Sunday, August 31, 2014

සංගීත චාරිකාවක් 21 - Clout නම් වූ කාන්තා සංගීත කණ්ඩායම


අද පොස්ට් එක සංගීත තැටි මිලියන ගණනක් බෙදාහැරීමට් සමත්වූ රොක් සංගීත කණ්ඩායමක් ගැනයි. මෙම සංගීත කණ්ඩායමේ විශේෂත්වය නම් කණ්ඩායමේ සියලුම සාමාජිකයන් කාන්තාවන් වීමය. කල්වුට් සංගීත කණ්ඩායම තරුණියන් පස් දෙනෙකු විසින් 1977 වසරේ බිහි කරනුයේ දකුණු අප්‍රිකාවේ දීය. මෙය රොක් සංගීත ශෛලිය තුල තම නිර්මාණ බිහිකළ කණ්ඩායමකි. මෙම කණ්ඩායම බෙහෙවින් ජනප්‍රිය වුයේ Substitute නම් ගීතයෙන්.



මුල් කණ්ඩායම ගිටාර් වාදනයෙන් Cindy Alter විසින්ද, බේස් වාදනයෙන් Lee Tomlinson විසින්ද, ඩ්‍රම්ස් වාදනයෙන් Ingrid Herbst ද රිදම් ගිටාර් වාදනයෙන් Jenni Garson සහ කී බෝඩ් වාදනයෙන් Glenda Hyam ද පෝෂණය කරනු ලැබුවා. මීට අමතරව කණ්ඩායමේ සාමාජිකාවන් සියලු දෙනා දක්ෂ ගායිකාවන් ද වුවා

කලවුට් කණ්ඩායමේ අතිශය ජනප්‍රිය Substitute ගීතය Willie Wilson විසින් Righteous Brothers කණ්ඩායම සඳහා නිර්මාණය කරන ලද්දක්. මෙම ගීතය කලවුට් විසින් 1978 වසරේදී ප්‍රතිනිර්මාණය කොට ගායනා කරනු ලැබුවා. එම නිර්මාණය දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ජර්මනිය, ප්‍රංශය, නෙදර්ලන්තය, ස්වීඩනය, ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය සහ බෙල්ජියම යන සියලුම රටවල ගීත දර්ශකයන්හි ප්‍රථම ස්ථානයට පැමිණුනා. මෙය එක්සත් රාජධානියේ එකල දර්ශකයේ (UK Singles Chart ) දෙවන ස්ථානයට පැමිණි අතර එම දර්ශකය තුල සති පහළොවක් ගීතය ස්ථානගතව තිබුනා. තවද මෙම ගීතය එක්සත් ජනපදයේ Billboard Hot 100 දර්ශකයේ 67 වන ස්ථානයටද පැමිණුනා.

මෙම කණ්ඩායමේ Save Me, You've Got All of Me, සහ Under Fire වැනි ගීත යුරෝපීය Top 10 singles දර්ශක වල ස්ථානගත වුනා.




Save Me,
 You've Got All of Me
 Under Fire

1981 වසරේදී ඇමෙරිකානු ගායක දෙපලක් වන Hall and Oates ගේ Portable Radio ගීතයද ක්ලවුට්ස් ප්‍රතිනිර්මාණය කර ගායනා කල අතර ඉන් ටික කලකට පසුව කණ්ඩායම විසිර ගියා.

Portable Radio

චාරිකාව තව දුරයි.
විසි දෙවන කොටසින් හමු වෙමු.

13 comments:

  1. සක් අම්මප කොහෙන්ද බෝල මේවා හොයාගන්නේ , පට්ටයි නෙව

    ReplyDelete
  2. ඔය youtube එකේ ඕන තරම් තියෙන්නේ

    ReplyDelete
  3. සබ්ස්ටිටියුට් මම සෑහෙන්න ආසා එකක් මචං
    ලංකාවේ "වින්ස්ලෝ සික්ස්" (වින්ස්ලෝ හැරුණම) මේ වගේ ගෲප් එකක් නේද මචෝ?
    "මුතු වාගේ බබලනවා" , "රණ මොණරුන් රඟ දෙනු දුටුවා - නිල් දිය මත මහනෙල් දුටුවා" එයාලගෙ සුපිරි නිර්මාණ
    ඊට පස්සෙ ලංකාවේ ලේඩි ගෲප්ස් බිහිවුණේ නැත්තේ ඇයි කියලද ජීවන හිතන්නේ - ඒ කල්ට් එක ගැහැණුන්ට නොසරිලනව කියල හිතුනද?
    ත්‍රී සිස්ටර්ස් වුණත් සින්දු කීව විතරයි
    තව එක ගෲප් එකක් තිබ්බ මට මතක නෑ - ඉස්සර ටී එන් එල් එකේ පර්ෆොර්ම් කලා - එයාලානම් හැබැයි හොඳ මියුසිෂන්ලා
    උඹ අනිවා දන්නව ඇති
    විස්තර ටිකක් කොමෙන්ට් විදිහට දැම්මනම් මරු මචෝ!

