Saturday, January 31, 2015

මාර පරාජයෙන් පසු ආයෙත් අපි ආවා................................


මාස තුනකට ආසන්න කාලයක් පුරාවටම දම්පාට දේදුන්නට පොස්ට් එකක් දාන්න බැරි උනා. කලින් නම් සතියකට දෙක ගානේ විතර පොස්ට් ලිව්වත් ජනාධිපතිවරණ සටන පටන් ගත්තට පස්සේ සංගීතය ගැන ලියනවට වැඩිය ඒකාධිපති රෙජීමය එලවන්න සම්පුර්ණ කාලය මිඩංගු කිරීම වඩා වැදගත් කියල හිතුනා.

රාජ්‍ය බලය, රාජ්‍ය මර්ධනය සහ රාජ්‍ය දේපල භාවිතා කරමින් රාජ්‍ය මුදල් මංකොල්ලකමින් රාජපක්ෂ රෙජීමය සහ එහි සට්ටම්බියන් ජනාධිපතිවරන ප්‍රචාරක යාන්ත්‍රනය ක්‍රියාත්මක කරද්දී අපට ඉතිරි උනේ කාගේත් සුරතලිය වූ අන්තර්ජාලය පමණයි. කලෙක පටන්ම අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාල මධ්‍යස්ථ මතධාරීන්ගේ කෙළි මඩලක් බවට පත්ව තිබුනා. දේශපාලන සහ ආගමික අන්තවාදීන් හට නිර්දය විවේචනයක් පැතිර තිබූ මේ සුවිශේෂී මාධ්‍යය ජය ගැනීමට රාජපක්ෂ රෙජීමය අවසන් මොහොතේ විශාල ලෙස මුදල් ආයෝජනය කරා. එම ආයෝජන බිඳ වැටුනේ මානව සබඳතා මුදලට වඩා ප්‍රභල බවමොනවට පෙන්වා දෙමිනි.

රාජපක්ෂ රෙජීමය මහජන මුදල් යොදවමින් පරිඝනක දහස්ගණන් යොදාගනිමින් අන්තර්ජාල ප්‍රචාරණයේ යෙදුනද ඔවුන්ගේ කිසිදු පණිවිඩයක් නිසි ලෙස සමාජගත කිරීමට සමත්වූයේ නැහැ. එයට හේතුවුයේ එම ප්‍රචාරණ යාන්ත්‍රණයේ තිබු ව්‍යාජ භාවයයි. ස්වකීය සත්‍ය ප්‍රොෆයිල තුලින් ප්‍රචාරණයේ යෙදුන පිරිස රාජපක්ෂ පිලේ සිටියේ ඉතාමත් අල්ප ප්‍රමාණයක්. රාජපක්ෂ යාන්ත්‍රණය ව්‍යාජ ප්‍රොෆයිල තුලින් ක්‍රියාත්මක කර ව්‍යාජ ප්‍රොෆයිල වෙතම පණිවිඩ සන්නිවේදනය කිරීමේ ''මෝඩ චූන්'' ප්‍රචාරණ ව්‍යාපාරයක වල්මත්ව සිටියා.

විපක්ෂයේ ප්‍රචාරණ යාන්ත්‍රනය වෙත ගොනුව සිටි මර්ධනයට බිය නොවූ පිරිස් ස්වකීය සත්‍ය ප්‍රොෆයිල තුලින් ස්වකීය පණිවිඩය වේගවත්ව සමාජයවෙත කාන්දු කරා. එපමණක් නොව මිලියන සිය ගණන් මහජන මුදල් මංකොල්ල කමින් රෙජීමයේ සට්ටම්බියන් සිදුකල සුවිසල් ප්‍රචාරක කටයුතු පවා එක ෆේස්බුක් සටහනකින් අවුල් කර දැමීමට ඔවුනට හැකිඋනා.

