේ නම් ජාතිපේ‍්‍රමියෙකු ලෙස හෝ දේශපේ‍්‍රමියෙකු ලෙස හෝ වෙනත් පූජනීය කෙනෙකු ලෙස එම සභාවේ සිටින සිය ජාතියට, ආගමට හෝ වර්ගයට අයත් ජනතාව ගෙන් බුහුමන් ලබනවා ඇත. මෙවැනි දේශකයින්ගේ පටු බව හා ලඝු බව දේශපේ‍්‍රමයේ හෝ ජාතිපේ‍්‍රමයේ සළු පිළියෙන් කදිමට වසා ගත හැක. 
 
ශ‍්‍රී ලංකාවේ නීති ශිෂ්‍යයන් විසින් තවමත් මහත් උනන්දුවෙන් හදාරනු ලබන රෝමානු නීතියේ මෙවැනි කියමනක් වෙයි. 
 
"සිය දේශය වෙනුවෙන් මිය යාම ප‍්‍රසන්න හා වැදගත් දෙයකි." රට වෙනුවෙන් ජීවත් වීම, ඒ වෙනුවෙන් මිය යාමට වඩා වැදගත් බව පෙන්වන්නට සාධක කොතෙකුත් තිබියදීත් මෙවැනි ආකර්ෂණීය හා උද්වේගජනක සටන් පාඨ මිනිසුන් අරගලයට යුද්ධයට මෙභෙයවා ඇත.
 
කිසියම් පුද්ගලයෙකු තම රට ජාතිය හෝ ආගම නොසළකා අමතක කොට ජීවත්විය යුතු යයි කිසිවෙකු යෝජනා නොකරනු ඇත. දේශපේ‍්‍රමය ජාතිපේ‍්‍රමය හා ඒ සමාන වෙනත් දේ තුළ ඇති නොවැටභෙන දේ නම් ඒවායින් ඇතිවන යහපත හෝ අයහපත වෙන්කර ගන්නට නොහැකි වීමය.
 
දේශපේ‍්‍රමය යනු රට වෙනුවෙන් පෙනී සිටීමය. ජාතිපේ‍්‍රමය යනු ජාතිය වෙනුවෙන් පෙනී සිටීමය. එහි දොස් පැවරිය යුතු කිසිවක් නැත. ඒ දෙකම යහපත්ය. එභෙත් තම ජාතිය වෙනුවෙන් පෙනී සිටීම, ඉක්මනින්ම අනෙක් ජාතියට එරෙහි වීමට පෙරලෙයි. තමන්ගේ රට ජාතිය වෙනුවෙන් පෙනී සිටීම අනෙකාගේ රට ජාතියට එරෙහි වීම ලෙස තේරුම් නොගත යුතුය. ඇත්තටම නම් තමන්ගේ රට ජාතියට හිතවත් වන ප‍්‍රමාණයට අප අනෙකාගේ රට ජාතිය ගැනද හිතවත් විය යුතුය. අනෙකාගේ රට ජාතියට ගෞරව නොකරන, ආදරය නොකරන, කෙනෙකු තමන්ගේ රට ජාතියට සැබෑ ලෙස ගෞරව කරන්නේද ආදරය කරන්නේ ද නැත.
 
