Saturday, March 7, 2015

සංගීත චාරිකාවක් 30 - ABBA හතරවන කොටස - ඇබා කණ්ඩායමේ ගොඩනැගීම


දම්පාට දේදුන්න ලියන්න අතපසු උන පසුගිය කාලය පුරාවටම බ්ලොග් ලොව මිතුරු කැල නැවත ලියන්න බෙහෙවින් උනන්දු කළා. සිංහල බ්ලොග් ලෝකයේ හිත මිතුරන්ගෙන් දම්පාට දේදුන්න පටන් ගත් මුල් කාලයේ සිටම ලැබුන සහයෝගය ඉතා විශිෂ්ඨයි. මේ කිසිවකුත් අද වෙනකම් මා හැබැහින් දැක නැහැ. නමුත් මේ නොදුටු මිතුරන් බොහොමයක් සමග අද වෙනකොට දැඩි මිතුරු දමක් ගොඩනැගිල තියෙනවා. කොහොම නමුත් මා උනන්දු කල සැම දෙනාටම තුති පුදමින් නැවතත් සංගීත චාරිකාව නවත්තපු තැනින් පටන් ගන්නවා.


ඇබා කණ්ඩායම පිලිබඳ ලියැවුනු පෙර ලිපි තුල කණ්ඩායමේ ගායක ගායිකාවන් ගැන ලියවුනා මීළඟ ලිපි දෙක ලියවෙන්නේ කණ්ඩායම ගොඩනැගුනු ආකාරය පිළිබඳවයි..
පළමු කොටස   දෙවන කොටස    තෙවන කොටස

ඇබා කණ්ඩායමේ ප්‍රථම සජීව ප්‍රසංගය.
ඇබා කණ්ඩායමේ සාමාජිකයන් ස්වකීය ප්‍රතිභාව එකට එකතු කොට නිර්මාණ බිහි කිරීමේ මුලික කටයුතු කරමින් සිටීනා අතර 1970 අප්‍රියල් මස මේ මිතුරන් හතර දෙනා සයිප්‍රසයේ නිවාඩුවක් ගත කිරීමට ගියා. එහිදී මේ පිරිස විනෝදය සඳහා මුහුදු වෙරළේ පටන්ගත් ගී ගායනය අවසන් උනේ එම ප්‍රදේශයේ ස්ථානගතව සිටි එක්සත් ජාතීන්ගේ හමුදා භට කණ්ඩයක් විසින් හදිසියේ සංවිධානය කරන ලද සජීව ප්‍රසංගයකින්. මේ අනපේක්ෂිත ප්‍රසංගය පසුකලෙක ලෝක පුජිත වූ ABBA හි මුල්ම සජීව ප්‍රසංගයයි.

මේ කාලය වනවිට අන්දශෝන් සහ උල්වියෝස් ඔවුන්ගේ ප්‍රථම ඇල්බමය වන ලයිකා (Lycka) 1970 සැප්තැම්බරයේ එළිදැක්වීම සඳහා පටිගත කිරීම් වල යෙදී සිටියා. එම ඇල්බමයේ ගීත කිහිපයකට ඇග්නෙතා සහ ලීග්සා පසුබිම් ගායනයෙන් දායක උනා. අනතුරුව මේ පිරිස එක්ව Festfolket නම් ප්‍රසංගය 1970 නොවැම්බරයේදී ගුතන්බ්ර්ග් හිදී දියත් කරනු ලැබුවා.

Hej, gamle man ගීතය
ඇබා කණ්ඩායමේ හතරදෙනාම එක්ව එළිදැක්වූ ප්‍රථම නිර්මාණය ගලවාගැනීමේ හමුදාවේ සේවයකළ මහළු මිනිසකු ගැන කියවෙන Hej, gamle man නම් ගීතයයි. මෙම ගීතය අදාළ කාර්තුව තුල සංගීත දර්ශක තුල ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර එම ගීතය අඩංගු තැටිය විකිණුම් දර්ශක වල පස් වැනි ස්ථානයද, Svensktoppen දර්ශකයේ ප්‍රථම ස්ථානය සති 15ක කාලයක් පුරාවටද රඳවා ගැනීමටද සමත් උනා.

 Hej, gamle man

සංගීත කණ්ඩායම ගොඩ නැගීම (1970 සහ 1973 අතර කාලය)
1970 වසරේ ලයිකා ඇල්බමය නිකුත් කල බෙනී සහ බියෝන් අනතුරුව එකල ගීත කිහිපයක්ම ස්වීඩනයේ එළිදැක්වූවා. මේ අතරින් "Det kan ingen doktor hjälpa" සහ "Tänk om jorden vore ung" ගීත දෙක සාමාන්‍ය මට්ටමේ සාර්ථකත්වයක් සංගීත දර්ශක තුල ලබා ගත්තා.


