Saturday, September 2, 2017

මොබයිල් දුරකථන වංචාවට ඔබත් හසුවෙලාද?

අසරණ මිනිසුන් මුලා කොට මඩිය තර කරගන්නා වංචා කරුවන් කොතෙකුත් සිටිති. ඔවුන් වංචා සඳහා අනුගමනය කරනා ක්‍රමවේද විවිධාකාරය. බොහෝ වංචා කරුවන් ඉතාමත් සුළු කාලෙකින් හෙළිවී සමාජයේ කළු චරිත බවට පත් වෙති. ඒ අතරම වංචා කරුවනට ඍජුව හෝ වක්‍රාකාරව සහය දී තමන්ටද කොටසක් කඩා ගන්නා තවත් පිරිසක් වෙති. මොවුන් සමාජය ඉදිරියේ සුදු පිරුවට පෙරවාගෙන සිටිනා සමාජයේ සම්මත වැදගත් පිරිසකි. කට්ටඩින්, හූනියම් කරුවන්, වශී කරුවන්, සාස්තර කරුවන්, ස්ත්‍රී රෝග සහ ලිංගික දුබලතා වලට නොවරදින ප්‍රතිකාර ලබාදෙන හොර වෙදුන් වෙනුවෙන් මුදලට දැන්වීම් සහ ලිපි පළකර සිය ආත්මය පාවාදෙන මාධ්‍යවේදීන් සහ පුවත් පත් හිමිකරුවන් සුදු චරිත වංචා කරුවන් අතරින් ප්‍රධානය. 

තාක්ෂණ දියුණුව සමගම වංචා කරුවන් සමග අත්වැල් බැඳගෙන සිටිනා නවතම පිරිස මොබයිල් දුරකථන සමාගම්ය. 

මෙම ලිපියේ ඉහලින් ඇත්තේ එවන් වංචාවක් සඳහා මිනිසුන් ඇදගනීමට ජාතික පුවත් පතක පළකරනා ලද දැන්වීමකි. එහි ඇත්තේ නිවසේ සිට අමතර ආදායමක් ඉපයීමට ක්‍රමය කියාදීම සඳහා අනුගමනය කලයුතු ක්‍රමවේදය යි. එම දැන්වීමට අනුව ක්‍රමවේදය දැනගැනීමට ඉලක්කම් පහකින් යුතු අංකයකට කෙටි පණිවිඩයක් යවා ලියාපදිංචි විය යුතුය. ලියාපදිංචි වන ආයතනයේ නමක්, ලිපිනයක් හෝ දුරකථන අංකයක් දක්වා නැත. දුරකථන සමාගම් දෙකක පාරිභෝගිකයනට පමණක් මෙම සේවාව ලබා දෙන බවද එම දැන්වීමේ සඳහන් වෙයි අවසානයේ අදාළ ගාස්තුවද සඳහන් කොට ඇත. නමුත් දැන්වීමේ පහළින්ම ඇති එම කොටස කියවීමට පියවි ඇසින් නුපුළුවන. 

මේ දැන්වීම දකිනා කවුරුන් හෝ අදාළ අංකයට කෙටි පණිවිඩය යවා ලියාපදිංචි වුයේ නම් මසකට රුපියල් 30 ක මුදලක් සහ එයට අදාළ බදු මුදල දුරකථන අංකයේ බිලට එකතු වෙයි. ලියා පදිංචි වන විට එය අවලංගු කිරීමට භාවිතා කලයුතු කෙටි පණිවිඩ අංකය ලබා දෙන බවද කිව යුතුය. එම අංකය නැතිවුයේ නම් ලියා පදිංචිය අවලංගු කිරීම සඳහා දුරකථන සමාගමේ වෙබ් අඩවියට ලොග් වීම හෝ පාර්භෝගික සේවා මධ්‍යස්ථානය ඇමතිය යුතුය. නැතහොත් දුරකථන සමාගමේ කාර්යාලයකට යා යුතුය. 

