Wednesday, May 3, 2017

අඳුරු සිර කුටියේ සිට ලියු කෘති

අඳුරු සිර කුටි තුල දුක් විඳිමින් විශ්ව සාහිත්‍යයේ නොමැකෙන සටහන් තැබූ ලේඛකයන් රැසක් සිටිති. එවන් ලේඛකයන් කිහිප දෙනෙකු පිලිබඳ සංෂිප්ත විස්තර ගෙනෙනා ලිපි කිහිපයක පළමු ලිපිය මෙසේය. 

විලියම් සිඩ්නි පෝටර් (William Sydney Porter) 1898 වසරේ මාර්තු 25 වන දින පස් වසරක සිර දඬුවමකට යටත් වුයේ මුල්‍ය වංචාවකට වැරදිකරු වීම නිසාය. සිර දඬුවම් ලැබීමට පෙර කිසිදු පොතක් ලියා නොතිබුණු ඔහු සිර ගෙදර සිටි කාලයේදී ලේඛනයට නැඹුරු විය. සිර දඬුවම් විඳින කාලයේදී ඔහු විවිධ ආරූඪ නම් වලින් කථා දාහතරක් ප්‍රකාශයට පත් කළේය. මැක්ලර්ස් සඟරාවේ (McClure's Magazine) 1899 දෙසැම්බර් කලාපයේ පළවූ "Whistling Dick's Christmas" කථාව ලියූ ආරුඪ නාමය වූ "ඕ හෙන්රි" නමින් පසු කලෙක ඔහු විශ්ව සම්භාවනාවට පත් විය. හොඳ කල්ක්‍රියාව නිසා ඔහුගේ සිර දඬුවම් කාලය වසර තුනකින් නිම කෙරිණ.

1849 වසරේ අප්‍රියල් මස 23 දින රුසියන් ජාතික පියදෝර් දොස්තොයෙවුස්කි (Fyodor Dostoyevsky) අත්අඩංගුවට පත් වුයේ විප්ලවකාරී අදහස් පැතිරවීමේ චෝදනාව මතය. සාර් ආණ්ඩුව විසින් ඔහුව සයිබීරියාවේ
ඔමස්ක් (Omsk) හි, කතොර්ගා (Katorga) සිර කඳවුර වෙත පිටුවහල් කළේය. සිර භාරයේ සිටි කාලයේදී ඔහු විසින් අපරාධය සහ දඬුවම නම් ලෝක පුජිත කෘතිය ලියුවේය. 

මයිකල් සර්වටස් ( Michael Servetus) දහසය වන ශත වර්ෂයේ ස්පාඤ්ඤයේ විසු දාර්ශනිකයෙකි. ඔහු දේවධර්මය, වෛද්‍ය විද්‍යාව, ගණිතය, තාරකා විද්‍යාව, භූගෝල විද්‍යාව, කාය විච්චේදනය ආදී ක්ෂේත්‍ර රැසක් ප්‍රවීනයෙකු විය. සර්වටස් ළදරුවන් බෞතීස්මයට තරයේ විරුද්ධ වූ අතර රෙපරමාදු ප්‍රතිසංස්කරණ වලට අනුව මුලදී කටයුතු කළේය.  නමුත් පසුව ක්‍රිස්තියානි ධර්මය පිලිබඳ වෙනත් දර්ශනවාදයක් ඉදිරපත් කිරීම නිසා පණපිටින් පුළුස්සා දමනු ලදුයේය. ටෙස් දොන් ක්වික්සෝටි නම් අමරණීය නව කථාව ඔහු ලියුවේ සිර ගතව සිටි කාලයේදීය.

අයර්ලන්ත ජාතික ඔස්කා වයිල්ඩ් (Oscar Wilde) ලේඛකයෙකු, කවියෙකු මෙන්ම සෞන්දර්යවාදියෙකුද විය. ලන්ඩන් නුවර ප්‍රසිද්ධ නාට්‍ය රචකයෙකු වූ ඔහුගේ  "රාවෙන්නා" නම් කාව්‍යය වෙනුවෙන් 1878 දී නිවින්ගේට් සම්මානය ලබා ගත්තේය. ඔස්කා වයිල්ඩ් සිර ගත කරනා ලද්දේ පුංමෛථුනය (sodomy) චෝදනාවට වැරදිකරු කරමිනි. පසුව ඔහුව ප්‍රංශයට පිටුවහල් කෙරිණ. ප්‍රංශයේ සිටියදී ඔහු විසින් "The Ballad of Reading Gaol."නම් නිර්මාණය කළේය. සිර ගෙදරදී ඔහු ලියූ වචන 50,000 කින් යුත් සිය ආදර වන්තයා වූ ඇල්ෆ්‍රඩ් ඩග්ලස්ට යැවූ දීර්ඝ ආදර හසුන වාග් විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් විමර්ශනය කළ හැකි ඉහල ගනයේ ලියවිල්ලකි. 

