Tuesday, August 29, 2017

මාළු කපන්නට රුපියල් එක්ලක්ෂ අනූ හත් දාහක්?

මේ ඡායාරුපයේ  දැක්වෙනුයේ ජාතික පුවත්පතක පළකරනා ලද  දැන්වීමකි. මෙම දැන්වීමට අනුව මත්ස්‍ය නිෂ්පාදන කර්මාන්තයේ ඇසුරුම් කටයුතු සඳහා වන රැකියාවක වැටුප රුපියල් එක්ලක්ෂ අනුහත් දහසකි (රු.1,97,000). අධ්‍යාපන සුදුසුකම අට වසර සමත් වීම පමණි. මෙය නැවක රැකියාවක් බව CDC සහතිකය එනම් නාවිකයන් සඳහා වන අඛණ්ඩ මුදාහැරීමේ සහතිකය ඇති හෝ නැති අයට අයදුම් කළහැකි බව පවසා ව්‍යංගයෙන් පවසා ඇත. නිසි අධ්‍යාපනයක් නොමැති ජවයෙන් යුතු තරුණ පිරිස් වෙත මේ ගෙවන්නේයැයි පවසන වැටුප අතිශය ආකර්ශණීය එකකි.

මේ දැන්වීම දෙස හොඳින් බලන විට දැන්වීම් කරුවාගේ ලිපිනයක් නොමැති බව පෙනී යයි. පුවත්පත භාරයේ ලිපි යොමු කිරීමට අංකයක් හෝ තැපැල් පෙට්ටි අංකයක් නොමැත. ස්ථාවර දුරකථන අංකයක් හෝ ෆැක්ස් අංකයක් ද නැත. ඇත්තේ  මොබයිල් දුරකථන අංකයක් පමණි. 

මෙම රැකියා ඇබෑර්තුව සම්බන්ධව සැක පහල වුවද එය ව්‍යාජ දැන්වීමක් හෝ වංචනික දැන්වීමක් යයි කීමට තවමත් සාක්ෂි නොමැත. 

නමුත් මේ හා සමාන වෙනත් දැන්වීමක් සම්බන්ධව බ්ලොග් කරුගේ අත්දැකීමක් හෙළි කිරීම මෙම දැන්වීම වංචාවක් වන්නේ නම් පරිස්සම් වීම සඳහා ලියා තබමි.

මීට වසර තුනකට පමණ පෙර මේ හා සමාන දැන්වීමක් මෙම දැන්වීම පළකර ඇතියි කියවෙන පුවත් පතෙහිම පළකර තිබිණ. අදාළ පුවත්පත ඕනෑම කුණුගොඩක් පිලිබඳ දැන්වීම් පලකිරීම සඳහා භාර ගන්නා ජාතික යයි කියා ගන්නා එකකි. එය සාත්ස්තර කරුවන්, කට්ටඩින්, හදි හූනියම් කරුවන්, වශී ගුරුකම් කරුවන් වැනි රැවටිලි කරුවන් ගේ පාරාදීසයකි. රැවටිලි කරුවන්ගේ දැන්වීම් පලකිරීම එහි ප්‍රධාන ආදායම් මාර්ගයක් වන බවට විවේචන පවතියි.