දුරකථන සමාගමේ වෙබ් අඩවියට ගොස් ලියාපදිංචිය අවලංගු කිරීම තරමක තාක්ෂණික ක්‍රියාවලියකි.  දුරකථන සමාගමේ පාර්භෝගික සේවා අංශයට කථාකර පාර්භෝගික සේවා නිලධාරියකු අල්ලාගැනීම සමහර විට විනාඩි පහක් පමණ ගතවන කාරියකි. සම්බන්ධ වුවද බොහෝ විට සිදු වන්නේ දුරකථනය විසන්ධි වීමය. 

ලියාපදිංචි වූ අයකුට වරින් වර අදාළ සේවාව පිලිබඳ කෙටි පණිවිඩ ලැබෙයි. ඉන් සමහරක තොරතුරු දන ගැනීම සඳහා පිවිසිය යුතු වෙබ් අඩවියට පිවිසීමට කේතය ලැබෙයි. කෙටි පණිවිඩ කිහිපයක් ලැබීමෙන් පසුව කිසිදු විස්තරයක් ලැබෙන්නේ නැත. නමුත් අදාළ ලියාපදිංචිය අවලංගු කරනා තෙක්ම මසකට රුපියල් 30ක් සහ බදු මුදල අදාළ දුරකථන අංකයෙන් අය වෙයි. මෙලෙස අයකරගන්නා මුදල අදාළ වංචා කරුවා සහ දුරකථන සමාගම අතර කුමන ප්‍රතිශතයකින් බෙදී යන්නේද අප නොදනිමු. නමුත් මුදල අය වන්නේ දුරකථන සමාගම හරහාය. 

වංචා කරුවන් විසින් මෙවන් පුවත් පත් දැන්වීම් පලකිරීමට අමතරව දුරකථන සමාගම් වලට මුදල් ගෙවා අලෙවි ප්‍රවර්ධන ඇමතුම් මුවාවෙන් මෙවන් වංචාකාරී සේවාවන් සඳහා අදාළ සමාගමේ පාරිභෝගිකයන් ලියාපදිංචි කරවයි. සමහර දුරකථන සමාගම් වල ප්‍රවර්ධන ඇමතුම් වලට එක අංකයක් එබීමෙන් පමණක් ලියාපදිංචි විය හැක. මෑතකදී මා හටද ඉන්දික කොඩිතුවක්කු ගෙන් දිනපතා පලාපල දැනගැනීම සඳහා මෙවන් වංචාකාරී සේවාවකට ලියාපදිංචි වන ලෙස පාර්භෝගික සේවා ඇමතුමක් ලැබිණ. 

මේ ලිපිය කියවන ඔබද නොදැනුවත්වම එවන් වංචා වලට හසුවී වසර ගණනාවක් තිස්සේ වංචා කරුවන් සහ දුරකථන සමාගම් පොහොසත් කරමින් ඉන්නවා වන්නට පුළුවන. එබැවින් වහාම ඔබගේ දුරකථන සමාගමේ පාරිභෝගික සේවා අංශය අමතා එවන් වංචනික සේවා වලට ලියාපදිංචි වී ඇතිදැයි සොයා බලා ලියාපදිංචිවූ වංචනික සේවාවන් ඇති නම් ඒවා අවලංගු කරදමා ඔබගේ වටිනා මුදල් ආරක්ෂා කර ගන්න.

Tuesday, August 29, 2017

මාළු කපන්නට රුපියල් එක්ලක්ෂ අනූ හත් දාහක්?

මේ ඡායාරුපයේ  දැක්වෙනුයේ ජාතික පුවත්පතක පළකරනා ලද  දැන්වීමකි. මෙම දැන්වීමට අනුව මත්ස්‍ය නිෂ්පාදන කර්මාන්තයේ ඇසුරුම් කටයුතු සඳහා වන රැකියාවක වැටුප රුපියල් එක්ලක්ෂ අනුහත් දහසකි (රු.1,97,000). අධ්‍යාපන සුදුසුකම අට වසර සමත් වීම පමණි. මෙය නැවක රැකියාවක් බව CDC සහතිකය එනම් නාවිකයන් සඳහා වන අඛණ්ඩ මුදාහැරීමේ සහතිකය ඇති හෝ නැති අයට අයදුම් කළහැකි බව පවසා ව්‍යංගයෙන් පවසා ඇත. නිසි අධ්‍යාපනයක් නොමැති ජවයෙන් යුතු තරුණ පිරිස් වෙත මේ ගෙවන්නේයැයි පවසන වැටුප අතිශය ආකර්ශණීය එකකි.