බ්‍රිතාන්‍යයට දුම්කොළ හඳුන්වා දෙමින් දුම් පානය පුරුදු කළේ  ශ්‍රීමත් වෝල්ටර් රැලේ (Sir Walter Raleigh) විසිනි. ඔහු ප්‍රසිද්ධ දේශ ගවේෂකයකු වන්නට ප්‍රථම මුහුදු කොල්ලකරුවකු විය. ශ්‍රීමත් වෝල්ටර් රැලේ ඇමෙරිකාවේ බ්‍රිතාන්‍ය කොලනි පිහිටුවීමේ ප්‍රමුඛයකු වූ නමුදු රාජ්‍ය ද්‍රෝහී චෝදනාවකට ලක්ව 1603 වසරේ ජුලි 19 දින අත්අඩංගුවට ගෙන සිර ගත කෙරිණ. ලන්ඩන් කුළුනේ සිර ගතව සිටි සමයේ ග්‍රීක සහ රෝම ඉතිහාසය අළලා ඔහු විසින් ලෝක ඉතිහාසය (The Historie of the World) නම් සම්භාව්‍ය කෘතිය සම්පාදනය කළේය.

මුලාශ්‍ර
https://en.wikipedia.org/wiki/O._Henry
https://en.wikipedia.org/wiki/Fyodor_Dostoyevsky
https://en.wikipedia.org/wiki/Michael_Servetus
https://en.wikipedia.org/wiki/Oscar_Wilde
https://en.wikipedia.org/wiki/Walter_Raleigh
http://www.divaina.com/2013/12/22/diyaga10.html
http://archives.silumina.lk/2017/01/22/_art.asp?fn=sm1701223

Tuesday, May 2, 2017

මර්සලින් ජයකොඩි පියතුමා ලියූ අමුතු ගීතිකාව

මා ජීවත් වන පයියාගල ධීවර ගම්මානය සංගීතය, නාට්‍ය සහ රංග කලාවට තෝතැන්නකි. මේ ගම්මානයෙන් බිගිවු ප්‍රසිද්ධ කළා කරුවන් රැසක් සිටිති. එයට අමතරව අප වෙසෙන ගම පාස්කු ගම්මානයක් (Passion Village) වශයෙන් ද හැඳින්විය හැක. ලොව පුරා පාස්කු ගම්මාන රැසක් පවතියි. පාස්කු ගම්මානයක් යනු ජේසුස් වහන්සේගේ කුරුසියේ මරණය රඟ දැක්වෙන දුක්ප්‍රාප්ති ප්‍රසංගය පාරම්පරිකව වේදිකා ගතකරනු ලබනා ගම්මානයන්ය. 


අප ගම්මානය  තුල වන්දනාව සඳහා දේවස්ථාන තුනකිකි. මේ අතරින් අප අයත් වන්නේ අපට කිට්ටුම දේවස්ථානය වන ශුද්ධවූ ජුසේ මුනිඳුන්ගේ දේවස්ථානයටය.  කම්කරුවන්ගේ ආරක්ෂක මුනිවරයා ලෙස නම්කොට ඇත්තේ ශුද්ධවූ ජුසේ මුනිඳුන්ය. එබැවින් අප පල්ලියේ මංගල්‍යය පවත් වන්නේ ලෝක කම්කරු දිනය වන මැයි පළමුවන දින දීය. 

මේ මංගල්‍යයේදී ලංකාවේ කිසිදු දේවස්ථානයක නොගැයෙන අමුතුම ආරක ගීතිකාවක් ගායනය කෙරියි. එම ගීතිකාවට කිසිදු සංගීත භාණ්ඩයක් වාදනය කරන්නේ නැත. ශුද්ධවූ ජුසේ මුනිඳුන්ගේ ප්‍රතිමාව රැගත් මංගල්‍ය පෙරහැර ගම වටා කිලෝමීටර හතරක පමණ දුරක්  ගමන් කරයි. ලීයෙන් තැනූ දොලාවක් මත රඳවනු ලබන ප්‍රතිමාව රැගෙන යන්නේ ධීවරයන් විසිනි. එම ප්‍රතිමාව දේවස්ථානයට ඇතුළු කරනා අවස්තාවේදී මේ ගීතය ගායනය කරනු ලබන්නේ එය රැගෙන යන ධීවරයන් විසිනි. රළු කටහඬකින් යුත් හැඩි දැඩි ධීවරයන්ගේ ස්වර පරාසය වන  බැරිටෝන් සහ ටෙනර් කටහඬ වලින්, හඬ නගා කෑ ගසමින් මේ ගීතිකාව ගායනයේ යදෙයි. (රොක් ගායකයින්ගේ ස්වර පරාසය බැරිටෝන් හෝ ටෙනර් වෙයි) 

ගීතයේ නිර්මාපකයා වන්නේ ගරු මර්සලින් ජයකොඩි පියතුමාය. එතුමන් 1933 - 39 කාල වකවානුවේ පයියාගල මීසම් භාර පියතුමා වශයෙන් කටයුතු කරනා කාලයේදී මේ ගීතිකාව නිර්මාණය කර ඇත. 