    ReplyDelete
    Replies
    1. මචං Winslow 6 කණ්ඩායමේ මමනං ගොඩක්ම ආස කරන්නේ වෛද්‍ය මානෙලා ජෝසෆ් ගායනා කරන Let Me See ගීතයට. https://www.youtube.com/watch?v=XJz0gRlzKBo නියම Disco ගීතයක්. ගීතය තුල ඩ්‍රම්ස් හැසිරවීම සහ සැක්සෆෝන් සොලෝ එක සුපිරි.

      Winslow 6 කණ්ඩායම මොරටුවේ එකම පවුලක සාමාජිකයන්ගෙන් සමන්විත වීම නිසා ඔය තරම් හරි දුර යන්න ඇති. කෙසේ වෙතත් මේ කණ්ඩායමේ පැවැත්ම අවුරුදු හතරකට සීමාවෙනවා. දුව රෝෂි සහ රණ මොණරුන් ගී දෙක ශ්‍රී ලාකික ගීත දර්ශක තුලට පැමිණියා.

      All girl Bands ලංකාවේ බිහි නොවීම සම්බන්ධ ප්‍රශ්නයට තියෙන්නේ සරල පිලිතුරෙක්
      මචන් මගේ කොල්ලෝ තුන් දෙනාට බෑන්ඩ් එකක් හදල දෙනකොට මට පවුලෙන් ආපු ප්‍රෙෂර් එක දන්නවනම් ඔය ප්‍රශ්නය අහන්නේ නෑ. කොල්ලෝ තුන්දෙනාව කාල දානවා විනාශ කරනවා කියල තමයි කතාව එන්නේ.
      කොල්ලන්ට එහෙමනම් කෙල්ලන්ට මොන කතාද.

      Delete
    2. අනුරාධපුරේදි කෙල්ලොන්ගෙ බෑන්ඩ් එකක් මෑත කාලෙ බිහි උනා. ඒත් දැන් ඒකත් නෑ මම හිතන්නෙ.

      මේ ලඟදි යශෝධ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එහෙකට ඇවිත් කියනව හැම්දාම ඕගොල්ලො මගෙන් ප්‍රශ්ණ අහල අහල අන්තිමේටම තාම බඳින්නෙ නැත්තෙ ඇයි කියල අහලයි ඉවර කරන්නෙ, කොටිම්ම ලංකාවෙ මොන පශ්චාත් නූතනවාදී කියන මහ ලොකු අයත් තාම මගෙන් ඔය දේ අහනව කියල. තනියම ඉන්න කෙල්ලෙක් ප්‍රශ්ණයක් වෙන, "බෑන්ඩ් එහෙක" හිටියොත් නෙමෙයි රෑට සින්දු කියන්න ගියත් "කෙල්ලෙක් - බඩුවක්" වෙන සමාජෙක කොහෙද බං ගෑණු බෑන්ඩ් හැදෙන්නෙ?

      Delete
    3. ඔව් ඉන්දික, තමන්ට කරන්න බැරි දෙයක් අනුන් කරනකොට එකට පහර දෙන එක තමා ගොඩක් දෙනෙක් කරන්නේ. අපේ වගේ සංස්කෘතික සීමා වැඩි සමාජ වල බොහොම පහසුවෙන් අලුත් දෙයක් කරන එකාට පහර දෙන්න ලේසියි. අලුත් සංකල්පයට නෙවෙයි කරන පුද්ගලයාට පහර දීම තුල කඩාකප්පල් කිරීම් බොහෝ පහසුයි

      Delete
    4. මෙතනදි ඉන්දික එක්ක එකඟ නෑ. ගොඩක් වෙලාවට සංගීත කන්ඩායම් බිහිවෙන්නේ ලොකු ආර්ථික ශක්තියක් ඇති පිරිස් එක්ක. මොකද උපකරණ වාද භාණ්ඩ කුළියට අරන් ගෲප්ස් හදාගන්න බෑ නේ. ඉන්ද්‍රානි පෙරේරා හැරුණම, මිනෝන්, ලාංකිකා, ඩොක්ට මනෙලා ඇතුලු වින්ස්ලෝ සික්ස් පිරිස, ඩැල්රීන් මේ ඔක්කොමල ආවෙ ඔය කියන සංස්කෘතික බැමි වැලඳගත්තු පරිසර වලින් නෙමේ. නමුත් එහෙම බාධක නැති, ආර්ථික ෂක්තියකුත් තිබිච්ච පිරිසක් අතිනුත් එහෙම ඒවා භිනොවුණේ ඇයි කියන එකට වෙනම හේතු තිබිය යුතුයි. ඔය කියපු අය ගොඩක් ගීත ගැයුවේ පිරිමි අයත් එක්ක තනි තනිව. එහෙම කලානම් ඇයි එකතු වෙලා ගෲප් එකක් නොසෑදුනේ?
      අනෙක් පැත්තෙන් ලෝකයේම ගර්ල් ගෲප්ස් කොච්චර තිබේද පිරිමි වලට සාපේක්ෂව?
      ගැහැනු ගොඩකගේ හඬ එක වැර ඇසෙන එක කර්ණ රසායන නැද්ද ඒ හැටි ;-)
      පිරිමි කටහඬවල් මැද්දෙන් කාන්තා කටහඬක් ගලා එන එකද වඩා මිහිරි?