මේ දැන්වීම දෙස හොඳින් බලන විට දැන්වීම් කරුවාගේ ලිපිනයක් නොමැති බව පෙනී යයි. පුවත්පත භාරයේ ලිපි යොමු කිරීමට අංකයක් හෝ තැපැල් පෙට්ටි අංකයක් නොමැත. ස්ථාවර දුරකථන අංකයක් හෝ ෆැක්ස් අංකයක් ද නැත. ඇත්තේ  මොබයිල් දුරකථන අංකයක් පමණි. 

මෙම රැකියා ඇබෑර්තුව සම්බන්ධව සැක පහල වුවද එය ව්‍යාජ දැන්වීමක් හෝ වංචනික දැන්වීමක් යයි කීමට තවමත් සාක්ෂි නොමැත. 

නමුත් මේ හා සමාන වෙනත් දැන්වීමක් සම්බන්ධව බ්ලොග් කරුගේ අත්දැකීමක් හෙළි කිරීම මෙම දැන්වීම වංචාවක් වන්නේ නම් පරිස්සම් වීම සඳහා ලියා තබමි.

මීට වසර තුනකට පමණ පෙර මේ හා සමාන දැන්වීමක් මෙම දැන්වීම පළකර ඇතියි කියවෙන පුවත් පතෙහිම පළකර තිබිණ. අදාළ පුවත්පත ඕනෑම කුණුගොඩක් පිලිබඳ දැන්වීම් පලකිරීම සඳහා භාර ගන්නා ජාතික යයි කියා ගන්නා එකකි. එය සාත්ස්තර කරුවන්, කට්ටඩින්, හදි හූනියම් කරුවන්, වශී ගුරුකම් කරුවන් වැනි රැවටිලි කරුවන් ගේ පාරාදීසයකි. රැවටිලි කරුවන්ගේ දැන්වීම් පලකිරීම එහි ප්‍රධාන ආදායම් මාර්ගයක් වන බවට විවේචන පවතියි.

එම පුවත් පතෙහි මීට පෙර පල කරනා ලද දැන්වීමක ඇලස්කාවේ මාළු ඇසුරුම් කර්මාන්ත ශාලාවක මාළු කැපීම සඳහා වන ඇබෑර්තු රැසක් ඇති බව පල කර තිබිණ. වැටුප රුපියල් 1,75,000/-කි. මේ දැන්වීම දුටු  මාගේ  බිරිඳගේ මිතුරියක් එය සම්බන්ධව උනන්දු වී තිබුනේ ඇයගේ සැමියාට වැඩි වැටුපක් සහිත විදේශ රැකියාවක් සොයමින් සිටි අවධියකදීය. ඇය මේ දැන්වීම මගේ බිරිඳට පෙන්වූ වහාම මා හට දුරකථන ඇමතුමක් දුන් මගේ බිරිඳ මේ ගැන සොයා බලනා ලෙස දන්වා සිටියාය. මගේ පළමු ප්‍රශ්නය වුයේ ඒජන්සි කරුවා ගේ ගාස්තුව කොපමණද යන්නය.ඒ වන විටත් මිතුරියන් දෙදෙනා අදාළ අංකයට කථා කර අවසන් බව දැන ගැනීමට හැකි වුයේ කිසිදු ගාස්තුවක් ය නොකරනා බව කීවේ යයි මගේ බිරිඳ පැවසීම නිසාය. එවිට මා කීවේ මෙතරම් විශාල වැටුපකට විදේශ රැකියාවක් ලබා දෙන්නේ නම් ඒජන්සි කරුවාගේ ගාස්තුව අවම වශයෙන් රුපියල් ලක්ෂ 20 කට වඩා වැඩි වනු ඇති බවය. "කවුරු හරි උදව්වක් ඉල්ලුවාම ඒක කරලා දෙන්නේ නැතිව පණ්ඩිත කම් කතා කරනවා" යනුවෙන් දුර කථනයේ අනෙක් පසින් තැටියක් වාදනය විය. 

