Friday, March 25, 2016

ගීතය සතු බලය - United Breaks Guitars



ඇමෙරිකානු ගායකයකු මෙන්ම ගීත රචකයකු වන ඩේවිඩ් කැරොල්, නොවා ස්කොටියාහි හෙලිෆැක්ස් සිට නෙබස්කාහි ඔමහා දක්වා ගුවන් ගමනක යෙදුනේ තමාගේ සංගීත කණ්ඩායමේ සාමාජිකයන්ද කැටුවය. ඔවුන් චිකාගෝහි ඔහෙයර් ගුවන් තොටුපලේදී යානයෙන් බැසීමට සුදානම් වනවිට කැරොල් ගේ පිටුපස සිටි කණ්ඩායම් සාමාජිකයකු “දෙවියනි ඔවුන් අපේ ගිටාර් විසි කරනවා’’ යැයි උස් හඬින් පවසනු ඇසී පිටත බලන විට දැක ඇත්තේ ගුවන් භාණ්ඩ හසුරුවන සේවකයන් ගිටාර අතින් අතට විසිකරමින් භාණ්ඩ ගොඩබානා ආකාරයයි.

මෙලෙස සිදුකල  වගකීම් විරහිත ක්‍රියාව නිසා කරෝල්ගේ ඩොලර් 3500ක් වටිනා ටේලර් ගිටාරයහි ඉහල ගෙල කොටස (Neck) කැඩී වෙන් වුනා.  

කැරොල් විසින් මාස නවයක් පුරා වන්දි ඉල්ලුවත් යානය අයත් යුනයිටඩ් එයාර් සමාගම ඔහුට පවසා ඇත්තේ  කැරොල් විසින් පැය විසිහතරක් ඇතුලත පැමිණිල්ලක් දමා නොමැති නිසා වන්දි ගෙවීමට නොහැකි බවය.
දුරකථන ඇමතුම් සහ ඊ මේල් පණිවුඩ රාශියකට පසුව අවසානයේදී කැරොල් විසින් අවම වශයෙන් ගිටාරය අලුත් වැඩියාවට වියදම් වූ මුදල වන ඩොලර්  1200ක් වෙනුවට එම මුදලට සමාන  වටිනා කමකින් යුත්  ගුවන් ගමන් වාර වවුචර් පත් හෝ ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා. එයටද යුනයිටඩ් එයා සමාගමේ පිළිතුර වී ඇත්තේ නැත යන්නයි..

ගීත රචකයකුට නැතහොත් ගායකයකුට ගුවන් සමාගමක් වැනි විශාල ව්‍යාපාරික ආයතනයක් සමග හැපෙන්නට පුලුවන්ද? අධිකරණයට යා හැකිද?

නමුත් කැරොල් විසින් යුනයිටඩ් එයාර් සමාගමට එරෙහිව යොදා ගත්තේ අධිකරණ ක්‍රියා මාර්ගය නොවේ.
ඔහු යුනයිටඩ් එයාර් සමාගමට එරෙහිව “United Breaks Guitars.” නමින් ගීතයක් නිර්මාණය කර එහි මියුසික් වීඩියෝව අන්තර්ජාලයට එක කළා. 

වීඩියෝව අන්තර්ජාලයට එක්කළ 2009 ජූලි 6 වන දින එය 150,000 ක් නරඹා තිබුනා. දින තුනක කාලයකදී 500,000 ක නැරඹුම් ප්‍රමානයක් දක්වා වැඩිවී තිබු වීඩියෝව අගෝස්තු මස මැද වනවිට මිලියනයක ප්‍රමාණයක් නරඹා තිබුනා.

වීඩියෝව අවුරුදු එකහමාරකදී මිලියන දහයක් නරඹා තිබු අතර මේ වනවිට මිලියන පහළොවක ප්‍රමාණයක් නරඹා තිබෙනවා.

මෙම ගීතයට පසුව එම සිද්ධියම අළලා තවත් ගීත දෙකක් ද United Breaks Guitars 2  සහ United Breaks Guitars 3 ලෙසින් අන්තර්ජාලයට එක කෙරුනා. අන්තර්ජාලය තුල ගීතය ජනප්‍රිය වීමෙන් පසුව මෙම සිද්ධියට සම්භන්දව විද්යුත් නාලිකා සහ පුවත් පත් සම්මුඛසාකච්චා 200ක් පමණ කරෝල්ගෙන් ලබාගෙන තිබෙනවා.

කැරොල් එලෙස ජනප්‍රිය වෙද්දී යුනයිටඩ් එයාර් සමාගමට සුවිසල් අලාභයක් සිදු වුනා. එහි කොටස් වෙළෙඳපල වටිනාකම ඩොලර් මිලියන 180 ( රුපියල් බිලියන 26) කින් කඩා වැටුනා. එම මුදල සමාගමේ වටිනා කමින් සියයට 10 පමණ වෙනවා. මේ මුදල කෙතරම් විශාලද කිවහොත් කාමර 500කින් යුතු තරු පහේ හෝටල් තුනක් සැදීමට අවශ්‍ය ආයෝජනයට සමානයි. එම මුදලින්  කැරොල් හට ටේලර් ගිටාර 51,000 ක් මිලදී ගෙන දීමට හැකියාව තිබෙනවා.

5 comments:

  1. ඒ කියන්නේ ශංග්රිලා හෝටලයේ වටිනාකම ටේලර් ගිටාර් 17000 ද? හෆොයි.. කැරොල් විසින් එක ගීතයකින් ගුවන් සමාගමක් කුරෝලු කර දමන ලදී.. පට්ට රිප්ලයි එක.

    ReplyDelete
    Replies
    1. එක තමයි ගීතයේ සහ සමාජ ජාල වල බලය.

      Delete
  2. ඕක කරන අපේ විදිය
    මුලිම්ම: ගොසිප් සයිට්වල හැකි ඉක්මනින් පල කරනවා
    දෙවනුව: මාධ්‍ය හමුවක් පවත්වලා 'අපක්ෂපාත' පරීක්ෂණයක් ඉල්ලනවා
    තෙවනුව: වර්ජනයක් කරනවා කියල ( දොස්තරවරු උනත් කමක් නැහැ සම්බන්ද කරගන්නවා) ආයෙමත් නිවේදනයක් නිකුත් කරනවා
    සිව් වනුව: රැස්වීම් තිය තියා ගමක් ගමක් ගානේ යනවා
    පස්වනුව: විරෝධතා රැළියක් සඳහා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා
    සය වනුව: මහා විරෝධතා රැලිය
    සත් වනුව: කවුරු හරි හිරේ ඇතුලට 'යනවා'
    අටවනුව: ඌ බලන්න හැම සතියෙම යනවා, දොර ලඟදි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා
    නව වනුව: ඉහත ඕනෑම දෙයක් , ආයෙමත් කරනවා
    දහවනුව : මේ ඔක්කොම ආණ්ඩුව හින්දා හින්දා ආණ්ඩුව පෙරලන්න විපක්ෂයට සහය දෙනවා

    තව ඇත.. ලියන්නට කම්මැලියි

    ReplyDelete
    Replies
    1. ඔක්කොම කරලා වැඩේ වෙන්නේ නැතිකොට කුණුහරුප වැලක් බුකියට අතහරිනවා.

      Delete
  3. Lastly united paid for the guitar and asked that singer permission to include that song for there internal customer service training progeam

    ReplyDelete