Tänk om jorden vore ung

මේ කාලය වන විට ෆෙල්ස්කෝ සහ උල්වියෝස් විවාහ වී සිටි අතර අන්දශෝන් සමග නිරතුරුවම සංගීතයේ යෙදී සිටියා.

පොලර් මියුසික් සංගීත සමාගමේ නිර්මාතෘ මෙන්ම හිමිකරු වූ ස්ටිග් අන්දශෝන් හට බෙනී සහ බියෝන් ජාත්‍යන්තර සංගීත තලයට ගෙනයාමට තීරණය කරනුයේ මේ අවදියේදීය. එකල ස්ටිග් අන්දශෝන් අනාවැකි පළකරනුයේ මේ දෙදෙනා විසින් ලියා සංගීතවත් කරනු ලබන ගීතයක් ජගත් සංගීත වේදිකාව ජයගන්නා බවය. ඔහු විසින් මේ දෙදනා නැවතත් මෙළුඩීෆෙස්ටිවෝලන් තරඟාවලිය සඳහා ගීතයක් ඉදිරිපත් කරවීමට උනන්දු කරවන අතර දෙවතාවක් අසාර්ථක වීමෙන් අනතුරුව Säg det med en sång ගීතය තරඟාවලිය සඳහා ඇතුලත් කරගනු ලැබුවා. එහිදී තවන ස්ථානය ලද ගීතය ස්වීඩනයේ අතිශය ජනප්‍රියත්වයට පත් වනවා.

Säg det med en sång
මේ දෙදෙනාගේ ජාත්‍යන්තර සාර්ථකත්වය ජපානයේදී ලැබෙනුයේ අනපේක්ෂිත අයුරිනි. 1972 වසරේදී ජපානයේ එපික් රෙකෝඩ් සමාගම වෙනුවෙන් නිර්මාණය කල She's My Kind of Girl ගීතය සංගීත දර්ශක වල මුල් ගී දහය අතරට එක්වන අතර ජපානයේදී තවත් නව ගීත දෙකක් එලි දැක්වෙනවා. එනම් පසුකලක ගායනා කල Merry-Go-Round ගීතයේ මුල් ගීතය වන ස්කැන්ඩිනේවියානු "En Karusell" ගීතය සහ Love Has Its Ways යන ගීත ද්විත්වයයි.

 She's My Kind of Girl

En Karusell

Love Has Its Ways

සංගීත චාරිකාවේ 31 වන කොටසින් හමුවෙමු
ඇබා කණ්ඩායම පළමු කොටස   දෙවන කොටස    තෙවන කොටස

Monday, February 2, 2015

සිංහල ගීත සාහිත්‍යයේ සී. ටී. ප්‍රනාන්දු මුද්‍රාව - ඌන පූර්ණයක්

අප සුමිතුරු සින්දු ඇනෝ සිය බ්ලොගයේ පලකළ ගනුෂ්ක රන්දුල විසින් රචිත සිංහල ගීත සාහිත්‍යයේ සී. ටී. ප්‍රනාන්දු මුද්‍රාව ඉතාමත් ඉහල මට්ටමේ පර්ය්ෂනාත්මක ලිපිය කියවීමට ලැබුනේ පලකොට දින කිහිපයක් ඇවෑමෙනි. එබැවින් මවිසින් එම ලිපියට දැමු කොමෙන්ටුව බොහෝදෙනෙකු ඇස නොගැටීම තුල සී ටී ප්‍රනාන්දු ගේ ගීත තැටි ජනප්‍රිය වීමට බලපෑ තවත් ප්‍රධාන හේතුවක් පිලිබඳ මා කියවා ඇති සාධකයක් ඔබ වෙත සන්නිවේදනයට එහි අන්තර්ගතය නැවත සංස්කරණය කොට මෙහි පලකරනවා.

සී. ටී ප්‍රනාන්දුගේ ගීත රසිකයන් අතරට යාමට තවත් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ඒවා ඉතාමත් ගුණාත්මක තැටිගත කිරීමකින් යුක්ත වීමය. ඔහුගේ බොහෝ ගීත HMV, Philips වැනි සමාගම් විසින් මහා බ්‍රිතානයයෙදී තැටිගත කරන ලද බව කියවෙයි. සමකාලීන සිංහල ගීත වල මුල් තැටි වල බේස් සහ ට්‍රිබල් පරාසය පැහැදිලිව අසන්නට නොලැබෙන නමුත් CT ගේ ගීත වල බේස් සහ ට්‍රිබල් පරාස දෙකම හොඳින් ස්ථාන ගතව තිබෙනවා. නමුත් සමකාලීන සිංහල ගීත බෙහෙවින්ම තැටිගතව තිබෙනුයේ මිඩ් පරාසය ඉස්මතු වන ලෙසිනි. ඔහුගේ සමහර ගීත වල බේස් ගිටාරය වෙනුවට ඩබල් බේස් හෝ චෙලෝ වාදනය ඇසෙනුයේ ඒවා බ්‍රිතාන්‍ය සංගීත කණ්ඩායම් වල වාදනයන් සමගින් තැටිගත කිරීම නිසා වන්නට පුළුවන.