මිතුරිය සහ අගේ සැමියා අදාළ රැකියාව සම්බන්ධව මරදානේ උත්සව  ශාලාවක, ඒජන්සිකරුවා විසින් පවත්වන ලද සම්මන්ත්‍රණයකට සහභාගී වූ බව දින දෙකකට පසුව දැන ගැනීමට ලැබිණ. සම්මන්ත්‍රණයට 800ක පිරිසක් සහභාගී වී තිබිණ. එහිදී කියා තිබුනේ ඊළඟ සතියේ විදේශ ගත වීමට සුදානම් වන ලෙසත්, වීසා සඳහා අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ වාර්ථාව මරදානේ වෛද්‍ය මධ්‍යස්ථානයකින් ලබා ගන්නා ලෙසත්ය. වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව රුපියල් දහතුන් දහසකි. මෙය වංචාවක් බව මා කෙතෙක් කීවද රුපියල් එක්ලක්ෂ හැත්තෑ පන් දහසක වැටුප සැමගේ ඇස් ගිනිකණ වට්ටවා තිබිණ. 

රුපියල් දහතුන් දහස ගෙවා වෛද්‍ය පරීක්ෂණ වාර්ථාව ලබා ගැනිණ. එදින සිට දින දෙකක් ගතවෙන තෙක් දුර කථනය නාද වුවද පිළිතුරු නොවිණ. දින දෙක අවසානයේ දුරකථන ඇමතුමට පිළිතුරු ලැබිණ. ඒ ඒජන්සි කරුවාගෙන් නොව දුරකථන සමාගමෙනි. "මෙම දුරකථනය භාවිතයේ නොමැත" යන්න ලැබුණ පිළිතුරය.

අනතුරුව වසරකට පමණ පසුව නෙත් එෆ් එම් බැලුම්ගල කණ්ඩායම සහ පොලීසිය එක්ව ඒජන්සිකරුවාව අත්අඩංගුවට ගත් බව වාර්ථා විය. නමුත් නඩු පැවරූ බව දැනගන්නට නැත. ලබා ගන්නා ලද මුදලට වෛද්‍ය පරීක්ෂණ වාර්ථාව ලබා දී ඇති නිසා සමහර විට නඩු නිමිත්තක් නැතිද යන්න නොදනිමු. කෙසේ හෝ ඒජන්සි කරුවා රුපියල් ලක්ෂ පනහක පමණ මුදලක් අහිංසකයින් රවටා වංචා කර ඇති බව බැලුම් ගලෙහි කියවින.

Sunday, August 27, 2017

ජපානයේ නින්ජාවරු

නින්ජා යන නම ඇසුණු සැනින්ම අප හට මතක් වන්නේ සටන් කරුවන් පිරිසකි. නමුත් ඇත්තෙන්ම නින්ජාවරු යනු ඔත්තු කරුවන් ය. නින්ජා සටන් කලාව ලෙසින් අප හඳුන්වන්නේ මෙම ඔත්තු කරුවන්ගේ ආරක්ෂාව සඳහා ප්‍රගුණ කරනු ලබනා සටන් විධික්‍රමයයි. නින්ජා සටන් ක්‍රම කලාත්මක බවකින් යුක්තය. නමුත් මාරාන්තිකය. 

නින්ජා ඔත්තුකරුවන් පාරම්පරිකවම එම වෘතියේ යෙදුනාවූ පිරිසකි. නින්ජා වරයකු වීම සඳහා පුහුණුව ළදරු වියේදීම පටන් ගනු ලබයි. නින්ජා වරුන් පවසනුයේ තම වෘතිය වේගය මත රඳා පවතින්නක් බවය. තමන් ලබා ගන්නා තොරතුරු හැකි තරම් වේගයෙන් අදාළ ස්ථාන වලට ලබා දීම ඔවුන්ගේ වගකීමය. මේ නිසා නින්ජා පුහුණුවේ පළමු අදියර වේගයෙන් ඇවිදීමේ පුහුණුව ලබා ගැනීමය. සෙනග ගැවසෙන ස්ථානයක දිව යන මිනිසකු නිතරම අනුන්ගේ අවධානයට යොමුවන නිසා ඔවුහු දිව යන තරම් වේගයෙන් ඇවිදගෙන යාමට පුහුණු වෙති.  කිරිගොට්ටක් වැනි බට පතුරු වලින් සකසන ලද හිස් වැසුමක් උදරයේ රඳවාගෙන, එය නොවැටෙන ලෙසින් ඇවිද යාම වේගවත්ව ඇවිද යාම සඳහා සිදුකරනා පුහුණුව වෙයි.