බෞද්ධ ආචාර ධර්ම තුළින් මේ සම්බන්ධව වැඩිදුර ගුරුහරුකම් ගැනීමට අපට පුළුවන. ලෝක සත්වයාට මෛත‍්‍රීය කිරීම අරඹන්නේ පහසුවෙන් හා මුලින්ම කළ හැකි තමාට මෛත‍්‍රිය පැතිරවීමෙනි. තමාට මෛත‍්‍රිය කිරීම සඳහා අනුන්ට වෛර කිරීම අවශ්‍ය නොවේ. තමාට නිවැරදිව හා බුද්ධිමත්ව මෛත‍්‍රිය කරන කෙනෙකු සියළු ආකාරයේ නරක ක‍්‍රියාවලින් වැළකෙන අතර නිවැරදි මාවතේ ගමන් කරයි. එවිට අපට අප සමඟ හෝ සමාජය සමඟ ගැටුමක් ඇති නොවේ. අප අවට ලෝකය සමඟ සාමයෙන් හා සංහිඳියාවෙන් ජීවත්වීමට එයින් අපි වරම් ලබමු. ඊළඟ පියවර වන්නේ තමන්ට ඉතාම ළඟින් නුදුරින් සිටින අයට මෙත් සිත් පැතිරවීමය. තෙවැනි පියවර වන්නේ තමා සමඟ සබඳකම් පවත්වන අයට මෛත‍්‍රිය කිරීමයි. සිව්වෙනි හා අවසාන පියවර වන්නේ තමන්ගේ සතුරන්ට ද මෛත‍්‍රිය පැතිරවීමය. මෙය දුෂ්කර වුවද මෛත‍්‍රිය වැඩීම තුළ තමන්ගේ අධ්‍යාත්මික වර්ධනය හා අත්දැකීම් ලබන නිසා එය කළ හැකි දෙයක් වෙයි. මෙසේ මෛත‍්‍රිය හුරු කළ විට තමන් හා තමන්ගේ කිට්ටුවන්තයන් අතරද තමන් හා තමන් සබඳකම් පවත්වන්නන් අතරද තමන් හා හතුරන් අතරද වෙනස තුනීව යයි. නැතිව යයි. මෙය ඉන්ද්‍රජාලික සුරංගනා ලෝකයේ සිදුවන අභව්‍ය සිදුවීමක් නොවේ. මෙය මිනිසුන් තුළ ගොඩ නඟා ගත හැකි අපූර්වත්වයකි. දේශපේ‍්‍රමයට හා ජාතිපේ‍්‍රමයට මෙසේ සියළු ජාතීන් හා දේශයන් එක්ව පෙමකින් වෙලන්නට හැකිවේද? සමහර විට මහත්මා ගාන්ධි එසේත් නැත්නම් ශ‍්‍රී ලාංකිකයෙකු වූ ආනන්ද කුමාරස්වාමි වැනි දේශපේ‍්‍රමීහු හා ජාතිපේ‍්‍රමීහු ජාතියට සංස්කෘතියට හා දේශයට ආදරය කරමින් සෙසු ජාතීන්ට සංස්කෘතීන්ට දේශයන්ටද පේ‍්‍රම කළහ.
 
මේ සඳහා කෙනෙකුට පැහැදිලිව දැකිය හැකි මනසක් තිබිය යුතුය. මේ හැම විටකම කල්පනාකාරී වීමත් මිනිසුන් වර්ග කර ලේබල් ඇලවීමට ඉක්මන් නොවීමත් අවශ්‍යය. වර්ගීකරණය යනු බෙදා නිශ්චිත කණ්ඩායම්වලට වෙන් කිරීමය. එසේ කළ විට අනවරතව ගලා යන සමස්ථ ජීවිතය අපගේ සිත තුළ චිත‍්‍රණය නොවෙයි. වර්ගීකරණය යනු කෑලිවලට වෙන් කර තනි තනිවම ඒවා විමසීමය. ඒ තුළ සමස්ථය දැකිය නොහැකිවේ. වර්ගීකරණය තුල කැබලි වීම නිසා සිදුවන මේ අභාග්‍යය මිනිසා ගැන පමණක් නොව ස්වභාවධර්මය සම්බන්ධයෙන්ද රමණීයත්වය සම්බන්ධයෙන්ද වෙනත් බොහෝ දෑ සම්බන්ධයෙන් ද එකසේ අදාළය.
 