      Delete
    5. මචන් දොඩන්
      සංගීත කණ්ඩායම් ආර්ථික ශක්තියෙන් හෝ මුදල් බලයෙන් හදන්න පුළුවන් කියන් එකට මම එකඟ නෑ.

      ඔතන තියෙන්නේ අපේ රටේ සංගීත අධ්‍යාපනය පිලිබඳ ප්‍රශ්නයක් නිසා ඇතිවූ මානව සම්පත් හිඟයක්. ආර්ථික ශක්තිය ඇති පවුල් වල ගැහැණු ළමුන් හදාරනුයේ බටහිර සම්භාව්‍ය සංගීතය. බොහෝදෙනෙක් තවමත් හදාරන්නේ Trinity College of Music එකේ පියානෝ වාදනය. ඕක හදාරලා විභාග සමත් වෙච්චි බහුතරයකට පාටි එකකට සින්දුවක් ගහ ගන්න බෑ. අනෙක අද තියන සංගීත ශෛලිනට බොහෝ දුරස්තර ශෛලියක් තුල තමයි විෂය නිර්දේශය පවතිනුයේ.

      අනෙක සංගීත කණ්ඩායමකට අත්‍යාවශය ගිටාර් වාදනය නිපුන වීම සඳහා දැඩි කැපවීමක් සහ දැඩි වෙහෙසකර පුහුණුවක් අවශ්‍යයි. (මේ කියන්නේ කෝඩ් කිහිපයක් තුල රිදම් කිරීම නෙවෙයි.) එම දුෂ්කර පුහුණුවට ගැහැණු ළමුන් යොමුවනවා අඩුයි. අනෙක අවංකව උගන්නන ගුරුවරු ඉතාමත් සුළු පිරිසයි ඉන්නේ.

      අපේ ගැහැණු ළමුනට ඩ්‍රම්ස් වාදනය බොහොම ආගන්තුකයි. ඩ්‍රම් නොටේෂන් කියවමින් කරනු ලබන විද්යානුකූල අධයාපනය ලබා ගත හැකි ගුරුවරු ඉන්නෙත් අතේ ඇගිලි ගණනටත් අඩුවෙන්.
      මේ නිසා සංගීත කණ්ඩායමක් සාදා ගන්න අවම වශයෙන් අවශ්ය වන වාදිකාවන් පස් දෙනෙකු එකතුකර ගැනීම හරිම අභියෝගයක්.

      මධ්‍යම පාන්තික පවුල් වල ගැහැණු දරුවන් බොහෝවිට ඉගනගන්නේ පෙරදිග සංගීතය. මේ තුල වයලීනය සහ සිතාරය තමයි බොහෝ දුරට හදාරනුයේ. ගිටාරය කරේ එල්ලගන පන්ති යන ගැහැණු ළමුන් දකින්නම නැහැ. ඉතින් කොහොමද කාන්තා සංගීත කණ්ඩායම් හදන්නේ.

      Delete
    6. මේ විස්තර කිරීමට සාධාරණයි කියල මට හිතෙනව
      බලමු ඉන්දික මොනව හිතනවද කියල

      Delete
  4. ක්ලව්ට් ගැන මට මතක විදියට පෝස්ට් එකක් ලිව්වා. ඒකෙදි ඔය ගෲප් එකෙ ඩ්‍රම්ස් ගහන කෙල්ලට ලව් කරපු බවත් ලිව්වා..

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි කලිනම් වැඩේ පටන් අරන් නේ. අපරාදේ නැවැත්තුවේ.
      http://priyathama-sangeethaya.blogspot.com/2010/05/substitute-by-clout.html

      Delete
    2. ඔව් මාතලන් ඔය වැඩේ ලස්සනට කරගෙන ආවා ඒ කාලේ

      Delete
  5. මේකත් නියමයි .... මාර හාමනි පාර.....
    Pussy Cat ...... :-p

    https://www.youtube.com/watch?v=6Ip7Ih63Qwk

    ReplyDelete