මෙහිදී මා අත්දුටු තවත් අපුර්ව සිදුවීමක් නම් මහජන මුදල් කොල්ලකමින් සිදුකල මහපරිමාන ප්‍රචාරණය ක්‍රියාත්මක කල පිරිස් පවා ස්වකීය සත්‍ය ප්‍රොෆයිල තුලින් කිසිදු ප්‍රචාරණයක් පරාජිත ජනාධිපතිවරයා වෙනුවෙන් සිදු නොකිරීමය. අතීතයේ ලබාගත් හෝ අනාගතයේදී ලබාගැනීමට අදහස් කරනා පුද්ගලික ලාභ ප්‍රයෝජන සහ වරප්‍රසාද වෙනුවෙන් හෝ මුදල් වෙනුවෙන්  කටයුතු කරන්නවුන්ගෙන් එයට වඩා දෙයක් කිසිවිටෙක බලාපොරොත්තු විය නොහැකිය.

රාජපක්ෂ රෙජීමයේ උසස් තනතුරු දැරූ එම තනතුරු සඳහා සුදුසුකම් නොතිබූ සට්ටම්බියන්  රජයේ ආයතන තුල ඇතිකර තිබූ දූෂණය, මර්ධනය සහ භීෂණය රාජ්‍ය සේවකයන් විපක්ෂය වෙත යොමුකිරීමට ප්‍රධාන හේතුවක් උනා. උදාහරණයක් ලෙස මා සේවය කරනා ආයතනයේ හිටපු ප්‍රධානියකු නිතරම සේවකයන් වෙත සුදුවෑන් එවන බවට ප්‍රසිද්ධියේ තර්ජනය කිරීම තුල මෙන්ම විපක්ෂ ක්‍රියාකාරීන් වෙත බොරු චෝදනා එල්ලකර පීඩාවට පත්කිරීම තුල සියයට අනුවකට වඩා පිරිසක් රාජපක්ෂ විරෝධයට පොළඹවනු ලැබුවා. රාජ්‍ය සේවයට නුසුදුසු මහල්ලකු වන අධ්‍යක්ෂක වරයකු මා කල්පිටියට ගාල් කිරීමේ පිඹුරුපත් සකසා තිබුනේ ඔවුන්ගේ දුෂණ ක්‍රියා විවේචනය හේතුවෙනි. කෙසේ වෙතත් රෙජීමයේ පරාජයෙන් පසුව මෙම ප්‍රධානීන් සිය ගෝලබාලයන් නීතියේ රැහැනට හසුවන්නට ඉඩහැර අලජ්ජී ලෙස වසන්වී ගොස් අවසන්.


අප ආයතනයේ පිරිසක් ජනාධිපතිවරණය සඳහා සිදුකල මහජන මුදල් මංකොල්ලයක් ලංකා ඊ නිවුස් හි පළවූ අවස්ථාවක මුදල් බලයෙන් සහ රාජ්‍ය බලයෙන් සියල්ල කලහැකිය යන මතයේ සිටි අප ආයතන ප්‍රධානියකු සේවකයන් ඉදිරියේ පාරම්බෑවේ ලංකා ඊ නිවුස් මිලදී ගෙන එම තොරතුරු දුන් පුද්ගලයා සොයාගන්නා බවය. සල්ලි ටිකක් විසි කිරීම මගින් සඳරුවන් සේනාධීර මිලට ගතහැකි බවද ඔහු පැවසුයේ උපහාසයෙනි.

මෙවන් භීෂණකාරී වාතාවරණයක් තුල ජනපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට දායකව සිටි සමයේ සංගීතය වැනි විෂයක් කෙරෙහි සිත් යොමුකිරීමට මානසික එකාග්‍රතාවක් නොතිබිණ. කෙසේ වෙතත්  බ්ලොග් අවකාශයෙන් ඉවත්වී  මාගේ කාලය වැයකල කාර්යය මල්පල දරා ඇත. රාජ්‍ය භීෂණය මෙන්ම රාජ්‍ය සේවකයන් බැඳ දමා ඇති  බැමි වන නීති රෙගුලාසි මධ්‍යයේ ඒකාධිපති රෙජීමය පරාජය කර දැමීමට සුළුවෙන් හෝ දායකවීමට ලැබීම ගැන මා ආඩම්බර වෙමි.

සියල්ල අවසානයේ නැවතත් ආදරණීය බ්ලොග් මිතුරු කැල වෙත නැවතත් පැමිණෙමි.