Sunday, March 11, 2018

සමාජ ජාලා උන්මත්තකයින් මර්ධනය කරනු!

මහනුවර වෙලා ගත් ජාතිවාදී ගිනිදැල් මේ වන විට මර්ධනය වී ඇත.  නමුදු දැනටද ගිනි පුපුරු අළු යට සැඟව පවතියි. වසර ගණනාවක් මුළුල්ලේ ජාතීන් අතර සැක බිය අවිශ්වාසය රෝපණය කරවීම මේ තත්වයට හේතුවය.


යුද්ධය අවසාන වීමත් සමග ඇතිවූ සාමකාමී දේශය නැවතත් අනාරක්ෂිත ලේබලය යටතට වැටී ඇත. මෙරටට සංචාරකයන් පැමිණෙන රටවල් කිහිපයක් සිය රට වැසියනට අනතුරු ඇඟවීම සංචාර අවලංගු වීමට හේතු සාධක බවට පත්ව ඇත. එය අපගේ ආර්ථිකයට මාරු පහරකි.

රට පුරා පැතිරීමට ගිය විනාශය පාලනය කිරීම සඳහා රජය මගින් සමාජ ජාලා තහනමක් පැනවීම විශාල බලපෑමක් ඇති කළේය.  

සංවිධානාත්මක පිරිසකගේ උසි ගැන්වීම් තුලින් ජාතීන් අතර සුහදතාවය පලුදු කිරීම පසුගිය සමයේදී සමාජ ජාලා තුල (විශේෂයෙන් ෆේස්බුක්) බෙහෙවින් දක්නට ලැබිණ. අසල්වැසියාට, අන්‍ය ජාතිකයාට විරුද්ධව වෛරය පැතිරවීම මුළුමනින්ම පාහේ ෆේස් බුක් අඩවිය හරහා සිදු කෙරින. ජාතිවාදී  වෛරී ප්‍රකාශ ප්‍රවර්ධනය කරනා ෆේස්බුක් ගිණුම් සහ පිටු සිය ගණනකි. ඒවායේ සාමාජිකයන් දසසහස් ගණනක් වෙති. දිනපතා වෛරී අදහස් අඩංගු ලිපි චායාරුප සහ බැනර් එම ගිණුම් සහ පිටු තුලින් එළිදැක්වෙන අතර තරුණ මොළ සෝදමින් ජාතිවාදීන් බිහිකරති. 

ඔවුනට විරුද්ධව අදහස් දක්වන අයට ලැබෙනා ප්‍රතිචාරය සදාචාරාත්මක සීමාවට බොහෝ සෙයින් ඈතය. විරුද්ධ මත දරන්නාගේ අම්මා, ආච්චි, මිත්තනිය පමණක් නොව  පරම්පරා විස්සකට තිහකට එපිට මව් පාර්ශවය ගැන සවිතරාත්මක කරුණු කාරනා දැනගත හැක. බුදු දහම සුරැකීම ගැන කතා කරන්නේ අමු තිත්ත කුනුහරුපයෙනි. චීවර ධාරීන් ලෙසින් පෙනී සිටින පුද්ගලයන් පවා එලෙස හැසිරෙති. සමහර විට ඒවා ව්‍යාජ ප්‍රෝෆයිල වන්නටද පුළුවන. 

වෛරය පතුරුවන මෙම පිටු අනිවාර්යයෙන්ම අයුතු ජනරාශි ගහනයට වැටෙයි. 

මෙම තත්වය පාලනය කිරීම සඳහා රජය මෙන්ම ෆේස්බුක් පරිපාලනයද පියවර ගත යුතුය. 

ජාතිවාදී වර්ගවාදී, ආගම්වාදී සහ වෙනත් ගෝත්‍රික ගති ලක්ෂණ පෙන්නුම් කරනා ප්‍රෝෆයිල ගැන ෆේස් බුක් වෙත රිපෝට් කිරීම සමාජ ජාල ක්‍රියාකාරීන්ගේ යුතුකම වන්නේය.

එයට අමතරව අයුතු ජනරාශි ගණයට වැටෙනා ලේ පිපාසිත පොස්ට් සම්බන්ධව සහ ජනතාව කුපිත කරවනා ආකාරයේ ලිපි සහ යූ ටියුබ් වීඩියෝ සම්බන්ධව පැමිණිලි කිරීමට ක්‍රමවේදයක් සැකසීම රජය පියවර ගත යුතුය.

අනවසර කල්ලිගසීම් සහ අයුතු ජනරාශි සඳහා පණිවුඩ හුවමාරු කරනා වට්ස් ඇප්, මැසෙන්ජර් සහ වයිබර් ගෘප්  සමග සම්බන්ධ වන සියලු දෙනාට නීතිමය දඬුවම් ලබා දිය යුතුය.

ප.ලි. කෙසේ වෙතත් සිංහල බ්ලොග් අවකාශය ජාතිවාදී උන්මත්තක්යින්ගේ ග්‍රහණයට හසුව නැති බව පැහැදිලිය. ජාතිවාදී බ්ලොග් අඩවි සිය සින්ඩිකේටර තුලට වැද්ද නොගන්නා සින්ඩිකේටර ඇඩ්මින් වරුනට එහි ගෞරවය හිමි විය යුතුය.

4 comments:

  1. ජාතිවාදය අවුස්සන ප්‍රෝපයිල්, පේජ් රිපෝට් කරපුවාම ඉක්මනින් බ්ලොක් කරන ක්‍රමයක් හදාගන්න එක තමයි කරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. එව්වා කරන එවුන් කවුද කියල හොයා ගන්න ක්‍රමයක් හදන්නත් ඕන.

      Delete
  2. ප්‍රසන්න මහතා කරන ජාතිවාදි පේජය වහ වහා වහා දමව්..

    ReplyDelete
  3. මේවා නියාමනය වීම අනිවාර්යයෙන්ම විය යුතුය. නමුත් ඒ ගැන අදහස් පළ කළ විට පොලු උස්සන් එන පිරිස වැඩිය.

    ReplyDelete