සියළුම ආගම් පිළිබඳ ප‍්‍රවේසමෙන් කරන ලද අධ්‍යයනයකින් පසු කිසියම් ආගමක් අනෙක් ඒවාට වඩා ශ්‍රේෂ්ඨ යයි තේරුම් ගෙන ඒ ආගම වැළඳගත් අය ලෝකය තුළ සිටී නම් ඒ අල්ප වශයෙනි. එභෙත් බහුතරයක් අපි උපතින් උරුම වූ ආගම තුළම රැදී සිටිමු. මා කිසියම් ආගමක් උපතින් උරුම කර ගත් නිසාම ඒ ආගම පමණක්ම සත්‍ය බවත් අනෙක් ආගම් සියල්ල අල්පේච්ඡ බවත් කීම කොතෙක් දුරට සාධාරණ වන්නේද? මීටත් වඩා පටු වූද බාල වූද සිතිවිල්ලක් තවත් තිබිය හැකිද? මම බෞද්ධයෙක්ව උත්පත්තිය ලැබූ නිසාම බෞද්ධාගම සත්‍ය දෙසන එකම ආගම බවත් අනෙක් ආගම් තුළ ඇත්තේ බොරුව බවත් මට කිව හැකිද? මා ක‍්‍රිස්තියානි කාරයෙක්ව උත්පත්තිය ලැබුවේ නම් ක‍්‍රිස්තියානි එකම සත්‍ය ආගම බවත් සෙසු සියළු ආගම් වැරදි බවත් මා කීම සාධාරණ වන්නේද? තමන්ගේ ආගම පිළිබඳ භක්තියක් ඇතිකර ගැනීම එකකි. එය යහපත් එකක් වන්නටද පුළුවන. එභෙත් මගේ ආගමට ඇති භක්තියෙන් අන්ධවී මා විසින් සෙසු ආගම් ගර්හාවට ලක් නොකල යුතුය.
 
මේ සම්බන්ධයෙන් කිව යුතු තවද කරුණක් ඇත. අවිචාර බුද්ධියෙන් යුතුව ඡාතික හා ආගමික මතයක එල්බගෙන සිටීම තරමටම දේශපාලනික ආර්ථික හෝ සමාජයීය මතයක් විචාරයෙන් තොරව දැරීමද (එකම ආකාරයේ) වැරදිය. මේ සියළු මතවාදයන් (දිට්ඨි) කෙරෙහි අන්ධව බැදී ඇලී සිටින තැනැත්තේ මෙසේ කියයි. මෙය පමණක් සත්‍යයකි. මෙයින් බාහිර හැම දෙයක්ම බොරුවකි.
 
එවැනි අන්ධ මතවාදයන් දැරීම පිළිබඳ බුදුන්ගේ වචනය ඉතා පැහැදිලිය. කිසියම් මතවාදයකට ඇලි ගැලී සිටිමත් අනෙකුත් මතවාදයන් පහත් යැයි ගර්හා කිරීමත් පහත් ක‍්‍රියාවන්ය. බුද්ධිමත් මිනිස්සු එවැනි දැ සලකන්නේ විලංගු ලෙසය. (සූත්ත නිපාත – 798 පැදිය) ඒ අර්ථයෙන් ගත් කළ මිනිස් වර්ගයා විලංගු දා බැඳ දමා තිබේ.
 
මෙයින් අදහස් කරන්නේ අරාජිකත්වය හෝ ව්‍යාකූලත්වය අනුයන බව නොවේ. අපම සාදාගත් පටු දෘෂ්ඨියෙන් මිදී, අපේම සිතින් මවාගත් මන:කල්පිතයන්ට නොබැඳි, නිදහසේ යමක් එහි සැබෑ ස්වරූපයෙන් දකින්නට ඒ උපදෙස් අපට ආරාධනා කරනවා පමණකි. යමක් එහි සැබෑ ස්වරූපයෙන් දැකීමෙන් ව්‍යාකූලත්වයක් හෝ අරාජිකත්වයක් ඇති නොවේ. එයින් පිළිවෙළ ද, විනය ද - සහජීවනය හා සාමය ද – ඇති වේ. අපි යථාර්ථයට මුහුණදීමට ඇති බිය නිසාම අපේ ඇස් වසා ගනිමු. අප කැමති යමක් අපට ඔනෑ අකාරයට දකින්නට මිස, එය තිබෙන සැබෑ ස්වරූපයෙන් දක්නට නොවේ.
 
