දම්පාට දේදුන්නට ලියන ලද පසු ගිය පොස්ටුවට කොමෙන්ට් කල රසික සූරියාඅරච්චි මහතා Godfather වදනෙහි සිංහල පරිවර්තිත වදන ඥාන පියා වූයේ කෙලෙසක දැයි අසා තිබුනා. මෙම වදන සිංහල කතෝලික ජන වහර තුලින් පැමිනෙන්නකි.
ක්‍රිස්තුස් වහන්සේ ගේ අනුගාමිකයන් සභා රැසක් තුල ජන වන්දනාව පවත්වාගෙන යනවා. කතෝලික සභාව, පෙන්තකොස්ත සභාව, එංගලන්ත සභාව උදාහරන ලෙස දැක්විය හැකිය. මෙම සභාවන්ට සාමාජිකයින් බඳවා ගැනීම බෞතිස්මය යනුවෙන් හඳුන්වනවා. සමහර සභා වැඩිහිටියන් පමණක් බෞතීස්ම කළද ලංකාවේ සහ ඉතාලියේ බෙහෙවින් ප්‍රචලිත කතෝලික සභාව කතෝලික පවුල් වල දරුවන් ඉපදී මසක් ඇතුලත බෞතීස්ම කරනවා.
දරුවකු බෞතීස්ම කරනා අවස්තාවේදී දෙමාපියනට අමතරව ඥාන මව සහ ඥාණ පියා යනුවෙන් තරුණ යුවලක් වෙත දරුවාගේ භාරකාරත්වය පවරනවා. දරුවාගේ අධ්‍යාපනය සහ අධ්‍යාත්මික ගුණ වගාව පිළිබඳව වගකීම පැවරෙනුයේ මෙම ඥාන මව සහ ඥාණ පියා වෙතය. මේ දෙදෙනා දරුවාගේ යහපත් වර්ධනය පිළිබඳව වගකියනා බවට දෙවියන් ඉදිරියේ දිව්රුමක් දෙන අතර බොහෝවිට මෙම පදවිය සඳහා තෝරාගනුයේ වයස 25ත් 30ත් අතර හොඳ හැදියාවකින් යුතු පවුලේ ඥාතීන් දෙදෙනකුය. දැන් බොහෝවිට තෝරා ගනු ලබන දෙදෙනා උසස් අධ්‍යාපනය ලබන අයය. දෙමාපියන් මියගියද අවස්ථා වල සහ වෙනත් අභාග්‍යසම්පන්න අවස්ථාවල දරුවන්ගේ භාරකාරත්වය මොවුන් දරනවා. සාමාන්‍යයෙන් දරුවන්ද මේ දෙදෙනාට ලෙන්ගතුකමක් දක්වන අතරම ඔවුන් කියනා දේ කරන්නට නැඹුරුවක් දක්වනවා.
ඥාන මව සහ ඥාණ පියා වෙත ඉංග්‍රීසි බසින් යෙදෙනුයේ Godmother සහ Godfather යන වචනයන්ය.
Godfather යන වචනය පාතාල නායකයන් මෙන්ම විවිධ ක්ෂේත්‍ර වල ඉහලම බලපෑම් කරනා පුද්ගලයින් හඳුන්වන්න යොදනවා.
God Father යන වචනය ඉතාලියේ මාෆියා නායකයින් හඳුන්වන්න යෙදී ඇත්තේ අපුරු ක්‍රම වේදයක් නිසාය. මාෆියා කල්ලි බෙහෙවින් බලවත්ව සිටි යුගයේ යම් ගමක පිරිමි දරුවකු ඉපදුනු විට දෙමාපියන් විසින් දරුවාගේ ඥාණ පියා වශයෙන් තෝරාගෙන ඇත්තේ ප්‍රදේශයේ මාෆියා නායකයාවය. බෞතීස්ම උත්සවයේදී දරුවාගේ භාර කාරත්වට දෙවියන් ඉදිරියේ දිවුරුමකින් ලබාගන්නා මාෆියා නායකයාට එම දරුවා වැඩුන පසුව ඔහුට යම් අනතුරක් කිරීමට හෝ මරා දැමීමට කිසිදු ඉඩකඩක් නොමැති වීම එලෙස කිරීමට හේතුවය. අනෙක් අතට අදාළ නායකයාටද ඥාණ දරුවා ලෙන්ගතු කමක් දක්වන නිසා ඔහුට විරුද්ධව දරුවා නැගීසිටීමේ ඉඩකඩ අවම වනවා. මේ ආකාරයට මුළු ප්‍රදේශයේම දරුවන්ගේ ඥාණ පියා එම ප්‍රදේශයේ මාෆියා නායකයා බවට පත්වනවා. ඔහුට මුළු ප්‍රදේශයේම තරුණයන් සහ දරුවන් Godfather යනුවෙන් ඇමතීම නිසා මේ වදන ප්‍රචලිත වී තිබෙනවා. දැන් එය විවිධ ක්ෂේත්‍ර වල ඉහලම ප්‍රවීනයන් හැඳින්වීමට යොදා ගන්නවා.
අප කුඩා කල ඔවුන් දෙදෙනා හැදින්වීමට මඤ්ඤා හෝ මංඤම්මා සහ පඤ්ඤා යන වදන්ද යොදා ගනු ලැබුවා.
Godmother සහ Godfather යන වදන් සිංහලට හැරෙද්දී ඥාන මව සහ ඥාණ පියා බවට පත්ව ඇත්තේ දරුවාගේ අධ්‍යාපනය සහ අධ්‍යාත්මික ගුණ වගාව තුලින් නැණ පැහැදවීමේ වගකීම ඔවුනට පැවරෙන නිසා වන්නට ඇති.