නින්ජා ඔත්තු කරුවන් අති දක්ෂ සටන් කාමීහු වෙති. ඔවුන්ගේ සටන් ආයුධ අතර කඩු ප්‍රධාන තැනක් ගන්නා නමුදු කිසිවකුට නොපෙනෙන ලෙස සඟවා යා හැකි කුඩා ආයුධ රැසක් ඔවුන් භාවිතා කරති. කෙතරම් ආයුධ තිබුනද, ඒ සියල්ලට වඩා වටිනාම අවිය මුදල් බව නින්ජා වරු පවසති. එබැවින් නිතරම  විශාල මුදල් ප්‍රමාණයක් සඟවා තබා ගැනීම සඳහා රහස් ගබඩා නින්ජා නිවෙස් වල ඇත. සමහර රහස් ගබඩා වලට පිවිසීමට නිවසේ ජනේලයක් විවෘත කර ජනේලයේ උලුවස්සෙන් කොටසක් ඉවත් කල පසුව පොලව ආවරණය කරනා ලීයක් ගැලවීම මගින් සිදු කල හැක. එම දොරටුව කිසිවකුටත් තේරුම් ගත නොහැක. එමෙන්ම සතුරන් වටකරනා ලද අවස්තාවක නිවසින් පිටව යාම සඳහා රහස් දොරටු රැසක් මේ නිවාස වල පවතියි.

නින්ජා වරු භාවිතා කරනා ආයුධ අතරින් බොහොමයක් තියුණු ලෙස  සුවිශේෂී වානේ වලින් සාදා විෂ පෙවූ මාරාන්තික ඒවා වන අතර එම ආයුධ කිසිවකු ඇස නොගැටෙන ලෙසින් සඟවා ගෙන යා හැකි ආකාරයට ආවරණ සහිතය. උදාහරණයක් ලෙසින් කිවහොත් සංගීත නාදය ඉපදවන ලෙස වාදනය කල හැකි බටනලාවල තියුණු සිහින් පිහි සඟවා ඇත. මේ බටනලා නින්ජා කාන්තාවන් නිතර භාවිතා කර ඇති ආයුධ අතරින් එකකි. බටනලාව වාදනය කරනා අතර සිය වසඟයට ගන්නා සතුරන් බටනලාව තුලින් ඉවතට ගන්නා පිහියෙන් ඝාතනය කර නැවත පිහිය බටනලාව තුල රුවාගෙන නලාව වාදනය කිරීමට ඔවුනට හැක.

සිය ඇඟිලි අතර රුවාගෙන විසිකිරීම මගින් පහරදිය හැකි තාරකා නම් වන ආයුධයෙහි නිපුන තාව  දක්ෂ නින්ජා වරයකු අනිවාර්යයෙන්ම ප්‍රගුණ කළයුත්තකි. 

මේ වනවිට නින්ජා වරුන්ගේ ඔත්තුකාර සේවය සඳහා අවශ්‍යතාවයක් නොමැත. නමුදු පාරම්පරික නින්ජා පවුල් කිහිපයක් සිය ශිල්පී ක්‍රම නැසී යාමට නොදී පවතවාගෙන යති. මේ වනවිට ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය සංචාරකයන් සඳහා නින්ජා සටන් ක්‍රම සංදර්ශන පැවැත්වීමය. සංචාරකයන් සඳහා පවත්වන මේ සංදර්ශන තුලින් ජපානය වෙත විශාල විදෙස් විනිමයක් නින්ජා වරුන් ගෙන එති.