ඒ නිසාම වසර ගණනාවක පුහුණුවකින් පසු සරසවිය හැර යන තරුණ ඔබ සියල්ල පරීක්ෂා කළ යුතුය. ඔබේ දැනුම සියල්ල එහි සැබෑ ස්වරූපයෙන් දකින්නට භාවිතා කළ යුතුය. මා කියන දෙය හෝ වෙනත් කිසිවෙකු කියන දෙය හෝ ඔබ පිළිගත යුතු නැත. එය අධිකාරිත්වය දරණ අයගේ හඬ නිසාම ඔබ පිළිගත යුතු වන්නේ නැත. යම් කෙනෙකු තමන්ගේ හැකියාවේ උපරිම මට්ටමෙන් හා තම දැනුමේ උපරිම මට්ටමෙන් යම් කිසිවක් විමසා බලා පිරිසිඳ දකින්නේ නැතිව පිළිගැනීම සම්බන්ධයෙන් කිසිදා සාධාරණ හේතුවක් දිය නොහැකිය.
 
ඔබේ වෘත්තීය ජීවිතය තරුණ ඔබටද එපමණක් නොව සමාජයේ යහපත පතන ඒ වෙනුවෙන් කැප වී ඇති සියල්ලන්ටම ද ප‍්‍රයෝජනවත් හා තෘප්තිකර එකක් වනු ඇතැයි මේ උපාධි ප‍්‍රදානෝත්සවයට සහභාගි වන
 සියල්ලන් පතන බවට මට උදක්ම විශ්වාසය.
 
උපුටා ගත්තේ රන්දොර වෙබ් අඩවියෙනි.
http://www.randora.lk/index.php/lead-article/item/2602-walpola-rahula-1907%E2%80%931997 

7 comments:

  1. මේ කතාව කාටවත් මාකට් කරන්න පුළුවන් කමක් නම් නෑ වගේ,

    ReplyDelete
    Replies
    1. මචන් ඉවාන්, මේ කතාව කරලා අවුරුදු දෙකකට පස්සේ 1983 දී රටම ගිනිගත්තා. ඒ ගින්න අවුරුදු 30 නිවාගන්න බැරුව දුක් වින්ද. මේකේ තියෙන දේ ත්රුම් ගත් ජනතාවක් හිටියනම් ලොකු විනාශයක් වැළකෙනවා.
      දැන් ආයෙත් ගිනි තියන්න ලැස්ති වෙනවා.
      කතාව අදටත් මාකට් වෙන්නේ නැහැ කියන්නේ අනාගතය පිලිබඳ බියකරු ප්‍රශනාර්තයක්

      Delete
  2. ජීවන ප්‍රශ්නය හරියට හදුනාගන නැහැ. බුදු දහම අනුව ජීවත් වෙන්න ඕනෑ කොහොමද කියල බෞද්ඩයෝ දන්නේ නැහැ කියලද හිතන්නේ. ඇෆ්ගනිස්ථානය වගේ රටවල් වල එක බෞද්ඩයෙක් වත් නැතුව බුදු පිළිම විතරක් ඉතුරු උනේ කොහොමද කියනවද?