එම පුවත් පතෙහි මීට පෙර පල කරනා ලද දැන්වීමක ඇලස්කාවේ මාළු ඇසුරුම් කර්මාන්ත ශාලාවක මාළු කැපීම සඳහා වන ඇබෑර්තු රැසක් ඇති බව පල කර තිබිණ. වැටුප රුපියල් 1,75,000/-කි. මේ දැන්වීම දුටු  මාගේ  බිරිඳගේ මිතුරියක් එය සම්බන්ධව උනන්දු වී තිබුනේ ඇයගේ සැමියාට වැඩි වැටුපක් සහිත විදේශ රැකියාවක් සොයමින් සිටි අවධියකදීය. ඇය මේ දැන්වීම මගේ බිරිඳට පෙන්වූ වහාම මා හට දුරකථන ඇමතුමක් දුන් මගේ බිරිඳ මේ ගැන සොයා බලනා ලෙස දන්වා සිටියාය. මගේ පළමු ප්‍රශ්නය වුයේ ඒජන්සි කරුවා ගේ ගාස්තුව කොපමණද යන්නය.ඒ වන විටත් මිතුරියන් දෙදෙනා අදාළ අංකයට කථා කර අවසන් බව දැන ගැනීමට හැකි වුයේ කිසිදු ගාස්තුවක් ය නොකරනා බව කීවේ යයි මගේ බිරිඳ පැවසීම නිසාය. එවිට මා කීවේ මෙතරම් විශාල වැටුපකට විදේශ රැකියාවක් ලබා දෙන්නේ නම් ඒජන්සි කරුවාගේ ගාස්තුව අවම වශයෙන් රුපියල් ලක්ෂ 20 කට වඩා වැඩි වනු ඇති බවය. "කවුරු හරි උදව්වක් ඉල්ලුවාම ඒක කරලා දෙන්නේ නැතිව පණ්ඩිත කම් කතා කරනවා" යනුවෙන් දුර කථනයේ අනෙක් පසින් තැටියක් වාදනය විය. 

මිතුරිය සහ අගේ සැමියා අදාළ රැකියාව සම්බන්ධව මරදානේ උත්සව  ශාලාවක, ඒජන්සිකරුවා විසින් පවත්වන ලද සම්මන්ත්‍රණයකට සහභාගී වූ බව දින දෙකකට පසුව දැන ගැනීමට ලැබිණ. සම්මන්ත්‍රණයට 800ක පිරිසක් සහභාගී වී තිබිණ. එහිදී කියා තිබුනේ ඊළඟ සතියේ විදේශ ගත වීමට සුදානම් වන ලෙසත්, වීසා සඳහා අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ වාර්ථාව මරදානේ වෛද්‍ය මධ්‍යස්ථානයකින් ලබා ගන්නා ලෙසත්ය. වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව රුපියල් දහතුන් දහසකි. මෙය වංචාවක් බව මා කෙතෙක් කීවද රුපියල් එක්ලක්ෂ හැත්තෑ පන් දහසක වැටුප සැමගේ ඇස් ගිනිකණ වට්ටවා තිබිණ. 

රුපියල් දහතුන් දහස ගෙවා වෛද්‍ය පරීක්ෂණ වාර්ථාව ලබා ගැනිණ. එදින සිට දින දෙකක් ගතවෙන තෙක් දුර කථනය නාද වුවද පිළිතුරු නොවිණ. දින දෙක අවසානයේ දුරකථන ඇමතුමට පිළිතුරු ලැබිණ. ඒ ඒජන්සි කරුවාගෙන් නොව දුරකථන සමාගමෙනි. "මෙම දුරකථනය භාවිතයේ නොමැත" යන්න ලැබුණ පිළිතුරය.

අනතුරුව වසරකට පමණ පසුව නෙත් එෆ් එම් බැලුම්ගල කණ්ඩායම සහ පොලීසිය එක්ව ඒජන්සිකරුවාව අත්අඩංගුවට ගත් බව වාර්ථා විය. නමුත් නඩු පැවරූ බව දැනගන්නට නැත. ලබා ගන්නා ලද මුදලට වෛද්‍ය පරීක්ෂණ වාර්ථාව ලබා දී ඇති නිසා සමහර විට නඩු නිමිත්තක් නැතිද යන්න නොදනිමු. කෙසේ හෝ ඒජන්සි කරුවා රුපියල් ලක්ෂ පනහක පමණ මුදලක් අහිංසකයින් රවටා වංචා කර ඇති බව බැලුම් ගලෙහි කියවින.