අප කුඩා කාලයේදී මේ ගීතිකාව විශාල ජවයකින් යුතුව ගායනය  කෙරින. එකල ගායනය අසා සිටින විට හිරිගඩු පිපෙනා අන්දමේ හැඟීමක් ජනනය වින. නමුත් දැන් ගීතයේ ගායනය තුල එකල තරම් ජවයක් නැත. අතීතයේදී  ඔරු හබල් ගා රළු මුහුද සමග පොර බැදූ ධීවරයන්ගේ ජවය මෝටර් බෝට්ටු පැමිණීමත් සමග හීන වීම මෙයට හේතුව විය හැකිය.

ගීතිකාවේ වීඩියෝව

ගීතිකාවේ පද මාලාව මෙසේය 

සුසුදු ජුසේ මුනිතුමනී වනු සරණේ සුදු පියෙනී 
දිළිඳු අපේ රජාණෙනී තුති පුදමු නිති දිනෙනී//

සුරිඳු පුතුන් නැති වීලා ලහි ලහියේ සොයා ගියේ 
දුක් කඳුලින් පිරි අපගේ සැනසුම වේ මුනිතුමෙනී

සග ලොව මහා සෙන්පතිඳී  මොක් කිරුළේ රජාණෙනී 
දෝත් නගා වැඳ වැටිලා තුති පුදමු ජුසේ පියේ 

සුවඳ මලින් ඔබ සරසා ගීත ගයා ඔබ නැමදා 
පෙමැති දරු අප සැවොමා තුති පුදමු සරණ පතා 

හැම විපතින් අප ගලවා ජේසු වෙතේ අප රඳවා 
ඔබ දරු කැළ අප සැවොමා දෙන්න පියේ නිති සරණා 

Monday, May 1, 2017

දේව වේද පුරාණය නම් වන සිංහල කතෝලික වේද කාව්‍යය

ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමා ගෝවා නුවර බමුණු කුල දෙගුරුනට දාව 1676 වසරේ උපන්නේය. එතුමන් ගෝවේ සාන්ත පාවුළු විශ්ව විද්‍යාලයේ උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව වසර 1700 දී ඔරිතෝරියානු නිකායේ පැවදි  විය. පසුව ජුසේ වාස් පියතුමන් අනුගමනය කරමින් ලංකාවට පැමිණියේ එවකට ඕලන්ද පාලකයන්ගෙන් පීඩා විඳි ලාකීක කතෝලිකයාගේ ධර්ම සේවය පිණිසය.  එතුමන් ලංකාවට පැමිණියේ 1705 වසරේ ඉන්දියාවේ දී තමාට පිළිගන්වන ලද මහාචාර්ය ධුරය ප්‍රතික්ෂේප කරමිනි.

එතුමන් මෙ රටට පැමිණි කාලයේදී  ලාංකීය කතෝලිකයනට යාච්ඥා, දහම් රීති, ගීතිකා ඇතුලත් සිංහල පොත්  නොතිබුණෙන් ජුසේ වාස් පියතුමන්ගේ මග පෙන්වීම යටතේ සිංහල භාෂාව ඉගනීමට යොමු වුනේය. මහනුවර භික්ෂුන් වහන්සේලා සහ උගත් ගිහියන් ඇසුරු කිරීම මගින් ගොන්සාල්වේස් පියතුමාට සිංහල සාහිත්‍ය ග්‍රන්ථ සහ ශබ්ද කෝෂ පරිහරණයට අවස්ථාව ලැබිණ. කලක් තිස්සේ  සිංහල භාෂාව සහ සාහිත්‍යය උගත් එතුමන් කිතු දහම ගැබ් කොට සිංහල පොත් විසි හයක් ලීවේය. උගතුනට වියත් බසින් ද සාමාන්‍ය ජනතාවට ලිහිල් බසින්ද ලියු ග්‍රන්ථ මේ පොත් විසිහය අතර වෙයි. බයිබලයේ සංක්ෂිප්ත විස්තර, අටුවා ධර්මෝපදේශ, අනුශාසනා, සුද්දවරයන්ගේ චරිත සහ පෙළහර, තාපස භාවනා, ප්‍රස්ථාව පිරුළු, බැතිගී වන්නම් ආදිය එතුමන්ගේ ප්‍රබන්ධ වලට විෂය පථය වී ඇත. 