    ReplyDelete
    Replies
    1. ඔබ මෙම කොමෙන්ටුව ලිවීමට පළමුව ලිපිය කියවුවාදැයි අවංකව කියන්න.
      රටේ බහුතරයක් බෞද්ධයන් බුදු දහම අනුව ජීවත් වෙන්න ඕනෑ කොහොමද කියල නොදන්නා බව කියනවානම් එය සමස්ථ බෞද්ධ ජනතාවටම කරන නිග්‍රහයක්
      නමුත් ෆේස් බුක්හි වෛරය පතුරුවන, ආගම් සහ ජාතීන් අතර භේද වපුරුවන, අනෙක් ආගම් සහ ජාතීන් හෙලා දකින සුළුතරයක් නම් එය නොදන්නා බව සක්සුදක් සේ පැහැදිලියි.
      වෛරයෙන් වෛරය නොසන්සිඳේ යන ශ්‍රේෂ්ඨ, බුදුරජානන් වහන්සේගේ වදනට ජපානයේ අනාගතය වෙනස් කළ හැකිවූ බව අමතක කරන්න එපා. එය ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයනට, ජපන් ජාතිකයන් අදටත් ආදරය කිරීමට හේතු වනවා.
      මේ ලිපිය මෙහි උපුටා දැක්වීමෙන් මා අදහස් කලේ බෞද්ධයන්ට බුදු දහම ඉගැන්වීම නොව, මට කියවන්නට ලැබුණු, අනාගත දැක්මක් සහිත ශ්‍රේෂ්ඨ ලිපියක් එකිනෙකා අතර බෙදා හදා ගැනීම පමණි. එය ආහම් භේදයකින් තොරව සියලු ජන කොට්ටාශ ආමන්ත්‍රණය කරන්නක් බව ලිපිය සම්මා දිට්ඨියෙන් කියවුවහොත් දැනේවි.

      Delete
  3. ජීවන................

    කැළණිය සරසවියත් එක්ක ඔබේ තියෙන සම්බන්ධය නම් මම දන්නේ නැහැ. නමුත් මේ කතාවේ කියැවෙන දේ එක්ක නම් අපි උපරිමයෙන් ම එකඟයි.. ඉවාන් කියන කතාවත් ඇත්ත. මේවට දැන් මාකට් එකක් නැත. ඒත් ඇත්ත ඒකයි.......

    සිය දේශය වෙනුවෙන් මිය යාම ප‍්‍රසන්න හා වැදගත් දෙයකි." රට වෙනුවෙන් ජීවත් වීම, ඒ වෙනුවෙන් මිය යාමට වඩා වැදගත්

    මේකතාවත් එක්ක උපරිම එකගයි... ඉන්දියාවේ නිදහසින් පස්සේ නේරු අගමැති යටතේ මහත්මා ගාන්ධි මාරාන්තික උපවාසයක් කරත්දි නේරු ගාන්ධිට කිව්වෙත් ඕකමයි...

    ඔබ මිය ගොස් කළ හැකි දේට වඩා ජීවත් ව සිටීමෙන් කළ හැකි දේ බොහෝයි.....

    අපේ සංවාදයේ තියෙන ගැටළුවක් මේක. අපි උලුප්පා ඇති දේවල් නැවත සංවාදයට ලක්කළ යුතුයි කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. සත්‍යට කිසිදා මාකට් එකක් ඇති නොවන බව සදාකාලික සත්‍යයක්.
      සත්‍යය පැහැදිලි කරනවිට මෝහයේ ගැලී සිටින දුක් විඳින ජනතාවම එම සත්‍යයට විරුද්ධ වනවා.
      ක්‍රිස්තුන් සාමය දේශනා කරන විට " මොහු එල්ලා මරනු " කියා රෝම පාලකයාගෙන් ඉල්ලා සිටියේ එම පාලකයාගේම පීඩනයට යටත්ව සිටි තමන්ගේම ජුදා ජනතාව. ක්‍රිස්තුන්ගේ නිර්දෝෂී බව දුටු හෙරෝද් නම් රෝම පාලකයා " මොහුගේ ලෙයට මා පංගුකාරයකු නොවේවායි කියන විට " එය අප පිටත් අපගේ දරුවන් පිටත් පැමිණේවා'' කියමින් මරණ දඬුවමම ඉල්ලා කෑ ගැසුවේ රෝමයේ පීඩනයට යටත්ව සිටි තමන්ගේම ජුදා ජනතාව

      Delete