මුල් ලිපිය මෙතැනින්

Tuesday, November 11, 2014

බටහිර සංගීතය අධ්‍යනය සඳහා - මනාගේ පින්තාරුව

සිංහල බ්ලොග් අවකාශයේ සංගීතය ගැන ලියවෙන බ්ලොග් අඩවි කිහිපයක් ම තිබුනට සංගීත අධ්‍යාපනය වෙනුවෙන් එම අඩවි වල ලිපි පලවෙනවා අඩුයි. විශේෂයෙන්ම බටහිර සංගීතය අධ්‍යනය කරන අයට සිංහලෙන්  ප්‍රකාශයට පත් වෙන පොත පතද ඉතාමත් විරලයි. වෙළෙඳ පොලේ දක්නට ලැබෙන පොත් අතරින් බහුතරයක් ඉන්දියානු සංගීතය සහ බටහිර සංගීතය පටලවාගෙන ලියා ඇතිබව පෙනීයන කරුණක්.
    එවන් අඩුපාඩුවක් මැකිය හැකි සිංහල බ්ලොග් අඩවියක් අහම්බෙන් ඇස ගැටුණු වෙලාවේම හිතුනා එයට පොඩි ප්‍රචාරයක් දීල දිරි ගැන්වීමක් කිරීම යුතු කමක් කියල.
මේ අලුත් බ්ලොග් අඩවිය මනාගේ පින්තාරුවයි. 

බටහිර සංගීතය අධ්‍යනය කරන අයට තාක්ෂණික වශයෙන් නිවැරදි තොරතුරු රැසක් මනාගේ පින්තාරුවේ දැනට පලවී ඇති ලිපි කිහිපය තුල දක්නට ලැබෙනවා.

උදාහරණයක් ලෙස පහත කොටස උපුටා දක්වන්න පුළුවන්

//මේජර් කෝඩ් එකක් හැදෙන්නෙ කොහොමද?//


//මේජර් කෝඩ් එකක් කියන්නේ කිසියම් ස්වරයක් මුලික කරගෙන එයට තව ස්වර දෙකක් යොදාගනිමින් නිර්මාණය කරන ස්වර පන්තියටයි.එය මෙසේද පැහැදිලි කල හැකියි. ඔයාට C මේජර් කෝඩ් එක වාදනය කල යුතුනම්,  මුලින්ම C(ස) note (ස්වරය) එක ගත යුතුයි.මෙහිදී සංගීතයේ තියෙන ස්වර දොළහ ගැන අවබෝධයක් තිබිය යුතුයි.(C  C# D  D#  E  F  F# G  G#  A Bь B) මෙම උදාහරණයට අනුව C(ස) note එක අපි ගන්නවා අංක එක(1) ලෙසට.එතැන් සිට පස්(5) වෙනි ස්වරය (E /ග) සහ  අට(8) වෙනි ස්වරය (G/ප) යන ස්වර තුන යොදා ගනිමින් C මේජර් කෝඩ් එක නිර්මාණය කරගන්න පුළුවන්. පහත රුපය බැලුවම තවත් හොඳට තේරුම් ගන්න පුළුවන්.//

ඒ වගේම මනාගේ පින්තාරුව අඩවියේ ගිටාර් වාදනය පිලිබඳ මුල සිටම වැදගත් කරුණු රැසක් අඩංගු ලිපි පෙළක් පටන් අරන් තියෙනවා. ගිටාර් වාදනය යටතේ පලවී තිබෙන ලිපි මුල් දෙක අති විශිෂ්ඨයි. එමෙන්ම සරලයි. මුලිකව දැනගැනීමට අවශ්‍ය තාක්ෂණික සහ සෛද්ධාන්තික කරුණු සියල්ලම පාහේ මේ ලිපි මගින්  ආවරණය කරනවා.
සිංහල බ්ලොග් අවකාශය තුල පැවති අඩුපාඩුවක් සපුරන මේ අඩවිය වෙත උපරිම ප්‍රචාරණයක්  ලබා දෙන්න කියල සහෝදර බ්ලොග් ලේඛකයන්ගෙන් ඉල්ලන ගමන්ම බ්ලොග් අඩවිය අතරමග නවතා දමන්නේ නැතුව දිගටම පවත්වාගෙන යන්න කියල මනාගෙනුත් ඉල්ලාසිටිනවා.

ඔබට සුභ පැතුම්!