ගොන්සාල්වෙස් පියතුමා විසින් රචිත විශිෂ්ඨම ශාස්ත්‍රීය කෘතිය ලෙසින් පිලිගනුයේ පිටු 312කින් සමන්විත පෘතුගීසි සිංහල දෙමල ත්‍රී භාෂා ශබ්ද කෝෂය ය.

ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමා ලියූ ග්‍රන්ථ වලින් බහුතරය ගද්‍ය ප්‍රබන්ධයෝය. ඉතා ස්වල්පයක් වූ පද්‍ය රචනාද එතුමන් සම්පාදනය කර ඇත. පද්‍ය නිර්මාණ අතර ඇති ආනන්ද කලිප්පුව ලියා තිබෙන්නේ වන්නම් ආකාරයටය. මේවා එකක් වත් සිංහල කාව්‍ය වංශයට අයත් වන්නේ නැත. නමුත් සිංහල කාව්‍ය සමයට සර්වාප්‍රකාරයෙන්ම ගැලපෙන සුවිසල් වේද කාව්‍යයක් එතුමන් ප්‍රබන්ධ කර තිබේ. කවි පන්සීය විසි අටක් ඇතුලත් පිටු තුන්සිය අසූ දෙකකින් සමන්විත දේව වේද පුරාණය එම කාව්‍යය ය. දේව වේද පුරාණය බොහෝ කාලයක් අත් අකුරින් තිබී 1871 වසරේදී මොරටුවේ පදිංචි මහ විදානේලාගේ දොන් බොනී පාසිව් ප්‍රනාන්දු මහත්මිය විසින් මුද්‍රණය කරවා ප්‍රකාශයට පත්කර ඇත.    

ගොන්සාල්වෙස් පියතුමාගේ මවු බස කොන්කණි භාෂාවය. මේ බස සංස්කෘත භාෂාවෙන් ව්‍යුත්පන්න වුවකි. ඒ භාෂාවෙන් රචිත ක්‍රිස්තියන් පුරාණ නමැති පද්‍ය ප්‍රබන්ධය පරණ ගිවිසුම සහ අළුත් ගිවිසුම අන්තර්ගත සිද්ධීන් සහ ධර්මෝපදේශ කවි 1092 කින් සමන්විතය. ගොන්සාල්වෙස් පියතුමන් දේව වේද පුරාණය ලිවීමේදී මේ ග්‍රන්ථය ඇසුරු කරන්නට ඇති බව 1713 ඔරතොරියානු සභා වාර්තා වල දැක්වෙයි. නමුත් දේ මව්ගේ විලාප පිලිබඳ දේව වේද පුරාණයේ දැක්වෙන වර්ණනාවට සමාන කිසිවක් ක්‍රිස්තියන් පුරාණයේ දක්නට නැත. එහෙත් කොන්කණි බසින් ලියවී ඇති ගෝවේ ප්‍රචලිත ගර්න්තයක් වන පුරාන් නමැති පොතේ මෙවැනි විලාප වලට හුරු විස්තරයක් ඇත. එසේ වී නමුදු ගොන්සාල්වෙස් පියතුමා තම කාව්‍යයට රස කවා ඇත්තේ සිංහල දේශීය සාරයෙනි. 

දේව වේද පුරාණය බයිබලයේ කොටසක හුදු පද්‍ය රචනයක් නොවේ. එය කිතු දහමත් ක්‍රිස්තුස් වහන්සේගේ චරිතාපදානයත් සිංහල කවි සම්යානුකුලව දේශීය දර්ශනයටත් සංස්කෘතියටත් කුල වැද්දීමට ගත් උත්සාහයක ප්‍රතිපලයකි. 

- ආචාර්‍ය එඩ්මන්ඩ් පීරිස් (නි.ම.නි.) රදගුරු තුමාගේ ලිපියක් ඇසුරිනි- 

බ්ලොග්කරු ගේ සටහන:- ලාංකේය සාහිත්‍යයේ ක්‍රිස්තියානි ලකුණ පෙන්නුම් කරනා මෙවන් සාහිත්‍ය කෘති සාමාන්‍ය ජනතාව අතර  දැනුවත් නොවීම කනගාටුවට කරුණකි. මෙවන් සැඟවුණු කෘති පිලිබඳ කෙටි විස්තරයක් හෝ පාසල් විෂය නිර්දේශ වලට එක කරන්නේ නම් අප රට දරුවන්ගේ දැනුම වර්ධනයට බෙහෙවින් ඉවහල් වනු ඇත.