15 comments:

  1. නැව් වල රැකියා වලට ගිහිල්ලා ලොකු වැටුපක් ගන්නා හැටිත් නැව් ගැන සුරංගනා ලෝක පෙන්නන නාවික පාඨමාලා වන් කරන ආයතනවලින් සල්ලි අරන් CDC දීලා කොල්ලන්ව අමාරුවේ දානවා. සහතිකය එක්ක පාරට වැටෙන කොල්ලන්ට නැව් සමාගම් වලින් මීට පෙර නැව් වල ගිහිල්ලා එක්ස්පිරියන්ස් නෑ කියලා ගන්නේ නෑ. අන්තිමේදි නැව් වලට යවනවා කියන පත්තර වල දැන්විමි දමන ඔය වාගේ හොර එජන්සිකාරයන්ට රැවටෙනවා. මම එපා කියද්දි ඔයවාගේ එජන්සියකට සල්ලි ගෙවපු මගේ ඥාතියෙක්ට අවුරුද්දකට වඩා කාලයක් පස්සෙන් ගිහිල්ලා ගත්තේ සල්ලිවලින් භාගයක් විතරයි. මෙ ලිපියෙන් කිහිපදෙනෙක් හරි දැනුවත්වෙලා රැවටිලිකාරයන්ට අහුවෙන එක නැවතුනොත් ලොකු පිනක්.

    ReplyDelete
  2. පුවත් පත් පමණක් නොව වෙනත් මාධ්‍ය මගිනුත් ව්‍යාජ දැන්වීම් වලින් මිනිසුන් මුලා කිරිම කාලයක සිට පැවත එනමුත් මේ විදිහේ ලිපියක් දැක්කෙ අද! ලිව්වාට ඔබට තුතිි

    ReplyDelete
  3. මම දන්න කෙනෙකුත් ඔය වගේ සයිප්‍ර්ස් යන්ඩ ගෙහින් ආතරමන් වුනා කොහෙද ඉතින් අපේ රැව්ල නෑ නෙ

    ReplyDelete
  4. මෙව්වා දැනුවත් කිීරීම වටිනවා.. මාර ක්‍රම නේ බං සල්ලි හොයන් නතියෙන්නේ.. හැක්

    ReplyDelete
    Replies
    1. උත්සාහ කරන්න

      Delete
    2. මාළු නැත්තං බෙල්ල හරි කපහං බං.

      Delete
    3. පුරුදු වෙන්න ප්‍රා ගේ පිහියට අහු නොවී ඉන්න. ඒක පට්ට

      Delete
  5. ඒ කියන්නේ දැන් මේ ක්‍රමේ මිනිස්සු දන්නවා. වෙනත් ක්‍රම අත්හදා බලන්න හොරුන්ට යෝජනා කරනවා. ඒ වෙනුවෙන් රාජ්‍ය භාන්ඩාගාරයෙන් මිලියන පහක්වත් වෙන් කරන්න මම යෝජනා කරනවා. හැක්.

    ReplyDelete
  6. පත්තරේ උනත් යන හැමදේම විශ්වාස කරන්න හොඳ නැහැ.සාමාජ මාධ්‍යවල මෙහෙම දෙයක් ගියොත් කතා කරන්න පුළුවන්.එත් පත්තරවල එහෙම සංවාද හැදෙන්නේ නැහැනේ.

    ReplyDelete
  7. පත්තර කාරයොත් මොකක් හරි භාරගන්නකොට හොයල බලල භාරගන්න ඕන. කොහොම උනත් මේ දැන්වීම බුකියෙ ගිය හින්ද මේ ගැන ගොඩක් කතාබහක් ඇති උනා මාත් දැක්ක.
    මේ ගැන දැනුවත් කිරීම වටින වැඩක්.

    ReplyDelete
    Replies
    1. අපිට ඉතිං කොහේද බුකි ප්‍රාඥත්වයක්..

      Delete
    2. තිබ්බත් වැඩක් නෑ බං. උඹට සී සික් එක නේද? නැව්වල යන්න බෑනෙ.

      Delete
  8. වටිනා පෝස්ටුවක්

    ReplyDelete